රාවය

ක්‍රීඩකයෝ එනකොට දයාසිරි ගිහින්

ක්‍රීඩකයෝ එනකොට දයාසිරි ගිහින්

ටිරන් කුමාර බංගගමආරච්චි

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව ලද ඉහළම ජයග්‍රහණය ලබා ගැනීමට මෙවර හැකිවිය. එහෙත් එය ආශ්චර්යයක් කොටගෙන සමරන්නට ඇමති දයාසිරි ජයසේකරට නොහැකි විය. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ආරම්භයේදී ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ සැසිය නියෝජනය කරන ශ්‍රී ලාංකේය ඇමතිවරයා වූ දයාසිරි ජයසේකර ක්‍රීඩා උළෙලෙහි අවසන් ප්‍රතිඵල ඇතිව මෙරටට එන විට හිටපු ක්‍රීඩා ඇමති බවට පරිවර්තනය වී ඇත. ශ්‍රී ලංකාවේ මේ දිනවල දේශපාලනය ක්‍රීඩාවට වඩා උද්වේගකරය. උණුසුම්ය. තරගකාරීය. කොටින්ම හිතා ගැනීමට බැරිතරම්ය. අවිනිශ්චිතය.
දැන් ඇත්තේ වැඩ බලන ක්‍රීඩා ඇමතිවරයෙකි. ඔහු ෆයිසර් මුස්තාපාය. යහපාලන ආණ්ඩුවේ ආරම්භයේ සිටම ඇත්තේ වැඩ බලන ඇමතිවරුය. මන්ද කළ වැඩක් නම් නොමැති බැවිනි.

පදක්කම්

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රිදී පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් පහක් ලෙස සමස්ත වශයෙන් පදක්කම් හයක් දිනා ගැනීමට සමත් විය. එය එතෙක් මෙතෙක් කළ ඉහළම කෙරුවාවය. මේ ප්‍රතිඵලය කියාපානුයේ සමස්ත තරගාවලියේ 31 වන තැනය. ඒ තැන නොතැන අහක ලූ කල ශ්‍රී ලංකාවට වෙනදාට වඩා කතා කිරීමට, උඩ පැනීමට සතුටුවීමට මේ ප්‍රතිඵල ඉහටත් උඩය. මෙය සමරන්නට ක්‍රීඩා ඇමතිව සිටි දයාසිරි ජයසේකර නොවීම හරියට මඟුල් ගෙදර මනමාලයා නොමැතිවීම තරම් අඩුවකි. අප එසේ කියනුයේ මෙය උත්කර්ෂවත්ව සැමරීමට ඔහු හපනකු බැවිනි. මේ සියල්ල තමන්ගේ කාලයේ වීම තුන් වසරක තමන් කළ විජ්ජාවේ ප්‍රතිඵල ලෙස ගෙන තෘප්තවීමට ඔහුට මේ පදක්කම් හය හයේ පහරවල් බඳුවන බැවිනි.
ඔහු ඇතිව හෝ කිවයුත්ත නම් ඔහු නැතිව වුව ලියා තැබිය යුතුය. ක්‍රීඩා ඇමතිවරයකු ලෙස ඔහු කැපීf පෙනුණ බව සැබෑමුත් මේ පදක්කම්වල හිමිකරුවා නම් ඔහු නොවන බව කිව යුතුය. ඔහු එහි ඉතාම සුළු චරිතයක් පමණි. මේ දිගුකාලීන ප්‍රතිඵලයක අවසානයය. ජයග්‍රහණ හෑල්ලු කොට තැකීමේ මානසික රෝගයක් අපට නැත. එය ඉතා විශිෂ්ට බව කිව මනාය. අප කියනුයේ තවමත් මේ ප්‍රතිඵල කියාපානුයේ හුදකලා අරගල විනා සමස්තයක් ලෙස ආණ්ඩුවේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ දැක්මක ප්‍රතිඵල නොවන බවය. සැලැස්මක සටහන් නොවන බවය. දයාසිරි ජයසේකර ඇමතිවරයාගේ තුන් වසරක තුන්කල් දැක්ම තුළද එවැන්නක් නොවීය. එය ප්‍රදර්ශනාත්මක සංදර්ශනාත්මක පෙරහැරක් බඳු විය. ඒ තුළින් ඔහු ක්‍රීඩකයන්ට වඩා ජනප්‍රිය විය. එහෙත් මොකක්දෝ අභාග්‍යයකට ඔහුට කළ හැකිව තිබූ බොහෝ දේ කළ නොහැකි විය. ඔහුට වැඩක් කළ හැකි හැකියාව පහළ වන විට ඔහු එයට සමු දුන්නේය. අප දුටුවේ ඔහුගේ උපරිමයද විය හැකිය. සෑම විටම කෙනෙකු නැතිවිට දකින ආශ්වාදය අප විඳිනවා විය හැකිය.

බොක්සිං

මෙවර ගෝල් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල තුළ නැවත ලාංකේය ඉස්මතුවීම බොක්සිංවලට වඩා ඩයස් ගෝමස් විය. ඔහු වෙනුවෙන් වැයෙන ගුණවරුණා නිමක් නැතිවිය. බොක්සිං ක්‍රීඩාවෙන් ලබනුයේ ලෝකඩ පදක්කම් තුනකි. එහිද ඇති සුවිශේෂිත්වය කොමන්වෙල්ත් ඉතිහාසයේ ප්‍රථමවරට බොක්සිං ක්‍රීඩාවෙන් කාන්තා ඉසව්වකින් පදක්කමක් ලැබීමය. ඒ අනුෂා කොඩිතුවක්කුය. ඉතිරි පදක්කම් දෙක දිනනුයේ ඉශාන් බණ්ඩාර සහ තිවංක රණසිංහය. ලංකාවේ බොක්සිං යනු ඩයන් ගෝමස් යන ප්‍රබන්ධය නිර්මාණය කළේ මාධ්‍යයය. එය ඔහුම මාධ්‍ය හරහා කරගත් දෙයකි. එබැවින් අදද මේ ක්‍රීඩක, ක්‍රීඩිකාවට වඩා කතාබහ ඩයන් ගැනය. ඩයන් කළ දෙයක් තිබිය හැකිය. එහෙත් පදක්කම වෙනුවෙන් ක්‍රීඩකයා කරන දේට ඒ සියල්ල දෙවැනිය. එබැවින් ඔහු අබිබවා වෙනකෙකු ඉලිප්පීම, වලිප්පුවට කරන වැඩම විනා අන් කවරක්ද? පහුගිය කාලයේ ඩයන් හැසිරුණේ තමන් බොක්සිං ක්‍රීඩාවේ නැති ගාණටය. අප එකලද ලීවේ රූකඩ පාලනයක් ඇති අතර පිටුපස මේ රූකඩ නටවන බලවේගය ඩයන් ගෝමස් බවය. එවිට ඔහු හැසිරුණේ එය එසේ නොවූ ගාණටය. පහුගිය කාලයේ බොක්සිං ක්‍රීඩාවේ කඩා වැටීම් ගැන ඔහු මෙවර පත්වී කටමැතද දෙඩීය. එහෙත් දැන් සියල්ල අමතක කොට ඔහු ජයග්‍රහණය සමග නැවත උමතු වී ඇත. එබැවින් මෙය බොක්සිං ක්‍රීඩකයන්ට උමතුව සාදන බව කල් තබාම ලියා තබමු.
පහුගිය කාලය තුළ බොක්සිං ක්‍රීඩාවේ පරිහානියක් වූ බව ඩයන් කීවේ නම් ඔහු පත්වී මාසයකින් දෙකකින් ඔහු මේ වික්‍රමය කළේද? බොහෝ අයට ඩයන් උමතුව ඇතිමුත් අපට එවැනි ඇලජික් නැති බව කිව යුතුම මෙන්ම ඩයන් ගැනද සුබවාදී කතාවක්ද ලියා තැබිය යුතුය. එනම් ඔහුද අපූරුය. මන්ද ඔහුට පරාජයේදී සැඟවිය හැකි මෙන්ම ජයග්‍රහණයේදී ජයග්‍රාහකයාට වඩා සතුටුවිය හැකි බැවිනි. එයද අපූරුවකි. අනෙක් අතට මේ ජයග්‍රහණවල උප්පැන්න ඔහු සතුය. එහි උරුමයට ඔහුට මිස කාටවත් වචනයකින් වුව කතා කළ නොහැකිය. මේ තනි ඒකාධිපතිවාදය විටක හොඳමුත් බොහෝවිට අහිතකරය.
මේ ජයග්‍රහණ සමග බොක්සිං ක්‍රීඩාවේ වුව හැඩය වෙනස් විය යුතුය. ඩයන් වුව මෙය තමන්ගේ තනි බූදලයක් ලෙස නොගෙන මුදාහැරිය යුතුය. කොටින්ම ඔහුගේ උමතුව ක්‍රීඩකයන්ට බෝ නොකළ යුතුය. මේ සියලු විවේචන ඔහුටද යමක් කළ හැකි තැන සිට සලකා බැලීම වැදගත්ය. අප කියනුයේ ඔහුද බොක්සිං පරිපාලනයේ චරිතයක් මුත් එය සීමාසහිත තනි පුද්ගල සමාගමක්ය. බොක්සිං ක්‍රීඩාව එයින් මිදී ව්‍යාප්ත විය යුතුය. එවිට මීට වඩා දක්ෂතා ඉස්මතු වනු නියතය. එසේවීමට ඩයන් ගෝමස්ම තනි අධිකාරියෙන් මිදී දැන් ව්‍යාප්ත විය යුතුය. ඔහුට එය කිරීමට නම් දැන් වෙනස් විය යුතුය. කැපී පෙනීමේ රෝගයෙන් මිදීම ඊට අනිවාර්යය. ඩයන්ට එය කළ හැකිද යන්න බරපතළය. මන්ද ඔහුගේ ඇඟ පුරාම ඇත්තේ කැපී පෙනීමේ රෝගය වන බැවිනි. මේ මොහොතේ බොක්සිං ක්‍රීඩිකාව ඇතුළු ක්‍රීඩකයන් ලද ජයග්‍රහණ ඔවුන් මතුවීමට සහ බොක්සිං ක්‍රීඩාවේ ප්‍රගමනයට උපකාරී වේවායි පතමු. එය පුද්ගලයකු මත දිය නොවේවායි පතමු.

බර ඉසිලීම

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙහි ඉතිරි පදක්කම් තුනටම හිමිකම් කියනුයේ බර ඉසිලීමේ ක්‍රීඩාවය. එහිද රිදී පදක්කමක් තිබීම සුවිශේෂිය. ඒ ඉන්දික දිසානායක නම් ක්‍රීඩකයා ලද දිස්නය වේ. ඉතිරි ලෝකඩ පදක්කම් දෙකට හිමිකම් කියනුයේ චතුරංග ලක්මාල් සහ දිනූෂා ගෝමස්ය. මේ පදක්කම් ශ්‍රී ලංකාව මූලික කතාබහට ලක් කළ ආරම්භය මුත් බොක්සිං පදක්කම් සමග මේ සියල්ල අමතක කොට පුද්ගලයකු ඉස්මතු විය. මේ රටාවත් මාධ්‍යය තුළ වෙනස් විය යුතුය. ඩයන් මෙන්ම බර ඉසිලීමෙන් වික්‍රමසිංහ මතුවිය. එයද එක්තරා විදිහකට වෙනම ඒකාධිකාරියකි. බලහත්කාර මතුවීමකියි අපගේ හැඟීමය. මේ තුළද ජයග්‍රාහී උප්පැන්න ලියා ගැනීමක් දැකිය හැකිය.
මෙයින් පෙනීයන්නේ මේ පදක්කම් කිසිදු විධිමත් සැලැස්මකින් තොරව පුද්ගලානුබද්ධ වී ඇති බවය. මේ පුද්ගලයන් නැති කල මේ ක්‍රීඩාවන් අහවරද?
අපට දිනිය හැකි ක්‍රීඩා අතළොස්සක් ඇත. එය තෝරාගෙන ඉදිරියට ගෙන එන්නේ නම් අපට මීට වඩා පදක්කම් ලද හැකිය. එහෙත් ක්‍රීඩා ඇමතිවරු ඊට දැමූ බර අඩුය. සැබැවින්ම මේ ජයග්‍රහණ ලබන මොහොතේ එය සමරන්නට ක්‍රීඩා ඇමැත්තකු නැතිවීම මරු වැඩකි. දැන් මෙතැන් සිට අලුත් අයකුට පාරක් කපා ගත හැකිය.

ගෝල්කෝස්ට් සහ හම්බන්තොට

මෙවර ඕස්ටේ්‍රලියාවේ පැවති ගෝල්කෝස්ට්හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අමතක නොවන්නේද අපද එය සමග තරග කොට එම අවස්ථාව හම්බන්තොටට ලබාගැනීමට ළාමක උත්සාහයක් දැරූ බැවිනි. රාජපක්ෂලා ඒ වෙනුවෙන් පුදුම විදිහේ ප්‍රාථමික වැඩ කළේ විශාල ලෙස මුදල් නාස්ති කරමිනි. යම් හෙයකින් එදා එය හම්බන්තොටට ලැබී නම් අද එය කරන්නට වන්නේ මේ යහපාලනයටය. එසේ නම් තත්ත්වය කුමක් වනු ඇත්ද? අපට මේ රටම විකුණන්නට සිදුවනවා නියතය. හාමතේ මැරෙන්නට සිදුවනවා නියතය. ඒ උගුලෙන් බේරීම රටක් ලෙස අප ලද භාග්‍යයකි. ගෝල් කෝස්ට් යථාර්ථය එය අපට පසක් කරනු ඇත. රාජපක්ෂලා ලොකුවට සිතුවට ගෝල්කෝස්ට් හමුවේ හම්බන්තොට නිකන් බිකකි. මේ පදක්කම්වලටත් වඩා රටක් ලෙස අප ලද ජය අපට එම ක්‍රීඩා උළෙල හිමි නොවී ගෝල් කෝස්ට් දිනීමය. අප එදා ලද පරාජය නම් අප ලැබූ ලොකුම ජයය.
දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමතිවරයා ලෙස ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට පොරොන්දු මල්ලක් විය. ඒවා ඊට වඩා මිස අඩුවෙන් සම්පූර්ණ නොකරන්නැයි වැඩ බලන හෝ එන්න ඉන්න ඇමතිවරයා නොකළ යුතුයැයි අවධාරණය කරමු. මේ දිනූ ක්‍රීඩකයන් උපරිමයෙන් ඇගැයිය යුතුය. එය ගමනක ආරම්භය වේවායි පතමු.