විශ්වාසභංගය භංගවීමෙන් පසු

සුනන්ද දේශප්‍රිය

සෑම සතුටකම අවසානයක් තිබේ. විශ්වාසභංගකරුවන්ගේ සතුටද එලෙසින්ම බදාදා සැන්දෑවෙහි අවසාන වී ගියේය. ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාස භංගයේ ප්‍රධානතම ප්‍රතිඵලය වූයේ අගමැති වික්‍රමසිංහට නොතිබූ විශ්වාසයක් ලබා ගැනීමට හැකිවීමයි. එජාපයට දැන් නව පෙනුමක් ලබා ගැනීමට අවස්ථාව ලැබේ.
විශ්වාසභංගය වීරවංශගේ සහ ගම්මන්පිලගේ පුස් වෙඩිල්ල විය. මෙම පුස් වෙඩිල්ල නිසා එජාපය ශක්තිමත් වන බවට රාජපක්ෂ පිළේ උපාය ශිල්පියා වන බැසිල් රාජපක්ෂ දැරූ මතය තහවුරු වී තිබේ. එනයින් විශ්වාසභංගයේ දෙවැනි ප්‍රතිඵලය වනුයේ ඒකාබද්ධ විපක්ෂය තුළ බැසිල් රාජපක්ෂ ශක්තිමත් වීමය.
තෙවැනිව, විශ්වාසභංග දුවන කෝච්චියට පැන බෙල්ල දුන් ජනාධිපති සිරිසේන තවත් දුර්වල විය. ඔහුගේ ශ්‍රීලනිප කණ්ඩායම දැන් විසිරී ගොසිනි. පිරිසක් රාජපක්ෂ සමග හවුලේ ඡන්දය දුන්නේය. පිරිසක් ඡන්දය දීමට ආවේ නැත. රාජපක්ෂගේ විශ්වාසභංගයේ එල්ලී දෙව්ලොව යෑමට උත්සාහ දැරූ ගමරාළට වූදේ දැන් ජනාධිපති සිරිසේනට ද සිදුව තිබේ. ඔහුගේ පශ්චාත්භාගය බිම ඇනී ඇත.
විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමෙහිදී රාජපක්ෂවරුන් ලද ලොකුම පරාජය නම් කිසිදු දෙමළ හෝ මුස්ලිම් මංත්‍රීවරයකු විශ්වාසභංගයට පක්ෂව ඡන්දය නොදීමයි. රාජපක්ෂ කඳවුරෙහි යෝධයකු වන ආරුමුගම් තොණ්ඩමාන් පවා ඡන්දය දීමට ආවේ නැත. එමෙන්ම රාජපක්ෂවරුන් සමග එකට පළාත් පාලන මැතිවරණය කළ ඊපීඩීපී නායක ඩගලස් දේවානන්ද ඡන්දය දුන්නේ විශ්වාසභංගයට විරුද්ධවය.
රාජපක්ෂ දේශපාලනය හුදෙක් සිංහල බෞද්ධ දේශපාලනයකට හිර නොවී දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ සාධාරණ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කළ යුතු බවට මෙමගින් කැරෙන ඉඟිය ඉතා බලවත්ය. එමෙන්ම රාජපක්ෂ කඳවුරෙහි යෝජිත ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂටත් වඩා ඔහුගේ පරිවාර සේනාව වන අතිශය අන්තවාදී හිටපු යුදහමුදා පිරිස් විසින් මෙම තත්ත්වය එනම් දෙමළ මුස්ලිම් ජනයා තුළ රාජපක්ෂවරුන් වෙත ඇති භීතිය දෙගුණ තෙගුණ කරනු ඇති බවත් තේරුම් ගැනීම වටී.
පළාත් පාලන ඡන්දයේදි එජාපය සහ ශ්‍රීලනිපය ලද පරාජයට හේතුව බැඳුම්කර මඟඩිය බැවින් ඊට වගකිව යුතු රනිල් වික්‍රමසිංහ අගමැති කමින් ඉල්ලා අස්විය යුතු බවට සිරිසේන ගෙන ගිය ව්‍යාපාරයද විශ්වාස භංගය පරාජය වීම මගින් අවසන් වෙයි. තවදුරටත් ඉල්ලා අස්වන ලෙස වික්‍රමසිංහට බල කිරීමට දේශපාලන බලයක් හෝ සදාචාරමය අයිතියක් සිරිසේනට නැත.
2015 ජනවාරියේදී මෙරට මහජනයා විසින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු පිණිස සිරිසේන- වික්‍රමසිංහ හවුල වෙත ලබා දෙන ලද බලය ඇතුළතින්ම විනාශ වීම පටන් ගැනුණේ බැඳුම්කර මගඬියෙන් බවට සැකයක් නැත. බැඳුම්කර මඟඩියට නීතිමය වශයෙන් වික්‍රමසිංහ වගකිවයුතු වුවත් නැතත් දේශපාලනමය සහ සදාචාරමය වශයෙන් ඔහු වගකිව යුතුමය.
රනිල් වික්‍රමසිංහ විශ්වාසභංග යෝජනාව පරාජය කළේ ඔහුගේ වික්‍රමයක් හෝ ඔහුගේ දේශපාලනය නිසා හෝ නොවේ. විශ්වාසභංගයේදී දෙමළ මුස්ලිම් පක්ෂ ඊට විරුද්ධ වූයේ වික්‍රමසිංහට පක්ෂ නිසාම නොව රාජපක්ෂවරුන්ගේ යුදවාදී සහ අන්ත ජාතිවාදී දේශපාලනය සමඟ එකට හිට ගැනීමට වූ අකමැත්ත නිසාය. එමෙන්ම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 20 දදෙනෙකු පමණ ඡන්දය දීමට නොපැමිණියේද බොහෝ විට රාජපක්ෂවරුන්ගේ දූෂණ සහ භීෂණ දේශපාලනය සමග එකට එක්වීමට තිබූ අකමැත්ත නිසාය.

ඇත්ත වශයෙන්ම නම් විශ්වාසභංගයෙන් රනිල් වික්‍රමසිංහ දිනුවා නොවේ. සිදුවූයේ රාජපක්ෂවරු පැරදීමය. ඒ අව් අස්සේ ජවිපෙද පැරදුණි.
රාජපක්ෂවරුන් ශක්තිමක් වන බව දැන දැනත් ජවිපෙ විශ්වාස භංගයට පක්ෂ විය. විවේචනාත්මක විග්‍රහයන් ඉදිරිපත් කර ඉන් පසු ජන්දය නොදී සිටියේ නම් ජවිපෙට වැඩි විශ්වනීයත්වයක් දිනා ගැනීමට ඉඩ තිබුණි. දැනටමත් පළාත් පාලන මැතිවරණයේදී එය වටා රැස්වූ මධ්‍යස්ත මතධාරී පිරිස් ජවිපෙන් ඉවත්වීමට පටන් ගෙන තිබේ. හේතුව නම් එයට යථාර්ථවාදී දේශපාලන දැක්මක් නැතිකමයි. මෙම විශ්වාසභංගයේදීද එය පෙන්වූයේ තියුණූ දේශපාලන දැක්මක අඩුවයි.
විශ්වාසභංග දේශපාලන සුළිය තුළ වැඩිම අලාභහානි අත්කර ගත්තේ ජනාධිපති සිරිසේනය. ඔහු රාජපක්ෂ සමග දෙවරක් සාකච්ඡා කළේය. ජනාධිපති සිරිසේනද විශ්වාසභංගයට සහාය දක්වන බැවින් ජය සහතික යැයි කීවේ අන් කවරකුවත් නොව හිටපු ජනාධිපති රාජපක්ෂමය. රාජපක්ෂවාදී වෙබ් අඩවිකරුවෝ රාජපක්ෂ – සිරිසේන නව සමාගමය ගැන ඔජ වැඩූහ.
තමන්ගේ සහායද ලත් විශ්වාසභංගය පරදින බව දැනගත් සිරිසේන ශ්‍රීලනිපයේ අදහස නම් වික්‍රමසිංහ අගමැතිකමින් අස්වීම යැයි කියා අන්තිම තුරුම්පුවද ගැසුවේය. එහෙත් රනිල් ළඟ ඇති තරම් හාරත තුරුම්පු ඒ වන විට තිබුණි. සිරිසේනගේ තුරුම්පුව දෙකේ කොළයකට කැපී ගියේ ය.
වික්‍රමසිංහ ඒ තුරුම්පු ලබා ගෙන තිබුණේ දේශපාලනිකව යටත් වීම මඟිනි. ඔහුට සිය පුහු ආඩම්බරය පසෙක තබා පක්ෂයේ දෙවන පෙළට යටත් වීමට සිදුව තිබුණි. මේ තාක් කල් ඔහු පක්ෂය ලියා ගෙන තිබුණේ තමන්ට සහ රෝයල් කොලීජියේ මිතුරු හවුලටය. විශ්වාසභංගය අවසන් වූ වහාම එජාපයට නව නායකත්වයක් ලබා දෙන බවට ඔහු ගිවිස ගත්තේය. එසේ නොවී නම් වික්‍රමසිංහ බදාදා රැයෙහි දේශපාලනිකව දොයියන්නට හොඳටම ඉඩ තිබුණි. දැන් ඉතිං රෝයල් කොලීජියේ කල්ලිය එජාපයේ බලයෙන් පහ කළ යුතුය.
සිරිසේන බැරිම තැන (බොක්සිං ක්‍රීඩාවෙහිදී නොකළ යුතු යැයි සැළකෙන) පටියෙන් පහළ පහරක් ද එල්ල කර බැලුවේය. එනම් දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද මඟින් විශ්වාසභංගය පරාජය කළ හොත් නපුරු විපාක ඇතිවනු ඇතැයි වික්‍රමසිංහ බිය ගැන්වීමය. ඔහු නොකියා කීවේ එසේ වුවහොත් දෙමළ විරෝධී ප්‍රහාරයක් ඇතිවිය හැකි බවද? ඒ සඳහා ඔහුගේ අබසරණ බලකාය සූදානම්කර තිබුණේද? යැයි ඇසීමට අපට අයිතියක් තිබේ.
තමා බලයට පත් කරනු පිණිස දෙමළ සහ මුස්ලිම් ජනයාගේ ඡන්ද ඉල්ලා සිටි, එකී සුළුතර ප්‍රජාවන්ගේ අති බහුතරයක ඡන්දය ලබාගත් ජනාධිපතිවරයකුට දෙමළ සන්ධානයේ ඡන්දවලින් දිනුවොත් බලාගෙනයි කීමට ඇති අයිතිය කුමක්ද? පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් එකී විශ්වාසභංග විවාදයේදී කියා සිටි පරිදි එම ප්‍රකාශය ජාතිවාදී එකකි. එම ප්‍රකාශයෙන් අදහස් කැරුණේ මෙරට දෙමළ ජනයාගේ දේශපාලන නියෝජිතයින් පිටස්තරයින් පිරිසක් ලෙස සිරිසේන විසින් සලකන බවයි. මේ නම් ඇදහිය නොහැකි තරමේ පල්ලම් බැසීමකි.
අගමැති වික්‍රමසිංහ රැකගනු පිණිස යම් යම් සිවිල් සමාජ ක්‍රියාධර පිරිස්ද සිය ශක්තිය යෙදවූහ. එසේ නමුත් ඒ කිසිවකුට බැඳුම්කර මගඩියට වික්‍රමසිංහ දේශපාලනිකව වගකිව යුතු නැතැයි කිව නොහැක. මෙවැනි මහා පරිමාණ දූෂණයකට වගකිව යුතු සෑම දේශපාලනඥයකුම අධිකරණය පිටුපස සැඟවෙන්නේ නැතිව ඉල්ලා අස්විය යුතුව තිබුණි. එබැවින් වික්‍රමසිංහ රැක ගැනීමට ඉදිරියට ආ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගේ දැන් යුතුකම වන්නේ වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත්විය යුතු බව කියා සිටීමයි. ඔහුට ආණ්ඩුවේ වගකීමක් දැරීමට ඉඩ තබමින් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස අප කියා සිටිය යුතුය. ඔහුගේ විශ්වාසවන්තයකු වූ බැඳුම්කර මගඩිකරු අර්ජූන් මහේන්ද්‍රන් අධිකරණයට ඉදිරිපත් නොවී කට්ටි පැනීම ම වුව අගමැති කමින් ඉල්ලා අස්වීමට තරම් හේතුවකි.
මේ සමීකරණයම රාජපක්ෂටද අදාළය. රාජපක්ෂගේ ඥාතීත්වය නිසාම තානාපති තනතුරු ලද දෙදෙනෙක් එනම් උදයංග වීරතුංග සහ ජාලිය වික්‍රමසුරිය, මහා වංචාවන්ට හසුව දැන් මෙරට අධිකරණයෙන් කට්ටි පනිමින් සිටිති. වික්‍රමසිංහට බෙදෙන හැන්දෙන්ම රාජපක්ෂටත් බෙදිය යුතුය.
දැන් විශ්වාසභංග මහ දිය සුළිය නිසංසලය. එනමුත් පශ්චාත් දිය සුළි හෙට අනිද්දා මතුවනු ඇත. තවදුරටත් සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුවට එකට යා නොහැක. විශ්වාස භංගයට පක්ෂ වූ ඇමැතිවරු ආණ්ඩුව හැර යා යුතුය. සිරිසේන ටික දිනකට හෝ කට වසා ගත යුතුය. වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් බැස යාමට බඩු අස්පස් කරගත යුතුය.
ඉදිරි වසර දෙක තුළ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යාමටත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තවදුරටත් පුළුල් කිරීමටත් ඇති එකම විකල්පය ලෙස පෙනෙන්නේ අප කැමැති වුවත් නැති වුවත් එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් පවත්වා ගෙන යාමට අවස්ථාව ලබා දීමයි.
විශ්වාස භංග විවාදයේ සහ ප්‍රතිඵලයේ පණිවිඩය හවුල් ආණ්ඩුවකට නොවේ. මන්ද යත් සිරිසේන බිම ඇදවැටී ඇති බැවිනි.