ගොවියාට 20% යි, අතරමැදියාට 80% යි ග්‍රාමීය දිළිඳුභාවය නොනැසීම

සරත් ප්‍රනාන්දු

ග්‍රාමීය ආර්ථිකයේ තිරසාර සංවර්ධනය යථාර්ථයක් බවට පත්වීමට නම් නිෂ්පාදන සඳහා පුළුල් වෙළෙඳපොළක අවශ්‍යතාව ප්‍රධාන සාධකයක් වේ. පුළුල් වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීම සඳහා දේශීය මෙන්ම අපනයන වෙළඳාමද පුළුල් කළ යුතුව ඇත. වෙළෙඳපොළ පුළුල් කර ගැනීම සඳහා පාරිභෝගිකයාට සාධාරණ මිලක් යටතේ භාණ්ඩ හා සේවා ලබා දිය යුතුව ඇත.
ශ්‍රී ලංකාවේ සෑම නිෂ්පාදනයක් සහ සේවාවක් සඳහාම නිෂ්පාදන පිරිවැය ඉහළ මට්ටමක පවතින අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ සහ සේවාවල මිල ඉහළ අගයක් ගනී. එසේම දේශීය නිෂ්පාදකයාට සහ සේවා සපයන්නන්ට නිෂ්පාදන පිරිවැය පිළිබඳ අවබෝධයක් නොමැති අතර එම කරුණ පිළිබඳ පවතින අවබෝධයද ඉතාමත් දුර්වල මට්ටමක පවතී. දේශීය ගොවීන්ගෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයකට තම වගාව සඳහා වැය වූ මුදල පිළිබඳ අවබෝධයක් නොමැති අතර වගාව සඳහා වැය වන මුදල පිළිබඳ සටහනක් හෝ තබා ගැනීමට අවශ්‍යනාවක් නොමැති තත්ත්වයක් පවතී. නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධක අතර යෙදවුම් පිරිවැය ඉහළ මට්ටමක පැවතීම, පෙර සහ පසු අස්වනු තාක්ෂණය භාවිත නොකිරිම මෙන්ම නිෂ්පාදන හැසිරවීමේ දී මෙන්ම ප්‍රවාහනයේදී සිදුවන ඉහළ නාස්තිය නිෂ්පාදන පිරිවැය ඉහළ මට්ටමක පැවතීමට ප්‍රබල ලෙස දායක වී ඇත.
ඉතාමත් සෝචනීය තත්ත්වය වනුයේ අස්වනු පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සහ අවශ්‍ය තාක්ෂණය ලබාදීම සඳහා පසු අස්වනු තාක්ෂණික අයතනය නමින් ආයතනයක් පවතින බව ගොවීන්ගෙන් 60% කට වැඩි ප්‍රමාණයක් නොදැන සිටීමයි. එසේම ඉහළ අගයක් ගන්නා පසු අස්වනු නාස්තිය අවම කර ගැනීම සඳහා ප්‍රායෝගික වැඩ පිළිවෙළක් හඳුන්වාදීමට අපොහොසත් වීමයි.
අපනයන වෙළෙඳපොළ වෙත දේශීය නිෂ්පාදන යොමු කිරීමේ දී ඉහළ මට්ටමක පවතින මිල ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත. අප කලාපයේ පවතින අනෙකුත් රටවල නිෂ්පාදන පිරිවැය, අප රටට සාපේක්ෂව පහළ අගයක් ගන්නා බැවින් අපනයන වෙළෙඳපොළට ඇතුල් වීම අසීරු කරුණක්වී ඇත.
වර්තමානයේ පවතින අසංවිධිත ප්‍රවාහන ක්‍රමය වෙනුවට සංවිධිත ප්‍රවාහන ක්‍රමයක් හඳුන්වා දීම තුළින් පමණක් දේශීය නිෂ්පාදකයාට සාධාරණ මිලක් සහ පාරිභෝගිකයාට ගෙවන මුදලට නියම අගයක් ලබාදීමට හැකිවේ.
ග්‍රාමීය අංශයේ තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා පවතින ගතානුගතික ක්‍රමවේදයන් කිසිදු ආකාරයක පිටිවහලක් ලබා නොදෙන අතර ඒ සඳහා නිර්මාණශීලී විසඳුම් හඳුන්වා දිය යුතුව ඇත.
භාණ්ඩ හා සේවාවල තත්ත්වය පිළිබඳ හොඳම කලාපීය උදාහරණය ලෙස ඉන්දියානු මෝටර් සයිකල් කර්මාන්තය හඳුන්වා දිය හැකිය. දැනට වසර 10කට පමණ පෙර ඉන්දීය සමාගම විසින් නිපදවන ලද මෝටර් සයිකල් සඳහා ලාංකීය වෙළෙඳපොළ තුළ පැවතියේ ඉතාමත් පහළ ඉල්ලුමකි. ඉන්දීය නවීන මෝටර් සයිකල් වෙනුවට ජපන් අලුත්වැඩියා කළ මෝටර් සයිකල් සඳහා පැවතියේ ඉහළ ඉල්ලුමකි. එහෙත් වර්තමානය වන විට ඉන්දීය කර්මාන්තකරුවන් නවීන තාක්ෂණය භාවිත කරමින් ජපන් මෝටර් සයිකල් මට්ටමට තම නිෂ්පාදනවල තත්ත්වය උසස් කිරීමට පියවර ගත් බැවින් වර්තමානයේ මෙරට මෝටර් සයිකල් වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම ඉන්දීය නිෂ්පාදන විසින් ග්‍රහණය කරගෙන ඇත.
භාණ්ඩ හා සේවාවන්වල තත්ත්වය උසස් කිරීමට අවශ්‍ය තාක්ෂණය සහ පුහුණු කිරීම සඳහා රාජ්‍ය අයතන රාශියක් ක්‍රියාත්මක වූවද පවතින යල් පැන ගිය ක්‍රමවේදයන් නිසා එම කාර්යය ඉටුනොවන මට්ටමකට පත්ව ඇත. නිර්මාණශීලී ක්‍රමවේදයන් සහිතව උසස් තත්ත්වයේ භාණ්ඩ සහ සේවාවන් නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණය සහ පුහුණුව ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය ඉතාමත් කඩිනමින් හඳුන්වාදීමට රාජ්‍ය අංශයේ අදාළ අංශයන් පියවර ගත යුතුව ඇත.
උසස් තත්ත්වයේ භාණ්ඩ සහ සේවා නොනිපදවන තාක් ග්‍රාමීය අංශයේ තිරසාර සංවර්ධනය යථාර්ථයක් බවට පත් කරගැනීමට නොහැකිවනු ඇත.

සංවර්ධනය සහ කළමනාකරණය

ශ්‍රී ලාංකීය ජන සමාජය නවීනත්වයට සහ නිර්මාණශීලී වෙනස්වීමකට දක්වන්නේ අකමැත්තකි. ලෝකයේ සහ කලාපයේ අනෙකුත් රටවල් නිර්මාණශීලී ලෙස තම ක්‍රමවේදයන් වෙනස්කර ගනිමින් දියුණුව කරා පා නගන අතර අප රටක් ලෙස සහ සමාජයක් ලෙස පසුගාමී මට්ටමක ගමන් කරමින් සිටියි. තිරසාර සංවර්ධනය කරා ළඟා වීමට නම් නවීන ලෝකයේ වෙනස් වීම් මනා ලෙස අධ්‍යයනය කරමින් වෙළෙඳපොළට අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සපයන රටක් ලෙස ඉදිරියට ගමන් කළ යුතුව ඇත. අප රටෙහි කළමනාකරණ ක්‍රමවේදයන් භාවිත කිරීමට මැලිකමක් දක්වන අතර යම් අයථා ක්‍රම භාවිතා කරමින් කෙටි කාලීන වාසි කරා ළඟා වීමට වෙර දරමින් සිටින සමාජයක් නිර්මාණය වී ඇත. කොපමණ සම්පත් අප සතු වූවත් මනා කළමනාකරණයකින් තොරව සාර්ථකත්වය කරා ළඟා වීමට ද නොහැකිය.
කළමනාකරණ ක්‍රමවේදයන් භාවිත නොකිරීමේ ප්‍රතිවිපාක පෙන්වා දීමට හොඳම උදාහරණය වන්නේ වර්තමානයේ එළවළු වෙළෙඳපොළ තුළ පවතින මිල ගණන් වේ. පහත රට එළවළු කිලෝවක අලෙවි මිල රු.60/- දක්වා මිල රු.20/- තරම් මට්ටමකට පහත බැස ඇත. වෙළෙඳපොළ තත්ත්වයන් පිළිබඳව අවබෝධයකින් තොරව වගා කිරීම තුළින් ගොවියන්ගේ ණය බර තව තවත් වැඩි වීමටහේතු වී ඇත.
පවතින අයහපත් කාළගුණ සහ දේශගුණික සාධක හේතුවෙන් උග්‍ර ජල හිගයකට මුහුණ දීමට සිදු වී ඇති අතර භාවිත කරන අයහපත් ක්‍රමවේදයන් නිසා විශාල ලෙස ජලය අපතේ යන තත්ත්වයක් දක්නට ඇත. ජල කළමනාකරණය අත්‍යවශ්‍ය සාධකයක්ව පැවතියද ඒ සඳහා නියමිත කාලයට පෙර විසඳුම් ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් වගා පාළු ලෙස විශාල මුදලක් ගොවියාට ලබා දීමට රජයට සිදු විය. එහෙත් සත්‍ය ලෙසම ජල කළමනාකරණ ක්‍රමවේදයන් හඳුන්වා දීමට වැයවන මුදල වගා පාළු වන්දි මුදලින් අඩකටත් වඩා අඩු මුදලක් වන බව අවබෝධ කර ගැනීමට රජය සහ පාලකයින් අපොහොසත් වී ඇත.

වෙළඳපොළ

ග්‍රාමීය ආර්ථිකයේ සංවර්ධනයට ප්‍රධානතම තර්ජනය එල්ල කරනු ලබන්නේ වෙළෙඳපොළ සාධකයයි. ශ්‍රී ලංකාවේ පවතිනුයේ අතරමැදියන් විශාල සංඛ්‍යාවක් විසින් පාලනය කරනු ලබන අසංවිධිත, අධික පිරිවැයක් සහිත වෙළෙඳපළ ක්‍රමයකි. අවම වශයෙන් අතරමැදියන් 8-10 අතර සංඛ්‍යාවක් දේශීය වෙළෙඳපොළෙහි ක්‍රියාත්මක වන අතර අලෙවි මිලෙන් 80% ක පමණ මුදලක් ඔවුන් විසින් රඳවාගන්නා අතර සත්‍ය ලෙසම ගොවියාට තම නිෂ්පාදය වෙනුවෙන් ලැබෙනුයේ 20% ක පමණ මුදලකි.
අතරමැදියන් විශාල සංඛ්‍යාවකගේ මැදිහත්වීම නිසා භාණ්යේ මිල ඉතා අධික ලෙස ඉහළ යන අතර පාරිභෝගිකයාට දැරිය නොහැකි මිලක් ගෙවීමට සිදුවීම නිසා වෙළෙඳපොළ සංකෝචනය වන තත්ත්වයක් දක්නට ඇත. සංකෝචනය වන වෙළෙඳපොළ හමුවේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වන අතරම පිරිවැයද ඉහළ යාමට බලපෑම් ඇති කරයි.
වෙළෙඳපොළෙහි පවතින ඉල්ලුම සහ සැපයුම පිළිබඳව අවබෝධයකින් තොරව කටයුතු කිරීම සහ පාරිභෝගික අවශ්‍යතාවන් හඳුනා නොගැනීමද වෙළෙඳපොළ සංකෝචනය වීම කෙරෙහි ප්‍රබල ලෙස බලපා ඇත. එසේම දේශීය සහ විදේශීය වෙළෙඳපොළෙහි පවතින කාලීන වෙනස්කම් හඳුනා ගැනීමට අපොහොසත් වීම සහ ක්‍රමවේදයක් නොතිබීම මගින් වෙළෙඳපොළ ප්‍රසාරණය කර ගැනීමට ඇති අවස්ථාව අහිමි කර ගෙන ඇත.
අතරමැදියන් විසින් තම ලාභය උපරිම කර ගැනීමේ අරමුණින් නියමිත තත්ත්වයෙන් තොර නිෂ්පාදන, වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම තුළින් එම භාණ්ඩ මිලදී ගැනීමට ඇති ආශාව පාරිභෝගිකයා වෙතින් ඈත් කරනු ලබයි. උදාහරණයක් ලෙස පළතුරු වෙළෙඳාම පෙන්වා දිය හැකිය.
දේශීයව වගා කරන පළතුරු නියමිත ලෙස පැසීමට පෙර නෙලාගන්නා අතර විවිධ රසායන ද්‍රව්‍ය භාවිතයෙන් ඒවා ඉදුණු බවට පත් කරයි. මෙම තත්ත්වය නිසා පළතුරෙහි පෙනුම, රසය සහ ගුණය ඉතාමත් පහළ මට්ටමකට වැටෙයි. මෙම තත්ත්වය හේතුවෙන් විශාල වෙළෙඳපොළක් අහිමිවීවීම සිදුවෙයි.
පාරිභෝගික අවශ්‍යතාවන් තේරුම් ගෙන ඔවුනට අවශ්‍ය නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයන් දක්නට නොමැති සේම ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ ඉටුවන බවක් ද දක්නට නොමැත.උදාහරණයක් ලෙස ජපානය විසින් විවිධ හැඩයේ කොමඩු වගාවට අවශ්‍ය පර්යේෂණ සිදු කර ඒවා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. ඒ මගින් පිරිවැය අවම කර ගැනීමටත් නව ඉල්ලුමක් ඇති කර ගැනීමටත් හැකි වී ඇත.
ග්‍රාමීය ආර්ථිකයේ තිරසාර සංවර්ධනයක් ඇති කර ගැනීමට නම් දැනට අතරමැදියන් ග්‍රහණයේ පවතින වෙළෙඳපොළ ඔවුන්ගෙන් නිදහස් කර සාධාරණ වෙළෙඳ ප්‍රතිපත්තිය මත පදනම් වූ වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට රජය මැදිහත් විය යුතුය. එසේම අපනයන වෙළඳපොළේ නව ප්‍රවනතාවන් හඳුනාගෙන, එම නිෂ්පාදන සඳහා අවශ්‍ය තාක්ෂණය ග්‍රාමීය අංශයේ කර්මාන්ත කරුවන්ට ලබා දීමටද අපනයන අදායම මත පදනම්ව විශේෂ සහන යටතේ මූල්‍ය පහසුකම් සපයා දීමටද පියවර ගත යුතුව ඇත. ගතානුගතික ක්‍රමවේදවල හිරවී නොසිට නිර්මාණශීලී ලෙස වෙළෙඳපොළ සංවර්ධනයට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කළ යුතුව ඇත. එසේ නොවේ නම් ග්‍රාමීය අංශයේ දිළිඳුභාවය තවත් දශක ගණනාවක් පැවතීම වැළැක්විය නොහැකි වනු ඇත.