රාවය

රට වෙනස් කිරීම හා අධිකරණය II

රට වෙනස් කිරීම හා අධිකරණය II

වික්ටර් අයිවන්

දැන් අපට ලංකාවේ අධිකරණයට ආවේණික ප්‍රධාන දෝෂ කෙරෙහි බලපා තිබෙන හේතු මොනවාදැයි සොයා බලන තැනකට යා හැකිය.
නිදහසින් පසු 1972දී හෝ 1978දී තමන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගත් දේශපාලන නායකයන් හෝ ඒ සඳහා ක්‍රියා කළ න්‍යායවාදීහු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් හා එවැනි ආණ්ඩුක්‍රමයක් තුළ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳ හොඳ පරිකල්පනයක් තිබූ අය නොවූහ. ඔවුන්ට ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර තිබිය යුතු බල බෙදීම කෙසේ විය යුතුද යන්න ගැන හා නැවත ඒවා අතර තිබිය යුතු අන්තර් සම්බන්ධය ගැන හරි අවබෝධයක් නොතිබුණි. මහජනයා පත්කරන නියෝජිතයන්ට හා ප්‍රධාන නායකයාට වැඩි වැදගත්කමක් ලබාදී නිලධරතන්ත්‍රයට හා අධිකරණයට ඊට වඩා අඩු වැදගත්කමක් ලබාදිය යුතුය යන්න ඔවුන්ගේ දර්ශනය විය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් තුළ අධිකරණයට පැවරෙන වගකීම හා ඒ සඳහා තිබිය යුතු බලය ගැන හොඳ පරිකල්පනයක් ඔවුන්ට නොතිබුණි. මේ නිසා ඔවුන්,
(අ) 78 ව්‍යවස්ථාවෙන් අධිකරණ ස්ථානගත කර තිබෙනුයේ ස්වාධීන අධිකරණයකට අවකාශයක් නොලැබෙන ආකාරයටය.
(ආ) ජනාධිපති තනතුර ස්ථාන ගතකර තිබෙනුයේද නීතියට ඉහළින් සිටින ආකාරයටය. රාජ්‍ය නායකයා අධිකරණයට වගකිවයුතු නැත. රාජ්‍ය නායකයාගේ ක්‍රියාකාරකම් පරීක්ෂා කිරීමේ බලයක් අධිකරණයට නැත.
(ඇ) 78 ව්‍යවස්ථාවෙන් අධිකරණයට සමාලෝචන බලය ලබාදී තිබෙන්නේද ඉතාමත් සීමිත ආකාරයකටය.
(ඈ) ඉහළ අධිකරණයේ විනිසුරුවරුන් දෝෂාභියෝගයකින් ඉවත් කිරීම සඳහා විධි විධාන ඇතිකර තිබෙන්නේද ආණ්ඩුවකට ඒ බලය හිතුවක්කාරී ලෙස පාවිච්චි කළ හැකි ආකාරයකටය.

අධිකරණයේ පසුගාමීත්වය

ලංකාවේ අධිකරණ නිලධාරීන්ගේ හෙවත් විනිසුරුවරුන්ගේ පරිකල්පනය දේශපාලකයන්ගේ පරිකල්පනය තරම්ම නොදියුණුය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ අධිකරණයට පැවරී තිබෙන කාර්යභාරය පිළිබඳව හරි අවබෝධයක් විනිසුරුවරුන්ට නැත. එවැනි අවබෝධයක් විනිසුරුවරුන්ට ලබාදී තිබෙන බවක්ද පෙනෙන්නට නැත. ඊටම සම්බන්ධ වැදගත් ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකි අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳවද ඔවුන්ට හරි අවබෝධයක් නැත. ඒ ගැන කිසියම් අවබෝධයක් තිබෙන අය තුළ පවා ස්වාධීනත්වය පිළිබඳ බලවත් හැඟීමක් තිබෙන බවක්ද පෙනෙන්නට නැත.
අධිකරණ සමාලෝචන බලය ස්වාධීන අධිකරණයකට තිබිය යුතු වැදගත්ම බලයක් ලෙස සැලකිය හැකිය. අධිකරණ සමාලෝචන බලය යන්නෙන් අදහස් වන්නේ අණ පනත් ව්‍යවස්ථාවට අනුකූලද යන්න සලකා බැලීමට හා ඒවා ව්‍යවස්ථාවට අනුකූල නොවන අවස්ථාවලදී ඒවා අවලංගු කිරීමට තිබෙන බලයයි. මේ බලය ඇමරිකාවේ හෝ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යවස්ථාවෙන්ම ලබාදී තිබූ බලයක් නොවීය. එය ඒ රටවල් දෙකේම ශ්‍රේෂ්ඨාධිකරණයන් ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට ලැබී තිබුණු බලය ඔස්සේ දිනාගත් බලයක් ලෙස හා එසේ දිනාගත් බලය මහජන අභිවෘද්ධිය සඳහා යොදා ගැනීම මගින් නැවත උදුරාගත නොහැකි ස්ථිර සාර බලයක් බවට පත් කරගත් බලයක් ලෙසද සැලකිය හැකිය. එහෙත් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එයට තිබෙන ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමට තිබෙන බලය ඔස්සේ සමාලෝචන බලය අත්පත් කරගැනීමට උත්සාහ දරා නැත. එය ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පසුගාමීත්වය පෙන්නුම් කරන වැදගත් කඩඉමක් ලෙසද සැලකිය හැකිය.
ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමට ලැබී තිබෙන බලය හා අණ පනත් සමාලෝචනය කිරීමට ලැබී තිබෙන බලය ප්‍රයෝජනයට ගනිමින් ඇමරිකාවේ හා ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයන් ඒ රටවල් දෙකේ ව්‍යවස්ථාවන් නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන පුරවැසියාගේ නිදහස හා පරමාධිපත්‍යය බලය ශක්තිමත් කිරීමට හා වැඩි දියුණු කෙරෙන ආකාරයට ප්‍රතිනිර්මාණය කිරීමට සමත් වී ඇතත් එම විෂයේදීද කැපී පෙනෙන තරමේ කාර්යභාරයක් ඉටුකිරීමට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සමත් වී නැත. නිර්මාණශීලී ශ්‍රේෂ්ඨාධිකරණයක් අපට තිබුණේ නම් ජනාධිපති නීතියට ඉහළින් සිටින තත්ත්වය නැති කොට ඔහු නීතියට යටත් තත්ත්වයක් ඇති කොට 78 ව්‍යවස්ථාව පවා වඩා හොඳ ව්‍යවස්ථාවක් බවට පත්කර ගන්නට හැකිවන්නට ඉඩ තිබුණි. ජනාධිපතිට හිමි මුක්තියේදී ආචාර්ය මාර්ක් ප්‍රනාන්දු විනිසුරුතුමා ජනාධිපතිට හිමි මුක්තිය බලයේ සිටින කාලයට පමණක් සීමා කරන ලදි. වැරදි ඇතොත් තනතුරෙන් ඉවත් කිරීමෙන් පසු ඔහුට හෝ ඇයට එරෙහිව නඩු පැවරිය හැකි තත්ත්වයක් ඇති කිරීමට හේතුවන ලෙස ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට සමත් වුවත් නීතියට ඉහළින් සිටින ජනාධිපතිවරයෙකුගේ පැවැත්මට ඉඩදීම යහපත් දෙයක් ලෙස සැලකිය නොහැකිය. ව්‍යවස්ථාව නිර්මාණාත්මක ලෙස සංවර්ධනය කිරීමද ව්‍යවස්ථා විෂයෙහි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරෙන වැදගත් වගකීමකි.

ව්‍යවස්ථාව කෙලෙසීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන රැකවල් දූතයා ලෙස ක්‍රියාකළ යුත්තේද ශ්‍රේෂ්ඨාධිකරණයයි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂාව භාරව සිටින රැකවල් දූතයා අතින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙලසෙන අවස්ථා ඇත්නම් එය ඉතාමත් බිහිසුණු හා ඛේදජනක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අතින් එම බිහිසුණු සාහසික වරද එක වරක් නොව කිහිප වරක්ම සිදුව ඇත්තේය. මීට පෙර විස්තර කළ කෝඬේෂ්වරම් නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය අනුගමනය කළ ප්‍රතිපත්තිය ඒ සඳහා දැක්විය හැකි පළමු නිදර්ශනය ලෙස සැලකිය හැකිය. ඉන්පසු 1978 ව්‍යවස්ථාවට එකතු කරන ලද ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකි 1 වැනි සංශෝධනය, 2 වැනි සංශෝධනය, තුන්වැනි සංශෝධනය හා හතරවැනි සංශෝධනය යන සංශෝධනයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධර්ම උල්ලංඝනය කරන ආණ්ඩුක්‍රමය විකෘති කිරීමට හේතුවූ ව්‍යවස්ථා සංශෝධන ලෙස සැලකිය හැකිය.
1 වැනි සංශෝධනය අවශ්‍ය වූයේ සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ අරමුණු ඇතිව පිහිටුවන ලද ජනාධිපති කොමිසමට එරෙහිව අභියාචනාධිකරණයට දෙන ලද තහනම් නියෝගය අවලංගු කොට ඕනෑම නඩුවක අධිකරණ බලය අභියාචනාධිකරණයෙන් ඉවත් කොට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරීමේ බලය පාර්ලිමේන්තුවට ලබාදීමේ අරමුණ වෙනුවෙනි.
දෙවැනි සංශෝධනය ඉදිරිපත් කළේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් තරග කොට ජයගෙන ආණ්ඩුවට එකතු වූ රාජදොරෙයි හා ශ්‍රීලනිපයෙන් බේරුවල ආසනයට තේරී පත්වී ආණ්ඩුවට එකතු වූ ආර්.ජී. සමරනායක යන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ මන්ත්‍රීකම් ආරක්ෂා කරදීම සඳහාය. එය අනාගතයට බලනොපාන ඒ අවස්ථාවට පමණක් බලපාන ව්‍යවස්ථා සංශෝධනයක් විය.
තුන්වැනි සංශෝධනය ඉදිරිපත් කළේ දෙවැනි ධුර කාලය සඳහා පවත්වන ජනාධිපතිවරණය සඳහා පැවති කාල නියමය වෙනස් කොට පළමු ධුර කාලය අවුරුදු හතරක් සම්පූර්ණවීමෙන් පසුව ජනාධිපතිවරයා කැමති කවර අවස්ථාවක වුවද ජනාධිපතිවරණයක් කරළියට ගැනීමේ හැකියාව ජනාධිපතිවරයාට ලබාදීම සඳහාය.
ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගැනීම සඳහා පැවැත්වෙන ජනමතවිචාරණයකට ඉඩ ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ හතරවැනි සංශෝධනය ගැන මීට පෙර ලිපියේ කතා කර තිබෙන නිසා ඒ ගැන කිසිවක් වැඩිදුර කතා කිරීම අවශ්‍ය නොවන්නේය.

පක්ෂය මාරු කිරීම

1978 ව්‍යවස්ථාව අනුව ලංකාවේ ක්‍රියාත්මක ජනාධිපති ආණ්ඩුක්‍රමය සකස් කර ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයකදී පක්ෂයක් ලබාගන්නා ආසන සංඛ්‍යාව ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය තෙක් නොවෙනස්ව පවතින ආකාරයටය. මැතිවරණ දෙකක් අතරතුර කාලයේදී ඇතිවන පුරප්පාඩු එම පුරප්පාඩුවට හිමි දේශපාලන පක්ෂය විසින් පිරවිය යුතුය. මෙම ක්‍රමය සකස් කර තිබෙන්නේම පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන පක්ෂ මාරු නිසා සිදුවන ආණ්ඩු පෙරළි ඇතිවීම වැළකීම අරමුණු කොටගෙනය. එය 1978 ආණ්ඩුක්‍රමයට ආවේණික ඉතාමත් විශේෂිත ලක්ෂණයක් ලෙසද සැලකිය හැකිය.
ව්‍යවස්ථාවේ 99 (13) (අ) වගන්තිය අනුව ඔහු පාර්ලමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අවස්ථාවේදී ඔහුගේ නම ඇතුළත් වූයේ යැයි පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා පත්‍රයේද සඳහන් එම දේශපාලන පක්ෂයෙහි හෝ කණ්ඩායමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් හෝ පහකිරීමෙන් හෝ අන් හේතුවක් නිසා හෝ නතර වූ අවස්ථාවකදී ඔහුගේ සාමාජිකත්වය නතර වූ දින සිට එක් මාසයක කාලසීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස්වන්නේය.
එම වගන්තියේ දෙවැනි ඡේදයේ එන මුල් කොටස මෙසේය.
“එසේ වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පක්ෂයෙන් පහකරනු ලැබූ අවස්ථාවක ඉහත කී මාසයක කාල සීමාව ඉකුත්වීමට පෙර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් මගින් ඉල්ලීමක් කළහොත් සහ එම පහකිරීම වලංගු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළහොත් ඔහුගේ අසුන හිස් නොවන්නේය.”
ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා අසුන අහිමි වූ මන්ත්‍රීවරයාට එම ප්‍රතිපාදනය ලබාදී තිබෙන්නේ පක්ෂ මාරුවක් සිදු නොවූ අවස්ථාවකදී මන්ත්‍ර්‍රීවරුන්ට එරෙහිව පාවිච්චි කිරීම සඳහා පක්ෂවලට ලැබී තිබෙන බලය අයථා ලෙස පාවිච්චි කරන අවස්ථාවලදී යුක්තිය ඉටුකිරීම සඳහාය.
මන්ත්‍රීවරුන්ගේ පක්ෂ මාරුවට අදාළව ආණ්ඩුක්‍රමයට ඇතුළත් දර්ශනය එය වුවද ඊට පටහැනිව විරුද්ධ පක්ෂ දෙකක මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ආණ්ඩු පක්ෂයට එකතු කරගැනීම සඳහා ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදී ව්‍යවස්ථා සංශෝධනයක් පාවිච්චි කෙරුණු ආකාරය මීට පෙර සඳහන් විය.
එජාපයේ දීර්ඝ පාලන කාලයෙන් පසු එළැඹෙන චන්ද්‍රිකා පාලන කාලයේදී තුනෙන් දෙකේ බලයක් සඳහා අවශ්‍ය අඩු මන්ත්‍රීන් සංඛ්‍යාව එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතු කරගනිමින් නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ උත්සාහය සාර්ථක වූයේ නැතත් එම උත්සාහයේදී සරත් අමුණුගම, නන්ද මැතිව්, රොනීද මෙල්, විජේපාල මෙන්ඩිස් හා රෝහිත බෝගොල්ලාගම යන මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට එකතු වී සිටීම තුළ එම මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයකට යෑමට අවශ්‍ය තුනෙන් දෙකේ බලයක් ආණ්ඩුවට නොතිබීම නිසා එම අඩුව සපුරා ගැනීමට සිදුවූයේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ සහාය ඇතිව අධිකරණයේ සහාය ලබාගැනීමෙනි. එසේ ආණ්ඩු පක්ෂයට එකතු වූ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් ආරක්ෂා කරදීමට හේතුවන අධිකරණ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද අතර ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන් නොනැවතී සමස්ත ආණ්ඩුක්‍රමයම විකෘති කිරීමට හේතුවූ එම තීරණයත් සමග මන්ත්‍රීකම අහිමිකර ගැනීමෙන් තොරව විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතුවිය හැකි කැත සම්ප්‍රදායක්ද ස්ථාපිත විය. එම වැරදි ක්‍රමය ඇති කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි.

තමන්ගේ නඩුව තමන්ම ඇසීම

ස්වභාවික යුක්තියේ පළමු මූලධර්මය ලෙස සැලකිය හැකි තමාගේ නඩුව තමා විසින් නෑසිය යුතුය යන මූලධර්මය හැම විනිසුරුවරයෙකු විසින්ම උල්ලංඝනය නොකොට ආරක්ෂා කළ යුතු වැදගත් මූලධර්මයක් ලෙස සැලකුණද අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ පාලන කාලයේදී අගවිනිසුරු සරත් නන්ද සිල්වා විසින්ම කිසිදු ලැජ්ජාවකින් තොරව ප්‍රසිද්ධියේ එම මූලධර්මය උල්ලංඝනය කරන පිළිවෙතක් අනුගමනය කළේය. ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දු අධිකරණ සේවා කොමිසමට එරෙහිව ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේදී ඔහු අගවිනිසුරු සරත් නන්ද සිල්වාද වගඋත්තරකරුවකු කර තිබූ අතර අගවිනිසුරු සරත් නන්ද සිල්වා එම නඩුව තමන්ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගෙන උසාවියට අපහාස කළේය යන බොරු චෝදනාවන් යටතේ ටෝනිට එක් අවුරුදු සිරදඬුවමක් ලබා දුන්නා පමණක් නොව, ඔහු එදින බන්ධනාගාරයට ඇතුළත් කරගනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ලවා බිහිසුණු පහරදීමකටද ලක් කරන ලදි.
සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්කිරීමට එරෙහිව මා ඇතුළු තවත් තිදෙනෙක් විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේදී එම නඩුවේ විනිශ්චය මණ්ඩලය නම් කිරීමේ බලය තිබුණේ නඩුවේ වගඋත්තරකරුවාව සිටි අගවිනිසුරුට වීම නිසා අගතියක් ඇතිවීම වැළකීම පිණිස ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ අනුව ඉහළ සිට පහළට ක්‍රියාත්මක වන පරිදි හත්දෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් පත් කරන ලෙස මගේ නීතිඥයා (රංජිත් අබේසූරිය) ඉල්ලා සිටියේය. චෝදනාලාභී අගවිනිසුරුවරයා ඒ ඉල්ලීමට දක්වන ලද ප්‍රතිචාරය වූයේ කනිෂ්ඨත්වයේ පහළ සිට ඉහළට යන ආකාරයට හත්දෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් පත්කිරීමය. අගවිනිසුරුවරයා මෙම හාස්‍යජනක රංගනය රඟදක්වන ලද්දේද නඩුවට ලැබෙන වැදගත්කම සලකා ජාත්‍යන්තර නීතිඥ සංගමය එම නඩුව නිරීක්ෂණය කිරීම සඳහා කේරළයේ හිටපු අගවිනිසුරුවරයෙකු ලංකාවේ අධිකරණයට එවා තිබූ අවස්ථාවකදීය.
සරත් සිල්වාගේ බෙල්ල හිරවී තිබූ අවස්ථාවකදී ඔහුගේ බෙල්ල බේරාදෙනු ලැබුවේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින්ය. එහෙත් ඇගේ ධුර කාලය අවසන්වෙමින් තිබූ කාලයේදී අගවිනිසුරුවරයා ජනාධිපතිනිය සමග මතභේද ඇති කරගෙන තිබුණි. ජනාධිපතිනිය ටවුන්හෝල් බෝම්බ සිද්ධියට මුහුණදීමෙන් පසු කරන ලද දිවුරුම්දීමෙන් පසු දෙවැනි දිවුරුම් දීමක් සඳහා ජනාධිපතිනියට උපදෙස් දී තිබුණේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාය. එය එසේ කර තිබුණේ ඇයගේ ධුර කාලයේ ඇතිවන අඩුවීමක් වැළකීම සඳහාය. එහෙත් අගවිනිසුරුවරයා ජනාධිපතිනිය සමග මතභේද ඇතිකර ගැනීමෙන් පසු අගවිනිසුරුවරයා පෙත්සමක් ගෙන්වා ගෙන එය විභාගයට ගෙන ජනාධිපතිනියගේ දෙවැනි ධුර කාලය අවසන් වන්නේ 2006 නොවැම්බර් 10 වැනි දින නොව 2005.12.22 වැනි දින බව තීන්දු කොට ඇගේ දේශපාලන පැවැත්ම අවසන් කළේය.

සිංහරාසා නඩුව – අධිකරණ වංචාවක්

ලංකාවේ අධිකරණය සිංහරාසාට එරෙහිව අවුරුදු 35 සිරදඬුවමක් ලබාදී තිබුණේ හමුදා කඳවුරකට පහරදීම හා ආණ්ඩුව පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේය. සිංහරාසාගේ චෝදනා සනාථ කිරීම සඳහා ප්‍රධාන වශයෙන් යොදාගෙන තිබුණේ ඔහුගෙන් ලබාගෙන තිබූ කටඋත්තරයයි. එම කටඋත්තරය ලියාගෙන තිබුණේ ඔහු නොදන්නා භාෂාවකිනි. එහිදී ඔහුට භාෂා පරිවර්තකයකුගේ ආධාර ලබාදී නොතිබුණි. කටඋත්තරය ලබාගෙන තිබුණේද මාස හතරක් රඳවා තබාගෙන සිටි කාලයේදීය. එම කාලයේදී තමන් වඳ හිංසාවට ලක්කරන ලද බව සිංහරාසා ප්‍රකාශ කර තිබුණි.
ජිනීවා මානව හිමිකම් කමිටුවේ තීරණය වූයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ එන අයිතිවාසිකම් ගණනාවක් එනම් 14 (1), 14 (3), F1, 14 (3) (C) යන වගන්ති ලංකා ආණ්ඩු උල්ලංඝනය කර ඇති බවත්, එක්කෝ සිංහරාසාට ඉක්මන් සාධාරණ නඩු විභාගයක් ලබාදිය යුතු බවත් නැතිනම් නිදහස් කොට සිදුකර තිබෙන උල්ලංඝනයක් සඳහා වන්දි ගෙවන ලෙසත් ලංකා ආණ්ඩුවට දැනුම් දී තිබුණි.
සිංහරාසාගේ නීතිඥයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව දෙන ලද එම තීරණයන් බලාත්මක කරවා ගැනීම සඳහාය. සිංහරාසාගේ මෙම අයදුම්පත විභාගයට ගත්තේ අගවිනිසුරු සරත් සිල්වාද ඇතුළත් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය. මෙම නඩුව අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගැනීම ස්වභාවික යුක්තියට පටහැනි වනවා සේ ම 1978 අධිකරණ විධි විධාන පනතේ එන 49 (3) වගන්තියටද පටහැනිය. එය උසස් අධිකරණයේ සිදුවූ ලොකු නෛතික වංචාවක් ලෙසද සැලකිය හැකිය. එසේම එම තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන මූලධර්ම ඉතාමත් සාහසික ලෙස උල්ලංඝනය කරන ලද අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියට ලංකාව අත්සන් කළේ 1980 ජූනි 11 වැනිදාය. එම ප්‍රඥප්තියේ වෛකල්පික ප්‍රොටකෝලයට ලංකාව අත්සන් තැබුවේ 1997 ඔක්තෝබර් 03 වැනිදාය. ඒ අවස්ථාවේදී ලංකාවේ නීතිපති ලෙස ක්‍රියා කළේ සරත් නන්ද සිල්වාය. ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ වෛකල්පික ප්‍රොටකෝලයට ලංකාව අත්සන් තැබීම නීතිපති වශයෙන් සරත් නන්ද සිල්වාගේ උපදෙස් හා අනුදැනුම ඇතිව සිදුවූවක් ලෙස සැලකිය හැකිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තිය අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය වැනි ජාත්‍යන්තර ගිවිසුම්වලට අත්සන් තැබීමේ බලය ජනාධිපතිට තිබෙන්නේය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය මහජනයා සතු අයිතිවාසිකම් නිර්වචනය කරන එම අයිතිවාසිකම් තහවුරු කරන ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මහජනයාට ලබාදී තිබෙන අයිතිවාසිකම්වලට වැඩි අයිතිවාසිකම් ප්‍රමාණයක් ලබාදෙන ප්‍රඥප්තියක් ලෙස සැලකිය හැකිය.
සිංහරාසා අයදුම්පත සරත් නන්ද සිල්වා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගන්නා අවස්ථාව වන විට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය කෙරෙහි ලංකාවට ඇති නෛතික බැඳීම තහවුරු කරන නඩු තීන්දු දෙකක්ම ලබාදී තිබුණේය. පළමු නඩු තීන්දුව දී තිබුණේ ආචාර්ය ඒ.ආර්.එම්.බී. අමරසිංහ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් විසින් 1997දීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය මානව හිමිකම් කමිටුව දෙනු ලබන තීරණයන් කෙරෙහි බැඳීමක් ඇති කරන බවත්, ඒ නිසා දැන් ලංකාවේ ජනතාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව දෙන ලද තීරණයන්ගෙන්ද රැකවරණය ලබන ජනතාවක් බවට පත්ව සිටින බවත් මානව හිමිකම් කමිටුව දෙනු ලබන තීරණයන් ප්‍රතික්ෂේප කළහොත් එය පුරවැසියෙකුට ජාත්‍යන්තර නීතියෙන් ලැබිය යුතු ආරක්ෂාව අහිමි කිරීම පිළිබඳව ප්‍රශ්නයක් ඇති කිරීමට හේතුවනු ඇති බවත් එම තීන්දුවේ සඳහන් වේ. (wickramatunga V Anurudddha Ratwatte, Minister of power and energy (F/R) 228/96 scm 07.15 (1997)
දෙවැනි නඩු තීන්දුව දී තිබෙන්නේ ආචාර්ය මාර්ස් ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිශ්චය මණ්ඩලයක් මගින් 2000 වසරේදීය.
නිදහස අහිමි කළ පුද්ගලයෙකුට අධිකරණයේ පිහිට පැතීමට පමණක් නොව එවැනි පුද්ගලයෙකු දැන් මානව හිමිකම් කමිටුවටද පැමිණිලි කළ හැකි බව ප්‍රකාශ කරමින් මාක් ප්‍රනාන්දු කියන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය නොසලකා ක්‍රියාකිරීමේ හැකියාවක් අධිකරණයට නැති බවත්, ව්‍යවස්ථාවේ 27 (15) වගන්තිය මතින් ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර ගිවිසුම්වලට ගරු කිරීමට රජය බැඳී සිටින බවත්, ඒ අනුව රජය මහජනයා සමග ගනුදෙනු කිරීමේදී අන්තර්ජාතික නීතියෙන් මහජනයාට ලැබී තිබෙන ආරක්ෂාව විශේෂයෙන්ම ඔවුන්ගේ නිදහසට අදාළ කාරණාවලදී අන්තර්ජාතික නීතියෙන් ලැබී තිබෙන ආරක්ෂාව ලබාදිය යුතු බවත් කියා තිබේ. (Weerawansa V Attorney General and Others (2000) Sri Lanka LR Page 387-408)
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය හා අන්තර්ජාතික නීතිය ලංකාවට බලපාන ආකාරය පිළිබඳව මේතරම් පැහැදිලි නඩු තීන්දු දෙකක් තිබියදී එම නඩු තීන්දු දෙක මුළුමනින් නොසලකා මානව හිමිකම් කමිටුවේ තීරණයන් මෙහි ක්‍රියාවට නැගීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය කියන තීන්දුවක් දීමේ හැකියාවක් සරත් නන්ද සිල්වාට නැත. විශේෂයෙන්ම සරත් සිල්වාට සිංහරාසා අයදුම්පත තමන්ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියට ගැනීමේ සදාචාරමය හෝ නෛතික අයිතියක් නොතිබුණි. මෙම ප්‍රඥප්තියේ වෛකල්පිත ප්‍රොටකෝලයට ලංකාව අත්සන් තබන අවස්ථාවේදී ලංකාවේ නීතිපති ධුරය උසුලන ලද්දේ ඔහුය. එය ඔහුගේ උපදෙස් හා අනුමැතිය ඇතිව කරන ලද දෙයක් බව ඉන් පෙනීයයි. අනෙක් අතට මානව හිමිකම් කමිටුවට ලංකාවෙන් ඉදිරිපත් වී තිබෙන පැමිණිලි වැඩිහරියක් සරත් නන්ද සිල්වාගේ තීන්දුවලට එරෙහිව කරන ලද පැමිණිලි ලෙස සැලකිය හැකි අතර එම කමිටුව එතෙක් ලංකාවට අදාළ දී තිබෙන තීරණයන් වැඩි හරියක්ද සරත් නන්ද සිල්වා කෙරෙහි බලපාන තීන්දු ලෙස සැලකිය හැකිය. සිංහරාසාගේ මෙම නඩුව විභාගයට ගන්නා අවස්ථාව වනවිට මානව හිමිකම් කමිටුව සරත් නන්ද සිල්වාට ලොකු හිසරදයක් බවට පත්ව තිබුණේය.
යුරෝපා සංගමය ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය අහිමි කිරීමට බලපෑ ප්‍රධාන හේතුව ලෙස ක්‍රියා කළේද සරත් නන්ද සිල්වාගේ මෙම නීති විරෝධී නඩු තීන්දුවය. ඒ නිසා රටට සිදුවූ අලාභය ගණන් බැලිය යුතුව තිබෙන්නේ ඩොලර් බිලියනවලිනි. ඊට අතිරේකව එම නීති විරෝධී හා වංචාසහගත නඩු තීන්දුව ලංකාවේ මහජනයාට මහජන අයිතිවාසිකම් විෂයෙහි ජාත්‍යන්තර නීතියෙන් ලැබී තිබුණු ආරක්ෂාව අහිමි කළේය. ඒ ගැන වන හරි අවබෝධයක් අද දක්වාම රටේ මහජනයාට හෝ මහජන සංවිධානවලට තිබෙන බවක් පෙනෙන්නට නැත. හරි අවබෝධයක් තිබුණේ නම් ඔවුන් වැඩියෙන්ම කෑගසනු ඇත්තේ එම අයිතිය ලබාගැනීම සඳහාය.

අධිකරණය නිවැරදි කරගැනීම

මේ රට ඇද වැටී තිබෙන කාලකණ්ණි තත්ත්වයට විධායකය හා ව්‍යවස්ථාදායකය පමණක් නොව, අධිකරණයද වගකිවයුතු බව ඉහත දක්වන ලද නිදර්ශන ආශ්‍රයෙන් තේරුම් ගැනීම අමාරු නැත. 2015දී ලංකාවේ ආණ්ඩු පෙරළියක් ඇති වුවද යහපාලන ආණ්ඩුවේ අධිකරණයට අහිමි වී තිබෙන ගෞරවය හා ස්වාධීනත්වය නැවත හිමිකර දෙමින් අයාලේ යමින් තිබෙන අධිකරණය හරිමගට ගැනීම සඳහා මොනම වැදගත් පියවරක්වත් ගෙන නැති බවත් ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඇති කිරීම ප්‍රශ්නයට හොඳ විසඳුමක් නොවන බවත් තේරුම් ගැනීම වැදගත්ය.
අධිකරණයේ යහපත් වෙනසක් ඇති කිරීම සඳහා කරන ප්‍රතිසංස්කරණ බාහිර මැදිහත්වීමකින් කරන දෙයක් නොවේ. එය අභ්‍යන්තරයෙන්ම සිදුවන දෙයක් බවට පත් කළ හැකි නම් එය ඇති කරන ප්‍රතිඵල වඩා යහපත් වනු ඇත. නැතිවී තිබෙන ගෞරවය අභිමානය හා ස්වාධීනත්වය බාහිර වශයෙන් දිය හැකි දෙයක් නොව අභ්‍යන්තරික වශයෙන්ම දිනාගත යුතු දේවල්ය.
අධිකරණයේ ඇති කළ යුතුව තිබෙන ප්‍රධාන වෙනස්කම් ගැන හොඳ අවබෝධයක් තිබෙන, ඒ ගැන අවංක වුවමනාවක් හා හැඟීමක් තිබෙන හා අධිෂ්ඨානයක් තිබෙන හා ප්‍රායෝගික සැලැස්මක් තිබෙන හොඳ අගවිනිසුරුවරයෙකුට අධිකරණය, යහපත් අධිකරණයක් බවට පත්කිරීමට අවශ්‍ය සියලු වෙනස්කම් ඇති කළ හැකිය. වෙනත් ආයතනවලට මෙන් නොව අධිකරණයේ අගවිනිසුරුට ඒ සඳහා අවශ්‍ය සියලුම නීතිමය බලය තිබෙන්නේය.
අධිකරණයට හෝ මහජනයාට වැදගත් වන ඕනෑම කාර්යයක් ආරම්භ කොට පවත්වාගෙන යෑමේ බලයද අධිකරණයට අධිකරණයේ පරිචය කාර්ය පටිපාටිය විධිමත් කිරීමට හේතුවන ඕනෑම පරීක්ෂණයක්, ප්‍රතිසංස්කරණ වැඩසටහන් ඇති කොට පවත්වාගෙන යෑමටත් ඒ සඳහා අවශ්‍ය රීති ඇතිකර ගැනීමටත් අවශ්‍ය කරන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ම අගවිනිසුරුවරයාට හා ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදී තිබේ.
1. අගවිනිසුරුවරයාට අධිකරණයේ ඇතිවී තිබෙන පරිහානිය කෙරෙහි බලපා තිබෙන හේතු ගැන සොයා බලන තැනකට යා හැකිය.
2. අධිකරණයට අවශ්‍ය ගෞරවය, අභිමානය හා ස්වාධීනත්වය ඇතිකර ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුනාගෙන ඒවා ක්‍රියාකරන තැනකට යා හැකිය.
3. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් තුළ අධිකරණය හා විනිසුරුවරුන් වෙත පැවරෙන කාර්යභාරය ගැන විනිසුරුවරුන්ට හොඳ අවබෝධයක් හා හැඟීමක් ඇති කිරීමට හේතුවන අධ්‍යාපන වැඩසටහනට යා හැකිය.
4. අධිකරණය හා රටේ අනාගතයට අහිතකර ලෙස බලපාන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට හේතුවී තිබෙන සියලු නඩු තීන්දු නිෂ්ප්‍රභ කරන තැනකට යාහැකිය.
5. පුනරුත්ථාපනය කළ නොහැකි තරමට දූෂ්‍ය වී සිටින විනිසුරුවරුන් හඳුනාගෙන ඔවුන් අධිකරණ සේවයෙන් ඉවත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කළ හැකිය.
6. අධිකරණයේ ක්‍රියාත්මක වන අල්ලස හා දූෂණය මර්දනය කිරීමට හේතුවන නඩු ප්‍රමාදය වළකා අධිකරණයේ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම කිරීමට හා පාරදෘෂ්‍ය කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩසටහනට යා හැකිය.