රාවය

එළවළු අතිරික්තයට පසුව එන හිඟයට පිළියමක් නැද්ද?

එළවළු  අතිරික්තයට පසුව එන හිඟයට පිළියමක් නැද්ද?

රසික ගුණවර්ධන

මෙවර පහුගිය වසරවල මෙන් නොව, එළවළු මිලට උදාවූයේ යහපත් කල දසාවක් නොවේ. වෙළෙඳපොළේ අතිරික්ත එළවළු නිෂ්පාදනයක් පැවතීම එයට හේතුව යි. මේ නිසා දිනෙන් දින ශීඝ්‍ර ලෙස එළවළු මිල පහළ ගියේ ය. මහා බලාපොරොත්තු දල්වාගෙන සිටි ගොවීහු එහෙයින් අන්ත අසරණ තත්ත්වයකට පත්වූහ. පසුගිය වසරේ වෙළෙඳපොළෙ පැවති ඉහළ මිල නිසාම ඔවුන් බොහෝ දෙනෙකුගේ අරමුණ වූයේ පසුගිය වසරේ මෙන් මෙවර ද සිය අස්වැන්නට ඉහළ මිලක් ලබා ගැනීමය.
දඹුල්ලේදී අපට මුණ ගැසුණු ගාමිණී හෙළිකළේ ඒ කතාවයි. “ගියපාර හොඳ මිලක් ලැබුණා. ඒ හින්දා අපි හිතුවේ මේ පාරත් ඒ වගේ ම හොඳ මිලක් තියෙයි කියලා. මෙදාපාර වැඩියෙනුත් එක්ක වැව්වා.” එහෙත් ඔවුන්ගේ ඒ බලාපොරොත්තු ඉටුවූයේ නැත!
එසේම කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව විසින් හඳුන්වා දුන් අවාරයේ වැවීම ද මේ අතිරික්තය ඉහළ යාමට හේතුවක් විය හැකිය. අවාරයේ වැවීම ඉතා හොඳ සංකල්පයකි එහෙත් එය නියාමනය නොවීම නරක ක්‍රියාවකි. එවිට සිදුවන්නේ අවාරය වාරය වී, වාරය අවාරය වී කෘත්‍රිම තත්ත්වයක් උදාවීමය.

පාරිභෝගිකයා

සාමාන්‍යයෙන් භාණ්ඩයක මිල පහළ ගියවිට එහි ප්‍රමුඛතම වාසිය ලැබෙන්නේ පාරිභෝගිකයාටය.
සාමාන්‍යයෙන් ලංකාවේ එළවළු මිලදී ගන්නන්ගෙන් බහුතරය කාන්තාවන්ය. ඔවුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්, රැකියාවක නිරත වන සහ රැකියාවක නිරත නොවන (ගෘහනියන්) ලෙසටය. මෙසේ බෙදීම හරහා එළවළු මිලදී ගන්නා ස්වරූපය හඳුනා ගැනීම පහසුය.
පළමුවන කොටස ගනිමු, රැකියාවක නිරතවන කාන්තාවෝ සාමාන්‍යයෙන් බොහෝ විට දිනපතා එළවළු මිලදී ගැනීම සිදු කරති. ඔවුන්ගේ එළවළු මල්ලකට එබී බැලුවහොත් බොහෝ විට දැකගතහැක්කේ පලා, බෝංචි, තක්කාලි, බීට්, ලීක්ස්, කැරට් වැනි එළවළු වර්ගයය. මොවුන්ගේ එළවළු රාක්කවල ඉදෙන මාළු මිරිස්, කරල් කිහිපයක්, තක්කාලි ගෙඩියක්, අමුමිරිස් කරලක් හැරුණු විට අන් යමක් සොයා ගැනීම අපහසුය.
දෙවැනි කොටස රැකියා නොකරන කාන්තාවන්ය. මොවුන් දිනපතා එළවළු මිලදී ගන්නේ නැත. එහෙත් ඔවුන්ගේ බඩු මල්ලකට එබී බැලුවහොත් එය තුළ දැකගත හැක්කේ වට්ටක්කා, රාබු, බීට්, බෝංචි, කැකිරි, දඹල, මෑ, බටු, තක්කාලි වැනි එළවළු වර්ගයන් ය. එසේම මොවුන්ගේ එළවළු රාක්කවල කැකිරි ගෙඩියක්, දඹල කරල්, ඉදුණු අමු මිරිස් කරල්, පොළොස් ගැට, දෙල් ගෙඩි ආදිය වෙයි.
ඉහත ද්විත්වය නිරීක්ෂණය තුළින් ලංකාවේ එළවළු පරිභෝජනය පිළිබඳව යම් අදහසක් ලබාගත හැකිය. එසේම මේ දෙපිරිස අතර යම් සමාන බවක් පරිභෝජනය කරන ප්‍රමාණයන් හා සැසැඳීමේදී දැකගත හැකිය. එනම් මේ ද්විත්වයේම සාමාජිකයන් සිව්දෙනෙක් පමණ සිටින පවුලක් වේලකට පරිභෝජනය කරනා ප්‍රමාණය එක් එළවළුවකින් ග්‍රෑම් 250ක් පමණ වේ. ඒ අනුව එක් වේලකට එක් පුද්ගලයෙකු පරිභෝජනය කරනා එළවළු ප්‍රමාණය ග්‍රෑම් 65.5 පහක් වේ. (මෙය උපරිම ප්‍රමාණය යි. බොහෝ විට එක් වේලකදී සාදන එළවළුවක් වේල් දෙකක් පරිභෝජනය කිරීම වන නිසා මේ ප්‍රමාණයන් තවදුරටත් පහළ යාම සිදු වේ.) මෙවර අතිරික්ත නිෂ්පාදනය හරහා එළවළු මිල ශීඝ්‍ර ලෙස පහළයාමක් සිදුවුවද එය මේ පාරිභෝජන ප්‍රමාණයන්ට බලපෑමක් කළේ නැත. එනම් පාරිභෝගිකයා මිල දී ගනු ලැබු වේ තමන්ට සුපුරුදු ප්‍රමාණයන්ම ය. මිල අඩු වූවත් මිලදී ගන්නා ප්‍රමාණයේ වැඩිවීමක් වූයේ නැත. ඇතැමෙකුට මෙය එතරම් සැලකිය නොයුතු දෙයක් ලෙස තර්ක කළ හැකිය. මක්නිසාද යත් මිල අඩුවූවා කියා අවශ්‍යතාව ඉහළ නොයන බැවිනි. එහෙත් අපට හමුවූ බොහෝ කාන්තාවන් පැවසූ පරිදි මාළු ලෑල්ලේ මාළු මිල අඩුවූ විට වැඩිපුර මාළු ටිකක් පාරිභෝගිකයෝ මිලදී ගනිති. ඒ අනුව පාරිභෝගිකයාට එළවළු මිල පහළ ගිය වාසිය නිසි අයුරින් උකහා ගැනීමට නොහැකි වූ බව අපගේ මතය යි. පාරිභෝගිකයාට එළවළු මිල පහළ ගිය විට තමන් එදිනෙදා බහුලවම පරිභෝජනය කරන බත් අඩුකර ඒ වෙනුවට එළවළු වැඩිකර ගැනීමේ හැකියාවක් නොතිබුණි.
මෙය අප වෙළෙඳන්ගෙන් ද විමසා බැලුවෙමු. ඔවුන්ද පැවසූ කාරණාව නම් මිල අඩුවූවා යැයි කියා ජනතාවගේ එළවළු මිලදී ගැනීමේ කැපී පෙනෙන වෙනසක් සිදු නොවූ බවයි. ” ගාන අඩුයි කියල මිනිස්සු වැඩියෙන් ගන්නෙ නෑ. ඒ ගොල්ලො ගන්නෙ වෙනද ගන්න ගානම තමයි. දැන් අපි ගාන අඩුවට යන තක්කාලි එහෙම ගෑම් 500 මලු හදල විකුණන්නෙ. ඊට අඩුවෙන් දෙන්නෙ නෑ.” ඒ වෙළෙන්දෙකු කියන කතාවකි. එසේම පොළවල් අවසානයේ බොහෝ සෙයින් ඉවත දමන එළවළු වර්ග අපේ නෙත ගැටුණි. ඒවා අතර රාබු, පිපිඤ්ඤා, තක්කාලි බහුල විය. මේ එළවළු අලෙවි වන්නේ ඉතාම අවම මිලකටය. එහෙව් වටපිටාවක එළවළු මිලදී ගැනීමේ ප්‍රමාණයන් ඉහළ නොයාම සැබෑ ලෙසම ආහාර සංස්කෘතිය නිරුවත්කර පෙන්වයි.

හේතු

එළවළු අතිරික්තය හා මිල පහළ යාම පාරිභෝගිකයා පරිභෝජන රටාව වෙනසකට පත්කර ගැනීමට හේතුවක් කර නොගැනීමට හේතුව ලංකාවේ ඇති ආහාර සංස්කෘතිය යි. අපේ රටේ එළවළු පරිභෝජනය පවතින්නේ ඉතාම අවම මට්ටමක ය. වරක් ගොවි ගම්මානයක සේවය කරන වෛද්‍යවරයෙකු පැවසූවේ තමන් හමුවට පැමිණෙන බොහෝ දෙනා වේලකට ආහාරයට ගන්නේ එක් එළවළු වර්ගයක් පමණක් බවයි. එය ඒ ජනතාවගේ දුප්පත් බව නිසා සිදුවන කාරණාවක් නොව ඔවුන්ගේ පුරුද්ද නිසා සිදුකරන දෙයකි. එනම් ඔවුන්ට එළවළු වර්ග දෙක තුනක් ආහාරයට ගැනීමට පුරුද්දක් නැත. එළවළු වර්ග දෙක තුනක් වගා කරන ඔවුන් එක් එළවළුවක් පමණක් එක් වේලට අනුභව කරන්නේ ඒ පුරුද්ද නිසාය. එනම් අප රටේ ආහාර රටාව නිසා එළවළු වැඩි ප්‍රමාණයක් ආහාර වේලට එක්වන්නේ නැත.
එසේම ලංකාව සමකාසන්නව පිහිටා තිබීම ලංකාවේ කෘෂි ආර්ථිකයක් ව්‍යාප්ත වීම ද ඒ හරහා වර්ෂය පුරාම ආහාර භෝග වැවීමේ හැකියාව නිසා ද ලංකාවේ ආහාර සංස්කෘතිය තුළ එළවළු කල්තබා ගැනීමේ ක්‍රම එතරම් ප්‍රචලිත නැත. ඒ නිසා නිපදවූ අතිරික්ත එළවළු ප්‍රමාණය කල් තබා ඒවා නැවත භාවිත කිරීමේ හැකියාවක් නැත. එහෙත් ලෝකයේ බොහෝ රටවල මෙය ක්‍රියාත්මක වේ. චීනය, ජපානය වැනි රටවල රාබු අච්චාරු, ඉතාලිය වැනි රටවල තක්කාලි සෝස් වැනි විවිධ ආහාර සංස්කෘති වලට කල් තබා ගැනීමේ ක්‍රම පැවතිය ද ලංකාවේ කොස්, දෙල් වැනි ආහාර හැරුණු විට අනෙක් එළවළු වලට එවැනි අවකාශයක් නැත. එසේම පසුගිය සමයේ බොහෝ සෙයින් අපතේ ගිය තක්කාලි වගාවන් සෝස් නිෂ්පාදනයට ද යොදා ගැනීමට හැකියාවක් නොතිබුණි. ඒ අපේ ගොවීන් වගා කරන තක්කාලි ප්‍රභේදය සෝස් සඳහා උචිත වර්ගය නොවන බැවිනි. ඒ නිසා තිබූ එකම විකල්පය නම් විසිකර දැමීම යි.

අවුරුද්දෙන් පස්සේ

අවුරුදු සමයේ මෙසේ එළවළු මිල ශීඝ්‍ර ලෙස පහළ බැසීම සිදුවුවද අවුරුදු සමයෙන් මතු එළවළු මිලට කුමක් සිදුවේ දැයි විමසා බැලිය යුතුව ඇත. පැවති වියළි කාලගුණය නිසා ඵලදාවට හානියක් ද සිදු නොවූ බැවින් වැවූ ප්‍රමාණයට සාපේක්ෂව ලැබිය යුතු ඵලදාව සැලකිය යුතු මට්ටමක විය. මේ නිසා අවුරුදු සමයෙන් අනතුරුව එළැඹෙන කාලය උදෙසා එළවළු වැවූ ගොවීන් හිඟය. එනිසා මෙවර වෙළෙඳපොළේ පැවති අතිරික්තය වෙනුවට අවුරුද්දෙන් පසු නිර්මාණය වන්නේ හිඟයකි. මේ තත්ත්වය තව තවත් තීව්‍ර කරනුයේ පසුගිය දින කිහිපයේ පැවති වර්ෂාවයි. බොහෝ ගොවීන් වර්ෂාව ළඟ එන බව දුටු විට තවත් සතියක් දෙකක් තබා ගැනීමට තිබූ ඵලදාවන් නෙළා ගත්තේ ඒවා වර්ෂාවට හසුවී විනාශ වේයැයි ඇති වූ බියෙනි. මේ නිසා සිදුවූයේ ඇතිවීමට යන හිඟය තහවුරු කිරීමකි. අවුරුද්දෙන් පසු එනම් මාර්තු මාසයේ මැද පමණ වන විට බාග විට ඊටත් ප්‍රථම මේ හිඟය වෙළෙඳපොළට දැනිය හැකිය. මෙයට හොඳම නිදර්ශනය අපට හමුවූයේ ඉබ්බාගමුව ප්‍රදේශයෙනි. ඔහු මාළු මිරිස් වගාකරුවෙකි. සිය මාළු මිරිස් වගාව නෙළීමට තව කාලයක් තිබුණද ඔහු ඉදිරි වර්ෂාව ගැන බියෙන් ඒවා කලින් නෙළා තිබුණි. “වැස්ස එන්ඩ ගත්ත හින්දා මිරිස් ටික කඩල ගත්තා. මෙහෙන් ඉල්ලන්නේ කුණු කොල්ලෙට. මේ ගාණට දීලා කඩන්ඩ ගිය ගාණවත් ගන්ඩ බෑ” මේවාට ගොවියාට දොස් පැවරිය හැකි නොවේ. එහෙත් වෙළෙඳපොළ හඳුනා නොගෙන වගා කිරීම පිළිබඳව වගකීම ගොවියා භාරගත යුතුය.

කෘෂිකර්ම සංවර්ධන අධිකාරිය

වර්ෂ 2002ට පමණ පෙර ලංකාවේ එළවළු ඇතුළු ආහාර භෝග නියාමනයට ආයතනයක් පැවතුණි. එය කෘෂිකර්ම සංවර්ධන අධිකාරිය යි. මේ හරහා අදාළ ප්‍රදේශවල ආයතන හා සම්බන්ධ වෙමින් ආහාර නිෂ්පාදනය පාලනය කිරීම සිදුවිය. එනම් මේ ආයතන ජාලගතව සම්බන්ධ වෙමින් රටේ ඉල්ලුමට සරිලන ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය වීමට ඉඩ තබා අතිරික්තය පාලනය කරමින් නිෂ්පාදන නිසි මිලක තබා ගැනීමට කටයුතු කැරිණි. 1978 ආරම්භ වූ මෙම අධිකාරිය වර්ෂ 2002 දී වැසී යන්නේ වර්තමාන රජයේත් සිටි අමාත්‍යවරයකුගේ පෞද්ගලික උවමනාව නිසාය. එතැන් සිට ලංකාවේ ආහාර නිෂ්පාදනය ඉබාගාතයේ දුවන්නට විය. ගොවියා ගොවියාට හිතෙන තරම් වගා කරන්නට පටන් ගත්තේය. හිතෙන වර්ග වගා කරන්නට විය. මේවා නියාමනය වූයේ නැත.
කෘෂිකර්ම සංවර්ධන අධිකාරියේ හිටපු සහකාර අධ්‍යක්ෂ රාජවික්‍රම මහතා ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි. “අපි ඒ කාලේ ලංකාව වටේම ගොවීන් ගැන බැලුවා. නිෂ්පාදනය වෙන ප්‍රමාණය පාලනය කළා. දැන් හිතන්ඩ නුවරඑළියේ වැඩියෙන් බීට් හැදුණා කියල අපි කියනවා දඹුල්ලේ නිලධාරීන්ට ඒ පැත්තේ බීට් හදන එක අධෛර්යමත් කරන්ඩ කියලා. ඔය වගේ හැම එළවළුවක්ම අපි නියාමනය කළා. අතිරික්තයක් හැදෙන්ඩ දුන්නේ නෑ. ගොවීන් අනවශ්‍ය භෝග හදන්ඩ අධෛර්යමත් කරන අතරේ අවශ්‍ය භෝග හදන්ඩ දිරිමත් කරලා ඒගොල්ලො රැක ගත්තා. බීට් හදන්ඩ එපා කීවා කියලා ගොවීන්ට පාඩුවක් වුණේ නෑ. ගොවීන් දැනන් හිටියා ඒගොල්ලන්ට හොඳ මිලක් ලැබෙන්න අපේ ක්‍රියා කලාපයත් හේතුවුණා කියලා.”
මෙයට ඇති හොඳම ක්‍රියා මාර්ගය නම් P4 මොඩලය ක්‍රියාත්මක කිරීමයි. P4 මොඩලය යනු රජය, පෞද්ගලික අංශය, ගොවියා සහ හවුල්කරුවා අතර ඇතිවන්නා වූ සම්බන්ධතාවකි. මෙහිදී අනුග්‍රහය හිමිවන්නේ රජයෙනි, ගොවියාට ණය අඩු පොලියට ලබාදීම සිදුවේ. ඉන්පසු ගොවියා පෞද්ගලික අංශය සමග ඇතිකර ගන්නා ඉදිරි වෙළෙඳ ගිවිසුමත් සමග පෞද්ගලික අංශයට නිෂ්පාදන නිපදවීම සිදු කරයි. මෙහිදී පෞද්ගලික අංශය එනම් සමාගම් මේ සමග හවුල් වන බැවින් ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන නිපදවීමට ගොවියා පොළඹවන නිසා නිරායාසයෙන්ම ඉහළ ගුණාත්මක නිෂ්පාදන බිහිවී, අපනයනයට හැකිවන ආකාරයේ එළවළු වෙළෙඳපොළක් නිපදවා ගත හැකි වේ. එසේම ගොවියාට තාක්ෂණය සමග ගොවිතැන් කිරීමට හැකියාව ලැබෙන නිසා වර්තමාන බොහෝ ගැටලුවලින් මිදීමට ඔහුට හැකියාව ලැබේ.

කෘෂිකර්මයට නියාමනයක් ඕනෑ
කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ හිටපු නිලධාරියකු හා බීජ තාක්ෂණය පිළිබඳව විශේෂඥ ජයසිරි ප්‍රේමරත්න

“සිංහල අවුරුද්ද බලාගෙන තමයි මෙදාපාර ගොවියො වැව්වෙ. හැබැයි අවුරුද්ද ඉවර උන ගමන් වවපු ටික ඉවරයි. ආයෙ අවුරුද්ද ඉවර වුණු ගමන් සෑහෙන්න මිල වැඩිවෙනවා. මේක නියාමනය කරන්ඩ පුළුවන් රජයයි, පෞද්ගලික අංශයයි හරියට වැඩ කළොත්. ඒ වගේම ගොවියට, ගොවි සංවිධානවලට ඉදිරි දැක්මක් තියෙන්ඩ ඕනෙ. හැබැයි මේකට අමාත්‍යාංශ පහක් හයක් තිබිල බෑ. හරියට එක අමාත්‍යාංශයක් තියෙන්ඩ ඕනෙ. කෘෂිකර්මයයි ආහාරයි කියන්නේ දෙකක් නෙවෙයි. එක අමාත්‍යාංශයක් වෙන්ඩ ඕනෙ. රංජන් විජේරත්න කෘෂිකර්ම ඇමති ඉන්න කාලෙ හරියට වුණා. මේ ආණ්ඩුව ආපු කාලෙ ඒක ජනාධිපති කාර්යාලයට ගත්ත, ඒත් ඒක ගියේ වස විස නැති පැත්තට. අනිත් පැත්ත බැලුවෙ නෑ. අපේ තියන අවුල තමයි අපි සත්ව පාලනය අයින් කරලා කෘෂිකර්මය කරන්නේ. බෞද්ධ කතා දාලා මේක අඩපණ කරල තියෙන්නේ. හැබැයි හැට ගණන්වල බෞද්ධ බිත්තර (සංසේචනයෙන් තොර) නිසයි කුකුල් පාලනය සාර්ථක වුණේ. දැන් කුකුල් පාලනය සීයට සීයක් සාර්ථකයි. මේ ඔක්කොම එකතු කරගෙනයි ගමනක් යන්ඩ ඕනෙ. එතකොට නියාමනයක් එක්ක නිවැරදි මිලක් පවත්වාගෙන යන්ඩ පුළුවන්.”