රාවය

සිරිසේන – වික්‍රමසිංහ දෙදෙනා ද මනුෂ්‍යයෝය.

සිරිසේන – වික්‍රමසිංහ දෙදෙනා ද මනුෂ්‍යයෝය.

ජයදේව උයන්ගොඩ

‘සිරකරුවෝත් මනුෂ්‍යයෝය’ යනු පසුගිය කාලයේ වැලිකඩ සිරගෙදර තාප්පයේ, අඟුරු වැනි කළුපාටින් ලියා ප්‍රදර්ශනය කර තිබුණු පාඨයකි. එය බන්ධනාගාර කොමසාරිස්තුමාගේද අවසරය ඇතිව, සිරකරුවන් පිරිසක් විසින්ම සිත්තම් කරන ලද්දකැයි එය දකින විට කෙනෙකුට හැඟේ. එහි සරල අර්ථයක් සහ අහිංසක ආයාචනයක් ගැබ්වී තිබිණ. එය නම් ‘සිරකරුවන් වුවත් අපිත් මනුෂ්‍යයෝ වෙමු. කරුණාකර අපට මනුෂ්‍යයන් ලෙස සලකන්න.’ යන්නයි.
බොරැල්ල පසුකර යද්දී මේ පාඨය දුටු සෑමවිටකම, එහි සංශෝධනයක් මගේ සිතට ආවේය. එය නම් ‘දේශපාලකයෝත් මනුෂ්‍යයෝය’ යන්නයි. එය පසුගිය කාලයේදී ලංකාවේ දේශපාලනඥයන් පාර්ලිමේන්තුව සහ හිරගෙදර අතර මාරුවෙමින් ජීවත්වීම නිසා ඇතිවූ ප්‍රතිචාරයක්ම නොවේ. දේශපාලනඥයන් සංකීර්ණ මනුෂ්‍ය පිරිසක්ය යන වටහා ගැනීම වෙතින් පැන නැගුණකි. ‘අපිත් මනුස්සයො. අපි ඉතින් වැරදි තමයි වැඩිය කරන්නෙ, අපිව තේරුම් ගන්න.’ යන ආයාචනය එහි ගැබ්වී තිබේ.
මේ දිනවල මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ දෙපළ ප්‍රධාන රංගධරයන් වී සිටින දේශපාලන නාටකය දෙස බලා සිටින කෙනෙකුට, ඔවුන් දෙදෙනාම ගැන කෝපයක් මෙන්ම අනුකම්පාවක්ද ඇතිවීම වැළැක්විය නොහැකිය. මක්නිසාදයත්, ඔවුන් දෙදෙනාම ‘අපිත් මනුෂ්‍යයෝ වෙමු’ යන ප්‍රභේදයට අයත් වන නිසාය.
‘දේශපාලකයෝත් මනුෂ්‍යයෝය’ යන තේරුම් ගැනීම පදනම් කරගෙන, රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන යන දේශපාලනඥයන් දෙදෙනා ගැන සමතුලිත ඇස්තමේන්තුවක් කිරීම සඳහා උත්සාහයක් ගැනීම නරක නැහැ නේද? යන අදහස ඊයේ පටන් මගේ සිතේ මෝරමින් පවතී. මෙම රචනය ඒ සඳහා ගන්නා පළමු උත්සාහයකි. මෙම ලිපිය ‘රාවයේ’ පළවන්නේ සිකුරාදාය. ඒ වනවිට විශ්වාසභංග යෝජනාව තීන්දු වී බොහෝ අනපේක්ෂිත දේශපාලන ප්‍රතිඵලද ඇතිවී තිබෙන්නට පුළුවන. මගේ මේ ප්‍රශ්නය ඊට පෙර ගත යුතුය. මන්දයත්, මෙම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ගැන කරන මෙම විචාරාත්මක ඇගැයීම, අප්‍රේල් හතරවැනිදා රාත්‍රියේ සිදුවන විශ්වාසභංග යෝජනාවේ තීන්දුවේ බලපෑමෙන් තොරව, ඊට පෙර කරන්නේ නම් වඩා හොඳ නිසාය.
මේ රචනයේදී මා යොදා ගන්නා විධික්‍රමික උපක්‍රමය මෙසේය. මේ නායකයන් දෙදෙනාගෙන් එකිනෙකා දැනට ප්‍රදර්ශනය කර ඇතැයි මා දකින සාධනීය සහ නිෂේධනීය ලක්ෂණ දෙක බැගින් මම කෙටියෙන් සඳහන් කරමි. පළමුවෙන් මා හඳුනාගන්නේ ඔවුන්ගේ සාධනීය ලක්ෂණයි. පළමුවෙන් මගේ විග්‍රහයට ලක්වන්නේ අදත් අගමැති වශයෙන් සිටින රනිල් වික්‍රමසිංහ මහතාය. දෙවැනිව ජනාධිපති සිරිසේන මහතාට මගේ අවධානය යොමුවේ.
මට තිබෙන අභියෝගය නම්, ටෙලිවිෂන් සම්මුඛ සාකච්ඡා රැපීඞ් ෆයර් ප්‍රශ්නෝත්තර සැසිවලදී සිදුවන පරිදි මේ දෙදෙනාගේ ප්‍රධාන සාධනීය ලක්ෂණ දෙක බැගිනුත්, නිෂේධනීය ලක්ෂණ දෙක බැගිනුත් වහාම හඳුනාගෙන මෙම සාකච්ඡාව ඒවා සඳහා සීමා කිරීමයි. මනුෂ්‍යයින්ද වන ඔවුන්ට සාධනීය හා නිෂේධනීය ගති ලක්ෂණ බොහෝ තිබේ. මෙය ලියන මා සහ කියවන ඔබ මෙන්ම, මේ දෙපළද සංකීර්ණ මනුෂ්‍යයන්ය. පුරවැසියන් වන අප බොහෝ විට අමතක කරන දෙයක් නම්, දේශපාලන නායකයන්ගේ මෙම මනුෂ්‍ය ස්වභාවය අමතක කර, ඔවුන් ගැන අප සිත්වල තිබෙන අපේක්ෂාවන්ට අනුව ඔවුන් ක්‍රියාකරතැයි අපේක්ෂා කිරීමයි; ඔවුන් එසේ නොකරන විට, ඔවුන් ගැන කෝපයට හා කලකිරීමට පත්වීමයි. මේ අනුව, ‘පුරවැසියන් වන අපිද මනුෂ්‍යයෝ වෙමු.’
දැන් අපේ විග්‍රහයට බසිමු. මෙතැන් සිට ‘මහතා, මැතිතුමා, ගෞරව පදවලින් හැකිතාක් වළකිමින්, මෙම නායකයන් දෙදෙනා ඔවුන්ගේ නම්වලින් පමණක් හඳුන්වමු.
රනිල් වික්‍රමසිංහ : සාධනීය ගති ලක්ෂණ දෙකක්
පළමුවැන්න නම්, වික්‍රමසිංහ ලංකාවේ දැනට පාර්ලිමේන්තුවේ සිටින මධ්‍යස්ථවාදී (Moderate) දේශපාලනඥයන් අතර ඉදිරියෙන්ම සිටින දේශපාලනඥයා වීමයි. වික්‍රමසිංහ ජාතිවාදියකු නොවේ, ආගම්වාදියකු නොවේ. ඔහු මැතිවරණ ජයග්‍රහණය සහ දේශපාලන ඵල ප්‍රයෝජන සඳහා ජාතිවාදය හෝ ආගම්වාදය හෝ කුලවාදය වැනි පහසු මාධ්‍යයයන් යොදාගත්තේ නැත. වික්‍රමසිංහ දේශපාලන අධිකාරවාදියෙකු හෝ අන්තවාදියෙකුද හෝ නොවේ. ජේ.ආර්. ජයවර්ධනගේ බෑණා සහ ගෝලයෙකු වශයෙන් ප්‍රසිද්ධ නමුදු, රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් කිට්ටුවන්නේ ජේ.ආර්. ජයවර්ධනට නොව ඩඞ්ලි සේනානායකගේ මධ්‍යස්ථවාදී ලිබරල්වාදයටයි. රනිල් වික්‍රමසිංහ ජේ.ආර්. ජයවර්ධනගෙන් ඉගෙන ගෙන තිබෙන්නේ දේශපාලන උපක්‍රම පිළිබඳ කලාවයි. ජයවර්ධනගේ අධිකාරවාදය නොවේ.
දෙවැනි සාධනීය ගති ලක්ෂණය නම්, ඉහත ඡේදයේද සඳහන් කළ පරිදි, රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් ලිබරල්වාදියකුවීමයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බලනවිට රනිල් පැරණි ගුරුකුලයේ දේශපාලනඥයෙකි. එවැනි අය දැන් ලංකාවේ පාර්ලිමේන්තුවේ ඇත්තේ දෙතුන් දෙනෙකි. ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර්. සම්බන්දන් රනිල් වික්‍රමසිංහද අයත් වන පැරණි සම්ප්‍රදායේ ලිබරල් දේශපාලනඥයෙකි. ලංකාවේ දේශපාලනයේ දැනට තිබෙන අවාසනාවන්ත තත්ත්වයක් වන්නේ, දේශපාලනඥයන්ගෙන් අතිබහුතරය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යන්නේ කුමක්දැයිවත් නොදන්නා අයවීමයි. ඔවුන් බොහෝ දෙනා ඉතා පහසුවෙන් වර්ගවාදයට, ජාතිවාදයට, අධිකාරවාදයට යොමුවන්නේ ඒ නිසාය. ඔවුන් දෙස බලන විට පෙනෙන්නේ, රනිල් වික්‍රමසිංහ සමහරවිට ලංකාවේ දේශපාලනඥයන් අතර සිටින අවසාන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියාද විය හැකි බවයි.
රනිල් වික්‍රමසිංහ: නිෂේධනීය ලක්ෂණ දෙකක්
පළමුවැන්න, දේශපාලන වශයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙකු වන ගමන්ම, රනිල් වික්‍රමසිංහ ආර්ථික වශයෙන්ද පටු ‘නිදහස් වෙළෙඳපොළ’ ලිබරල්වාදියකුවීමයි. නව ලිබරල්වාදී ආර්ථික ධර්මය, සංශෝධනයකින් තොරව, ලංකාව වැනි සමාජයකට ගැළපෙන පරිදි වෙනස් කරන්නේ නැතිව, ක්‍රියාත්මක කිරීමේ දේශපාලන වරද මෙන්ම දේශපාලන ස්වයං-විනාශකාරී ප්‍රතිඵලද ගැන අවබෝධ කර නොගැනීමට ඔහු දිගින් දිගටම දක්වා ඇත්තේ පුදුමාකාර දක්ෂතාවකි.
2002-2004 කාලයේ පැවති ඔහුගේ නායකත්වයෙන් පිහිටුවන ලද එජාප ආණ්ඩුව ආපසු ගොඩ ඒම බොහෝ දුෂ්කර පරාජයකට පත්වූයේ මෙම අනවබෝධය නිසාය. දැනට පෙනෙන්නේද එම අනවබෝධය ගැන අවබෝධයක් එතුමාට නැති බවයි. පසුගිය පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේදී එතුමා කළ කතාවල ගැබ්වී තිබුණ නව ලිබරල්වාදී ධර්මය කොතරම් යල්පැනගිය එකක්දයත්, එජාපයට පරාජය මිස ජයග්‍රහණයක් හිමිවන්නට නොහැකිය. ඔහු රටේ සෑම ඡන්දදායකයෙකුටම ආමන්ත්‍රණය කළේ, “ඡන්දදායකයා යනු පොකට් එකේ ඉතිරි වී තිබෙන මුදල් ගණන් කිරීම මිස වෙන දෙයක් ගැන නොසිතන පාරිභෝගිකයකු” ලෙසය. මෙය වනාහී මනුෂ්‍යයා යනු ආර්ථික මිනිසෙකි. යන සම්භාව්‍ය ලිබරල්වාදී ධර්මයේත්, ‘පුරවැසියා යනු පාරිභෝගිකයෙකි’ යන නව ලිබරල්වාදී ධර්මයේත් ඇති මූලික ඉගැන්වීම් ඕනෑවටත් වඩා විශ්වාස කරන දේශපාලනඥයකුගේ දුර්වලකමකි.
දෙවැනි නිෂේධනීය ලක්ෂණය නම්, දේශපාලන බලය තමන් අතට ලැබුණත්, එය බැරෑරුම්ව වගකීමෙන් යුතුව සහ තමා බුද්ධිමය වශයෙන් විශ්වාස කරන පරිවර්තනීය ව්‍යාපෘතිය සාර්ථකව අවසානයක් කරා ගෙනයෑමට අවශ්‍ය කැපවීම, නිර්භීතභාවය සහ නොසෙල්වෙන අධිෂ්ඨානය එතුමාට නොතිබීමයි. දේශපාලන බලය තමන්ගේ ඔඩොක්කුවට වැටුණ පසුත්, එය ඔඩොක්කුවෙන් බිම වැටෙන්නට ඉඩදී බලා සිටීම දේශපාලනඥයකුගේ ශක්තියක් නොව බරපතළ දුර්වලතාවකි. දේශපාලන කළමනාකරුවකු වශයෙන් ඔහු සතු දුබලතාවද මේ හා සම්බන්ධය.
මෛත්‍රීපාල සිරිසේන: සාධනීය ලක්ෂණ දෙකක්
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සතු වැදගත්ම සාධනීය ලක්ෂණය ලෙස මා දකින්නේ ඔහුගේ ග්‍රාමීය, නිර්ප්‍රභූ සමාජ මූලය සහ පසුබිමයි. විසිවැනි සියවසේ ලංකාවේ දේශපාලන පරිවර්තනයේ තිබුණු එක් ප්‍රධාන ප්‍රතිවිරෝධතාවක් වූයේ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් ලෙස පැතිරෙමින්, නිර්ප්‍රභූ සාමාන්‍ය පුරවැසියන් දේශපාලන බලයේ පදනම බවට පත්වෙද්දී, දේශපාලන නායකත්වය උඩරට සහ පහතරට ප්‍රභූ පවුල් කිහිපයට සීමාවී තිබීමයි. එය වෙනස්වීමට ඉඩ තිබුණේ ප්‍රේමදාස ජනාධිපතිවරයා දිගටම බලයේ සිටියා නම් පමණි. මහින්ද රාජපක්ෂගෙන් පවා මෙම දේශපාලන නායකත්වය සමාජමය වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී කිරීමේ කාර්යය සිදුවූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ එම ක්‍රියාවලිය විකෘතිවීමකි. එය තවදුරටත් විකෘතිවීම වළක්වා, සමාජමය අර්ථයෙන්ද, දේශපාලන අර්ථයෙන්ද ලංකාවේ දේශපාලන නායකත්වය ප්‍රජාතන්ත්‍රීය කිරීමේ විභවතාව තවමත් තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටය.
දෙවැනි සාධනීය ලක්ෂණය සිරිසේන ජනාධිපතිවරයා දේශපාලන වශයෙන් අධිකාරවාදී/ඒක පුද්ගලවාදී/ඒකාධිපතිවාදී විභවතාවක් නැති දේශපාලන නායකයෙකුවීමයි. එතුමා මහින්ද රාජපක්ෂගෙන් ගුණාත්මක වශයෙන් වෙනස්වන්නේ මෙතැනදීය. එමෙන්ම රනිල් වික්‍රමසිංහට මෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ න්‍යායික දැනුමක් ඔහුට නැතත්, ඔහු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ පරමාදර්ශ පිළිබඳ හොඳ ඉවක් සහ හැඟීමක් තිබෙන කෙනෙකු බව පෙනේ. ග්‍රාමීය සමාජයේ සාමාන්‍යයෙන් තිබෙන අධිකාරවාදී ප්‍රවණතාවට නොව, ග්‍රාමීය ගොවි සමාජයේ තිබෙන මානුෂිකවාදී පරමාදර්ශ විසින් ඔහුගේ ලෝක දෘෂ්ටිය හැඩගස්වා ඇති බව පෙනේ. සිරිසේන ජනාධිපතිවරයා ජාතිවාදියෙකු හෝ ආගම්වාදියෙකු නොවන්නේ ඒ නිසාය.
සිරිසේන ජනාධිපතිවරයාගේ දුර්වලතා දෙකක්:
පළමුවැනි දුර්වලතාව නම්, තමන්ට 2015දී ලැබුණු ඓතිහාසික වගකීම ගැන ප්‍රමාණවත් ලෙස බුද්ධිමය වශයෙන් ග්‍රහණය කරගැනීමට ඔහුට නොහැකිවීමයි. එහි ප්‍රතිඵලය වී ඇත්තේ 2015 දේශපාලන පරිවර්තනයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වූ බලවේගවල ග්‍රහණයට පත්වීමට ඉඩදෙමින්, එම බලවේග සමග දේශපාලන සන්ධානයක් තහවුරු කරගැනීම තමාගේ දේශපාලන ඉරණම වන්නේය යන වැරදි අවබෝධය ඇතිකර ගැනීමයි.
දෙවැනි දුර්වලතාව, පළමුවැන්නට සම්බන්ධය. එනම් පුළුල් පරිවර්තනීය දේශපාලන න්‍යාය පත්‍රයක් ඉදිරියට දමනු වෙනුවට, සීමාසහිත න්‍යාය පත්‍රයකට ඔහු කොටුවීමයි. දැනට ඔහු ප්‍රදර්ශනය කරන ප්‍රධාන දේශපාලන දුර්වලතාව එයයි. එයට ප්‍රධාන හේතුව ලෙස අපට දැකිය හැක්කේ, පුළුල් ප්‍රතිසංස්කරණීය න්‍යාය පත්‍රයක් සමග තමන්ට බලය ලබා දුන් දේශපාලන සහ මතවාදී බලවේගවලින් ඔහු සිය කැමැත්තෙන්ම ඉවත්වීමයි. ජනාධිපතිවරයා අද සිටින්නේ, තමන් බලයට පත් කළ පුරවැසියන්ගෙන් හා බලවේගවලින් හුදෙකලාව තමන් පරාජය කිරීමට කැපවී සිටි බලවේගවල අත්අඩංගුවේය.
ඉහත සාකච්ඡාවෙන් පෙනෙන කරුණ නම් වික්‍රමසිංහ හා සිරිසේන යන දෙදෙනාම මනුෂ්‍ය දේශපාලනඥයන් බවයි. එනම් දේශපාලන සාධනීයතාද, නිෂේධනීයතාද එක ප්‍රමාණයට ඇති මනුෂ්‍යයන් බවයි. 2015දී ලංකාවේ පුරවැසියන්ගෙන් බහුතරය, ඔවුන් දෙදෙනාටම වරමක් දුන්නේ, තමන්ගේ සාධනීය දේශපාලන ශක්‍යතා එකට එකතු කර, ලංකාවේ සමාජයට ඓතිහාසික වශයෙන් අවශ්‍ය පරිවර්තනීය නායකත්වයක් දීමටයි. දුර්වලතාද සම්බන්ධව තිබෙන දේශපාලන නායකයන් තනිව එම කාර්යය කරනවාට වඩා, දේශපාලන නායකයන් දෙදෙනකුගේ සාධනීය ශක්‍යතා එකතු වූ විට ගුණාත්මක වශයෙන් බලසම්පන්න බලවේගයක් වනු ඇතැයි පුරවැසියෝත් අපිත් කල්පනා කළෙමු. එහෙත් ඒ වෙනුවට සිදුවී තිබෙන්නේ, මේ නායකයන් දෙදෙනා තම දෙදෙනාගේ නිෂේධනීය ශක්‍යතා එකට එකතු කිරීමයි. යහපාලන ආණ්ඩුවේත්, රටේ දේශපාලනයේත් අද පවතින අවුල එහි ඍජු ප්‍රතිඵලයකි.