ග්ලයිෆොසේට් තහනම හා ආණ්ඩුවේ කොන්ද පන නැති කම

අචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ

දිනපතා පත්‍ර කීපයක පලවූ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට විරුද්ධව රජයේ වෛද්‍ය සංගමය කරන ලද ප්‍රකාශනය කියවා මම පුදුමයට පත්වීමි. එම සංගමය ග්ලයිෆොසේට් සම්බන්ධව මෙවැනි ප්‍රකාශනයක් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2014 වසරේ රජරට විශ්ව විද්‍යාලයේ විද්වතුන් කීප දෙනෙක් විසින් විද්‍යා සඟරාවක පලකරන ලද මෙම වල්නාශකය රජරට වකුගඩු රෝගයට පාදක විය හැකියැයි යන කල්පිතයක් මත මෙම සංගමය මඟින් ග්ලයිෆොසේට් තහනමට සහය ප්‍රකාශ කරන ලදී. එහෙත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා මහාචාර්යවරුන් කීප දෙනෙක් ඇතුළු විද්වතුන් බොහෝ දෙනෙක් මෙම කල්පිතය පිළිගත් රසායනික විද්‍යා මූල ධර්මයනට පටහැනියයි ද, එය කිසිසේත් පිළිගත නොහැකියයිද ප්‍රකාශ කරන ලද අතර කිසිම විද්‍යා ප්‍රකාශනයක් මෙම කල්පිතයට සහය දක්වනු දක්නා නොලදිමු. ඇත්තෙන්ම මේ දොස්තරලා විද්‍යාත්මක කරුණු ගැඹුරින් නොසලකා මෙවැනි ප්‍රකාශ කිරීම මහජනයා මුලාකිරීමක් නොවේද? දවසේ බොහෝ කාලයක් “පොල් කැඩීමට” (පුද්ගලික රෝගීන් බැලීමට) වැය වන බැවින් විද්‍යාත්මක කරුණු හැදෑරීමට ඔවුන්ට කල් නොමැතිවිය හැක.
මෙම වල්නාශක තහනම ඉවත් කිරීමට තදින්ම විරුද්ධ වනුයේ රතන තෙර වන අතර සෞඛ්‍ය ඇමති ද විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. වරක් රතන තෙර “රසායනික කෘෂිකර්මයෙන් ඉවත් වියයුතු මයි” නමැති මාතෘකාව යටතේ රාවය පත්‍රයේ පල කළ සංවාද ලිපියක හාස්‍යජනක ප්‍රකාශයක් කර තිබුණි.
“කැලෑගස් වැවෙන්නේ පොහොර යොදා දැයි” එම ප්‍රකාශය විය. කෘෂිකර්ම හා පරිසර විද්‍යා මූලධර්මයවත් නොදන්නා මෙම හාමුදුරුවෝ වස විසෙන් තොර කෘෂිකර්මය සම්බන්ධව ජනාධිපති උපදේශකවරයෙකි. අප පුදුම විය යුත්තේ වෛද්‍ය විද්‍යා පසුබිමක් ඇති සෞඛ්‍ය ඇමතිවරයාද කරුණු ගැඹුරින් නොසොයා කරන ප්‍රකාශ නිසාය. මාධ්‍ය ද මෙම ප්‍රශ්නයේ දී කරුණු ගැඹුරින් විග්‍රහ නොකොට මහජනයා නොමග යවන ප්‍රකාශ කිරීම ඉතා කනගාටුදායකවේ.
අප ග්ලයිෆොසේට් ප්‍රශ්නය ගැන මෙම පත්‍රයේද කීපවිටක් මීට පෙර කරුණු පැහැදිලි කර ඇත්තෙමු. එහෙත් මෙම අවස්ථාවේ නොයෙක් මත ප්‍රකාශ කරන අයගේ දැන ගැනීම සඳහා එම කරුණු සැකවින් සටහන් කිරීම උචිත යැයි සිතමු.
2013 වසරේ රජරට වකුගඩු රෝගය සම්බන්ධව කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධාන අධය්‍යනය ග්ලයිෆොසේට් සම්බන්ධව සදහන් කරන ලද්දේ වකුගඩු රෝගීන් 3ග5්‍ර ක මූත්‍රාවල ග්ලයිෆොසේට් ඉඩ දිය හැකි ප්‍රමාණය ඉක්මවා ඇති වගයි. එහෙත් පර්යේෂණයේ රෝගී නොවු අයගේ මූත්‍රාවල ග්ලියෆොසේට් ප්‍රමාණයක් ගැන කිසිදු සඳහනක් නොතිබුණි. පුදුමය වූයේ එම දත්තයන් ද ගණනය කරන ලද මුත් වාර්තාවේ ප්‍රකාශ නොකිරීමයි. පසු කාලයකදී එම දත්තයන් නැවත විග්‍රහ කිරීමේදි පෙනීගියේ නිරෝගි ජනයාගෙන් 7%ක මූත්‍රාවල ග්ලයිෆොසේට් ඉඩදිය හැකි ප්‍රමාණය ඉක්මවා ඇති වගයි. එපමණක් නොව ගවේෂණය කරන ලද මූත්‍රවල වල්නාශක හා කෘමිනාශක ඉඩදිය හැකි ප්‍රමාණය ඉක්මවූ ජනයා රෝගීමෙන් දෙගුණයකටත් වඩා නිරෝගී අය අතර විය. එසේනම් කෘමිනාශක හෝ වල්නාශක මෙම රෝගයට පාදකයැයි සැලකිය හැකිද?
2016 කොළඹ පවත්වන ලද (මා ද සහභාගී වූ) ලෝක සෞඛ්‍ය සංවිධාන ජාත්‍යන්තර විශේෂඥ සමුළුවේදී ද තීරණය වූයේ ග්ලියෆොසේට් හෝ වෙනත් කෘෂිරසායනිකයන් මෙම රෝගයට පාදකයැයි සැක කිරීමට පිලිගතහැකි සාධක නොමැති වගයි. එපමණක් නොව ඉහත සඳහන් කල්පිතයේ ප්‍රධාන නිර්මාතෘවරයාද මෙම සමුළුවට සහභාගිවිය. ග්ලයිෆොසේට් වකුගඩු රෝගයට සම්බන්ධ යැයි කල්පිතය ගැන ප්‍රශ්න කරන ලදුව ඔහු කියාසිටියේ තමා ග්ලයිෆොසේට් වකුගඩු රෝගයට සම්බන්ධයැයි කියන ප්‍රකාශ කර නොමැති වගයි. සමහරවිට එම අවස්ථාවේදී ඔහු සඳහන් කිරීමට තැත්කලේ එය කල්පිතයක් පමණක් වග විය හැක.
ලංකාවේ කෘමිනාශක රෙජිස්ට්‍රාර්ගේ ප්‍රකාශිත පර්යේෂණ දත්තයන් අනුව ජලයෙහි හා ආහාරවල ඇති ග්ලයිෆොසේට් ප්‍රමාණයන් පිළිගත් අවදානම් ප්‍රමිතියට වඩා ඉතා අඩු වේ. . ග්ලයිෆොසේට් වකුගඩු රෝගයට පාදක වේ යැයි සදහන් කර ඇති, ඉහත සඳහන් රජරට විශ්වවිද්‍යාල විද්වතුන්ගේ පර්යේෂණ වල පවා ඇති ප්‍රමාණයන් ජලය කොටස් බිලියනයක ඇත්තේ ග්ලයිෆොසේට් කොටස් බිලියන 0.7 සිට 3.5 ක් වැනි ප්‍රමාණයන් වන අතර යුරෝපීය සංගමයේ ඉඩදිය හැකි ප්‍රමාණය ජලය කොටස් බිලියනයකට එම රසායනික කොටස් 200 වේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ග්ලයිෆොසේට් භාවිතය ආහාර බෝගයනට ප්‍රථම වරට නිර්දේශ කරන ලද්දේ 1994 වසරේ වුවද එවකට විශාල වශයෙන් භාවිතා වූ ග්‍රැමොක්සෝන් නොහොත් පැරකොට් ග්ලයිෆෝසේට් වලට වඩා ඉතා ලාභදායී බැවින් කිසිවෙක් ග්ලයිෆොසේට් භාවිතා නොකළහ. එහි භාවිතය වර්ධනය වූයේ 2007 වසරේ ග්‍රැමැක්සෝන් තහනම් කිරීමෙන් පසුවය. එවකට ග්ලයිපොසේට් හි ‘පේට්න්ට්’ බලයද අහෝසි වීම සමඟ මිල පහත වැටීම දැඩි භාවිතයට හේතු විය. එහෙත් රජරට වකුගඩු රෝගය ප්‍රථමයෙන් හඳුනා ගන්නා ලද්දේ 1990 වසරේදීය. එනම්, ග්ලයිෆොසේට් භාවිතයට වසර කීපයකට පෙරය.
රෝගය සම්බන්ධව මෑතකදී හඳුනාගත් ඉතා වැදගත් කරුණක් වනුයේ රජරට උස්බිම් හි ඇති ළිං වල ජලය භාවිතා කරන අයට රෝගය වැළදෙන අතර වැව්, ගංඟා හෝ උල්පත් ජලය භාවිතා කරන අයට එසේ නොවෙන වගයි. කෘෂිරසායනිකයන් රෝගයට හේතු වේ නම් ගංඟා හා වැව් ජලය භාවිතා කරන අයට රෝගය සෑදිමේ ප්‍රවණතාව වැඩි විය යුතු නොවේද?
මෙම කරුණ මනාව පැහැදිලි වනුයේ රෝගය බහුල ගිරාඳුරුකෝට්ටේ ගම්මානයක් වූ ගින්ඕරුවෙන්ය. මෙහි බදුලුපුර නමැති උස් බිමේ පිහිටි ගමක්ද සාරභූමි නමැති කුඹූරු සහිත පහත් බිම් හි පිහිටි ගමක්ද ඇත. බදුලු පුර ජනයාට වකුගඩු රෝගය බහුලව වැළඳී ඇති අතර සාරභූමි ගමේ එක අයකුට හැර අන් කිසිවෙකුට රෝගය වැළඳී නොමැත. එම රෝගියාද බොහෝ කලක් බදුලු පුර සිට සාරභුමියේ පදිංචියට පැමිණි අයෙකි. සාරභූමියේ ජනයා බොන ජලය ලබා ගන්නේ එහි ඇති ගංඟාවෙන් හා වැවෙන්ය. පවුල් කිහිපයක් වැව ආශ්‍රිතව කපාගත් ළිං වලින් ද වතුර ලබා ගනී. 2015 වසරේ එක්තරා ව්‍යාපෘතියක් මගින් බදුලුපුර රෝගී ගෙවල් 25කට වර්ෂා ජලය භාවිතය සඳහා ජල ටැංකි සපයන ලදුව එම පවුල් වලින් මෑත කාලයේ අලුත් රෝගීන් වාර්තා නොවේ යයිද ගම්මු පවසති. එසේනම් පැහැදිලිව පෙනී යන්නේ මෙම රෝගය භූගත ජලය හා සම්බන්ධ වගයි.
අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි ළිං 176,000 ඇතැයි වාර්තාවේ. මෙම ළිං බොහෝමයක කිවුල් ජලය ඇති අතර විශේෂයෙන්ම පායන කාලයේදී ෆලෝරයිඞ් (Fluoride) ප්‍රමාණය වැඩි වීමේ ප්‍රවණතාවයක් ද ඇත. විශේෂයෙන්ම ෆ්ලෝරයිඞ් වකුගඩුවලට හානිදායී වග පිලිගත් කරුණකි.
කරුණු මෙසේ පැහැදිලිව තිබියදී ග්ලයිෆොසේට් තහනම ඉවත්කිරීම සම්බන්ධව රජයේ දෙගෙඩියාව කනගාටුවට කරුණකි. 2016 ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මන්ත්‍රණ වාර්තාව ජනාධිපතිට පිරිනමන අවස්ථාවේ එයට කෘෂි රසායනික ද්‍රව්‍යයන් හේතු කාරක වී දැයි දීර්ඝව සාකච්ඡා කළමුත් සහභාගි වූ විද්වතුන් එසේ විශ්වාස කිරීමට හේතු නොමැති වග ජනපතිට පැහැදිලිව ප්‍රකාශ කළ බව ආරංචි මාර්ග මඟින් දැන ගැනීමට හැකිවිය. එම වාර්තාව ජනාධිපතිවරයාට ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කදිම අවස්ථාවක් විය. එය ඔහුගෙන් ගිලිහි යෑම කනගාටුවකි. තවද, ජනාධිපති වකුගඩු රෝග කාර්ය සාධන බලකාය හරහා මේ සම්බන්ධව විමර්ශනය කොට තීරණයක් ගැනීමට ද ඔහුට අවස්ථාව තිබුණි.
එපමණක් නොව කෘමිනාශක සම්බන්ධ රජයේ තාක්‍ෂණික උපදෙස් කමිටුව ඉතා විස්තරාත්මක වාර්තාවක් හරහා ග්ලයිෆොසේට් වකුගඩු රෝගයට පාදක නොවන වගද එමෙන්ම මෙම වල්නාශක තහනම් කිරීමෙන් ලාංකික කෘෂිකර්මයට ඇති වී ඇති අගතියද පැහැදිලි කර රජයට දන්වා ඇතැයි වාර්තා වී ඇත. ලංකාවේ සියළු කෘෂිකර්ම පර්යේෂණ ආයතනයන් හි කෘෂිනාශක කටයුතු සම්බන්ධ විශේෂඥයෝ එම කමිටුව නියෝජනය කරති. මෙයට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වකුගඩු රෝග පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය මඟින් 2015 වකුගඩු රෝගයට ග්ලයිෆොසේට් සම්බන්ධයැයි විද්‍යාත්මක හේතු නොමැති යැයි පෘථුල වාර්තාවක් ද ඊට අමතරව ජාතික විද්‍යා විද්වතුන්ගේ සංගමය ද එම වසරේම එවැනිම වාර්තාවක් රජයට හා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන කළහ. එසේ තිබියදී 2017 මාර්තු මස 27 වැනි දින කෘෂිකර්ම ඇමති ද වැවිලි කර්මාන්ත ඇමති ද සෞඛ්‍ය ඇමති හා රතන හිමිද ඇතුලත් ග්ලයිෆොසේට් ගැටලුව විසදීමට තවත් කමිටුවක් පත් කරන ලදැයි වාර්තා වී ඇත. මෙහි කෘෂිකර්ම හා වැවිලි ඇමති ග්ලයිෆොසේට් තහනම ඉවත්විය යුතු යැයි තරයේ කියා සිටින අතර අන් දෙපොල එයට විරුද්ධ වග පැහැදිලිව පවසා ඇත. එබැවින් සාධාරණ විසඳුමකට මෙම කමිටුව පිවිසේයැයි සිතිය නොහැක.
සිදුවිය යුතුව තිබුණේ අපක්‍ෂපාති විද්වතුන්ගේ කමිටුවක් හරහා තීරණයක් ගැනීමයි. ඇත්තෙන්ම ජනාධිපතිට හා රජයට එවැනි අවස්ථා කීපයක් තිබුණ ද නිර්භයව මෙතෙක් තීරණයක් නොගැනීම කනගාටුවට කරුණකි. තීරණ ගැනීමට පිට කොන්ද පනනැතිවීම මෙම රජයේ පසු බෑමට ප්‍රධාන හේතුවක් බවද කිව යුතුවෙයි.