පන්ති කාමරයට පරිගණක ආගමනය, ‘ළිංමැඬියාව’ මර්දනයට අත්වැලක්

නාලක ගුණවර්ධන

රජයේ පාසල්වල පන්ති කාමර භාවිතයට පරිගණක ලබා දිය යුතුද නැද්ද යන්න ගැන විවාදයක් පවතිනවා.

මේ ගැන 2018 මාර්තු 4 වනදා තීරු ලිපියෙන් අප කීවේ මෙයයිථ ‘ජනාධිපතිවරයා උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ්ලට් ලබා දීම නතර කළේ එයට වඩා වැදගත් අවශ්‍යතා තිබෙනවාය යන පදනම මත නම්, එය දැඩි ලෙස මහජන විවාදයට ලක් කළ යුතුයි. සමස්ත ශිෂ්‍ය පරපුරක් ජීවිත කාලයක් පුරා ළිං මැඩියන් සේ සීමා කළ හැකි තීරණයක් මෙසේ එක් පුද්ගලයකු හෝ ටික දෙනකු විසින් හිතුමතයට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට සුදුසු නැහැ.”

1970 දශකයේ ගණක යන්ත්‍ර හෙවත් කැල්කියුලේටර් වෙළෙඳපොළට ආ අලුත ඒවා මිල අධික වූ නිසා දරා ගත හැකි වූයේ අතමිට සරු මව්පියන්ගේ දරුවන්ට පමණයි. මේ නිසා කිසිදු සිසුවකුට අසාධාරණයක් වීම වළක්වන්නට සියලු පාසල් විභාගවලදී කැල්කියුලේටර් භාවිතය තහනම් කෙරුණා.
වසර 40කට වැඩි කාලයක් ගත වී, කැල්කියුලේටර් ඉතා සුලබ හා ලාබදායක උපාංගයක් වී ඇතත් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෙර කී තහනම තවමත් එලෙසම තිබෙනවා. කැල්කියුලේටර් භාවිතය හා පරිගණක භාවිතය ඍජුව සංසන්දනය කළ නොහැකි වුවත් මේ අවස්ථා දෙකේම එක සමාන තර්ක මතු වනවා.
සියලු ලක්වැසියන්ට යම් නව තාක්ෂණයක් හෝ නව සේවාවක් ලබා ගැනීමට හැකි වන තුරු කිසිදු ලක්වැසියකු එයින් ඵල ප්‍රයෝජන ලැබීම රජය විසින් වළක්වනවා නම් එය අතිශයින් අන්තවාදී හා කුහක පිළිවෙතක්.

මහජන මුදල් වැය කිරීමේදී එය සකසුරුවම් ලෙසත්, ඵලදායි ලෙසත් වැය කිරීම නම් හොඳයි. එහෙත් අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රයක මහජන මුදල් ආයෝජනයේදී ගෝලීය ප්‍රවණතාද සැලකිල්ලට ගනිමින්, දිගුකාලීන දැක්මක් සහිතව එසේ කිරීම ඉතා වැදගත්.

පරිගණක තාක්ෂණය විෂයයක් ලෙස පාසල්වලට හඳුන්වා දී කලක් ගත වී තිබෙනවා. මෙවර උත්සාහය හුදෙක් පරිගණක තාක්ෂණය ඉගැන්වීමට නොව ඉන් ඔබ්බට ගොස් සෙසු විෂයයන් ඉගෙනීමට මෙවලමක් ලෙස ටැබ්ලට් පරිගණක සෑම උසස් පෙළ සිසුවකුටම ලබා දීමයි.

මේ පිළිබඳව සංවාදයට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන්ම පරිගණක තාක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම හා ප්‍රායෝගික අත්දැකීම් ඇති අය සම්බන්ධ වීම අත්‍යවශ්‍යයි.

එයට දායක වීමක් ලෙස අධ්‍යාපනයට තොරතුරු තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවක්, පරිගණක පන්ති කාමරයට හඳුන්වා දුන් පුරෝගාමී නවෝත්පාදක ගුරුවරයෙක් හා අධ්‍යාපනයට පරිගණක මෘදුකාංග හා අන්තර්ගතය බිහි කරන තාක්ෂණවේදියෙක්ගෙන් මා මේ ගැන අදහස් විමසුවා. අද බෙදා ගන්නේ ඔවුන්ගේ අදහස්.

පර්යේෂිකාව ආචාර්ය සුජාතා ගමගේ. ලර්න්ර්ෂියා (LirneAsia.net) පර්යේෂණායතනයේ සේවය කරන ඇය, බොහෝ දෙස් විදෙස් අත්දැකීම් සතු අයෙක්. මෑත වසරවල උසස් අධ්‍යාපන ආයතනවල හා පාසල්වල තොරතුරු තාක්ෂණ සාධකය පිළිබඳව පර්යේෂණ හා විශ්ලේෂණ රැසක් සිදු කළ ඇගේ අදහස් මෙසේයි.

‘කොම්පියුටර් තාක්ෂණය තුළින් අධ්‍යාපනයේ ගුණාත්මක බව දියුණු කළ හැකිය යන බලාපොරොත්තුව ලෝකයේ හැමතැනම කලක සිට තියෙන බලාපොරොත්තුවක්. එහෙත් කොම්පියුටර් යොදාගැනීමෙන් දරුවන්ගේ ඉගෙනීමේ වෙනසක් වෙනවාද නැද්ද යන්න විද්‍යානුකූලව පෙන්වීම ලෙහෙසි නෑ.

‘හිතල බලන්න. නිශ්චිත ගණිත ප්‍රශ්න පත්‍රයක් අරමුණු කරගෙන ළමයෙකුට ටියුෂන් දුන්නොත් එම ටියුෂන් ලබා ගැනීම හා විභාග ප්‍රතිඵල අතර සම්බන්ධයක් පෙන්වන්න පුළුවන්. එහෙත් එම විභාග ප්‍රතිඵලම අරමුණු කරගෙන ළමයෙක්ට, ගණිත මුදුකාංග ඇතිව හෝ නැතිව ඇතිව, කොම්පියුටර් එකක් ලබා දීල ප්‍රතිඵල පෙන්වන්න බැහැ.

‘ප්‍රතිඵලයක් පෙන්වන්න නම් එම මෘදුකාංගය හෝ මෙවලම හා බලාපොරොත්තු වූ අරමුණු අතර ඍජු සම්බන්ධයක් තියෙන්න ඕනේ. ඊට අමතරව එම සම්බන්ධය ඇති බවට ගුරුවරුන් අතර විශ්වාසයක් ඇති වෙන්න ඕනෑ. මෙවලම භාවිතයට අවශ්‍ය පහසුකම් තියෙන්න ඕනෑ. බොහෝ විට අධ්‍යාපනයේ කොම්පියුටර් භාවිතය අසාර්ථක වෙන්නේ ඔය සංකීර්ණතාව තේරුම් නොගැනීම නිසයි.

‘ලංකාවේ පාසැල් අධ්‍යාපනයේ සාමාන්‍ය පෙළ පසුකරන සිසුනට ටැබ් ලබාදීමේ අදහස පසු බෑමකට ලක් වුණෙත් එම සංකීර්ණත්වය තේරුම් නොගෙන, ගසා කෑමේ යටි අරමුණු ඇතිව හෝ නැතිව, ටැබ් සැපයීම ගැන කලබල වුණා මිස ටැබ් ලබාදීමේ අරමුණ හා එම අරමුණ ඉටු වෙනවාද බලන්න ක්‍රියාත්මක වුණේ නැති නිසයි කියල මම හිතනවා. දැන් වුණත්, නිශ්චිත අරමුණක් ඇතිව ටැබ් දීම ක්‍රියාත්මක කළ යුතුයි කියල මම හිතන්නේ.

‘ඇත්තෙන්ම වත්මන් රජයේ 13 වසරක අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ උත්සාහයක් තියෙනව සාම්ප්‍රදායික නොවන විෂයයන් හඳුන්වා දී සාම්ප්‍රදායික නොවන ක්‍රම තුළින් ළමයෙකුගේ දක්ෂකම් මැනීමට. උදාහරණ ලෙස, ඩිජිටල් සාක්ෂරතාව වගේ විෂයක් හදුන්වා දුන්නොත්, ඒ විෂය මාලාව සම්පූර්ණයෙන් ටැබ් එක වටා ගොඩනඟන්න පුළුවන්.

‘ඊළඟට ලිඛිත විභාගයකින් මනින්න බැරි හා නිශ්චිත විෂයක් ලෙස උගන්වන්න බැරි තීර්යක් නිපුණතා – එනම් නිර්මාණශීලී බව, විචාර බුද්ධිය, සහයෝගයෙන් වැඩ කිරීම හා සන්නිවේදන වැනි නිපුණතා – ලබා දීමට හා ඇගයීමට හා ඒ සමගාමීව තොරතුරු තාක්ෂණ නිපුණතා ලබාදීමටත් ටැබ් එක භාවිතා කළ හැකියි.

‘ඇත්තෙන්ම එවැනි උත්සාහයක් සඳහා පළමුව නිර්මාණශීලී ලෙස සැලසුම් කරන ලද නියමු ව්‍යාපෘතියක් කළ යුතුයි. ඒ සඳහා අදහස් ලබාගැනීම ඉහළින් පහළට නොව අධ්‍යාපන කලාප මට්ටමේ සිට ඉහළට සිදු විය යුතුයි.’

විල්පත්තු ජාතික වනෝද්‍යානයට සමීපව පිහිටි, දුර බැහැර මහවිලච්චිය ගම්මානයේ උපන් නන්ද වන්නිනායක පසු කලෙක ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස පුහුණුව ලැබුවා. රජයේ පාසල්වල පන්ති කාමරයේ යම් නවෝත්පාදන කිරීමට මුලින් උත්සාහ කළ ඔහු පසුව රජයේ ගුරු සේවයෙන් ඉවත්ව 1998දී හොරයිසන් ලංකා පදනම නමින් (www.horizonlanka.org) ලාබ නොතකන අධ්‍යාපනික ආයතනයක් ඇරැඹුවා.

එයට ආධාර ලැබුණේ මෙරට හා විදෙස්ගතව සිටින ලාංකික දානපතීන්ගෙන්. එම පාසල හරහා ගැමි දරුවන්ට පරිගණක තාක්ෂණය හා ඉංග්‍රීසි ඉගැන්වීමට ඔහු ක්‍රියා කළා.

හොරයිසන් පදනම පෞද්ගලික මට්ටමින් :කිසිදු නිල රාජ්යී මැදිහත්වීමකින් තොරව*
කරන ඉගැන්වීම් නිසා ගැමි දරුවන් සිය ගණනකට ඉංග්‍රීසි හා තාක්ෂණ හැකියාවන් ලැබී තිබෙනවා. විවිධ ප්‍රතිරෝධයන් හා දුෂ්කරතා මැද වන්නිනායක මෙතෙක් කර ගෙන ආ වැඩ කොටස වෙනම ලිපියකින් විස්තර කළ යුතුයි.

මේ ඔහුගේ අදහස්.

‘මට මතක හැටියට 1980 ගණන්වල ජයවර්ධන ජනපතිවරයාගේ ධුර කාලයේදී කොළඹ ප්‍රධාන පාසල්වලට පරිගණක ලබාදෙනකොටත් බොහෝ දෙනෙක් ඔවැනිම තර්ක දැම්මා. හැබැයි එතුමා නම් කලබල වුණේ නැහැ. ටැබ් ගනුදෙනුවෙදි විශාල මුදල් වංචාවක් වෙනවා කියපු නිසා වෙන්නැති වත්මන් ජනපතිවරයා මේ හදිසි තීරණය ගත්තේ. මිලදී ගැනීම් පටිපාටිය හදාගන්නේ නැතුව මෙහෙම තීරණ ගන්න එකේ පාඩුව පෙනෙන්නේ අනාගතයේදී. එතකොට ප්‍රමාද වැඩියි.

‘මම 2000 වසරේදී ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ තිබුණ කුෂ්මන් පාසලට ගියේ ලැප්ටොප් පරිගණක මිල අධික එවැනි කාලයකත් ඒ පාසලේ සෑම දරුවකුටම ලැප්ටොප් එකක් අනිවාර්ය කර, ඒවා මිලදී ගත නොහැකි ළමයින්ට සුහසාධන වැඩපිළිවෙලක් හරහා ඒවා ලබා දී නවීන ක්‍රමවලට උගන්වනවා බැලීමටයි.

‘සවාරිය අවසන්ව මහවිලච්චියට පැමිණි පසු වහාම මම සැලසුම් කළා හොරයිසන් ලංකා ආයතනයේ දරුවන්ගේ සෑම පවුලකටම පාවිච්චි කළ පරිගණකයක් නිවසටම ලබා දෙන ව්‍යාපෘතියක්. මේක නම් කළේ Digital Butterflies නමිනුයි. ඉතා සරල වැඩසටහනක්.

‘සෑම පවුලකටම රුපියල් 5,000ක් බැංකු ගිණුමක ඉතුරු කරන්න අපි කියලා දුන්නා. දානපතියෙක් මාර්ගයෙන් තවත් රුපියල් 5,000ක පරිත්‍යාගයක් සෑම පවුලටම හොයලා දුන්නා. රුපියල් 10,000කට එකල පාවිච්චි කළ Pentium II පරිගණකයක් ගත හැකිව තිබුණා. මාස කිහිපයක හෝ වගකීමකුත් සහිතව.

‘විශ්වාස කරනවද, මුල්ම රුපියල් 5,000 ඉතුරු කරලා පරිගණකයක් ගත්තේ ඒ වන විට ගමේ හිටපු දුප්පත්ම සිසුවියක් කියලා? ඇය වේගයෙන් පරිගණක සහ ඉංග්‍රීසි ඉගෙන ගත්තා. උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වූ වහාම ඉතා හොඳ රැකියාවක් ඇයට ලබා දුන්නේ ඇයට පරිගණකය ලබා දීමට ඉතිරි රුපියල් 5,000 ලබා දුන් දානපතියාමයි.

‘මේ පාවිච්චි කළ පරිගණක නිතර කැඩෙන නිසා ගැහැණු පිරිමි භේදයකින් තොරව හැම ළමයෙක්ම දෘඩාංග විශේෂඥයෝ වුණා. තමන්ගේ පරිගණක විතරක් නෙවෙයි අනිත් අයගේ පරිගණකත් අලුත්වැඩියා කරන්න පටන් ගත්තා. අපි ගමට පරිගණක 400ක් විතර 2000-2010 කාලයේදී බෙදා දුන්නා.
‘එහෙම ඉගෙන ගත්ත ළමයි ලොකු වුණාට පස්සේ (පුළුල් වූ තම කුසලතා හරහා රැකියා සොයා ගෙන, ආදායම් උපදවා) දැන් ගෙවල්වලට නවීන නාන කාමරත් එකතු කරනවා. නිවස තුළ වැසිකිලියක්වත් නැති දුගී ගෙදරකට පරිගණක එපා යන බොල් තර්කය අපි අනුගමනය කළා නම්, වැසිකිලි හදන කල් පරිගණක ගන්න එක දැමුවා නම් නම් ඔය ළමයි තවමත් කැලෑ කොටනවා!”

මා ඊළඟට කතා කළේ නිරන්ජන් මීගම්මනට. මිනුම් ඉංජිනේරුවකු ලෙස මුලින් පුහුණුව ලත් ඔහු පසුව පරිගණක තාක්ෂණය හදාරා 1996 පටන් වෙබ් නිර්මාණය කරන වෙබ් මාස්ටර් කෙනෙකු වුණා. ඔහු පරිගණක හා වෙබ් තාක්ෂණයන් දේශීයකරණයට නන් අයුරින් නවෝත්පාදන කළ අයෙක්.

2000දී ඔහු ඇරැඹූ kaputa.com වෙබ් අඩවිය මුල් යුගයේ මෙරට සිංහල හා දෙමළ අකුරුවලින් අන්තර්ගතය ජනනය කිරීමට හා බෙදා ගැනීමට බොහෝ සෙයින් උපකාර වූවා.

අධ්‍යාපනය සඳහා පරිගණක හා වෙබ් තාක්ෂණය යොදා ගැනීම ගැන අත්හදාබලන හා අන්තර්ගතයන් බිහිකරන ශිල්ප සයුර පදනම ආරම්භ කළ නිරන්ජන් එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස ක්‍රියා කරනවා.

පෞද්ගලික අංශයේත්, රාජ්‍ය නොවන ක්ෂේත්‍රයේත් බොහෝ අත්දැකීම් ඇති ඔහුගේ විග්‍රහය මෙයයි.

‘උගැන්වීමට හා ඉගෙනීමට තාක්ෂණය යොදා ගත යුතුයි. ඒ ගැන විවාදයක් නැහැ. තාක්ෂණය නිසි ලෙස භාවිත කොට අධ්‍යාපනයට බරක් නොව ප්‍රියජනක වුත්, විනෝදජනක වුත් ක්‍රියාවක් බවට පත් කළ හැකියි. දැනුම සොයා යන්නට, කුසලතා තියුණු කර ගන්නට තොරතුරු තාක්ෂණය මාහැඟි අත්වැලක්.

‘පාසල් පෙළපොත් නිර්මාණය කොට, මුද්‍රණය කොට බෙදා හරින්නට රජය වාර්ෂිකව විශාල මහජන මුදලක් වැය කරනවා. මේ පොත් යළි යළිත් භාවිත කැරෙන බව ඇත්තයි. එහෙත් ඒවායේ අන්තර්ගතය නිතර අලුත් කිරීම දුෂ්කරයි. එහෙත් ඩිජිටල් මාධ්‍යයෙන් අධ්‍යාපන අන්තර්ගතය අඩු වියදමකින්, නිතිපතා යාවත්කාලීන කළ හැකියි. මුල් පිරිවැය පොත්වලට වඩා අධික වුවත් විiුත් ඉගෙනීමේ මෙවලම් හා අන්තර්ගතය ගුරුවරුන්ට මෙන්ම සිසුන්ටද බහුවිධ ප්‍රතිලාභ ගෙන දෙනවා.

‘ඩිජිටල් උපාංග යොදා ගෙන ඕනෑම විෂයක් ඉගෙනීමේදී රූප, වීඩියෝ, හැඩ, සජිවකරණ ආදිය හරහා සංකීර්ණ සංකල්ප වුවත් ග්‍රහණය කර ගැනීම වඩාත් පහසු වනවා.

‘උදාහරණයකට මෝටර් රථ අභ්‍යන්තර දහන එන්ජිම ගන්න. ද්විත්ව පහර හෝ සිවු පහර එන්ජිමක් ක්‍රියා කරන සැටි සජීවකරණ රූප හරහා මැනවින් පෙන්වා දිය හැකියි. සොබාදහමේ විවිධ සංසිද්ධි හා විචිත්‍රත්වය පන්තිකාමරයට ගෙන ආ හැකියි.

‘අධ්‍යාපනයට යොදා ගන්නා මෙවලම් කාලානුරූපව වෙනස් විය යුතුයි. දශක ගණනකට පෙර ගල්ලෑලි හා ගල්කූරු භාවිත කළා. පසුව අපි අභ්‍යාස පොත් හා පෑන් පැන්සල්වලට යොමු වුණා. මේ පරිණාමයේ ඊළඟ අදියර හැටියට අප ක්‍රමයෙන් පන්ති කාමරයට ඩිජිටල් මෙවලම් ගෙන ආ යුතුයි.

‘අපේ රටේ මෙය කළත් නොකළත් ඉන්දියාව ඇතුළු සෙසු ආසියානු රටවල් මේ මඟෙන් ඉදිරියටම යනවා. අපේ නායකයන් පමණක් විවිධ දේශපාලන තර්ක දේශපාලන තර්ක කරමින් මෙය ප්‍රමාද කළ විට අවාසිය අපේ දරුවන්ටමයි. පන්ති කාමරයට ටැබ්ලට් හඳුන්වා දීම කල් නොයවා සිදු කළ යුත්තක්.

‘නව ලොවට මුහුණ දීමට හැකි සෑම ආකාරයකින්ම අපේ දරුවන් සූදානම් කිරීම වැඩිහිටි අපගේ ලොකු වගකීමක්.’

දියවැඩියාවටත් වඩා විශාල ජාතික ව්‍යාධියක් වන ළිංමැඬියාවට (නැතහොත් පසුගාමී දූපත් මානසිකත්වයට) ඉඩ නොදෙමු. විචාරශීලීව, හරවත් ලෙසින් අධ්‍යාපනයට නවීන ඩිජිටල් මෙවලම් යොදා ගැනීමට අපේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට බල කර සිටිමු.