රාවය

රටක් බාරදුන් විට විපක්ෂයක් බාරගත් නායකයකුගේ ඛේදවාචකය

රටක් බාරදුන් විට විපක්ෂයක් බාරගත් නායකයකුගේ ඛේදවාචකය

කථිකාචාර්ය චින්තක රණසිංහ

මේ ආණ්ඩුව නිර්මාණය කළේ කවුද? කුමක් සඳහාද?

මේ තීරණාත්මක මොහොතේ අපි ඒ ගැන අවධානය යොමු කරමු. 48 සිට පැවති සෑම මැතිවරණයකදීම ජයග්‍රහණය සඳහා උර දෙන්නේ දේශපාලන පක්ෂ සහ ඒ වටා රොක් වූ පාක්ෂිකයන්ය. මේ පාක්ෂිකයන් අර්ධ තාවකාලික හා ස්ථිර යනාදී වශයෙන් බෙදා දැක්විය හැකි නමුත් ඔවුන් පොදුවේ පාක්ෂිකයන් නමින් සැලකිය හැකිය. එහෙත් මෛත්‍රීපාල බලයට රැගෙන ආවේ එබඳු පාක්ෂික පිරිසක් නොව ඉතා සුළුතරයක් වූ මෙරට ප්‍රබුද්ධ ජනතා කණ්ඩායම්ය. මේ ප්‍රබුද්ධ ජනතා කණ්ඩායම් මතවාදී හා සංවිධානාත්මකව බැලූවිට ඉතා පළල් හා සංකීර්ණ තලයක විහිදී තිබෙන අතර වාමාංශික මතවාද මෙන්ම පුළුල් ලිබරල් මතවාද ද විවිධාකාරයෙන් නියෝජනය කරන ඔවුන්ගෙත් බහුතරය පූර්ණ හෝ අර්ධකාලීනව සක්‍රිය දේශපාලන සංවාදයට දායක වන පිරිසකි. ඔවුන් මෛත්‍රීපාල බලයට රැගෙන ආවේ මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මානව නිදහස පිළිබඳ ඇතිකරගෙන තිබෙන චින්තන රාමුව නිර්මාණය කරමින් රටේ ඇතිවී තිබූ දූෂිත හා ඒකාධිපති නැඹුරුවත් ශ්‍රීලනිපය විශාල වශයෙන් මහජන ආයතන තුළ නීතිමය රාමු හා සදාචාර රාමු උල්ලංඝනය කිරීමත් වැළැක්වීම සඳහාය. දූෂණය නැති කිරීම හොරුන්ට දඬුවම් දීම, රාජ්‍ය ආයතනවලට සුදුස්සන් පත්කිරීම, පශ්චාත් යුධ කාලීන තත්ත්වයන්ට විසඳුම් දීම යනාදිය මෙම පළල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේම ප්‍රකාශන ලෙස සැලකිය හැකිය. සුළු ජාතීන්ගේ විශ්වාසය විශාල වශයෙන් ලබාගත්තේත්, ප්‍රබුද්ධ බලවේගයක් ලෙස මෛත්‍රීපාලට මතුවීමට ශක්තිය ලබාදෙන ලද්දේත් මෙම පළල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව පිළිබඳ තැබූ විශ්වාසය විය. එය මහින්ද රාජපක්ෂ පැරදවීමෙන් හා මෛත්‍රී බලයට රැගෙන ඒමෙන් ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්විය. ඒ මෙම බලවේගය හුදු එක් සංවිධානයක් හෝ දෙකක් නොව නිදහස් චින්තනයක් සහිත ප්‍රබුද්ධ ක්‍රියාකාරීන් රාශියක් නියෝජනය කළ පළල් බලවේගයක් වූ අතර ඔවුන් රාජපක්ෂ රෙජීමයට එරෙහි වූයේ පෞද්ගලික වාසි ලබාගැනීමට ඇති නොහැකියාව නිසා නොව ප්‍රජාතන්ත්‍රවාදයට හා මානව නිදහසට එල්ල කළ බලවත් අනතුර හේතුකොටගෙනය.

මෛත්‍රී මෙය වටහා ගත්තේද?

බලයට පැමිණි වහාම මෛත්‍රී මෙම බලවේගය පිළිබඳ කිසිදු තැකීමක් නොකළ අතර වහාම මල් වට්ටිය අතට ගත් සුපුරුදු දේශපාලනඥයා බවට පත්විය. ඉතිහාසයෙන් කවර නායකයකුටත් වඩා තමාට හිමිවූ ප්‍රබුද්ධයන්ගේ ඇල්ම හා බලාපොරොත්තු අලුයම කෙළ පිඩක් ලෙස ඉවත ලූ හෙතෙම වහාම තම සගයන් ලෙස එස්.බී. ජෝන් සෙනවිරත්න ප්‍රමුඛ සමාජය තුළ කිසිදු ප්‍රබුද්ධවාදී බලාපොරොත්තු නොතිබූ දේශපාලනඥයන් පිරිසක් තෝරාගත්තේය. ඉන්පසු රට තුළත්, තම ආණ්ඩුව තුළත් විශාල අර්බුදයක් ඇති කරමින් ශ්‍රීලනිපයේ නායකත්වය ලබාගත්තේය.
මේ වනවිට ශ්‍රීලනිපය යනු (දැනුදු එසේමය. කිසිදු වෙනසක් නැත.) හුදෙක් දේශපාලන පක්ෂයක් නොව මහින්ද රාජපක්ෂ නමැති සුවිශේෂ පෞරුෂයකින් යුක්ත අසහාය බලපෑම්කාරී ඉන්ද්‍රජාලික නායකයා විසින් නායකත්වය දෙන රටපුරා විශාල වශයෙන් මුල් ඇදගත් සුවිශේෂ බලවේගයකි. එයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හෝ නවතාවයක් නොව එම සුවිශේෂ අනන්‍යතාව රැකගැනීමයි. එහි හද ගැහෙන රාවය මහින්දය. මහින්ද නිර්මාණය කළ සියලු පසුගාමී තත්ත්වයන්ය. ඒවා මහින්දගේ සුවිශේෂ දේවල් නොව ලාංකීය ගැමි අවවර්ධිත අර්ධ – වැඩවසම් පසුගාමී දේවල්ය. ලංකාව තුළ ධනේශ්වර විප්ලවය ඇති නොවීමත් රුඩිකල් හා විධිමත් ප්‍රතිසංස්කරණ ඇති කළ හැකි ධනපති පන්තිය ප්‍රසාරණය නොවීමත් නිසා ඇති වූ අර්බුදයේ එක්තරා ප්‍රතිඵලයකි. එම තත්ත්වය තුළ මහින්ද යනු තවදුරටත් පුද්ගලයකුට වැඩි සමාජ බලවේගයක් බවට පත්ව තිබූ අතර එම බලවේගයට ප්‍රතිවිරුද්ධ බලවේගය ලෙස නිරවුල්ව හා ශක්තිමත්ව ඉදිරිපත් වී තිබුණේ අප ඉහතින් සඳහන් කළ විවිධ ලිබරල් හා වාමාංශික කණ්ඩායම් පමණි. තමාව බලයට පත් කළ එම කණ්ඩායම්වල පරම සතුරු බලවේගය මහින්ද නොව මහින්දගේ නායකත්වයෙන් මුළුමනින්ම හැසිරවෙන ශ්‍රීලනිපය බව වටහා නොගත් මෛත්‍රීපාල තමා මනසින් මවාගත් ශ්‍රීලනිපයක නායකත්වය ලබාගත් අතර ජනතාවගෙන් දුරස්ථ වූ ජනතා අප්‍රසාදයට ලක්වූ යනඑනමං නොමැති දේශපාලුවන් කීපදෙනකුගේ සහායද ඒ සඳහා යොදා ගත්තේය.

මෙය පාවාදීමක්ද? නැත.

යම් නායකයකු තමා වෙනුවෙන් ඉතාමත්ම අසීරු තත්ත්වයකට මුහුණ පා සටන් කළ මිනිසුන් අතහැර තමාට හා එම මිනිසුන්ට පරම සතුරු බලවේගයකට එක්වීම සාමාන්‍ය අරුතින් පාවාදීමකි. සරල නොව ඉතා භයානක ජුගුප්සිත පාවාදීමකි. එහෙත් මෛත්‍රීපාල එසේ කළේ එබඳු පාවාදීමක් තුළ නොවේ. එබඳු පාවාදීමක් කරන්නේ වාසි ලබාගැනීමටය. එහෙත් මෙම පාවාදීම එවැන්නක් නොව තමා අසීරු තත්ත්වයකට මුහුණ පාන බිහිසුණු අභියෝගාත්මක පියවරකි. එම නිසා මෙය පාවාදීමත් ලෙස නොගත යුතුය.
මේ වනාහි දිගුකාලීනව මෛත්‍රීපාලගේ මනසේ තිබූ ආශාවක් නොසංසිඳෙන අතෘප්තිකර ආශාවක් සංසිඳුවා ගැනීමකි. එය කුඩා දරුවකු ප්‍රභූවරයකුගේ වත්තක ඇති පළතුරු ගසක ගෙඩියක් කෑමට දක්වන ආශාවට සමාන අහිංසක ආශාවකි. ශ්‍රීලනිපය යනු ඔහු තරුණ වියේ සිට කටයුතු කළ ආයතනය වූ අතර එහි මහ ලේකම්කම දක්වා ඉතා දුෂ්කර ගමනක නිරත වීමට ඔහුව සිදුවිය. රාජපක්ෂලා ශ්‍රීලනිපයේ බලය නතු කර ගැනීමත් සමග මෛත්‍රීපාල විශේෂ පීඩනයකට මුහුණ දුණි. මෙහිදී අප අමතක නොකළ යුත්තේ ශ්‍රීලනිපය යනු රදලවාදය හා ප්‍රභූ තන්ත්‍රය පොදු ජනයාගේ පයුරුපාසානය යන දෙක මැනවින් මිශ්‍ර කරගත් දේශපාලන තලපයක් බවයි. රදල ප්‍රභූ යූඇන්පීය පොදු ජනයාට සැලකූ අයුරින් නොව තම දේශපාලනයේ කිහිලිකරුව ලෙස බණ්ඩාරනායක පොදුජනයා භාවිත කළේය. දේශපාලන උපායක් ලෙස හෝ ඔවුන්ගේ කරට අත දැම්මේය. එහි අවාසනාවන්ත ප්‍රතිඵලය වූයේ ලාංකික පොදු ජනයාගේ නියම සැලකිල්ල චීවරධාරී වෙඩි උණ්ඩයක වේශයෙන් බණ්ඩාරනායක වෙත ළඟා වීමයි. අත්දැකීමෙන් එම තත්ත්වය අවබෝධ කරගත් සිරිමාවෝ ශ්‍රීලනිපය තුළ ඇයටම අනන්‍ය ප්‍රභූ පෞරුෂයක් ගොඩනඟා ගත්තාය.
රාජපක්ෂලා මෙන්ම මෛත්‍රීලාද අභ්‍යන්තරව සමීප වූයේද බැට කෑවේද දිගුකාලීනව කටයුතු කළේද මෙම පෞරුෂය යටතේය. අවසානයේ රාජපක්ෂරු උපායශීලීව පක්ෂය තමාට නතු කළ අතර දක්ෂතාව, ඉවසීම හා අනුන් නොතළා කතා කරන ( මහින්ද රාජපක්ෂගේම වචනයෙන් කියහොත් ‘අපිට හිටිය හොඳම කථීකයා’) පොළොන්නරුවේ මෛත්‍රී, රාජපක්ෂවරු යටතේ පීඩනයට පත්වූයේය. ශ්‍රීලනිප නායකත්වය ලබාගැනීමට මෛත්‍රී පෙළඹ වූ ප්‍රධාන හේතුව මෙම මානසික පීඩනය බව පෙනේ. එය මිනිසකු ලෙස ඔහුගේ පැත්තෙන් සාධාරණ විය හැකිය. (අපේ ප්‍රබුද්ධ දේශපාලන ගුරුතුමා මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලියන ආකාරයට ‘රනිල් හා මෛත්‍රීපාලද මනුෂ්‍යයෝය.) එහෙත් එය මෛත්‍රී පාලන බලයට රැගෙන ආ බලවේගවලට කිසිදු සාධාරණයක් ඉටු නොකළ අතිශය වැරදි තීන්දුවකි.
ශ්‍රීලනිපය මෛත්‍රීට නිල වශයෙන් නතු වූයේ තරුණ ආශාධික පෙම්වතාගෙන් බලෙන් වෙන්කොට ධනවත් මහලු සැමියාගේ ඇඳට නැඟීමට බලෙන් අණ ලද තරුණියක මෙනි. ඇගේ මුළු හදවත මහින්ද වෙත තිබූ අතර ජනාධිපතිකමෙහි බලය නමැති ධනවත් බව තුළ පමණක් ඇයට මෛත්‍රී වෙත යෑමට බල කෙරුණි. මෙය අතිශය විකෘතිතර විවාහයක් වූ අතර එම විකෘතියට වන්දි ගෙවීමට සිදුවූයේ මෛත්‍රී පිළිබඳව ඉමහත් බලාපොරොත්තු දල්වාගෙන සිටි මෙරට ප්‍රබුද්ධ ජන කණ්ඩායම්වලටය.

මෛත්‍රී මෙවැනි වැරදි තීරණයකට ගියේ ඇයි?

මානසික ආශාවක් වශයෙන් පමණක් මෛත්‍රී ශ්‍රීලනිපයේ නායකත්වයට ලොල් වූවා නොව, සාම්ප්‍රදායික දේශපාලනඥයකුගේ භූමිකාව විසින්ද මෛත්‍රී දිගුකාලීනව විනාශ වී තිබුණි. එයින් අප අදහස් කරන්නේ විවෘත කිරීම්, ආසන සංවිධානය, මහජන හමු, ආගමික කටයුතු, මඟුල් මරණ, ජනප්‍රිය කතා යනාදිය තුළ දශක ගණනාවක් තිස්සේ කටයුතු කිරීම නිසා දේශපාලනය යනු මේවාය යන ඉතා පටු ආකල්පය ඇතිකර ගැනීමයි. මෙහි වඩාත් භයානකම තත්ත්වය වූයේ ඔහු තම ගැමිකම ගැන පාරට්ටු කිරීමත්, චාම්කම වැනි දේ වඩාත් ඉහළට දමමින් පසුගාමී ගැමි චින්තනය වෙනුවෙන් විවෘතම පෙනී සිටීමත් යන කාරණාය.
‘අපේ රටේ සදාචාරය ශ්‍රේෂ්ඨත්වය පවතින්නේ බුදුදහම නිසා’ යැයි ඔහු ප්‍රකාශ කරන විට ප්‍රායෝගික බුදුදහම කෙතරම් ලෞකික ශිෂ්ටාචාරයට සිදුකර ඇත්ද යන්න පිළිබඳ ඔහු තුළ ඇති නොදැනුම මැනවින් කියවේ. ආගමික දූෂික බව, ආගම ජාතික අසමගිය උදෙසා යොදාගැනීමේ ඛේදවාචකය පිළිබඳ වදනකුදු ඔහු නොදොඩයි. බෞද්ධ ජනයා මතු නොව හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි මිනිසුන් අතරද පවතින ආගමික අධි ඇල්ම රටක ලෞකික සංවර්ධනයට කෙතරම් අහිතකර, පසුගාහී ජීවිතයක් ලාංකිකයාට උරුම කර දී ඇත්දැයි යන්න ඔහුට සිහිනෙන්ද අවබෝධ කරගත නොහැකිය.

මෛත්‍රී යනු 56 දරුවෙකි

56 දරුවන්ගේ මූලික අර්බුදය වන්නේ ලෝකයේ අත්දැකීම් දෙස බලා එයින් පෝෂණය වීමට ඇති ආත්මීය නොහැකියාවයි. එය ජාතික හා ආගම ආත්මයටම කාවද්දයි. එහෙත් ඒවායේ අර්ථ ගැඹුරින් ආත්මීය ලෙස ධාරණය කරගැනීමටත්, ඒවා ඔස්සේ ලෝකය දෙස බැලීමටත් නොහැකි වන ආකාරයට ලබාදුන් අධ්‍යාපනයකි. 56 පෙරළියට මූලික පදනම සැපයූ අන්තවාදී පටුකම එයින් උපත ලැබූ දරුවන්ගේ ආත්මයට ගැඹුරින් ඇතුළු කරන ලද අතර එය මධ්‍ය මහා විද්‍යාල ඔස්සේද විශ්වවිiාල, විද්‍යා පීඨ යනාදිය ඔස්සේද දිගින් දිගටම සිදු කෙරෙමින් පැවතුණි.
විවිධ සංශෝධන ඇති කළත් මෙහි මුල්රූපය මුළුමනින්ම වෙනස් කළ හැකි පෞරුෂයක් හා වැඩපිළිවෙළක් සහිත නායකයෙක් එදාමෙදාතුර පහළ නොවීය. 71 කැරැල්ලට ප්‍රතිචාරයත් වශයෙන් ගෙනා ප්‍රේමදාස උඩගම මූලිකත්වයෙන් කළ ප්‍රතිසංස්කරණ මඟින් සිදුවූයේ අධ්‍යාපනය තුළ තිබූ වඩා සාරවත් කොටස් හිතුවක්කාරී හා අමනෝඥ ලෙස ඉවත් කර ඉතා සරල ශිල්පීන් තනන අධ්‍යාපනයක් නිර්මාණය කිරීමයි. 77න් පසු උද්ගත වූ පාදඩ කළු ආර්ථිකය තුළ අධ්‍යාපනය තවදුරටත් දරුණු අර්බුදයකට ලක් කළ අතර සමාජ ගරුත්වය, සදාචාරය මුළුමනින්ම විනාශ කරන්නා වූ ව්‍යාපාරික පෙළැන්තිවක් මතුවිය. වර්තමානය දක්වා ඔඩු දුවා ඇති මේ වසංගතය දේශපාලන වශයෙන් ජයගැනීමට කිසිදු නායකයෙක් සමත් වූයේ නැත.
මෛත්‍රී තමා ඉදිරියේ පවතින මෙම ඓතිහාසික අර්බුදය බුද්ධිමය වශයෙන් වටහා ගැනීමට දැක්වූ අසමත්කම විශාලය. 56 දරුවන් නිතර කියන ‘අපට විශිෂ්ට සංස්කෘතියක්, රටක්, ඉතිහාසයක් තිබුණි. බටහිර අනුකරණයන් අතින් පිරිහුණු ජාතියක් බවට පත්වුණා’ වැනි නිරර්ථක සුලබ කියුම් ඔහු නිතර පැවසූ අතර ඊටම සරිලන ශ්‍රීලනිප අනුගාමිකයන් පිරිසක් වට කරගත්තේය. ඇත්තෙන්ම මේ අනුව අප වටහාගත යුත්තේ මේ කිසිවක් මෛත්‍රීගේ වැරදි නොව ඔහු නිර්මාණය වූ ලෝකයට විවෘත නොවූ පටු අධ්‍යාපනයේ ප්‍රතිඵල බවයි. බි්‍රතාන්‍යයේ රැජින තමාගේ අත අල්ලා කතා කළා යැයි මෛත්‍රී ගෞරවයෙන් පැවසුවද බි්‍රතාන්‍යය ගොඩනැඟුවේ කෙසේද? බි්‍රතාන්‍ය ගොඩනැඟීමේදී සමාජ දේශපාලන ප්‍රශ්න වැනි දේ තීරණාත්මක දේවල් පිළිබඳ ඓතිහාසික අවබෝධයක් ලබාගැනීමට ඔහු උත්සාහ නොකළේය.
වෙනත් පාලකයන් සමග සංසන්දනාත්මකව බලන විට සාපේක්ෂව නිහතමානි මිනිසකු වන මෛත්‍රී දැනුම හා ඥානය වෙත දැක්වූ උනන්දුව හා කැපවීම ඉතා අඩුය. ශ්‍රීලනිපයේ හදවත මහින්ද අත තිබියඳ ඔහු ඒ වෙනුවෙන් අපතේ ගිය අතිවිශාල ශ්‍රමයක් වැය කළේ විසල් ජනවරමක් අභියස මඬේ සිටවූ ඉන්නක් බවට පත්වෙමිනි. අපි ඔහුට රටක් බාර දුන්නෙමු. ඔහු බාරගත්තේ පක්ෂයයි. මෛත්‍රීගේ මෙම පිළිවෙත පැරණි සංස්කෘත අලංකාරිකයකුගේ පහත කියමන සිහි කරන්නකි.
‘කවියක සමස්ත අර්ථය වටහාගැනීම වෙනුවට එහි පද එකින් එක ගෙන විග්‍රහ කරන්නා සමාන වන්නේ ස්ත්‍රියක් ඇඳුම් උනන විට ඒ ඇඳුම්වල අගය පිළිබඳ උනන්දු වන්නාටය.’
කාව්‍ය විචාරය සම්බන්ධයෙන් රචනා කැරුණක් නමුත් මෙය මෛත්‍රී වැනි දේශපාලනඥයකුගේ හැසිරීම විග්‍රහ කිරීමේදී යොදාගත හැකි අදහසකි. රටක් ලබාදුන් විට රට වෙනුවෙන් පක්ෂයක් බදාගැනීම සමාන කළ හැක්කේ ඇඳුම් උනන විට ඇඳුම්වල වටිනාකම පමණක් දුටු මිනිසාය.

අනගි අවස්ථාව මඟහැරීම

මෛත්‍රී ජනාධිපති වන මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය පිළිබඳ විශිෂ්ට අවකාශයක් හා විශ්වාසයක් තිබුණේය. එජාපය, ශ්‍රීලනිපය හා ජවිපෙය යන පක්ෂ තුන කෙරෙහිම කළකිරුණු අවංක පිරිස් එම පක්ෂ තුළමද බාහිරව ද සිටි අතර ඔවුන්ගේ අපේක්ෂාව වූයේ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමයි.
ප්‍රමාණාත්මකව ගණනය කළ හොත් එම පිරිස බහුතර මුග්ධ ඡන්ද දායකයන්ගෙන් ඉතා සුළු පිරිසක් වුවද ගුණාත්මකව රට තුළ විශාල වෙනසක් සඳහා දායකත්වය සපයන අවංක කැපවීමක් සහිත නිර්භීත පිරිසක් විය. දැනුම පමණක් නොව ජාත්‍යන්තර අවබෝධයකින් හා දේශීය වශයෙන් උද්ගත වී තිබෙන ප්‍රශ්නවල දිග, පළල දේශපාලනඥයන්ට වඩා වෙනස් ගැඹුරු ඥානන මාර්ගයක් තුළ අවබෝධ කරගැනීමට ඇති හැකියාව එම පිරිසේ විශේෂ අනන්‍යතාව විය. එමෙන්ම පෞද්ගලික අභිලාෂයෙන් තොරව පොදු යහපත උදෙසා පෙනී සිටීමටත්, ලාංකීය සමාජයේ අවවර්ධිත තත්ත්වයන් හඳුනාගනිමින් ඒවා නිර්භීත ලෙස වෙනස් කිරීමටත් එම පිරිසට තිබූ හැකියාව විශාලය.
එහෙත් ජනාධිපති ධුරය ලැබී සති ගණනාවක කෙටි කාලයකින් මෛත්‍රී සාම්ප්‍රදායික දේශපාලන නායකයා ලෙසට වෙස් බැඳීම ඇරඹූ අතර තමාට බලයට ඒමට මඟ පෑදූ මේ විරල මිනිස් කණ්ඩායම කවුරුන්ද යන්නවත් සොයා බැලීමට කිසිදු උනන්දුවක් දැක්වීමට අසමත් විය. ඔහු සොයා ගියේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතියේ ජරාජීර්ණ නෂ්ටාවශේෂ රැසකි. ආසනය පවා පැරදුනු පාරාජිකා වූ දේශපාලනඥයන් වෙත ඔහු සමීප වූයේ කිසිදු දේශපාලන හිරිකිතයකින් තොරවය. මෙබඳු සමීපතාවල සැබෑ දෘෂ්ඨිමය හරය වන්නේ කුමක්ද? තමා කොපමණ දූෂණයෙන් හා අගතියෙන් මිදෙන්නේ යැයි ප්‍රකාශ කළ ද ආත්මීය වශයෙන් එයින් මිදීමට අසමත් බවයි.

ශ්‍රී ලනිපයෙන් තොරව යා හැකිව තිබූ ගමන

මෛත්‍රීගේ ජනප්‍රිය දේශපාලන තර්කය ලෙස පෙනී යන්නේ එජාප – ශ්‍රීලනිප ආණ්ඩුවයි. එබඳු ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහාත් පාර්ලිමේන්තුවේ බහුතරය රඳවා ගැනීම සඳහාත් තමා ශ්‍රීලනිප නායකත්වය ගත යුතුය යන අදහසෙහි ඔහු තරව පිහිටි බව පෙනී යයි. එහෙත් එය එතරම් තාර්කික සත්‍යයක් නොව, නව දේශපාලන පියවරක් ගැනීමට දැක්වූ බියසුළු ගතානුගතික අදහසක ප්‍රතිරාවය පමණි. නව පක්ෂයක් හංසයා ලකුණින් ස්ථාපිත කිරීමටත්, යම් ආසන සංඛ්‍යාවක් දිනාගැනීමටත් ඔහුට විශාල හැකියාවක් නිර්මාණය වූ අතර එය ශ්‍රීලනිප නායකත්වය ගැනීමට වඩා අභියෝගාත්මක පියවරක් විය. එහෙත් තම පුරුදු දෙවොලේ දොර පියන් ඇර යාතිකා කිරීමට ඔහු නැඹුරු වූයේ නව පියවරක් ගැනීමට ඔහු තුළ වූ අතිශය බියගුළු බව නිසා බව පෙන්වා දිය හැකිය. දේශපාලන බියගුළු බව ලංකාවේ බොහෝ නායකයන්ගේ ආවේණික දුබලතාවකි. තමා පරාජයට පත්වේය යන බියට වඩා ඒ පසුපස ඇත්තේ තමා වෙනත් මඟක් ගතහොත් තම දේශපාලන සනුහරය වෙනත් ආකාරයකින් තමා දෙස බලාවිය යන සැකයයි. මෙය අතිශය පසුගාමී තත්ත්වයකි. මුළු රටේම පුරවැසියන්ගෙන් බහුතරය තුළද තම ජීවිතය සම්බන්ධයෙන් මෙබඳුම මානසිකත්වයක් පවතින නිසා නායකයන්ද එම පුරවැසියන්ගේ මට්ටමින් කටයුතු කරන බව නිරීක්ෂණය කළ හැකිය. (අපට සිටින්නේ ඉතාමත් ‘පුංචි නායකයන්’ යැයි වික්ටර් අයිවන් මහතා කියන අදහස මෙහිදී සිහිපත් වෙයි.) මෛත්‍රීද පොදු ජනයා නමැති සංකල්පය අතිශය පරම තැනින් අදහන නායකයකු බව පෙනේ. එම නිසා පොදු ජනයාට ඇති හුඹස් බිය ඔහු තුළද තීරණ ගැනීමේදී බලවත් වන අතර ඒ තුළ සිරකරුවකුගේ තත්ත්වයට පත්වීම හැරෙන්නට ඉදිරි ගමනක් නොපෙනේ.

නායකත්වයේ මූලික පදනම නිර්භීත තීරණ ගැනීමයි.

ඇමරිකා එක්සත් ජනපදය මහා බි්‍රතාන්‍ය, රුසියාව වැනි රටවල තීරණාත්මක දේශපාලන පෙරළිවලට පදනම සැපයූ නායකයන් පොදුජන රුචිය පරමය ලෙස නොසලකමින් නිර්භීත තීරණ ගැනීමට පෙළඹුණෝය. තම රට තුළ පවතින පසුගාමී තත්ත්වයන්ට එරෙහිව තමාම ප්‍රතිසංස්කරණය කරගැනීමට උත්සාහ දැරූ පාලකයන් පිළිබඳ ඉතිහාසය අපට උගන්වයි. රුසියාවේ මහා පීටර් මේ අතර ප්‍රමුඛයෙකි. ඔහු තම රටෙහි මිනිසුන් ගෝත්‍රිකත්වයෙන් ඔබ්බට නොයන නොදියුණු ප්‍රජාවක් සේ වාසය කරන ආකාරය නිරීක්ෂණය කර එයින් තම ප්‍රජාව මුදවා ගැනීමට නිර්භීත පියවර ගත් අයෙකි.
තමාම බටහිර රටවලට ගොස් වඩු කර්මාන්තය, ඉංජිනේරු ශිල්පය උගත් ඔහු රුසියානු ජනතාවගේ දිගු, කොණ්ඩා හා රැවුල් කපා ඔවුන් නවීන ලෝකයට උචිත ප්‍රජාවක් බවට පත්කිරීමට වෙර දැරීය. පසුකාලීනව රුසියාව අත්පත් කරගත් ජයග්‍රහණ සඳහා මෙම ප්‍රතිසංස්කරණ සැලකිය යුතු දායකත්වයක් සැපයූ බව විචාරක මතයයි.
තමා ජනාධිපතිධුරයට පත්වන විට බහුතර ලාංකීය ප්‍රජාවගේ තත්ත්වයද නොදියුණු තත්ත්වයක් බවත්, මහින්දගේ පාලන තන්ත්‍රය සඳහා දායකත්වය ලබා දුන්නේ එම නොදියුණු සාමූහික විඥානය බවත් මෛත්‍රී පළමු කොටම අවබෝධ කරගත යුතුව තිබූ අතර එය ඔහුගේ නව දේශපාලන ගමන සකසා ගැනීමේදී න්‍යාය පත්‍රය ලෙස ගැනීමට තිබූ මූලික පියවරකි. එහෙත් ඔහුට අවශ්‍ය වූයේ තමාට නතුවන ඔළු ගෙඩි ගණනයි. එම නතු කරගැනීම තුළ කුමන වර්ගයේ මිනිසුන් තමා අසලට පැමිණෙන්නේද යන්න ඔහුට අදාළ නොවීය.
මෙරට නිර්භීත ලිබරල් මිනිසුන් අතළොස්ස මෛත්‍රී නායකත්වයට ඔහු පත්කිරීමට අවශ්‍ය මාවත සැකසුවේ ඔහුගේ ශ්‍රීලනිප ලේකම් ධුරයවත්, ශ්‍රීලනිපය කෙරෙහි පැවති නැඹුරවත් අගය කරමින් නොව ලිබරල් දේශපාලන ගමනකට යම් විභවයක් ඔහු තුළ ඇතැයි යන විශ්වාසයෙනි. ඔහු ඒ සියලුම බලාපොරොත්තු බිඳ දැමූ අතර තමාද අසරණ වෙමින් තමා බලයට පත් කළ ප්‍රජාවද අසරණ කළේය. එය ඔහුගේ පෞද්ගලික දෝෂයක් නොව සෑම අතින්ම පසුගාමී 56 දරුවන්ගේ පොදු තත්ත්වයක් බව අවබෝධ කරගත යුතුයි.

සමාලෝචනය

මෛත්‍රී පිළිබඳ අප සාකච්ඡා කළ යුත්තේ වෙනත් දෙයක් සඳහා නොව 2020දී අප ඉදිරියේ පවතින නායකත්වය පිළිබඳ හොඳ සාකච්ඡාවක් නිර්මාණය කරගැනීමට පදනමක් වශයෙනි. අප ලිබරල් යැයි, සාධාරණ යැයි, නිර්භීත යැයි සිතන බොහෝ නායකයන් නායකත්වයට පැමිණි විට පසුගාමී, ගතානුගතික බියසුළු මිනිසුන් බවට පත්වන්නේ ඇයි? එය පසුපස තිබෙන සමාජ, සංස්කෘතික හා මනෝවිiාත්මක හේතු සාධක මොනවාද? යන්න අපගේ තියුණු විශ්ලේෂණයට ලක්විය යුතුය.
අපේත්, රටේත් අනාගතය පවතින්නේ එම සංවාදයේ පවතින විවෘත හා සාරවත්භාවය මත බව කිව යුතු වෙයි.