මම මහලොකු ක්‍රිකට් ගහල නෑ

ජගත් ප්‍රේමචන්ද්‍ර

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට මෙවර සමත් වූයේ රත්ගම දේවපතිරාජ විද්‍යාලය ය. ඒ අනුව ඔවුහු එළැඹෙන වසරේ සිට පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබති. ඉතා ම කෙටි කාලයකින් පළමු කොටසට උසස්වීම් ලද දේවපතිරාජයේ මේ දක්ෂතා පිටුපස සිටිනුයේ පුහුණුකරු රංජන් ලසන්ත මහතා ය. මේ ඔහු සමග රාවය කළ කෙටි පිළිසඳරකි.

ඔබේ ක්‍රිකට් ආරම්භය සිදුවෙන්නේත් දේවපතිරාජයෙන්?

මම පාසල් ගියේ දේවපතිරාජයට. ඒ දවස්වල දේවපතිරාජයේ ක්‍රිකට් ක්‍රීඩාව තිබුණේ නැති තරම්. අපි කිහිප දෙනෙක් රත්ගම ඒකාබද්ධ ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරනවා. බිග් මැච් කාලෙට තමයි අපේ ක්‍රිකට් උණ නැගල එන්නේ. අපිට බිග් මැච් තියා ටීම් එකක්වත් නැහැ. ඒත් මම එවකට හිටි විදුහල්පති නිශ්ශංක ගුණසේකර සර්ට ලියුමක් දානවා අපිත් බිග් මැච් එකක් ගහමු කියලා. ඒ ලියුම අනුව අපි හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය සමග බිග් මැච් එකක් ගහනවා. ඒත් අපි පරාදයි. ඒක තමයි අපේ පාසලේ එම වසරේ සෙල්ලම් කරපු එක ම මැච් එක.

ඔබ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙසින් භෞතීස්ම ලබන්නේත් දේවපතිරාජයෙන්?

ඒක සිදුවෙන්නේ නිශාන්ත කුමාර සර් නිසා. පාසල් කාලයෙන් පසු අපි රත්ගම ඒකාබද්ධයේ දිගට ම සෙල්ලම් කළා. අපේ ක්ලබ් එකේ සභාපති වුණේ නිශාන්ත සර්. ඔහු මගේ පාසල් ගුරුවරයා. දේවපතිරාජයේ අපිළිවෙළට තිබුණ ක්‍රිකට් පිළිවෙළට සකස් කළේ නිශාන්ත සර්. ඔහු මට 2000 වසරේ දී ආරාධනා කළා වයස අවුරුදු 13න් පහළ සහ 15න් පහළ කණ්ඩායම්වලට පුහුණුකරු වෙන්න කියලා. ඒ වෙද්දි මට ක්‍රිකට් ගැන තිබුණෙ අහුලාගත්ත දැනුමක් විතරයි.

ඒ අහුලා ගත්ත දැනුමත් සමගින් ඔබ දුර ගමනක් එනවා?

2000 වසරේ දී පුහුණුකරුවෙක් වූ මම 2004 වසරේ දී වයස අවුරුදු 16න් පහළ කණ්ඩායම අනුශූරතාව දිනා ගැනීම දක්වා ගේනවා. එම වසරේ දී ම මම වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේත් පුහුණුකරුත් වෙනවා. මේ වෙද්දි අපේ පාසලේ සියලුම වයස් කණ්ඩායම් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගාවලි නියෝජනය කරන්නේ. දෙවැනි කොටස නියෝජනය කළ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අවුරුදු හතරකින් පළමු කොටසට ගේන්න අපිට හැකි වෙනවා. මම හිතනවා, ඉතා ම ඉක්මනින් මේ වගේ තැනකට ආ එක ම කණ්ඩායම අපි වෙන්න ඇති. ඒ දක්වා වූ ගමනේ දී අපි විවිධ සම්මාන කුසලතා දිනාගෙන තිබෙනවා.

ඔබේ ක්‍රිකට් වපසරියේ ව්‍යාප්තිය කෙසේද?

මම මහා ලොකු ක්‍රිකට් එකක් ගහල නැහැ. පුහුණුකරුවෙක් වුණාට පස්සේ තමයි ඩිවිෂන් ටූ මැච් එකක් ගහන්නෙත්. මට මේ ගමනේදී විශාල රුකුලක් වුණේ ක්‍රිකට් ගැන තිබෙන කුතුහලය. අදටත් ඒ කුතුහලය මා තුළ තිබෙනවා. මම හැම කෙනෙක්ගෙන්ම දෙයක් ඉගෙන ගන්නවා. අනුන්ව අධ්‍යයනය කරමින් තමයි මම මගේ පුහුණුකාරීත්වයන් වැඩි දියුණු කරගත්තේ. අනිත් එක එදා වගේම ක්‍රිකට් වෙනුවෙන් තිබෙන මගේ උනන්දුව පාසල් කාලයේ වගේම අදටත් ඒ ලෙසින් ම තිබෙනවා. මේ ජයග්‍රහණයන් පිටුපස සිටින්නේ නිශාන්ත සර්. ඔහු මගේ ක්‍රිකට් දැනුම වැඩි දියුණු කරගැනීමට හොඳ තැනක් හදා දුන්නා. එදා නිශාන්ත සර් මා ගැන විශ්වාසය නොතැබුවා නම් අද මම වෙනත් වෘත්තියක නියැලෙන්නෙක් වෙන්න තිබුණා.

මේ දක්වා පැමිණි ගමනේ දී ඔබ, ඔබේ කණ්ඩායම සැලසුම් කළේ කුමනාකාරයෙන් ද?

අපි නිතර ම කණ්ඩායමක් ලෙසින් වැඩ කළා. අපි නිතර ම එකතු වුණා. තරගයෙන් තරගයට අපි සැලසුම් සකස් කළා. අපි සියලුමදෙනාගේ හිත්වලට ඇතුල්කරල තිබුණෙ පළමු කොටසට එන්න ඕන කියන දේ. මේ නිසා අපි ඉතා වෙහෙසකර පුහුණුවක් කළා. කැපවීම සහ උනන්දුව අංක එක වුණා. හැම කෙනෙකුට ම ඩියුටියක් තිබුණා. රිසව් ක්‍රීඩකයට පවා ඒකෙ වෙනසක් නැහැ. ඒ ඩියුටිය අනිවාර්ය එකක්.
අපිට අඩු-පාඩු ගොඩයි. ඒත් අපි තියෙන දෙයින් සෑහීමකට පත්වුණා. අවසාන තරගයට සුදුසුකම් ලැබුවට පසුවවත් අපිට අලුත් බෝලයකින් පුහුණු වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි ප`ඵදු වෙච්ච බෝලවලට ටේප් අලවල පුහුණුවීම් කරපු අවස්ථා තිබුණා. අපිට ටර්ෆ් විකට් නැහැ. නෙට්ස් නැහැ. තිබුණ අවම පහසුකම් උපරිමයෙන් ප්‍රයෝජනයට අරගෙන තමයි අපි අපේ ගමන ආවේ.
පාසලෙන් ලැබුණේ විනිසුරු ගාස්තු සහ ක්‍රීඩාංගණ ගාස්තු පමණයි. අනෙක් සෑම දෙයක් ම කළේ කණ්ඩායමේ සිටි ක්‍රීඩකයන්ගේ මාපියන්. ඔවුන් විශාල කැපවීමක් කළා. ඔවුනුත් ඇතැම්විටක කණ්ඩායමේ ම කොටස්කරුවන් ලෙසිනුයි වැඩ කළේ.

මේ දක්වා පැමිණි ගමනේ දී ඔබ මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය කුමක්ද?

දේවපතිරාජයේ ක්‍රිකට් පවත්වාගෙන යෑම ම පවා අභියෝගයක්. මා කලින් ප්‍රකාශ කළා මේ වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මාපියන් විශාල කැපවීමක් කරනවා කියලා. ඒ වගේ ම මෑතකදී විද්‍යාලයීය ආදි ක්‍රිකට් සංසදය මේ වෙනුවෙන් මැදිහත්ව තිබෙනවා. ඒ වගේම විද්‍යාලයීය වර්තමාන විදුහල්පතිතුමා දක්වන සහයෝගය වගේ ම සීනිගම ගුණ ජය සතුට පදනම අප වෙත දක්වන දායකත්වයත් නොවන්න අපේ ක්‍රිකට් මේ තරමින් ව්‍යාප්ත නොවෙන්න තිබුණා.
ඔවුන් ඒ ලෙසින් අපේ ක්‍රිකට් රැකගත් නිසා, අපි ෆයිනල් එකකට එනවා. ඒත් කියන්න කනගාටුයි, අපේ එක තරගයක් බලන්න එකම එක සිලෙක්ටර් කෙනෙක්වත් ආවෙ නැහැ. දිස්ත්‍රික් හෝ පළාත් පුහුණුකරුවෙක් තරග පැවති පැත්ත පළාතක ආවෙ නැහැ. අපි ෆයිනල් එනවා, ඒක සෙල්ලම් කරන්න වෙන්නෙ ටර්ෆ් විකට් එකක. අපි අවස්ථා කිහිපයක දී ම පුහුණුවීම්වලට ටර්ෆ් විකට් එකක් ඉල්ලුවා. අඩුම තරමින් ඒක ලැබුණෙත් නැහැ.
ඒකත් පැත්තකින් තියමු. වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැති ට්‍රයල්ස්වල දී අපේ ක්‍රීඩකයන් දක්ෂතා දැක්වූවා. විශේෂයෙන් ම රවීන් යසස් වගේ ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ බෝනස් එකක්. ඒත් ඔහුට තැනක් නැහැ. ඒ වගේ ම තමයි අවුරුදු 15න් පහළ ගහන ක්‍රීඩකයෙක් ශතක දෙකක් ගහනවා. ඔහුටත් ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ තැනක් නැහැ. අපිව බලාගන්න දාපු අය, පැත්ත පළාතක එන්නේ නැති නිසා අපේ ක්‍රීඩකයෝ හුදෙකලා වෙලා ඉන්නේ. අභියෝග ලෙසින් මම දකින්නේ ඒ වගේ දේවල්. මොකද අපි මේ දේවල් කරන්නේ අපේ ක්‍රීඩකයන් වෙනුවෙන්. ඒත් ඔවුන්ට නිසි තැන් ලැබෙන්නෙ නැත්නම් එතැන තිබෙන්නේ ගැටලුකාරී තත්ත්වයක්.

දේවපතිරාජ ක්‍රිකට් ඉතිහාසයේ ඔබ සුවිශේෂී චරිතයක්. මේ කාලයේ දී ඔබ දුටු දක්ෂතම දේවපතිරාජයන් කවුද?

අංක එකට සඳහන් කළ යුත්තේ තරිඳු කෞෂාල්. ඔහු ඉතාම උනන්දුවෙන් ක්‍රීඩාවේ නියුතු වූ ක්‍රීඩකයෙක්. හොඳ සටන්කාමියෙක්. ඇත්තටම ඔහුට නියමිත කාලයේ දී ඔහුට හිමි අවස්ථාවන් ලැබීම ගැන සතුටු වෙනවා. ඊට පසුව තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම ඔහු පසුපසින් සිටියා. ඔවුන් අතරමගදී නතර වුණා. සමහරු වෙනත් පාසල්වලට ගියා. වර්තමානයේ දී කෞෂාල්ගෙ තැන ලබාගෙන තිබෙන්නේ රවීන් යසස්. ඔහු ඉතා ම ප්‍රයෝජනවත් ක්‍රීඩකයෙක්. ඒත් අවාසනාවට වගේ ඔහුට මේ වෙද්දි ලැබිය යුතු අවස්ථාවන් ලැබුණේ නැහැ. ඒත් මා විශ්වාස කරනවා, වර්තමාන යොවුන් ක්‍රීඩකයන් අතර ඔහු අංක එක.

ඔබ ලබන වසරේ දී පළමු කොටසේ තරගාවලිය නියෝජනය කළ යුතුයි. ඒ වෙනුවෙන් වන සූදානම කෙසේ ද?

අපි තියෙන අඩු-පාඩු ඒ ලෙසින් ම තියාගෙන තමයි පළමු කොටසට එන්නේ. විශාල අභියෝගයක්. මේ ජයග්‍රහණයෙන් අපිට ලැබුණේ අභිමානයක් පමණක්. ඒ අභිමානය අපි ආභරණයක් සේ සුරකිනවා. අපි දෙවැනි කොටසින් පළමු කොටසට එන්නේ වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩකයන් පස්දෙනෙක් සහ වයස අවුරුදු 13න් පහළ ක්‍රීඩකයන් තුන්දෙනෙක් සමගින්. මේ වසරේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් වැඩි පිරිසක් සමගින් තමයි අපි පළමු කොටසට එන්නේ. අපේ මූලික ම අභිප්‍රාය තරගාවලියේ දෙවැනි කොටසට පිවිසී ම. මම විශ්වාස කරනවා අපිට ඒ දේ කරන්න පු`ඵවන් වෙයි. භෞතික සම්පත්වල අඩු-පාඩු තිබුණට අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවල අඩුවක් නැහැ.