රාවය

විශ්වාසභංගය: උසිගැන්වීම හා පස්සට යෑම

විශ්වාසභංගය: උසිගැන්වීම හා පස්සට යෑම

විශ්වාසභංගයෙන් අගමැතිගේ ජයගැනීම උත්සවශ්‍රීයෙන් සමරනු දක්නා ලැබේ. අගමැතිවරයාද වහාම කළේ පාර්ලිමේන්තුවේ සිට ගංගාරාමය බලා ගමන් කිරීමය. විශ්වාසභංගයට හේතුවුණු ප්‍රශ්න උත්සවශ්‍රීයෙන් මකා දමනු නොහේ. එමෙන්ම ගංගාරාමයට නොව ජේතවනාරාමයට ගියත් උද්ගතවූ ප්‍රශ්නවලින් අගමැතිට නිරුත්සාහකව සැනසුමක් ලබනු නොහැකිය.
යහපාලන රජය වැඩ අරඹන විට රටෙහි ආර්ථිකය යහපත් නොවුණු බව සැබෑය. හිටපු ආණ්ඩුව රටේ ආර්ථිකයට වග කියා තිබුණි. එහෙත් එය අගමැති හා ආණ්ඩුව තත් විෂයෙහි අසමත්වීම කෙරෙහි නිදහසට කරුණක් නොවේ. ආර්ථිකය ඍන ගණන්වල තිබුණත්, යළි නැගිටින උපාය මාර්ග ආර්ථික කටයුතු භාර අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට තිබිය යුතුය. කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ආර්ථික සැලසුම් අගමැතිගේ ප්‍රධානත්වයෙන් සකස් කළ යුතුව තිබුණි. එහෙත් වොක්ස්වැගන් කම්හල තබා පාපැදි කම්හලක්වත් ඇරඹීමට පදනම දැරීමට අගමැතිට නොහැකි විය. එම නොහැකියාව වෙනමම නරක පැත්තකට හැරුණේ මහ බැංකුවේ වංචනික බැඳුම්කර ගනුදෙනුව අගමැතිගේ හිතෛෂීවන්තයකු අතින්ම සිදුවීමත් අගමැති ඔවුන් කෙරෙහි ළැදියාවන් පෙරදැරිව කටයුතු කිරීමට පටන් ගැනීමත් නිසාය. එය අගමැතිගේ ‘මිස්ටර් ක්ලීන්’ තත්ත්වය පළුදු කළ අතර ඉන්පසුව පටබැඳුණු ‘බය නැති අගමැති’ නමැති යෙදුමට කෙමෙන් හාස්‍යජනක තත්ත්වයක්ද ආරෝපණය කර දුන්නේය. විශ්වාසභංගය ආවේ උක්ත පසුබිම පදනම් කරගෙනය.
විශ්වාසභංගය අගමැති පහසුවෙන් ජයගනු ඇති බව බොහෝ දෙනෙක් පළමු වටයේදී කීහ. එහෙත් ශ්‍රීලනිපයේ සමහරු තද ප්‍රතිපත්තියකට කෙමෙන් තල්ලු වනු දැකීම නිසා මෙන්ම එජාපයේද ඇතුළතින් ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි තත්ත්වයක් තුළ විශ්වාසභංගයේ මධ්‍යම යාමය එළඹෙද්දී අගමැති මෙවර නම් පරදිනු ඇතැයි බොහෝ දෙනෙක් කීහ. එහෙත් විශ්වාසභංගයට දිනක් තිබියදී යළි සියල්ල කනපිට හැරුණි. විශ්වාසභංගයට පෙර, දින රැයේ සිට කවුරුත් කියන්නට ගත්තේ අගමැති විශ්වාසභංගය පරදවන බවය. එය විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 76ක් හා විපක්ෂව ඡන්ද 122ක් ලෙසින් සිදුවිය. විශ්වාසභංගයට පාදක වුණු කරුණු 14ම සත්‍ය ඒවා වෙද්දී සහ ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රීලනිපය, ජවිපෙ හා එජාපයේද ඇතැමුන් අගමැතිට විරුද්ධව මත පළකරද්දී ඔහු දිනුවේ කෙසේද? ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංගය ගෙනැවිත් මුල සිටම එය සවිබල ගැන්වීමට ක්‍රියා කළේ නැත. එම කණ්ඩායමේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ ඊට අත්සන් නොකළේය. ඒකාබද්ධය විශ්වාසභංගය දිනවීමට ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වූයේද නැත. ශ්‍රීලනිපය මුලසිටම වැනෙනසුලු ප්‍රතිපත්තියක පිහිටා සිටියා විනා විශ්වාසභංගය ගැන ඍජු තීරණයකට පැමිණියේ නැත. ඔවුන් කීවේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය නොදී සිටීමට ශ්‍රීලනිපයට හේතුවක් නැති බවය. මේ වැඬේදීත් ගුණදාස අමරසේකර කියූ ශ්‍රීලනිපය කවන්ධයක්ය යන අදහස ඔවුහු ඔප්පු කොට පෙන්වූහ. එය හිස නැතුව වැඩ කරන පක්ෂයකි. එජාපයේද පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හුළං ගියේ විදුලි වේගයෙනි. මුලදී රනිල්ට එරෙහිව සිංහනාද නැගූ රංගේ බණ්ඩාරලා විශ්වාසභංගයදා වනවිට සිංහනාදය සුනඛ කෙඳිරියක් බවට පරිවර්තනය කරගෙන තිබුණි. ඔවුන් සිය පක්ෂයේ හා නායකයාගේ ආරක්ෂාව හා ස්ථාවරත්වය වෙනුවෙන් එසේ පෙළ ගැසිය යුතුය. එසේ කිරීම දක්වා විතැන්වන්නේ නම් ව්‍යාජ සටන්කාමීත්වයක් වේලාසන පෙන්වීම රැවටිලිකාර ක්‍රියාවකි. එය හඳුන්වන්නේ උසිගැන්වීම හා පස්සට යෑම යනුවෙනි. ලංකාවේ දක්නට ලැබෙන තත්ත්වය නම් උසිගැන්වූ පමණින් අනෙකා හැල්මේ ඉදිරියට නොයෑමය. අවසානයේදී උසිගන්වන්නා මෙන්ම ඊට පාත්‍රවන්නා යන දෙදෙනාම පස්සට යති. අගමැතිවරයාට පහසුවෙන් විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට හැකිවූයේ එනිසාය.
අගමැති දිනුවත් පැරදුණත් රට ගමන් කරමින් තිබෙන්නේ පස්සට බව පෙනෙයි. කොහොමටත් අගමැතිවරයා එජාප නායකයා ලෙස දැන් එම පක්ෂයේ ප්‍රතිසංස්කරණ කළ යුතුය. රටේ කඩිනම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ඇරඹිය යුතුය. කාගෙ කාගේත් සිංහනාදය යටින් ඇසුණු සුනඛ කෙඳිරිය නිසා යහපාලන ආණ්ඩුව අඩුම තරමින් වසර දෙකකට බේරුණි. එම බේරීමෙන් ඔවුන් රටට යම් ප්‍රයෝජනයක් අත්කර දීම ගැන දැන්වත් සිතා බැලිය යුතුය. විශේෂයෙන්ම ජනවාරි 08 පොරොන්දු ප්‍රකාර ප්‍රතිසංස්කරණ, වංචා දූෂණ විභාග කිරීම, මිනිස් ඝාතන හෙළිදරව් කිරීම මෙන්ම උතුරේ අර්බුදයට පිළියමක් සෙවීම මෙන්ම ජනයාගේ පැවැත්මට තිරසර පදනමක් දැමීම ඒ අතරින් ප්‍රමුඛය. රටට අවශ්‍ය එම වැඩසටහන් ඉටුකර දීම සඳහා ජනපතිවරයා දැන් වහ වහා යළි පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත් අගමැතිවරයා සමග වැඩ කළ යුතු වෙයි. එය දුෂ්කර පෑහීමක් වුවත් ජනපතිටත් දැන් වෙන කරන්නට දෙයක් නැත.