ග්ලයිෆොසේට් තහනම වෙනුවට නියමනය කළ හැකිය

ආචාර්ය සරත් අමරසිරි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

මෑතකදී පුවත්පතක පළකරන ලද, දිවයිනේ සුප්‍රසිද්ධ විශේෂඥ භෞතචිකිත්සක වෛද්‍යවරයෙකු වූ මහාචාර්ය සරෝජ් ජයසිංහ සහ වකුගඩු රෝග විශේෂඥයෙකු වූ වෛද්‍ය චූලා හේරත් විසින් රචිත ලිපියක් මගින් “පූර්ව ආරක්ෂණ මූලධර්මයේ පදනම මත ග්ලයිෆොසේට් තහනම ඉවත් නොකිරීමට” තර්ක ඉදිරිපත් කර ඇත. මම ඔවුන්ගේ ලිපිය හොඳින් කියවා බැලූ අතර, ඊට අමතරව ඇති ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට ඉදිරිපත් කර ඇති හේතු සලකා බලා, ඔවුන්ගේ යෝජනාවට කිසිසේත් එකඟ නොවන බව සඳහන් කරමි. එම ලිපිය පිළිබඳ මගේ නිරීක්ෂණ පහත දැක්වේ.
මෙම වෛද්‍යවරුන් දෙදෙනා ඔවුන්ගේ ලිපියෙහි පහත දැක්වෙන පරිදි ඉස්මතු කර ඇති කරුණක් පිළිබඳව මූලිකව සලකා බැලිය යුතුව ඇත. එනම්; “කිසියම් ප්‍රතිපත්තියක විද්‍යාත්මක එකඟතාවක් නොමැතිවිටදී, මහජනතාවට හානිකර සැක කරන ලද හේතුවක් තිබියදී, අවසාන සාක්ෂි ඉදිරිපත් කිරීමට බලා සිටීමට වඩා තවදුරටත් මෙහි බලපෑමට ලක්වීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතුය. විද්‍යාත්මක සාක්ෂි සහ පූර්වාරක්ෂාව පිළිබඳ මූලධර්ම සලකා බලා ග්ලයිෆොසේට් තහනම, නුදුරු අනාගතයේදී ඉවත් නොකළ යුතුය” යන්නයි.
මෙහිදී වැදගත් කරුණ වන්නේ, මෙම වෛද්‍යවරුන් දෙදෙනා විසින් දැනට පවතින සාක්ෂි සලකා බලා ග්ලයිපොසේට් මහජනතාවට හානිකර බවට විද්‍යාත්මක සාක්ෂි සහ එකඟතාවක් නොමැති බවට අවසන් නිගමනයකට පැමිණ ඇති බවයි. මෙය ඉතා වැදගත් නිගමනයක් වන අතර මේ වනවිට ග්ලයිෆොසේට් සහ වකුගඩු රෝගය අතර නිශ්චිත සම්බන්ධයක් ඇතැයි පවසන අයවලුන්ට අතුල් පහරක් එල්ල කිරීමකි. මෙහි දී මට පැනනගින ගැටලුව වන්නේ පූර්ව ආරක්ෂක උපක්‍රමයක් ලෙස පමණක් ග්ලයිෆොසේට් තහනම් කිරීමට තරම් අප අන්තගාමී විය යුතුද? යන්නයි.
මිනිස් සෞඛ්‍යයට ග්ලයිෆොසේට් අහිතකර බව බොහෝ දෙනා ප්‍රචාරය කර ඇති නමුත් (ඉහත වෛද්‍යවරුන් දෙදෙනා ඊට එකඟ නොවෙතත්), ගොවීන්ගේ ද මෙම වල්නාශකය සදහා දැඩි ඉල්ලුමක් ඇති බව දන්නේ ඉතා සුළු පිරිසකි. එම ඉල්ලුම කෙතරම්දයත් නීතියට පටහැනිව මෙරටට ගෙන එන්නාවූ, ඉන්දියාවේදී ශ්‍රී ලංකා රුපියල් 100ක් තරම් වටිනා ග්ලයිෆොසේට් ග්‍රෑම් 100 පැකට්ටුවක්, වර්තමානයේදී ඔවුන් විසින් කළුකඩවලින් මිලදී ගන්නේ රුපියල් 600 කට ය. ග්ලයිෆොසේට් කළුකඩයේ සුලබව ඇත.
ග්ලයිෆොසේට් වසර කිහිපයක් තිස්සේ, කඳුකරයේ තේ වගාව, වී වගාව සහ මෑතකදී අනුරාධපුරය වැනි වියළි කලාපීය ප්‍රදේශවල බඩ ඉරිඟු වගාව සඳහා ද ශ්‍රී ලංකාව තුළ වල්නාශකයක් ලෙස භාවිත කර ඇත. වර්තමානයේදී ග්ලයිෆොසේට් නොමැතිව වී වගාව බාධාවකින් තොරව කරගෙන යාමට හැකියැයි දක්වා ඇති නමුත් බිම් සැකසීමට පෙර වල්නාශකය කිරීම සඳහා කුඹුරු ඉඩම් ජලයෙන් යට කිරීමට සිදුවී ඇත. එම නිසා වගාව සදහා වාරි ජල අවශ්‍යතාව ඉහළ ගොස් ඇත.
ග්ලයිෆොසේට් නොමැතිවීම නිසා, තේ වගාවට සිදුවී ඇති හානිය හොඳින් දන්නා කරුණක් වන අතර, පසුගිය වසර කිහිපය එමගින් රටට සිදුවූ පාඩුව රුපියල් බිලියන 20කට වඩා වැඩි බවට ගණන් බලා ඇත.
තේ පර්යේෂණ ආයතනය මගින් මෑතකදී සිදුකළ ඇස්තමේන්තුවලට අනුව වල් මර්දනය සඳහා යන කම්කරු වියදම, වල් මර්දනයට ග්ලයිෆොසේට් යෙදීමට යන වියදම මෙන් දෙගුණයකටත් වැඩිය. උදාහරණයක් ලෙස පහතරට වල්පැළ ඝනත්වය අනුව වගා කරන ඉඩම්වල, වල්නාශක සහිතව වල් පාලනය සඳහා අවශ්‍ය කම්කරුවන් ගණන හෙක්ටයාරයට 32 සිට 76 දක්වා අතර ගණනකි, එහෙත් කම්කරුවන් මගින් පමණක් වල් මර්දනය සඳහා යන කම්කරුවන් ගණන හෙක්ටයාරයට 72 සිට 176 දක්වා අතර අගයකි. මෙම වියදම දරන්නේ කවුරුන්ද? මේ මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වන අහිතකර බලපෑමට වගකියන්නේ කවුරුන්ද?
අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ බඩ ඉරිඟු වගාව තහනම් කිරීම පිළිබඳ මා යමක් පැවසිය යුතුය. මෙම වල් නාශකය භාවිත කරන ලද්දේ ගොවිබිම්වල මෙන්ම අනෙකුත් ඉඩම්වල කලාඳුරු, ඉලුක්, ඇටවරා වැනි මර්දනය ඉතා අපහසු වල් පැළ මර්දනය සඳහායි. එයට අමතරව යල කන්නයේදී ගොඩ ඉඩම්වල වැවෙන අලි තණකොළ මර්දනය සඳහාද මෙය යොදා ගන්නා ලදි. මෙම වල් පැළෑටි සම්පූර්ණයෙන් මර්දනය ඉතා අපහසු වන්නේ සාමාන්‍ය වල්නාශකවලට මෙම වල් වර්ග විනාශ කළ නොහැකි නිසාය. සීසෑම මගින් ඒවා විනාශ කළ නොහැක්කේ මෙම වල් පැළවල ඇති රයිසෝම කොටස් ඉවත් නොවන නිසාය. ග්ලයිෆොසේට් යනු කලාඳුරු, ඇටවරා, ඉලුක් යන වල් වර්ග සාර්ථකව මර්දනය කළ හැකි වල්නාශකයකි. ඉරිඟු වගාවේදී වගාවට පෙර මෙම වල් වර්ග තුන මර්දනය නොකළහොත් අස්වැන්නේ කැපී පෙනෙන අඩුවීමක් සිදුවේ.

‘කලාඳුරුවලින් හානි වන බඩ ඉරිඟු වගාවක්’

මෑතක් වනතුරු, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාරි ජල පහසුකම් නොමැති කුඩා ඉඩම් හිමි දිළිඳු ගොවීන්ට බඩ ඉරිඟු වගාව මගින් මහත් වාසියක් අත්විණි. මෙම දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු වගා කරන උපරිම වපසරිය අක්කර 27,000ක් පමණ වූ අතර අස්වනු සහ ආදායම් ඉතා ඉහළ අගයක් ගන්නා ලදි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2013/2014 මහ කන්නයේ ඉරිඟු වගාව සදහා හෙක්ටයාරයට වියදම රුපියල් 45814 සිට 2015/2016 මහ කන්නයේදී හෙක්ටයාරයට රුපියල් 63062 දක්වා ඉහළ ගොස් ඇත. මෙයට ප්‍රධාන හේතුව වගාව ආරම්භයට පෙර කරන වල් මර්දනය සදහා නීති විරෝධී ග්ලයිෆොසේට් භාවිතය හෝ අධික කම්කරු ශ්‍රමය භාවිතයයි. මේ හේතූන් නිසා මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ බඩ ඉරිඟු වගා වපසරිය අක්කර 10,000ක් දක්වා පහත බැස ඇති අතර අස්වනු සහ ආදායම් අඩු වී ඇත්තේ ප්‍රධාන වශයෙන් ග්ලයිෆොසේට් වල්නාශකය නොමැති නිසාය. මේ නිසා බඩ ඉරිගුවලින් ස්වයංපෝෂිතව නිෂ්පාදන සිටි ශ්‍රී ලංකාවට, සිය කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍යව තිබූ බඩ ඉරිඟු පිටරටින් ආනයනය කිරීමට සිදුව ඇත.
ග්ලයිෆොසේට් නොමැති නිසා තෘණමය වල් මර්දනය සඳහා උදලු යොදා ගැනීමට සිදුවේ. දුප්පත් ගොවීන් හා ගෙවිලියන් ගිනි මද්දහනේ වෙහෙසවී වැඩ කරනු දැකීම ප්‍රිය දසුනක් නොවේ. තවද මෙලෙස පොළොව හෑරීම වර්ෂා කාලයේදී පාංශු ඛාදනයට මග පාදයි. පාංශු විද්‍යාඥයින් නිතරම පවසන්නේ අහිමි වන මතුපිට පස් අඟලක්, පාෂාණවලින් නැවත ජනනය වීම සඳහා වසර පන්දහසකට වඩා ගතවන බවයි. මේ නිසා වියළි කලාපයේ සහ තේ වගාවන්හි අනිසි භූමි භාවිතයට මග පෑදීම කිසිසේත් නොකළ යුතු ක්‍රියාවකි.
වර්තමානයේදී මෙන්ම අනාගතයේදීත් ශ්‍රී ලංකාවටද, වෙනත් ඕනෑම රටකට මෙන්, නව රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමට සිදුවනු ඇත. විෂ සහිත නොවන රසායනික ද්‍රව්‍යයක් නොමැති තරම් වේ. කළ යුතුව ඇත්තේ, මිනිසාට සහ සෙසු සතුන්ට සිදුවන හානි වළක්වා ගැනීම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කරමින් පළිබෝධනාශක භාවිතය නිවැරදිව සිදු කිරීම ය.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පානීය ජලය (නළ ජලය) මහජනතාවට නිකුත් කිරීමට පෙර එම ජලය රසායනික විශ්ලේෂණයන්ට ලක් කෙරේ. මේ සඳහා ඔවුන්ට රට පුරා විසිරුණු මනා පහසුකම් ඇති රසායනාගාර මෙන්ම රසායනික විශ්ලේෂකයින්ද සිටී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) පානීය ජලය සදහා ප්‍රමිතීන් 36ක් පනවා ඇත (පනවා ඇති ප්‍රමිතීන් 36 ඇති බවට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ විද්‍යාඥයන් සහතික කර ඇත.) මිනිසාගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන පානීය ජලයේ අඩංගු සංඝටක කිහිපයක් සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ඒවාට පනවා ඇති උපරිම අගයන් පහත දැක්වේ.

සංඝටකය මානව සෞඛ්‍ය/පාරසරික ගැටලුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන සීමාව

නයිට්රේට් මෙතොනොමොග්ලොබිනිමා නිල් දරු උපත් 45.0
පොස්පේට් සුපෝෂණය, විෂ ඇල්ගී 2.0
ආසනික් පිළිකා 0.01
කැඞ්මියම් අපේක්ෂිත වකුගඩු හානි 0.003
ඊයම් ස්නායු පද්ධතියට හානි වීම 0.05
රසදිය වකුගඩු හා මොලයට වන හානි 0.001
ක්‍රෝමියම් (ෂඞ්සංයුජ) පිළිකා 0.05

ජල සාම්පලයක නයිටේ්‍රට් සාන්ද්‍රණය 45ppm ඉක්මවුවහොත් (ජාතික ජලසම්පාදන හා ජල පවහන මණ්ඩලය) එම ජලය පානීය ජලය ලෙස නිකුත් කරනු නොලැබේ. එහෙත් එහිදී යූරියා පොහොර තහනම් කිරීමක් නොකෙරේ. එලෙසම ඊයම් හා රසදිය අඩංගු වන නිසා වියළි බැටරි කෝෂ හා විදුලි බල්බ තහනම් කිරීමක් නොකෙරේ. එම මූලධර්මයම ග්ලයිෆොසේට් සඳහාද යෙදිය යුතුය. පානීය ජලය, පස සහ ආහාර නිතිපතා රසායනිකව විශ්ලේෂණය කළ යුතුය. මනුෂ්‍ය ශරීරයේ අඩංගු විය හැකි ග්ලයිෆොසේට් උපරිමය (ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය හා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශ කර ඇත. එය ඉක්මවා යාමට ඉඩ නොතිබිය යුතුය). අපගේ රසායනාගාරවල ග්ලයිෆොසේට් මෙන්ම අනිකුත් කෘෂිරසායන ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය උපකරණ අනිවාර්යයෙන්ම තිබිය යුතු අතර විද්‍යාඥයින් හට මනා පුහුණුවක් ලබාදිය යුතුය. ඔවුන් විෂවිද්‍යාවේ නූතන ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳ දැනුවත් විය යුතුය.

සමාප්ති සටහන

ශ්‍රී ලංකාවේ වෛද්‍ය විශේෂඥවරු දෙදෙනෙක් පවසන පරිදි හේතුව හඳුනානොගත් වකුගඩු රෝගයට ග්ලයිෆොසේට් සම්බන්ධ බවට සාධක නොමැති වුවද පූර්ව ආරක්ෂක උපක්‍රමයක් ලෙස ග්ලයිෆොසේට් තහනම තවදුරටත් පැවතිය යුතුය. මෙය හුදෙක් මානව සෞඛ්‍ය කෝණයෙන් පමණක් බැලිය යුතු, මිනිය යුතු කරුණක් නොවේ. ග්ලයිෆොසේට් තහනම නිසා බෝග අස්වනු අඩුවීම, ගොවිපොළ ආදායම අඩුවීම, තේ අපනයන ආදායම අඩුවීම, බඩ ඉරිඟු ආනයනය කිරීමට සිදුවීම, පාංශු ඛාදනය වැඩිවීම හා අනාගත පරපුරට උරුම ඉතා වටිනා සම්පත් විනාශ වීම සිදුවේ. එම නිසා සමස්ත ආර්ථික සංවර්ධනය සැලකීමේදී කළයුත්තේ ග්ලයිෆොසේට් තහනම තවදුරටත් පවත්වාගෙන යාම නොව, එම තහනම ඉවත්කර එහි භාවිතයන් තරයේ නියාමනය කිරීමය.