රාවය

අවසර නැති හෝම් ලෑන්ඞ්ස් ගේ ”ක්‍රිශ්මා”

අවසර නැති හෝම් ලෑන්ඞ්ස් ගේ ”ක්‍රිශ්මා”

රසික ගුණවර්ධන

සංවර්ධන ව්‍යාපෘතීන් රටට අවශ්‍යය. සංවර්ධනයක් නැතිව අපට අනාගතය වෙතට පිය මැනිය නොහැකිය. එහෙත් ඒ සංවර්ධන ව්‍යාපෘති කෙතරම් වැදගත් වුවද ඒ මගින් ජනතාවගේ ජීවිත අනතුරේ හෙළීම නොකළ යුතුය. මක්නිසාද යත් සංවර්ධනය යනු මිනිසාගේ ජීවිත වැඩි දියුණු කීරීමට විනා විනාශ කිරීමට මගක් නොවිය යුතු නිසාය. එහෙත් ඇතුල්කෝට්ටේ මොරිසම් රාජපක්ෂ මාවතට හා ජයන්ති මාවතට යාබදව හෝම් ලෑන්ඞ්ස් ආයතනය විසින් ඉදිකරන ‘ක්‍රිශ්මා’ නිවාස යෝජනා ක්‍රමය උක්ත නියමයන් උල්ලංඝණය කරන, ජන ජීවිත අනතුරේ හෙළන අදූර දර්ශී සංවර්ධන ව්‍යාපෘතියකි.
අවට පිහිටා ඇති ජල සංචිත (ඇළ මාර්ග, ගංගා හා දියවන්නාව) නිසාම මෙම භූමිය පෙර පැවතිව ඇත්තේ වගුරු භූමියක් ලෙසටය. ඒ නිසාම මෙම භූමිය පෙර අයිතිකරු විසින් සංවර්ධන ව්‍යාපෘති සඳහා විකුණන්නට උත්සාහ කර ඇතත් සාර්ථක වී නැත. එයට ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ විරෝධය ද ඉවහල් වී ඇත. ප්‍රදේශයේ පැරැන්නන් පවසන පරිදි මේ භූමිය ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ කිසිදු ඉදිකිරීමක් නොකරන ලෙස නියෝග කර තිබූ ඉඩමකි. කෙසේ වෙතත් ඉඩම පසුකාලීනව එනම්, වර්ෂ 2016 දී “හෝම් ලෑන්ඞ්ස්” ආයතනයට විකුණනු ලබයි. ඒ හරහා මේ කියන යෝජිත ‘ක්‍රිශ්මා’ ව්‍යාපෘතිය මේ භූමිය තුළ ඉදි කිරීමට කටයුතු සිදු විය. මේ වන විට ඉදිකිරීම් සඳහා ඉඩමට පස් පුරවමින් පවතී.

අවධානම

වගුරු භූමියක් යනු ”ස්පොන්ච්” කැබැල්ලක් වැනිය. එයට ජල උරාගැනීම සිදු කළ හැකිය. මේ කියන ඉඩමට පස් පිරවීම ආරම්භ කළ අවස්ථාවේදීම ඊට පිටුපස ඇති ගොඩනැගිල්ල පිහිටි භූමිය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගොස් ඇත. මක්නිසාද යත් භූමියට පස් පුරවන විට භූමියේ ඇති ජලය යාමට වෙනත් ස්ථානයක් නොමැති නිසා භූමියේ දුර්වල ස්ථානයකින් පිටතට පැමිණ ඇත. අදාළ ජලයෙන් යටවූ භූමියේ ඇත්තේ පැරණි ගොඩනැගිල්ලකි. මෙසේ ජලයෙන් යටවීම නිසා ඒ නිවස ඇතුලුව අවට නිවාසවල ජනතාවගේ ජීවිතවලට එල්ල වන්නේ තර්ජනයකි. එසේම තද වැසි දිනවලදී ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී යයි. ඒ ජල ප්‍රමාණය අඩි හතරක් තරම්ය. පෙර සිදු වූයේ එම ජලය සම්පූර්ණයෙන්ම අදාළ වගුරු භූමිය වෙතට උරා ගැනීමයි. එහෙත් වර්තමානයේ ජලය උරාගත් ඒ වගුරු භූමිය ගොඩ කිරීම නිසා විශාල වර්ෂාවක් ඇති වුවහොත් ප්‍රදේශය දින ගණනාවක් ජලයෙන් යටවීමට පුලුවන. එපමණක් නොව ජීවිතවලට විශාල තර්ජනයක් එල්ල වීමට ද පුලුවන. මක් නිසාද යත් මේ කියන භූමියේ පිහිටීම ද තරමක් පහතට වන්නට පිහිටි භූමියක් වන නිසාය. එනම් මෙම භූමිය දියවන්නා වැව් කණ්ඩියට පහළින් පිහිටා ඇති භූමියක් බැවින්, ස්භාවිකවම ජලය ගලා යන පහත් භූමියකි.

ඓතිහාසිකව

මේ කියන ඇතුල් කෝට්ටේ ප්‍රදේශය යනු අතීත කෝට්ටේ රාජධානියේ ඉදිරිපස පිවිසුමයි. ඒ නිසා මේ ප්‍රදේශයෙන් හමුවන ඓතිහාසික වටිනාකමකින් යුතු ස්මාරක හා ඉදිකිරීම් බොහෝය. මේ කියන යෝජිත “ක්‍රිශ්මා” ව්‍යාපෘතියට සම්බන්ධ ඉඩමේ ද ඓතිහාසික වටිනාකමකින් යුක්ත වේ යැයි කිව හැකි ගල් බැම්මක් හමුවී ඇත. එහෙත් වර්තමානයේ ඒ ගල් බැම්මට අත්ව ඇති ඉරණම කොන්ක්‍රිට්වලට බිලි වීමය. මේ ගඩොල් බැම්ම මතු වූ විට ප්‍රදේශවාසීන් පොලීසිය ද දැනුවත් කර ප්‍රදේශයේ පුරාවිද්‍යා කාර්යාලයද දැනුවත් කර ඇත. එවිට පොලීසිය හා පුරාවිද්‍යා නිළධාරියකු පැමිණ ඉදිකිරීම් නවතා දමා ඇති අතර නැවත සවස පෙර කියන (පැමිණි) පුරාවිද්‍යා නිළධාරියා හා හෝම් ලෑන්ඞ්ස් ආයතනයේ නිළධාරීන් සාකච්ඡා කර නැවතත් ගඩොල් බැම්ම යට කරමින් ඉදිකිරීම් සිදුකර ඇත.

නිර්දේශ නෑ

රටේ කුමන වර්ගයක හෝ සංවර්ධන ව්‍යාපෘතියක් සිදුවන්නේ නම් ඒ සඳහා අවසර ලබාගත යුතුය. එහෙත් මේ “හෝම්ස් ලෑන්ඞ්” ව්‍යාපෘතියට එවැනි අවසරයන් නොවුමනා ගානය. මක්නිසාද යත් මේ යෝජිත “ක්‍රිශ්මා” නිවාස යෝජනා ක්‍රමයට මේවන තෙක් කිසිදු ‘අවසර පත්‍රයක්’ ලබාදී නැත. මොවුන් අවසර පත්‍රයක් ලෙස කියාසිටින නාගරික සංවර්ධන අධිකාරියෙන් නිකුත්කර ඇති ලිපිගොනුව අවසර පත්‍රයක් නොව කොන්දේසි ලිපියකි. එහි “ක්‍රිෂ්මා” ව්‍යාපෘතිය ඉදිකරන ලෙස කිසිදු අවසරයක් නැත. එම අධිකාරියේ ලිපියෙන් සිදු කරන්නේ ඉදිකරන්නේ නම් ඒ කෙසේදැයි උපදෙස් හා කොන්දේසි දැක්වීමයි. එසේම ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන්ද ඉදිරිපත් කරන්නේ කොන්දේසි පත්‍රිකාවක් විනා අවසර පත්‍රයක් නොවේ. එනම් මේ පස් පුරවන ඉඩම ගොඩ කිරීමට අවසර පත්‍රයක් නැත.
එසේම නාගරික සංවර්ධන අධිකාරියේ කොන්දේසි ලිපියේ අංක හය යටතේ සඳහන් වන්නේ අදාළ සංවර්ධනය හේතුවෙන් ප්‍රදේශයේ වාහන ගමනාගමනයට හා අවට භාවිතයන්ට කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවිය යුතුය, යන්නයි. එහෙත් එය ප්‍රායෝගිකව කෙතරම් දුරට ඉටුවන කාරණාවක්ද යන්න විමසා බැලිය යුතුය. ඉඩමට පිවිසීමට ඇති මොරිසන් රාජපක්ෂ මාවත සහ ජයන්ති මාවත යනු ඉතා පටු මාර්ග දෙකකි. එහි වාහන දෙකක් එකවර හුවමාරු වීම දුෂ්කරය. මේ යෝජිත ව්‍යාපෘතියේ යෝජිත නිවාස ප්‍රමාණය හැටක් පමණ වේ. ඒ අනුව නිවාස හැටක වාහන මේ මාර්ග දෙකේ තද බදයකින් තොරව හුවමාරු වන්නේ නම් එය ආශ්චර්යයකි. මෙසේ ඇති වන්නා වූ තදබද ඝෘජුවම බලපාන්නේ මේ මාර්ග දෙකම සම්බන්ධ වන පාර්ලිමේන්තු මාර්ගයට ය.
එසේම නාගරික සංවර්ධන අධිකාරිය මුලින් සඳහන් කරන කාණු පද්ධතිය, තට්ටු ප්‍රමාණය වැඩි කරගැනීමෙන් අනතුරුව කුඩා වන්නේ කුමන නියමයක් පරිදිදැයි පැහැදිලි නැත. සාමාන්‍යයෙන් තට්ටු වැඩිවන විට ඉවත දමන ජල ප්‍රමාණයද වැඩිවන නිසා කාණු කුඩා වීම ප්‍රායෝගිකව සිදු විය යුක්තක් නොවන බව පැහැදිලිය.
කෙසේ වෙතත් “හෝම් ලෑන්ඞ්ස්’ ආයතනය උසාවි නියෝගයට අනුව උසාවියේ අවසරයකින් තොරව ඉදිකිරීම් සිදු කිරීම නිසා එම ආයතනයට විරුද්ධව උසාවියේ අපහාස නඩුවක් ද විභාග වේ.

අල්ලස්

“හෝම් ලෑන්ඞ්ස්” ආයතනයේ මෙම ව්‍යාපෘතියට ප්‍රදේශවාසීන් විරුද්ධ වන විට එම ආයතනය උත්සාහ ගන්නේ අල්ලස් දී ඔවුන්ගේ හඬ මකා දැමීමට ය. ඔවුන් ඒ සඳහා විරුද්ධවන පිරිසට නිවාස ව්‍යාපෘතියෙන් නිවාස නොමිලේ ලබාදීමට යෝජනා කරයි. මොවුන්ගේ ව්‍යාපෘතිය නීත්‍යනුකූල නම් ප්‍රදේශවාසීන්ට නිවාස අල්ලස් ලෙස දී ඔවුන්ගේ කටවල් වැසීමට වුවමනාවක් නැත. ‘හෝම් ලෑන්ඞ්ස්’ ආයතනය මෙසේ ක්‍රියා කරන්නේ ඔවුන්ගේ කුමක් හෝ අඩුපාඩුවක් වසා ගැනීමට ය.
එසේම ප්‍රදේශවාසීන් චෝදනා කරන අන්දමට මෙම ආයතනය නිළධාරීන්ද මුදලට නතුකරගෙන සිටී. එයට නාගරික සංවර්ධන අධිකාරියේ ඇතැම් නිළධාරීන් ද, ඉඩම් හා ගොඩකිරීම් සංස්ථාවේ ඇතැම් නිළධාරීන් ද අයත් බව ප්‍රදේශවාසීහු කියති. එසේම ඔවුහු කෙසේ හෝ ව්‍යාපෘතිය කරගෙන යෑමට, විරුද්ධ වන සියල්ලන් නිහඬ කරවීමට මුදල හෝ තර්ජන ගර්ජන උපයෝගී කරගනිමින් සිටිති. වරක් ප්‍රදේශවාසීන්ට එම ආයතනයේ නිළධාරියකු තර්ජනය කර කියා සිටින්නේ මෙම ව්‍යාපෘතිය නතර නොකරන බවත් හැකියාවක් ඇත්නම් නතර කරවා පෙන්වන ලෙසත් ය.
කෙසේ වෙතත් පසුගිය කාලයේ විරෝධතාවන් නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ ඉදිකිරීම් නතර වී පැවතුනි. එහෙත් මාර්තු අන්තිම සෙනසුරාදා දින පස් පුරවා ගත් ටිපර් රථ කිහිපයක් පැමිණ ඉඩමට පස් හලා නැවත පිරවීම ආරම්භ කර ඇත. අදාළ ලොරි රථ පැමිණ ඇත්තේ “ජාතික ජල සම්පාදන මණ්ඩලයේ” ආයතනික නම හා රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරමිනි.
‘සෙනසුරාද පස් පුරවපු ටිපර් හතරක් ආව. දූවිලි අවුස්සගෙන වේගෙන් ඇවිල්ල පස් දාගෙන දාගෙන ගියා. ඒව ආපු විදිහට තව පොඞ්ඩෙන් අපි හැප්පෙනවා. තනිකර මැර කණ්ඩායමක් වගේ ඇවිල්ලා පස් දාලා ගියේ. අපි මේ ගැන ඉඩම් ගොඩකිරීම් සංස්ථාවෙ සභාපතිතුමාට කීව එයා ඒ වෙලාවේ කෝල් කරලා වැඬේ නැවැත්තුවා. ඒත් ඊට පස්සේ ගෙනාපු පස් ටික බැකෝ එකක් දාලා තුනී කළා’ එසේ පැවසුවේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ව්‍යාපෘතිය නිසා පාරිසරික තර්ජන හරහාද ඉදිරිකිරීම් ආයතනයේ ඇතැම් ක්‍රියා නිසාද ප්‍රදේශවාසීන් ගේ ජීවිත ඇත්තේ අනතුරේ ය. තමන්ගේ භූමියද ජීවිතද උගසට තබා ඔවුහු දැන් මෙහි ජීවත් වෙති. අපට “හෝම් ලෑන්ඞ්ස්” ආයතනය සමඟ ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන මෙම ස්වරූපය පිළිබඳවය. ජීවිත අනතුරේ හෙළා සිදු කරන සංවර්ධන ව්‍යාපෘති සැබෑ සංවර්ධන ව්‍යාපෘති ද? යන ප්‍රශ්නය නඟන්නට සිදුවන්නේ එනිසාය.

චෝදනා පදනම් විරහිතයි – හෝම්ලෑන්ඞ්ස් ව්‍යාපෘති ප්‍රධානී හිරාන් ගුණසේකර.

අපි ළඟ ඔක්කොම අවසරත් තියනව. ඉඩම් ගොඩකිරීමේ එකෙන්, නාගරික සංවර්ධන අධිකාරියෙන් ගත්ත නිර්දේශ එක්ක අපි වැඩ කරන්නෙ. ඔය චෝදනා පෞද්ගලික මට්ටමෙන් කරන ඒවා. කිසිම පදනමක් නෑ. නාගරික සංවර්ධන එකෙන්, ඉඩම් එකෙන් කොන්දේසි තමයි දෙන්නෙ එයාලා විශේෂ අවසරයක් දෙන්නෙ නෑ.
වාහන තදබදයක් ඇතිවෙන්නෙ නෑ. මේ ඉඩමට මාර්ග දෙකක් නෙවෙයි තුනක් තියනවා. ඒ හින්ද ගැටලුවක් නෑ.
ඔය කියන කට්ටියට අපි ගෙයක් දෙන්ඩ හැදුවා තමයි. ඒ ඔය කට්ටිය එක්ක තිබ්බ ප්‍රශ්නය නිරාකරණය කරගන්ඩ. එයාලත් ඉස්සෙල්ල එකඟ වුණා. ඊටපස්සෙ එයාලා කාමර තුනක ගෙයක් ඉල්ලුවේ, ඒත් අපි කාමර දෙකක ගේකටයි එකඟ වුණේ. මෙයාලා එතකන් අපිත් එක්ක හොඳට කතා කරලා හිටියා. ඊට පස්සෙ අපේ සභාපතිතුමා කාමර තුනේ ගෙයක් දෙන්ඩ එකඟ වුණේ නෑ. ඊට පස්සෙයි ඔය කට්ටිය සංවිධානය කරගෙන මේකට විරුද්ධව කෑ ගහන්නේ. ඔතන වටේම ඉඩම් ගොඩකරපුවා. ඒක විතරයි ඉතුරු වෙලා තිබ්බේ. මෙයාල ගොඩ කරගෙන ගෙවල් හදාගෙන අපි ගොඩ කරද්දි කෑ ගහනවා. මේකට උසාවියෙ නඩුවක් යනවා. අපි බලමු. සාධාරණ පැත්තටනෙ තීන්දුව ලැබෙන්නේ.