රාවය

තෝරු මෝරු හාල්මැස්සෝ…..

තෝරු මෝරු හාල්මැස්සෝ…..

ශාන්ති දිසානායක

කඩ මිදුලේ නවත්වන ලද බයිසිකලයෙන් බසින මිනිසා දෙස බලන්නට ඇය උත්සුක නොවූවාය. කඩපිලෙහි හිඳගත් වේලේ පටන් ඇගේ ලොකු ඇස් නැවතී තිබෙන්නේ ඉහළ ආකාශය මතය. ඉරක් හඳක් තබා තරුවක්වත් දකින්නට නැතත් ඒ මේ අත පාව යන සුදෝ සුදු වලාකුළු ඇගේ ළමා සිත චමත්කාරයෙන් පුරවාලයි.
ඇතැම් වලාකුළකට කිසිදු හදිස්සියක් නැත්තේය. එහෙත් ඇතැම් වලාකුළු වේගයෙන් පාව යයි. හැඩයද පැහැයද වටින් විට වෙනස් කරමින් නොනවතින සක්මනක නිරත වලාකුළු දෙස බලා ඉන්නා කෙල්ල කෙරෙහි කඩයට එන යන උදවිය කිසිදු අවධානයක් නොදක්වති. ලාච්චුවත් කඩ බක්කියත් තරාදියත් අතරේ දුව පනින මිනිසාට නම් ඇය ඔහේ උඩ බලා ඉන්නා නිකම්ම නිකම් ගං ගොඬේ කෙල්ලක නොවේ. ඇය වෙත ඉඳහිට යොමුවන ඔහුගේ දෙඇස ආදර කරුණාවෙන් පිරී යයි. එහෙත් ඔහුගේ ගැබ්බර බිරින්දෑ නම් කෙල්ල කඩපිලේ ලැග ඉන්නවාට කොහෙත්ම කැමති නොවෙයි
“ගල් පිළිමෙ වාගේ මොනවා බලං ඉන්නවද මංදන්නෑ… වෙලාවක පෑහෙනවා කඬේට එන කෙනෙක්ට. ඇයි ඉතිං උදේ වරුවම ඔතන නේ… කෙල්ලෙක් හැදෙන හැටි නං ගන්ඩ දෙයක් නෑ…. වත්ත පහළට ගියත් ඉතිං ගහක් මලක් කුරුල්ලෙක් එක්ක කතාව…. අප්පේ මොන නැකතිං උත්පාද වුණාද දෙයියො තමයි දන්නෙ…. එක්කො මේකා වටකර ගහක් ගලක් ගෙයක් ගානෙ ගාටනවා.. එහෙම නැත්තං කූඹියෙක් පණුවෙක් එක්ක හරි බිම වැටීගෙන කතාව… ළමයිනුත් දැක්කා. මෙහෙම ළමයෙක්නං දැකලා නෑ උපන් හැටියකට….”
අම්මාගේ ආඩපාලිය නොඉවසන්නා වාගේ ඉදිරියට නෙරා ආ උදරයේ සැඟව වැඩෙන කළලය පයින් අනියි.
“බඩ ඇතුළෙ ඉන්නෙත් ආයෙ එසේ මෙසේ එකෙක් නෙමේ. පයිං ගහනවා කොච්චරවත්…”යි ඇය නූපන් බිලිඳාටද දොස් පවරන කල දඩිබිඩිය අස්සේම වුව තරුණ සැමියාට සිනා පහළ වේ. ඒ සිනා ඇබින්ද අතුරුදන් කරන්නේද ඔහුගේම ලෙයයි. එක බඩවැල කඩාගෙන ආ එක කුසේ උපන් සහෝදරයාය.
සහෝදර ප්‍රේමයෙන් නොව රා අරක්කු මතින් අවසඟව දෙපා මත වැනෙමින් ඔහු “අඩෝ…. අඩෝ මුදලාලියා”යි බෙරිහන් දුන්නේය.
වලාකුළු කුමාරයාද කුමාරිකාවද අශ්වයාද ඉහිල්ව ලිහිල්ව විසිර ගියේ ඒ උච්ච ස්වරයෙන්දැයි නොදත්තේමුත් කෙල්ල හැරී බැලුවාය.
“කොයි යකෝ මේ මහ ලොකු මුදලාලියා?”
කැෂියර් මේසයට තාත්තා හිරකොට තෙරපා ගත් අම්මා “යන්ඩෙපා… අනේ යන්ඩෙපා….යි” කෑගසන අයුරුද කෙල්ල දුටුවාය.
එක් අතකින් ලාම්පු තෙල් බෝතලයද අනෙක් අතින් ජංගියද අල්ලා ගත් කුඩා පාරිභෝගිකයා මේ හදිසි සතුරු ආක්‍රමණයෙන් කොතරම් තැති ගත්තේද කිවහොත් වහා කටේ ඔබාගත්තේ ජංගිය අල්ලාගෙන හුන් අතේ ඇඟිල්ලකි. ඒ සැණින් ඒ අතේ ආධාරයෙන් මෙතෙක් වේලා ඉනේ රැඳුණු ජංගි පොඩිය හදිසියේ පණ ලද අද්භූත සත්ත්වයෙකු පරිද්දෙන් දෙපා දිගේ පහළට රූටා වැටිණ. කළුම කළු තට්ටම නොව පොඩිම පොඩි හපුයියා දැකගත් කෙල්ල දෑස නොව දෑතින්ම කට වසා ගත්තාය. ඇඟට පැන හපාකන තරමට ඒ සීතලෙන් හැකිලුණු අවලස්සන හපුයියා නපුරු බව ඇයට කියා දුන් අම්මා තවමත් තාත්තාගේ ඇඟේ එල්ලුණු හැටියේය.
“දුවපිය පරයා…”යි බාප්පා කඩා පැන්නේ අන්ත අසරණ වූ හෙළුවැලි කොල්ලා වෙතටය.
අනෙක් අතින් දැඩිව අල්ලා ගත් බෝතලය ගිලිහී වැටුණේද නැතහොත් හිතාමතා බිම අතහැර පහතට නැඹුරු වී ජංගිය ඉහළට ඔසවා ගත්තේදැයි නිශ්චය කරගන්නට කිසිවෙකු සමත් නොවූවා නිසැකය.
“දුප්… දුප්… …… …
ලාම්පු තෙල් ගන්ධය ඉතිරි කොට කොල්ලා පැන දිව්වේය. ඉනික්බිති එක් කුසේ උපන් එකාගේ රතැස් දුටුවේ තවමත් කඩපිල මත හිඳගෙන ඉහළ ආකාසයේ විසිතුරු නොව පහළ මහ පොළොවේ විපිරියාස බලා ඉන්නා කෙල්ලය.
“හා…. මේ ඉන්නෙ… මේ ඉන්නෙ අපේ මුදලාලි මහත්තයාගේ දෝණියන්දැ.. ඈ බොල කෙල්ල කොයි දැං උඹේ අපුච්චා…? මට බයේ ඇඳක් මේසයක් යට රිංගලාද…? මට මොකටද බයවෙන්නෙ….? මං ඒකාගේ එක් කුසේ උපන් සහෝදරයා විච්චි කොට” කියමින් ඔහු කෙල්ල උස්සා ගත්තේය.
යෝධයෙක් වාගේ උස මහතා බණ්ඩා බාප්පා වෙතින් හමන දුර්ගන්ධයෙන් නැහැපුඩු හකුළා ගත්තී “තාත්තේ” යි කෑගෑවාය.
වැඩිමලීගේ හඬින් අම්මාගේ ග්‍රහණය ලිහිල් වූයෙන් තාත්තා කඩපිළට දිව ආවේ කුළුමීමෙකු වාගේය. ඒ සා වේගයෙන් හා ඒ සා කෝපයෙන් කුලප්පු වූ කුළුමීමා කොපමණ රෞද්‍රදැයි එක් කුසේ උපන් එකාද දැන සිටියේය. එහෙයින් ඔහු කෙල්ල පළිහක් කරගන්නට මැලි නොවීය.
“එන්ඩෙපා… එන්ඩෙපා… කිට්ටුවට.. කෙල්ල උස්සලා ගහනවා පොළවෙ….”
ඔහු කෙල්ල උස්සාගෙන ඉන්නේද පහසුවෙන් බිම අතහැරිය හැකි පරිද්දෙනි.
“අතෑරපං කෙල්ල අතෑරපං… අතෑරලා වරෙන් මාත්තෙක්ක…”
දරු දුකින් ආතුර වූ මිනිසා සැලෙන හඬින් කියා සිටියේය.
“උඹත්තෙක්ක කොහෙ එන්ඩද.. උඹ අපි සේරෝම දාලා අතෑරලා තට්ට තනියෙං යනඑකෝ. උඹ තනියෙං බුදුවෙන්ඩ හදන එකානෙ…. එක අඹගෙඩියෙ පණුරොත්ත වගේ නලිය නලියා හිටපු අපි… උඹට දැං එව්වා මතක නෑ… උඹ දැං මුදලාලි… උඹ සල්ලිකාරයා. උඹ ධනපතියා….අපි අපි හිඟන්නො… අපට දුකෙන් දුක… උඹට සැපෙන් සැප….”
එක් කුසේ උපං එකාගේ අත්දණ්ඬේ එල්ලී ඉන්නා කෙල්ල විලාප නොදුන්නේ අමුතු නිර්භීතකමක් හින්දා නොවේ… කටක් ඇර වචනයක් පිට කරන්නට බැරිතරමට බය භීතව හුන් නිසාය.
“උඹ දැන් බීලා… උඹටයි මටයි කිසි කතාවක් නෑ දැං… පස්සෙ වෙලාවක වරෙං ඉඳගෙන කතා කරන්ඩ බැරියැයි… මට මේ කිසි දෙයක් අර අහසිං බිමට වැටුණෙ නෑ. අනන්ත දුක් විඳලා බයිසිකල් පැදලා පැදලා බඩු පෙට්ටිය ලැගේජ් එකේ තියාගෙන පාරක් පාරක් ගානෙ කඩයක් කඩයක් ගානෙ ගිහිල්ලා සතෙන් සතේ එක්කාසු කොරලා තමා මේ තත්තෙට ආවෙ… ඒ කිසි දෙයක් නොදන්නවා වාගේ ඔහොම කතා කරන්ඩ එපා…”
ගැබ්බර ගැහැනිය පෙරට පැන්නේ ඉවසුම් රහිතවය.
“ළමයා බිමිං තියලා පලයං යන්ඩ බණ්ඩෙ….”
ඇගේ කුස කළලය පවා තිගැස්සුණාට සැක නැති. පුන්සඳ මඬල තරම්ම වටකුරු පැහැබර මුහුණ යස්සනියකගේ මුහුණක් තරමට අවලස්සන වී තිබිණ.
“යකෝ… බිසවුන්නාන්සේගෙ සැර… තුං වේල බත් ගිලිනකොට බල්ලා වුණත් සැර වෙනවනේ… මේ බැල්ලියෙක් උඩ ගිය තරං… මදි නොකියන්ඩ හම්බවෙන පාටයි… බඩ පිරිලා තියෙන්නෙ ආයෙ සැරයක්.. අඩුපාඩුවක් නෑනෙ ඉතිං… කාපුවාගේ තෙලේ බහින්ඩත් එපැයි අපේ එකාගේ…. අනේ සාදු.. අපිට නැතුවට මල් පිපීයං රුවට කිව්වලු….”
ඒ නොහොබිනා කතාව ඉවසා ඉන්නට තරං කෙල්ලගේ තාත්තා බෝධිසත්වයෙකු නොවීය. කුළුමීමෙකු සේ පෙරට පැන්න ඔහු කෙල්ල ඩැහැ ගත්තේය. ශෝකයෙන්ද, කෝපයෙන්ද වෙව්ලුම් කන බාරියාව වෙත ඇය තල්ලු කර දමා එක කුසේ උපන් එකාට පහර දුන්නේය.
“පර බල්ලා… මං අද තෝ මරනවා.. මරන එකා මරනවා….”
අයිය මලෝ ගහ මරා ගන්නා හැටි බලා ඉන්නට නොරිසි එකා දෙන්නා එක්රොක් වූහ.
“එපා. එපා. ගහන්ඩ එපා….”
“අතාරින්ඩ මුදලාලි…. බණ්ඩයියා බීලනේ….”
කාසි මෙන්ම මනුස්සකමද එක්රැස් කරන්නට හා රැකගන්නට නිබඳ වෙහෙසෙන මිනිසා එක කුසේ උපන් එකා අත්හළේ හතිලමිනි. කඩපිළෙන් මිදුලට විසිවූයේ හොඳටෝම අඩපණ වූ මනුස්ස පරාණයකි. තැලීම් සීරීම් මෙන්ම කොතනක හෝ වැදීමෙන් තුවාල වූ නළලින් ගලන ලෙයත් එක්ක ඔහු දිස්වූයේ මාංශ පොදියක් මෙනි. කඩයට ආ ගැහැනියක මරහඬ දෙමින් පැන දුවන්නට තරම් එක් කුසේ උපන් එකාගේ පෙනුම බිහිසුණු හා වේදනාකාරී විය.
“කළු මල්ලි ඉස්පිරිතාලෙ නවත්තලා වරෙං. මෙන්න මේ කාලකණ්ණියා.
ස්වල්ප වේලාවකට පෙර වහසි බස් දෙඩුවද දැන් මළ මිනියක් තරමට නිහඬ පංචස්කන්ධය පොඩි ට්‍රැක්ටරයේ තට්ටුව මත ප්‍රවේසමෙන් හොවා කළුවා අත මුදලක්ද තබන්නට තරම් කෙල්ලගේ තාත්තා සංවේදී විය.
“වැටිල කිව්වට පිළිගන්න එකක් නෑ. ඉස්පිරිතාලෙං උඹ කියපං උඹ ගැහුවා කියලා…”
කළුවා කරබාගෙන ට්‍රැක්ටරය පණ ගන්වා ගත්තේය. මළාක් මෙන් නිහඬව හතර ගාතේ වැටී ඉන්නා එකාට ඇඟිල්ලක් හෝ නොඑසෙවූ තරුණයා සියලු මහදෝෂයන් කරට ගන්නට සූදානම්ය.
“උඹ බයවෙන්ඩෝන්නෑ…. උඹට මොකද බලන්ඩ මං රතු මහත්තයා එවන්නං….”
ධනයෙන්ද, බලයෙන්ද ආඩ්‍ය රතු මහත්තයාට නීති නිලධරයන්ගෙන් කලවා ගලවා ගැසීම කටු කන්නාක් මෙන් පහසුය.
ක්ෂණිකව සියලු තීන්දු තීරණ ගත් මිනිසා සිය අඹුදරුවන් වෙත හැරුණේය. අම්මාගේ චීත්තයේ එල්ලී චීත්ත පටක් මුව තුළ ළා විකමින් හුන් කෙල්ල සැඟව සිටින්නටම තැත් කළාය.
“බය වුණාද මගෙ වස්තුවේ?” යි ඇසූ තාත්තා ඇය වඩා ගන්නට දෑත දිගු කළේය.
“එපා….”යි ඇය කවදාවත් නැතිව ඔහුගේ දෑතද පහසද ප්‍රතික්ෂේප කළාය.
“කටිං කතා කරලා වැඩක් නෑ අතින් පයින් කතා කොරන්ඩ ඕනෑ වෙලාවට…”යි ඔහු පැහැදිලි කළේ තවම වික්ෂිප්තව පසුවන බිරින්දෑ දෙස බලමිනි.
“කෝ….? කොහෙවත් වැදුණෙ නෑ නේද…?” යි අසමින් ඔහු නැවතත් වැඩිමලී වෙත නැඹුරු විය.
“තාත්තා හොඳ නෑ… තාත්තා නරකම නරකයි…”
ඔහුට තමා වඩාගත නොහැකි වන පරිද්දෙන් බිම ගුලිවෙමින් කෙල්ල කෑගෑවාය.
“ඇයි කනමදයා වගේ බීගෙන ආපු නොසණ්ඩාලයට ගහපු හින්දද….?”
“තාත්තා බාප්පට ගැහුවා… බාප්පට ගැහුවා….”
“ඒ ආවෙ බාප්පා නෙමේනේ.. අරක්කු නේ.. ගහන්නැතුව ඉඹින්නද කියන්නෙ මට…?” යි ඔහු නොමනාපයෙන් ඇසුවේය.
“කියාපු කඩප්පුලි කතාවලට ගහල මදි…”යි කෝපයෙන් කී ගැබ්බර ගැහැනිය ගෙතුළට ගියාය.
“බාප්පා මැරෙයි….”
කළු බාප්පා සමග කිසි කලෙකත් කවර ඇයි හොඳයියක් හෝ නොතිබුණද කෙල්ල හඬා වැටුණාය.
“මැරෙන්ඩත් තිබ්බා තමා.. ඔහොම ගහනවද බීලා බීලා මෙලෝ සිහියක් නැතුව ඉන්න මිනිහෙකුට… පොලීසි යන්ඩයි තිබ්බෙ…”
ඉදිමුණු දෙපය වෑයමෙන් අද්දමින් නැවත පෙනී සිටි අම්මා මොහොතකට පෙර කී කතාවට වඩා හාත්පසින් වෙනස් කතාවක් කීවාය. වලාකුළු වාගේ ඉස්තිරියාවද වරින් වර වෙනස් වන බව තාත්තා නොයෙක් වර කියන්නේ සෝපාහාස සිනාවකුත් එක්කය.
“පොලීසි යන්ඩ?”යි ඔහු පුදුමයෙන් අයා ගත් ඇසින් ඇසුවේය.
“පොලිසි උසාවි තියෙන්නේ අපිට යන්ඩ තමා….”
ඇය නීතිය හා නීතිය ක්‍රියාත්මක කරන යුක්තිය පසිඳලන ආයතන පිළිබඳව හසළ දැනුමක් ඇත්තියක මෙන් කීවාය.
“අනේ මේ නොදන්නා මඟුල් කතා නොකර ඉන්නවා… පොලීසි උසාවි ගානෙ බඩගාන්ඩ ගියොත් කොරන්ඩ වෙන්නේ කඩ නෙමෙයි ලඩ….”
එදා මෙදාතුර නීතිය ස්ථාපිත කරන යා යුක්තිය පසිඳලන ආයතන පිළිබඳව මහජන ආකල්පය වෙනස් වී තිබේද? නීතිය සැමට සමාන නොවන බව හා නීතියේ විශාල සිදුරු පිළිබඳව අන් කවර කලකටත් වඩා අපි දැනුවත් වී සිටින වර්තමානය මේ සා අවුල් වියවුල් වී තිබෙන්නේද නීතියේ හා අධිකරණයේ ස්වාධීනත්වය පළුදු වී තිබෙන නිසා නොවේද?
නීතිගරුක පුරවැසියා බුහුමනට පාත්‍ර නොවේ. නීතිය කඩා බිඳ දමන්නා වෙත වීරත්වයක් ආරෝපණය කරන තරමට සමාජය විපරීත වී තිබේ.
සාමාන්‍ය ජීවිතයට කිසිදු පළක් ප්‍රයෝජනයක් අත්පත් කර නොදෙන විෂයයක් විෂය නිර්දේශයෙන් ඉවත් කර හෝ නීතිය පිළිබඳව අවබෝධය හා දැනුම අපේ දරුවන්ට ලබාදෙන්නට අධ්‍යාපන බලධාරීන් නොපමාව තීරණය කළ යුතුව තිබේ.
යමෙකු නීතිගරුක වීම තුළ විනය හා සාධාරණය රැකෙන අතරම පොදුවේ රටක් ඉහළට ඔසවා තැබෙන බවද අමතක කළ නොහැක. එහෙත් නීතිය සුරකින්නට ඇප කැපවිය යුතු ආයතනම නීතිය බිඳ දමන කල සාමාන්‍ය පුරවැසියා නීතිගරුක වීම බලාපොරොත්තුවීමද සාධාරණ නොවේ. ධනයෙන් හා බලයෙන් ආඪ්‍යවූවන් නීතිය පිළිබඳව කිසිදු තැකීමක් නොකරන අතර හැමවිටම නීතිය රැකීම භාරවන්නේ සාමාන්‍ය මහජනතාවටය. ධනය හා බලය නීතිය බිඳ දැමීම සඳහාම භාවිත කරන අවි ආයුධ බවට පත්ව තිබීම දූෂිත හා අරාජික රටක් නිර්මාණය කරයි.
අඹ ගෙඩියක්, පොල් ගෙඩියක් සොරාගත් වරදට සාමාන්‍ය පුරවැසියා දඬුවම් ලබන අතරම මිලියන බිලියන ගණනින් මහජන මුදල් සොරා ගත් හා දරුණු අපරාධ මිනීමැරුම් සිදු කළ ලොකු ලොක්කන් නිරුපද්‍රිතව යෙහෙන් වැජඹීම දකින හඟින පසක් කරන අනාගත පරපුර නීතිගරුක පුරවැසියන් වනු ඇතැයි කිසිසේත් අපේක්ෂා කළ නොහැක. නීතිය හා සාමය සුරකින ආයතන මෙන්ම යුක්තිය පසිඳලන අධිකරණයද ස්වාධීන හා නිවහල්වීම පුරවැසියා දකින තවත් සිහිනයක් පමණක්මද?