හොරු නම් අල්ලන්න එපා

ටිරන් කුමාර බංගගමආරච්චි

අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාව පරාජය වීමත් සමග ආණ්ඩුවෙන් ඇසෙන ජුගුප්සාජනකම කතාව නැවත හොරු ඇල්ලීම විය හැකිය. මෙය කොතරම් පිළුණු අප්පිරියා සහගත බවට යහපාලන ආණ්ඩුව පත් කළේද යත් හොරු ඇල්ලීම කී සැණින් ඉළ ඇදෙන මට්ටමින් හිනා යෑම නොනැවැත්විය හැකිය.
දැන් නැවත එය කරළියට එනු නියතය. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය බාර දීමේදී හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ අත්සන් නොකළේය. එහෙත් බාර දීමේ පෙරමුණේ රාළ විය. මේ තවත් විකාරය. සාමාන්‍ය ජනයා වුව දන්නා කරුණ නම් රාජපක්‍ෂලා රනිල් වික්‍රමසිංහට විරුද්ධ නැති බවය. කොටින්ම රාජපක්‍ෂලාගේ හොරකම්යට ගැසුවේ රනිල් බවය.
මේ වසර පටන්ගත් පසු මෙතරම් උද්යෝගයක් එකාබද්ධ විපක්‍ෂයට ලැබුණේ පළාත් පාලන ඡන්දයෙන් ජය ගැනීම නිසාය. ආණ්ඩුවේ හුළං බැස්සේද අනෙක් අතට ලද පරාජය නිසාය. ජනතාව ඉදිරියේ පරාද ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තවමත් ඔළුගෙඩි වැඩි බව මේ විශ්වාසභංගය පරාජය කිරීමෙන් තහවුරුය. එහෙත් තහවුරු නොවූයේ ඒ ඔළු ගෙඩිවල මුකුත් නැති බවය. දැන්වත් තහවුරු කර ගත යුත්තේ එයය.
කෙසේ වෙතත් මේ විශ්වාසභංගයක් නිසා එක් දෙයක් හීනියට යට ගියේය. ඒ බැඳුම්කර මඟඩියය. ආණ්ඩුවට යට ගසා ගත නොහැකිව තිබුණේ එයය. ඒකාබද්ධය කළ යුතුව තිබුණේ ව්‍යාජ විශ්වාසභංග නොගෙන එයට දඬුවම් දෙන ලෙසට ආණ්ඩුවට අභියෝග කිරීමය. අගමැතිවරයාට ගෙන ආ විශ්වාසභංගයේ ප්‍රධාන අරමුණ බැඳුම්කර මඟඩිය නම් දැන් එයද පරාජය වී හමාරය.
යහපාලන ආණ්ඩුවටද දැන් හොරු අල්ලනවා යැයි හොර කතාව කිවනොහැකිය. මන්ද රාජපක්‍ෂලා හොරු කියමින් ඔවුන් ඊට වඩා හොරා කෑ බැවිනි.

හොරු ඇල්ලීමේ මෙහෙයුම

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමග හොරු ඇල්ලීමේ මෙහෙයුම් ගැන කළ කී කතා අළලා අපූරු පොතක් කළ හැකිය. වාර්තා සිනමා පටයක් බිහි කළ හැකිය. නොකළාට සිදු වූයේ කොමඩි නාටකයක් සමාජ ගත වීමය.

ඉතිහාසය

හොරු ඇල්ලීමේ ඉතිහාසය දෙස බලන කල ලංකා දේශපාලනයට මෙය අලුත් දෙයක්ද නොවේ. හැම කල්හිම එක් ආණ්ඩුවක් බලයෙන් පහවී ගිය කළ අලුත් ආණ්ඩුව බලයට එන්නේ හිටපු අයගේ ජඩ වැඩ – හොර වැඩ ගැන මරු කියවමිනි. 1970 දී බලයට ආ සමගි පෙරමුණු ආණ්ඩුව පැවති එජාප ආණ්ඩුවේ හොරකම් ගැන හෙළිකරන බවට පුරසාරම් ඇද බෑහ. එහෙත් හෙළි කළ හොරකමක් නොවීය. 1977 දී බලයට ආ ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුව හොරකම් ඇල්ලීමේ න්‍යාය ඉදිරියට දමාගෙන ඉතා අපූරුවට විපක්‍ෂය මෙල්ල කළේය. ඉන් පසු 1994 දී බලයට පත් වූ ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රධානතම පොරොන්දුවක් වූයේ 17 වසරක එජාප පාලනය තුළ කළ හොරකම්වලට දඬුවම් දෙන බවය. ඇය කීවේ සියලු හොරු ගාලු මුවදොර පිටියට ගෙනවිත් නඩු අසා ජනතාව යෝජනා කරන දඬුවම් දෙන බවය. ජනතාව හොරුන්ව හම ගහන්නැයි ඉල්ලීම් කළ හොත් ගාලු මුවදොර දී ප්‍රසිද්ධියේ හම ගසන බවද ඇය කීවාය. ඇගේ පාලනයේ පළමු මාස තුන ගෙවුණේ ද අතනින් මෙතනින් හොර බඩු අල්ලන ජවනිකාවලිනි. හොර බඩු හොරු සමග ඇල්ලුවාද? සිදුවූ කිසිවක් නැත. ඒ කතාවම හොර කතාවක් වී හොරාට යට ගැසීය.

අලුත් කතාව

මේ හොරු ඇල්ලීමේ අපූරුම කතාව නැවත කරලියට එන්නේ 2015 ජනවාරි 8 වැනිදාය. ඒ එදින පැවති ජනපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමත් සමගය. රාජපක්‍ෂගේ ආණ්ඩුව කොතරම් දූෂිතද යන්න යහපාලන නඩය කී කතා නිසාම ලක්‍ෂ ගණන් ඡන්ද ගලා ආ බව නොරහසකි. 1994 දී වූ දේම නැවත සිය ගුණයකින් ප්‍රසාරණය වී මුල් මාස කිහිපය හොරු ඇල්ලීමේ නාඩගම යහපාලනය කළේ පුදුමාකාර තාත්වික විදිහටය. එහෙත් දැන් වසර තුනක් ගතවී ඇති මුත් තවම එක හොරෙක්වත් අල්ලා නැතිය. තමන්ට දේශපාලනිකව පක්‍ෂපාති එක හොරෙක්වත් අල්ලනවා තබා ඔවුන්ට අත තබන්නේ වත් නැතිය. මේ ආණ්ඩුව තමන්ට විරුද්ධ අය මෙල්ල කර ගැනීමටද හොර කතාව උපයෝගි කර ගත්හ. බොහෝ පරීක්‍ෂණ ලප් තැනම ලොප් වූයේ දේශපාලන වූවමනා නිසාය. පිරිසක් අගමැති රකින විට තව පිරිසක් ජනපති රැක්කේය. ඒ අනුව සියලු හොරු යහපාලනය මනාව රැක්කේය. ඇතැම් අය අත්අඩංගුවට ගත් මුත් අවසානයේ සිදු වූයේ ඔවුන් වීරයන් වීමය. ඒ කිසිවක් ඔප්පු නොවූ නිසාය.
අවසානයේ හොරකම්වලින් බියවී වෙව්ලමින් සිටි වුන් එළිපිටම “අපි හොරකම් කරලා නෑ කරලා තියෙනවනම් අල්ලන්න” කියන අභියෝගය කරන තැනට පත්විය. හොරකම් ගැන කතා කරනවාට වඩා හොරු අල්ලනවා යැයි බොරු පරීක්‍ෂණ කිරීමේ පාපය. මේ ආණ්ඩුවට පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලවලින් මනාව ලැබිය හැකි විය. මේ ව්‍යාජ පරීක්‍ෂණ නිසා සිදු වූයේ හොරු සුදනන් වීමය. දැන් නැවත මේ සුදනන් හොරු කිරීම ලේසි නැත. ඔවුන් හොරු කළද ජනතාව තබා ඔවුන්වත් දැන් පිළිගන්නේ නැත. එෆ්.සී.අයි.ඩීයේ නම එදා නෑසුන දවසක් නැත. අවසානයේ එය හුදු ප්‍රබන්ධයක් විය.
තත්ත්වයන් එසේ වුවත් රාජපක්‍ෂලා නිවැරදිම අයද? එහෙත් නිවැරදිම අය වූයේ කෙසේද? හොරු අල්ලන්නට පැමිණි මේ ආණ්ඩුව හොරා කෑවේ නොඉවසිල්ලෙනි. දැන් ඉතිරිව ඇත්තේ කෙටි කාලයකි. රාජපක්‍ෂ හොරු කෙසේ වෙතත් යහපාලන හොරුන්ට දඬුවම් කළහොත් යන්තම් හෝ සායම බේරාගත හැකිය. ඒ කිසිවක්ම නොවුනද? නැවත බොරුවට හොරු අල්ලනවා යැයි නොකියන්න. මන්ද ඒ කතාවට යා හැකි දුරක් දැන් නැති බැවිනි. අගමැතිනම් විශ්වාසභංගය දින්නේය. එහෙත් ආණ්ඩුවට ජනතාව ලබාදුන් විශ්වාස භංගය දිනිය හැකිද? ඉතිරි කාලයේ මැතිවරණ එයට පිළිතුරු දෙනු ඇතිය. පාර්ලිමේන්තුවේ ඔලුගෙඩිවලට වඩා ඒ ඔලුගෙඩි විශාලය. මන්ද ගෙදර යෑමට ඇත්තේ තව ඉතාම කෙටි කාලයක් බැවිනි. ගෙවුණු වසර තුන තුළ වැඩකට නැති ආණ්ඩුවක් බවට පත් වූ යහපාලනයට ඉතිරි දෙවසර තුළ මැජික් පෙන්විය හැකිද? කුමක් කළත් හොරු නම් අල්ලනවායි නොකියන්න. මන්ද? එය වැඩකට නැති කතාවක් බැවිනි. ඒ ජනතාවට නොව ආණ්ඩුවටය. අගමැතිට එරෙහි විශ්වාසභංගය මොන උප්පරවැට්ටියෙන් හෝ දිනූ මුත් ජනතා විශ්වාසභංගය දිනීම ලේසි නැත. එබැවින් මෙතැන් සිට හෝ අවංකවන්න. හොර හිත ඉවත දමන්නැයි. ආණ්ඩුවෙන් ඉල්ලමු.