රාවය

හිරුගේ සෙවණැල්ලත් මුවා කළ ඩඩ්ලිගේ තවත් වෙට්ටුවක්

හිරුගේ සෙවණැල්ලත් මුවා කළ ඩඩ්ලිගේ තවත් වෙට්ටුවක්

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

ඉදිකිරීම් සම්බන්ධව මෙතෙක් පැවති අණ පනත් නීති රීතිවලට වෙට්ටු දමමින් ද ප්‍රදේශයේ මෙතෙක් තිබූ පාරිසරික තත්ත්වයන්ට,සාමාජ ජීවිතයට හා පවතින සංචාරක ව්‍යාපාරයට බාධා පමුණුවමින් ද ගාල්ල උණවටුන ප්‍රදේශයේ දැවැන්ත හෝටල් ව්‍යාපෘතියක් ඉදිවෙමින් පවතින බව රාවයට වාර්තා විය. අරලිය උණවටුන බීච් හොටෙල් නම් මෙම දැවැන්ත ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කෝටිපති ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන මහතා විසින් ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ තිබුණේ පසුගිය වසරේ මැයි 04 වන දාය. ඒ සඳහා ආයෝජනය කෙරෙන මුදල ඩොලර් මිලියන 17.12ක් බවත් එය කාමර 250කින් යුතු හෝටල් ව්‍යාපෘතියක් බවත් වාර්තා වී තිබුණි. අරලිය සමූහ ව්‍යාපාරයට අයත් අරලිය රයිස් ප්‍රඩියුසර්ස් ප්‍රයිවට් ලිමිටඞ්, අරලිය ලෑන්ඞ් ඇන්ඞ් හෝම්ස්ප්‍රයිවට් ලිමිටඞ්, අරලිය ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඞ්, ඇම්ස්ට්‍රඞ් අරලිය ප්‍රයිවට් ලිමිටඞ්, අරලිය ප්‍රියන්ත කොන්සොලිඬේටඞ් ප්‍රයිවට් ලිමිටඞ්, අරලිය ග්‍රීන් සිටිප්‍රයිවට් ලිමිටඞ්, අරලිය ග්‍රීන් හිල්ස් ප්‍රයිවට් ලිමිටඞ්, හොටෙල් සුදු අරලිය ආදිය අතරට එක් වීමට නියමිතව තිබෙන මෙම නව ව්‍යාපෘතිය අරලිය උණවටුන බීච් හොටෙල් ප්‍රයිවට් ලිමිටඞ්ය. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ඩඞ්ලි සිරිසේන මහතාට අයත් තරු පන්තියේ හෝටලයක් පසුගිය වසරේ අගෝස්තු මස 16 වන දා නුවරඑළියේ දී විවෘත වූයේ ජනාධිපතිවරයා ඇතුලු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ ද ප්‍රධානත්වයෙනි. තට්ටු 14කින් යුතු අධි උස ගොඩනැගිල්ලක් ලෙස ඉදිවන උණවටුනේ අරලිය හෝටල් ව්‍යාපෘතියේ ද තට්ටු නවයක් පමණ මේ වනවිටත් ඉදිවී අවසන්ය.

පවතින සංචාරක කර්මාන්තය

අතීතයේ උණවටුන ගම්මානය ධීවර කර්මාන්තය හා ලණු කර්මාන්තය සමග බැඳී තිබුණත් එය සංචාරකයින්ගේ අවධානයට නතු වන්නේ හැටේ දශකයේ දී පමණ ආතර් සී ක්ලාක් මහතා උණවටුන ප්‍රදේශයේ වාසය කරමින් සිය පර්යේෂණ කටයුතුවල නිරතවීමත් සමගය. ඔහු උණවටුන වෙරළට ආවේණික වූ ස්වාභාවික සෞන්දර්යය පිළිබඳ ලොවට අනාවරණය කළේය. විදෙස් සංචාරකයින් කිහිපදෙනා බැගින් උණවටුන වෙරළ සොයා පැමිණෙන්නට පටන් ගන්නේ ඉන් පසුවය. ඒ සමගම එම සංචාරකයින්ට තම නිවෙස්වල කාමරයක් නවාතැන් සඳහා ලබා දුන් ගම් වැසියන්ගෙන් උණවටුනේ ගෘහස්ථ සංචාරක කර්මාන්තයේ ආරම්භය සනිටුහන්වන්නේය. එම ගෘහස්ථ සංචාරක කර්මාන්තය අද වන විට කුඩා හෝටල් දක්වා වර්ධනය වී තිබේ. කෙසේ වෙතත් උණවටුනේ පවතින සංචාරක කර්මාන්තය ගම සහ සෞන්දර්යය සමග මුසු වන සුළු පරිමාණයේ සංචාරක කර්මාන්තයකි. මේ වන විට උණවටුන ප්‍රදේශයේ වැසියන්ගෙන් 99%ක් පමණ සෘජුව හෝ වක්‍රව යැපෙන්නේ මෙම සංචාරක කර්මාන්තයෙනි. සංචාරක කර්මාන්තය දියුණු විය යුතුය. එහෙත් එය දියුණු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ සැලකිලිමත්වීම වඩා වැදගත්ය. උණවටුනට දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන්නේ තරු පන්තියේ සුපිරි හෝටලයක ලැගුම් ගැනීමේ අවශ්‍යතාව නිසා නොවේ. ලොව සුන්දරම වෙරළ තීරයන් අතරට එක් වී තිබූ උණවටුනේ සොබා සෞන්දර්ය විඳගැනීමේ අරමුනිණි. එසේ නම් සිදුවිය යුත්තේ තිබෙන්නා වූ ග්‍රාමීය සෞන්දර්යයට හානි නොවන පරිදි සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මංපෙත් සෙවීමය. එහෙත් පෙනෙන්නට තිබෙන්නේ නම් මේ වන විට සිදුවෙමින් පවතින්නේ ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දේ බවය.“මෙහේ තිබුණේ ස්වාභාවික පරිසරය එක්ක දියුණු වුණු සංචාරක ව්‍යාපාරයක්. මේක රජයටවත් කරදරයක් නැති ගමක්. මොකද මේ ගමේ මිනිස්සු ආණ්ඩුවෙන් රස්සාවල් ඉල්ලගෙන යන්නේ නෑ. අපි සංචාරක ව්‍යාපාරයෙන් ජීවත්වෙන මිනිස්සු. එක වරක් මේ උණවටුන මුහුදේ ගල්වැටි දාලා වෙරළ විනාශ වුණා. දැන් ආයේ මහා පරිමාණ හෝටල් ගෙනල්ලා ගමේ සංචාරක ව්‍යාපාරය විනාශ කරන්න යනවා. එක්කෙනෙක්ගේ වාසිය වෙනුවෙන් මිනිස්සු දහස් ගණනකගේ ආදායම් මාර්ග මේකෙන් නැති වෙනවා. අනෙක මේ හදන හෝටලය නිසා දැනටත් ගැටලු ගොඩක් මතුවෙලා තියනවා. ඒ වගේම අනෙක් අයට ක්‍රියාත්මක වුණු නීති මේ හෝටලය හදද්දී ක්‍රියාත්මක වෙන්නේ නෑ.” ඒ උණවටුන ප්‍රදේශවාසියකු දැක්වූ අදහසකි.

නීති නොතැකීම

මීටර් 15කට වඩා උස සෑම ගොඩනැගිල්ලක්ම නාගරික සංවර්ධන අධිකාරිය විසින් නම් කරන්නේ අධි උස ගොඩනැගිල්ලක් ලෙසය. අධි උස ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වූ භූමි භාගයක සැලැස්මක් සඳහා අනුමැතිය ලබා දීමට නම් එය නාගරික සංවර්ධන අධිකාරියේ නීතිරීතිවලට අනුකූල විය යුතුය. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ අංක 392/9 දරණ 1986.03.10 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයට අනුව අධි උස ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වූ භූමි භාගයක සැලැස්මක් අනුමත කිරීමට හැකියාව තිබෙන්නේ පළලින් මීටර් 12කට නොඅඩු වීථියකට යාබදව භූමි භාගය පිහිටා ඇත්තේනම් පමණි. එසේ නොමැති නම් සැලැස්මක් අනුමත නොකළ යුතු බව එහි සඳහන්ය. එහෙත් මේ වන විටත් ඉදිවෙමින් පවතින මෙම අරලිය හෝටල් ව්‍යාපෘතිය සඳහා පිවිසෙන වැල්ලේදේවාල පාරෙහි පළල මීටර් 3.05ක් බව හබරාදුව ප්‍රාදේශීය සභාවට අයත් මාර්ග පිළිබඳ සඳහන් ගැසට් පත්‍රයේ සඳහන්වේ. ඒ වෙත පිවිසිය හැකි තවත් මාර්ගයක් වන බොනවිස්ටා පාරෙහි පළල ද එම ගැසට් පත්‍රයට අනුව මීටර් 3.66කි. මෙවැනි අධි උස ගොඩනැගිල්ලක සැලැස්මක් අනුමත වීම සඳහා පිවිසුම් මාර්ගය මීටර් 12ක් තිබිය යුතු බවට එම ගැසට් පත්‍රවල සඳහන් වුවත් මේ වන විට අනුමැතිය ලබා දී ඉදිකිරීම් ද සිදුවෙමින් පවතින්නේ මීටර් 3ක් පමණ වන වීථියකට යාබදව තිබෙන භූමියකය. අනෙක් කරුණ නම් පසුගිය කාලයේ දී යද්දෙහිමුල්ල, උණවටුන ප්‍රදේශයේම වෙනත් හෝටල් ව්‍යාපෘති සඳහා වූ අයදුම්පත්වලට නාගරික සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයෙන් අනුමැතිය ලබා දී තිබුණේ ගොඩනැගිලිවල අවම උස බිම් මහල සමග තවත් එක් මහලක් හෝ දෙකක් විය යුතුය යන කොන්දේසිය මතය. එසේ නම් අදාළ නීති රීති වලංගු වන්නේ සහ ක්‍රියාත්මක වන්නේ ඉල්ලුම් කරන පුද්ගලයින්ගේ තිබෙන බලතල නිළතල සම්බන්ධතා මත ද යන ගැටලුව මෙහිදී මතුවී තිබේ.
මීටර් 12කට නොඅඩු වීථියකට යාබදව අදාළ භූමි භාගය තිබූ අවස්ථාවක වුව ද අධි උස ගොඩනැඟිලි ඉදිකිරීමකට නාගරික සංවර්ධන අධිකාරිය අවසර දෙනු ලබන්නේ අවට ප්‍රදේශයට සපයා ඇති පහසුකම්වලට බාධාවක් හෝ ප්‍රදේශයේ අනුකූලතාවට හානියක් හෝ එකී ගොඩනැගිල්ල නිසා සිදුනොවන බවට; ගොඩනැගිල්ල නිසා රථවාහන ගමනාගමනය පිළිබඳ ප්‍රශ්න හෝ දුෂ්කරතා ඇති නොවන බවට; ජල සම්පාදනය, කසළ අපවහනය සහ විදුලි බලය සැපයීම සඳහා ගින්නෙන් සහ සහ අනෙකුත් විපත්වලින් ආරක්ෂාව සැලසීම සහ රථවාහන නවතා තැබීම සඳහාත් ප්‍රමාණවත් වැඩ පිළිවෙළක් යෙදිය හැකි බවට; යන කරුණු සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය සෑහීමකට පත් වන්නේ නම් බවට නාගරික සංවර්ධන අධිකාරියේ අංක 392/9 දරණ 1986.03.10 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේම තව දුරටත් සදහන්වේ.
නාගරික සංවර්ධන අධිකාරියට අනුව ඉදිකිරීම් සැලැස්මකට අනුමැතිය ලබා දිය යුත්තේ අවම වශයෙන් ඉහත සුදුසුකම් සපුරා තිබේනම් පමණක් වුවත් ඊට අනුමැතිය ලැබී ඉදිකිරීම් ද සිදුවෙමින් පවතී. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය මේ වන විට සිදුවන්නේ රාත්‍රී කාලයේ ය. ප්‍රාදේශීය සභාව විසින් ටොන් 5ට වැඩි බරැති වාහන ගමනාගමනය තහනම් කර තිබූ උණවටුන වැල්ලෙදේවාල පාරේ පසුගිය කාලයේ බර වාහන ඇතුල් වීම තහනම් කර පුවරු පවා ප්‍රදර්ශනය කර තිබූ අතර එම පුවරු ද අද දක්නට නොලැබේ. රාත්‍රී කාලයේ විශාල බර වාහන මගින් මෙම හෝටල් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය සිදුවන බැවින් එය ජන ජීවිතයට මෙන්ම පවතින සංචාරක ව්‍යාපාරයට ද බාධාවක් බවට පත් වී තිබෙන බව ප්‍රදේශවාසීහු පැවසූහ. “ඒ අය කියලා තිබුණේ මේ වැල්ලෙදේවාල පාර භාවිත කරන්නේ නෑ, රූමස්සලින් එන පාර භාවිත කරනවා කියලයි. එහෙමනම් ඒ පාර මුලින් හදාගෙන බඩු ගේන්න තිබුණා. රෑ නවයහමාරේ විතර ඉඳලා ලොකු ටෙන්වීල් ලොරිවලින් වැලි ගෙනියනවා. ලොකු ටැංකි තියන වාහනවලින් සිමෙන්ති ගෙනියනවා. මේ පාරේ ඒවාට යන්න බෑ. කාණුවේ යනවා. මිනිස්සුන්ගේ ගෙවල්වල වහලවල් කඩාගෙන යනවා. පහුගිය කාලයේ මේ බර වාහන සහ ගම්වාසීන් අතර ගැටුම් ඇති වුණා. මේක සංචාරක ප්‍රදේශයක් නිසා රෑ දහයෙන් පස්සේ මේක නිදා ගන්න ප්‍රදේශයක් වෙන්නේ නැහැ. සංචාරකයෝ කාලා බීලා ඇවිදින්න යනවා. නැවත මේ පාර දිගේ පයින් නවාතැන්වලට එනවා. රෑත් මේ පාර භාවිත වෙනවා.මේ පාරට පොලීසියෙන් පවා බස්,ලොරි වගේ බර වාහනවලට දවල් කාලයේත් ඇතුල්වෙන්න දුන්නේ නෑ. ඒත් දැන් මේ හෝටලයට බඩු ගෙනියන්න අධි බරැති වාහනවලට ඉඩ දෙනවා. මේ දේවල් වෙන්නේ බලයයි අනෙක් සම්බන්ධතායි මත කියන දේ පැහැදිලියි.” ඒ තවත් ප්‍රදේශවාසියෙක් දැක්වූ අදහසකි.
මෙම උණවටුන වැල්ලේදේවාල පාර දෙපස දීර්ඝ කාලයක සිට පවතින්නේ සංචාරක ව්‍යාපාරය හා බැඳුණු ව්‍යාපාරික ස්ථානය. විසිතුරු භාණ්ඩ වෙළෙඳසැල්, රෙදිපිලි වෙළෙඳසැල්, ටැක්සි පහසුකම් සපයන ස්ථාන, කුඩා පරිමාණ හෝටල්, නිවාස ආදී ලෙස පාර දෙපස පවතින්නේ ඉදිකිරීම්ය. එබැවින් එම මාර්ගය පළල් කිරීමට ද හැකියාවක් නොමැති අතර බොහෝ විට සංචාරකයෝ එම මාර්ගය දිගේ පා ගමනින් යාමට පුරුදුව සිටිති. එසේ නොමැති නම් එහි බහුල ලෙස ගමන් කරන්නේ සැහැල්ලු වාහන පමණක් වුවත් මේ වන විට ඉදිවෙමින් පවතින මෙම දැවැන්ත හෝටල් ව්‍යාපෘතිය හේතුවෙන් තත්ත්වය වෙනස් අතට පෙරැළී තිබේ. එම හෝටලය ඉදි වූ පසු එම හෝටලය වෙත සුඛෝපබෝගී බස් රථවලින් රැගෙන එන සංචාරකයින් කොළඹ මාතර ප්‍රධාන මාර්ගයට යාබද ස්ථානයක දී සැහැල්ලු වාහන කීපයකට මාරු කර හෝටලය වෙත රැගෙන ඒමේ සැලැස්මක් පවතින බව දැනගැනීමට ලැබුණත් දැනට සිදුවන්නේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහිත අධි බරැති වාහන වැල්ලේදේවාල පාර හරහා ඉදිකිරීම් භූමිය වෙත පිවිසීමය.

අනෙකුත් සේවාවන්

අනෙක් කරුණ නම් මෙම ව්‍යාපෘතිය ප්‍රදේශයේ පවතින සෙසු සේවාවන් සමග ගැටීමක් ඇතිවේද යන කරුණයි. උණවටුන ප්‍රදේශයේ උදෑසන 6 සිට සවස 5 දක්වා ජල සම්පාදනය සිදු නොවේ. බොහෝ සංචාරක හෝටල්වල රාත්‍රී කාලයේ ජලය එක්රැස් කර තබා ගැනීම සිදුවේ. එය ද ප්‍රමාණවත් නොවන ස්ථානවල බවුසර් මගින් ද ජලය සපයා ගන්නා අවස්ථා තිබේ. එමෙන්ම විදුලි සැපයුම ද ඇතැම් අවස්ථාවල දින කීපයක් විසන්ධි වන අවස්ථා තිබෙන්නේ දැනට පවතින විදුලිබල සැපයුම් ව්‍යාපෘතියට අනුව සැපයිය හැකි විදුලි සැපයුම සීමා සහිත නිසාය.” සමහර දවස්වල විදුලිය විසන්ධි කරන බවට හිටපු ගමන් විදුලිබල මණ්ඩලයෙන් නිවේදනය කරනවා. උදේ ඉඳලා හවස් වන තුරු විදුලිය,වතුර දෙකම නෑ. මේ පුද්ගලයාගේ ව්‍යාපෘතියට විදුලිය දෙන්න ඕනෑ නිසා තමයි මේ දේ වෙන්නේ. ට්‍රාන්ස්ෆෝමරයක් එයා හයිකර ගන්නවා. ඒකට ඈතින් වයර් ඇදලා විදුලිය දෙනවා. ඒ කෙනාගේ අවශ්‍යතාවට මූලිකත්වය දීලා අනෙක් අයගේ අවශ්‍යතාවන් ගැන හිතන්නේ නැහැ. ජනවාරි ඉඳලා අප්‍රේල් මැද වන තුරු තමයි සංචාරක කර්මාන්තයේ පීක් එක.ඒ නිසා ඒ කාලයේ විදුලියත් නැති වීම ලොකු ගැටලුවක්. හැමෝටම ජෙනරේටර් නැහැ. ඒවා තිබුණත් ශබ්දය වැඩි නිසා පාවිච්චි කරන්නත් සුදුසු නැහැ.“ ඒ උණවටුන ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියුතුවූවෙකි. දැනට පවතින කැළි කසළ ඉවත් කිරීම සඳහා ද ඇතැම් අවස්ථාවල හබරාදුව ප්‍රදේශීය සභාවෙන් දින කීපය නොපැමිණෙන අවස්ථා තිබෙන අතර මෙවැනි විශාල හෝටලයක කැළි කසල ඉවත් කිරීමේ වගකීම ඉටු වන්නේ කෙසේදැයි ප්‍රදේශවාසීහු විමසති. මීට අමතරව මලඅපද්‍රව්‍ය බැහැර කිරීමට සිදුවන්නේ පිරිපහදු කර ඒවා නැවත භාවිතයට ගැනීම හෝ ජලධාරාවක මුදා හැරීමෙනි. පිරිපහදු කරන එම අපජලයෙන් 40%ක් නැවත ප්‍රයෝජනයට ගැනීමටත් 60%ක ප්‍රමාණයක් ජලධාරාවකට දැමීමටත් අදාළ හෝටල් ව්‍යාපෘතියේ සැලසුම බවත් ඒ සඳහා තවම නිශ්චිත විසඳුමකට එළඹ නොමැති බවත් වාර්තාවේ.ඒවා හෝටල් ව්‍යාපෘතියට මුහුණලා තිබෙන උණවටුන මුහුදු තීරයට හෝ හෝටල් ව්‍යාපෘතියේ මායිමේ තිබෙන ඕලන්ද ඇලට ගලා යාමට සැලැස්වුවහොත් විශාල පාරිසරික ගැටලු මතු වීමට ඉඩ තිබෙන බව ද ප්‍රදේශවාසීන්ගේ අදහසයි. දැනට ද එම ඇල මාර්ගය පවතින්නේ අපවිත්‍ර තත්ත්වයේය. එහි ජලය මුහුදට බසින්නේ ගංවතුර වෙලාවක වැනි අවස්ථාවක මෝය කට විවෘත කළහොත් පමණි. එම අපවිත්‍ර ජලය එහි එක් රැස්ව පවතින අතර දෙස් විදෙස් සංචාරකයන් ස්නානය කරන සීමාවෙන්ම මුහුදට සම්බන්ධ වන බැවින් එම මෝය කට විවෘතව නොපවතී. මෙම අපිරිසිදු ඇල මාර්ගයටම අපජලය බැහැර කළහොත් සිදුවන්නේ එය තව තවත් එක තැන පල් වීමය. එබැවින් ඕලන්ද ඇල වෙනත් දිශාවකට හරවා හෝ මෙම ව්‍යාපෘතියට අවශ්‍ය අයුරින් කටයුතු සිදු කිරීමට මේ වන විට බලධාරීන් සාකච්ඡා පවත්වමින් පවතින බව ද වාර්තාවේ. මෙම හෝටල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් ඇගයීම (Enviromental Impact Assesment) සිදුකරන්න නියෝජිත ආයතනය ලෙස කටයුතු කරන්නේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපර්තමේන්තුවය.එම ඇගයීමට අනුව මෙම ව්‍යාපෘතියක් සඳහා මෙවැනි පරිසරයක අනුමැතිය ලබා දුන්නේ කෙසේද යන්න පිළිබඳ ගැටලු මතුවේ. එමෙන්ම අදාළ ආයතනවල ඇතැම් බලධාරීන් ප්‍රකාශ කළේ ඔවුන් එවැනි ප්‍රකාශ සිදු කළ බවට නම් සඳහන් නොකරන ලෙසයි. ඒ අනුව බලවතුන්ට අවශ්‍ය පරිදි නීති නම්‍යශීලී වී පරිසරය සුරක්ෂිත කිරීම යන ප්‍රමුඛ කාරණය යටපත්ව ගොස් තිබෙන බව පෙනී යයි. ප්‍රදේශවාසීන් ද තම ගැටලු ඉදිරිපත් කළත් තම නම් හෙළි නොකරන ලෙස ඉල්ලා සිටියේ එසේ කිරීමෙන් තම ජීවිතවලට ද තර්ජන එල්ලවිය හැකි බව පවසමිනි.
මේ සම්බන්ධව වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ “මේකට ඉල්ලුම්පත්‍රයක් දැම්මාට පසුව අපි තීරණය කළා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනත අනුව අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට තිබෙන බලතල අනුව මේකටපාරිසරික බලපෑම් ඇගයීමක් කිරීමට පුළුවන්. එවැනි පාරිසරික බලපෑම් ඇගයීමක් කිරීමේ දී එය මහජනතාවගේ අදහස් විමසීමකට ඉඩ සැලසිය යුතුයි. ඒ නිසා මේ සඳහා වැඩකරන දින තිහක කාලයක් මහජන අදහස් සඳහා අවස්ථාව ලබා දී තිබුණා. ඉන් පසු තාක්ෂණික ඇගයීම් කමිටුවකට යොමු කිරීම සිදු කළා. පරිසර අධිකාරිය, ධීවර අමාත්‍යාංශය, සංචාරක මණ්ඩලය, සංචාරක සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, නාරා ආයතනය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදියෙන් සැදුම්ලත් තාක්ෂණික කමිටුවකට යොමු කර ඒ අයගේ යෝජනාත් ඇතුලත් කර තමයි මේ බලපත්‍රය ලබා දී තිබෙන්නේ. කැළිකසළ, මලඅපද්‍රව්‍ය ආදී සියල්ල සම්බන්ධයෙන් ඒවා පිරිසිදු කිරීම, මුදා හරින්නේ කොහාටද කියන සියල්ල ගැන සලකා බලා තිබෙනවා.“ මෙම දැවැන්ත හෝටල් ව්‍යාපෘතියේ අපජලය බැහැර කිරීම සම්බන්ධ විධිවිධාන පිළිබඳ විමසීමේ දී ඔහු ඊට පිළිතුරු සැපයීම වෙනුවට ප්‍රකාශ කර සිටියේ දැනට ඒ අවට තිබෙන අනෙකුත් ස්ථානවලින් ද ඕලන්ද ඇලට අපජලය බැහැර කරන බවකි. එමෙන්ම ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ පාරිසරික බලපෑම් ඇගයීම කිරීමේ දී මහජනතාවගේ විරෝධයන් ආයතන කීපයකට ලිඛිතව ඉදිරිපත් කරන ලෙස දන්වා තිබුණ නමුත් එසේ ඉදිරිපත් කළ විරෝධතා පිළිබඳව කැඳවීමක් කර හෝ කිසිදු විමසීමක් කිරීමක් පසුව සිදු නොකළ බවයි.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් කාර්යාලයේ අධ්‍යක්ෂ සුසන්ත වෙදගේ මහතාගෙන් අප කළ විමසීමේ දී ඔහු ප්‍රකාශකර සිටියේ මෙම ව්‍යාපෘතිය සඳහා පරිසර ඇගයීමක් සිදුකර අනුමැතිය ලබා දී තිබෙන්නේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් බවයි. ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ කොග්ගල, හබරාදුව පිහිටි දකුණු පළාත් කාර්යාලයේ කිසිවෙකු සම්බන්ධ වී නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේය.
අංක 1681/3 – 2010 නොවැම්බර් මස 22 දින නිකුත් කරන ලද ප්‍රකාශයට පත්කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ගාල්ල උණවටුන ඓතිහාසික වැල්ලේ දේවාල පූජනීය ප්‍රදේශය පූජාභූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. පූජාභූමියේ සිට මීටර් 500ක් ඇතුළත මත් පැන් ආදී කිසිවකට අවසර නොදුන්න ද මෙම හෝටල් ව්‍යාපෘතිය ඉදිවන්නේ වැල්ලේ දේවාල පූජාභූමියේ සිට මීටර් සියයක පමණ වන සීමාවකය. අක්කර 15ක් පමණ වන හෝටල් ව්‍යාපෘතියට අයත් භූමියට මුහුණලා තිබෙන වෙරළ තීරය මේ වන විට විදේශීය පමණක් නොව දේශීය සංචාරකයින් ද භාවිතයට ගන්නා සීමාවවේ. ඉදිරියේ දී මෙම හෝටල් ව්‍යාපෘතිය විවෘත වූ පසු දේශීය සංචාරකයින්ට පෙර ලෙස නිදහසේ එම සීමාව භුක්ති විදීමට ඉඩප්‍රස්ථා හිමිවේද යන්න ද සැක සහිතය.
නාගරික සංවර්ධන අධිකාරියෙන් උණවටුන, රූමස්සල ආදී ප්‍රදේශවල ඉදිකිරීම් සඳහා අවසර ලබා දීමේ දී අවධානය යොමු කරන ප්‍රධාන කරුණක් වන්නේ එම පරිසරයේ හරිතමය ස්වභාවය ආරක්ෂා කිරීමයි. සියලු ඉදිකිරීම් සිදුවිය යුත්තේ ඊට අදාළ නීතිරීතිවලට අනුකූලවය. එහෙත් මේ වන විට ද උනවටුන වෙරළේ බොහෝ ඈතක සිට බලන විට ද හරිතමය පරිසරය අතරින් ඉහළට නැගී සිටින්නේ මෙම නව හෝටල් ව්‍යාපෘතියයි. සවස් වරුවේ හරිත වර්ණ පොල් රුප්පාවට එපිටින් බැස යන හිරුගේ චමත්කාරජනක දර්ශනය නැරඹීමට උණවටුන වෙරළ තීරයට පිවිසෙන සංචාරකයින්ට දැනටත් දැකගත හැකිවන්නේ දැවැන්ත හෝටල් ගොඩනැගිල්ලට මුවා වී යන හිරුගේ දසුනකි. ගාලු කොටුවේ ප්‍රදීපාගාරය අසල සිට දැකිය හැක්කේ රූමස්සල කන්ද අභිබවා නැගෙන ගොඩනැගිල්ලකි. පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිටි බලවතුන් ද නීති විරෝධී ලෙස හෝටල් මන්දිර ඉදිකළ බවට යහපාලන ආණ්ඩුව බලයට පත් වන අවස්ථාවේ සිට දිගින් දිගටම චෝදනා කළ ද යහපාලන ආණ්ඩුවේ බලතල යටතේ ද සිදුවෙමින් පවතින්නේ එයම බව මේ වන විට ඔවුන් ද ඔප්පු කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.
රාජ්‍ය ආයතනවල නීතිරීති වෙනස් කරමින් මෙවැනි දැවැන්ත පෞද්ගලික ව්‍යාපෘතිවලට අවසර හිමි වන්නේ ජනාධිපති අයියාගේ බල මහිමයේ පිහිටෙන් විය යුතුය. ඊට අදාල පාරිසරික බලපෑම් ඇගයීමේ නියෝජිත ආයතනය ලෙස සෘජුවම ක්‍රියා කරන්නේ ද ජනාධිපතිවරයා යටතේම තිබෙන ආයතනයකි. එසේ නම් ඒවා පිළිබඳ සිදුවන ඇගයීම්වල විනිවිදභාවය ගැන බරපතළ ප්‍රශ්න මතු නොකරන්නේද?
මේ සම්බන්ධයෙන් ඩඞ්ලි සිරිසේන මහතාගෙන් අප කළ විමසීමේ දී ඔහු ප්‍රකාශ කළේ, “මේවාට විරුද්ධ මිනිස්සු කීපදෙනෙක් කොහොමත් ඉන්නවා. නමුත් මුහුදු තීරයේ අපේ හෝටලය ඉදිවුණාට පස්සේ ලැබෙන ප්‍රතිලාභ පිළිබද හිතන කොටසකුත් ඉන්නවා. මේක මම රජයේ අවසරයක් අරගෙන කරන ඉදිකිරීමක්. ඒ සම්බන්ධව මට ඊට වඩා කියන්න දෙයක් නෑ.”යනුවෙනි. රජයේ ඇතැම් නීතිරීති උල්ලංඝනය කරමින් මෙම ඉදිකිරීමට අනුමැතිය ලැබී තිබීම පිළිබඳ කළ විමසීමේ දී ඔහු ප්‍රකාශ කළේ, තමන් නීති විරෝධී දේ නොකළ බවත් තමන්ට ඒ ගැන තවත් කතා කිරීමට අවශ්‍ය ද නොවන බවයි. මේවා පිළිබඳ සොයනවා නම් රටේ තිබෙන අනෙක් සියලු ප්‍රශ්න පිළිබඳ සොයා ලියන ලෙස ද ඔහු වෙතින් අවධාරණය කැරිණි.
නුවර එළියේ ග්‍රෙගරි වැව ද හිස් කරමින් ඩඞ්ලි සිරිසේන මහතා නුවරරළියේ තම තරු පන්තියේ හෝටලය විවිවෘත කළ අවස්ථාවේ කළ කාථාවෙන් උපුටාගන්නා ලද කොටසක් මෙසේය. “සිංගප්පූරු බැංකොක් ගිහිල්ලා මම බඩු ටිකක් බෑග්වල දාගෙන ඇවිල්ලා 1986දී ශ්‍රී ලංකා කස්ටම් එකට ටිකක් වෙට්ටුවක් දාලා, අද ඒ කතාව කියනකොට කස්ටම් එකේ අධිපතිතුමාත් මේ අවස්ථාව නියෝජනය කරනවා, මගේ ජීවිතයේ තවත් වටිනා අවස්ථාවක් විධියට මම ඒක සලකනවා.“ එම අවස්ථාවට ඔහුගේ ලොකු අයියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලු තවත් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු සහභාගී වී සිටියහ. තවදුරටත් ඔහු නිලධාරීන්ට බලධාරීන්ට වෙට්ටු දමමින් තම දැවැන්ත ව්‍යාපෘති සිතැඟි පරිදි සිදුකරගෙන යමින් පවතින බව ද පැහැදිලිය.