රාවය

එජාපයට ඕනෑ ආකර්ෂණීය නායකයෙක් හා වැඩපිළිවෙලක් ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ

එජාපයට ඕනෑ ආකර්ෂණීය නායකයෙක් හා වැඩපිළිවෙලක් ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ

නිමල් අබේසිංහ

ඡායා – ටී.නඩරාසා

විශ්වාසභංගය සම්බන්ධයෙන් දැනට එජාප මන්ත්‍රීවරු කරන්නේ කුමක්ද?

විශ්වාසභංග යෝජනාව කියවගෙන ගිහිල්ලා අවසාන වශයෙන් තිබෙන්නේ මේ රජය කෙරෙහි තිබෙන විශ්වාසය නැතිවීම කියලයි. ඒ නිසා අපි එක්සත්ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීන්දුවක් අරගෙන තියනවා විශ්වාසභංගය පරාජය කළයුතුයි කියලා. පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විධියට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඒ තීන්දුවත් එක්ක අපිට කටයුතු කරන්න වෙනවා.
කොහොමත් මේ විශ්වාසභංගය එක්තරා විදියක දේශපාලන අරමුණක් සඳහා ගෙනාපූ එකක් කියන එක තමයි අපට පේන්න තියෙන්නේ. මෙහි අන්තර්ගත සමහර කාරණා සම්බන්ධයෙන් අපෙත් විවේචනයක් තියෙනවා. එකඟතාවක් තියෙනවා. විශේෂයෙන් මහබැංකු සිද්ධිය සම්බන්ධයෙන්. හැබැයි මේ අවස්ථාවේදී මේ කණ්ඩායම සැරසෙන්නේ ඒ අයගේ සොරකම් වසාගන්න විශ්වාසභංගය පාවිච්චි කරන්නයි. ඒ නිසා අපේ කණ්ඩායම විශ්වාසභංගයට එකහෙළාම විරුද්ධව කටයුතු කරන්න තමයි සූදානමින් ඉන්නේ.

විශ්වාසභංගයට පදනම් වූ කාරණා තර්කාණුකූලයි. මේ ගැන ඇත්තටම එජාපයේ මතය කුමක්ද?

ඇත්තටම විශ්වාසභංගයට පදනම් වෙච්ච කාරණා, විශේෂයෙන්ම මහබැංකු සිද්ධිය ගත්තොත් එජාපයේ මන්ත්‍රීවරුන් විදියට අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කරන්න කිසිදු උවමනාවක් නෑ. මේ වංචාව වංචාවක් විදියට සිදුවුණා කියලා අපට පැහැදිලිව පෙනෙන්න තියෙනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිළිවම අපේ විරුද්ධතාවක් තියෙනවා. මේ ගැන යම් කිසි විභාගයකට යන තැනකට ඇවිල්ලා ඉන්නවා. අර්ජුන් මහේන්ද්‍රන්ට අද රතුවේදනයක් නිකුත් කරලා තියනවනේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් දෙන්නෙක් දැනට බන්ධනාගාරගතවෙලා සිටිනවා. විමර්ශන කටයුතු නතරවෙලා නැහැ. අපට පේන්න තියනවා ඒ විමර්ශන කටයුතු කරන ආයතනවලටත් ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව දීලා තිබෙන බවත්. මහබැංකු සිද්ධිය සම්බන්ධයෙන් කවරතරාතිරමක හෝ කෙනෙකුට දඬුවම් කරන්න තියෙනවානම් අපේ විරෝධතාවක් නෑ. හැබැයි ඒ සිද්ධිය දඩමීමා කරගෙන බිලියන 12ක වාගේ වංචාවකට බිලියන හාරපන්දහක් වංචා කරපු මිනිස්සු ඒ ගොල්ලන්ගේ හොරකම් වහගන්න කඩිමුඩියේ මේ ආණ්ඩුව කඩා ඉහිරවලා දාන්නද හදන්නේ කියලා හිතෙනවා.
එතකොට විශේෂ අධිකරණය පිළිබඳ පනත විශ්වාසභංගයෙන් පස්සේ පාර්ලිමේන්තුවට ගේන්න නියමිතයි. එතකොට වැරදිලාවත් විශ්වාසභංගයෙන් රජය පරාජයට පත්වුණොත්, පාර්ලිමේන්තුවේ කටයුතු ස්ථාවර නියෝග අනුව අවසන් කරන්න පුලුවන්. එහෙම අවසන් වුණොත් එතෙක් සාකච්ඡා කරපු සියලුම න්‍යාය පත්‍ර අවසන් කරන්න සිද්ධවෙනවා. ඒනිසා අපට සැකයක් තියෙනවා. විශේෂ මහාධිකරණ පිහිටුවන්න ගෙනෙන පනත නවත්වන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය වාරණ නියෝගයක් ඉල්ලලා යන්නෙත් විශ්වාසභංගය භාර දෙන්නෙත් මේ කණ්ඩායම එකම දවසේ.

පක්ෂයතුළම මන්ත්‍රීවරුන් අතර අරාජික තත්ත්වයක් ඇතිවීමට නායකයා හේතුවූ බව පෙනෙනවා. ඒ ප්‍රශ්නය විසඳගන්න බැරිවුණේ මොකද?

දැන් අපි විශ්වාසභංගයේදී අගමැතිතුමාට සහාය පළකරනවයි කියන්නේ මේ ආණ්ඩුව ඇතුළේ පක්ෂය ඇතුළේ කරන කටයුතු සියල්ලටම අපි පැහැදීමෙන් ඉන්නවා කියන එක නොවෙයි. අපි විශේෂයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට ඒ තීන්දුවේ ඉන්නවා. ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතෙහි පැහැදිලි වෙනසක් සිදුවිය යුතුයි. ඒවාගේම එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි ප්‍රතිසංවිධානයක් විය යුතුයි. අපි ඒ සඳහා වන යෝජනා දැනටමත් අගමැතිවරයාට ඉදිරිපත් කරලා තියනවා. අපි කණ්ඩායමක් හැටියට කමිටුවක් හැටියට එකතුවෙලා සියලු දෙනාගේ අදහස් උදහස් නියෝජනය වෙන විදිහට ප්‍රතිසංවිධාන යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට අපේ පක්ෂ නායකයා එකඟවෙලා තියනවා. නිශ්චිත කාලයක් ඇතුළත මාසදෙකකට මෙහා කාලයක් ඇතුළත ඒ ප්‍රතිසංවිධාන කටයුතු සියල්ල පක්ෂය තුළ කරනවා කියලා. ඒ නිසා විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙනවා කියන්නේ ඒ සියලු දේවල් නිවැරදිය පක්ෂය ගමන් ගන්නා ක්‍රියාමාර්ග නිවැරදි කියන එක නොවෙයි.

ඔබ හිතන විදියට දැන් ඇත්තටම නායකත්වය වෙනස්විය යුතුද?

ඔබට මතක නම් අපි මීට කාලෙකට පෙරදී අපි පක්ෂය තුළ කිසියම් අරගලයක් කළා. මමත් ඒ කණ්ඩායමේ හිටියා. අපි එදා නායකතුමාට කීවා ඇත්ත වශයෙන්ම නායකතුමා වෙනස් වෙනවටත් වඩා ක්‍රමවේදයේ වැඩපිළිවෙළේ වෙනසක් කරන්න කියලා. එදා අපි 2013 වගේ කාලේදීත් ඉල්ලීමක් කළා. පක්ෂය යන ක්‍රමවේදය වැරදියි. බහුතර මතය නියෝජනය වෙන්නේ නෑ. පාක්ෂිකයාගේ මතය නියෝජනය වෙන්නේ නෑ. ඒ නිසා බිම් මට්ටමේ පාක්ෂිකයන්ගේ සිතුම් පැතුම් හඳුනාගත හැකි දේශපාලන ව්‍යාපාරයක් බවට එක්සත්ජාතික පක්ෂය පත්විය යුතුයි කියන හඬ අපි 2013 දී ගෙනාවා. අපි මෙතන පුද්ගල මාරුවකට වඩා අපි ඉල්ලන්නේ විශේෂයෙන්ම මහජනයාත් එක්ක කටයුතු කරන නැවුම් මුහුණුවරක් අලුත් වෙනසක් අවශ්‍ය බවයි. ඒ නිසා මේක රනිල් වික්‍රමසිංහ මැතුමාට විරුද්ධව කරන අරගලයක් නොවෙයි.

නායකයකුගත් එජාපයට බලාපොරොත්තු වන්නේ මොකක්ද?

රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ තිබෙන පරිණත බවයි දේශපාලන දැනුමයි ජාත්‍යන්තර සම්බන්ධකම් තවදුරටත් පක්ෂයට අවශ්‍යයි. ඒ වුණත් පාක්ෂිකයින් අපෙන් යම් කිසිවිදියකට ඈත්වෙමින් සිටිනවා. එතකොට අලුත් තරුණ කොටස් අපිත් සමග ඉන්නේ අඩුවෙන්. ඒ වගේම නැවුම් බලාපොරොත්තුවකින් රටේ ජනතාව ආකර්ශනය කරගන්න පුළුවන් වැඩ පිළිවෙළක් සමග නායකත්වයක් පක්ෂයට අවශ්‍යයි.

ඒ ගැන තවදුරටත් කතා කළොත් ජනතාව ආකර්ශනය කරගත හැකි නායකයකු පක්ෂය තුළ නෑ කියලද කියන්නේ?

පසුගිය මැතිවරණවලින් අපිට පේන්න තියෙන දේ නව මුහුණුවරක් පක්ෂයට අවශ්‍යයි කියන එකනේ. මැතිවරණ ප්‍රතිඵලවලින්ත් පැහැදිලියිනේ. මේක මම කියන කාරණයක් නෙවෙයි. රටේ බහුතරයක් ජනතාව මේක ප්‍රකාශ කරලා තියනවා. හොඳම උදාහරණය ගියවර මැතිවරණයේ පොහොට්ටුව කියන ලකුණට ඡන්දය දුන්නේ ගමෙන් ඉදිරිපත් වෙච්ච අපේක්‍ෂකයා දිහා බලලා නෙවෙයිනේ. එතකොට අපිට පේන්න තියෙන්නේ අපේක්‍ෂකයාට නෙවෙයි ඡන්දය ගියේ සමහරවිට ඒ පක්ෂයේ නායකයා නිසා කියන එක. එහෙම නම් අපේ රටේ පුංචි මැතිවරණයකදිත් ජාතික නායකත්වය දිහා බලලා ඡන්දය පාවිච්චි කරනවාය කියන එකට ඒක හොඳ උදාහරණයක්. එහෙම නම් එක්සත් ජාතික පක්ෂයටත් ඒ වෙනස අවශ්‍යයි. ඒ වගේම මම හිතනවා එක්සත් ජාතික පක්ෂය තුළ විතරයි අලුත් නායක පෙළක් ඉන්නේ.

එජාප නායකයා තමන්ට හිතවත් කණ්ඩායමක් සමග පමණක් සමීපව කටයුතු කිරීම නිසා පක්ෂය දුර්වල වෙන බවට නැගෙන චෝදනාව ගැන ඔබගේ මතය මොකක්ද?

අපි දිගින් දිගටම මේ කාරණා පක්ෂය අභ්‍යන්තරයේ තිබෙන දුර්වලකම් අඩුපාඩුකම් ගැන කතා කරලා තියෙනවා. මම මාධ්‍යයක් ඉස්සරහට ඇවිල්ලා යම් යම් කාරණා කියන එක සදාචාරාත්මකයි කියලා හිතන්නේ නෑ. මම මේ කාරණය තුළ අගමැතිතුමාගේ අඩුපාඩුවකුත් දකිනවා. හොඳකුත් දකිනවා. මොකද එතුමා එතුමාගේ ළඟම සිටින දේශපාලන මිත්‍රයෝ දැඩිව විශ්වාස කරනවා. සහ ඒ අයට උදව් උපකාර කරනවා. ඒ අයගේ උපදෙස්වලට ඇහුම්කන් දෙනවා. ඒක හොඳටත් පාවිච්චිවෙලා තිබෙනවා. නරකටත් පාවිච්චි වෙලා තිබෙනවා. එතුමා සමහරවෙලාවට එවැනි මිතුරන්ට තමන්ට දෝෂාරෝපණ එල්ලවෙත්දීත් ඒ අය විශ්වාස කරලා උදව් කරලා තියනවා. මම හිතනවා අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙනුත් ඒවගේ චෝදනාවක් ආවේ ඒ නිසා කියලා. ඒක එතුමා මිත්‍රයන් විශ්වාස කරන්න ගිහින් සිදුකරගත් බරපතළ දේශපාලන අවාසියක් කියලා මම හිතනවා.

එජාප ප්‍රතිසංවිධාන කමිටුව කළ යෝජනා මොනවාද?

සංක්ෂිප්ත වශයෙන් කීවොත් මෙහෙමයි. පක්ෂයේ ප්‍රධාන තනතුරු සියල්ල අලුත් පිරිසකට භාරදීම, ග්‍රාමීය මට්ටමේ සිට කෘත්‍යාධිකාරි මණ්ඩලය දක්වා නවජීවයක් දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සමාජ ජාලා මාධ්‍ය ඇතුලුව සමස්ත මාධ්‍ය වැඩපිළිවෙලක්. පක්ෂය තුළ විවිධ ජාතීන් නියෝජනය කරන එජාප නායකයින් බිහිකිරීම. එජාපයේ බිඳවැටුණ බෞද්ධ ඡන්ද පදනම නැවත ලබාගැනීමේ වැඩපිළිවෙළක්. මේ සඳහා කඩිනම් වැඩසටහනක් දියත් කිරීමත් අවශ්‍යයයි. කියන ඒවා තමයි අපේ යෝජනා වුණේ.