විශ්වාසහංගයේ ජය හා පරාජය

සංවාදය දිනී ජයසේකර / වින්ද්‍යා සචිත්‍රි ගමගේ

විශ්වාසභංගයේ ජය හා පරාජය ආණ්ඩුව ශක්තිමත් වුණා
නීතිඥ ජනක එදිරිසිංහ

රනිල් වික්‍රමසිංහ විශ්වාස භංගය ජය ගැනිම නිසා අනිවාර්ය ප්‍රතිඵල දෙකක් ඇති වෙනවා. ඒ තමයි එකක් දේශීය වශයෙන් ඇතිවෙන ප්‍රතිඵලය. අනික විදේශීය වශයෙන් ඇතිවෙන ප්‍රතිඵල. දේශපාලකයො මේ විශ්වාසභංගය ඉදිරිපත් කරලා කළේ බරපතළ වරදක් කියලා කීවොත් හරි.
මේක සභාග රජයක්. ඒ පක්ෂ දෙකෙන්ම කැඩුනාවූ කොටස් එකතු වෙලා දතක් සොලවනවා වගේ මේ ආණ්ඩුවේ බලය හොල්ලන්න වෙර දරමින් සිටිනවා. මේ දේශපාලන අස්ථාවරද ස්ථාවර කියල දේශීයව හිතාගන්නත් බැහැ විදේශීයවත් බැහැ. මෙහෙම තියෙන වෙලාවක දුර්වල විශ්වාසභංගයක් ගෙන ඒම ළදරු ක්‍රියාවක්. ඇයි එහෙම වෙන්නෙ? දුර්වල නිසා පැරදෙනවා. පැරදුනාම ජාත්‍යන්තරය ඉදිරියේ මේ ආණ්ඩුවේ ස්ථාවරභාවය පැහැදිලිව පෙන්නුම් කර ගන්නවා. මේ ස්ථාවර බාවය නිසා මේ ආණ්ඩුවට විදේශ ණය සහ විදේශ ආධාර ලබා ගැනීමේ ප්‍රබල හැකියාවක් ඇති වෙනවා. ඒ නිසාම මේ ආණ්ඩුවට ලබන අවුරුද්දේ ආධාර දෙන කණ්ඩායම සහ ෂඵත්‍ එක ඉස්සරහදි ඉතාම ප්‍රබල ව්‍යාපෘති ණය ලබා ගැනීමේ හැකියාවක් අද මේ වෙච්ච දේ නිසා ලැබෙනවා. ඒක මේ රට ආර්ථික අවපාතය යම් ප්‍රමාණයකට උඩට ගන්න හේතු වෙනවා. සහ ආණ්ඩුව අපහසුවකින් තොර ගමන් කිරීමේ පදනමක් මේ මෝඩ විශ්වාසභංගය ගෙන ඒම හදලා දුන්නා.
එක පැත්තකින් පොදුජන පෙරමුණේ තිබූ විශ්වාසය බිඳ වැටුණා. අනිත් පැත්තෙන් ප්‍රදේශීය සභා මැතිවරණ වලදී අහිමි වුණ ආණ්ඩුවේ තත්ත්වය ගණන් ගත යුතු කරුණක් නොවේ කියලා ස්ථාවර වෙනවා. එය මේ රජයේ පැවැත්මට ඉතා ප්‍රබල ලෙස බලපානවා. සහ විශ්වාසභංගය ගෙනල්ලා පැරදුන අය දේශපාලනික වශයෙන් කෑ ගසන්නන්ට දේශපාලනික න්‍යාය පත්‍රයක් නැති අය යනුවෙන් මහජනතාවගේ හිත් තුළ හෑල්ලුවකට පත් වෙනවා. මේක ඉතා බරපතළ තැනක්. බරපතළයි කියන්නේ ආණ්ඩුව හොඳම වාසි දායක තැනකට පත් වුණා. මොකද මේ ආණ්ඩුව හිටියෙ ඉදිරි අවුරුදු දෙක රට ගෙනියන්න සල්ලි නැතිව. ඒත් මේ විශ්වාසභංගය ගෙන ඒම තුළින් පැහැදිලි පාරක් හදලා දුන්නා. ආණ්ඩුව මේ තහවුරු කරගන්න දේශීය හා විදේශීය ස්ථාවරභාවය හරි විදියට පාවිච්චි නොකළොත් මේ ආණ්ඩුව හිටපු තැනක්වත් හොයාගන්න බැරි වෙනවා.

ඡන්ද 122න් පිළිබිඹුවූයේ වෙනත් අභිලාෂයක්
කථිකාචාර්ය ස්වාමිනාදන් විමල්

මේ විශ්වාසභංගයේ මුලික කාරණය මධ්‍යම බැංකුවේ විෂය වුණාට මෙහිදී ඇත්තවශයෙන්ම සිදුවුණේ ඒ විෂය පිළිබඳ සැලකිල්ලට ගැනීමට වඩා ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාව මූලික කරගෙන ඇතිවුණු විශ්වාසභංග යෝජනාවක් බවටයි එය පත්වුණේ. මෙහිදී සිදුවුණ දේ තමයි දෙමළ සහ මුස්ලිම් ජනකොටස් නියෝජන කරන පිරිස් පැහැදිලිවම අගමැතිවරයාට සහයෝගය ප්‍රකාශ කිරීමට ඉදිරිපත්වීම ඒ තුළින් පැහැදිලි වන්නේ මේ පිරිස්වලට දෙමළ හා මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව මෙන්ම ඔවුන්ට ජාතිවාදී ප්‍රහාරවලින් තොරව ජීවත්වීමට ඇති අභිලාෂය තමයි ප්‍රකාශ වුණේ. ඉදිරියටත් ලංකාවේ ජාතිවාදය පරාජය කිරීම ඉතාම වැදගත් දෙයක්ය කියන එක ඒ තුළින් පැහැදිලි වෙලා තියෙනවා. මෙහිදී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ජවිපෙ අය විශ්වාසභංගයට පක්ෂ වීම තුළ පවා තිබුණේ ප්‍රතිපත්තිමය වශයෙන් මීට වඩා වැදගත් ප්‍රතිසංස්කරණය සිදුවිය යුතුයි කියන අදහසයි. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව බලයට ගේන විට තිබුණු අරමුණු වෙනුවෙන් පෙනී සිටිය යුතුයි, දූෂිතයන්ට දඬුවම් කළ යුතුයි. කියන ඒවා ඒ නිසා මම හිතන්නේ පක්ෂව වගේම විපක්ෂව පළ වුණු ඡන්දවලින් පෙන්නුම් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, ජාතිවාදය පරාජය කිරීම, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම, රටේ නීතිය හා සාමය නැවත ස්ථාපිත කිරීම වගේ දේවල්වල අවශ්‍යතාවක් පවතිනවා කියන එකත් ඒ වෙනුවෙන් පෙනී සිටීමට සමාජයේ බලවේග තවමත් සිටිනවා යැයි කියන එකයි. ඉදිරියේදී බලයට පත්වන කාට වුවත් මේ අරමුණු පිළිබඳව අවධානය යොමු කිරීමට සිදුවෙනවා. අගමැතිට විරුද්ධව ඇති ප්‍රධානතම චෝදනාවක් තමයි ඔහු ජනප්‍රිය නායකයෙක් නොවනවා කියන එක. විශේෂයෙන් ජනප්‍රිය කියලා මෙහිදී අදහස් කරන්නේ ගතානුගතික අදහස්වලට යටත්වීම සහ ජාතිවාදයට යටත්වීම. අනාගතය තීරණය වීමේදී ඇත්ත වශයෙන්ම වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කරන ප්‍රතිසංස්කරණ කරා ගමන් කිරීමට හැකි විභවයක් සහිත මිනිසුන්ය කියන එක මේ තුළින් පැහැදිලි වෙලා තිබෙනවා. වැදගත් දේ තමයි අනාගතයේදී කවුරු වුණත් දෙමළ – මුස්ලිම් ජනතාව දෙපාර්ශ්වයෙන් තිබෙන ප්‍රශ්න වගේම රටේ සමස්තයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදී සමාජ සංස්ථාවක් වර්ධනය කර ගැනීමේ ප්‍රතිසංස්කරණයේ අවශ්‍යතාවක් පිළිබඳව සැලකීමක් දක්වන්න සිදුවෙනවා. එහෙම නොකරන අයට තිබෙන එකම දෙය ජාතිවාදය ඇති කිරීම. එහෙත් එය කොතරම් දුරට දේශපාලන ජයග්‍රහණයකට ඉඩ සලසයිද කියන එක පිළිබඳව සැලකීමත් දක්වන්න සිදුවෙනවා. එහෙම නොකරන අයට දේශපාලන ජයග්‍රහණයකට ඉඩ සලසයිද කියන එක පිළිබඳව ලොකු ප්‍රශ්නයක් දැන් ඇතිවෙනවා. කාටත් සිද්ධ වෙනවා ප්‍රතිසංස්කරණ සිදුකිරීම වැනි කාරණා සඳහා අවධානය යොමු කරන්න. ජාතිවාදය තුළින් බලය ලබාගැනීම හෝ බලය රඳවා තබාගැනීමට නොහැකියි කියන කාරණය පැහැදිලි වෙනවා.

විශ්වාසභංගයෙන් අලුත් තත්ත්වයක් ඇතිවුණා.
නීතිඥ ලාල් විජේනායක

විශ්වාසභංගයෙන් ඉන් සිදුවුණේ හැම පක්ෂයකම බෙදීමක් ඇතිවීමයි. පොදු ජන පෙරමුණට පළාත් පාලන මැතිවරණයේදී ලැබුණු ජය මෙතනදීත් ප්‍රකාශ වෙයි කියලා ඔවුන් සිතුවා. ඒක සිදුවුණේ නැහැ. මෙයින් සිදුවුණේ අගමැති හා එජාපය පත්වෙලා තිබුණු දුර්වල තත්ත්වය නැති වෙලා ඔවුන්ට යම් බලයක් තිබෙන බව පෙන්වීමට හැකිවීමයි. මේතුළින් අගමැති පෙරටත් වඩා ශක්තිමත් වෙනවා. ජනාධිපති ඉතාම දුර්වල තත්ත්වයකට පත්වුණා. ඔහුට තමන්ගේ ශ්‍රීලනිපය වත් එකට තබාගන්න බැරිවුණා. එහි මන්ත්‍රීවරු විසි ගණනක් පක්ෂයේ තීරණයට පටහැණිව ඡන්දය ප්‍රකාශකිරීමෙන් වැළකී සිටියා. තව ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ තමන් විශ්වාසයක් නැති අගමැති කෙනෙක් යටතේ ඇමතිධුර දැරීමට එක් පිරිසකට සිදුවීම. ඒනිසා ඒ අය ඉල්ලා අස්විය යුතුයි. සදාචාරමය වශයෙන් වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් තිබෙනවා සාමූහික වගකීමක්. සාමුහික වගකීමක් ඇතිවෙන්නේ නැහැ තමන්ට අගමැති පිළිබඳව විශ්වාසයක් නැතැයි කියනවා නම්. ඒ නිසා ඒ අය ඉල්ලා අස්විය යුතුයි. ඊළඟට ජනපති දුර්වල වීම තුළින් ප්‍රශ්න රාශියක් අනාගතයේදී ඇතිවේවි. අනෙක් අතින් එජාපය බලාපොරොත්තු වෙනවා පක්ෂය තුළ යම් වෙනස්වීම් ඇතිවිය යුතුයි කියලා. විශේෂයෙන්ම තරුණ මන්ත්‍රීවරු සටන් කළා ප්‍රතිසංස්කරණ ඇතිවිය යුතුයි කියලා. මෙය විශ්වාසභංගය ඉදිරිපත් කිරීමත් සමග එජාපයට එක්තරා ආකාරයට නැවත ප්‍රතිපත්තිමය වශයෙන් හා සංවිධානාත්මක වශයෙන් ප්‍රතිසංස්කරණ ඇති කරලා නායකත්වය තරුණ පරපුරට ලබාදෙන්න අවස්ථාවක් එළඹිලා තිබෙනවා.
අනෙක් අතට ශ්‍රීලනිපය විශාල අර්බුදයකට පත්වෙනවා. ජනාධිපති පත්වුණේ එජාපයේ සහ රටේ සිටින වෙනත් ප්‍රගතිශීලී කොටස්වල සහය ඇතිව. දැන් ඒ සියල්ල ඉවත්වන තත්ත්වයක් තමයි ඇති වෙලා තිබෙන්නේ. ඒ නිසා මෙහි එක් ප්‍රතිඵලයක් තමයි ජනපති දුර්වල වීම. ලබන වසරේ ඔක්තෝබර් වන විට විධායක ජනාධිපතිධුරය අහෝසි කළේ නැති නම් ඔක්තෝබර් වෙද්දි ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුයි. එහෙත් ඔහු එවැනි තත්ත්වයක නැහැ.
ඊළඟට දේශපාලන වශයෙන් මේ ආණ්ඩුවේ ප්‍රධාන ශක්තියක් වෙලා තිබෙන්නේ සුළු ජාතීන්ගේ සහයෝගය මේ ආණ්ඩුවට ලැබීම. එය තවදුරටත් තබාගැනීමට නම් 2015 ජනවාරි 08 පොරොන්දු වූ කාර්යය ඉටුකළ යුතුව තිබෙනවා. විශ්වාසභංග යෝජනාව ගෙන ඒමෙන් පසුව ඒ ප්‍රශ්නයත් මතු වුණා. තව කොතෙක් කල් සුළු ජාතීන් ඉවසගෙන ඉන්නද, කියන ප්‍රශ්නයක් මතු වුණා. මේ ආණ්ඩුව පත්වුණේ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බිඳ වැටීමක් තුළ. ඒවා නැවත සිදුනොවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අවශ්‍යයයි. ශක්තිමත් අධිකරණයක් ඇති කිරීමට, ශක්තිමත් රාජ්‍ය සේවයක් ඇති කිරීමට මූලික පියවර ගෙන තිබෙනවා 19 වන සංශෝධනය මඟින්. එහෙත් ඒවා ස්ථිර කළ යුතුව තිබෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින්.
ඊළඟට බල හවුලකාරත්වය ඇති ක්‍රමයක් ඇති කළ යුතුයි. ඒ කියන්නේ බලය බෙදීම පමණක් නොවෙයි. පළාත් සභා මධ්‍යම ආණ්ඩු අතර තිබෙන දුර්වලතා ඉවත්කරලා එය ක්‍රියාත්මක කළ යුතුයි. ඊළඟට සුළු ජාතීන් රාජ්‍ය ක්‍රමයට සම්බන්ධකර ආණ්ඩුක්‍රමයක් ඇති කළ යුතුව තිබෙනවා. ඒ අයත් රට පාලනය කිරීමේ කොටස්කරුවෝ විය යුතුයි. එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම සඳහා යෝජනා රාශියක් ඉදිරිපත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම දෙවෙනි මණ්ඩලයක් :ීැජදබා ජය්පඉැර* ඇති කිරීම, සෙනෙට් සභාව වගේ හැම පළාතකින්ම සමාන නියෝජිතයන් ගෙන ඒ සභාව හදලා, මධ්‍යම ආණ්ඩුවේ බලයට සම්බන්ධ වන පරිදි ඒ කොටස් සිටින ආකාරයේ ක්‍රමයක් සකස් කිරීමට සාකච්ඡා සිදුවුණා. එහෙත් ඒවා කෙලවරක් නැහැ. දැන් එම ප්‍රශ්නයත් දේශපාලන ක්ෂේත්‍රයේ කේන්ද්‍රයට නැවත පැමිණෙනවා. එය දැන් යට ගහන්න ලැබෙන්නේ නැහැ. නවත්වපු තැන ඉඳලා නැවත ආරම්භ කළ යුතු වෙනවා. එයත් විශ්වාසභංගය නිසා ඇතිවූ නව දේශපාලන තත්ත්වයක්.