රාවය

ඒකට හේතුව රැවටීම – දීප්ති කුමාර ගුණරත්න

ඒකට හේතුව රැවටීම – දීප්ති කුමාර ගුණරත්න

ටිරන් කුමාර බංගගමආරච්චි
ඡායා – අසංක රූපංජන

දීප්ති කුමාර ගුණරත්න කියන්නෙත් මාලිමාවක්. ඔහු මෙරට සිංහල සමාජය තුළ නව කතිකාවක් බිහි කළ චින්තකයෙක්. බොහෝ අයට ඔහු සමග බොහෝ විසංවාද තිබිය හැකිය. එහෙත් මා මුලින් කී දේට එකඟ වන්නට ඒ කිසිවක් බාධා විය නොහැකි බව සැබෑය. මේ දීප්ති කුමාර ගුණරත්න සමග කළ වෙනම මානයක කතාබහකි. මේ තුළ කෙනෙකුට ඔහුව හිට්ලර් කෙනෙකු ලෙස දැකිය හැකිය. තව විටෙක අවැසි නම් ගාන්ධි කෙනෙකු දැකිය හැකිය. ඒ සියල්ලට වඩා සැබැවින්ම මේ හරහා දීප්තිව යම් පමණකට ලිහා ගත හැකිය. ඔහු හා කළ කතාබහ ඉතා දිගුය. එබැවින් එය කොටස් දෙකකට හින්දුවෙමි. මේ එහි පළමු කොටසය.

ඔබට දැනුම සොයාගෙන යන්නට පිපාසාව ඇතිවුණේ කොහොමද?

මම හිතනවා ඒකට හේතුව රැවටීම කියලා. මම මුලින්ම යන්නේ චිත්‍රපට කරන්නයි. මම චිත්‍රපට කරන්න යන්නේ ඇත්තටමයි. ඕනෑම දෙයක් ඇත්තට කරන්න ගියහම රැවටෙනවා. ඇත්තටම ලව් කරන්න ගියහමනේ රැවටෙන්නේ. බොරුවට ලව් කරනවා නම් රැවටීමක් වෙන්නේ නැහැනේ.
කොහොම වුණත් කියන්න ඕනෑ දැනුම කියන එක හිතලා ගත්ත දෙයක් නෙමෙයි. ඇත්තටම වැඩ කරලා ලද අත්දැකීම්.

පුංචි කාලේ කවුරු වෙන්නද බලාපොරොත්තුව තිබුණේ?

මෙහෙම දෙයක් තිබුණා. මම පවුලේ එකම පිරිමි ළමයා. ඒ නිසා මව්පියන්ගේ ආදරය වගේම බලාපොරොත්තුවත් මට වැඩිවුණා. ඒ අයට ඕනෑ වුණා මම වෛද්‍යවරයෙක් වෙනවා දකින්න. ඒ ආශාව මා තුළත් තිබුණා. උසස් පෙළදී ඒ ඉලක්කයට යන්න ලකුණු අඩු වුණහම තමයි අපි හැමෝගෙම දොස්තර හීනය බිඳ වැටුණේ. සූලොජිවලට මට ලකුණු අඩු වුණේ මට ඉරිගහ ගන්න බැරිවුණ හින්දයි. කොහොම වුණත් දෙවැනි පාරක් කරන්න මට හිත දුන්නෙම නෑ. ගෙදර කරදර කළෙත් නෑ. ඉගෙනීමට තිබුණ ගැම්ම එහෙමම ගියා. චිත්‍රපටි කරන්න ගියේ ඊට පස්සෙයි.

චිත්‍රපටි කරන්න හිතුණේ ඇයි?

එහෙම චිත්‍රපටි කරනවා කියලා දෙයක් මගේ ඔළුවේ තිබුණේ නැහැ. මගේ එකම අරමුණ වෙලා තිබුණේ උසස් පෙළ සමත්වීම. මේක කරගන්න බැරිවුණහම නොදැනීම වගේ මාව කඩා වැටුණා. පාසලෙත් මම මුල් කිහිපදෙනා අතර හිටියේ. පන්තියෙත් මාව ලොකුවට හිතුවා. බ්‍රයිට් කේස් එක කඩා වැටුණා වගේ තත්ත්වයට මාව පත්වුණා. මාව ඒ කම්පනය හුදෙකලා කළා. ගෙදර අය මේ හුදෙකලාවට බයවුණා. මට මතකයි අම්මා තාත්තට කිව්වා කාමරයටම වෙලා ඉන්නවා මොනවට හරි යොමු කළා නම් හරි කියලා. ඔය අතරේ මට නැෂනල් කැසට් රෙකෝඩරයක් පවා තාත්තා ගෙනත් දුන්නා. තාත්තගේ යාළුවෙක් හිටියා ඕ.සී.අයි.සී. එකේ. ඒ ඇඳුරුමට තමයි මාව චිත්‍රපටි කරන්න ඉගෙන ගන්න එතනට දැම්මේ. මගේ කඩා වැටීමට පිළියමක් විදිහට. එහෙම නැතිව චිත්‍රපටි කරන්න මගේ කිසිම අදහසක් තිබුණේ නැහැ.
උසස් පෙළට විද්‍යා විෂයයන් කළ එක අපරාදේ කියලා හිතුණද?
අපෝ නෑ. ඒක තමයි මම අද ඉන්න තැනට පත් කළ ප්‍රධාන පදනම. මම සයන්ස් කරපු හින්දා උසස් පෙළට උපරිම කැප කළ හින්දා මට පස්සේ කාලේ එක දිගට පැය හයක් කියවන්න පුළුවන් වුණා. ඒ වගේම එතෙක් ලංකාවේ දේශපාලන පදනම වුණේ ආර්ට් ෆැකල්ටියනේ. මම සයන්ස් කරපු නිසා පසුකාලීනව මට පුළුවන් වුණා එතෙක් ආර්ට්ස් බේස්වෙලා තිබුණු ලංකාවේ වාමාංශික දේශපාලනය සයන්ස් බේස් කරන්න. ඒක යම් මට්ටමකට නලින් ද සිල්වා කළා. මම වෙන මට්ටමකට ඒක ගෙනාවා. විද්‍යාව දන්න කෙනෙක් හැටියට තමයි මම මේ වාමාංශික දේශපාලනයට ඇතුළු වුණේ.

සිනමා ගමනට මොකද වුණේ?

මම ඕ.සී.අයි.සී. සිනමා පෙස්ටිවල් එකට ගියහම තමයි මම දැනගත්තේ ධර්මසිරි බණ්ඩාරනායක කියලා කෙනෙක්ව. ඊට කලින් මම ඔහුව දන්නේ නැහැ. ඔය කෝස් එකේදී ඔහුගේ ‘හංස විලක්’ පෙන්නුවා. අන්න ඒ චිත්‍රපටය තමයි මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක. මම ඒ ෆිල්ම් එකට පුදුම විදිහට ආකර්ෂණය වුණා. මට හිතන්න පුරුදු කළේ ඒ චිත්‍රපටියයි. මම මාවම ප්‍රශ්න කරන්න ගත්තා. කසාදයද හරි විකල්ප සම්බන්ධයද කියන එක අපට තෝරගන්න සිනමාකරුවා ඉඩදීලා තිබුණා. පසුකාලීනව මම මේ චිත්‍රපටය ගැන විචාර දාහතරක් ලියලා තියෙනවා. ඊළඟට ඔහුගේ ‘තුන්වෙනි යාමයත්’ පෙන්නුවා. මගේ හිතීම පුළුල් වෙන්නේ ඔබ මුලින් අහපු පැනය. මම දැන් හිතනවා නම් දැනුම සොයා යෑමේ පිපාසාව මට ඇතිවුණේ ධර්මසිරිගේ ෆිල්ම් බැලුවට පස්සේ කියලයි මට හිතෙන්නේ.

ඔබ දැන් මේ ගමන යන්නේ හුදෙකලාවද රංචුවක් හිටියද?

අපේ පරපුරේ පසුකාලීනව චරිත බවට පත්වූ බොහෝ පිරිසක් මේ වැඬේදී මට හමුවුණා. සර්පයා, අනෝමා රාජකරුණා, සිරිමල් විජේසිංහ. තව ගොඩක් අය හිටියා. ඒ වගේම කියන්න ඕනෑ එතකොට මේ හැමෝම මට වඩා දේශපාලනික සත්වයෝ. මම ඕ.සී.අයි.සී. එකේ සිනමාව හදාරනකොට සර්පයලා ටිකොලෝ සාමාජිකයෝ. එතකොට මම අදේශපාලනිකයි. ඒ අය නිර්මාණ සංවාද කුලක පවා පටන් ගෙන පවත්වාගෙන යනවා.

ඔබ පොඩි කාලේ ඇට්ටරයෙක්ද?

ඔව්! මේකත් කියන්නම්කෝ. මම සිගරට් බොන්න පටන් ගත්තේ අවුරුදු දාහතරේදී. කොළඹ ඉස්කෝලට ආවම සිගරැට් බලෙන් පෙව්වා. හොරෙන් බ්ලූ ෆිල්ම් බලන්න පටන් ගත්තා. මම නාලන්දේ නිසා මරදාන මේවට තෝතැන්න හින්දත් මේවා එදිනෙදා සාමාන්‍ය වැඩ වුණා. මම ඒ කාලේම ‘ෆෝන්’ බලනවා. ඒ ගැන්සි බැහිල්ලෙන් මට වෙච්ච විපර්යාසය තමයි ලිංගිකත්වය පිළිබඳව වෙන මිනිස්සුන්ට තිබුණු කුතුහලය මට නැතිවුණා. සරලවම කියනව නම් මගේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට ගැහැනු කියන්නෙ ස්වභාවික සත්තුනේ. මට ඒක කල්චරල් එකක් වුණා. මම බය නැතිව කියනවා ඒ මම ‘ෆෝන්’ බලපු හින්දා. ඒ නිසාම මගේ ජීවිතේ කිසි දවසක මගේ දේශපාලන ව්‍යාපාරය ගැහැනු ශරීර නිසා පාවා දුන්නේ නැහැ.. ඒක මම කළේ මගේ දක්ෂතාව නිසා නෙමෙයි. ෆෝනග්‍රැෆි කියලයි මම විශ්වාස කරන්නේ. නිසි කලට නිසි වේලාවට ට ‘ෆෝනග්‍රැෆි’ මම බැලුවා. උසස් පෙළදි ඉරිගහ ගන්න බැරි වුණාට මේවා හරහා ජීවිතේට අවශ්‍ය ඉරි ටික ගහගන්න මට පුළුවන් වුණා. ඒ වගේම ‘ෆෝනග්‍රැෆි’ ඉංග්‍රීසියෙන් ගැට ගගහා කියවන්න පටන් ගත්ත නිසා ඉංග්‍රීසි ඉගෙනීමටත් ආස හිතුණා. ඒකෙන් තව වැදගත්ම දෙයක් වුණා. මේ දැනුම තමයි මට ජවිපෙ වගේ දේශපාලනයකට කොටු නොවන්නත් උපකාර වුණේ.

ඔබගේ පවුල් පසුබිම කොහොමද?

මම මධ්‍යම පාන්තිකයෙක්. තාත්තට හොඳ රස්සාවක් තිබුණා. ඒ වගේම තාත්තට හොඳ දැක්මකුත් තිබුණා. දෙවැනි පාරට කළා නම් මට දොස්තර හීනයට යන්න වුණත් තිබුණා. මම අතඇරියම ඒ අය බල කළේ නැහැ. අපේ තාත්තා ගුණසේන එකෙන් පොත් ගෙනල්ලා නිවසේ පුස්තකාලයක් හැදුවා. මට අවුරුදු 14දී ක්‍රිස්ටින් හීමර් ගෙදර යන්න වුණ සිද්ධියේ පොත මට කියවන්න දුන්නා. ඒකේ ලිංගිකත්වය ගැන තියෙනවා. ඒ වගේම ‘එමැනුවේල්’ කියවන්න කිව්වෙත් තාත්තා. මට ඒ නම කියලා තාත්තා කිව්වා මරදානේ පොත් කඩවල ඒ පොත් තියෙනවා. රස්තියාදු නොගහා අරන් කියවනවා. එතකොට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලේසියි කියලා. ඒ විතරක් නෙමෙයි අවුරුදු 21 ඉඳලා තිහ විතර වෙනකම් රස්සාවක් නොකර මම ගෙදරට වෙලා කියෙව්වේ. තාත්තා කන්න දුන්නා. ගෙදරින් වචනයක් කිව්වේ නෑ. ඒක මම ලබපු ලොකුම භාග්‍යයක්. ඒ කාලය තුළ හොඳටම ස්ටඩි කළා. මගේ අනෙක් මිත්‍රයන්ට උසස් පෙළ ඉවර වෙන කොටම රස්සා හොයා ගන්න වුණා. ඒ තරමට පවුල්වල ආර්ථික ප්‍රශ්න තිබුණා. මට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

දේශපාලන සත්වයා මුණ ගැසුණේ කොහොමද?

මෙහෙම තියෙනවා. මම සිනමාව පැත්තට ආවේ 82 ඉඳලා. එතන අවුරුදු තුනක් හිටියා. ඒ අය අපිට කිව්වා ඔයගොල්ලේ ජාතික සිනමාකරුවන් බවට පත්වෙනවා කියලා. මොකද ඒ අය 100% ණයකුත් දෙනවා චිත්‍රපටි හදන්න. ධර්මසිරිලා, පතිරාජලා මේ ණය අරගෙන චිත්‍රපටි හදනවා. මමත් හිතුවා දැන් මටත් ලැබෙනවා. මටත් චිත්‍රපටියක් කළ හැකි කියලා. පස්සෙදි තේරුණා එහෙම ලැබෙන්නේ නෑ කියලා. ඒක බොරුවක්. ඒක අපිම හදාගත්ත බොරුවක්. කවුරුවත් අපිට කිව්ව බොරුවක් නෙමෙයි. 86 විතර වෙනකොට අපිට තේරුණා එහෙම ජාතික සිනමාකරුවන් වෙන්න ලේසි නෑ කියලා. ඊළඟට මම කෙටිකතා ලිව්වා. නාට්‍ය දෙකක් කළා. ‘නිරුවත්’ සහ ‘ගොඩෝ’ කියලා. මේ ජවිපෙ දෙවැනි නැගිටීම සිදුවන කාලේ. ඒ කාලේ කවුද නාට්‍ය බලන්නේ. මගේ නාට්‍ය එහෙමම යට ගියා. ජීවිතේ ඔහේ ගලාගෙන ගියා. මගේ යාළුවෙක් හිටියා චිත්‍රාල් කියලා. එයා ක්‍රිස්තියානි කවුන්සලයේ හිටියේ. එයා කිව්වා මම කවුන්සලයෙන් සල්ලි ටිකක් අරගෙන දෙන්නම් සඟරාවක් පටන් ගන්න කියලා. ඒ සඟරාව තමයි ‘යාත්‍රා.’ ඒක කරද්දී මට හුඟක් සගයෝ සමීප වුණා. සර්පයයි, නිහාල් පිරීස්වයි එකතු කරගන්නත් මට පුළුවන් වුණා. එතනදි තමයි එතෙක් පැවති මගේ කලා විඥානය වෙනුවට දේශපාලන විඥානය ඇතුළු වුණේ.

මෙතනදී කියන්නම ඕනෑ දෙයක් තියෙනවා. ගොඩක් අය කියනවා රොහාන් තමයි මගේ මගපෙන්වන්නා කියලා. හැබැයි මම මුලින්ම ඬේරිඞ්ලා, ෆුකෝලා ගැන ඉගෙන ගත්තේ රොහාන්ගෙන් නෙමෙයි. නිහාල් පීරිස්ගෙන්. නිහාල් ඉගෙන ගත්තේ රොහාන්ගෙන් වෙන්න පුළුවන්. මම ඉගෙන ගත්තේ නිහාල්ගෙන්. එතකොට මම රොහාන්ව දන්නෙත් නෑ. ඒකට සාක්ෂි තියෙනවා. මොකද සර්පයා මේ හැමදේම දන්නවා. නිහාල් තමයි මට කියන්නේ බි්‍රටිෂ් කවුන්සිල් එකට ගිහිල්ලා මේ මේ පොත් අරගෙන කියවන්න කියලා. ඊට පස්සෙයි රොහාන් ‘යාත්‍රා’ සඟරාවට එන්නේ. ඒ එනවට නිහාල්, සර්පයා දෙන්නම කැමති වුණේ නැහැ. ඒ මොකද ඒ අය ඊට කලින් රොහාන්ව ආශ්‍රය කරලා ටිකක් මට්ටු වෙලා හිටියේ. මනුබන්දුයි රොහාන්වත් ගමු කියලා ඒ ඉඩ හැදුවේ. එහෙමයි රොහාන් ‘යාත්‍රා’ වට ගොඩවුණේ. ඒ ඇවිල්ලා මාත් එක්ක සෑහෙන්න සමීප වුණා. ඔහු කිව්වා ‘කලාවෙන් බැහැ ජීවිතය වෙනස් කරන්න ජීවිතය වෙනස් කරන්න පුළුවන් දේශපාලනයෙන්’ කියලා. මම ඒ වදන්වලට ආකර්ෂණය වුණා. දේශපාලනයට ලොකු නැඹුරුවක් මට එන්නේ ඔහු හරහා. හැබැයි මම දේශපාලනයට යොමුවෙන්නේ බුද්ධිමය සංස්කෘතියක් ඇතුළේ. මට එකක් කියන්න ඕනෑ. ඒ කාලේ බොහෝ තරුණයෝ මරලා පාරේ දාලා පුච්චනවා. මම ඒකට හේතු හොයනවා. මම මගෙන්ම අහපු දෙයක් තමයි ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඒ මොකද පිටරටවල මේ විදිහට මිනිස්සු පුච්චනවා විතරක්ම නෙමෙයි ඒ අය විප්ලව දිනනවා. ඒ විදිහට රුසියන් විප්ලවය දිනනවා. නිකරගුවන් විප්ලවය දිනනවා. හැබැයි ලංකාවේ විප්ලවය දිනන්නේ නෑ. මැරෙනවා විතරයි. එතකොට මම මේ ප්‍රශ්නය මගෙන්ම අහනවා. මැරෙනවා විතරයි දිනන්නේ නැත්තේ ඇයි කියලා. ඒ නිසා මගේ යොමුව ආවේ මුට්ට කරගහන අරවා මේවා පැත්තට නෙමෙයි. ඒ වගේම විප්ලවය මතුරමින් එක එක අය ළඟට ගිහින් විප්ලව වාද කරලා ඒ කෙනාගේ ඔළුවට මනස්ගාත ඇතුළු කරලා ඔළුව ලෙඩ කරන එක නෙමෙයි කළයුත්තේ කියලා මටම තේරුණා.
ඒ වගේම මතක් කළ යුතු දෙයක් තියෙනවා. මේ දේශපාලනය හොයාගෙන යනකොට මගේ පන්තියෙන් උරුම නොවුණ ලංකාවේ විප්ලවවාදී දේශපාලනය කරන පහළ මැද පන්තිකයන්ගෙන් උරුම වුණ බෝ වුණ තදබල කාරණා දෙකක් මා තුළත් තියෙනවා. එකක් තමයි කුණුහරුප කීම. මොකද මේ විප්ලවවාදී දේශපාලනයේ වැඩිපුරම කතා කරන්නේ කුණුහරුප. ඒක මම හොඳට පුරුදු වුණා. අනෙක තමයි ‘අළුහම්’ මොකද අපි සහෝදරයෝ විදිහට එකට ගැටි ගැටී පුදුම මිත්‍රශීලී වගේ වැඩ කරන්නේ. ඉතින් ඒ ‘අළුහම්’ ටිකත් මට බෝවුණා. ඔය දෙක ඇරුණු කොට ඒ අයගෙන් මට උරුම වුණු දෙයක් නැහැ. හැබැයි කුණුහරුපයි, අළුහමුයි දීලා ඒ අය මගෙන් බුද්ධිමය ඥානය ගත්තා. ඒකත් කියන්නම ඕනෑ.

රොහාන්ගේ හමුවීමට එමු.

එමු. ඊට කලින් කියන්න ඕනෑ ගොඩාක් මිනිස්සු තමන්ගේ මුල කියන්නේ නැහැ. මම මුල කියනවා. මට වෙලා තියෙන වැරැද්දත් ඒකම තමයි. මොකද ඒ නිසා පසුකාලීනව මම මහන්සිවෙලා හොයා ගත්ත ඒවත් රොහාන් හොයාගත්ත දේවල් බවට පත්වෙලා තියෙනවා. මොකද මට තරහාකාරයෝ වැඩියි. රොහාන් පෙරේරාගෙන් මට යම්කිසි පෙළඹවීමක් ආවා. තල්ලුවක් ලැබුණා. හැබැයි හැදෑරීම මගේ. ඒ නිසා ඉතා පැහැදිලිවම කියන්න ඕනෑ මේ වැඬේ මගේ. එහෙම නොවුණා නම් රොහාන් එක්ක වැඩ කළ මිනිස්සුත් මම වගේ වෙන්න එපැයි. මට වඩා ඉස්සරහට යන්න එපැයි. කොටින්ම රොහාන් මට වඩා ඉස්සරහට යන්න එපැයි. එහෙම වුණේ නැහැනේ. රොහාන් හරහා මට ලැබෙන්නේ ‘ඉන්ඩෙක්ස් එකක්. කාවද කියවන්න ඕනෑ කියලා. මොකද රොහාන් දෙන පොත්වල මම ‘සුචිය’ කියවනවා. ‘රෙෆරන්ස්’ බලනවා. ඒවට මම ලියා ගන්නවා. ලියාගෙන ඒ පොත් ගෙන්න ගන්නවා. මේ බෙහෙත් වට්ටෝරුව මමම හදාගෙන කොටාගෙන බිව්වා මිසක් මට කවුරුවත් පෙව්වේ නැහැ. හැබැයි මම මට බෙහෙත් හොයන්න උදව් කළ අයගේ නම් කිව්වහම ගොඩක් අය ඒ අය මගේ වෙදා කළා එහෙම දෙයක් නෑ. මේක මම ගිය ගමනක්. කවුරුවත් අතින් අල්ලගෙන එක්ක ගිය ගමනක් නෙමෙයි.

තව දෙයක් මේ කාලේ රොහාන්ට මරු වැඩක් වෙනවා. මට නාට්‍ය කණ්ඩායමක් හිටියා, පානදුර නාට්‍ය කණ්ඩායම කියලා. ඒක ඇත්තටම එක්ස් කණ්ඩායමට ඉස්සර වෙලා තිබුණ කණ්ඩායම. එතන හිටියා විසිතුන් දෙනෙක්. රොහාන් මාත් එක්ක සමීප වුණහම මම මේ කණ්ඩායම රොහාන්ටත් හඳුන්වලා දුන්නා. රොහාන් මොකද කළේ ඒ අයව මගෙන් ගලවලා එයා ළඟට ගත්තා. එතකොට රොහාන්ට මරු වැඬේ වුණේ. රොහාන් නොහිතපු ආතල් අර අය රොහාන්ට දෙන්න ගත්තා. ඒ වෙනකොට රොහාන් ස්ටඩි කරමින් හිටපු සියල්ල අර ආතල් එක්ක අයින් වෙලා. රොහාන් මේ ආතල් එකට වහල් වුණා. කල්‍යා, හරිනිලා රොහාන්ව වෙනස්ම කළා. වතුර පනිට්ටු හැත්තෑවක් විතර නාවන මට්ටමට ආවා. ගෙවල්වල අරගෙන ගිහිල්ලා බුදි කරගන්න මට්ටමට ආවා. ඒ අය ෆුල්ම ආතල් එකක් ගත්තා. ඒ කාලේ මම හොඳට හැදෑරුවා. හැමදාම මගේ ළඟ අය කඩාගෙන යන එකෙන් මට වුණේ වාසියක්. මොකද ඒ හුදෙකලාව පීඩාව මාව තව තවත් හදාරන්න තල්ලු කළා.
එක්ස් කණ්ඩායම කැඩිලා යනකොටත් එහෙමයි. මේ විදිහට කඩාගෙන යන අය මට එළියේ බැන බැන හිටියා මිසක් මට මොකද ඊළඟට වුණේ කියලා හෙව්වේ නෑ. ඒක මට වෙච්ච ලොකුම වාසිය. මම මොකද කළේ මේ පීඩාවෙන් කඩා වැටීමෙන් මිදෙන්න මාව තව තවත් ශක්තිමත් කළා. ඒ වෙනුවෙන් නොසෑහෙන්න මහන්සිවෙලා හැදෑරුවා. තවමත් එහෙමයි. මගෙන් අත ඇරුණු හැමෝටම තිබුණේ මාත් එක්ක දේශපාලන ප්‍රශ්න නෙමෙයි. ඒක මම අවබෝධ කරගත්තා. වම තේරුම් නොගත්ත මම තේරුම් ගත්ත තැන එතන. වමේ අය කණ්ඩායම් දෙකට කැඩෙන කොට ඇයි එහෙම දෙකඩ වුණේ කියලා පතරංග පොත් ලියනවා. සමසමාජ පක්ෂය පාවා දුන්නේ කොහොමද වගේ. මට නම් කියන්න තියෙන්නේ ඕක ඔය තරම් සීරියස් ගන්න එපා. ඒක ඔයතරම් සංකීර්ණ නෑ. මේ කඩායෑම් තුළ තියෙන්නේ ආත්මීය ප්‍රශ්න ටිකක්. 2004දී මගේ කණ්ඩායම කඩාගෙන යන තෙක්ම මගේ හැදෑරීම වෙලා තිබුණා. ප්‍රධාන චරිතය මාක්ස්. මාක්ස් තමයි මගේ පදනම වුණේ. ඔහුගේ පාඨ තමයි එතකොට මගේ ප්‍රබලම වැඩ.

ඒත් කඩාගෙන යෑමේදී මට තේරුණා ආසියාවේ මිනිසුන්ව කන්ට්‍රෝල් කරන කොට මාක්ස් දුරයි කියලා. මොකද මාක්ස් වාස්තවික ලෝකයනේ කතා කරන්නේ. කම්කරුවාව ඕගනයිස් කිරීම තමයි ඔහු කරන්නේ. ඒකනේ කීර්ති බාලසූරිය කියන්නේ ‘ජවිපෙ ඕගනයිස් කළේ ග්‍රාමීය පීඩිතයව මිසක් කම්කරුවා නෙමෙයි කියලා. ඒකයි විප්ලවය පැරදුණේ කියලා. එයා හරි මමත් කළේ ග්‍රාමීය පීඩිතය ඕගනයිස් කරපු එකම තමයි. එක්ස් කණ්ඩායමේ හිටියෙත් එක්කෝ කුලය, අධ්‍යාපනය, ආර්ථිකය මොකකින් හරි පීඩා වෙච්ච අය. මම කළේ මේ කැලේ හිටපු අය කොළඹට ගෙනල්ලා ෆුල් පොලිෂ් කරපු එක. සර්විස් සෙන්ටර් එකට දාලා, ඔයිල් මාරු කරලා ඇණ තද කරලා ගත්ත එකනේ. මම ජවිපෙට වඩා වෙනස්. මම මොකද ඒ තැන්වල හඩුවෙලා හිටපු අයත් මම කොණ්ඩ කපලා, නියපොතු කපලා සම්පූර්ණ වෙනස් කළා. සමහරු මම ළඟට එනකොට කලිසම ඇන්දේ පපුවට. මම තමයි ඒක ඉන ළඟට ඇන්දුවේ. දැන් ඉන ළඟට කලිසම ආපු විදිහ ගොඩක් අයට මතක නෑ. මේ වල්පල් කිව්වේ මේ අතහැරීම් එක්ක මම තේරුම් ගත්තා ආසියානු මිනිසාව වෙනස් කරනවා කියන්නේ යුරෝපීය මිනිසාව ප්‍රබුද්ධත්වයත් එක්ක වෙනස් කරපු ව්‍යාපෘතිය නෙමෙයි, ඊට වඩා ආත්මීය කාරණයක් කියලා. එතනදී තමයි මම හේගල්ට හැරෙන්න නැතිව මම මාක්ස්ගෙන් හේගල්ට හැරෙන්නේ මගේ වෙන ප්‍රශ්නයක් හින්දා නෙමෙයි.
ඔබ මේ කතාබහ තුළ මගෙන් ඇහැව්වා ඔබ මේ දේවල් කළේ දැනුවත්වද කියලා. මට කියන්න තියෙන්නේ ඒ පැනයට මෙන්න මේ හරියට එනකොට මම හොඳට දැනුවත්ව වැඩ කළේ. මම චිත්‍රපටිවලට ගියේ හිතලා මතලා නෙමෙයි. හැබැයි හේගල්ට හැරෙනකොට හොඳට හිතලා මතලා හැරුණේ.

ඉතිරි කොටස ලබන සතියට…..