රාවය

ජාතිවාදී කන් අඟුළු ලූ අසීර්ගේ ඉකිබිඳුම

වින්ද්‍යා සචිත්‍රි ගමගේ

ජනවාරි මාසෙ දහවැනිදා, අට හැවිරිදි අසීෆා බානෝ තණ කැවීම සඳහා තම පවුලේ අශ්වයන් රසානාහි පිහිටි තම නිවස අසබඩ වනයට ගෙන ගියා. රසානා කාෂ්මීරයේ ඉන්දියානු පරිපාලනයට අයත් කොටසේ, කතුවා නම් දිස්ත්‍රික්කයට අයත් කුඩා ගමක්. අසුන් නැවත නිවසට පැමිණියත් අසිෆා නැවත කිසිදිනක නිවසට පැමිණියේ නැහැ. ජනවාරි 17 වැනිදා උදෑසන තම නිවසේ ඉදිරිපස සිටි මොහොමඞ් යුසුෆ් පූජ්වාලා තමා ඉදිරියට වේගයෙන් දිව එන අසල්වැසියෙකු දුටුවා. තම නිවසට මීටර් සිය ගණනක් දුරින් පිහිටි වන ලැහැබකින් අසීෆාගේ මළ සිරුර හමුවූ බව ඔහු අසීෆාගේ පියා වන පූජ්වාලාට පැවසුවා. “මගේ කෙල්ලට විපතක් වෙලා ඇති කියලා මම හිතුවා.” ගිලුණු, ගැඹුරු ඇස් ඇති පූජ්වාලා බීබීසියට එසේ පවසද්දී පසෙක වාඩිවී සිටි ඔහුගේ බිරිඳ නසීමා බිබී දුර්වල හඬින් වැලපෙමින් ‘අසීෆා’, ‘අසීෆා යැයි නොනවත්වාම කෙඳිරුවා. මුස්ලිම් සංචාරක එfඬ්රෙකු වන පූජ්වාලා ‘ගුජ්ජර්’ නම් කුලයට අයත්, තම ගවයන් හා එළුවන් සමග හිමාලය පුරා සැරිසරමින් දිවි ගෙවන අයෙක්.
අසීෆාට සිදුවූ අපරාධයෙන් ඉන්දියානු ජනයා මහත් කැළඹීමට පත්වූයේ හින්දුන් බහුලව වෙසෙන ජම්මු ප්‍රදේශය හා මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීරය අතර ඇති විරුද්ධ මතවාදයන් හේතුවෙන් බරපතළ ප්‍රතිඵල ඇතිවීමට පටන් ගැනීමත් සමගයි. 1989 ඉන්දියානු පාලනයට එරෙහිව ඇතිවූ සන්නද්ධ විප්ලවය නිසා කාශ්මීර නිම්නයට ඉන්දියාව සමග තිබුණේ නිරන්තර කලහකාරී සබඳතාවක්.
අසීෆා නැවත නිවසට නොපැමිණීම නිසා කලබලයට පත් ඇයගේ මව්පියන් සහ අසල්වැසියන් වනාන්තරය මධ්‍යයට යමින් දිවා රෑ නොබලා ඇයව සොයන්නට වුණත් ඈ පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබුණේ නැහැ. ඒ නිසාම ජනවාරි 12 වැනිදා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළත් ඔවුන්ගෙන් උදව් ලැබෙන ලකුණක්වත් තිබුණේ නැහැ. ඒත් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ ඇය කොල්ලෙකු සමග රහසේම පැන යන්නට ඇති බවයි. අසීෆා ගැන ආරංචියක් නොලැබීමෙන් කණස්සල්ලට පත් ‘ගුජ්ජර්’ ජනතාව අධිවේගී මාර්ගයක් හරස් කරමින් ඇය පිළිබඳව සොයා බැලීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පත් කරන්නැයි උද්ඝෝෂණය කළා. පසුව මේ සිදුවීම සම්බන්ධ වන විමර්ශනයට පත් කළ පොලිස් නිලධාරීන් අතර, මේ සම්බන්ධව අත්අඩංගුවට පත්වූ දීපක් කජුරියාත් ඇතුළත් වී සිටියා.
දින 05ක ඇවෑමෙන් වන ලැහැබක තිබී අසීෆාගේ සිරුර ඇයගේ අසල්වාසීන් විසින් සොයා ගනු ලැබුවා.
“එයාට ගොඩක් වද දීලා තිබුණා. කකුල් කඩා දාලා තිබුණා.” අසීෆාගේ මළ සිරුර දැකගැනීමට ගිය ඇගේ මව එසේ පැවසුවා.
“දුවගෙ නියපොතු කළුවෙලා තිබුණා. අත්වල, ඇඟිලිවල නිල්, රතුපාට පාරවල් තිබුණා.”

අසීෆාගේ භූමදානය

‘ගුජ්ජරු’වරුන්ට තම රැහේ දියණිය තමාගේම ඉඩමක භූමදාන කිරීමට අවශ්‍ය වූ නිසා මීට පෙර මිලයට ගත්, මේ වනවිට පස්දෙනකුගේ පමණ සුසාන භූමිය වන ස්ථානයක් තෝරාගෙන තිබුණා. අසීෆාගේ මිනිය එතැන වැළලුවොත් ඔවුන්ට ප්‍රචණ්ඩකාරී ඉරණමක් අත්වනු ඇතැයි හින්දු දක්ෂිණ පාර්ශ්වික ක්‍රියාකාරීන් ගුජ්ජර්වරුන්ට තර්ජනය කළා. “ඇයව වළලන්න අපට සැතපුම් හතක් දුරින් පිහිටි වෙනත් ගමකට ගෙනියන්නට සිදුවුණා.” පූජ්වාලා කණස්සල්ලෙන් ප්‍රකාශ කළා. “මට මගේම කියලා දුවලා දෙන්නෙක් හිටියා. අවුරුදු ගණනකට කලින් හදිසි අනතුරකින් ඔවුන් දෙදෙනාම මියගියා. ඒ කාලේ මගේ බිරිඳ මට පෙරැත්ත කළා අසීෆාව හදා ගමු කියලා. අසිෆා මගේ මස්සිනාගේ දුව.”
“එයා කුරුල්ලෙක් වගේ සින්දු කියපු, මුවෙක් වගේ දුවපු දරුවෙක්. අපි තැන තැන සංචාරය කරන කොට එයා තමයි අපේ සත්තු රෑන බලාගත්තේ. ඒ නිසාම අපේ රැහේ ගොඩදෙනෙක් එයාට හරි ආදරයෙන් හිටියේ. එයා තමයි අපේ විශ්වයේ කේන්ද්‍රය වුණේ.” බිබී, අසීෆාව හදාගත් මව එසේ බීබීසීයට ඇය ගැන කියා සිටියා.
“අසීෆා කවදාවත් පාසල් ගියේ නැහැ. ඒත් එයාගේ සහෝදරයෝ පාසල් ගියා. එයා වැඩියෙන්ම ආස කළේ තණබිම්වල සෙල්ලම් කරන්නයි.” අසීෆා ගැන ඇගේ හදාගත් පියා එසේ පැවසුවා.

ඇත්තටම සිදුවූයේ කුමක්ද?

අසීෆාගේ මෘත දේහය වන ලැහැබකින් හමුවී දින 6ක් ගතවූ තැන, ජනවාරි 23 වැනිදා ජන්මු කාශ්මීර ප්‍රධාන අමාත්‍ය මෙහෙබුබා මුෂ්ටි, රාජ්‍ය පොලිසියේ ඇති විශේෂ අපරාධ ඒකකයට අසීෆා පිළිබඳ විමර්ශනය කරන්නැයි විධිවිධාන ලබා දුන්නා.
අසීෆාව කෝවිලක දින ගණනක් කොටුකර තබා ගනිමින්, නිද්‍රාකාරක ඖෂධ ලබාදෙමින් ඇයව අසිහියෙන් තබාගෙන ඇති අතර චෝදනා පත්‍රය අනුව ‘ඇය දින ගණනාවක් දූෂණයට හා වද හිංසනයට ලක්කරමින්, අවසානයේ මරණයට පත්කොට තිබෙනවා. මෙසේ ගෙල මිරිකා මරා දැමීමෙන් පසුව හිසට ගලකින් දෙවරක් පහරදී තිබෙන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
60 හැවිරිදි විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරි සන්ජිරාම් සුන්දර් වර්මා, ආනන්ද දත්තා, තිලක් රාජ් සහ කජුරියා නම් පොලිස් නිලධාරීන් සමග එක්වී මෙම අපරාධය සැලසුම් කර ඇති බව විමර්ශන වාර්තාවල තවදුරටත් සඳහන් වෙනවා. රාම්ගේ පුත්‍රයා වන විශාල්, රාම්ගේ ඥාති පුත්‍රයෙකු වන බාලවයස්කාර පර්මේෂ් කුමාර්ද දූෂණ හා මිනීමැරුම් චෝදනා ලැබ තිබෙනවා.
පසුව අසීෆාගේ මළ සිරුර සෙවීමට ඇයට සහය වූ අයවලුන් අතර මෙම මරණයෙහි අපරාධකරුවෙකු ලෙස චෝදනා ලැබ සිටින කජුරියාද ඇතුළත් වන අතර අනික් පොලිස් නිලධාරීන් සමග එක්ව අසීෆාගේ මෘත දේහය අධිකරණය වෛද්‍ය විද්‍යාගාරයට යැවීමට පෙර ඔවුන් විසින් රුධිරය හා මඩ ගැල්වී තිබූ ඇගේ ඇඳුම් සෝදා ඇති බවත් මෙම වාර්තාවලින් හෙළිදරව් වෙනවා.
“මේ හැම දෙයක්ම සිද්ධ වුණේ ඉඩම් ප්‍රශ්න නිසයි.” ගෝත්‍රික හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී, නීතිඥ කලීබ් හුසේන් පැවසුවා. අසීෆා අයත් වන ගුජ්ජර් නම් සංචාර එfඬ්ර කුලය ශිශිර ඍතුවේදී මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීරයේ සිට හින්දුන් වැඩි වශයෙන් වෙසෙන ජන්මු බලා ගමන් කරනවා. එසේ එන අතරතුර ඔවුන් ජන්මු වනාන්තර සහ පොදු ඉඩම් තම සතුන්ට තෘණ කැවීම සඳහා භාවිත කරනවා. ඒ නිසා හින්දුන් සමග මෙම ගැටුම ඇතිවී තිබෙනවා.
මේ අතර චූදිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අන්කුර් ෂර්මා ප්‍රකාශ කළේ මුස්ලිම් එfඬ්රුන් ජන්මුහි ජන විකාශනය වෙනස් කිරීමට තැත් කරන බවත්, එහි බහුතරය හින්දු ජනතාව බවත්ය. “ඔවුන් අපේ ජල සම්පත් හා වනාන්තර අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නවා” යැයි ෂර්මා බීබීසියට පැවසුවා. එසේම චූදිත පිරිසට ඇති චෝදනා සාවද්‍ය බවත්, නියම වරදකරුවන් තවමත් නිදැල්ලේ සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මෙම අපරාධය පිළිබඳව හින්දු බහුතරය වෙසෙන ජන්මුහිදී වැඩි අවධානයක් යොමු නොවුණත්, කාශ්මීර නිම්නයේ අගනුවර වන ශ්‍රී නගර්හි පුවත්පත්වල මෙය මුල් පිටුවේ පළවූ ප්‍රවෘත්තියක් වුණා.
“මගේ දුව මරා ගත්තේ එකම හේතුවක් නිසයි. ඒ ගුජ්ජර් ගෝත්‍රික අපව පලවා හැරීමටයි. ඒත් අපේ ඉඩම් වගේම ජීවිතත් තිබෙන්නේ මෙතන. මේක තමයි අපේ නිවහන.” ශෝකයෙන් බලවත් වෙහෙසට පත් අසීෆාගේ පියා නිව්යෝක් ටයිම්ස් සඟරාවට එසේ අදහස් දැක්වූවා.
මේ අතර අසීෆා වෙනුවෙන් පෙනී සිටි කාන්තා නීතිඥවරිය වන ශ්වේතාම්බි ශර්මා මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ විත්තිය වෙනුවෙන් පෙනී සිටීම නිසා තමාට බාධක රැසකට මුහුණදීමට සිදුවූ බවයි. මේ සම්බන්ධව චූදිත පාර්ශ්වයේ අස්කුර් ශර්මා කියා සිටියේ ‘ස්වේනාම්බි’ කාන්තාවක් වගේම මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. ඇය අන් අයගේ කතා ඇසීමෙන් නොමග ගොස් ඇති බව පෙනෙනවා. සිද්ධියට ඉදිරිපත් වීම නිසා ඇයට බාධක එල්ල වුණා නම් ඇයට තමන්ගේ ඉහළ නිලධාරීන්ට මේ ගැන දැනුම් දෙන්න තිබුණා. එහෙම නොකළේ ඇයි?” අසීෆාගේ සිද්ධිය සම්බන්ධ මීළඟ නඩු විභාගය අප්‍රේල් මස 28 වැනි දින පැවැත්වීමට නියමිත වේ.

ජනවාරි සිදුවීමට අප්‍රේල් ප්‍රතිචාර

ජනවාරි මස මෙසේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් අසීෆා වෙනුවෙන් අප්‍රේල් මාසයේ ඉන්දියාව පුරා මෙතරම් විරෝධයක් මතුවූයේ ඇයිදැයි යන්න අප සැමට ඇතිවන දැවෙන ප්‍රශ්නයක්.
අසීෆාගේ ඝාතනය සම්බන්ධව විමර්ශන වාර්තාව නිකුත්වීමත් සමග හින්දු ආගමට සම්බන්ධ පුද්ගලයන් 8 දෙනෙකුට මෙම සිදුවීම සම්බන්ධව මිනීමැරුම් හා දූෂණ චෝදනා එල්ලවීමත් සමග ඔවුන් අප්‍රේල් 16 වැනි දින ප්‍රථමවරට උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම සිද්ධිය සඳහා තවත් වරදකරුවන් නොවන බව ඔවුන් පවසා ඇත. පසුව මෙම හින්දු ජාතිකයන් නිදහස් කරන්නැයි ජාතිවාදීන් දැඩි ලෙස උද්ඝෝෂණය කළා. මහජන කෝපය වැඩිවීමට හේතුවූයේ පාලක භාරත ජනතා පක්ෂයට අයත් ඇමතිවරු දෙදෙනකුත් මෙම රැලිවලට සහභාගිවෙමින් චූදිතයන්ට සහය පළ කළා.

නළු නිළියන්, පොදු ජනතාව හා සමාජ මාධ්‍ය

කුඩා දැරියක් නින්දිතව අපහරණ හා ඝාතනය කිරීම ජාතිවාදයේ නාමයෙන් යටගැසීමට ඉඩ නොතබන්නැයි ඉල්ලමින් බොලිවුඞ් නළු නිළියන්, ක්‍රිකට් තරු පවා සිය ඉන්ස්ටර්ග්‍රෑම්, ෆේස්බුක් ගිණුම් හරහා පහත ප්‍රකාශ රැගත් බෝඞ් ඔසවාගෙන සිය පින්තූරවලින් යුත් ‘පෝස්ට්’ පළකිරීමට උත්සුක වූහ.
“මම හින්දුස්ථානී
මම ලැජ්ජාවට පත්වී සිටිනවා
අසීෆාට යුක්තිය ඉටු කරන්න
ඇයට වයස 8! සමූහ දූෂණයට ලක්වුණා!
කතුවාහි ‘දේවි’ ස්ථාන් කෝවිලේදී මරු මුවට පත් කළා.
කතුවා සංත්‍රාසය”
ඉන්ස්ටර්ග්‍රෑම් හරහා මෙම ප්‍රකාශය සහිත පෝස්ට් පළ කළ අය අතර සෝනම් කපූර්, අක්ෂේ කුමාර්, ෆරාන් අක්තාර් ඇතුළු රූපවාහිනී නළු නිළියන් රැසක්ද අයත් වෙනවා. ඒ අතර විරාත් කෝලි හා අලියා ඛාන් මාධ්‍ය මගින් කළ විමසීම් සඳහා ඉතා සංවේදී ලෙස අදහස් ප්‍රකාශ කරනු දැකගත හැකිවුණා.
“අපි සියලුදෙනාම අසීෆාව බරපතළ ලෙස අසමත් කර තිබෙනවා. මා මේ තුළින් අධික කම්පනයකට පත්වුණා.”
මේ අතර ඉන්දියානු කාටුන් ශිල්පීන් හද සසල කරවන නිර්මාණ දිනපතාම පාහේ අන්තර්ජාලය හරහා දැකගැනීමට තිබුණා. ඒ අතර දෙව්ලොව ගිය අසීෆාට, 2012 වසරේ දිල්ලි බස්රියක් තුළ සමූහ දූෂණයට ලක්වූ ‘නිර්භයා’ නම් තරුණිය මුණගැසී ඇයගේ සමරු සටහන් ඉල්ලන අයුරු දැක්වෙන කාටූනය මෙන්ම ඉන්දියාව කාන්තාවන්ට වඩා ගවයන්ට සුරක්ෂිත ස්ථානයක් බව පෙන්නුම් කරන උපහාසාත්මක කාටුනයක් කැපී පෙනෙනවා.
මේ අතර අසීෆාට යුක්තිය ඉටුකරන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණය කරමින් ජාතිභේදයකින් තොරව ජනතාව විශාල ලෙස වීදිවල සැරිසරනු දැකගත හැකිවුණා. මේ පිළිබඳව