රනිල් වික්‍රමසිංහ කල් ඉකුත් වී ඇත

ටිරන් කුමාර බංගගමආරච්චි

මේ අප්‍රේල් මාසයේ ආරම්භයයි. අප්‍රේල් මාසය පැරණි ජනවහරට අනුව හැඳින්වෙන්නේ ‘භාග්‍යවත්’ යන තේරුම දෙන ‘බක්’ මාසය යන නමින්. බක් මාසය ප්‍රසිද්ධ වසන්ත සැණකෙළියට. ඒ වගේම බක්මහ අකුණුත් ප්‍රසිද්ධයි. මාර්තු සහ අප්‍රේල් මාස කියන්නේ අහසින් වැහිදිය සහ අකුණු ගසමින් ගෙවෙන කාලයක්. එහෙත් මේ දිනවල ඊට වඩා කතාබහ මෙන්ම පෙර නිමිති බැලීම් විශ්වාසභංගය ගැනයි. අගමැති රනිල් වික්‍රමසිංහ එළවන තැන ගැනයි. ඒ නිසා විශ්වාසභංගයත් බක් මාසයේ අහසින් ඇද වැටුණු අකුණක් බඳුයි. එය අගමැති රනිල් වික්‍රමසිංහගේ හිස මත පමණක් පතබෑවේදැයි සැකසහිතයි. මන්ද ඊට එහා පුළුල් අරුතක් එහි පෙනෙන්නට ඇති බැවිනි.
මේ සටහන ලියැවෙන්නේ විශ්වාසභංගයේ ප්‍රතිඵල එන්නට පෙරයි. ඒ නිසා කල්තියා ප්‍රතිඵල කියන්නට අපි පේනකාරයන් නොවෙමු. එහෙත් බැලූ බැල්මට මේ තත්ත්වය නම් විකාරසහගත බව කිව යුතුයි. ඒ අනුව විශ්වාසභංග ප්‍රතිඵල කුමක් වුවත් ආණ්ඩුව අනාථයි. ගොඩඒමට නොහැකි තරම් කරවටක් එරී හමාරයි. එය ඇතුන් ලවා නම් ගොඩ ගැනීම ලේසි පහසු නැති. දැන් නම් එයට දොඹකර ඕනෑ බවත් කිව යුතුයි.

මෛත්‍රී භූමිකාව

අගමැති රනිල් වික්‍රමසිංහ විශ්වාසභංගයෙන් ජයගන්නවාද නැද්ද යන්න ගැන ජනපති කොහොම සිතනවා ඇද්ද? කොහොම හිතුවත් ඒ තුළ ඇති යටි බලාපොරොත්තුව අගමැති පැරදවීම බව ජනපතිගේ ගෝල බාලයන් කියන කතාවලින් තහවුරුයි.
අගමැතිට විරුද්ධව විශ්වාසභංගය මුලින් ගෙන ඒමට සූදානම් වූයේ ජනපතිගේ කණ්ඩායමයි. බලයට ආපසු තමන් ජනපති වුවත් බලය ක්‍රියාත්මක කරනුයේ අගමැති බැවින් එයට ජනපති අකමැති බව අමුතුවෙන් සිතිය යුතු නොවේ. ජනපති අබිබවා යෑමේ පිපාසාවක් අගමැතිටද ඇති බව කියන කරන වැඩවලින් පැහැදිලියි. ඒ නිසා ජනපතිට එළිපිට කළ, කිව නොහැකි දේ ඔහුගේ ගෝල බාලයන් ලවා කියවමින් සිටී. ඒ හඬවල් නියෝජනය වන්නේ ජනපතිගේ අදහස බව පැහැදිලියි. එදා විශ්වාසභංගයක් ගෙන ආවද මෛත්‍රීගේ පිරිසට එකසිය දහතුනක ඡන්ද සොයාගැනීමට නොහැකි විය. ඒ නිසා එය අත්හැර දැමීය. එදා අතහැර දැමූ දේ අද රාජපක්ෂ කල්ලිය හරහා කරගැනීමට මාන බලන බව පැහැදිලියි.
විශ්වාසභංග ප්‍රතිඵල කුමක් වුව සිතිය යුත්තේ තවදුරටත් රැකිය යුත්තේ ආණ්ඩුවද? එජාපයද? රනිල්ද? යන්නය.

ආණ්ඩුව

පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලත් සමග ආණ්ඩුව නන්නත්තාරමය. එහි වගකීම සාමූහිකව භාරගනු වෙනුවට එජාපය මෛත්‍රීටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල්ටත් දොස් තබන තැනකට තල්ලු විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු සිතනුයේ මේ තනිකරම රනිල්ගේ පාපය බවය. එජාප ඇමතිවරු එහි අනෙක් අන්තය කල්පනා කරති. එහෙත් ඇත්ත නම් මේ දෙපිරිසම ප්‍රතික්ෂේපවීමයි. ඔවුන්ට අනාගතයක් නැතිවීමයි. ඒ නිසා අගමැතිට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුවට එරෙහි ජනපතිට එරෙහිව නැගෙන විරෝධයක් බව අමුතුවෙන් කිව යුතුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ජනපති ඒ බව නොදන්නේද? නියතවම ඔවුන් මේ බව දන්නේය. දන්නා නිසාම ඒ සැමට වුවමනා රනිල් වික්‍රමසිංහ අහකට කොට විකල්පයක් සෙවීමයි. එබැවින් මේ මොහොතේ ආණ්ඩුව බේරා ගැනීමට කාට හෝ වුවමනාවක් ඇතැයි නොපෙනෙන්නේ මේ ආණ්ඩුව බේරාගෙන ඇති පළේ කුමක්ද යන ප්‍රශ්නය ඉතිරි නිසාය.

එජාපය

රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසභංගය කෙසේ වෙතත් දෝෂාරෝපණ එල්ල වන්නේ අද ඊයේ නොවේ. ඒ කුමන චෝදනා ආවද ඔහු නොසැලී සිටියා නොව යටි කූට්ටු ගේම් ගසා තම තැන රැකගත්තා යැයි කීම නිවැරදියි. ඉතිහාසය පුරා ඔහු කළේ එයය. ඔහුට එජාපය ඉදිරියට ගෙන ඒමට හෝ එහි නව මගක් නිර්මාණය කිරීමට වුවමනාවක් ඇතැයි නොපෙනෙයි. රාජපක්ෂලා පවුල් අධිකාරියක් ගෙන ගියේ නම් රනිල් කළේ ඊට හපන් දෙයකි. ඔහු කළේ පක්ෂය සංවර්ධනය කිරීම වෙනුවට ඔහුගේ ගජ මිතුරු කැළ සමග පක්ෂය විනාශ කිරීමය. එහෙත් පරදින පක්ෂය තුළ වුව ඊට එරෙහි වන්නට පිරිස් නොවූහ. එරෙහි වුවද ඒ අයට පැවැත්මක් නැතිවිය. අද විශ්වාසභංගය එල්ලවන්නේ රනිල්ටයි. එය එජාපයට නොවේ. එහෙත් එජාපය යනු රනිල් ලෙස සැලකූ විට පක්ෂයටද මෙය අදාළය. දැන් පක්ෂය බේරගන්නවාද යන පැනයද එජාප මන්ත්‍රී කැළ ඉදිරියේ ඉතිරි වී ඇත. නිවැරදිව කල්පනා කළහොත් පක්ෂය බේරාගත හැක්කේ රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමෙන්මයි. එහෙත් ඔහු ජයගතහොත් පක්ෂ නායකකම අතහරිනු බොරුය. දැන් එජාපයට සිදුව ඇත්තේ පක්ෂය බේරාගන්නට රනිල් රැකගන්නටය. ඒ දැඩි කොන්දේසි මතය. මෙවර නම් අගමැතිව එජාපය පවා බිත්තියට හේත්තු කර ඇති බව සැබැයි. ඒ විශ්වාසභංගයෙන් රනිල් දිනවන්නට නම් පක්ෂය ප්‍රතිසංවිධානය විය යුතුයි යන කරුණයි. මේ ප්‍රතිසංවිධානය එජාපයට පිළුණු අදහසකි. එහෙත් මෙවර එය ලේසි නොවේ. මේ ප්‍රතිසංවිධානය කුමක්ද? නොකියා කියනුයේ රනිල් විශ්වාසභංගය දින්නද එජාපයේ අනාගත නායකයා නොවන බවය. අනාගත නායකයා සජිත් කළ යුතු බවය. නම් කිහිපයක් එළිපිට ඇතත්, සජිත් ඇරුණු කොට කැට තැබිය හැකි නමක් එජාපයට දැනට නැත. අනෙක් අතට නිවැරදිව කල්පනා කළහොත් සජිත් යනු හොඳ ගමනකි. රනිල් එය පාගාගෙන සිටින බව පැහැදිලියි. මේ මොහොතේ රනිල් විශ්වාසභංගයෙන් ගැලවෙන්නට නම් අනාගතය සජිත්ට බාර කළ යුතුයි. එය මේ මොහොතේ වඩා නිවැරදිම පිළිවෙතය. එජාපය පක්ෂයක් ලෙස එවිට පිබිදෙනු නියතය. එය වෙනම දීර්ඝව කතා කළ යුතුය. රනිල් වික්‍රමසිංහ ඉතිහාසය පුරා කළේ එජාපයේ මන්ත්‍රීවරු ඇන්දවීමයි. එහෙත් මෙවර එය කළහොත් තත්ත්වය බරපතළ වනු ඇති. ඉන්පසු විශ්වාසභංගයක් ගෙන එනු ඇත්තේ එජාප මන්ත්‍රීවරුන්මය. ඒ තැනට මේ පැනය පැන ගොස් ඇති බව පැහැදිලි වේ. එජාපය රැක ගැනීමට රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ජයගත යුතුව ඇත්තේ ඔහු ලවාම පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු නිසා බව පැහැදිලියි.

රනිල් වික්‍රමසිංහ

ඉතිහාස සාධක සලකා බලන කල රනිල් වික්‍රමසිංහ යනු සුදු චරිතයක් නොවේ. එහෙත් දේශපාලනික කාල මාරුවීම් හරහා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ පාලනය හරහා රනිල් ඉබේම සුදු විය. බොහෝ අය හිතුවේ රනිල් වික්‍රමසිංහ යනු මහා බුද්ධිමතකු ලෙසය. එහෙත් යහපාලන ආණ්ඩුව පත්ව වික්‍රමසිංහ අගමැති වූ සැණින් ඔහු කොතරම් බාල භාණ්ඩයක්ද යන්න තහවුරු විය. යහපාලන ආණ්ඩුව බාලවීමේ ප්‍රධාන චූදිතයා රනිල්ය. එහෙත් ඔහු බේරා ගැනීමේ කඳවුර තවමත් රනිල්ව බොරු පිම්බිල්ලක නියැලෙන බව පෙනෙයි. නිවැරදිව තක්සේරු කරන්නේ නම් රනිල් අද අවලංගු කාසියකි. ඔහුගේ සටකපටකම්වලට බලයේ රැඳී සිටියා මිසක පෙන්නූ දක්ෂතාවක් නැති. ඒ අනුව මේ මොහොතේ ඔහු පැරදවීම හැම අතින්ම වටී. එහෙත් අභාග්‍යයට ඔහු පැරදවීම සැම පරාජයවීමට හේතුවේ. සැම යනු මේ ආණ්ඩුව සහ එජාපයයි. එසේ වුවහොත් දිනනුයේ රාජපක්ෂලායි. රාජපක්ෂලා දිනනවා යනු රටේත් අභාග්‍යයකි. පරාජයකි. වැඩකට නැති රනිල් බියජනක රාජපක්ෂලාට වඩා හොඳවන්නේ එබැවිනි. අමතක නොකළ යුතු ප්‍රධාන දේ නම් පරාජයත් යනු රනිල්ට දිනපතා ආහාර ගන්නවා තරම් සරල කරුණක් බවයි. ඔහු පරදින්නම හැඩගැසුණු නායකයෙකි. එහෙත් මෙවර එය සිදුවුවහොත් ඔහු නොව පරදිනුයේ ආණ්ඩුව සහ එජාපය පමණක් නොව රාජපක්ෂලාට එරෙහිව ඡන්දය දුන් ජනතාවද වේ. ඒ නිසා මේ මොහොතේ ආණ්ඩුව, එජාපය පසෙකලා රනිල් දිනවිය යුත්තේ ඒ හරහා අනෙක් සියල්ල මනාව හදාගත යුතු නිසයි. විශ්වාසභංග ප්‍රතිඵල කුමක් වුවත් රනිල් වික්‍රමසිංහගේ කාලය ඉකුත් වී ඇති බව සිතිය යුතුයි. ඔහුට ඒ බව සිතන්නට බැරිතරම් අන්ධ වී ඇත්නම් එය විනාශයකි. ඔහු එජාප නායකත්වයෙන් ඉවත් වී එය සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතුව ඇත. මේ මොහොතේ එය නොකළහොත් ඔහු එජාපයටම කරන බලවත් අසාධාරණයකි. අනෙක් කරුණ ඔහු විශ්වාසභංගය දින්නද අගමැතිකමේ තබා ගන්නවාද? සිටිනවාද යන්න බරපතළව සිතිය යුතුයි. නැවත ජනපති වීමේ සිහිනයෙන් පෙළෙන මෛත්‍රීපාල සිරිසේනට ගෝඨාභයට වඩා විකල්පය ලෙස සජිත් තෝරා ගත හැකිය. 2020ට දැන් ඇති එකම විකල්පය නැවත මෛත්‍රීපාල ජනපති ලෙසත් අගමැති ලෙස සජිත් ප්‍රේමදාසත් එකට ගමන් කිරීමයි. එය ඉහළ සාර්ථකත්වයක් කරා යාහැකි ගමනකි. මේ විශ්වාසභංගය අගමැතිව නොව අනාගතයම තීන්දු කරන තැනකි. ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ දින්නද පැරදුණද විශාල පරිත්‍යාගයක් කළ යුතුයි. සැබෑවටම දැන් රනිල් ඉවරයි. රනිල් වෙනුවෙන් පෙනී සිටින අයත් ඉවරයි. ඇත්ත එයයි.