රාවය

තිලංගගේ ටිකිරි මොළේ

තිලංගගේ ටිකිරි මොළේ

රජිඳු කාශ්‍යප

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට දින නියම වී ඇති තත්ත්වයක මාධ්‍ය වෙතින් ඊට ලැබී ඇත්තේ ප්‍රමුඛ තැනකි. එය නිර්මාණය කිරීමේ ප්‍රමුඛයා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකය. නිලවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම මේ සිකුරාදා (27) අවසන් වූවද මෙතෙක් ඒ සඳහා සහභාගි වෙන බවට පවසා ඇත්තේ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පමණි. රංජන්ගේ ආරෝව ද ඔහු සමගිනි.
තිලංග සුමතිපාලගේ ක්‍රිකට් තනතුර අද ඊයේ ඇති වූවක් නොවේ. එය යහපාලන ආණ්ඩුවට තරමක් අඩු කාලයකි. අනික් අතට යහපාලන ආණ්ඩුවේ ආශිර්වාදයත් සමගින් තිලංග කරළියට පැමිණි බැව් කවුරුත් දනිති. යහපාලනය සේ ම එම අවස්ථාවේදී එම වෙනසම බොහෝ දෙනෙක්ගේ අපේක්ෂාව විණි. එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ දයාසිරි ජයසේකර, එකී වෙනස සිදුවූ විගසින් බදා වැළඳ ගනිමින් තිලංගව පිළිගන්නේ එකී කූඨප්‍රාප්තිය නිසා ය.
යහපාලන ආණ්ඩුවක් වෙනුවෙන් සැබෑ වුවමනාවක් තිබූ, ඒ වෙනුවෙන් දායක වී කොටස්කරුවෙක් වූ අර්ජුන රණතුංගට ක්‍රිකට් විෂයේදී යහපාලනයෙන් ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. ඊට අර්ජුනගේ ඉතා කෙටි ක්‍රිකට් පාලන ඉතිහාසයත් සහ ඔහු කඳවුරු බැඳි කණ්ඩායමත් හේතුවූවාට සැක නැත. අනෙක් අතට ක්‍රිකට් පාලනයට එවකට ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීමක් තිබූ බවට ආරංචි තිබුණි. එවන් තත්ත්වයක් වී නම් කොහොමටත් ජනාධිපතිවරයාට වැදගත් වනුයේ අර්ජුනට වඩා තිලංග ය. ඒ අර්ජුනට වඩා අත දිගහැර වියදම් කිරීමේ හැකියාවෙන් තිලංග ඉදිරියෙන් සිටි හා සිටින බැවිනි.
කෙසේ වෙතත් යහපාලනය බදා වැළඳ ගනිමින් වින්නඹුකම් කළ ක්‍රිකට් දරුවා යහපාලනයේ ම දරුවෙක් ලෙසින් සුවච කීකරුව හැදී වැඩුණේ ටික කාලයකි. වර්තමානය වන විට ඔහු මහා දඩබ්බරයෙකි.
රංජන් රාමනායක මේ පවසනුයේ එකී දඩබ්බරකම් කරනු ලබන හිතුවක්කාරයා ගැනය. රංජන්ගේ මේ චෝදනාවලට සෘජු පිළිතුරක් නොදෙන තිලංග සුමතිපාල පවසන්නේ ‘2019 ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමේ අරමුණ ඇතිව යන ගමනට බාධා නොකරන ලෙසත් එසේ බාධා කිරීමෙන් සිදුවෙන්නේ ජයග්‍රහණය වැළකී යෑම පමණක්’ බවත් ය.
ඒ නම්, එලොවටත් නැති මෙලොවටත් නැති කතාය. රංජන් කතා කරනුයේ ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන නොවේ, ක්‍රිකට් පරිපාලනයේ දූෂණ සම්බන්ධයෙන්ය. ඔහු චෝදනාවෙන් දමා ගසනුයේ තිලංග සුමතිපාල වෙත ය.
චෝදනා අතර ලක්ෂ 25ක සහ ලක්ෂ 12ක වියදමකින් යුත් පොත් දෙකක් මුද්‍රණය කිරීමත්, ක්‍රිකට් කෞතුකාගාරයක් සෑදීම වෙනුවෙන් රුපියල් මිලියන 25ක මුදලක් හිමිනමක් වෙත ලබාදීමත් ප්‍රමුඛ වේ. තවත් අතුරු චෝදනා රාශියකි.
රංජන් සපත කරමින් පවසන මේ චෝදනාවන්ගෙන් තිලංගට ගැලවීමක් නැත. බත්පතෙන්, හෝටල් වෙන්කිරීමෙන්, ප්‍රවාහන සේවා සැපයීමෙන් වැනි තවත් බොහෝ ජඩ වැඩවලින් පිටපාරෙන් ලබා ගන්නා කොමිස් මුදල් අතර මේ මුදල අතිවිශාල විනාශයකි. එකී මුදල වියදම් කිරීමෙන් ප්‍රතිඵලයක් වී නම් ඊට පිළිතුරු ලබාදෙමින් තිලංගට නිදොස්වීමට මේ ගෙවී ගිය කාලය හොඳටම ප්‍රමාණවත්ය. එහෙත් ඒ සම්බන්ධයෙන් ඔහු දක්වන්නේ ඇල්මැරුණු ප්‍රතිපත්තියකි.
“විවිධ අය මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කළත් ඒවායේ කිසිම පදනමක් නැහැ. ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර නීතිරීති සමග බැඳී සිටින සහ එහි රෙගුලාසි අනුව කටයුතු කරන ආයතනයක්. එවැනි ආයතනයක් වන අපගේ කාර්යයන් ඉතා අවංකව ඉටුකරනවා.” තිලංග මාධ්‍ය වෙත පවසා තිබුණි.
ඒ, ප්‍රකාශයම පමණක් තිලංගට එල්ලවන චෝදනාවන්ට ප්‍රමාණවත්ද? රංජන්ගේ චෝදනා ඉතා ලෙහෙසියෙන් බැහැර කළ හැකිද? අනෙක් අතට ගත් කල මේ චෝදනා කරනුයේ රජයේ ප්‍රබලයෙක් තවත් එම රජයේම ප්‍රබලයෙකුටය.
රංජන්ගේ මේ හෙළිදරව්වෙන් පිටුපස දේශපාලනය සෘජුවම සම්බන්ධ බවටද ඉඟි ලබා දේ. තිලංගගේ පැටිකිරිය රංජන් දන්නේ අද ඊයේ නොවන බැව් නොදන්නා කෙනෙක් නැත. අනෙක් අතට යහපාලන රජය තුළ ඔවුන් කොතෙක් නම් කලක් ගජ මිතුරන් සේ ආශ්‍රය කරන්නට ඇත්ද? එහෙත් සියල්ල කණපිට හැරෙන්නේ අගමැති වෙත ගෙන ආ දෝෂාභියෝගයත් සමගිනැයි පැවැසේ.
කුමන මොහොතක කලඑළි බැස්සද වරද නම් වරදමය. එහි වෙනසක් තිබිය නොහැක. අනෙක් අතට හුදෙක් කටකතාවක් නොවී රංජන් සියලු සාක්ෂි සහිතව චෝදනා කිරීමය වැදගත්ම දේ. මෙතැනදී රංජන්ගේ චෝදනාවට හාහූවක් නොමැතිව මිනිසුන් කන්දී සිටින්නේ රංජන් ක්‍රිකට් ප්‍රේමියෙක් හැරෙන්නට ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනත් කිසිදු සම්බන්ධතාවක් නොවන බැවිනි. ඔහු ඇත්තට හෝ බොරුවට අර්ජුනගේ ක්‍රිකට් පරිපාලය ද විවේචනය කරන්නේ ය.
තිලංගට මේ සිදුව තිබෙන්නේ අලුත් වයින් බෝතල්වල පරණ වයින් ම දැමූ කල සිදුවන වින්නැහියන් ය. ක්‍රිකට් පරිපාලනයේ මහදැනමුත්තා තිලංග ය. ඔහුට ඉහළින් කිසිවක්ම සිදුවිය නොහැක. එසේ යම් දෙයක් වැරදීමකින්වත් සිදුවී නම් ඊට තිලංග වගකිව යුතුය. මක්නිසාද තිලංග වටා සිටින සැවොම තිලංගගේ ආශිර්වාදයෙන් මේ තුළට රිංගාගත් උන් නිසාය.
තිලංග ආ දා සිටම කළේ ඔවුන් සමග එක්වී තමන් ඊළඟ වාරයේද ක්‍රිකට් මහ පුටුවේ රැඳී සිටීමට ඇවැසි ආකාරයට වැඩ කටයුතු කිරීමය. ඒ වෙනුවෙන් ඡන්ද හිමි ක්‍රීඩා සමාජ වෙත දොළ පිදේනි පිදීම ඉතා අනලස්ව ඉටුකිරීමය. ඡන්ද හිමි ක්‍රීඩා සමාජ හිමිකරුවෝ රාශියක්ම සිටිනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ය. ඔවුහු ඉහඳ පණුවන් සේ ය. කුමක් කළත් ඉලිප්පෙන්නේ ඔවුන්ගේ පසුම්බිය.
මේ බවක් දැන සිටිය ද නොදැන සිටිය ද තිලංගට වගේ වගක් නැත. ඒ තිලංගගේ අභිප්‍රාය අනෙකක් ම වූ බැවිනි. රංජන් මේ පෙරළා පහර දෙන්නේ ඒ තිලංගගේ කල්කිරියාවටය. තිලංග නොදැන හෝ දැන නිහඬව සිටියද ක්‍රිකට් පරිපාලනයේ හිතුවක්කාරී ගමනට පළමු පියවර තැබෙන්නේ එකී පළපුරුදු ජොකියන්ම ඒ තැන්වලම තැබූ කලය.
තිලංග දන්නා රේස්වලදී පළපුරුදු ජොකියෝ මරේ මරුය. ඔවුන්ට අමුතුවෙන් පැවැසිය යුතු යමක් නැත. ඔවුන් තමන්ගේ කාර්යයන් ටක්කෙටම කරන්නට රුසියෝය. එහෙත් එවැනි ජොකියෝ ක්‍රිකට් පරිපාලනයට සුදුසු නැත. අද ක්‍රිකට් පරිපාලනයේ වෙට්ටු දමමින් සිටින්නේ මේ ජොකියෝය. ඔවුන් එදා කළ දේ අදද සුපුරුදු ලෙසින්ම කරගෙන යති. එබැවින්ය ඔවුන් ක්‍රීඩාංගණ සේවකයන්ට ඇන්ද වූ කලිසම් ද ගලවනුයේ.
ඒ ඉතා සොච්චම් මුදලකටය. ඒ සොච්චමකට මිනිසකුගේ ඇඳුමක් ගැලවීමට තරම් අමානුෂික පුද්ගලයන් නම් මේ තුළ රැඳී සිටින්නේ අනෙකුත් කතා කුමකටද? වැඬේ යනු සොච්චම් මුදලකට තමන්ගේ සේවකයන් අනුන්ගේ ඇඳුම් ගලවද්දී තිලංග මහා පරිමාණයෙන් අත දිගහැර තමන්ගේ ප්‍රතිරූපය පුම්බා ගැනීම වෙනුවෙන් මුදල් වියදම් කිරීමය. එසේ වියදම් කළ මුදල් ගැන චෝදනා නැගෙද්දී නොඇසූ කන් ව සිටීම ය.
ඒ තිලංගගේ සූර සටකපට පරිපාලන බුද්ධිය විය හැකි ය.
ක්‍රිකට් නීතිය අනුව මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක්ට, ක්‍රීඩා භාණ්ඩ ගෙන්වන අයෙක්ට සහ ඔට්ටු ඇල්ලීමට සම්බන්ධ පුද්ගලයන්ට ක්‍රිකට් පරිපාලනයේ තනතුරුවලට ඉල්ලා සිටිය නොහැකි ය. එය තිලංග කරළියට එන සෑම අවස්ථාවක රැව් පිළිරැව් දුන් කතා ය. එහෙත් තිලංග තමන්ගේ ගමන ආවේ ය. මේ සියලු තැන්හී තමන්ට හිමිකමක් නොමැති බැව් මෙරටට පමණක් නොවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයටද තිලංග පෙන්වා දුන්නේය. වර්තමානයේ මේ සා චෝදනා නැගෙද්දීත් තිලංග ක්‍රිකට් ජාත්‍යන්තරය හා පැවැතෙන සාකච්ඡාවලට කිසිදු චකිතයකින් තොරව සහභාගි වන්නේ ය. නිලවරණයෙන් පසුව පැවැත්වෙන තරගාවලියන් ද සංවිධානය කරන්නේ ය.
ඒ රංජන් අභියෝග කරන, තිලංගගේ ටිකිරි මොළයේ තරමය.