ප්‍රධාන පක්‍ෂ දෙකම උස්සලා පොළොවෙ ගහලා නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන

නිමල් අබේසිංහ

රටේ පවතින අරාජික තත්ත්වය පිළිබඳව ඔබේ විග්‍රහය කෙබඳු එකක්ද?

මට පෙනෙන විදියට ආණ්ඩුවේ නායකයින් දෙදෙනාම අපට ලැබුණු ජනවරම හරිහැටියට අවබෝධ කරගෙන කටයුතු කළේ නෑ. ඒ දෙදෙනාම එකට එකතු වෙලා ආණ්ඩුව පවත්වාගෙන යෑමයි කළ යුතුව තිබුණේ. ආණ්ඩුව පිහිටුවීමට පෙර ඇතිකරගත් ගිවිසුමේ පවා අඩුපාඩු තිබෙනවා. ඒ ගැන දෙපාර්ශ්වයටම පැහැදිලි අවබෝධයක් නොතිබුණ නිසා තමයි දැන් මතුවී තිබෙන ගැටලු ඇතිවීමට මූලික හේතුව. මම කියන්නේ ඉදිරි මැතිවරණය එනතුරු මේ ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්න ඕනේ කියන එකයි. ජනවාරි 08 ජනතාවගේ අපේක්‍ෂා ඉටුකරන්න. ඒ වාගේම මේ වෙනුවෙන් අලුත් ගිවිසුමකට ගියත් කමක් නැහැ. මොකද තිබුණු ගිවිසුමේ අඩුපාඩු පවා හදාගන්න එවිට අවස්ථාවක් ලැබෙනවා. ඒකෙදී එකිනෙකා ප්‍රසිද්ධියේ විවේචනය කරගැනීම ගැන පවා කිසියම් එකඟතාවකට එන්න පුළුවන්. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ දෙකක් විදියට මේ වාගේ විවේචන එල්ල කරගැනීම ඉතාම වැරැදියි කියන එකත් ඉන් ලැබිය හැකි අහිතකර ඵල විපාක ගැනත් අපි ඒ අයට පෙන්නල දුන්නත් ඒ අය කිසිම කෙනෙක් අපේ අදහස්වලට කිසිම යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නෑ. අඩුම වශයෙන් පසුගිය මැතිවරණය වෙලාවේදීවත් රට මෙවැනි අරාජික තත්ත්වයකට පත් වෙයි කියලා මේ අය හිතුවේ නෑ. අපි යෝජනා කළේ කලින් විදියටම සියලුම අය හංසයා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වෙමුය කියන එකයි. ඒ අය ඒ දේ නොසලකා හැරියා.
ජනවාරි 08 අපට ලොකුවට ලැබුණ ජනවරම අමතක කරලා ඒ අය වෙනම දේශපාලන ගමනක් යන්න හිතුවනේ. ඒ නිසා තමයි උස්සල පොළොවේ ගැහැව්ව වගේ ප්‍රතිඵලයක් දෙගොල්ලන්ටම ලැබුණේ. දැන් ඉතින් විශ්වාසභංගයෙන් පස්සේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න වෙනවා.

ඔබ එහෙම කීවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදීත් ඒ අයගේ අපේක්‍ෂකයෙක් තරඟයට ඉදිරිපත් වන බවයි. අනෙක් පැත්තෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක කියනව යහපාලන ආණ්ඩුවෙන් කිසිම දෙයක් වුණෙත් නෑ කියලා. මෙතනම යහපාලන ආණ්ඩුව කළ සැඟවුණ අර්බුදයක් තියෙන විත්තිය පැහැදිලියිනේ.

ඕව අපේක්ෂාභංගත්වය හින්දා කියන කතා. යථාර්ථයට ගැලපෙන්නෙ නෑ. ඔය සියලුම දෙනාට දැන් එහෙම පේනවා. ඕකම තමයි දේශපාලන තකතීරුකම.

පසුගිය කාලයේත් ඒ වගේ කතා නිසා යහපාලන ආණ්ඩුවේ අසමඟිතාව පෙන්නුම් කරනවා වාගේම ජනතාවගෙන් පක්ෂ ප්‍රතික්ෂේප වීම තුළ පක්ෂ මෙන්ම ආණ්ඩුවත් අවලංගු විමත් සිදුවීම වැළැක්විය නොහැකියි නේද?

තමන්ගේ දේශපාලන කාර්යභාරය හිතාමතාම අමතක කරන කොට ඕනෑම පක්ෂයක් එහෙම අවලංගු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් මේ භූමිය තුළ නෑ. මෙහෙම ගියොත් එජාපය ඇතුලු ආණ්ඩුවේ අනෙක් පක්ෂවලටත් ඒක වලංගුයි. ඒකයි මම කලිනුත් කිව්වේ අලුත් වැඩපිළිවෙළක් ගේන්න ඕනේ කියලා. ඒ වැඩපිළිවෙළ ජනවාරි 08 අපිට ලැබුණු ජන වරමේ වැඩපිළිවෙළට අනුකූල වෙන්න ඕනේ.

පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීමට තිබූ නියමිත දිනය තවත් ඉදිරියට කල්දැමීම තුළ කිසියම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වන බවක් පෙනෙනවා. ඊට අමතරව ඒ කල්දැමීම තුළ සැඟවුණු න්‍යාය පත්‍රයක් තිබෙන බවත් සමහරු කියනවා. ඔබ ඒ ගැන මොකද කියන්නේ?

පාර්ලිමේන්තුව යළි රැස්වීමට තිබුණේ අප්‍රේල් 19 වෙනිදායි. මැයි මාසයට කල්දැමීම තුළ පාර්ලිමේන්තුව නොපැවැත්වෙන්නේ එක් සැසිවාරයක් පමණයි. ඒ නිසා මේ කල්දැමීම තුළ සැඟවුණ න්‍යාය පත්‍රයක් හෝ කිසියම් ගැටලුකාරී තත්ත්වයක් ඇති යයි මම විශ්වාස කරන්නේ නෑ.
ඒත් මම හිතනවා ආණ්ඩුවේ සිටි ශ්‍රීලනිපයේ 16 දෙනා ගියාට පස්සේ ඉතිරි අයත් ආණ්ඩුවෙන් යනවද ඉන්නවද කියලා තීන්දු කරන්න කාලය අවශ්‍ය නිසා පාර්ලිමේන්තු සැසිවාරය කල්දමන්න ඇතිය කියලා. ඒ අයට ඒකට කාලයකුත් අවශ්‍යයිනේ.
ඒ හැර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ විශේෂ පනත් දෙකක් තිබෙනවා. එකක් විශේෂ මහාධිකරණය පිහිටුවීමේ පනත. මේ පනතේ සංශෝධන කිහිපයක් කළයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කරලා තිබෙනවා. මේ කාර්යයන්ට සම්බන්ධ වූවෙක් විදියට අපි යෝජනා කරලා තිබුණේ එම සංශෝධන සහිතව මැයි 08 දිනෙන් පස්සේ ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමු කියලයි. එතකොට එය ප්‍රමාද වෙන්නෙ සති දෙකක කාලයක් පමණයි. විගණන පනත ගෙනෙන්නත් මාස එකහමාරක විතර කාලයක් යාවි. ඊට අමතරව කාරක සභා පිහිටුවීමටත් සති තුන හතරක කාලයක් යාවි.

යහපාලන ආණ්ඩුවේ අර්බුදය කොහොමවත් තවම සමනය වී නැති නිසා එයට පිළියමක් විදියට අලුත්ම කැබිනට් මණ්ඩලයක් සමඟ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන බවට පවතින කතාව ගැන ඔබට කියන්න තිබෙන්නේ මොනවද?

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ එකඟත්වයෙන් විද්‍යානුකූල පදනමක් මත කැබිනට් මණ්ඩලය සැකසිය යුතු බවට අදහසක් තිබෙනවා. අමාත්‍යාංශ ගැලපීමේදී විද්‍යාත්මක පදනමක් තිබුණේ නැහැ. උදාහරණයක් විදියට කිව්වොත් උසස් අධ්‍යාපනය අමාත්‍යාංශය සමග මහාමාර්ග අමාත්‍යාංශය එකතු කරලා තිබුණා. මහ බැංකුව මුදල් අමාත්‍යාංයෙන් ඉවත් කරලා තිබුණා. මේව නොගැලපීම්. ඒ වාගේ දේවල් වෙනස් වේවි කියලා හිතෙනවා. ඊළඟට එජාපයේ තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටත් ඇමතිකම් ලැබෙන බවට ආරංචියක් තිබෙනවා.

යහපාලන ආණ්ඩුව දුර්වල එකක් වූවා සේම දූෂිත එකක් නිසා නොවෙයිද ඒකාබද්ධ විපක්ෂයට වුණත් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන්න අවස්ථාව උදාවුණේ?

පරණ රෙජිම් එකට තිබුණ දූෂණ චෝදනා පත්‍රයකුත් එක්ක තමයි අපට ජනවාරි 08 බලය ලැබෙන්නෙ. ඒකත් එක්ක අපට කිසිම අයිතියක් නෑ දූෂණවල යෙදෙන්න. මේ වගේ දේවල් මතුවෙන්නෙ ඒවට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග නොගත්ත නිසයි.
බැඳුම්කර සිද්ධිය වුණත් ආණ්ඩුවට විශාල කැළලක් එය මතු වූ අවස්ථාවේම නිසි පියවර ගන්න ආණ්ඩුවට තිබුණා. එහෙත් එය අපෙන් සිදුවුණේ නෑ. එය විශාල වරදක්.