කට්ටියගේම හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්

ඒ. වික්‍රමසූරිය

ක්‍රිකට් නිළවරණ උණුසුම දැන් සිටම කරළියට පැමිණ ඇත්තේය. නැවත ක්‍රිකට් නිලවරණයකට තිලංග සුමතිපාල එනවාද ? ඒ එන්නේ නම් මෙවර නොඑන තැනට වැඩ සිද්ධ කරනවාද යන්න මේ දිනවල කතාබහය.
මෙවර අර්ජුන රණතුංගගේ යෂ්ටිය ගෙන ඇත්තේ රන්ජන් රාමනායකය. අර්ජුන තිලංගට එරෙහිව කොතරම් සාධනීය කාරණා මතු කළ ද අර්ජුනගේ ක්‍රිකට් දිවිය තුළ ද ඇති පෙර වැරදි සහ ක්‍රිකට් පුටුවට ඔහු තුළ ඇති කෑදරකමද ? ඔහු කී කතා එතරම් නොතැකිය. දැන් රන්ජන් රාමනායක තිලංගට එරෙහිව කප්පරක් චෝදනා නගා ඇත. තිලංගට විරුද්ධව චෝදනා නැගුණේ අද ඊයේ නොවේ. එහෙත් ඒ සියලු චෝදනා සූදු අල්ලනවා වැනි වැඩක් විය. එනම් දින්නද පැරදුනද තිලංග දිනීය.
සූදුවට ඇබ්බැහි වූවන් දින්නද පැරදුනා මුත් සූදු මුදලාලිලා පරාජය වූ බවක් අප අසා නැත. එබැවින් ක්‍රිකට් පුටුවෙන් තිලංග එළවීම සෑමදා ලේසි පහසු දෙයක් නොවුණේ මේ සූදුවට ඔහු දේශපාලනකයන්ද බිලි බා ගෙන සිටි නිසාය.
මහින්ද රාජපක්‍ෂ කාලයේ තිලංගට තැනක් නොවුයෙන් ජයන්ත ධර්මදාස ඊට වඩා ලංසු තබා අස්සයා මිලදීගෙන තිබූ බැවිනි. මුදලට පුටුව ගත්ත ද කිසිදු දැක්මක් නැති නිකමකු බව ජයන්තට පෙන්වා දිය හැකිය. නිතරම ඔහු ප්‍රතිවාදියා වූ නිසා තිලංගට ජය නිතරගයෙන් ලැබුණි.
අර්ජුන රණතුංග ද ක්‍රිකට් හි සුජාතභාවය ගැන කෙතරම් කතා කළ ද කිසි කලෙක නිශාන්ත රණතුංග ක්‍රිකට්වලට කළ විනාශය ගැන කෙළ බිඳක් නොහෙළීය. එයින්ම අර්ජුනගේ සුජාතභාවය පජාත විය.
එම ගොන්කමම දයාසිරි ජයසේකර ද කළේය. ඔහුට තිලංග තරම් සුදනකු නොවීය. තිලංග ඔහුටද වඩා පරිශුද්ධ යැයි ඔහු විශ්වාස කළා පමණක් නොව තිලංග ඇඟට ගෙන ක්‍රිකට් මාධ්‍ය ප්‍රකාශක තනතුර ද කළේය. තිලංග උසි කියන්න පමාවට හපා කන තැනට ජයසේකර පත් විය. ඔහුගේ ක්‍රීඩා ඇමතිකම තුළ ඔහු ලද ලොකුම පැල්ලම නම් තිලංග කීකරු සේවකයා වීමය.
ඔහු මාධ්‍යයට පැමිණ තිලංග බුකිකරුවකු නොවන බවට තර්ක කළේය. තිලංගට වූ ඒ කතාවට දෙකොනින් සිනා නැගෙන්නට ඇත. මන්ද ඔහු අධිකරණය හමුවේ පවා තම පවුල බුකිවලට සම්බන්ධ බව පිළිගෙන ඇති බැවිනි. මේ සියල්ල නොදැන දයාසිරි කෑ මොර දුන්නා යැයි කියා සිතන්නට අප ළාමක නැත. දැන දැනත් ඒ වෙනුවෙන් පෙනී සිටීම නිකං කළා යැයි සිතන්නට ද අප ළාමක නැති බව කිව යුතුය.
තිලංග මෙවර ක්‍රිකට් නිලවරණයකට ඉදිරිපත් නොවන බව සැලය. එයට හේතුව මේ බුකී කතාවය. ප්‍රශ්නය මෙතෙක් බුකි කතාව තබාගෙන නිල තල දැරුවේ කෙසේද යන්නය. තිලංගට එම තනතුරෙහි රැඳෙන්නට ඉඩ දුන්නේ ජනපතිය. ඔහුද මෙවැනි පුද්ගලයන් ක්‍රීඩාව විනාශ කරන විට මුනිවත රකිනුයේ ඇයි ද යන්න ද අපට නොරහසකි. හැමෝම එක් එක් තැන් හි සුදු පිරුවට ඇඳ ගත්ත ද මේ සැමගේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් බව අමුතුවෙන් කිව යුතු නැත.
රන්ජන් රාමනායක ගැන ද යමක් කිව යුතුය. යහපාලන ආණ්ඩුව ආ කළ හොරු ඇල්ලීමේ ප්‍රධාන නළුවා ඔහුය. එහෙත් ඇල්ලූ හොරෙක් නම් තවමත් නැතිය. මෙවරද ඔහු තිලංග ගැන ලොකු කතා ඇඳ බාති. ඒවා සමාජගත කිරීම හෝ ඔහු කිරීම වටී. මන්ද ඔහුගේ සීමාව එපමණක් වන බැවිනි. එහෙත් මීට පෙර කළාට වඩා මෙය විධිමත්ව කළ යුතුය. දැනට සිදු වන්නේ තිලංගගේ ගේම්වලට වඩා රන්ජන්ගේ කැපී පෙනීම මතු වීමය. එයින් වන සෙතක් නැත. තමන් ළඟ බඩු ඇතැයි පුරසාරම් නොඇද ඒවා ප්‍රසිද්ධ කොට උපරිම දේ කරන්නැයි අප ඔහුට කියනුයේ ඔහුගේ පෙර ජවනිකාද සෝඩා බෝතලේ නියායට යටත් වූ බැවිනි. තිලංග නොඉල්ලූ පමණින් ඔහු කරන ඇතැයි යන කාරණා අවලංගු වේද? තිලංග යනු අංක එකේ දේශපාලන කෛයිරාටිකයෙකි. ඔහුට කවුරු නැතත් ජනපති සිටි. ඒ මදිද ?
කාලයට ඉඩ දී බලා සිටිමු. යහපාලනය යටතේ බලා සිටිනවා හැර වෙන කිසිවක් කළ නොහැකිය.