පුරවැසියන්ට වික්‍රමයක් කළ හැකිය

ගෞතම බුදුන්ගේ ඇවෑමෙන් ධර්ම සංගායනා පැවැත්වූයේ බුදු දහමේ ප්‍රතිෂ්ඨාපනය හා චිරස්ථිතිය උදෙසාය. ධර්ම සංගායනා මගින් පසු බුද්ධකාලීන සමාජයේ ඇතැම් ආකූල ව්‍යාකූල තත්ත්වයන් සමහන් කැරිණි. රටක දේශපාලනය මුළුමනින්ම පාහේ වල්වැදී ගිය විටෙක විෂයයික සංගායනාවක් කළ හැකිද? ලංකාවේ තිබෙන තත්ත්වය අනුව නම් එවැන්නක් ගැන සිතීමත් හාස්‍ය උපදවන්නකි. මන්ද සංගායනාව කිරිමට සිදුව තිබෙන්නේ ජනපති, අගමැති, රවි කරුණානායක, එස්.බී. දිසානායක වැනි අය සමගය.
මේ වනවිට රටේ ප්‍රගතිශීලීහු ආණ්ඩු පක්ෂ හා විපක්ෂ දුර්වර්ණ දේශපාලනයට එරෙහිව අරගල නොකර හුදු පුලන්නන් බවට පත්ව සිටිති. ඔවුහු මේ කාගෙනුත් යහපාලනය ඉල්ලා සිටිති. නොලැබෙන්නේද එයයි. දේශපාලකයෝ පුලන්නන්ට රුපියලකවත් යහපාලනය නොදෙන රුදුරු අධිපති භූමිකාවට ප්‍රවිෂ්ටව සිටිති. එසේ සිටින ගමන් ඔවුහු 2020 ගැනත් මතු බලාපොරොත්තු ජනතාව තුළ දැල්වීමට වෑයම් කරති. මෙය කෙතරම් ව්‍යාජයක්ද? හරි නම් ජනතාව මේ වනවිට කිසිවකුටවත් ඡන්දය නොදෙන ස්ථාවරයට පැමිණිය යුතුය. වත්මන් දේශපාලන ක්‍රමය වෙනස් කර ගැනීමට නොහැකි නම් ජනතාවට එක්ව කළහැකි වික්‍රමය එයයි.
ඉකුත් සති මැද දක්නට ලැබුණු එලොව විකාරෙන් පොළොව අතගාන වර්ගයේ ප්‍රකාශ දෙකක් මෙබඳුය. එක ප්‍රකාශයක් කළේ ශ්‍රීලනිප මහ ලේකම්ය. ඔහු මාධ්‍ය හමුවකදී කීවේ 2020 ජනාධිපති අපේක්ෂකයා අන් කිසිවකු නොව වත්මන් ජනපතිවරයා බවය. දෙමාසයකට පෙර පැවති පළාත් පාලන ඡන්දයේදී ලොකුම පරාජයක් අත් කරගත් නායකයකු ගැන ලැජ්ජාවක් බයක් තිබේ නම් එසේ කිව හැකිද? ජනපති මුළුමනින් සිය දේශපාලන වැඩසටහන් පමණක් නොව දේශපාලන අනාගතයද අනාගත් නායකයෙකි. එසේ වූයේ මුලසිටම ඔහුට රටෙහි හා ජනයාගේ පැවැත්මත්, අනාගතයත් පිළිබඳව දර්ශනයක් තබා සරල න්‍යාය පත්‍රයක්වත් නොතිබුණු නිසාය. සිය පක්ෂය පිළිබඳ නොමේරූ ඉලක්ක ඔහුට තිබුණි. ජනපති, ළමයි හා දුර නොදකින උපදේශකයන් සමග වැඩ කිරීමට ගොස් නායකයකු ලෙස තම වපසරියේ පටුබව රටට පෙන්නුවේය. ශ්‍රීලනිපයට 2020ට නායකයෙක් සොයාදීම ජනමාධ්‍යයේ වගකීමක් නොවේ. එහෙත් රටේ නායකයා බවට පත්වන පුද්ගලයාට මගපෙන්වීම ජනමාධ්‍යයේ වගකීමකි.
ඉහත සඳහන් කැරුණු දෙවැනි ප්‍රකාශය රවි කරුණානායකගේය. ඔහු ජනමාධ්‍ය හමුවකදී කීවේ යහපාලනයෙන් ජනතාවට කිසිම සෙතක් නොවුණු බවය. ඔහු යහපාලන ආණ්ඩුවේ ප්‍රථම මුදල් ඇමතිවරයාය. රවි පළමුව තමා දෙසටම හැරී ප්‍රශ්න කළයුත්තේ යහපාලනයෙන් මහජනයාට සෙතක් කිරීමට තමා ලබා දුන් දායකත්වය කවරේද යන්නය. ඔහු යහපාලනය වෙනුවෙන් කොටන් අදින නියම අලියකු වූයේ නම් චෝදනා හා අපකීර්තිමත් සිදුවීම් කිහිපයකට පසු ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ කුමටද? සිදුවූ කිසිවක් මතක නැති හා දන්නේ නැති පුද්ගලයෙක් අද අඹ මලෙන් උපන් කෙනෙකුගේ සේ මෙරමා දොස්ම දකින්නේ කෙසේද? ඇත්ත තත්ත්වය වන්නේ විශ්වාසභංගයෙන් වැට පැන්න 16 කල්ලියේ සාමාජිකයෝ සේ ම රවි කරුණානායක වැනි අයත් යහපාලනය අසාර්ථක ව්‍යාපෘතියක් කිරීමට වගකිවයුතු වන්නෝය.
ඇමතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට අවබෝධයක් නැතිවුණා සේ ම නායක දෙපළටත් යහපාලනය ගැන ගැඹුරු අවබෝධයක් නොතිබුණි. තිබුණා නම් ඔවුහු එකිනෙකාගේ රෙදි ගලවා ගන්නා පසුබිමක් නිර්මාණය කර නොගනිති. ඉතිරි වසර දෙක කණ වැල අල්ලාගෙන යන ලෙස අපට දැන් ඔවුන් දෙදෙනාගෙන් ඉල්ලීමක් කළ හැකිය. ඒ ඉහත දැක්වූ පුලන්නාගේ ඉල්ලීමය. ප්‍රශ්නය වන්නේ ඉන්පසුව කරන්නේ කුමක්ද යන්නය. ලංකාවේ නායකයන්ට තමා කරන කිසිම දෙයක් ගැන දුර දක්නා නුවණක් නැති බව ඔවුන් කරන සෑම ක්‍රියාවකදීම පෙනෙයි. දේශපාලනඥයන්ට සමාජ ප්‍රතිසංස්කරණ ගැන අල්ප දැනුමක් තිබෙන බව පෙනෙන තත්ත්වයක් තුළ ඇතැම් ප්‍රතිසංස්කරණ ගෙන එන හා සැලසුම් සකස් කරන ප්‍රමුඛාචාර්යවරුන් මේවායේ අවුල්සහගත තත්ත්වයන් දේශපාලනඥයන්ට වේලාසන පැහැදිලි කර දිය යුතුය. ඔවුන්ට අප දැන් කිරීමට යෝජනා කරන්නේ කොල්වින් වැනි ව්‍යවස්ථා විශාරදයකු පවා නොකළ දෙයකි. 72 ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සිරිමාවෝගේ පැත්තෙන් යෝජනා කැරෙන විට කොල්වින්ට එහි අනාගත ආදීනව පෙනී යා යුතුව තිබුණි. එහෙත් ඔහු එහිදී එම අදූරදර්ශී යෝජනාවට යට වූවා මිස අනතුර පෙන්වා නුදුන්නේය. වැදගත්ම දේ වන්නේ අප මෙතැන් සිට කරන්නේ කුමක්ද යන්නය. සම්මත විද්වතුන් දේශපාලන ව්‍යාපෘතිවලට යටවී පණ අදිනවා නම් බලපත්‍ර රහිත විකල්ප සිතන්නන් හා ස්වාධීනව කල්පනා කළ හැකි ජනයා මේ අතිශය දුර්වර්ණ ව්‍යාපෘතිය වෙනස් කළ හැකි ක්‍රමයක් ගැන කල්පනා කළ යුතුය. ඒ සඳහා යම් අභ්‍යාසයක නිරත විය යුතුය. මීළඟ ප්‍රධාන මැතිවරණවලදී කුඩු කෑ සකලවිධ දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කිරීම ජනයාට කළ හැකිය. දුර්වර්ණ දේශපාලනය හා දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරන්නන්ගේ ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩිවන විට ක්‍රමය හා පුද්ගලයා අර්බුදයට යෑම නිතැතින්ම සිදුවෙයි. යම් මොහොතක එම පිටුදැකීමේ අදහස තුළින්ම නව දේශපාලන සංස්කෘතියකට පදනමක් වැටෙනු ඇත. ජනයාට එවන් වික්‍රමයක් අත්හදා බැලිය හැකි කාලය දැන් එළැඹ තිබේ.