ක්‍රීඩකයන්ට කොඩිවිනයක් වූ විජේ – රත්නය

ටිරන් කුමාර බංගගමආරච්චි

ක්‍රීඩාය කවුරුන් සඳහා ද? යන්න ක්‍රීඩා අමාත්‍යංශය තවම වටහාගෙන නැති තරම්ය. ක්‍රීඩා ඇමතිවරු මාරුවීමත් ඊට අනුව ලේකම්වරු අලුත්වීමත් ක්‍රීඩාවක් ලෙසට පැවතියත් මේ අය ක්‍රීඩාව කරවනුයේ කවුරුන් වෙනුවෙන්ද යන්න වටහානොගනි. ඔවුහු ආ දවසේ සිට ඇඟිලි ගනිනුයේ විදෙස් තරග ගැන සිතමින් ඊට සහභාගිවන අයුරු හීනෙන් දකිමිනි. ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් කොතෙක් විදෙස් සංචාර ගොස් ඇත්ද? එහි අර්ධ ශතකය පසුකොට ඇති බව සැබෑය. එහෙත් ඉන් මෙරට ක්‍රීඩාවට වූ සෙත කුමක් ද? විදෙස් තරගාවලියක් අතර තුර ක්‍රීඩා අමාත්‍යංශයම විදෙස් ගතවී ඇත. මේ කුමන කෙන්ගෙඩියකට ද ?
එළඹෙන මැයි මස 4 සිට 7 දක්වා තායිලන්තයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩාක ක්‍රීඩිකාවන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යැවීමට මලල ක්‍රීඩා සංගමය තීරණය කොට ඊට මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍යංශයට යොමු කළ විට එම මුදල් ලබාදීම ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් ප්‍රතික්‍ෂේප කොට ඇත.
ඉහත තරගාවලියට ක්‍රීඩකයන් අටදෙනාට අමතරව නිලධාරීන් දෙපළක් ද යවන්නට සැලසුම් කොට ඇත. එහෙත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ආර්.පී. විජේරත්න මෙම තරගාවලිය සඳහා මුදල් ලබාදීය නොහැකි බව මලල ක්‍රීඩා සංගමය දැනුවත් කර ඇත.
මෙය අලුත් තරගාවලියක් නොවේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට වසරක් පාසා ශ්‍රී ලංකාමලල ක්‍රීඩා කණ්ඩායමක් මීට සහභාගිවීම සාමාන්‍යයකි. එහෙත් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ආර්.පී. විජේරත්න එය මෙවර අසාමාන්‍ය කරගෙන ඇත. මුදල් ලබාදීම ප්‍රතික්‍ෂේපවීමක් සමග තරගවලට සහභාගීත්වය ගැටලු සහගත වී ඇත.
ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීමට ඇත්තේ තව මාස කිහිපයකි. එම තරගාවලිය ක්‍රීඩාව පැත්තෙන් ශ්‍රී ලංකාවට සුවිශේෂීය. එනම් කලාපයේ දක්‍ෂතා උරගා බැලීම සහ රටක් ලෙස අප ක්‍රීඩාව අරබයා කලාපයේ හිමිවන තැන නිශ්චිත කිරීමටත් එය කදිම වේදිකාවක් වන බැවිනි. ඊට පෙර මලල ක්‍රීඩකයන් ලබන මේ අත්දැකීම ඔවුන්ට ආසියානු ක්‍රීඩා උළෙලට උත්තේජනයක් සපයන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් දැන් මේ නිලධාරීන් නටන්නට සැරසෙන නාඩගම කුමක්ද ?
ක්‍රීඩා අමාත්‍යංශයක් මෙන්ම ක්‍රීඩා ඇමතිවරයකු පත් කොට ඇත්තේ විදෙස් ගතවීමට නොව ක්‍රීඩාවේ අභිවෘද්ධියට තීන්දු තීරණ ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත්ය. අනෙක් අතට සෑම වසරකම අය වැයෙන් විශාල මුදල් කන්දරාවක් ක්‍රීඩාවේ සංවර්ධනයට වෙන් කෙරේ. කලක පටන් වසරක් අවසානයේ විශාල මුදල් ප්‍රමාණයක් නැවත භාණ්ඩාගාරයට හරවා යවනුයේ ඒවායෙන් නිසි ප්‍රයෝජන නොගත් නිසාය. මෙහි මෙවරද සිදුවිය හැක. එවන් පසුබිමක මෙම තරගාවලියට මුදල් වෙන් නොකරනුයේ මන්ද? ක්‍රීඩකයන් පිරිසක් රට යැවීමට මුදල් වෙන් කිරීම පාපයක්ද ? සිය පැරදුම කෙරේ වෙනත් ක්‍රීඩකයන් ලබන අත්දැකීම් අතිවිශාලය. ජනපති හෝ අගමැති ක්‍රීඩක ක්‍රීඩිකාවන් රට යැවීමට විරුද්ධ වෙතැයි සිතියවත් නොහැකිය. එසේ නම් මේ කසිකබල් නිලධාරීන් හැසිරීම් පැනුයේ කාවද ? ක්‍රීඩකයන්ට ද? ක්‍රීඩාවටද ?
ක්‍රීඩකයන් ජාතික තලයට වුව එනුයේ අප්‍රමාණ දුක් වළඳාය. මේ කීඩකයන් සෑම ග්‍රාමියම එන අන්ත දිළිඳු පවුල්වල අයය. මේ අයට හරිහමන් ඉන්නට තැනක් නැතිය. පළඳින්නට සපත්තු නැතිය. ලැබිය යුතු පෝෂණය කොහෙත්ම නොලැබේය. එවැනි වටපිටාවක වුව දරා ගැනීමේ ඇට්ටරකමට මොවුන් පියනගති. එය ඇතැම් විට ජාත්‍යන්තරය ජය ගැනීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවිය හැකිය. එහෙත් මෙරට දක්‍ෂතා ඔවුන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබන්නට ඉතාමත් උඩින්ය. එය ලබාදිය යුතුමය. එසේ නොවන්නේ නම් එය ක්‍රීඩාවටම කරන අපරාධයකි. අයවැය මුදල් ක්‍රීඩක ගමන්බිමන් වලට වියදම් කිරීම වටින්නේය. තරගාවලියකට යෑමේදී නෑ – බෑ නොකියා ක්‍රියා කිරීම ක්‍රීඩා නිලධාරීන්ගේ යහපත් වැඩක්විය යුතුය. මෙවැනි මානසිකව ඇද දමා මුදල් ලබාදීම නොමනාය.
ක්‍රීඩක, ක්‍රීඩකාවන්ට මුදල් ලබාදීම ප්‍රතික්‍ෂේප කළ අයි.පී. විජේරත්න පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ඕස්ටේ්‍රලියාවේ ගොස් දීර්ඝ කාලයක් ගත කොට ගරු ලබාගෙන ආ අයෙකි. ඒ සඳහා නිසාදෝ ඔහුට ගන්නා තීන්දු ද අමතකව ඇති සැටියකි.
මෙවැනි විදෙස් සංචාර සඳහා ක්‍රීඩා නිලධාරීන් කුමට යා යුතුද ? දිනක් දෙකක් වෙනුවට මාස ගණනක් කුමක් කළ යුතුද? ඔහු ඕස්ටේ්‍රලියාවෙන් ගෙනවිත් මෙරට ක්‍රීඩාවට ලබා දුන් දායකත්වයක් ඇති ද ? මොවුන් මෙලෙස විදෙස් ගත වන විට අමාත්‍යංශයෙන්ද දිනකට ඩොලර්වලින් ඉහළ ගණනක් ලබා දේ. මොවුන් ඊට යනුයේ ගරු ගැනීමටය. ලෝපිනි යෑමටය. ගෙදර නෝනලාට බඩුගෙන ඒමටය. නැතහොත් නෝනලාද මේ සංචාරවලට සහභාගි වී ඇත. එහෙව් අය ක්‍රීඩකයකු තරගාවලියකට යන කළ සතේට ගණං හිලව් බලති. පාඩු – ලාභ අධ්‍යනය කරති. හැකි තරම් කප්පාදු කරති. මේ කුමන තක්කඩි කමක්ද ?
ක්‍රීඩාවේ ආරම්භය අත්පොත් තබන මෙවැනි තරගාවලි මුදල් ලබාදිය නොහැකි යැයි අතහැර දැමිම තුළින් ඊට සහභාගිවීමට සිටි ක්‍රීඩකයන්ගේ ශක්තිය බිඳ දමනවා නියතය. මේ මොහොතේ හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සිටියේ නම් මේ තත්ත්වය උදා නොවන බවද කිව යුතුය. ඔහු මේ අවස්ථාවේ ඒ ඉඩ නිර්මාණය කරනවා නියතය.
අයි.පී, විජේරත්න, ආර්.බී. වික්‍රමසිංහ යනු කාලාන්තරයක් තිස්සේ ක්‍රීඩා අමාත්‍යංශය කාබාසිනියා කරන බහිරවයන්ය. කවුරු ක්‍රීඩා ඇමති වුවද මොවුහු තම වැඬේ අගේට කරගෙන යති. ක්‍රීඩාවට හෙන ගැහැව්වාට මොවුහු යෙහෙන් වැජඹෙති. ක්‍රීඩා ඇමති සහ ලේකම් මැදිහත්ව මෙය විසඳනු ඇතැයි හිතෙමු.