රාවය

පොහොට්ටු පක්ෂයේ ඉදිරි දේශපාලන උපාය මාර්ගය කුමක්ද?

පොහොට්ටු පක්ෂයේ ඉදිරි දේශපාලන උපාය මාර්ගය කුමක්ද?

එම්.ඩී. මහින්දපාල

වත්මන් යහපාලන ආණ්ඩුව, බහුතරයක් මහජනයා අතර මේවන විටත් දැඩි විවේවනයට හා දෝෂ දර්ශනයට ලක්වී ඇත්තේ පසුගිය කාලය තුළ ඔවුන් දුන් වැදගත් පොරොන්දු බොහොමයක් මේ වනවිට ඉටු කිරීමට නොහැකි වූ පසුබිමක් තුළයි. එසේම රාජපක්ෂවරුන් හා ඔවුන්ගේ අනුගාමිකයින් විසින් අටවන ලද අපමණවත් උගුල්වල මේ වනවිට ආණ්ඩුව කරවටක් ගිලී ඇති බැව් ද සක්සුදක් සේ පැහැදිලිය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මුලින්ම කළේ ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය’ නම් වූ කටු ඔටුන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පිරිනමා ඔහුව ඇන්දවීමයි. ඉන් නොනැවතුණු ඔවුහු රාජපක්ෂවාදී මැති ඇමතියන් රොත්තක් යහපාලන ආණ්ඩුව තුළට රිංගවීමට කටයුතු කළහ. ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වූයේ 2015 ජනවාරි 08 දා සම්මුතියට අකුල් හෙළීමත්, රටේ සංවර්ධන වැඩපිළිවෙළ අවුල් කිරීමත්ය. මෙම පිරිස විසින් අටවනු ලැබූ සියලු උගුල්වලට ලෙහෙසියෙන්ම හසුවූ මෛත්‍රී- රනිල් රජය එහි කූටප්‍රාප්තියට මුහුණ දුන්නේ පසුගිය අප්‍රේල් මස 04 දායි. ඒ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවත් සමගිනි. දැන් යහපාලන ආණ්ඩුව බරපතළ දේශපාලන මඩගොහොරුවක කරවටක් ගිලී සිටී. ඉන් ගොඩ ඒමට තවත් ඇත්තේ ඉතා කෙටි කාලයකි. කරුණු කාරණා සිදුවන ආකාරයට පෙනී යන්නේ එය කවර ආකාරයකින්වත් ඉටු නොවන බවකි. ආණ්ඩුවට ඉතිරිව ඇති මීළඟ වසර එකහමාර තුළ රාජපක්ෂවරුන් මෙකී යහපාලන රජය බෙලහීන කිරීමට තමන්ට කළහැකි සෑම උප්පරවැට්ටියක් ම කරනු ඇත. එහි එක් පියවරක් වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික මැති ඇමතිවරුන් තවදුරටත් එකී ධූරයන් හි තබාගෙන සිටීමට උත්සාහ කිරීමයි. විශ්වාසභංගය පරාජය වීමෙන් පසු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයෙකු වූ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ රනිල්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ 16 දෙනා සිය තනතුරුවලින් ඉල්ලා අස්නොවිය යුතු බවයි. ඔවුන් තවදුරටත් ආණ්ඩුව තුළ සිටිමින් රනිල් ට එරෙහි සටන දිගටම ගෙනගිය යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
රාජපක්ෂවරුන්ගේ ගැටයට මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුව හසුවී ඇති තරම ඔහුගේ එම ප්‍රකාශයෙන් මොනවට පැහැදිලි වේ. මෙකී සමස්ත සැලසුමේ මහමොළකරුවන් වන්නේ රාජපක්ෂවරුන් ප්‍රමුඛ පොහොට්ටු පක්ෂය බව මින් මොනවට පැහැදිලි වේ.
අවවර්ධිත මනසින් යුත් සිංහල බෞද්ධ ජනතාව කුපිත කිරීමේ අරමුණින් රට බෙදීම සඳහා පෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන එන බවත්, රට ජාතිය බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවත් නිතර දෙවේලේ ප්‍රකාශ කිරීම ද පොහොට්ටු පක්ෂයේ දේශපාලන උපාය මාර්ගික වැඩපිළිවෙලේ තවත් පියවරකි. මෙම බොරුව බොහෝවිට ප්‍රකාශයට පත්වන්නේ බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිත ස්ථානයන්හි වීම ද විශේෂත්වයකි. රාජපක්ෂ කල්ලියෙන් ප්‍රකාශයට පත්කෙරෙන කවර හෝ බේගලයක් රටපුරා ප්‍රචාරය කරහැරීම සඳහා වෙන්වූ රාජපක්ෂවාදී මාධ්‍ය ව්‍යාපාරයක්ද මෙරට ස්ථාපිත වී තිබීම රටේ අභාග්‍යයකි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යනු යුද්ධය ජයගත් නායකයායි. එබැවින් ඔහුගේ මුවින් පිටවෙන එකී වදන් පිළි නොගැනීමට හේතුවක් නොමැත. ඔහු සිංහල ජාතියේත් බෞද්ධාගමේත් ආරක්ෂකයායි. සතියට කිහිප වතාවක් මහනුවර දළදා වන්දනාවේ යන, නිතර මහා නායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා පිළිපදින එවැනි නායකයෙකු දිවි හිමියෙන් රැක ගැනීමට ඉදිරිපත් නොවන්නේ කවර සිංහලයාද? කවර නම් බෞද්ධයාද?
වසර 30කට ආසන්න කාලයක් පුරා පැවැති බිහිසුණු ජනවාර්ගික ගැටුම ජය ගැනීමට සමත් නායකයෙකුට ජීවිතාන්තය දක්වා බලයේ රැඳී සිටිය හැකි බැව් වරක් කියා සිටි මගේ මිත්‍රයෙකු පැවසූයේ යුද්ධය ජයගැනීම කිසිදා කළ නොහැක්කක් බවයි.
කෙසේ වෙතත් 2015 ජනවාරි 08 දා එකී ප්‍රාතිහාර්යය සිදුවිය. එය එසේ සිදුවේයැයි බොහෝ දෙනා නොසිතන්නට ද ඇත. එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පවා අපේක්ෂා නොකළ ප්‍රතිඵලයක් බවට පත්විය. එහෙත් ටික කලකින්ම අමිහිරි ඉරණමක් ඔහුට අත්වූයේ ජයග්‍රහණය ආරක්ෂා කරගැනීමට ඔහු අසමත්වීම නිසයි. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම පවසන්නේ එය සිදුවූයේ විදේශීය කුමන්ත්‍රණයක් නිසා බවයි. මේ සියල්ල ඔහුගේ කණ්ඩායම නිතර දෙවේලේ ප්‍රකාශ කරන, සිංහල බෞද්ධ සිත්සතන් ජාති ආලයෙන් හා දේශප්‍රේමයෙන් ඔදවඩවන ප්‍රකාශයන්ය. දැන් සියල්ල නැවතත් තමාගේ වාසියට හරවාගැනීමට රාජපක්ෂවරුන් සමත් වී ඇත.
මේ සියල්ලත්, යහපාලන රජයේ අසමත්භාවයේත් ප්‍රතිඵලය පසුගිය පෙබරවාරි 10 දා පැවැති පළාත්පාලන ඡන්ද ප්‍රතිඵල විසින් මනාව සනාථ කර ඇත. 2020දී ලැබෙන ජනාධිපතිවරණයෙන් හා ඉන්පසු පැවැත්වෙන මහ මැතිවරණයකින් රාජපක්ෂවරුන් පරාජය කිරීම මෛත්‍රී- රනිල් දෙපළටම කිසිසේත් කළ නොහැකි කටයුත්තක් බැව් දැන් සක්සුදක් සේ පැහැදිලි වේ. මෙම තත්ත්වය උද්ගතවීම අරබයා මෙම නායකයින් දෙපළ විසින්ද දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ බව පැහැදිලිය. ඔවුන් දෙදෙනා එකතුව රාජපක්ෂවරුනට බඩ පිණුම් ගැසීමට කදිම පිටියක් සකස් කර දුන් බව පැහැදිලි කරුණකි.
2020 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සාහ කරන්නේ මෙම උගුලෙන් ගැලවීමට සිතාගෙන විය හැකියි. එහෙත් එය එසේ සිදුවුවහොත් ඔහු කරන්නේ බෙහෙවින්ම අමනෝඥ ක්‍රියාවක් බව කිවයුතු නොවේ. මෙම ක්‍රියාව ඔහුටම පාරාවළල්ලක් වීමට ඉඩ ඇති බව ඔහුට නොවැටහීම අභාග්‍යයකි. අප රටේ නායකයෙකු මෙතරම් ශෝචනීය තත්ත්වයකට පත්වූ අවස්ථාවක් මතක ඇති ඉතිහාසය තුළ සිදුවී නොමැතිය යන්න අපගේ විශ්වාසයයි.
මහින්ද රාජපක්ෂ කල්ලියේ වර්තමාන දේශපාලන අපේක්ෂාව කුමක්ද? එය නම් වහාම බලය අල්ලා රජයක් පිහිටුවීම නොවේ. ඒ වෙනුවට යහපාලන රජය බෙලහීන තත්ත්වයකට පත් කොට ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයකින් බහුතර බලයක් ලබා ගැනීමයි. ඇතැම්විට එය 1977 දී ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය ලැබුවාටත් වඩා වැඩි බහුතර බලයක් විය හැකියි. එහි ප්‍රතිඵලය වන්නේ තමනට රිසි පරිදි නැවතත් ජනාධිපති විය හැකි අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරගැනීමට හැකිවීමයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී එහි සලකුණු ඉතා පැහැදිලි ලෙස දැකගැනීමට ලැබිණ. මෙකී තත්ත්වය අවබෝධ කොට ගැනීමට ඉහළ දේශපාලන බුද්ධියක් අවශ්‍ය නොවේ. එය ඒකාන්තයෙන්ම සිදුවන්නක් බවට අනාවැකි පළ කළ හැක්කේ වත්මන් එක්සත් ජාතික පක්ෂය තුළ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළද දෙවැනි පෙළ නායකයෙකු පිළිබඳව කිසිදු අදහසක් හෝ අපේක්ෂාවක් දැනට ඉතිරිව නොතිබීමයි.
එබැවින් මහින්ද රාජපක්ෂ ඉදිරියේ ඇත්තේ සියලු වැට කඩොලු ඉවත් කළ ඉතා පැහැදිලි ධාවන පථයකි. එහි කෙළවර ඇති ජයග්‍රාහී ඉලක්කය වෙත යාමට හැකි තනි අශ්වයා ඔහුයි. මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වන ඔහු තමාට පහසුවෙන් දක්කාගෙන යාහැකි සුවච කීකරු ගෝල බාලයින් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂකයින් ලෙස ඉදිරියට ගෙනෙනු ඇත. එවන් මැතිවරණයක දී ඔහු යටතේ ඉදිරිපත් වන පොල් ලෙල්ලකට පවා ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට යාමට කිසිසේත් අපහසු නොවේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මහරගම ආසනයේ ප්‍රතිඵල මේ බැව් තවදුරටත් තහවුරු කරයි.
මෙකී තත්ත්වය යටතේ ඉදිරි අනාගතයේ දී රට මුහුණපානු ඇත්තේ අතිශය බිහිසුණු අනතුරකට බැව් මෙරට ජනයා වටහා ගතයුතුව ඇත.
මෙරට සියලු ප්‍රගතිශීලී බලවේග, සිවිල් සංවිධාන හා ආගමික නායකයින් මෙකී බිහිසුණු තත්ත්වය ජනතාවට පැහැදිලි කරදී, සිදුවීමට යන අවාසනාවන්ත තත්ත්වයෙන් රට බේරාගැනීමට කටයුතු කළ යුතුය.