රාවය

අවි සංස්කෘතියට එරෙහිව නැගෙන යොවුන් හඬ!

අවි සංස්කෘතියට එරෙහිව නැගෙන යොවුන් හඬ!

ප්‍රභාෂ්වර

සමස්ත ලෝක ජනගහනය හා සැසඳීමේදී ඇමරිකාවේ ජනගහන ප්‍රතිශතය 4.4%ක් වුවද ලොව පුරා තිබෙන තුවක්කු සංඛ්‍යාවෙන් 42%ක්ම ඇත්තේ ඇමරිකාවේය. 1982 සිට 2018 මාර්තු දක්වා, වෙඩි තැබීම් නිසා එරට තුළ සිදුව ඇති සමූහ ඝාතන සංඛ්‍යාව 90 ඉක්මවයි. පුද්ගලයන් තිදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් එක් අවස්ථාවකදී වෙඩි තබා මරණයට පත්කිරීම සමූහ ඝාතනයක් ලෙස සැලකේ. නිදහසේ හා ප්‍රසිද්ධියේ භයානක ගිනි අවි එහා මෙහා ගෙනයාම සඳහා ඇමරිකානු පුරවැසියන්ට එරට ව්‍යවස්ථාවේ දෙවන සංශෝධනය මගින් නීත්‍යනුකූලවම ඉඩ සලසා දී තිබේ. හොඳ තුවක්කුවක් ළඟ තබාගෙන තමාගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතුය යන සටන් පාඨය ඇමරිකානු පුරවැසියන්ගේ ඔළුගෙඩි තුළට කාවැද්දුවේ 1871දී ස්ථාපිත කරනු ලැබූ ඇමරිකාවේ ජාතික රයිෆල් සංගමයේ ක්‍රියාකාරීන් විසිනි. උන්මත්තක තුවක්කුකරුවන් ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණ සිදුකරන වෙඩි තැබීම් නිසා වාර්ෂිකව මරණයට පත්වෙන අහිංසක හා නිරායුධ ඇමරිකානු පුරවැසියන්ගේ සංඛ්‍යාව 30,000 ඉක්මවයි. අහිංසකයන් කෙතරම් සංඛ්‍යාවක් සමූහ ඝාතනවලට බඳුන් වුවද, අවි දැරීමේ නීතිය සංශෝධනය කිරීමට තැත් කරන කවර දේශපාලනඥයකුට වුවද අකුල් හෙළන්නේ ජාතික රයිෆල් සංගමය සහ එරට ගිනි අවි නිෂ්පාදකයන්ගේ එකමුතුවයි. භයානක ගිනි අවි ජන සමාජය තුළ ව්‍යාප්ත කිරීම පිණිස ජාතික රයිෆල් සංගමය වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 03ක් වියදම් කරයි. හොඳ තත්ත්වයේ පිස්තෝලයක් එරට වෙළෙඳසැලක විකිණෙන්නේ ඩොලර් 200ක් (රුපියල් 31,000ක්) වැනි සුළු මුදලකටය. එය සාමාන්‍ය ලැප්ටොප් පරිගණකයක මිලට සමානය. 2017 ඔක්තෝබර් පළමුවැනිදා ලාස් වේගාස්හි සංගීත සංදර්ශනයක සහභාගිකයන් 58ක් වෙඩි තබා මරා දැමූ 64 හැවිරිදි ස්ටීවන් පැඩොක් සතුව ගිනි අවි 42ක් තිබුණු බැව් පසුව අනාවරණය විය. මින් පෙනීයන්නේ තනි පුද්ගලයෙකුට ඕනෑතරම් ගිනි අවි ප්‍රමාණයක් කිසිදු වාරණයක් තොරව තමන් ළඟ තබාගත හැකි බවයි.

එම්.එස්.ඩී. උසස් පාසලේ සිද්ධිය

විනය විරෝධී ක්‍රියාවන්හි නියැලීම හේතුවෙන්, ෆ්ලෝරීඩාහි ජනප්‍රිය පාසලක් වන එම්.එස්.ඩී. විද්‍යාලයෙන් නෙරපා හරිනු ලැබූ නිකොලස් ක්‍රස් නමැති 19 හැවිරිදි තරුණයා, 2018 පෙබරවාරි 14 දින හවස 2.21ට පමණ සිය පැරණි පාඨශාලාව වෙත පැමිණියේ AR 15 ස්වයංක්‍රීය රයිෆලයක්ද අතැතිවය. 12 වැනි ගොඩනැගිල්ලේ පන්ති කාමර වෙත දිවගිය හෙතෙම, ඒවායේ ඉගෙනුම ලබමින් සිටි සිසු සිසුවියන්ට ඉවක් බවක් නැතිව වෙඩි ප්‍රහාර එල්ල කරන්නට විය. ගුරුවරු, පාසල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ද ඇතුළුව, ළමයින් 17 දෙනකු මෙකී ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 14කි. මෙම සිදුවීමෙන් පසුව එම්.එස්.ඩී. පාසලේ සිසු සිසුවියන් එකට එක්ව ‘ආයෙත් බෑ’ යන නමින් සංවිධානයක් ගොඩනැගුවේ ඇමරිකාවේ අවි සංස්කෘතිය කෙසේ හෝ පරාජය කළ යුතුය යන අදිටනෙනි. ‘ආයෙත් බෑ’ සමාජ ව්‍යාපාරයේ නිර්මාතෘ වන 18 හැවිරිදි කැමරන් කාස්කි තම පාසල තුළ සිදුවූ සමූහ ඝාතනය පිළිබඳව සිය අදහස් පළ කරන්නේ මේ අයුරිනි. “2012 දෙසැම්බර් මාසයේ, ඇඩම් ලාන්සා නම් උන්මත්තක තුවක්කුකරුවා කනෙක්ටිකට් ප්‍රාථමික පාසලේ පළමුවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කුඩා ළමයින් විසිදෙනෙකු සහ ගුරුවරු හයදෙනෙකු වෙඩි තබා මරා දැමුවා. තුවක්කු අලෙවිය පිළිබඳ නීති තද කළ යුතුයැයි ඇමරිකානු කොංග්‍රසයට කනෙක්ටිකට් සිද්ධියෙන් පසු බලපෑම් එල්ල වුණත්, ජාතික රයිෆල් සංගමයේ බලපෑම මත පාලකයෝ අකර්මණ්‍ය වූහ. 2016දී එමාර් මාටින් නම් තුවක්කුකරුවා ඩිර්ලන්ඩෝ රාත්‍රී සමාජශාලාවකදී එතැන සිටි නිරායුධ සිවිල් වැසියන් 49ක් ඝාතනය කළා. 2017 නොවැම්බර් මාසයේ ටෙක්සාස්හි පල්ලියක යාච්ඥා කරමින් සිටි බැතිමතුන් 26ක්, ඩෙවින් පැටි්‍රක් කෙලී විසින් අමු අමුවේ මරාදමනු ලැබුවා. අහිංසක සිවිල් වැසියන් සහ පාසල් ළමුන් මෙවැනි අකල් මරණවලට ලක්වන්නේ ඕනෑම කෙනෙකුට තුවක්කු මිලදී ගැනීමේ හැකියාව ඇමරිකන් නීතිය මගින් පිරිනමා ඇති නිසයි. තුවක්කුවක් අත ඇති පුද්ගලයා වීරයෙක් ලෙස හුවා දක්වන්නේ අපේ රටේ රයිෆල් සංගමයයි. රට තුළ සිදුවන සමූහ ඝාතන වැළැක්වීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන කරළියට ගෙන ඒම අපේ වැඩිහිටි පරම්පරාව විසින් අතහැර දමා තිබෙන අවස්ථාවක, අපේ ඊළඟ පරම්පරාව මේ ව්‍යසනයෙන් මුදාගැනීම පිණිස ‘ආයෙත් බෑ’ සමාජ ව්‍යාපාරය අප විසින් පිහිටුවා ගනු ලැබුවා. නීති වෙනස් කරන තුරු අපි අපේ සටන ඉදිරියට ගෙන යනවා.”

උද්ඝෝෂණ හා විරෝධතා

ගිනිඅවිවලට එරෙහි මෙකී ව්‍යාපාරයේ සමාජ ක්‍රියාකාරිණියක වන 19 හැවිරිදි එමා ගොන්සැලෙස්, ‘ආයෙත් බෑ’ සංවිධානය ගැන ටයිම් සඟරාව සමග දොඩමළු වූයේ මෙලෙසිනි. ‘එම්.එස්.ඩී.’ වෙඩි ප්‍රහාරයෙන් පසුව, නිශ්ශබ්දව සිටීම තරම් නොවේයැයි යෞවන යෞවනියන් වන අපට වැටහුණා. ඒත්, 2018 මාර්තු 02 වැනි දින 19 හැවිරිදි ජේම්ස් එරික් ඬේවිස්, සරසවි නිවාඩුවට තමන්ව ගෙදර ගෙනයෑම සඳහා නේවාසිකාගාරය වෙත පැමිණි ඔහුගේ මව්පියන්ට වෙඩි තබා මරා දැමීමේ පුවත මාව මහත් කම්පනයට ලක් කළා. මිචිගන් විශ්වවිද්‍යාලයේ බලධාරීන් පසුව සොයා ගත්තේ හෙරොයින් මගින් මොහු එම අපරාධය සිදුකොට ඇති වගයි. මත්කුඩුවලින් සිහිවිකල්ව සිටින අයෙක් අතට ගිනි අවියක් ලැබුණ විට ඔහුට අම්මා, තාත්තා කවුදැයි යන්න පවා නොපෙනෙන බැව් මේ සිද්ධියෙන් අනාවරණය වෙනවා. 2018 මාර්තු 14 දින ඇමරිකාවේ ජාතික පාසල්වල ඉගෙනුම ලබන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්, අධ්‍යාපන වැඩකටයුතු තාවකාලිකව නවතා දමා, පාරට පැමිණ ගිනි අවි සංස්කෘතියට එරෙහිව උද්ඝෝෂණය කළ යුතුයැයි සමාජ මාධ්‍ය ඔස්සේ අපි දැනුම් දුන්නා. විරෝධතා සංවිධානය කිරීමට අවශ්‍ය මුදල් අපට පරිත්‍යාග කරන ලෙස ගෝ ෆන්ඞ් මී වෙබ් අඩවිය හරහා අප රටේ පුරවැසියන්ට අපි දැනුම් දුන්නා. රටේ දැවැන්තයන් සේ සැලකෙන ඔප්රා වින්ෆ්‍රි, ජෝර්ජ් ක්ලුනි සහ ස්ටීවන් ස්පිල්බර්ග් අපට ඩොලර් මිලියනය ඉක්මවා පෞද්ගලික මූල්‍ය ආධාර පිරිනැමුවා. මේ වනවිට අප සතුව ඇමරිකන් ඩොලර් මිලියන 04ක් තිබෙන බව ආඩම්බරයෙන් කියන්න පුළුවන්. නිව්යෝක් නුවර හිටපු පුරපති මයිකල් බ්ලුම්බර්ග් අපගේ පෙළපාළි සඳහා වැයවෙන වියදම් සියල්ල සියතින් දැරීමට එකඟතාව පළ කොට තිබෙනවා. මාර්තු 14 විරෝධතාවන්ට කුඩා ළමුන්ද ඇතුළුව මිලියනයක් සිසු සිසුවියන් සහභාගි කරගැනීමට හැකිවීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්. 2016 ඇමරිකානු ජනපතිවරණයේදී අවුරුදු 18-20 අතර ඡන්දදායකයන්ගෙන් තම ඡන්දය පාවිච්චිය කළේ 37%ක් පමණයි. ගිනි අවි සංස්කෘතියට පක්ෂව කතා කරන සියලු ඇමරිකානු දේශපාලනඥයන් අපේ සහ අප අනාගත පරම්පරාවේ යෞවන යෞවනියන්ගේ ඡන්දය හරහා ගෙදර යවන බව අපි නොබියව කියනවා. අපි කිසිදු දේශපාලන පක්ෂයකට කඬේ යන්නේ නැහැ. එහෙත් තුවක්කු කටවල් පාලනය කිරීමට ඉදිරිපත් වන ඕනෑම කෙනෙකුට අපි අපේ නොමඳ සහයෝගය ලබාදෙනවා.”

මඩ ප්‍රහාර

මහජන නියෝජිතයන් 435ක් සහ සෙනේට් සභිකයන් 34ක් තෝරාගැනීමේ ඇමරිකානු මැතිවරණය, 2018 නොවැම්බරයේදී පැවැත්වීමට නියමිත හෙයින් මේ යෞවනයන්ගේ හඬ බලවත්ව නැගී එමින් තිබේ. මාර්තු 14 පැවති රැලියකදී ජාතික රයිෆල් සංගමය (NRA) විවේචනය කරමින් එමා ගොන්සැලෙස් කළ කතාව, NRA යාවජීව සාමාජික සහ මේන් ප්‍රාන්තයේ සෙනෙට් සභාවට 2018 වසරේ තරග කරන රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ලෙස්ලි ගිබ්සන්ගේ කෝපය ඇවිස්සීම හේතුපාදක විය. කියුබාවේ සිට සංක්‍රමණය වූ සමලිංගිකයෙකු වන එමාට ඇමරිකානු තුවක්කු සංස්කෘතිය ගැන කතා කිරීමට අයිතියක් නැතැයි කියමින් ගිබ්සන් ඇයට මඩ ගැසීය. මෙම මඩ ප්‍රහාරය ආරම්භ කිරීමට පෙර, ලෙස්ලි ගිබ්සන්ට එරෙහිව තරග කිරීමට මේන් ප්‍රාන්තය තුළ කිසිවෙකු නොසිටියද, ඉන්පසු 28 හැවිරිදි එරිත් ෆිල්ක්‍රයිස්ට් සහ රිපබ්ලිකන් පාක්ෂිකයෙකු වන හිටපු සෙනෙට් සභික තෝමස් මාටින් යන දෙපළ 2018 මැතිවරණයට ඉදිරිපත්වීමේ ලියකියවිලි භාර දුන්හ. එමා විවේචනය කිරීම ඔස්සේ ලෙස්ලි ගිබ්සන් වෙත එල්ල වූ මහජන විරෝධය කෙතරම්ද යත්, දින කිහිපයක් ඇතුළත හෙතෙම දේශපාලනයෙන් සමුගන්නා බව නිවේදනය කළේය. ‘ආයෙත් බෑ’ ශිෂ්‍ය ව්‍යාපාරයට දොස් පැවරූ තම පෞද්ගලික සහකාර, බෙන්ජමින් කෙලීව එම තනතුරින් වහාම නෙරපා දැමීමට ෆ්ලොරීඩා ප්‍රාන්තයේ මහජන නියෝජිත ෂෝන් හැරිසන් ක්‍රියා කළේය. 2018 මාර්තු 24 දින වොෂින්ටන් නුවර පැවති ගිනි අවි විරෝධී රැලිය, තවමත් සර්වජන ඡන්ද බලය හිමිව නැති බාලවයස්කාරයන් විසින් පවත්වන ලද දැවැන්තම උද්ඝෝෂණය බව වොෂින්ටන් නගරාධිපති පැටි්‍රක් මරේ කියා සිටියේය. 2018 මාර්තු 24 දින ඇමරිකාවේ සෑම ප්‍රධාන නගරයක් පාසා දැවැන්ත හා සාර්ථක රැලි පැවැත්වීමට ‘ආයෙත් බෑ’ ව්‍යාපාරයට හැකියාව ලැබුණි. නිව්යෝක් ශිෂ්‍ය උද්ඝෝෂණයට බීට්ල් සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකු වූ පෝල් මැකාට්නිද සහභාගි විය. මීට අමතරව ලන්ඩන්, පැරිස්, බ්‍රසල්ස් හා බර්ලින් යන නගරවලටද යෞවන යෞවනියන් රැස්වී ‘ආයෙත් බෑ’ ව්‍යාපාරයට තම සහෝදරාත්මක සහයෝගීතාව පිරිනැමීම සුවිශේෂී සිද්ධියක් විය. ඇමරිකාව පුරා විසිර සිටින මිලියන 50ක ළමයින්ගේ මාරක සතුරා, ඇමරිකාවේ ජාතික රයිෆල් සංගමය බැව් මෙකී රැලි ඇමතූ හැම කථිකයෙකුම පාහේ අවධාරණය කර සිටියේය. මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ හඬ කෙතරම් බලවත්වීද යත්, 2018 මාර්තු 09 දින ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ සෙනෙට් සභිකයන්, වැඩි ඡන්ද 67කින් එහි ගිනිඅවි පාලනය කිරීම හා අදාළ නීතිය සම්මත කිරීමට පෙළැඹුණි. සංවිධාන ගතවුවහොත් වැඩිහිටියන්ට පවා කළ නොහැකි දේවල් ළමයින්ට කළ හැකි වග මොවුහු පෙන්වා දුන්හ.

උගත හැකි පාඩම්

1971 කැරැල්ලෙන් ශ්‍රී ලාංකිකයන් 20,000ක්ද, 1989 භීෂණයෙන් තවත් 40,000ක් පමණද, තිස් අවුරුදු (උතුරු නැගෙනහිර) සිවිල් යුද්ධයෙන් රටවැසියන් ලක්ෂයක්ද අපට අහිම විය. ජාන විද්‍යාඥ රනිල් සේනානායකට අනුව, මෙසේ මියගිය බහුතරය රටේ අනාගතය යහපත් ලෙස වෙනස් කළ යුතුයැයි දැඩිව සිතූ සහ ඊට ක්‍රියාකාරීව දායක වූ ඍජු මිනිසුන්ය. මොවුන් ජීවත් වී නම් ඒ අයගේ ජානවලින් තව තවත් ඍජු හා ඉදිරි දැක්මක් ඇති පරම්පරාවක් මතුදා බිහිවීමට ඉඩ තිබුණි. අප වැනි කුඩා රටකට මෙවන් ජාන සංසදයක් විනාශ වී යාම කිසිසේත් ඔරොත්තු නොදෙන වග රනිල් සේනානායක අවධාරණය කරයි. පාර්ලිමේන්තුව, පළාත් සභා හා ප්‍රාදේශීය සභා වැනි ආයතන තුළ නිස්සන් වෙනුවට පුස්සන් බිහිවූයේ අපගේ ජාන සංසදයට සිදුවූ බරපතළ හානිය නිසායැයි උපකල්පනය කළ හැකිය. නිමක් නැති ලේ වැගිරීම්වලින් හා අවි ගැටුම්වලින් මනස හිරිවැටී ඇති ශ්‍රී ලාංකික වැඩිහිටියන් තවමත් සිය ඡන්දය පාවිච්චි කරන්නේ පුස්සන් පාලකයන් කිරීමටය. එහෙයින් නිස්සන් වෙත පාලන බලය පැවරීමේ වගකීම (ඇමරිකාවේ ‘ආයෙත් බෑ’ ව්‍යාපාරය මෙන්) භාරගත යුත්තේ අප රටේ යෞවන යෞවනියන්ය.