රාවය

වෛෂ්ණාවී – සුමිත්‍රා පීරිස් නවතම සිනමා කාව්‍යය

වෛෂ්ණාවී – සුමිත්‍රා පීරිස් නවතම සිනමා කාව්‍යය

සම්පත් බණ්ඩාර

‘වෛෂ්ණව’ යනු විෂ්ණු භක්තිකයා, විෂ්ණු දෙවියන් අදහන පුද්ගලයා යන අරුත් දනවයි. ‘වෛෂ්ණාවී’ යනු විෂ්ණු බැතිමතිය, විෂ්ණු දෙවියන් වෙනුවෙන් කැපවූ තැනැත්තිය යනුයි. එක්තරා නවමු සිනමා අත්දැකීමක් අප වෙත සමීප කරන ‘වෛෂ්ණාවී’ සුමිත්‍රා පීරිස්ගේ නවතම සිනමා කාව්‍යයයි.
මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම සිනමා අධ්‍යක්ෂවරයා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 99 වැනි ජන්ම දිනය වෙනුවෙන් තිරගත වූ වෛෂ්ණාවී 1978 වසරේ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි සුමිත්‍රා පීරිස්ගේ සිනමා අදියුරු දිවියේ හතළිස්වන වසරද, දෙලොවක් අතර (1967) සහ ගම්පෙරළිය (1968) චිත්‍රපට ද්විත්වයෙන් සංස්කාරකවරියක් ලෙස සිනමාවට පිවිසි ඇගේ සිනමා දිවියේ අඩ සියවස සම්පූර්ණවීමද, සුගතපාල සෙනරත්යාපාගේ ‘හන්තානේ කතාව’ තුළින් කැමරාකරණයට පිවිසී වෛෂ්ණාවී චිත්‍රපටයේ නවීනතම Red Epic (4l) ඩිජිටල් කැමරාවක් භාවිත කළ අපට සිටින ප්‍රවීණතම කැමරා ශිල්පියකු වන ඩොනල්ඞ් කරුණාරත්න මේ වසරේ සිය සිනමා මාවතේ පනස්වැනි සැතපුම් කණුව පසුකිරීම මේ සමග ඈඳෙන විශේෂ සිද්ධීන්ය.
වෛෂ්ණාවී තුළින් දිග හැරෙන්නේ 1930 දශකය පසුබිම් කරගත්, දකුණුලක ගැමි පරිසරයේ රූගත කරන ලද ප්‍රේමය තේමා කොටගත් කතා ප්‍රවෘත්තියකි. මිථ්‍යා විශ්වාස, ඇදහිලි, බලි තොවිල් චිත්‍රපටය පුරා ගලා ගියද, එහි නිර්මාණාත්මක ගුණය නොනසා, නරඹන්නන් වෙහෙසට පත් නොකර ඇද බැඳ ගැනීමට අධ්‍යක්ෂවරිය සමත් වී ඇති බව පැවසිය යුතුය. නළු නිළියන් තෝරා ගැනීමේදීද, ඔවුන් මෙහෙයවීමේදීද, ඇය සිය සුපුරුදු බුහුටිකම විදහා දක්වයි.
චිත්‍රපටයට උචිත ලෙස යොදාගෙන ඇති ප්‍රවීණ සංගීතඥ නිමල් මෙන්ඩිස්ගේ (1934-2015) සංගීත අධ්‍යක්ෂණය සිනමා වියමනට ආලෝකයක් වී ඇත. උචිත අවස්ථාවන්හි ‘නිහඬ බව’ ද එක්තරා සංගීතයක් බව නිමල් මෙන්ඩිස් අපට පසක් කර දෙයි. හදවත්හි රැඳෙන ගීත කිහිපයකම (‘නිම්හිම් සෙව්වා මා සසරේ’) – ආචාර්ය, පණ්ඩිත් අමරදේව, ‘මාස්ටර් සර්’ – ‘නීලා වික්‍රමසිංහ, ‘ගඟ අද්දර මා’ සහ ‘රන් ටිකිරි සිනා’ (විජය කුමාරතුංග) ස්වර රටා නිර්මාණය කළ නිමල් මෙන්ඩිස් (මේ සියල්ල චිත්‍රපට පසුබිම් ගීතය) හෙළ සිනමාව හිතාමතාම අමතක කළ, නැතහොත් කලාව පුරා සැරිසරන අදෘශ්‍යමාන මාෆියාවන් විසින් විනාශ කළ කුසලතාපූර්ණ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු බව ‘වෛෂ්ණාවී’ යළිත් අපට පසක් කරයි. සුමිත්‍රා පීරිස් නිමල් මෙන්ඩිස්ගේ නිසඟ ප්‍රතිභාව විනිවිද දුටු චිත්‍රපට අධ්‍යක්ෂවරියයි.
‘ගැහැනු ළමයි’ චිත්‍රපටය තුළින් වසන්ති චතුරානි සිංහල සිනමාවට දායාද කළ සුමිත්‍රා පීරිස් වෛෂ්ණාවී තුළින් අපට හඳුන්වා දෙන්නේ සමාධි අරුණචායාය. තිස්සමහාරාමය වැනි දුර බැහැර ප්‍රදේශයක සිට ක්ෂේත්‍රයට පැමිණි ඇය මෙහි ‘රුචිරා’ චරිතය තුළින් ඉතා හොඳ රංගනයක යෙදෙයි. සිය කුළුඳුල් සිනමා රංගනය තුළින්ම සිංහල සිනමාවේ ඇති යොවුන් නිළියකගේ රික්තකය පිරවීමට නිවැරදි මාර්ගෝපදේශයක් තිබේ නම් ඇයට යම් හැකියාවක් තිබෙන බව මෙහිදී ඇය ඉඟි පළ කරන්නීය.
චිත්‍රපටයේ පසුබිම් දර්ශන එය පසුබිම් වී ඇති යුගයට ගැළපෙන සේ යොදාගෙන තිබේ. එහෙත් ඇමරිකාවේ නිෂ්පාදිත නවතම ඩිජිටල් තාක්ෂණයෙන් සමන්විත (Red Epic) 4K (දැන් 8K කැමරාද වෙළෙඳපොළට පැමිණ තිබේ.) කැමරාව තුළින් මීට වඩා ස්වභාවික දර්ශන සජීවී ලෙස යොදා ගනිමින් චිත්‍රපටය තවත් වර්ණවත් කිරීමට ඉඩ ප්‍රස්තා තිබූ බව මගේ අදහසයි.
චිත්‍රපටයේ සියලුම චරිත සිය උපරීම සාධාරණය ඉටුකිරීමට උත්සුක වී ඇත. රුක් දේවතාවියගේ (වෛෂ්ණාවී) චරිතය නිරූපණය කරන යශෝධා විමලධර්ම එම චරිතයේ සීමිත රංගන පරාසය තුළ වුවද උපරිම ප්‍රතිභාවක් ප්‍රකට කරයි. සිය රංගන කෞශල්‍යයන් ප්‍රකට කිරීමට තරම් තවමත් පූර්ණ අවස්ථාවක් නොලද, සිය නිසඟ කුසලතා තවමත් සඟවාගෙන සිටින රංගන ශිල්පිනියක් ලෙස යශෝධා හැඳින්විය හැකිය.
සිය ඥාති සොයුරියගේ සැළමුතු ප්‍රේමය අවබෝධ කරගැනීමට අපොහොසත් වන ඔසඳ (තුමිඳු දොඩංතැන්න) රුක් දේවතාවියගේ දිව්‍යමය ප්‍රේමයද නොහඳුනයි. රූකඩ සමග දොඩමළු වන රූකඩවලට පෙම් බඳින අතිශය සංවේදී චරිතයක් වන ඔසඳ යෞවන ප්‍රේමයට සංවේදී නොවේ. චිත්‍රපටයේ එන කෘත්‍රිම සැඩ මාරුතය, ගෘහ භාණ්ඩ එහා මෙහා චලනයවීම, නිවසේ සිටින බළලාගේ සහ ගිරවාගේ මරණය චිත්‍රපටයට අනවශ්‍ය දර්ශන ලෙස හැඳින්විය හැකි අතර, මේ සිද්ධි තුළින් වෛෂ්ණාවී නම් ප්‍රේමණීය චරිතය කුරිරු මන්ත්‍රකාරියක් බවට පත් කරයි. එම දර්ශන සමූහය චිත්‍රපටයේ කාව්‍යමය ගලායෑමටද බාධාවක් වී ඇති බව පැවසිය යුතුය.
ප්‍රේමය දිව්‍යමය බවද, ආධ්‍යාත්මික බවද පවසන්නේ රුක් දේවතාවියයි. මිනිස් ලෝකයෙන් පිවිතුරු ප්‍රේමයක් නොලබන ඇය ආපසු මහ වෘක්ෂයක් වෙතම පලා යයි. මිනිස් සිත් සතන් තුළින් ප්‍රේමය, සහෝදරත්වය, අනුකම්පාව, කරුණාව, සංහිඳියාව පලා යමින් තිබෙන යුගයක අවසානයේ ප්‍රේමය ශේෂ වන්නේ දෙව් බඹුන් අතර පමණක් දැයි වෛෂ්ණාවී අපෙන් විමසයි.
ඡායාරූප : අන්තර්ජාලය