රාවය

මගේ විමුක්තිය මම ලැබිය යුතුයි – ප්‍රවීණ ගායන ශිල්පිනී දමයන්ති ජයසූරිය

මගේ විමුක්තිය මම ලැබිය යුතුයි – ප්‍රවීණ ගායන ශිල්පිනී දමයන්ති ජයසූරිය

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

ගුවන්විදුලියේ ළමා පිටියෙන් ගායන ක්ෂේත්‍රයට පා තබන දමයන්ති ජයසූරිය ගායන ශිල්පිනිය පසුව ආරාධනා, බිනරි සහ සුදු බණ්ඩා, ආදර හසුන, සප්ත කන්‍යා ආදී ලෙස චිත්‍රපට තිහකට අධික සංඛ්‍යාවක පසුබිම් ගායනයෙන් ද හිරුට මුවාවෙන් ආදී ටෙලිනාට්‍යවල ගීත ගායනයෙන් ද ජනාදරයට පත්වන්නීය. ඇයගේ අලුත්ම ගී තැටිය ‘සිත නිවන ගී’ අප්‍රේල් 23 ප.ව. 5.00ට කොළඹ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී එළිදකියි. මේ ප්‍රවීණ ගායන ශිල්පිනී දමයන්ති ජයසූරිය සමග රාවය කරන ලද සංවාදයක සටහනකි.

ඔබේ ගම් පළාතත්, ළමා කාලයත් පිළිබඳ මතකය මොනවගේ එකක්ද?

මගේ ගම මොරටුව කල්දෙමුල්ලයි. උසස් පෙළ දක්වාම මම ඉගෙනගත්තේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේයි. පාසල් කාලයේදී මම මලල ක්‍රීඩා, නෙට්බෝල් වැනි දේත් කළා. උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් හැදෑරුවත් මේ බාහිර දේවල් නිසා මට සමහර වෙලාවට ඒවා මගහැරෙන අවස්ථා තිබුණා. ඉතින් ගුරුවරු බැලුවේ කොහොමහරි මට උගන්වන්නයි. ඒත් ගායනය පැත්තට වැඩිපුර යොමුවීමත් සමග අනෙකුත් අධ්‍යාපන කටයුතු ටිකක් මගහැරුණා. සහෝදර සහෝදරියෝ හතරදෙනෙක්ගේ පවුලේ වැඩිමලා වුණේ මමයි. අපේ තාත්තා රාජකාරි කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේයි. අම්මා රැකියාවක් කළේ නැහැ. ඉතින් අපේ ගෙදර බොහොම නීතිරීති තිබෙන පරිසරයක් තමයි තිබුණේ. අපේ තාත්තා බොහොම පිළිවෙළට, වෙලාවට වැඩ කරන කෙනෙක්. ඉතින් තාත්තා අපිවත් හැදුවේ ඒ විධියටම වෙලාවට, පිළිවෙළට වැඩ කරන්න පුරුදු කරමිනුයි. ඒ වගේම පවුලේ වැඩිමලා විදියට මට වගකීම් බාරදීලා තිබුණා. අනෙක් සහෝදරයින්ව බලාගන්න ඕනෑ, ඒ අයගේ වැඩවලට උදව් කරන්න ඕනෑ, අම්මාට උදව් කරන්න ඕනෑ, බඩු ගේන්න යන්න ඕනෑ. ඉතින් මම පුංචි කාලේ දඟ ළමයෙකුත් නෙමෙයි. අපි ඉරිදාට දහම් පාසල් යන්න ඕනෑ, පෝයට සිල් සමාදන් වෙන්න ඕනෑ. ඒ විධියේ පරිසරයක් තුළ තමයි තාත්තා අපිව ඇති දැඩි කළේ.

ඇතැම් අය කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ පරම්පරාවෙන්. ඔබේ ජීවිතය කලාව සමග ගැටගැසෙන්න පවුලේ බලපෑමක් තිබුණාද?

මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. ඒ නමුත් අපේ අම්මා ඇයගේ පාසල් කාලයේ දී ගායනයට සම්බන්ධවෙලා ඉඳලා තියෙනවා. ඇයට ගීත ගායනා කිරීමේ හැකියාව තිබුණා. රුක්මණීදේවියගේ සිංදු ලියලා පිංතූර අලවලා ලස්සන පොතක් ඇය හදලා තිබුණා මට මතකයි. අම්මා නිතරම ගෙදරදීත් ගීත ගායනා කරනවා. ඇය විනෝදයට බරයි. අපි ඉස්සර චිත්‍රපට බලන්න, නාට්‍ය බලන්න එක්ක ගියේ අපේ අම්මායි. ඉස්සර වෙසක් නාට්‍ය තිබුණා. ඒවා බලන්නත් අම්මා අපිව එක්කගෙන ගියා. තාත්තා බොහොම නිහඬ පුද්ගලයෙක්. ඒ නිසා තාත්තා ඒවාට නොගියත් අපිව එක්කගෙන යන්න අම්මාට ඉඩ දුන්නා. ඉතින් ගායනය පැත්තට මම යොමුවෙන්න හේතුවුණේ මගේ අම්මා නිසා කියලා මම හිතනවා. අම්මා කොහොමහරි මාව ළමා මණ්ඩපයට යවලා, ඒකේ පරීක්ෂණයට ඉදිරිපත් කළා. ඉතින් ඇත්තටම ළමා ගායිකාවක් වෙන්න පාර කැපුවේ අම්මායි. මිනිස්සු මාව දැනගත්තේ කලාකාරියක් වුණු නිසානේ. ඉතින් එහි සම්පූර්ණ ගෞරවය හිමිවෙන්නේ අම්මාට තමයි.

අද අප දකින ප්‍රවීණ ශිල්පීන් ශීල්පිනියන් බිහි කරන්න ගුවන්විදුලියේ ළමා මණ්ඩපය එදා මං පෙත් විවර කර දුන්නේ කොහොමද?

මම ළමා මණ්ඩපයට ගියේ හැටේ දශකයේ අගභාගයේදීයි. අද වෙද්දී මගේ ගායන ජීවිතයට අවුරුදු පනහක් වෙනවා. සුනෙත් ගෝකුල මහත්මයාගේ ළමා සංගීත සන්ධ්‍යාව කියන වැඩසටහනේ ගීත ගයන්න තමයි මම ළමා මණ්ඩපයට ගියේ. පස්සේ සංගීතය ඉගෙනගන්න මම ආචාර්ය අමරා රණතුංග මහත්මිය ළඟට ගියා. අපිට ළමා පිටියේදී නන්දා මාලනී මහත්මිය, සනත් නන්දසිරි මහත්මයා, ඩී.ආර්. පීරිස් මහත්මයා, අමරා රණතුංග මහත්මිය, දයාරත්න රණතුංග මහත්මයා ආදී ප්‍රවීණයන් හමුවෙනවා. අපි ගීත ගායනා කරන්න ඉගෙනගන්නේ ඒ පිරිසගෙනුයි. ඒ කාලයේ නිවේදන කටයුතුවලටත් සම්බන්ධවීමේ අවස්ථා අපිට ලැබෙනවා. ඒ කාලයේ ගුවන්විදුලියේ ළමා නාට්‍ය තිබුණා. ඒවාටත් අපි සම්බන්ධ වුණා. පස්සේ කාලයේ අපිට ප්‍රයෝජනවත් වුණේ ඒවායි. ගුවන්විදුලිය එදා අපේ ගේ වගේ වුණා. හවස්වරුව වැඩිපුර අපි ගතකළේ ගුවන්විදුලියේයි. එතැනින් අපි ගොඩාක් දේවල් ඉගෙනගත්තා. පසුව මම සංගීතය තවත් ඉගෙනගන්න පී.වී නන්දසිරි මහත්මයා ළඟට ගියා. ඊළගට අමරසිරි මුණසිංහ ගුරුමහත්මයාගෙන් සංගීතය හදාරා විශාරද දක්වා ඉගෙන ගත්තා.

ඒ කාලයේ හොඳ නමක් තිබුණා. ළමා මණ්ඩපයේ ළමා ගායිකාවෝ කියලා හොඳ පිළිගැනීමක් තිබුණා. ඒ කාලයේ මිනිස්සුන්ට අහන්න තිබුණේත් ගුවන්විදුලියේ වෙළෙඳ සේවයයි, ස්වදේශීය සේවයයි විතරයිනේ. ඉතින් හැමදාම හවස හතරට ළමා මණ්ඩපයේ ගීත විකාශය වුණා. ඊට පස්සේ හවස හයහමාරට ගීත හයක් හතක් විකාශනය වෙනවා. ඉතින් ඒ නිසා අපි ජනප්‍රියයි. නිරංජලා පීරිස්, රෝහණ සිරිවර්ධන, ගීතා කාන්ති ජයකොඩි, චිත්‍රා කුමාරි කළුබෝවිල, සමන් අතාවුදහෙට්ටි, කමල් දේශප්‍රිය වගේ ලොකු පිරිසක් එදා ළමයි විධියට එතැන සිටියා. එදා ළමා පිටියේ ළමයි ටික කළ දේවල් අද ඉතිරිවෙලා තියෙනවා. ඒ ආරම්භය හොඳයි. මට මතකයි ඒ දවස්වල අපිට බස් එකේ යන එන වියදමට ගුවන්විදුලි සංස්ථාවෙන් රු. 3ක් වගේ ලැබුණා. ඒක එදා බස් එකේ යන්න ඇති. සල්ලි නෙමෙයි, එදා ගුවන්විදුලියෙන් අපේ ගීතයක් ඇහෙනවා කියන්නේ ලොකු දෙයක් වුණා.

අද ඇසෙන ළමා ගීත පිළිබඳ ඔබේ කියවීම මොකක්ද?

අද ළමා ගීත ඇසෙනවාද කියන එකත් ප්‍රශ්නයක්. නැත්තේමත් නැහැ, කීපයක් ඇහෙනවා. ඒ කාලයේ තරමට ඇහෙන්නේ නෑ. එදා සිටි ප්‍රවීණ පිරිස තවමත් ජීවත්වෙනවා. ඒ අයට කියලා ලස්සන නිර්මාණ කරගන්න පුළුවන්, ඇයි කරගන්නේ නැත්තේ කියන ප්‍රශ්නය තියනවා. දැන් රට යන්නේ වෙනම පැත්තකටයි. අද තියෙන්නේ තරු රැල්ලක්නේ. ඒවාට ඉදිරිපත්වීම මිස ළමයි දැනුවත් කරන විධියේ වැඩපිළිවෙළක් පෙනෙන්න නැහැ. ඉස්සර අපි ගීත ගායනා කළේ පරිසරය, ඉර, හඳ, තරු, සතුන් වගේ ළමා ලෝකයේ දේ ගැනයි. ඒවායින් මැවුණේ ලස්සන පරිසරයක්. ඒ මැවුණේ ළමා ලෝකයක්. අද තරු ළමයි කියනවා පෙනෙන්නේ වැඩිහිටියන්ගේ ගීතයි. ඒ ළමයි වේදිකාවට එන්නේත් අත්පය විසිකරමිනුයි. ඒ වගේම ඇඳුම් පැළඳුම්, රූපලාවන්‍ය ආදියත් දරුවන්ට ඔරොත්තු නොදෙන ආකාරයේ ඒවායි. අපි පුංචි කාලේ පෙට්ටියක් උඩ නැගලා මීවදය වගේ මයික් එකෙන් සිංදු කීවා. එහෙම වෙන්න ඕනෑ කියන දේ නෙමෙයි මම කියන්නේ. නැවත ඒ පැත්තට යන්න ඕනෑ නෑ. අපි ඉස්සරහටයි යන්නේ. තාක්ෂණයෙන් ඉදිරියටයි යන්නේ. ඒත් මේ දරුවන් කියන්නේ මොනවාද කියලා අපි කම්බුලට අත් තියාගෙන බලා ඉන්නවා. ඉස්සර අපිට වරදිද්දී අඩුපාඩු හද හදා අර ප්‍රවීණයින් පිරිස අපිව ඉදිරියට ගෙන ආවා. අද එහෙම දෙයක් දකින්න ලැබෙන්නේ නෑ. ඒ ළමයින්ට විනිශ්චය මණ්ඩලය ආමන්ත්‍රණය කරන්නේත් ළමයින්ට වගේ නෙමෙයි. අවසානයේ ඒ තරග මහා ගෝරිවලින් අවසන් වන අවස්ථාත් තියෙනවා. ඒ කාලවලත් පුංචි තරග තිබුණා, පුංචි පුංචි තෑගි හම්බ වුණා. දැන් මහා කිරුළු පළන්දලා, උඩු ගුවනින් අරන් ඇවිල්ලා, මල්මාලා දාලා සම්පූර්ණයෙන්ම ළමා මනසටත් දරාගන්න අපහසු තරම් දේ තමයි අද සිදුවෙන්නේ. ඒ ළමයි කොහේද යන්නේ කියන ප්‍රශ්නය තියනවා. ඉස්සර ළමයි ගීත ගායනයක් කළාම ප්‍රවීණයින් ඒක අගය කරනවා. නැත්නම්, පුතේ අපි මෙහෙම කියමු කියලා ඒ අය කියලා දුන්නා. ඔබේ ගායනය මේ විධියයි කියලා දරුවන්ට ඒ අය කීවේ නෑ. ඒ අය අපිව හැදුවා. අපි ඒ ප්‍රවීණයින් ගීත ගායනා කරද්දී හොඳට කට දිහා, අත් හසුරවන විධිය බලාගෙන ඉන්නවා. ඒවා හරිම සුන්දරයි. හැමදේකම ප්‍රමිතියක් නැති වුණාම ඒ දේවල් රැල්ලට යනවා.

ඒ කාලයේ ඔබ ආභාසය ලබා ගත් ගායිකාවක් සිටියාද?

එහෙම විශේෂ කෙනෙක්ගේ ආභාසය ලැබුවේ නැහැ. හැබැයි අපි වැඩිපුරම ඇහුවේ හින්දි සිංදුයි. ඒවා තමයි ඒ කාලේ ගායනා කළේත්. මොකද මට හිතෙනවා හින්දු සිංදු ගායනා කිරීමේදී ඉහළ ස්වර ගායනා කරන්න පුළුවන් හැකියාව ඇති වෙනවා කියලා. මොකද ඒවා හැදෙන්නේ ඉහළ පරාසයකයි. පස්සේ මම සරල ගී පරීක්ෂණයට සහභාගි වුණා. මම ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක්. වෙළෙඳ සේවයේත්, ස්වදේශීය සේවයේත් දෙකේම සරල ගී තිබුණා. හැබැයි හුඟාක් සරල ගී ගායනා කරන්න ලැබුණේ නැහැ.

එච්.ආර්. ජෝතිපාල, මොහිදින් බෙග් වැනි ගායකයින් සමගත් ගී ගැයීමේ දුර්ලභ අවස්ථාවලටත් හිමිකම් කීමේ අවස්ථාව ඔබට හිමිවෙනවා නේද?

ඇත්තටම මොහිදින් බෙග් මහත්මයා එක්ක ගීතයක් ගායනා කරන්න ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්. මම පොඩි කෙනෙක්. ඒ වගේම ජෝතිපාල මහත්මයා එක්කත් ඉතාම සුහදව ගීත ගායනා කිරීමේ අවස්ථාව ලැබුණා. චිත්‍රපටය තිරගත වන කාලයේ විතරයි සමහර ගීත අහන්න දකින්න ලැබෙන්නේ. මම ගී ගැයූ හිරුට මුවාවෙන් ටෙලිනාට්‍ය වගේ ඒවා ඉතාම ජනප්‍රිය වුණා. ඒ නිසා ඒ කළ ප්‍රමාණය ඇති කියලා මට හිතෙනවා. මම ඒවා අල්ලා ගත්තේ නෑ. අල්ලා ගත්තා නම් තවත් එහාට යන්න තිබුණා. ඒත් මම හැමදාම හිතුවේ ඉතාම සරලවයි.

ඔබ ගැයූ ජනප්‍රියත්වයට පත් ගී අතුරින් කමල් අද්දරආරච්චි සමග ගැයූ ‘උන්මාද වූ ප්‍රේමාදරේ’ ගීතයට එදා ඉහළම ප්‍රතිචාර තිබුණා.

ඒ ගීතය ගායනා කරද්දී ඒක ජනප්‍රිය වෙයි කියන දේ හිතුණේ නැහැ. තනුව, ගායනය, වචන, චිත්‍රපටය, එහි රඟපෑ කමල්, සංගීතා ඒ සියල්ලම එකට එකතු වූ නිසා ඒ ගීතය ජනප්‍රිය වෙන්න ඇති කියලා මම හිතනවා. ඉස්සර ඉතින් පාරේ යද්දීත්, බස් එකේත්, ලොතරැයි කූඩුවේත් යන යන තැන ඒ ගීතය ඇහෙනවා. මම ඉතින් අහගෙන යනවා. ගොඩාක් පිරිස ඒ ගීතය නිසා මට ආදරේ වුණා. අදටත් මිනිස්සු ඒ ගීතය ගැන කතා වෙනවා. ඒ ගැන සතුටක් තියෙනවා. ඒත් මම ඒක ලොකුවට හිතන්න තරම් දෙයක් කරගත්තේත් නැහැ.

ඔබේ සහකරුවා වන ඒ.ඩී. රංජිත් කුමාර මහතා ඔබට හමුවෙන්නේත් මේ ගුවන්විදුලියේ ළමා පිටියේ දී නේද? ඒ මතකය ගැන යමක් කියන්න පුළුවන්ද

ඔව්, මගේ සැමියා හමුවුණේත් ළමා මණ්ඩපයේදීයි. ඒ කාලයේ පවුලේ වැඩිමලා විධියටත් ගෙදර තිබූ නීතිරීතිත් නිසා මම ඔහුට කීවා ඇවිත් තාත්තාගෙන් අහන්න කියලා. මොකද අපේ තාත්තා හරිම සැර නිසා අපි තාත්තාට හරිම බයයි, තාත්තා කියන දේ තමයි අපි කරන්නේ. ඉතින් ඔහු ඇවිත් අපේ ගෙදරින් ඇහුවා. එහෙම තමයි අපේ විවාහය සිදුවුණේ.

ඔහු පුවත්පත් කලාවේදියෙක් ලෙස කටයුතු කළා. ඒවගේම ඉතාම කාර්ය බහුල පුද්ගලයෙක්. ඔබ ගායිකාවක්.

පුවත්පත් කලාවේදියෙක් කියන්නේ බොහෝම කාර්ය බහුල කෙනෙක්. පුවත්පත් කලාවටත් වඩා ඔහු සම්මාන උළෙල සංවිධාන කටයුතු වගේ දේ කළා. උදේ වැඩට ගිහින් හවස ගෙදර එන විධියේ රැකියාවක් නෙමෙයිනේ. සමහර වෙලාවට සෙනසුරාදා ඉරිදාත් ඒ කටයුතුවලට යනවා. සමහර අවස්ථාවල අපේ අත්‍යවශ්‍ය දේකට යන්න ඔහුට විධියක් නැහැ. එවැනි අවස්ථාවල ඒවාට මුහුණ දෙන්නේ කොහොමද කියන දේ මම දැනගෙන හිටියා. සමහර අවස්ථාවල දරුවන්ගේ දේකට වුණත් ඔහුට යන්න බැරිවෙන අවස්ථා තිබුණා. ඒ හැම වැඩක්ම මම මගේ කරට ගත්තා. ඒ වගේම ඒ දේවල් මම පිළිවෙළට කළා. දරුවාට උගන්වන කටයුතු ගැන හොයන්න, බිල් ගෙවන්න ඒ හැමදේම මම කරන්න ගත්තා. මොකද මම දැක්කා රාජකාරියත් එක්ක එයාට ඒ හැම දෙයක්ම කරන්න බැහැ කියාලා. මම කලාව කියන දේත් ලොකුවට කරන්න ගියේ නැහැ. මට ලැබෙන විධියට ගීත ගායනා කළා, මගේ මහත්තයාට තේ එක මම හදලා දෙන්න ඕනෑ කියලා මම හිතනවා. ඒ වගේම ගෙදරක අම්මා නැති වුණාම ඒක මහා පාළුවක් කියලා මම හිතනවා. අම්මා ගෙදර ඉද්දී දරුවන්ගේත් සැමියාගේත් හිත් පිරෙනවා. ඉතින් ගෙදර අම්මා වන මම වේදිකාවල සිංදු කියන්න ගිහින් සල්ලි අරන් ආවා වගේ නෙමෙයි අම්මාට ගෙදර ගෞරවයක් නැති වෙනවා. මම ඒ දේ වෙන්න ඉඩ තැබුවේ නැහැ.

ඒ වගේම තමයි සම්මාන උළෙල එක්ක මගේ සම්බන්ධයක් නැතත් සමහර අය දුරකථනයෙන් කතා කරලා මටත් බනින අවස්ථා තිබුණා. සමහර අය බැනලා ලියුම් එවූ අවස්ථා තියනවා. කොහොම හරි සම්මාන ගන්න ඕනෑ කියන තැනටම මිනිස්සු පත්වූ අවස්ථා තියෙනවා. අද හිනාවෙන සමහර අය හෙට අහක බලන් යන අවස්ථා තිබුණා. පස්සේ බලද්දී එහෙම කරලා තිබුණේ ඒ අයට සම්මාන ලැබිලා නැති නිසායි.

ඔබ ධර්මකාමී ජීවිතයක් ගතකිරීමට කැමැත්තක් දක්වන බව පෙනෙනවා.

අපි ලොකු දේවල් පස්සේ දුවන්න කවදාවත් පුරුදු වුණේ නෑ. සරලබව චාම්බව කියලා දුන්නේ තාත්තායි. අපේ අම්මා හරිම ලස්සනට අඳිනවා. ආභරණ පළඳිනවා. ඒත් මම හැදුණේ තාත්තා වගේයි. තාත්තා වගේ හිත දියුණු කරගන්නයි මට අවශ්‍ය වුණේ. මේ සරල බව තමයි ජීවිතය කියන්නේ. අපිත් මේ තරගයට වැටුණා නම් කොහේ ගිහින් නවතීද කියන්න දන්නේ නෑ. මේ ක්ෂේත්‍රයේ කොහොමත් තියෙන්නේ තරගයක්. ඒ කවුරු ඉස්සරහා වුණත් මොන තරගයක් තිබුණත් නොසැලී ඉන්න පුළුවන් ශක්තිය ලැබුණේ තාත්තාගෙනුයි.

‘සිත නිවන ගී’ නම් ගීත තැටිය කුමක් වෙනුවෙන්ද?

මට හිතෙනවා මිනිස්සු ඉතාම කලබලකාරී සහ ආවේගශීලීව ඉන්නවා කියලා. ඉතින් මම කරන්නේ ගායනය නිසා ඒ ගායනයෙන් මිනිස්සුන්ගේ හිත් නිවන්න පුළුවන් ගීත ටිකක් කරන්න ඕනෑ කියලා මම හිතුවා. සමහර වෙලාවට හොඳ ලස්සන ගීතයකට සවන් දෙද්දී අපේ හිත්වල තිබෙන කෝපය කනගාටුව වගේ දේ සමහරවිට නැති වෙනවා. දැන් මටත් අවශ්‍ය හිත සන්සුන් කරගෙන මනස සන්සුන් කරගෙන මේ හැමදේම අත්හැරීමටයි. ඒ නිසා තමයි මම මේ ගීත ටිකත් කරලා මෙයින් සමුගන්නවා කියලා තීරණය කළේ. ඊට පස්සේ ඒ දේත් අමතක කරලා දානවා.
මට මේ දේවල් අල්ල ගන්න ඕනෑ නැහැ. නැත්නම් මගේ විමුක්තිය මට ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ මම අත්හරිනවා කියන දේ විතරයි. කළ දේවල් හොඳින් කළා, ඒවා එතැනින් ඉවරයි.