රාවය

සංතුෂ්ඨිය ගොඩනැඟූ ආසියානු යුරෝපීය වාස්තු හදවත -බාවා-

සංතුෂ්ඨිය ගොඩනැඟූ ආසියානු යුරෝපීය වාස්තු හදවත -බාවා-

පරිවර්තය – වින්ද්‍යා ගමගේ

ජෙෆ්රි බාවා යනු කවරෙක්ද?

ඔහු කුමන අන්දමේ අයෙකු වන්නට ඇත්ද? ඔහුගේ උත්කෘෂ්ඨත්වයේ ප්‍රභවය කුමක්ද? ජෙෆ්රි බාවාගේ වියෝවෙන් වසර ගණනාවකට පසුවත් මෙම ප්‍රශ්නවලට තවමත් පිළිතුරු ලැබී නොමැත.
ඔහු අප්‍රසිද්ධ ජීවිතයක් ගත කළ අයෙක්. බාවා මිතුරු සමාගමය අගය කළත්, සමීපතම මිතුරන් අතලොස්සක් ඇසුරු කළා. ඒකල දිවියක් ප්‍රිය කළ පුද්ගලයකු වුණා. සිය ජීවිතය අංශ ගණනාවකට ඛණ්ඩනය කරගෙන ඒ එකිනෙක අතර පරතරයක් තබාගැනීමට විශේෂ උනන්දුවක් දැක්වූ ඔහු මිතුරන් පමණට වඩා සමීප වූ විට ඔවුන් තම ජීවිතයේ විවිධ අංශවල සීමාකරණය කරමින් හැසිරෙන විට, තම අභ්‍යන්තරයෙන් පැන නැඟි විධික්‍රම හරහා ඔවුන් පසුබැස්වීමට කටයුතු කළා. ඔහුට දිගුකාලීන සහකරුවකු සිටියේ නැහැ. බාවා තම දිවියේ අවසන් භාගය වාස්තු විද්‍යාව වෙනුවෙන්ම ගත කරන්නට යෙදුණා. විටෙක බොහෝ ත්‍යාගශීලි අයෙකු වූ ඔහු තවත් විටෙක අකාරුණික දරුවකු මෙන් අකීකරු ගති ඇති අයකු වුණා.
නව ස්ථාන අත්දැකීමට මෙන්ම ආවෘත භීතිකාවෙන් යුත් කොළඹ නගරයෙන් ගැළවීම උදෙසාත් ඔහු සංචාරයට ප්‍රිය කළා. ජෙෆ්රි බාවාගේ පරම ප්‍රීතිය වූයේ සිය ‘ලුණු ගඟ’ උiානයේ කාලය ගත කිරීමයි.
බාවා තම රාජකාරී සටහන්වලින් විශාල ප්‍රමාණයක් 1997 වසර වනවිටත් විනාශ කර දැමුවා. එක්කෝ ඔහු දිනපොතක් තබාගත්තේ නැහැ. නැතිනම් තබාගත් එකදු දින පොතක්වත් අද වනවිට ඉතිරි වී නැහැ. තම වෘත්තිය පිළිබඳව න්‍යායික භාෂිතයෙන් කතාකිරීම අකමැති වූ ඔහු සම්මුඛ සාකච්ඡා ලබාදීම මඟහැරියා. වාස්තු විද්‍යාව පිළිබඳව ඔහු විසින් ලියූ සටහනක් 1968 වසරේ ‘ටයිම් ඔෆ්සිලෝන් ඇනුවල්’ හි පළ වුණා. පසුව එය 1969දි ‘ආකිටෙක් ජර්නල්’ වෙනුවෙන් නැවත පළ කිරීමට යෙදුණු අතර 1986 වන විට ටේලර් විසින් රචිත, ධවල පුස්තකය ලෙසින් හඳුන්වන බාවා පිළිබඳ ශාස්ත්‍රීය නිබන්ධනයෙහි ඇතුළත් කොට තිබුණා. තමාව ඡායාරූපයට හසුකරගන්නවාට අකමැති වූ ඔහුතේ කටහඬ අඩංගු වූ එකම පැහැදිලි හඬපටය බාවාගේ මරණයෙන් පසු අහඹු ලෙස හෙළිදරව් කරගැනීමට හැකිවුණා. තිස්ස අබේසේකරයන් ‘ලුණු ගඟ’ අළලා කළ හදවත ස්පර්ෂ කරන සුළු චිත්‍රපටයෙහි අවසන් දීර්ඝ පැනෝරාමා දර්ශනයෙහි සෙවණැලි රුවක් ලෙස පමණක් පෙනී සිටීමට බාවා එකඟ වී තිබුණා.
තමා මීට කළින් ගත කළ ජීවිතයේදී වාස්තු විද්‍යාඥයකු වීමේ කිසිදු සලකුණක් නොපෙන්වූ ඔහු 1954 වසරේදී ලන්ඩනයේ වාස්තු විදාඥයන්ගේ සංගමයට ඇතුළත් වුණා. බාවාට යන්තම් වසර 4ක් වන විට ඔහුගේ නීතිඥ පියා මියයාමෙන් පසු ඔහුව ඇති දැඩි කළේ ඔහුගේ මව හා විවාපත් නොවූ නැන්දණියන් දෙදෙනකුයි. තමාට වඩා අවුරුදු දහයක් වැඩිමහළු වූ තම සොහොයුරා සමඟ ඔහු කිසිදිනක සමීප වූයේ නැහැ. කොළඹ රාජකීය විද්‍යාලයේ සාමාන්‍ය සිසුවකු වූ ඔහු කේම්බි්‍රජයේ ශාන්ත කැතරින් කොලීජියේදී හෝ කෙටිකාලීන නීතිඥ ජීවිතය තුළදිවත් කැපී පෙනෙන චරිතයක් වූයේ නැහැ. 1947දී බාවා ලෝක සංචාරයක නිරත වෙමින් අග්නිදිග ආසියාව සහ එක්සත් ජනපදය හරහා සැරිසරා අවසානයේ ඉතාලිය බලා පැමිණියේ එහි පදිංචි වීමේ අදහසින්. එහෙත් 1948 වසරේ නැවත ශ්‍රී ලංකාවට පැමිණි ඔහු අත්හැරදමා තිබූ රබර් වත්තක් මිලටගෙන එය, භූ දර්ශනය කළ උයනක් බවට පත්කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළා. එය ඔහුගේ වාස්තු විද්‍යාව පිළිබඳ ආශාව අවධි කරන ව්‍යාපෘතියක් බවට පත්වුණා. එංගලන්තයේ වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයේ සිසුවකුව සිටි වසර තුනක කාලය තුළ තමා පිළිබඳව අන් අය තුළ නොමැකෙන හැඟීමක් ජනිත කිරීමට අපොහොසත් වූ ඔහුව මතකයේ රැඳුනේ සිසුන් අතරින් වැඩිමහලුව, උසම මෙන්ම තම ධනවත්භාවය පිටස්තරයට පෙන්වීමට වඩාත්ම කැමති සිසුවා ලෙසයි. කෙසේ වුවත් තිස්අට හැවිරිදි වියේදී ශ්‍රී ලංකාවට පැමිණ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමත් සමඟ ජෙෆ්රි බාවා තම කාලයේ ආසියාවේ සැලකිය යුතු වාස්තු විද්‍යාඥයකු බවට පත්වීමේ මංපෙත් විවර කරගත්තා. තරමක් විප්ලවකාරී, අරමුණක් රහිත නවකයකු මෙතරම් කැපවීමක් සහිත වාස්තු විද්‍යාඥයකු බවට පත්වූයේ කෙසේද? එය සමහරවිට අපට කිසිදිනක පිළිතුරු නොලැබෙන ප්‍රහේළිකාවක් වනු ඇත.

බාවාගේ ගුණාංග

ජෙෆ්රි බාවා යටත් විජිත යුගයෙන් පසු ශ්‍රී ලංකාවේ තිබූ අසහාය දර්ශන අගය කළ අයෙක්. අර්ධ ආසියානුවෙක් මෙන්ම අර්ධ යුරෝපීයයෙක් වූ අතර ඔහුගේ දිවිය යටත් විජිත ශ්‍රී ලංකාව හා ස්වාධීන ශ්‍රී ලංකාව පැතිරුණු එම යුග අතර බෙදීගිය එකක් වුණා. සංචාරයට ඇබ්බැහි වූවකු වූ බාවා වාස්තු විද්‍යා ප්‍රතිරූපවලින් තම මනස පුරවාගෙන වාස්තු විද්‍යා ඉතිහාසය පිළිබඳව සොයාබලන්නට වුණා. ඔහු තම උපන් රට වූ ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා සම්ප්‍රදායන් පිළිබඳව ගවේෂණය කරමින් එකිනෙකට වෙනස් ප්‍රභවයන්ගෙන් යුත් මූලිකාංග සංයෝජනය කරමින් නව අදහස් තුළින් නිර්මාණකරණයේ යෙදුනා.
සහජ නිර්මාණකරුවකු වූ ජෙෆ්රි බාවාට අවකාශය පිළිබඳව මනා දැනුමක් තිබුණු අතර නිර්මාණශීලී අදහස් තම හිස තුළ මායනය කරමින් ජනිත කිරීමේ හැකියාව තිබූ අයෙක්. චිත්‍රපටයක කතා පෙළ ගොනු කරන්නා සේ ඔහු වාස්තු විද්‍යා දර්ශන සැලසුම්කරණ චාරිකාවේ යෙදුනා. ඔහු වාස්තු විද්‍යාවට යොමු වුණේ උයන් නිර්මාණයට ඇති ආශාව හා භූ දර්ශනයෙහි මූලිකාංගයක් ලෙස ගොඩනැගිලි භාවිත කිරීම ආදිය තුළින් ඇතුළත හා පිටත අවකාශ අතර ඇති බාධක බිඳීම පිළිබඳ සොයාබැලීමට තිබූ ආශාව නිසා බව පෙනුනා.
බාවා විශිෂ්ට සැලසුම් අඳින්නකු නොවුවත්, තොරක් නැතිව සැලසුම් හා පැතිකඩවල කටු සටහන් අඳිමින් වැඩබිමේ සගයන්ට තම අදහස් හැඟවීමට කටයුතු කළා. තමාගේ දුර්වලතා හඳුනාගෙන තමාට වඩා හොඳින් අදාළ කාර්යයෙහි නිරත විය හැකි පුද්ගලයන් පිරිවරා කටයුතු කිරීමට උත්සුක වුණා. එවැනි වැඩ සගයන් අතර වාස්තු විiා ප්‍රවර්ධකයකු ලෙස කටයුතු කළ බාවා සංධ්වනියක් හසුරුවන්නකු තියුණු විනිසුරුවරයකු, රසඥතා තීරකයකු මෙන්ම දැඩි විචාරකයකු ලෙසද සවිබල ගැන්වූ මේ වැඩ සගයන් බාවාට කිසිදිනක තනිව සපුරාගැනීමට නොහැකි වූ දේ මුදුන් පමුණුවා ගැනීමට රුකුල් දුන්නා. අනෙක් අතට තම වැඩ සගයන් කිසිදිනක සිහිනෙන් පවා නොසිතූ දේ කිරීමට බාවා ඔවුන් පොළඔවනු ලැබුවා.
ලන්ඩන් වාස්තු විද්‍යා සංගමය නූතනවාදී දෘෂ්ඨිවාදය ජෙෆ්රි බාවා වෙත හඳුන්වා දුන්නත් ඊට පෙර නීතිඥයකු ලෙස ඔහු ලද පුහුණුව නිසාම ඔහු හණමිටි අදහස් නොතකන්නෙකු වුණා. තම මුල් යුගයේ නිර්මාණ කටයුතුවලදී නූතනවාදී ප්‍රවේශයක් අනුගමනය කළත්, සුදුමහත්වරුන්ගේ භාවාත්මක වාස්තුවිද්‍යාව ශ්‍රී ලංකාවේ නිවර්තන තෙත් දේශගුණයට නොගැලපෙන බව ඔහු ටික කලකින්ම අවබෝධ කරගනිත්ම දේශීය විධික්‍රම හා තාක්ෂණය යොදාගනිමින් ප්‍රාදේශීයවාදී වාස්තු විද්‍යා විධික්‍රමයකට විතැන් වුණා.
එවකට ආර්ථික අවහිරතා හා ආනයන සීමාකිරීම් තිබූ යුගයක මෙලෙස දේශීය වාස්තු විiා ක්‍රමයකට විතැන්වීම කාර්යක්ෂම, මිල අධික නොවන හා දේශගුණික හා සංස්කෘතිකමය වශයෙන් යෝග්‍ය දෙයක් බවට පත්වුණා.
බාවා ප්‍රායෝගිකත්වය පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කළ බව ඔහුගේ භාවිතාවෙන් ඔප්පු කළා. එනිසාම තම නිර්මාණ සඳහා ලාභදායී, පහසුවෙන් සපයාගත හැකි දේශීය අමුද්‍රව්‍ය යොදාගන්නා අතරම නිවර්තන දේශගුණය තුළ ප්‍රශස්තව ක්‍රියාත්මක කළ හැකි ලෙස නිර්මාණය කළ සම්ප්‍රදායික විධික්‍රම තම නිර්මාණ කාර්ය සඳහා දායක කරගත්තා. විශාල ප්‍රදේශයක් ආවරණය කිරීමට වීදුරු භාවිත කිරීම, වායු සමීකරණය කිරීම ආදි මිල අධික, අධික බලශක්ති පරිභෝජනයකින් යුතු දේ භාවිතයෙන් වැළකීමට වගබලා ගත්තා. ඔහු විසින් නිර්මිත ගොඩනැගිලි ස්වභාවිකවම සිසිලස හා සුවපහසුව සලසා දුන්නා. එසේම තිරසාරත්වය යන්න හඳුන්වා දීමට වදනක් පවා සකස් වී නොතිබුණු යුගයක බලශක්තිය පිරිමසමින්, පරිසරයට හිතකර, තිරසාරභාවයෙන් යුත් ගොඩනැගිලි තනන්නට වුණා.
ගොඩනැගිලි නිර්මාණයේදී ඒවායේ සෞන්දර්යාත්මකභාවය පිළිබඳ සැලකිලිමත් වෙමින් නවීන හරයක් සහිත වුවත් සම්ප්‍රදාය තුළ ස්ථාපිත වූ නිර්මාණ කිරීමට ජෙෆ්රි බාවා උත්සුක වුණා. අන් අයට සංතුෂ්ඨිය ලබාදිය හැකි ස්වභාවයේ නිර්මාණ කිරීම තුළින් බාවා සුවිශාල ප්‍රීතියක් ලැබුවා. එනිසාම දාර්ශනිකයකු වූ ඇලන් ඩී. බොට්න් විසින් රචිත ‘සංතුෂ්ඨියේ වාස්තු විද්‍යාව ’ නම් කෘතියෙහි පවා ජෙෆ්රි බාවාට ඉඩ වෙන්වීම පිළිබඳව පුදුම විය යුතු නැත.
අවසාන විග්‍රහය අනුව සියවස් හතරක යටත් විජිත ආධිපත්‍යයෙන් මිදී, ක්‍රමිකව විකසනය වූ ශ්‍රී ලංකාව ගොඩනැගීමට බාවා විසින් නවීන හා අකාලික විධික්‍රමයක් උරුම කරදුන් බව පැවසිය හැකියි.

ඉතිරි කොටස ලබන සතියට…
‘ආක් ඬේලි’ හි පළ වූ ඬේවිඞ් රොබින්සන්ගේ ‘රිමෙම්බරින් බාවා’නම් වූ ලිපිය ඇසුරෙනි.