අතිරික්තය පාලනය නොකිරීමෙන් දඹුල්ලේ එළවළු විනාශයි

රසික ගුණවර්ධන

දඹුල්ලට තවම හිරු එළිය වැටී නැත. හිමිදිරියේ අවදි වූ කළු කපුටෝ නොනවතින කරච්චල් සද්දෙන් ආර්ථික මධ්‍යස්ථානය පුරවන්නේ තවම ගොවීන් එළවළු රැගෙන පැමිණ නැති නිසාය. කැහැටු ගැහුනු බල්ලකු ද ඊට එහායින් අත්කරත්තයක ගුලිවී නිදන නාට්ටාමියකු ද විශාල ආර්ථික මධ්‍යස්ථානයේ රික්තකය පිරවීමට තරම් නැත. තැනක පෙරදා ගෙන ආ ගොඩ ගැසූ වට්ටක්කා ගොඩකි. තවත් තැනක කෙසෙල් කැන් ගොඩකි. තවත් එහායින් යාපනයෙන් ආ විශාල ලූනු කන්ටේනරයකි. කැරට් ද ලීක්ස් ද පටවා ගත් ලොරියක් හෙමි හෙමින් එනු පෙනේ. බිම් කළුවර පහව ගොස් නැති නිසා රික්තකය තවමත් හිස්ය. එළවළු මිල බොහෝ සෙයින් පහළ ගොසින් ය. වගා කළ ගොවියා සිටින්නේ වියදමත් සොයාගත නොහැකි අන්ත අසරණ තත්ත්වයකය. මේ පිළිබඳව සොයා බැලීමට අපි පසුගිය දා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත ගියෙමු.

මිළ

“මේ දවස්වල කොහොමද මිල ?”
“කතා කරල වැඩක් නෑ. දහය යි දොළහයි. ඊයෙ කෑලි හතළිස් අටක් ගෙනාව විසි එකක් දාලා ගියේ. දොළහ ගානේ විසි හතක් දුන්නා. මේ ගානට දීලා වියදමවත් කවර් කරගන්ඩ බෑ. පොහොර වියදම, වැඩ කරන අයගේ පඩි බේරන්ඩවත් මේ ගාන මදි. විසි පහකට තිහකට වගේ ගියානං පොඞ්ඩක් ෂේප් වෙන්ඩ තිබ්බා.” ඔහු නමින් විජේනායක යි. සිටියේ පිපිඤ්ඤා පැටවු ලොරියකය.
“ඊයෙ මොකද මෙච්චර මිළ අඩු වුණේ?”
“ඊයෙ සෑහෙන්ඩ බඩු ආවා. බඩු ගොඩක් තිබ්බොත් මිල අඩුයි. බඩු අඩු වුණොත් මිල වැඩී. අදත් මොනව වෙයිද දන්නෑ. දැන් යාපනේ ඉඳලත් සෑහෙන බඩු ගොඩක් එනවා. එතකොට මෙතන හැමදාම බඩු පිරිලා. අනික දැන් සීසන් කාලේ කට්ටිය අවුරුද්ද බලාගෙන හදපු එළවළු තමයි මේ ගේන්නේ. ” මෙතන මිල තීරණය කරන්නෙ හය හත්දෙනෙකුට ඕනෙ විදිහට.” ඔහු පැවසුවේ චෝදනාත්මක ස්වරයකිනි.
මීට පෙර අවුරුදු සමයේ දඹුල්ලේ අර්ථික මධ්‍යස්ථානයේ හොඳ එළවළු මිලක් පැවතියද මේ වසරේ තත්ත්වය එසේ නොවේ. බොහෝ එළවළු පවතින්නේ අවම මිලක ය. පසුගිය වසරවල යම් ස්ථාවර මිලක් පැවති අතර ඒ හේතුවෙන් එළවළු මිල පැවතියේ ඉහළ අගයක ය. එසේ ඉහළ මිලක් පැවති එළවළු වර්ග මෙවර ගොවීන් වැඩි වශයෙන් වගාකර තිබුණු බව දැකගත හැකිවිය. අප එහි සංචාරය කළ අප්‍රේල් මස දෙවන දින උදෑසන පැවති එළවළු කිහිපයක මිල ගණන් මෙසේය.
වට්ටක්කා රුපියල් දහයත් පහළොවත් අතර, අමු මිරිස් රුපියල් තිහත් හතළිහත් අතර, මාලු මිරිස් හැටත් හැට පහත් අතර, මල් ගෝවා පනහත් හැටත් අතර, බීට්(යාපනය) රුපියල් දහයත් පහළොවත් අතර, බෝංචි රුපියල් විසි පහත් තිහත් අතර, තක්කාලි රුපියල් අටත් දහයත් අතර, කැරට් රුපියල් හතළිහත් හතළිස් පහත් අතර, පිපිඤ්ඤා රුපියල් දහයත් පහළොවත් අතර, රාබු රුපියල් තිහත් තිස් පහත් අතර, බටු රුපියල් තිහත් තිස් පහත් අතර, කැකිරි රුපියල් දහයත් පහළොවත් අතර.
මීට අමතරව රටල, ඉඟුරු, තුඹ කරවිල හා බතලවල සැලකිය යුතු තරමේ මිලක් දැක ගත හැකි විය. එළවළු මිල අඩු වුවද පළතුරු මිල යම් ස්ථාවර අගයක පැවතුනි.

අතිරික්ත එළවළු

මිල පහළ යාමට හේතු වී ඇති ප්‍රධානතම හේතුව ලෙස හඳුනාගත හැකි වන්නේ ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග බොහෝ සෙයින් ඉහළ යාමයි. උදාහරණයක් ලෙස සාමාන්‍යයෙන් බෝංචි අවශ්‍යතාව කිලෝ 500 පමණ වේ නම්, ආර්ථික මධ්‍යස්ථානය ලැබෙන බෝංචි ප්‍රමාණය කිලෝ 2000 ද ඉක්මවයි. ඒ අනුව නිරායාසයෙන්ම අතිරික්තයක් නිර්මාණය වේ. ඉල්ලුමට වඩා වැඩි සැපයුම නිසා මතුවන අතිරික්තය හේතුකොට ගෙන මිල පහළ යාම සිදු වේ. කිලෝ 500 අවශ්‍යතාවක් පවතින විට කිලෝ 500 සැපයුමක් පැවතියහොත් ස්ථාවර සාධාරණ මිලක් ලැබේ. කිලෝ 500 වඩා අඩු සැපයුමක් පැවතිය හොත් වඩා වැඩි මිලකට ලබාදිය හැකිය. ඒ අනුව මිල තීරණය කරන ප්‍රධානම සාධකය නම් සැපයුමේ ප්‍රමාණය යි.
“යාපනේ කට්ටිය වැඩිය තෙල් පොහොර දාන්නෙ නෑලු. ඒහින්දා ඒ ගොල්ලො ටිකක් අඩු ගානට දෙනවා. ඒකියන්නෙ වෙළෙන්දෝ කීයට ඉල්ලුවත් දීලා යන්ඩ තමයි ඒගොල්ලො බලන්නේ. එතකොටත් ගොඩක් මිල අඩුවෙනවා. ඊට පස්සෙ වෙළෙන්දෝ කොහොමත් වැඩිගාණට අපෙන් ගන්නෙ නෑ. අරිටත් වඩා අඩුගාණකට තමයි එයාල ගන්ඩ බලන්නේ. උදේ තියන මේ මිල නෙවේ හවස් වෙද්දි තියෙන්නේ. කොහොම හරි කට්ටිය එන්ඩ ඉස්සල්ලා උදේම ඇවිල්ලා ඉස්සරහට පැනගත්තොත් ගොඩ. එතකොට ටිකක් වැඩිගානකට දෙන්ඩ පුලුවන්. වෙළෙන්දොත් ගොවියෝ පිරෙනකන් ඉන්නවා. ඉඳලා එක එළවළුවෙන් සෑහෙන ගොඩක් කෑලි ආවහම ඒක අඩුවට ගන්නවා. මොකද කාටවත් වැඩි ගාණක් කියන්ඩ බෑනේ. ඒක හින්ද කවුරුත් බලන්නේ කීයට හරි දෙන්ඩ.” ඒ මැණික් රාල මහතාය. ඔහු රුපියල් දහයට නිර්දේශ වී ඇති වට්ටක්කා ඵලදාව තියාගෙන වැඩි මිලකට කවුරුන් හෝ එනතුරු බලා සිටී.

අතිරික්තය පාලනය නොවීම

වෙළෙඳපළේදී අතිරික්තය පාලනය කිරීම බොහෝ වැදගත්ය. නැතිනම් සිදුවන්නේ මේ ආකාරයට මිල පහළ යාමයි. ලංකාවේ ගොවියාගේ නිෂ්පාදනවලට නිසි මිලක් ලබාගත නොහැක්කේ මේ කියන අතිරික්ත පාලනයට නිසි ක්‍රමවේදයක් නොමැති නිසාය. ඒ පිළිබඳව ගොවියාටද වගක් නැත. වගකිව යුත්තන්ටද වගක් නැත. එහෙත් ගොවියෝ පාරට බැස ඉල්ලන්නේ තමන්ගේ නිෂ්පාදනවලට නිසි ස්ථාවර මිලකි. වගකිව යුත්තෝ ද වේදිකාවල බෙරිහන්දෙමින් ගොවියාගේ නිෂ්පාදනවලට නිසි මිලක් ලබාදෙන බව කියති. එහෙත් ඒවා ඉටුවන්නේ නැත. බාගවිට උනන්දුවන් නැතිවා විය හැකිය. ප්‍රමුඛවම සිදුවිය යුත්තේ අතිරික්තය පාලනය කිරීමය. එසේ පාලනය කර වෙළෙඳපළ තුළ යම් හිඟයක් ඇති කළ යුතුය. එවිට වෙළෙඳපළේ අතිරික්ත එළවළු නොමැති බැවින් මිල ස්ථාවරව පවතී.
ගොවියාගේ අවුල වන්නේ මෙය වටහා නොගැනීම යි. උදාහරණයක් ලෙස මෙවර තක්කාලි මිල වැඩි වූවායැයි සිතන්න, එවිට සියලු ගොවිහූ තක්කාලි වවති. තක්කාලි වවා හොඳ මිලක් ලබාගත හැකියැයි ඔවුහු කල්පනා කරති. එහෙත් සියලුම දෙනා මෙසේ තක්කාලි වවන විට මිල පහළ යාම ස්වාභාවිකය. එවිට අඩුවෙන් සැපයෙන එළවළු වර්ගවලට වැඩි මිලක් නියමවේ. මෙහිදී ගොවියාට තමන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළට යන ප්‍රමාණය සීමා කළ හැකිය. අනෙක් අතට බෙදාහැරීම පුළුල් කළ හැකිය. නැතිනම් සමස්තය වෙළඳපළට නොයවා හිඟයක් නිර්මාණය කර වඩා වැඩි මිලක් ලබා ගත හැකිය. කෙසේ හෝ ගොවියා වෙළෙඳ පොළේ අතිරික්තයක් ඇති නොකිරීමට වගබලා ගැනීම වැදගත් ය.

බීජ ප්‍රශ්නය

ප්‍රධාන ගැටලුවක් වන්නේ ගොවීන් ගොවිතැන සඳහා භාවිත කරන බීජවලින් ලැබෙන ඵලදාවට බොහෝ විට ඉල්ලුමක් නොමැති වීමයි. එනම්, රජය විසින් අනුමත කරන බොහෝ ප්‍රභේදවලට මෙරට වෙළෙඳපළ තුළ පාරිභෝගිකයාගේ ඉල්ලුමක් ඇත්තේ නැත. උදාහරණයක් ලෙස මෙරට ගොවීන් දැන් වගාකරන විශාල දිගු අමු මිරිස්වලට එතරම් විශාල කැමැත්තක් හා ඉල්ලුමක් ඇත්තේ නැත. ඒ අමු මිරිස් ප්‍රභේදය එතරම් සැර නැත, එසේම අමු මිරිස්වලින් බලාපොරොත්තු වන රසයද නැත. මේවා බොහෝ විට චීනය, ජපානය වැනි රට වල වැඩි වශයෙන් භාවිත කරන මිරිස් ප්‍රභේදයන් ය. කෙටි කාලීන හා ඵලදාව වැඩි නිසා මේවා හඳුන්වා දෙන බව පැවසුව ද වෙළෙඳපොළේ ඉල්ලුමක් නොමැති වීම නිසා ගොවියාට ඒ මිරිස් විකුණන්නට සිදුව ඇත්තේ ඉතාම අඩු මිලකට ය. එහෙත් සාමාන්‍ය ලෙසම වගා වියදම් දැරීමට සිදුවන නිසා ලාභයක් නොව විඳීමට සිදු වන්නේ පාඩුවකි. ලංකාවේ කෘෂිකර්මයට ප්‍රායෝගික ඇසක් අවශ්‍ය වන්නේ මේ නිසාය.
එසේම මෙසේ නොගැලපෙන බීජ නිර්දේශ වීම පිටුපස ද ඈඳෙන කතා බොහෝ ය. බීජ සමාගම්වල මුදලට යටවන පිරිස ඉහත දිගු කාලීන පාඩුව නොදැක හෝ බාගවිට දුටුවත් තමන් ලබන අල්ලස ඊට වඩා ඔවුන්ට වැදගත් බැවින් බීජ අනුමත කරනවා විය හැකිය. අමු මිරිස් පමණක් නොව පිපිඤ්ඤා ප්‍රභේද ඇතුලු බොහෝ එළවළු ප්‍රභේදවලට මේ තත්ත්වය උදා වී ඇත.
“ගොවීන් ගේන සමහර වර්ග විකුණන්ඩ බෑ. ඒව ගන්ඩ ගොඩක් අය කැමති නෑ. ගොවීන්ටම ඒකෙ වැරැද්ද කියන්ඩ බෑ. කොහෙන් ගන්න ගියත් තියෙන්නෙ ඒවානම් ගොවීන්ට ඒවනේ වගා කරන්ඩ වෙන්නේ. හැබැයි මහා පරිමාණෙන් කරන ගොවීන් කොහොම හරි මාස ගාණක් ඔට්ටු වෙලා හොඳ බීජ වර්ග හොයා ගන්නවා. පොඩි ගොවියට එහෙම බෑ. එයා බිම් සකස් කරලා එහෙම තමයි කොහෙන් හරි කීයක් හරි හොයාගෙන බීජ ටිකක් ගන්නේ. ගොඩක් තැන්වල තියෙන්නේ අර වර්ග. ඉතින් වැඩි කාලෙකුත් නැති හින්දා ඒ ගොල්ලෝ තියන එක හදනවා. හැබැයි කෝක හැදුවත් එකම වියදමක් කරන්ඩ වෙනව. ඉතින් මහා පරිමාණෙන් කරන කෙනා හොඳ වර්ග හොඳ ගානකට දීල හොඳ ලාහයක් ගන්නවා. පොඩි ගොවියා අර ගානම වගාවට වියදම් කරලා පොඩි ගානක් ගන්නවා. මේ අලාභදායී බීජ වර්ග අයින් කරලා හොඳ ඒව දාන්ඩ ඕනෙ. චමින්ද, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෙකි. අපට මේ කතාව පැවසුවේ,රුපියල් පහළොවේ පිපිඤ්ඤා මලු පෙන්වමිණි. මෙවැනි මලු සෑම තැනම ගොඩ ගසා තිබුණි. කිසිවෙකු මිලදී ගන්නා වගක් පෙනෙන්නට නැත.
අනිසි කෘෂි ප්‍රයත්න
අතිරික්ත එළවළු නිෂ්පාදනය වීමට තවත් හේතුවක් නම් ගොවීන් විශාල ප්‍රමාණයක් ගොවිතැන් කිරීමයි. ප්‍රථමයෙන් ගොවිතැන් කරන සියලු දෙනා සැබෑ ගොවියන් ද යන්න සොයා බැලිය යුතුය. අප දඹුල්ලේදී කළ නිරීක්ෂණ අනුව විශ්‍රාමික රජයේ නිළධාරීන්, වෙනත් වෘත්තීන්වල නියැලෙන්නන්, වෙළෙන්දන් පවා ගොවිතැන් කරති. කවුරුන් ගොවිතැන් කළ ද ගැටලුවක් නැත. ඕනෑම අයෙකුට ගොවිතැන් කිරීමට නිදහසක් ද ඇත. එහෙත් ගැටලුව මේ හරහා විශාල අතිරික්තයක් නිපදවීම හා ඒ නිසා වෘත්තීය කෘෂිකාර්මිකයා අසරණ වීමයි. මෙයට රජයේ මැදිහත් වීමෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතුය. ඉඩම් පරිහරණය පිළිබඳ, විශේෂයෙන්ම ආහාර භූමි පරිහරණය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය ය.
හැටන් ප්‍රදේශයේ එළවළු ගොවියෙකු වන ධම්මික මහතා ඒ පිළිබඳව දැක්වූයේ මෙවැනි ප්‍රතිචාරය කි.
“අපේ ගමේ සෑහෙන්ඩ විශ්‍රාමික අය ගොවිතැන් කරනවා. ඒ අය අපි වගේ නෙවේ මහා පරිමාණෙන් කරන්නේ. ඒගොල්ලන්ට මාසෙට ගානක් හම්බ වෙනවා. ඉතින් ගොවිතැනෙන් වාසි වුණත් පාඩු වුණත් එයාලට වැඩිය දැනෙන් නෑ. ඒහින්ද එයාලා ලොකුවට බිස්නස් ඉලක්ක කරන්නෙ නෑ. මෙහෙට ගෙනාවත් මෙහෙ අය ඉල්ලන ගානට දෙනවා. අන්තිමට අපිටත් ඒ ගානට දෙන්ඩ වෙන්නේ. අපිට එයාලට වගේ මාසෙට ගානක් එන්නෙ නෑ. අපිට කන්ඩ බොන්ඩ හැමදේකටම තියෙන්නෙ ගොවිතැන විතරයි. එයාලත් කීයක් හරි හොයා ගන්නවට අපි අකමැති නෑ. හැබැයි ඉතින් කිසිම දෙයක් නැති අපි තමයි අන්තිමට අසරණ වෙන්නෙ.”
ගොවීහු මහා පරිමාණ ධනයක් හිමි වැවිලිකරුවෝ නොවෙති. ඔවුන් කන්නයක් වගා කරන්නේ ණය වීය. ඒ ණය ගෙවා දැමීමට නම් නිෂ්පාදනවලට හොඳ මිලක් ලැබිය යුතුය. එය එසේ වන්නේ වගා කිරීම සඳහා විශාල වියදමක් දැරීමට ගොවියාට සිදුවන බැවිණි. කම්කරු කුලී, තෙල් පොහොර වියදම්, ප්‍රවාහන ගාස්තු, බීජ සඳහා ආදී කොට බොහෝ වියද රාශියක් දැරීමට ගොවියාට සිදුවේ. ඒ වියදම් ද ගෙවා ණය ද පියවා. ජීවත් වීමටද මුදල් යොදවා නැවත වගා කිරීමට මුදල් ඉතිරිකර ගැනීම ගොවියාට හීනයක් වී ඇත්තේ ඔවුන්ගේ නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබෙන නිසාය. මේ තත්ත්වයෙන් මිදීමට නම් සැලසුම් සහගත කෘෂිකර්මයක් වෙත අප යොමුවිය යුතුය.
යාපනයේ වේවා ලංකාවේ ඕනෑම තැනක වේවා වවන එළවළු පිළිබඳව නිසි අවබෝධයක් රජයට නැත, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ද නැත. ඔවුන් තාක්ෂණික උපදෙස් ද අනෙකුත් උපදෙස් ද ලබා දෙමින් සිටිය ද නිසි කෘෂි ආර්ථික කළමනාකරණයක් ඇත්තේ නැත. වෙළෙඳපොළ ආශ්‍රිත සමීක්ෂණයක් සහ ආහාර හා කෘෂිකර්මය සම්බන්ධ ඒකාබද්ද ක්‍රියාවලියක් අවශ්‍ය ය. එවිට යාපනයේ වවන කැරට් ප්‍රමාණය ද නුවරඑළියේ වවන කැරට් ප්‍රමාණය ද අතර ගැටුමක් හටගන්නේ නැත. නිසි නියාමනයක් ඇති විට අවශ්‍ය ආහාර ප්‍රමාණය නිවැරදිව ගොවීන් වෙතට බෙදා දිය හැකිය. ඒ හරහා අතිරික්ත නිෂ්පාදනය වලක්වා නිසි මිලක් පවත්වා ගත හැකි සේම ආහාර නාස්තියද අවම කරගත හැකිය. දඹුල්ලේදී අප දුටුවේ ආහාර මලු සිය ගණනින් ඉවත් දමන ආකාරය යි. මෙය නොවිය යුත්තකි. ආහාර නාස්තිය අනාගත ආහාර අර්බුදයකට මං විවර කරන්නකි. සාමාන්‍යයෙන් කන්නයක් ආරම්භ කිරීමට ප්‍රථම ගොවීන් හා නිළධාරීන් අතර කථිකාවතක් ඇතිවිය හැකි නම් වැදගත් ය. එසේ කථිකාවතක් ඇති විට රටට අවශ්‍ය ආහාර ප්‍රමාණය නිෂ්පාදනය සඳහා ගොවීන්ට බෙදා දිය හැකිය. බෝග විවිධාංගීකරණය කළ හැකිය. රජයේ හා නිළධාරීන්ගේ මැදිහත් වීමක් ඇතිව මෙවැනි වැඩ පිළිවෙළක් හැට හැත්තෑ දශකවල පැවති අතර ඒවා හැඳින් වූයේ පෙර කන්න රැස්වීම් ලෙසය. වර්තමානයේදී ද එවැනි ක්‍රියාවලියක් අවශ්‍යය. ගොවියා, රජය හා වෙළෙඳපළ අතර මනා සහසම්බන්ධතාවක් අවශ්‍යය.