රාවය

‘දේශීය සිනමාවේ උන්නතිය උදෙසා…’ ජනපති කමිටු වාර්තාව විමසා බැලීමක්

‘දේශීය සිනමාවේ උන්නතිය උදෙසා…’ ජනපති කමිටු වාර්තාව විමසා බැලීමක්

විශේෂ ලියුම්කරුවකු විසිනි

ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය දිගු අතීතයක සිට පවතින්නේ නොනවතින අර්බුදයකය. එම ගැටලු උග්‍ර වන හැමවිටකදීම පැවති ආණ්ඩු මෙන්ම පවතින ආණ්ඩුව විසින්ද ගැටලුවලට පිළියම් සෙවීම පිණිස ‘චිත්‍රපට කමිටු’ පත්කර වාර්තා ලබාගෙන ඇත. එනමුත් ඒ සියල්ලම පාහේ අද වනවිට ‘වාර්තා’ වලට පමණක් සීමා වූ ව්‍යාජයක් බවට පත්ව තිබෙන්නේය. (බලන්න 2017.10.18 ‘රාවය’ පුවත්පත. ‘ගඟට ඉනි ගැපුවා වැනි චිත්‍රපට කමිටු වාර්තා’)
මෙම චිත්‍රපට කමිටු වාර්තාවට පෙර නිකුත් වූ ආසන්නතම චිත්‍රපට කමිටු වාර්තාව, 2016 ජූලි මස නිකුත් වූ අගමැතිවරයා විසින් පත්කරන ලද ‘සිනේ ෆිල්ම්ස් ඩිජිටල්කරණය සහ බෙදාහැරීම’ පිළිබඳ කමිටු වාර්තාවයි. එය ක්‍රියාත්මක කරනවා තබා, ඒ පිළිබඳ කිසිඳු කතාබහක් හෝ සිදුනොවීය. හරියට ගඟේ මූදේ දැම්මා සේය.
එම කමිටුවට සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරමින් තිදෙනකු සහභාගි වී තිබුණි. ඒ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන ප්‍රසන්න විතානගේ, චන්ද්‍රන් රත්නම් හා චිත්‍රපට ආනයනකරුවකු, බෙදාහැරීමේ සමාගමක ප්‍රධානියකු වූ ඉමිටියාස් ජේ. කාදර්ය. ඒ හැරුණු විට අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් හා නිලධාරීන් හයදෙනෙකි.
2018.04.03 දින නිකුත් වූ ‘දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට’ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තාව, දේශීය සිනමා කර්මාන්තය පිළිබඳව නිකුත් වූ නවතම වාර්තාවයි. අතීත චිත්‍රපට කමිටු වාර්තාවලට සාපේක්ෂව වර්තමාන කමිටුවේ සාමාජිකයන් සංඛ්‍යාව විශාලය. එම සංඛ්‍යාව 33 කි. මහාචාර්ය සරත් විජේසූරිය, ධර්මසිරි බණ්ඩාරනායක සහ සෝමරත්න දිසානායක කමිටුවේ උපදේශකයෝ වූහ.
ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න සභාපතිත්වය දරණ කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ, මහාචාර්ය සුනිල් ආරියරත්න, රවීන්ද්‍ර රන්දෙණිය, එම්.ඩී. මහින්දපාල, බෙනට් රත්නායක, අශෝක හඳගම, රෝයි ද සිල්වා, සනත් ගුණතිලක, නීටා ප්‍රනාන්දු ඇතුළු ප්‍රවීණ සිනමා අධ්‍යක්ධවරුන් හා නළුනිළියන් ද, බුද්ධි කීර්තිසේන, රොහාන් වැලිවිට, ඉමිටියාස් ජේ. කාදර්, ජී.ආර්. පද්මරාජ සමග චිත්‍රපට නිෂ්පාදකයන්, රංගන ශිල්පීන්, චිත්‍රපට ආනයනකරුවන්, සියලු බෙදැහැරීම් මණ්ඩලවල ප්‍රධානීන්, චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය, සිනමා ශාලා අයිතිකරුවන්ගේ සංගමය සහ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය ඇතුළු සිනමා ක්ෂේත්‍රයේ විවිධ නියෝජිතයන්ගෙන් සැඳුම්ලත් පුළුල් නියෝජනයකි.
උක්ත කමිටුව පත්කිරීමට පසුබිම සැකසෙන්නේ සිනමා කර්මාන්තයේ පවතින බරපතල ගැටලු සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වයන් විසින් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
පෙර කමිටු වාර්තාවට (2016 ජූලි නිකුත් වූ) සාපේක්ෂව මෙම නවතම චිත්‍රපට කමිටු වාර්තාව, වර්තමාන තත්ත්වය සැලකීමේදී වඩාත් යහපත් නිර්දේශවලින් සමන්විතය. කමිටුව විසින් නිර්දේශ 15ක් යටතේ යෝජනා ඉදිරිපත් කර ඇත.
එනම්, විනෝද බදු ප්‍රතිශතයන්, චිත්‍රපට ප්‍රදර්ශන පෝලිම, අක්‍රමවත් චිත්‍රපට බෙදාහැරීම, ප්‍රදර්ශන ආදායම් බෙදීයාමේ විෂමතාව, සිනමාශාලා ඩිජිටල්කරණයේ අපහසුතා, සිනමාශාලා හිඟමුදල් හා අක්‍රමිකතා, චිත්‍රපට රූගත කිරීමේ දුෂ්කරතා, විදේශීය චිත්‍රපට ආනයනය හා බෙදාහැරීම, දේශීය සිනමාවේ ගුණාත්මක වර්ධනය, අනවසර DVD චිත්‍රපට, නව බදු පනතින් සිනමා ක්ෂේත්‍රය සඳහා පැවති බදු සහන ඉවත් කර තිබීම, සිනමාශාලා විදුලි ගාස්තු, චිත්‍රපට සංරක්ෂණය, අක්‍රමවත් චිත්‍රපට ප්‍රදර්ශනය සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ කාර්යභාරය යන කරුණු සලකා බලා නිර්දේශ ඉදිරිපත් කර ඇත. තවද කමිටුවේ උපදේශකයකු වූ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක විසින් කමිටු නිර්දේශ සඳහා ඉදිරිපත් කර ඇති සංශෝධන යෝජනා කිහිපයක් කමිටු වාර්තාව සමඟ අමුණා ඇත. තමන්ද උපදේශකත්වය දැරූ කමිටුවක, වාර්තාව සඳහා සංශෝධන ඉදිරිපත් කිරීම සහ එම සංශෝධන කමිටු වාර්තාව සමඟ අමුණා තිබීම, මෙම කමිටු වාර්තාව හෑල්ලුවට ලක් කිරීමක් ලෙස අපට හැඟේ. එනම් කමිටු උපදේශකයකු නිසි බලධාරියකු ලෙස කටයුතු කර තිබීමයි.
කමිටු නිර්දේශ සියල්ලේ හොඳරැනරක විමසා බැලීම මෙවැනි එක් ලිපියකින් පමණක් සිදුකළ නොහැකි බැවින්, මෙම ලිපියේ අරමුණ වන්නේ, එකී වාර්තාවේ ප්‍රමුඛතම නිර්දේශ කිහිපයක් සහ යට කී, කලා කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයාගේ යෝජනා පරිදි කමිටු නිර්දේශ සංශෝධනය වුවහොත් ඇතිවන තත්ත්වය විමසා බැලීමයි.
දැනට පවතින ප්‍රධානතම ගැටලුවක් කමිටු නිර්දේශ අංක 02 යටතේ සඳහන් වෙයි. කමිටුවට නිරීක්ෂණ වී ඇත්තේ ‘දේශීය චිත්‍රපට 70ක් පමණ ප්‍රදර්ශනය කිරීමට පෙළ ගැස්වී ඇති අතර එයින් චිත්‍රපට 50ක් පමණ චිත්‍රපට සංස්ථා රිත්මා මණ්ඩලයේ ප්‍රදර්ශනය සඳහා ඉල්ලීම් කර ඇත. මෙම චිත්‍රපට කිසිඳු වර්ගීකරණයක් සිදුකර නොමැති අතර, බහුතරයක් කිසිදු ප්‍රමිතියකින් තොරව නිපදවා ඇත’ යන්නයි.

කමිටු නිර්දේශය

1. දැනට නිෂ්පාදනය කර ඇති එහෙත් කිසිඳු ප්‍රදර්ශන මණ්ඩලයක ප්‍රදර්ශනය සඳහා බාර නොගත් චිත්‍රපට නරඹා ඒවායේ කලාත්මක හෝ වාණිජ වටිනාකමක් ඇත්දැයි නිර්දේශ කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීම. එසේ කවර හෝ වටිනාකමක් ඇත්නම් ඒවා ප්‍රදර්ශනය සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම.
2. එම කමිටුව මගින් ප්‍රතික්ෂේප වූ චිත්‍රපට සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට ත්‍රිපුද්ගල අභියාචනා මණ්ඩලයක් පත්කිරීම.
මෙම දෙවන ඡේදය වෙනුවට කමිටු උපදේශක සෝමරත්න දිසානායකගේ සංශෝධන යෝජනාව වන්නේත
ස්වාධීන මණ්ඩලය මගින් නිර්දේශ කරන ලද ඉහළම වර්ගයේ චිත්‍රපට සඳහා එවන් නිර්මාණ දිරිමත් කිරීමක් වශයෙන් විශේෂ දීමනා සහන සැලසීම.
මෙමඟික් අභියාචනා මණ්ඩලය ගැන නොකියවෙන බැවින් නවක චිත්‍රපටකරුවන්ට, කිහිපදෙනෙකුගේ තීරණ මත තම අනාගතය තීන්දු කිරීමට සිදුවේ. එමෙන්ම නව නිර්මාණකරුවන්ගේ චිත්‍රපට අතරින් ඉහළම වර්ගයේ චිත්‍රපට තෝරාගන්නා සාධාරණ නිර්ණායක මොනවාද?
තවද එසේ තෝරාගන්නා ලද චිත්‍රපට සඳහා විශේෂ දීමනා හා සහන ලබාදෙන්නේ කුමන ආයතනයකින්ද යන්න සඳහන් නොවීම නිසා එම යෝජනාව ප්‍රායෝගික නොවේ.
කමිටු නිර්දේශ අංක 03 යටතේ සඳහන් වන්නේ වර්තමානයේ පවතින තවත් ප්‍රමුඛ ගැටලුවක් වන චිත්‍රපට බෙදැහැරීමේ අක්‍රමවත් ක්‍රමවේදය පිළිබඳවයි.
‘දැනට චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ අනුපිළිවෙල තීරණය කරනුයේ බෙදාහැරීමේ මණ්ඩල 05 නියෝජිතයෝය. එම තීරණය බොහෝ අවස්ථාවල මතභේදයන්ට තුඩු දී ඇත. එමෙන්ම එම තීරණ සඳහා නිශ්චිත ක්‍රමවේදයක්ද නොමැති බව’ කමිටුවට නිරීක්ෂණය වී ඇත.

ඒ සඳහා කමිටු නිර්දේශ කිහිපයක්

1. දැනට ක්‍රියාත්මක මණ්ඩල 05ට අමතරව, ජාතික චිත්‍රපට සංස්ථාවේ අධීක්ෂණය යටතේ දේශීය චිත්‍රපට බෙදාහැරීම සඳහා වෙනත් පාර්ශ්වයන්ටද අවස්ථාව ලබාදීම.
2. එක් එක් මණ්ඩල වෙත අනුයුක්ත කිරීමෙන් තොරව සිනමා ශාලා ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා කටයුතු කිරීම.
3. දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලබන සිනමාශාලා සංඛ්‍යාවෙන් 50්‍ර ඉක්මවා ප්‍රදර්ශනය සඳහා මුදාහරිනු ලබන චිත්‍රපටයේ පිටපත් මුදාහැරීම සිදු නොකළ යුතු බවට කොන්දේසි පැනවීම.
4. උසස් ප්‍රමිතියෙන් යුත් කලාත්මක චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් පහසුකම් සැලසීම සහ ක්‍රමවේදයක් සකස් කිරීම.
මෙහි පළමුවන ඡේදය හා තුන්වන ඡේදය වෙනුවට පහත සඳහන් ඡේද කමිටු වාර්තාවට ඇතුළත් කරන ලෙස සෝමරත්න දිසානායක යෝජනා කරයි.
එනම් මෙහි 01 වෙනුවට, ‘දැනට පවතින චිත්‍රපට බෙදාහැරීමේ මණ්ඩල අහෝසි කර ජාතික චිත්‍රපට සංස්ථාව විසින් පනවන නව නිර්ණායකයන් හා කොන්දේසි යටතේ අලුත් බෙදාහැරීමේ මණ්ඩල පිහිටුවීම. මෙසේ කිරීමේදී දැනට පවතින මණ්ඩලවලටද නව යෝජනා හා කොන්දේසි යටතේ යළි ලියාපදිංචි විය හැක.’
3 වන ඡේදයේ ආරම්භයේ ඇති ‘දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලබන…’ යන කොටස ඉවත් කර ඒ වෙනුවට ‘දිවයින පුරා ඇති…’ වශයෙන් ආදේශ විය යුතුය යන්න…’ ඔහු යෝජනා කරයි.
ඔහු යෝජනා කරන පරිදි, දැනට තිබෙන ප්‍රදර්ශන මණ්ඩල අහෝසි කර නව ප්‍රදර්ශන මණ්ඩල පිහිටුවීම යන්න අපබ්‍රංසයකි. මන්දයත් සියලු යහපත් කොන්දේසි යටතේ, පවතින ප්‍රදර්ශන මණ්ඩල එදා පිහිටුවුවද එම කොන්දේසි එකක්වත් ක්‍රියාත්මක නොවීම හා අද වනවිට බෙදාහැරීමේ මණ්ඩල සියල්ල අසාර්ථක වී තිබීමයි. එබැවින් නැවත පිහිටුවන ප්‍රදර්ශන මණ්ඩල පනවන ලද නිර්ණායකයන් හා කොන්දේසි යටතේ ක්‍රියාත්මක වේ යැයි සිතීම හිතලුවක් පමණි.
පනවන නව කොන්දේසි ද ක්‍රියාත්මක කරවිය යුත්තේ ජාතික චිත්‍රපට සංස්ථාව විසින්ය. අතීතය විමසා බැලීමේදී චිත්‍රපට සංස්ථාවට එවැන්නක් කිරීමට නොහැකි බව ඔප්පු කර ඇත. එබැවින් සිදුවනු ඇත්තේ නව ප්‍රදර්ශන මණ්ඩලවලටද හිතුමතේ සිනමා ක්ෂේත්‍රය තුළ පිනුම් ගැසීමට අවස්ථාව සලසාදීම පමණි.
තවද, කමිටුවේ යහපත් නිර්දේශයක් වූ ‘දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලබන සිනමාශාලා’ යන්න ඉවත් කර ඒ වෙනුවට ‘දිවයින පුරා ඇති සිනමාශාලා’ වශයෙන් ආදේශ විය යුතු යැයි වන ඔහුගේ යෝජනාව දකින විට අපට සිහිපත් වන්නේ 2013 වසරේ, පිටපත් 35 සීමාවට එරෙහිව කටයුතු කළ රජ කතා රැල්ලේ චිත්‍රපටකරුවකුගේ ප්‍රදර්ශිත පිටපත් 60ක් වෙනුවෙන් වූ කලබගෑනියයි. මෙගා පිටපත් රැල්ලේ චිත්‍රපටකරුවකුගේ එම යෝජනාවෙන් එක් සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය වන විට වෙනත් සිංහල චිත්‍රපටයකට අවස්ථාව නොලැබෙන අයුරු විමසා බලමු.
කමිටු නිර්දේශය පරිදි ‘දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලබන සිනමා ශාලාවලින් 50%ක් යන කොන්දේසිය අනුව එක් සිංහල චිත්‍රපටයකින් මුදාහැරිය හැකි පිටපත් ප්‍රමාණය 50 කට සීමා වේ. සිංහල චිත්‍රපට සඳහා වෙන් වී ඇත්තේ සිනමාහල් 100ක් පමණ වන බැවැනි. එවිට එකවර අවම වශයෙන් චිත්‍රපට 2ක් මුදාහැරීමට අවස්ථාව ලැබේ.
ඔහු යෝජනා කරන පරිදි දිවයින පුරා ඇති සිනමාශාලාවලින් 50%ක් ලෙස නිර්දේශ වෙනස් වුවහොත් එකවර සිංහල චිත්‍රපටයකින් පිටපත් 90ක් ප්‍රදර්ශනයට මුදාහැරිය හැකිය. (දිවයිනේ සිනමාශාලා සංඛ්‍යාව 180ක් බැවිනි.) එවිට තවත් සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට ඉතිරි වන්නේ සිනමාශාලා 10ක් පමණි. එය ප්‍රමාණවත් නොවන බැවින් සිදුවන්නේ එක් චිත්‍රපටයකට පමණක් එකවර ‘වල’ ඉහගෙන කෑමට අවස්ථාව සැලසීමත්, ප්‍රදර්ශන පෝලිම තවත් දිගුවීමත් පමණකි.
ඉහත සංශෝධන යෝජනා කමිටුව වෙත යෝජනා කරන්නේ කමිටු සාමාජිකයකු වන බැවින්ද, එම යෝජනා කමිටු වාර්තාවට අමුණා ඇති බැවින්ද, එහි අරමුණු කමිටු වාර්තාව නිශේධනය කර අක්‍රිය කරවීමද යන්න විමසා බැලිය යුතුය.
තවද කමිටුවේ නිර්දේශ 15 ඉක්මවා, කමිටු සාමාජිකයකු වූ සෝමරත්න දිසානායක විසින් ‘අලුතෙන් එකතු කරන්න’ යැයි දක්වමින් නව යෝජනා 2ක් ඉදිරිපත් කර තිබීම සැලකිය හැක්කේ, කමිටු නිර්දේශයන්ට පිටින් තම අභිමතය පරිදි ඉරිදිපත් කළ පුද්ගල යෝජනා ලෙසින් පමණි. ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවක, තමන්ද උපදේශකයකුව කටයුතු කරමින්, කමිටු නිර්දේශ සඳහා, පසුව සංශෝධන ලෙස පුද්ගල යෝජනා ඉදිරිපත් කිරීමට ඔහුට ඇත්තේ කවර බලයක්ද යන්න අවධානයට යොමු විය යුතුය.
කමිටු නිර්දේශ අංක 04 යටතේ සඳහන් වන, සෑම සිනමාහලක් සඳහාම පොදු වූ ආදායම් බෙදීයාමේ ප්‍රතිශතයන්, පවතින තත්ත්වය අනුව වඩාත් සුදුසු නිර්දේශයන් ලෙස සැලකිය හැකිය.
එනම්, දේශීය චිත්‍රපට සම්බන්ධයෙන්ත
නිෂ්පාදක – 46%
සිනමා ශාලා හිමිකරු – 46%
බෙදාහැරීමේ මණ්ඩලය – 5%
ජාතික චිත්‍රපට සංස්ථාව – 3%
බෙදාහැරීමේ මණ්ඩල සඳහා දැනට පවතින ප්‍රතිශතය 10%කි. සමහර බෙදාහැරීමේ මණ්ඩලයක් විවිධ හේතු දක්වමින් නිෂ්පාදකයන් වෙතින් විවිධ අමතර ප්‍රතිශතයන්ද අයකරනු ලබති.
විදේශීය චිත්‍රපටයක් සම්බන්ධයෙන්ත
සිනමාශාලාව – 50%
ආනයනකරු – 40%
බෙදාහැරීමේ සමාගම් – 5%
ජාතික චිත්‍රපට සංස්ථාව – 5%
චිත්‍රපට ආනයනකරුවෝද වැඩි ප්‍රතිශතයක් සිනමාශාලා වෙතින් අයකර ගනිමින් සිටිති.
සිනමා කර්මාන්තය සඳහා මෙතෙක් ලබාදුන් බදු සහන, නව බදු පනත් මගින් ඉවත් කර තිබීම මත ආයෝජකයන් චිත්‍රපට කර්මාන්තයෙන් ඉවත් වන තත්ත්වයක් උද්ගත වී ඇති බවද, විදේශීය චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා කිසිඳු දිරිගැන්වීමක් නොමැති බැවින් විශාල විදේශ විනිමය ඉපයිය හැකි මාර්ගයක් ජාතික ආර්ථිකයට අහිමි වී ඇති බවද කමිටුවට නිරීක්ෂණය වී ඇත.

බදු පනත මගින් ඉවත් කළ සිනමා කර්මාන්තයට අදාළ සියලු බදු සහන නැවත ස්ථාපිත කිරීම.

විදේශීය චිත්‍රපට මෙරටදී නිෂ්පාදනය සඳහා බැංකු මගින් නිසි ක්‍රමවේදය තුළ ආයෝජනය කරනු ලබන අවස්ථාවලදී ඒ සඳහා දිරිගැන්වීමට බදු සහන ලබාදීම සහ චිත්‍රපට රූගත කිරීමට අදාළව පහසුකම් සැපයීම. එමෙන්ම මතු පරපුර සඳහා සිනමා නිර්මාණ සංරක්ෂණයේ වැදගත්කම හා එම කාර්යය සිදුනොවීමද, ප්‍රමිතියෙන් තොර DVD චිත්‍රපට හේතුවෙන් සිනමා කර්මාන්තයට ඇති වී තිබෙන තර්ජනයද කමිටුවේ නිරීක්ෂණයට ලක් වී තිබේ.
සමහර සිනමාශාලා හිමියන් තම අභිමතය පරිදි චිත්‍රපට දර්ශන වෙනස් කිරීම මගින් නිර්මාණකරුවන්ට මෙන්ම ප්‍රේක්ෂකයාට අගතියක් සිදුවන බවද, යම් සිනමා ශාලාවක ප්‍රදර්ශනය වන චිත්‍රපටයක ආදායම අඩුවන විට ක්ෂණිකව වෙනත් චිත්‍රපට දර්ශනයක් ආදේශ කිරීමද ප්‍රේක්ෂකයන් නොමඟ යවන සුළු වන අතර, එයින් මුල් චිත්‍රපටයට අසාධාරණයක් සිදුවන බව කමිටුව කරුණු දක්වා ඇත.
කමිටුවේ නිර්දේශ අතරත
දේශීය චිත්‍රපටයක් ආරම්භක වටයේ ප්‍රදර්ශනයේදී සියලු දර්ශන නොඅඩුව එම චිත්‍රපටය සඳහා ලබාදීමට කටයුතු කිරීම. කවර හේතුවක් මත හෝ පළමු සති දෙක තුළ මෙම පදනම බිඳීම සඳහා අවසර නොදීම.
කුසලතාපූර්ණ සිනමාකරුවන් දිරිගැන්වීමටත්, ප්‍රශස්ත සිනමා නිර්මාණ බිහිකිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා අනුග්‍රහය ලබාදීමටත් ක්‍රමවේදයන් සකස් කිරීම.
දමිළ සහ ඉංග්‍රීසි චිත්‍රපට දේශීයව නිෂ්පාදනය දිරිගැන්වීම.
කර්මාන්තය වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාව ශක්තිමත් ආයතනයක් වශයෙන් පවත්වාගෙන යාම සඳහා එයට ආදායම් මාර්ග ලැබීමේ ක්‍රමවේදයන් ද සකස් විය යුතු බවද අවසන් වශයෙන් කමිටුවට නිරීක්ෂණය වී ඇත.

ඒ සඳහා කමිටු නිර්දේශ කිහිපයක්

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් සර්ව බලධාරියා වශයෙන් කටයුතු කළ යුතුය.
2016 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය මගින් යෝජනා කර ඇති ‘අධිභාරය’ මගින් සංස්ථාවට ප්‍රතිශතයක් ලබාදීම.
‘දේශීය සිනමාවේ උන්නතිය උදෙසා’ නිර්දේශ ඉදිරිපත් කළ මෙම කමිටු වාර්තාවේ මූලික හරය වන්නේ දේශීය සිනමාවේ ප්‍රගමනය වෙනුවෙන් පූර්ණ රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාවයි. එය 2016 වසරේ නිකුත් වූ කමිටු වාර්තාවට එහා ගිය රාජ්‍ය මැදිහත් වීමක්ද, චිත්‍රපට බෙදාහැරීම හා ප්‍රදර්ශනය පවතින තත්ත්වයෙන් එහාට ගිය පුද්ගලික ක්‍රියාවලියක් වශයෙන්ද රජය හා පුද්ගලික ව්‍යවසාය සමග පරස්පර ගැටලු ඇති කරයි. එබැවින් මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය උනන්දු වේ යැයි සිතීම අපහසුය.
කෙසේ වෙතත් සියලු කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ රාජ්‍ය ආයතන අතරට ජාතික චිත්‍රපට සංස්ථාවද ඇතුළත් වන බැවින් චිත්‍රපට සංස්ථා බලධාරීන් සහ රේඛීය අමාත්‍යාංශ බලධාරීන් විසින් වහා සිදුකළ යුත්තේ 1999 චිත්‍රපට මාර්ගෝපදේශ ලියවිල්ලෙන් පසු පැත්තකට දමා තිබෙන, එහෙත් බලය එලෙසම පවතින (ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් වන සර්ව බලධාරියා ජාතික චිත්‍රපට සංස්ථාව බව) 1971 අංක 47 දරණ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත අතට ගැනීමය.