සානුකම්පිත ජීවකයා විචාරශීලී හේතුවාදියා; වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

නාලක ගුණවර්ධන

පසුගිය සතියේ අප අතරින් වියෝ වූ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ වෛද්‍යවරයකුගේ සමාජ මෙහෙවර මැනවින් හඳුනාගෙන, වෙදකමට පමණක් සීමා නොවී ක්‍රියා කළ අසාමාන්‍ය චරිතයක්.

ඔහු ජීවකයෙක්, වෙද ඇදුරෙක්, ලේඛකයෙක්, සෞඛ්‍ය සන්නිවේදකයෙක් මෙන්ම හේතුවාදී චින්තකයෙක් ලෙසත් ඉමහත් සේවයක් කළා.

ඔහුගේ අභාවය ගැන දැනගත් වහාම මා සමාජ මාධ්‍යවල තැබූ සටහන මෙයයි:
“වෛද්‍ය විශේෂඥ හා සෞඛ්‍ය තොරතුරු සන්නිවේදනයේ සමතකු වූ දොස්තර ආරියසේන යූ ගමගේ අභාවය රටටම පාඩුවක්. පිලිකාවෙන් රෝගාතුරව සිටියදී පවා මිථ්‍යාවට, දුර්මතයට එරෙහිව ලියූ කියූ ඔහු සමාජ වගකීම් දැරීම ගැන සියලු වෘත්තිකයන්ට ආදර්ශයක්. සමාජමාධ්‍ය පොදු උන්නතියට යොදා ගන්න සැටි මැනවින් පෙන්වා දුන්නා.”
අප දෙදෙනා මුණගැසී හඳුනාගත්තේ මීට වසර කිහිපයකට පෙරයි. එහෙත් බොහෝ කලක් මා ඔහුගේ පාඨකයකුව සිටියා. එසේම ඔහුත් මගේ නිතිපතා පාඨකයකු බව දැනගත් විට එය මා උද්‍යොගිමත් කළා.

උගත්කමේ හා වෛද්‍යවරයකු වීමේ බොරු මාන්නයකින් තොරව පොළවේ පය ගසා ගෙන ජීවත් වූ මේ ජීවකයා, රෝගීන්ට පමණක් නොවෙයි රෝගී වූ ලක් සමාජයම සුවපත් කරන්නට වෙහෙස ගත්තා.

සංහිඳියාව ගැන ලොකුවට කථා කරනවා වෙනුවට ඔහු එය ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයේ ප්‍රගුණ කළා. දැනුම බදා ගෙන නොසිටි ඔහු එය දක්‍ෂ ලෙස බෙදාහදා ගත්තා.

1979දී මාවනැල්ලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා (MOH) ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹූ ඔහු පසුව කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා හැටියටද කටයුතු කළා. දිවයිනේ නොයෙක් ප්‍රදේශවල විවිධ මට්ටමේ අත්දැකීම් රැසක් ඔහුට තිබුණා.

පසු කලෙක ඔහු පේරාදෙණිය සරසවියේ, ප්‍රජා වෛi විiාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙසත්, ලේඛකයකු ලෙසත් මේ අත්දැකීම් හා ඒ පිළිබඳ සමාජ විiාත්මක විග්‍රහයන් බොහෝ දෙනකු සමග බෙදා ගත්තා.
පේරාදෙණියෙන් පසු මාවනැල්ලේ තමන්ගේම පෞද්ගලික ආරා්ග්‍යශාලාවක් පිහිටුවා ගත් ඔහු එහි අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළා. ඒ අතර සමාජ සේවයට, බිම් මට්ටමේ සිංහල-මුස්ලිම් සහජීවනයට මහත් දායකත්වයක් ලබා දුන්නා.

මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය කොල්වින් ගුණරත්න යන ගුරුවරුන්ගේ ආභාෂය සහිතව ප්‍රජා වෛද්‍ය විද්‍යාවට සිත් යොමු වූ බවත් ඒ නිසාම වෛද්‍ය විද්‍යා සන්නිවේදනය ප්‍රිය කළ බවත් ඔහු පැවසුවා.

ඔහු ජීවිත කාලය පුරාම නව දැනුම සොයා ගිය අයෙක්. වරක් ඔහු කළ ආවර්ජනයක් මෙසේයි: “දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය සඳහා යොද ගන්නේ කෙසේද කියා මම පර්යේෂණයක යෙදුණා. ඒ මගේ පශ්චාත් උපාධිය සඳහා. ඒ වෙනුවෙන් ඉන්දියාව නේපාලය, බුරුමය, තායිලන්තය, ඉන්දුනීසියාව සහ චීනය වැනි රටවලත් ලංකාවේත් දේශීය වෛද්‍යක්‍රම පිළිබඳවත් පර්යේෂණ කළා. අවුරුද්දක් පමණ ඉන්දියාවේ රැඳී සිටියා. එහිදී ආයුර්වේදය පිළිබඳව බොහෝ දේ ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. මේ විදියට ලබා ගත් දැනුම මහජනතාව වෙත ලබාදීම මට ප්‍රීතියක් ගෙන දුන්නා.”

සෞඛ්‍ය විද්‍යාත්මක ලිපි පුවත්පත්වලට මුලින් ම ලියන්න ඔහු පෙළඹුණේ පාසල් මිතුරකු වූ ප්‍රවීණ පුවත්පත් කලාවේදී සුන්දර නිහතමානි ද මෙල් නිසා. පුවත්පතකට මුලින්ම ලිව්වේ ‘රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්’ ලිපි පෙළයි. ඉන්පසුව ‘දියවැඩියාව දැන් සුවයි’ හා ‘ඇදුම දැන් සුවයි’ වැනි ලිපිමාලා රචනා කළා. ‘පුද්ගලිකයි රහසිගතයි’ලිපි මාලාවෙන් කථා කළේ ලිංගික අධ්‍යාපනය ගැනයි. පසුව එම ලිපි පොත් වශයෙන් පළවුණා.

ඔහු රෝගීන්ගේ සමාජ ආර්ථික පසුබිම මෙන්ම ආකල්ප හා විශ්වාස ගැනත් සංවේදී වුණා. මේ සංවේදී බව ඔහුගේ ලිපි ලේඛනවලින් මැනවින් පෙනී යනවා.

“රෝගියාගේ පපුවට වෙද නලාව තබා, පරීක්‍ෂා කර බෙහෙත් තුණ්ඩුවක් ලියා දීම වෛiවරයාගේ කාර්යභාරය ලෙස බොහෝ දෙනා කල්පනා කරති. එහෙත් එතැනින් ඔහුගේ කාර්යභාරය නිම වන්නේ නැත. රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යාමේදී වෛiවරු අපූරු අත්දැකීම්වලට මුහුණදෙති. සමහර අත්දැකීම් රසවත්ය. හාස්‍යජනකය. සමහර අත්දැකීම් විශ්මය දනවන සුළුය. සමහර ඒවා කටුක වූ අත්දැකීම්ය.”

ඔහු මෙසේ ලීවේ 2002දී පළ වූ ‘දොස්තර විස්තර’ නම් ඔහුගේ තුන්වන පොතෙහි පූර්විකාවේ.
වෛද්‍යවරුන් හැටියට රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ශාරීරික සාධක මෙන් ම මානසික සාධක ගැනත් සංවේදීවීම වැදගත් බව ඔහු අවධාරණය කළා. 1970 දශකය අගදී රජයේ රෝහල්වලට ආ සහ වාට්ටුවලට ඇතුඵ කරනු ලැබූ රෝගීන්ගෙන් සියයට හැට හැත්තෑවකගේ ම අතේ හෝ බෙල්ලේ හෝ ඇප නූල් ගැට ගසා තිබු සැටි ඔහු දොස්තර විස්තර පොතේ සිහිපත් කරනවා. ඒවා රෝගියා රෝහලට ගෙන එන්න පෙර කට්ටඩියකු විසින් ගැට ගැසූ පාර-වෛද්‍ය ප්‍රතිකර්මයි.
එවකට ගාලූ මහ රෝහලේ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරයාට මේ ඇප නූල් රුස්සන්නේ නැතිලු. ඔහු කියා ඇත්තේ ‘ලෙඩ සුව වෙන්නේ අපි දෙන බෙහෙත් ප්‍රතිකාර නිසා. ඒත් ඒකෙ ගෞරවය යන්නේ නූල් බැඳපු කට්ටඩියට!’
එක් දිනක් මේ විශේෂඥ වෛද්‍යවරයා කතුරක් ගෙන ඔහුගේ වාට්ටුවේ සිටි සියලූ රෝගීන්ගේ බැඳ තිබූ නූල් කපා දැමූ සැටි වෛද්‍ය ගමගේ විස්තර කරනවා. නමුත් ටික කලකට පසුව මේවායේ මනෝවිද්‍යාත්මක වැදගත්කම ගැන ඔහු අවබෝධ කර ගත් සැටි ද කියනවා.
වෛද්‍ය ගමගේ ඒ ලිපිය අවසන් කරන්නේ මෙහෙමයි. ‘ගාලු රෝහලට රෝගීන් මාරු කර එවන්නේ උඩුගම, ඇල්පිටිය, බද්දේගම, ආරච්චිකන්ද වැනි ග්‍රාමීය රෝහල්වලිනි. මෙසේ මාරු කර එවන රෝගීන් බොහොමයකගේ ඇඟෙහි ඇප නූල් ගැට ගසා තිබුණි. ඒවා නිකම් ම නිකම් නූල් කැබලි නොව ඒවා තුළ මිනිසාගේ සිතුම් පැතුම් සහ විශ්වාස රාශියක් කැටි කොට සඟවා ඇති බව තේරුම් ගැනීමට (විශේෂඥ වෛද්‍යවරයාට) ගත වූයේ සුඵ කාලයකි.’
වෛද්‍යගමගේ නිදහස් චින්තකයෙක්. ඒ කියන්නේ සාම්ප්‍රදායික ඇදහිලි හා ජන විශ්වාස මෙන්ම නූතන මිථ්‍යාවන්ද ප්‍රශ්න කළ,ඒවා දැඩි විමර්ශනයට හා විචාරයට ලක් කළ අයෙක්.

විශේෂයෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අදාළව මහජනයා මුලා කොට ‘හාස්කමින්’ ලෙඩ සුවපත් කරනවා යැයි කියන පුද්ගලයන් ඔහුගේ විමර්ශනවලට ලක් වුණා. හේතුවාදී විමර්ශක හා මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මෙවන් ගවේෂණ ගැන රසවත් තොරතුරු ලියා තිබෙනවා.

පුනරුත්පත්තිය ගැනවෛද්‍යගමගේට ලොකු කුතුහලයක් තිබුණා. පෙර ආත්මයන් ගැන මතකයෙන් කියනවා යයි වාර්තා වූ දරුවන් බලන්නටත් ගියා. එහෙත් ඔහු ගවේෂණය කළ කිසිදු අවස්ථාවක එබන්දක් දෙගිඩියාවෙන් තොරව සනාථ වූයේ නැහැ.

දොස්තර විස්තර පොතේ එක් පරිච්ඡේදයක මේ ගැන ඔහු වාර්තා කරනවා. “පෙර ආත්මය කියන පුද්ගලයන් පිළිබඳ මුල්වරට ශ්‍රීලංකාවෙන් වාර්තා වී ඇත්තේ 1960න් පසුවය. ඉන් පෙර අපේ රටේ කිසිවකු පෙර ආත්මය කියූ බවට ලිඛිත සාක්‍ෂි නොමැත.”

මෙසේ 1960න් පසු එවන් සිදුවීම් සිය ගණනක් වාර්තාවීමට මාධ්‍ය ආවරණය හේතු වූවා විය හැකිද?

මේ ආකාරයේ මාධ්‍යකරණය පටන්ගත්තේ 1960 ඔක්තෝබරයේ “සිළුමිණ” පුවත්පත ඇරැඹු ‘පුනරුත්පත්තිය හැබෑද?’ නම් ලිපිපෙළ හරහා බව ඔහු කියනවා. මේ ලිපි පෙළ ලියා ඇත්තේ මහනුවර එච්.එච්.එස්. නිශ්ශංක විසින්.

වෛද්‍ය ගමගේ ලියා ඇති පරිදි :“ඉන්දියාව, බුරුමය, යුරෝපය සහ අමෙරිකාවේ පුනරුත්පත්ති කතා ගැන ඔහු එම ලිපි පෙළේ සඳහන් කළේය. ඒ වන විට පෙර ආත්මවල තොරතුරු කිව හැකි එකද ළමයකු ලංකාවේ පහළ වී නැත්තේ කුමක් නිසාදැයි ඔහු ප්‍රශ්න කළේය. ඊට ප්‍රතිචාරයක් වශයෙන්, ශ්‍රී ලංකාවේද පෙර ආත්මය කියන ළමයින් ගැන තොරතුරු ඔහුට ලැබුණේය.”

1964දී සිළුමිණේ පළ වූ “ලංකාවේ ප්‍රථම ශාස්ත්‍රීය පුනරුත්පත්ති පර්යේෂණයට” පාදක කර ගත්තේ කොත්මලේ දිහින්තලාවේ ඥානතිලකා දැරියගේ කථාවයි. මෙය එකල මහත් ජන උනන්දුවක් ඇති කොට තිබෙනවා.

2001 පෙබරවාරියේ වෛද්‍ය ගමගේ, ඒ වන විට වයස 45ක් පමණ වූ ඥානතිලකා සොයාගෙන ගියා.

ඔහු සොයා ගත්තේ මෙයයි :‘ඇය සොයා ආ කාරණය පැහැදිලි කළ විට ඇය බියටත් කෝපයටත් පත් වූවාය. පෙර ආත්මය පිළිබඳව හෝ නැවත ඉපදීම පිළිබඳව කථා කිරීමට ඇය අකමැති වූවාය. ඇය කුඩා කලදී පුනරුත්පත්තිය පිළිබඳ ඇයට කිසිදු අවබෝධයක් නොතිබුණු බවත්, ඇයට ඇපල් හා මුද්දරප්පලම් දී චාටු කරගෙන යම් පිරිසක් විසින් පෙර ආත්මය පිළිබඳව මොන මොනවාදෝ කියවා ගත් බවත් ඇයට මතක බව ඈ පැවසුවාය.’

වෛද්‍යගමගේ විටෙක සානුකම්පිතවත්, තවත් විටෙක දැඩි විචාරශීලීවත් කළ මෙවන් විග්‍රහයන් පුවත්පත්, රේඩියෝ හා ටෙලිවිෂන් මහා මාධ්‍ය හරහා පමණක් නොව පසු කලෙක වෙබ් හරහාත් බෙදා ගත්තා.

ඔහුගේ වියේ පසු වූ බොහෝ වෘත්තිකයන් පවා සමාජ මාධ්‍ය ගැන වපර ඇසින් බලද්දී ඔහු ෆේස්බුක් හා යූටියුබ් සමාජ මාධ්‍ය වේදිකා සමාජ යහපතට යොදා ගන්නට නිර්මාණශීලීව හා විශාල කැපවීමකින් ක්‍රියා කළා.

එක් පසෙකින් යහපත් සෞඛ්‍ය පුරුදු හා නිරෝගී දිවිපෙවෙත ගැන මූලික දැනුම බෙදා දෙන්නටත්, තවත් පසෙකින් මිථ්‍යා විශ්වාස හා දුර්මතවලට එරෙහිව විiාත්මකදැනුම පැතිර වීමටත් ඔහු මාධ්‍ය ව්‍යක්ත ලෙස යොදා ගත්තා.එයට අමතරව ඔහු දිවයින පුරා විවිධ සභා අමතමින් රසවත් දේශන කළා.

අප අවසන් වරට හමු වූයේ 2017 ඔක්තෝබරයේ හේතුවාදී සංගමයේ රැස්වීමකදී. එදා මුඛ්‍ය දේශනය මා කළ පසුව ඔහු කෙටි එහෙත් ප්‍රබෝධමත් අදහස් දැක්වීමක් කළා.

ඒ වන විට පිළිකාවට ප්‍රතිකාර ගනිමින් සිටි ඔහු, සිය රෝගී තත්ත්වය නොවලහා හෙළි කළා. ඒ රැස්වීමේදී පමණක් නොව ලක්බිම ලිපිපෙළක් හරහාත්, වෙදසර යූටියුබ් චැනලයේ කෙටි වීඩියෝ මාලාවක් හරහාත් පිළිකාව සමග කරන පොරය අදියරෙන් අදියර විස්තර කළා.

පිලිකාව පිළිබඳ දුර්මත රැසක් දුරු කිරීමට ඔහු තමාගේම අත්දැකීම යොදා ගත්තා.
‘වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත් – පිළිකා රෝගියෙකුගේ ජීවන සටන’නම්
වෙදසර වීඩියෝ මාලාව මෙතැනින් බලන්න:

https://www.youtube.com/channel/UCWcRgo6IOdVzrKcQO3r0d3g

රෝගීව සිටියදීත් ඔහු දිගටම කාලීන වාදවිවාදවලට සම්බන්ධ වුණා. “වඳභාවය ඇති කරන බෙහෙත් කොහෙවත් නැහැ” කියන මාතෘකාවෙන් දිනමිණ පත්‍රයේ පළ වූ වාර්තාවක් ඔහුව උපුටා දක්වා තිබුණා. මෙය සමාජ මාධ්‍ය හරහා බෙහෙවින් සංසරණය වුණා.

එයට පැහැදිළි කිරීමක් වෛi ගමගේ, තවත් සමාජ මාධ්‍යයක් වන යූටියුබ් හරහා කෙටි වීඩියෝ පණිවුඩයකින් ලබා දුන්නා. 2017 ඔක්තෝබර් 29 වනදා ‘වෙදසර’ යූටියුබ් චැනලය හරහා ප්‍රකාශිත මේ වීඩියෝවේ ඔහු මෙසේ කීවා:

“කාන්තාවන්ගේ යට ඇඳුම්වලට රසායනික ද්‍රව්‍ය එකතු කරලා වඳභාවය ඇති කරන්න බැහැ. ඒ වගේම බ්‍රෙසියරවලට ජෙල් ද්‍රව්‍ය එකතු කිරීමෙන්වත්, ආහාරවලට රසායන ද්‍රව්‍ය එකතු කිරීමෙන්වත් වඳභාවය ඇති කරන්නටත් බැහැ. එහෙත් සමහර කෘෂි රසායන ද්‍රව්‍ය හා සමහර ඖෂධ දීර්ඝ කාලයක් භාවිත කිරීම මඟින් යම් කෙනකුගේ වඳභාවයක් ඇති වීමට නම් හැකියි. උදාහරණයක් නම් පිළිකාවට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා (ප්‍රබල ඖෂධ වන) කීමෝතෙරපි ඖෂධත්, විකිරණ ප්‍රතිකාරත් නිසා වඳභාවය හට ගන්නට පුළුවන්. එහෙත් ඔය ජනප්‍රිය මිථ්‍යාවේ කියවෙන ආකාරයට ඇඳුම්වලට හෝ ආහාරවලට යමක් මිශ්‍ර කරලා නම් කිසිවකු වඳ බවට පත් කරන්නට නොහැකි බවයි මා කීවේ. එසේම පවුල් සැළසුම් ක්‍රමයක් ලෙස දැනට රජය හා ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් අනුමත කළ ගිලින පෙති හා වෙනත් ක්‍රම හරහා තාවකාලික නිසරු/මදසරු බව ඇති කිරීම කරන බවත් අප දන්නවා.”

වියෝ වීමට ටික කලකට පෙර පුවත්පතකට ඔහු කී මේ වැකියෙන් ඔහුගේ සමස්ත දිවි ගමන කැටි කරනවා: “මේ අවුරුදු 65 ක කාලය තුළ අවුරුදු 100 ක වැඩ මම කරලා තියෙනවා. මගේ පවුලේ උදවියටත් රටටත් මම හොඳින් යුතුකම් කළ කෙනෙක්. ලෝකය පුරා ඉන්න බොහෝ දෙනකුගේ ආශිර්වාදය මට තියෙනවා.”
පරලොවක් හෝ නිවනක් ගැන විශ්වාස නොකළ ඔහුගේ අභාවයෙන් පසු ඔහුව බලෙන්ම නිවන් යැවීමට ඔහුගේ ෆේස්බුක් සහෘදයන් සමහරෙක් දෙනා ලොකු උත්සාහයක යෙදුණා.