දිගන: ගින්නෙන් මසකට පසු තවමත් අලු යට ගිනි පුපුරු

සුනන්ද දේශප්‍රිය

දිගන සිට දුෂ්කර මඟ ගෙවන පැයක පමණ ගමනකින් පසු කන්ද වැටියක පාමුල කුමාරසිංහගේ නිවස හමුවෙයි. කුමාරසිංහ උදෑසන 2.30ට පමණ සිය රැකියාව පිණිස නිවෙසින් පිටත්වීමට පුරුදුව සිටියේය. භාණ්ඩ ප්‍රවාහනය පිණිස කොළඹ බලා යෑමට සිය ලොරිය උදෑසනම පණ ගන්වා ගත්තේ නැත්නම් රස්තියාදුව වැඩි නිසාය. ඔහු ගෙදර ආවේ කළුවර වැටී පැය ගණනාවකට පසුය. ඔහු සිය දරු දෙදෙනාද බිරිඳ ද මාපියන්ද බලා කියා ගත්තේ මාසිකව රුපියල් 30,000ක් ලද එම දුෂ්කර රැකියාවෙනි. ඒ සඳහා සතියකට දින හයක් සේවය කළ යුතුවිය. වැඩ දිනයට නිශ්චිත පැය ගණනාවක් නොතිබුණි. අනතුර සිදුවන විට ඔහු පැය කීයක් එක දිගට රියදුරුකම කර තිබුණේ දැයි අපි තවම නොදනිමු.
ඔහු සේවය කළේ නගරයේ ධනවත්ම ව්‍යාපාරික ආයතනයේ ය. එය සිංහල අයිතිය ඇති එකකි. ඔහුගේ අකල් මරණය, විසින් ඉස්මත්තට ගෙන ආයුතු එක් කාරණයක් වූ දීර්ඝ සේවා මුර සහ අක්‍රමවත් සහ අප්‍රමාණවත් වැටුප යටපත් වූ අතර ඔහුගේ සිංහල බෞද්ධකම ගිනි බෝම්බයක් බවට පත් කැරුණි. ඒ කුමාරසිංහගේ අභිමතයෙන් හෝ ඔහුගේ භාරකරුවන්ගේ අභිමතයෙන් නොවේ. අඩුම වශයෙන් ඔහු ජීවත් වූ ගමෙහිවත් ඔහු දානමානාදිය කළ පන්සලෙහිවත් එවැනි අභිප්‍රායක් තිබුණේ නැත.
කුමාරසිංහගේ පියා කී එක් වැකියක් ලිවිය යුතුමය: “කොයිතරම් පත්තර, රූපවාහිනීවලින් ආවත් අපි කියපු දේ ඒ හැටියටම දැම්මේ රාවය පත්තරේ විතරයි!” ඔහු, මා රාවයට ලියන බව දැන සිටියේ නැත. “අපට කොයින්ද හයියක් ඔය වගේ ගෝරි කරන්න. අනෙක පිටින් හයියක් නැත්නම් කොහොමෙයි ඕව කරන්නෙ. අපේ පුතා මුස්ලිම් ළමයි එක්ක හොඳයි. ඇත්ත මුලදිම කිව්ව නම් ඔය විනාශය වෙන්නෙ නැහැ.” ඒ කඳුවැටිය හරහා දෝංකාර දිය යුතුව ඇති ඔහුගේ වචනය.
කුමාරසිංහගේ සිරුර නගර සංචාරය පිණිස ගෙන යාමට ඉල්ලා සිටි පිරිස් අතර දේශපාලනඥයෝද වූහ. අනුමත නොකළ වාර්තා කියන්නේ එවැන්නන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගමද, මහසෝන් බලකායද වූ බවය. රටපුරා අනතුරුවලට ලක්ව මියයන අනෙක් සිංහලයින්ගේ අවසන් කටයුතුවලට නොයන නමුත් කුමාරසිංහ අවමඟුලටට කළුවර සමග ගිය බොදු බල හමුදා සේනාධිනායක ඥානසාර තෙරද එවැනි ඉල්ලීමක සංකේතයකි. කළුවර මහසෝනාගේ පිටියයි.
මසකට පෙර දිගනින් ඇරඹී තෙදිනක් පුරා ගිනිගත් වර්ගවාදී ප්‍රහාරයන් පිළිබඳ පසුවිපරමක් කරනු පිණිස අප කණ්ඩායමක් පසුගිය 06 දින එම ප්‍රදේශයට ගමන් කළෙමු. අවමඟුල අවසන් නමුත් ඇවිලවූ ගිනි තවම දුමාරය පිටකරයි. ගින්නක් නැතිව දුමක් ඇතිවන්නේ නැත. ගැඹුරට දෑස් යොමා බලන්නේ නම් නලියන ගිනි පුපුරු නොපෙනී යා නොයයි.
පසුගිය මාර්තු 19 දින ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ පැවති සමාන්තර රැස්වීමකදී දිගන ආශ්‍රිත මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා ගැන මා ඉදිරිපත් කළ අදහස් ප්‍රශ්න කළ විදෙස්ගත සිංහලයකු එම ප්‍රහාරයන් වක්‍රව සාධාරණය කරමින් මෙම ප්‍රහාරයන්ට හේතුව මුස්ලිම් ජනයා ශ්‍රී ලංකාවේ බෞද්ධ පුරාවස්තු කෙළෙසමින් ඉඩකඩම් අල්ලා ගනිමින් ගෙන යන කටයුතු නිසා කීවේය. ඔහු පැමිණ සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ එළිය සංවිධානයේ ප්‍රධානියකු වන හිටපු ආරක්ෂක හමුදා නිලධාරියකු සමගය. එවැනි කතාවන්හි දෝංකාර ලංකාව තුළද දෙදරුම් කැවෙන බව අපි දනිමු.
මහසෝනා වනාහී සොහොන් පිටියට අරක්ගත් යකෙකි. මේ යකා පහර දෙන්නේ රැයෙහි තනිව සොහොන් බිම් මැදින් ගමන් ගන්නා සිංහල බෞද්ධයින්ටය. සොහොන් බිමක සිහිමුර්ඡාව වැටී සිටින එවැන්නකුගේ ගෙළෙහි නිල් පාටින් අතැඟිළි පහ පෙනෙන්නට වෙත්ද ඒ මහසෝන් ප්‍රහාරයකි. එසේ නම් එකම බෙහෙත මහා තොවිලයකින් මහසෝනාට නර බිලිදීමය. ජනප්‍රවාදය එයයි.

මුස්ලිම් හෝ හින්දු හෝ කිතුනු හෝ ලබ්ධිකයින් මහසෝනා පිළිනොගන්නා බැවින් ඔවුන්ට මේ යක්ෂයාගෙන් එකල නම් අනතුරක් සිදුවූ බවක් නොකියැවේ.
නූතන මහසෝනා සහ උගේ බලකායේ කාර්යාලයද තේ පැන් සැලද වසා දමා තිබෙනු දිගනට යන මගෙහි පෙනේ. වසා දැමෙන්නට පෙරද එහි නොපෙනෙන යකුන් කෙසේ වෙතත් මනුෂ්‍ය ප්‍රාණකාරයින් නම් ඒ හැටියට ගැවසී නැත. මේ මහසෝනා බෞද්ධයෙක් යැයි කියැවේ. මහසෝනාගේ නමින් වැඩ ගන්නා එකා ඊටත් වඩා බියකරු රාක්ෂයකු නොවිය යුතුද? ජාතියක ආරක්ෂාව පිණිස බුදු දහමේ නාමයෙන් මහසෝනා කැඳවීම කියාපාන්නේ තිස්තුන් කෝටියක් දෙවි දේවතාවියන් පලා ගොස් ඇති බවද?
මේ යකා සිංහල බෞද්ධයින්ගේ ලේ බීමටත් කැමැතිය. මහනුවර වායු දූෂණය අවම කරනු පිණිස දළදා මාලිගය අසල මහ මාවත විවෘත කරන්නැයි පාගමක යෙදුණු තමන් ඇතුළු පිරිස් මරා දමන බවට නුවර දේශපාලන ක්‍රියාධරයෙකු වන රාජා උස්වැටකෙයියාව අපට කීවේ මසකට පසු දිගන කොහොමදැයි යෙදුණු කතාබහ මැදය. දැන් දළදා මාලිගාවේ නමින් ලේ ඉල්ලන මහසෝනෙක් සිටී. මසකට පසු යෙදුණු අපේ සෙවිල්ලෙහි කප්පිත්තා වූයේ මහසොන් තර්ජන ලද රාජා උස්වැටකෙයියාවය.
“කුමාරසිංහට පහරදීපු හිරේ ඉන්න තරුණයින් එක්ක කතා කරපු කෙනෙක් නම් කවදාවත් ඔය ප්‍රහාරයන්ට යන්නේ නැහැ. ඒ තරුණයින් ඇත්තම කියනවා. පහරදීම කිසිම වර්ගවාදී හේතුවක් නැහැ. කොල්ලො බීලා හිටියේ. ගැහුවෙත් මරන්න නොවෙයි!” එහෙම කියන්නේ මෙම ප්‍රහාරයන් ගැන තොරතුරු එක් කර ගනිමින් එය නැවැත්වීමට බොහෝ උත්සාහ ගත් කුමුදුනී විතානය. ඇය මහනුවර දිසාවෙහි මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයෙහි සම්බන්ධීකාරිකාවය.
මෙම ප්‍රහාරය අහම්බයක් නොව කලින් සූදානම් කර තිබූ ප්‍රහාරයක් බව ඇය විශ්වාස කරයි. අහම්බය වූයේ ස්ථානය අවස්ථාව පමණි. ප්‍රහාරයට පැමිණි පිරිස් මුහුණු ආවරණ පැළඳ සිටියේ එකම විදිහටය. පොලීසියට කලහකාරී පිරිස් පාලනය කර ගැනීමට බැරිවූ හෝ ඒ සඳහා උත්සාහ නොගත් බව පැහැදිලි වන සාධක තවමත් හමුවෙමින් තිබේ. පොලීසියේ එස්.ටී.එෆ්. බලකාය තමන්ට පහරදුන් බවට පැමිණිලි ගණනාවක්ද මුස්ලිම් ජනයා විසින් මානව හිමිකම් කොමිසමේ නුවර කාර්යාලයට පසුගිය මාසය තුළ ඉදිරිපත් කර ඇත. “අපේ කඩයට ගහන කොට පොලිස් ජීප් එක තිබ්බේ අතන” යැයි දිගන පල්ලිය අසලදී අපට අසන්නට ලැබුණි.
ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යෑම වළක්වනු පිණිස ඇදිරි නීතිය ප්‍රකාශ කළ පසු ඊට හේතුව බෞද්ධ භික්ෂුවක් ඝාතනය කිරීම යැයි ළැව්ගින්නක් පතුරුවන ලදි. යුද හමුදා කඳවුරුවලින් පවා එය ඇත්තක්දැයි තමන්ගෙන් විමසූ බව කුමුදුනී විතාන අපට කීවාය. මෙවැනි තත්ත්වයකදී වැදගත්ම දේ විශ්වසනීය තොරතුරු සපයන සන්නිවේදන යාන්ත්‍රණයන් පැවතීම බව එමගින්ද පෙනෙයි.
සිංහල මුස්ලිම් ප්‍රජාවන් අතර ඇතිවෙමින් පවත්නා දුරස්තර බව සහ අවිශ්වාසය පිටුදැකීමට ගතයුතු පියවර ගැන අඩුම වශයෙන් විධිමත් කතාබහක් හෝ නැත. පෙනෙන්නට තිබෙන්නේ අවිශ්වාසයන් තටු ලබමින් සිටින හැටිය.
කුමාරසිංහ ජීවත් වූ අම්බාල ගමෙහි වර්ගවාදී ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීම වැළැක්වීමට මූලිකත්වය ගත් හීන්පැලැස්සේ ඥානිස්සර හිමි කියන්නේ ගම්මුන් දැනුවත් කරන වැඩසටහනක අවශ්‍යතාව කවරකුගෙන්වත් පිරිනොමැසෙන බවය.
ඒ අතරවාරයේම එ පෙදෙසෙහි සිංහල ජනයා අතර පැතිර යන බිය උපදවන කටකතාවල ඇත්ත පහදා දිය යුතු බවද එහිමියෝ පෙන්වා දෙති. ඉන් එක් කතාවක් නම් මුස්ලිම් කඩවලින් බඩු ගන්නා ගම්වල මළ දරු උපත් අනෙක් ගම්වලට වඩා පස් හය ගුණයකින් වැඩි බවයි. එහි ඇත්ත නැත්ත සොයා කරුණු පහදා දෙනු වෙනුවට දැන් සිදුවන්නේ මුස්ලිම් වෙළෙඳුන්ගෙන් බඩු ගැනීමට විරුද්ධව මතයක් ගොඩ නැගීමයි.
එවැනි අනපේක්ෂිත මළ දරු උපත් ඇතිවී නම් එය සෞඛ්‍ය සේවකයින් විසින් වහාම වාර්තා කළ යුතුව තිබූ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වහා පියවර ගනු ඇතිව තිබූ බවත් කීම මදිය. ඇත්ත වශයෙන්ම නම් දැන් සිදුවන්නේ ගමෙහි සෞඛ්‍ය සේවිකාවගේ නමින්ම මෙම දුර්මත පැතිර යැවීමයි.
මෙවැනි බිම් මට්ටමේ සැකයන් ආමන්ත්‍රණය නොකෙරෙන්නේ නම් රටට පෙනෙන්නට සහජීවනය ගැන කියන ලොකු කතා මගින් වැඩක්වනු ඇත්ද? “වැරදිලාවත් මුස්ලිම් කඩයකින් ගන්න සීනි 250ටක මොනවාහරි පෙත්තක් වගේ දෙයක් වැටිල තිබුණොත්, ගින්නක් වළක්වන්න අපටවත් බැරිවේවි” යැයි ඥානිස්සර හිමි කියන්නේ අවුලේ දුරදිග හොඳහැටි දන්නා නිසාය.
‘වඳ පෙති’ දුර්මතයක් බව බහුතර ජනයා දන්නේ නැත. මිනිස්සු විශ්වාස කරන්නේ තමන් කැමති දෙයයි. අනෙකා තර්ජනයක් ලෙස මවා පෙන්වූ පසු ‘වඳ පෙති, ‘වඳ තෙල්’ පමණක් නොව ‘වඳකාරක කඩ’ පවා බියපත් මනසෙහි රඟදෙයි. එවැනි දුර්මත පැරදවිය හැක්කේ ජනයා සමග එක්ව ඇත්ත නැත්ත සොයා බලන සහ ඔවුන්ගේ බසින්ම කැරෙන සන්නිවේදන මගිනි. නැත්නම් මහාසෝනාගෙන් ආරක්ෂාව පතන බෞද්ධයින් බිහිවන්නේ කොහොමද?
ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගත් සිංහල තරුණ පිරිස් අතර අහිංසක තරුණයින්ද වන බව අපට කීවේ සිංහල – මුස්ලිම් සමගිය ගැන වෙහෙසෙන ප්‍රදේශයෙහි එජාප තරුණ නායකයෙකි. ඔහු සිංහලය. කුණ්ඩසාල ප්‍රදේශීය සභාවෙහි නායකත්වය එජාපයට ගනු පිණිස එදින ඔහුද ඉත්තන් අදිමින් සිටියේය. එසේ වෙතත් ඔහු මෙසේ ද කීය. “යූඇන්පීය මෙහේ සිංහල මිනිස්සු අතර ඉවර වේගෙනයි යන්නේ. අත්අඩංගුවට ගත් සිංහල කොල්ලො ගැන බලන්න කව්රුවත් ආවෙ නැහැ. තිස්ස අත්තනායක හිටිය නම් මේ හැම තැනටම ඇවිල්ලා”!
මෙරට නීතියේ පාලනය කොතරම් මහජාතික ආගමික වර්ගවාදයට යටවී ඇත්දැයි පෙන්වූයේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩකාරීන්ට “පැය දෙකකින් ඉවර කරපල්ලා” යැයි අවසර දුන් පොලිස් පිරිස්වලින් පමණක් නොවේ. “හාමුදුරුකෙනෙක් එහෙම අත්අඩංගුවට ගත්ත නම් රටම ගිනිගන්න තිබුණා” යන පොදු එනමුත් වැරදි පිළිගැනීමෙහිය. එම පිළිගැනීම අප අතරම උච්චාරණය වනු දිගන ගමනෙහි දුටුවෙමි.
කුණ්ඩසාල පොලීසිය ඉදිරියෙහි සුපුරුදු අසැබි රංගනය පෑ අම්පිටියේ සුමන හිමි මැරවර ක්‍රියා අනුමත කරනවා පමණක් නොව මෙසේද කියයි:“අපේ පිරිස් රස්තියාදුවීමෙන් සහ මේ අහේතුක අත්අඩංගුවට ගැනීම් පිළිබඳව තිබූ බලවත් අප්‍රසාදය ක්ෂණික කෝපයක් බවට පත්වෙලා කඩවලට ගහන්න පටන් ගත්තා. මම අපේ ආගමට අපේ මිනිසුන්ට මෙහෙම වෙද්දි වාඩිවෙලා බලං ඉන්න කෙනෙකුත් නෙමෙයි.” පුදුම විය යුත්තේ නීතිය කොහිදැයි මුස්ලිම් ජනයා අපෙන් නොඅසන්නේ නම්ය.
දිගන වාර්ගික ගැටුම විසින් ඇති කරන ලද දේශපාලන ධ්‍රැවීකරණය ගැන සිරිසේනටවත් වික්‍රමසිංහටවත් දැනීමක් නැත. දෙදෙනාම ඉන්නේ තමන්ගේ මනෝ ලෝකවල නිසාය.
තවද මහසෝනුන් අරක්ගෙන ඇත්තේ සිංහල බෞද්ධ පිරිස් අතර පමණක් නොවේ. මුස්ලිම් ප්‍රජාව අතර ද අනෙකා නුරුස්නා සමාජීය අන්තර්ග්‍රහණය පිළිකෙව් කරන පිරිස් විදී බැස සිටිති.
ඒ ගැන දෙවැනිව ලියමි.
(කරුණු සොයා බැලීමේ ගමන සංවිධානය කළ ඉන්ෆෝම් ආයතනයට සහ උදය කළුපතිරණට ස්තුතියි.)