රාවය

අතීතකාමයකුත් දැවටුණු රිද්මට මම කැමතියි – ප්‍රියලාල් කොග්ගලගේ

අතීතකාමයකුත් දැවටුණු රිද්මට මම කැමතියි – ප්‍රියලාල් කොග්ගලගේ

දිනී ජයසේකර

කවිය සෞන්දර්යාත්මක සංරචකයක් මෙන්ම සමාජීය සංරචකයක් ලෙස ද භාවිත කළ හැකිය. මේ පිළිබඳව ඔබ දරන අදහස?

කවිය යනු භාෂාව නම් ප්‍රපංචයේ අහඹු ගැළපීමක්. මම කවිය නිර්වචනය කරන්න කැමති එහෙමයි. එතනදි වැදගත්ම දේ තමයි ගැළපීම. ගැළපීම තුළින් තමයි ශබ්ද රසයත්, අර්ථ රසයත් ඇතුළු කවියක ගුණාංගයන් ඉපැදෙන්නේ. ඔය කියන ගැළපීම නිර්මාණකරුවෙකුගේ මනස තුළ මතුවෙන ක්ෂණික සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල තමයි කවියක මූලබීජය වෙන්නේ. ඒ ක්ෂණික සිතුවිල්ල කවියා විසින් ඉච්ඡානුගතව ඇතිකර ගන්නක් නෙමෙයි. ඒක අහම්බයක්. ඒ අහඹු ගැළපීම කවියක් දක්වා රෝපණය කිරීම නිර්මාණකරුවාගේ ශක්‍යතාවයි. අවසානයේදී කවිය කියන්නෙත් භාෂාව නම් ප්‍රපංචයෙන් ව්‍යුත්පන්න වුණු තවත් ප්‍රපංචයක්. ප්‍රපංචයක් සංරචකවලට බෙද බෙදා වෙන්කරන්නට උත්සාහ කිරීම අර්ථ ශූන්‍යයි.
කවිය ලෙස රසවිඳිනවා මිස බෙදා වෙන්කරගත් සංරචකවල දෘෂ්ටිවාද ඔස්සේ විච්ඡේදනය කිරීමට යාම නිෂ්ඵලයි.
ඕනෑම කලාවක් ස්වභාවයෙන්ම සෞන්දර්යාත්මකයි. මම විශ්වාස කරන්නේ කලාව කියන්නේ නිදහස් වීමක්. ඒක ආත්මාර්ථකාමී දෙයක්. කලාකරුවෙක් කලාවෙහි යෙදෙන්නේ පළමුව තමන් වෙනුවෙන්. තමන්ගෙ නිදහස් වීම වෙනුවෙන්. කවියක් ලිවීමේදීත් පළමුව කවියා තමන් තුළ වූ යම් පීඩනයකින් නිදහස ලබනවා. එම කවියම කියවන සහෘදයෙකු තුළ ද එවැනිම නිදහසක් ජනිත කළ හැකිනම් එය කවියාගේ ශක්‍යතාවයි. කවියේ පළමු සමාජ කාර්යභාරය එයයි. කවිය තුළින් සමාජයීය කාර්ය භාරයක් ඉටුකළ හැකි නමුත් සමාජයීය කාර්යභාරයක් උදෙසාම කවි ලියවිය යුතු නෑ. කවියේ පළමු කාර්යභාරය කවියා නිදහස් කිරීමයි.
සාහිත්‍යය විෂයක් ලෙස හැදෑරීමේ දී කවිය විවිධ සෞන්දර්යාත්මක රීතීන් ඔස්සේ විචාරයට ගතයුතු වෙනවා. එහෙත් සෞන්දර්යාත්මක රීතීන් තුළම පමණක් සිරවූ කවිය පසුගිය දශක කිහිපය තුළදී ප්‍රතික්ෂේපව තිබෙනවා. සෞන්දර්යාත්මක රීතින්ට අනුගත නොවුණත් සහෘදයා තුළ යම් තිගැස්මක් ඇති කළ හැකි, සහෘදයා තුළ යම් ස්වයං සංවාදයක් ගොඩනැගිය හැකි කවි වර්තමානයේදී සිය පැවැත්ම තහවුරු කරගෙන තිබෙනවා. ඒත් සෞන්දර්යාමක ගති ලක්ෂණ ද රැකගෙන පාඨක මනස තුළ යම් අකුණු සැරයක් නැංවීමට නිර්මාණකරුවා බුහුටි විය යුතුයි.

කවියෙහි නූතන ඉම් පෙදෙස් ගවේෂණය කෙරෙහි ඔබේ ඇස යොමු වී තිබෙන්නේ කෙසේද?

ඉහත කී පරිදි මම කවිය භාවිත කරන්නේ නිදහස් වීමේ මෙවලමක් විදිහට. මම කැමතියි නිදහස් වීම නිදහසේ කරන්න. කවිය මගේ වෘත්තියවත්, මගේ නිබන්ධනයකට අදාළ විෂය ධාරාවවත් නෙවෙයි. ඒ නිසා “කවියෙහි නූතන ඉම් පෙදෙස් ගවේෂණය” වගේ භයානක දේවල් මම කරන්න උත්සාහ කරන්නේ නැහැ. කුටුම්භගත සත්ත්වයෙක් විදිහට මම මේ කාලයේ ගවේෂණය කරන්නේ මගේ වෘත්තීය ක්ෂේත්‍රයට අදාළ විෂය කරුණු පමණයි. ඒත් ලැබෙන හැම ඉඩකම පැරණි හා නූතන කාව්‍ය නිර්මාණ පරිශීලනයෙහි යෙදෙනවා. ඒ රසවින්දනය හා නිදහස් වීම උදෙසා පමණයි.
එහෙත් මෑතකාලීනව මං නිරීක්ෂණය කරපු එක දෙයක් තියෙනවා. ඒ තමයි පහුගිය කාලයේ දී මෙරට පැතිර ගියපු ප්‍රවණතාවක් තමයි සිංහල රැප්. සිංහල රැප් ජනප්‍රිය වෙනවත් එක්කම දක්ෂ රැප් නිර්මාණකරුවන් කිහිප දෙනෙකුම කරළියට ආවා. ඒත් බහුතරයක් අවර ගණයේ රැප් නිර්මාණවල යෙදුණු නිසා සිංහල රැප් ගැන සමාජයේ ඇතිවුණේ යහපත් ආකල්පයක් නෙමෙයි. ඕනිම දේක අවභාවිතාව ඉස්මතු වෙනවා වැඩියි. ඒත් සමහර සිංහල රැප් අහද්දි ඒ රැප්වල තියෙන සමහර යෙදුම්, වචන ගැළපීම් ඉතා ප්‍රශස්ත මට්ටමක තිබුණා. ප්‍රකාශනය වෙනස් වුණත් සිංහල රැප් තුළ තියෙන්නෙත් කවියම තමයි. සංස්කෘතික හා සමාජයීය වෙනස්වීම් එක්ක කවිය, සිංහල රැප් බවට සම්ප්‍රේෂණය වෙමින් තියෙනව වෙන්න පුළුවන්. ශිෂ්ටාචාරය තමන් යන ගමනෙදි කලාව අත්හරින්නේ නෑ. කලාව අනුවර්තනය කරගන්නවා විතරයි. කවිය ෆේස්බුක් මාධ්‍යය තුළ ද නොනැසී පැවතීම ඒකට තවත් හොඳ උදාහරණක්.

ඔබ අනුයන කවියෙහි ආකෘතික පාර්ශ්වය කුමක්ද?

යම් සංකල්පනාවක් ප්‍රකාශ කළ හැකි හොඳම ආකෘතිය තෝරාගැනීම, පළමුව ආකෘතියක් තෝරාගෙන ඒ අනුව නිර්මාණකරණයේ යෙදීමට වඩා යෝග්‍යයි කියල මම හිතනවා. පෞද්ගලිකව මම කැමතියි කවිය තුළ රිද්මයක් පවත්වගන්න. ඒක කවිය ගොඩනැංවීමේ දී පහසුවක්. කුඩා කාලයේ කවිය කියන එක මගෙ ඔළුවට කාවදින්නේ සඳැස් හරහා. කේයස්, කුඩලිගම, කුමාරගම මගේ ප්‍රියතම කාව්‍ය රචකයන්. ඒ නිසා පොඩි අතීතකාමයකුත් එක්කම සඳැස් ආකෘතියෙන් ලියැවෙන කවි හරහා මං වැඩි නිදහසක්, තෘප්තියක් ලබනවා.