රාවය

ද්විභාෂා අධයාපනය : හොඳම දේ ළමයින්ට දෙමු

ද්විභාෂා අධයාපනය :  හොඳම දේ ළමයින්ට දෙමු

ප්‍රියංවදා විජයසිංහ

අපේ රටේ රජයේ පාසල්වල 6 ශේණියේ සිසුන් සඳහා තෝරා ගත් විෂයන් කිහිපයක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම මුල් වරට ආරම්භ වූයේ 2002 වසරේ දී ය. එවිට මම ද 6 ශේණියේ සිසුවියක් වීමි. දිවයිනේ ප්‍රධානතම බාලිකාවක් වූ නමුදු මා ඉගෙනුම ලැබූ මහනුවර උසස් බාලිකාව එම වැඩසටහනට සම්බන්ධ වූයේ නැත. එහෙත් 2003 වර්ෂය වන විට අප පාසලේ 6 හා 7 ශේණි සඳහා ද්විභාෂා අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කිරීම ආරම්භ විය. ඒ වන විට 7වන ශේණියේ සිසුවියක වූ මාහට ද තවත් සිසුවියන් 40ක් සමඟ ද්විභාෂා අධ්‍යාපන වැඩසටහනට ඇතුල්වීමට අවස්ථාව හිමි විය.
අපේ ද්විභාෂා පන්තිය විවිධත්වයෙන් පිරුණකි. ශිෂ්‍යත්වධාරීන් ලෙස දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් පැමිණි සිසුවියෝ එහි වුහ. එසේ ම ඔවුහු විවිධ සමාජ මට්ටම්වලට අයත් සිසුවියෝය. සිංහල, දමිළ, මුස්ලිම් හා බර්ගර් සියලු ම ජාතීන්ට අයත් සිසුවියෝ පන්තියේ සිටියහ. ඒ නිසා ම අපට ලැබුණේ සුවිශේෂී අත්දැකීම් සමුදායකි. පටු බෙදීම් පසෙකලා මනුෂ්‍යත්වය අගයන්නට අපට කියා දුන්නේ ඒ ද්විභාෂා පන්තිය යි.
දිවයිනේ මුල් ම ද්විභාෂා ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකාවන් ලෙස අප ලත් අභියෝග සුළුපටු නොවේ. පළමු වර්ෂය තුළ අපට පෙළ පොත් පවා ලැබුණේ නැත. මෙය පාසලේ ගුරු මණ්ඩලයට ද නවමු අත්දැකීමක් විය. බොහෝ විට අපට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන් වූ විෂයන් සඳහා මඟ පෙන්වීම ලැබුණේ විෂය භාර ගුරුභවතුන් අතින් නො ව ඉංග්‍රීසි භාෂා ගුරුභවතුන් හෝ ආධුනික ගුරුභවතුන් අතිනි. ද්විභාෂා අධ්‍යාපන වැඩපිළිවෙල පිළිබඳ බොහෝ දෙනා දැරුවේ ද සුභවාදී ආකල්පයක් නොවේ.
අභියෝග හමුවේ නොසැලී ජය ගන්නට මා හට පන්නරය දුන්නේ මේ පන්තිය යි. 7වන ශේණියේ පළමු වාරයේ දී සමස්ත පන්තියෙන් ම ඉංග්‍රීසි විෂය සඳහා අඩු ම ලකුණු ලාභියා වූයේ ද මා ය. එය ද ලකුණු 82කි. නමුත් ඒ නිසා ම ලකුණු වැඩි කර ගන්නා මාර්ගයක් සොයා ගන්නට මම යොමු වීමි. ඒ අනුව පුස්තකාල පීරමින් පොත් සොයා ගියෙමි. නිවසේ දී මගේ පියා විසින් වැඩිහිටියන්ගේ පොත් ලෙස දක්වමින් කියවීම තහනම් කර තිබුණු පොත් හොරෙන් ගෙන කියවීමි.
මෙසේ ක්‍රමයෙන් ඉංග්‍රීසි පොත් පත් පරිශීලනයට ඇබ්බැහි වූයෙමි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මාහට 8වැනි ශේණියේ සිට ඉහළට විද්‍යාලයේ සියලු ම ත්‍යාග ප්‍රදානෝත්සවයන්හි දී ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් ත්‍යාගයක් මග හැරුණේ නැත. ත්‍යාග ලෙස ද සෑම විට ම ඉංග්‍රීසි බසින් පළ කෙරුණු විශිෂ්ට ගණයේ නවකතා සහ කෙටිකතා පොත් තෝරා දී තිබුණේ පන්ති බාර ගුරුභවතුන් විසිනි.
ඉංග්‍රීසියෙන් සියලු පාඩම් අවබෝධ කර ගන්නට තරම් අපට ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය එක වරම ලැබුණේ කෙසේ ද යන්න විස්මය ජනක ය. මා එසේ පවසන්නේ බොහෝ සිසුවියන් පැමිණියේ ඉංග්‍රීසි භාෂාව ව්‍යවහාර කරන පවුල් පසුබිම්වලින් නො වූ බැවිනි. එම සාර්ථකත්වයෙහි රහස ද්විභාෂා අධ්‍යාපන වැඩපිළිවෙලට ආවේනික ගුණයක් ම යැයි හඟිමි. අප හා ගුරු මණ්ඩලය පෙළැඹෙවූයේ ඒ ගුණය මිස අන් කිසිවක් නොවේ.
සත්‍ය ලෙසම අට වන ශේණිය පසු කරන විට පන්තියේ බොහෝ සිසුවියන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව බොහෝ ගුරුවරුන්ගේ භාෂා හැකියාව ද අභිබවමින් තිබුණි. පුස්තකාල හා අන්තර්ජාල පරිශීලනය හරහා බොහෝ නව්‍ය දේ සොයා යාමේ නිරන්තර පෙළැඹීමක් ද අප තුළ විය. එසේම අපි Sunday Times පුවත්පත සමඟ ලැබුණ Funday Times ළමා පුවත්පත සඳහා නිරන්තරයෙන් ලියන්නටත් එහි විවිධ තරග සඳහා ඉදිරිපත් වන්නටත් මහත් උනන්දුවක් දැක් වූ සිසුවියන් වූයෙමු.
වාර පරීක්ෂණවල දී සාමාන්‍ය ලකුණු 85 ඉක්ම වූ ශිෂ්‍යාවන් ඇගයීමේ වැඩසටහනක් අප පාසලේ තිබුණි. සෑම වාරයකදී ම සමස්ත ශේණියේ ම වැඩි ම ප්‍රශංසනීය වාර්තා හිමි වූ ශිෂ්‍යාවන් ප්‍රමාණයක් සිටියේ අප පන්තියේ ය. එපමණක් නො ව, සියලු ත්‍යාග ප්‍රදානෝත්සව සඳහා වැඩි ම ත්‍යාග ලාභීන් තැනූ පන්තිය ද අප පන්තිය විය. ඉංග්‍රීසි විෂය සඳහා පමණක් නො ව විද්‍යා-ගණිත විෂයන් සහ විශේෂයෙන් සිංහල-දෙමළ භාෂාවලට ද උපරිම දක්ෂතා වාර්තා කර තිබුණේ බොහෝ විට අප පන්තියේ සිසුවියන් වීම විශේෂයකි.
දිස්ත්‍රික්කයේ ඉහළ ම ස්ථාන සහිත ව අප පන්තියේ සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතය 100% විය. ටියුෂන් රැල්ල අවම වූ ඒ යුගයේ මෙම ප්‍රතිඵලය ටියුෂන් පන්තිවල නො ව, විද්‍යාලයේ ගුරු-සිසුන්ගේ ම අයිතියක් බව ද විශේෂයෙන් කිව යුතුය. එමෙන් ම ඒ පන්තියේ අති මහත් බහුතරය (අන්තිමයාත් ඇතුළුව) පළමු වර ම රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුවේ උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි විෂයට A සාමාන්‍ය පෙළ සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා ත්‍රිත්වය සඳහාම A සාමාර්ථ ලබා ගන්නට ද්විභාෂා පන්තියේ දී ලද අත්දැකීම් මාහට මනා පිටිවහලක් විය. එසේම ද්විභාෂා අධ්‍යාපනය හරහා මා ලත් බොහෝ දේ විශ්වවිද්‍යාලය තුළ දී ද අතිශය ප්‍රයෝජනවත් විය. ඉංග්‍රීසි බසින් පමණක් පැවැත්වුණු දේශන අවබෝධ කර ගැනීමත්, අමතර කරුණු රැස් කිරීමත්, එක භාෂාවකින් පමණක් උගත් සිසුන්ට සාපේක්ෂව මාහට ඉතා පහසු විය.
අනෙක් සිසුන් උපාධි පාඨමාලාවේ පාඩම් කටයුතු වෙනුවෙන් නිදිවරද්දී මාහට එවන් අවශ්‍යතාවක් ඇති වූයේ නැත. වෘත්තීය පාඨමාලාවක් හදාරන අතරම පන්ති සාමාර්ථ සහිතව ප්‍රථම උපාධි පාඨමාලාව පහසුවෙන් සම්පූර්ණ කරන්නටත් ඉන් අනතුරුව විශ්වවිද්‍යාලයීය අධ්‍යයන කාර්යය මණ්ඩලයේ තාවකාලික තනතුරක් දරන්නටත් මා සමත් වූයේ ද්විභාෂා පන්තියේ දී ලත් අඩිතාලම මතිනි. විශ්ව විද්‍යාලයේ සේවය කළ කාල වකවානුව තුළ සිසුන්ගේ පර්යේෂණ නිබන්ධනවල ඉංග්‍රීසි ව්‍යාකරණ නිවැරදි කර දෙන්නට මහාචාර්යවරුන්හට සහාය වන්නටත් මාහට හැකි විය.
මම සිංහල මාධ්‍ය භෞතික විද්‍යා ගුරුවරියක ලෙස පත්වීම් ලැබූ අයෙක් වෙමි. එහෙත් ගුරු සේවයට තෝරා ගැනීම සඳහා පැවැත්වූ ඉංග්‍රීසි මාධ්‍ය තරග විභාගයේ දී පළාතේ ඉහළ ම ලකුණු ලාභියා වූයේ ද මා ය. මේ සා අත්දැකීම් මතු පරපුරට වඩාත් හොඳින් පවරා දෙනු වස් මම සේවය කරන පාසලේ ද ද්විභාෂා අධ්‍යාපන වැඩපිළිවෙල ආරම්භ කර පවත්වා ගෙන යමින් සිටිමි. එදා මගේ ද්විභාෂා පන්තියේ සිටි මිතුරියන් මෙම පාසලේ දරුවන් වෙනුවෙන් පොත් පත් පවා පරිත්‍යාග කරමින් උපකාර කරන්නේ ද්විභාෂා අධ්‍යාපනයේ අගය ප්‍රත්‍යක්ෂ වශයෙන් ම දන්නා නිසාය.
අප වසර 15කට පමණ ඉහත දී ලද අත්දැකීම් අද වන විටත් රටේ බොහෝ සිසුන්ට අහිමි වී තිබීම අතිශයින් කනගාටුදායක ය. අධ්‍යාපනයේ මහඟු ඵල නෙළා ගැනීමට නම් ඒ අවස්ථාව, දිවයිනේ සමස්ත ශිෂ්‍ය පරපුරට ම හිමි විය යුතු ය යන්න මාගේ ඒකායන විශ්වාසය යි. එය ලොකු සිහිනයකි. සැබෑ කර ගත හැකි ලොකු සිහිනයකි. ඒ සඳහා ද්විභාෂා අධ්‍යාපනය ලැබූවන්ගේ අත්දැකීම් මහඟු පිටිවහලක් වනු ඇතැයි මම උදක් ම විශ්වාස කරමි.
ද්විභාෂා අධ්‍යාපනය යනු 1943 කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලින් එකකි. නිදහසින් පසු එම වැඩපිළිවෙළට පිටුපෑවේ නැති නම් අද වන විට අපේ සමාජයත්, රටත් කෙබඳු තත්ත්වයකට පත් වෙන්නට ඉඩ තිබුණි ද? නිදහස ලබන අවස්ථාව වන විට අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථිකය ආදී සෑම අංශයකින් ම අපේ රට දෙවැනි වූයේ ආසියාවේ රටවල් අතරින් ජපානයට පමණක් බව අමතක නොකරමු. එමනිසා දැන් වත් අප්‍රමාදව ‘හොඳම දේ ළමයින්ට’ දෙමු.