මෛත්‍රී – රනිල් තුන්වැනි කොටුව හිස්ව තබයිද?

උපාලි කොළඹගේ

රට අරාජික වී ඇති ප්‍රමාණය කෙතරම් දැයි කිව නොහැක. රාජ්‍ය අංශයේ මුළු දේහයම ගිලන් වී ඇති බවක් දක්නට ලැබේ. රාජ්‍ය නිලධාරි තන්ත්‍රයේ ඉහළම නිලධාරි ස්ථරය දැන් සිටිනුයේ එළිපත්තේය. මීට අධිකරණ පද්ධතියද ඇතුළත්ය. එළිපත්තේ සිටින බළලා කුමන පැත්තකට පනීවිද යන්න කාලය පිළිබඳ ප්‍රශ්නයකි.
බලය ගත්තාට වැනෙනවා මිස රට තුළ හරිහමන් රාජකාරියක් සිදුවන්නේම නැත. ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වන්නේ මේ ආකාරයට යහපාලන ආණ්ඩුවේ ඉදිරි දෙවසරකට කිට්ටු නිල කාලය ගතකිරීමට සිදුවුවහොත් එය රටේ ආර්ථිකයට ඉතා අයහපත් ලෙස බලපානු ඇති බවය.
මෙම තත්ත්වය සමහන් කිරීමට හැකියාව ඇත්තේද ජනපතිට හා අගමැතිට පමණි. ඔවුන් දෙදෙනා අයත් පක්ෂ දෙක ඒකමතිකව හෝ ඊට සමීපව තබා ගැනීම නායකයන් දෙදෙනා සතුය. රට තුළ මෙම දේශපාලන අර්බුදයට හේතුවද නායකයන් දෙදෙනා මීට අසමත්වීමය.
දැන් සිදුවූ දේ සිදුවී හමාරය. කල්පනා කළයුත්තේ ඉදිරියේදී කළයුත්ත කුමක්ද කියාය. නායකයන් දෙදෙනා එක්ව සාකච්ඡා කර තීන්දු තීරණ නොගැනීම මෙම තත්ත්වය පැන නැගීමට හේතුවූ බවට කිසිදු සැකයක් නැත.
රනිල් වික්‍රමසිංහගේ ලිච්ඡවී සංකල්පය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කෙරේ බලනොපෑවේ මන්ද යන්න ගැටලුසහගතය. නොඑසේ නම් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සමග ධනාත්මක සංවාදයකට නොඑළැඹීමට ශ්‍රීලනිප ඇතැම් ඇමතිවරුන් මුලසිටම දැඩි අධිෂ්ඨානයක සිටියාද යන්න නොපැහැදිලිය. ඩිලාන් පෙරේරා මුල සිටම නලාව ශබ්ද කළේ රනිල්ට එරෙහිවය. එය සිදුවූයේ කාගේ අනුබලයෙන්ද යන්න සිතාගත හැකිය.
අපගේ අදහස නම් දැන් කළ යුතුව ඇත්තේ ශ්‍රීලනිපයේ කොටසක් සමග හෝ ජාතික ආණ්ඩුව දිගටම කරගෙන යෑමය. එහෙත් එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජාතික ආණ්ඩුවක් විය යුතුය. පොදු ප්‍රතිපත්ති මාලාවක් මත පිහිටුවනු ලබන්නක් විය යුතුය.
සාකච්ඡා හා සම්මුතීන් මගින් මෙම තත්ත්වය උදාකරගත හැකිවේය යන්න අපගේ අදහසයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සෙසු පක්ෂවල මන්ත්‍රී එකතුව 105ක් පමණ වුවද පාර්ලිමේන්තුව තුළ බලය පෙන්වීම සඳහා අවම වශයෙන් තව 7 දෙනකු අවශ්‍යය. මෙය අවම ඉලක්කය වුවද පාර්ලිමේන්තුව තුළ ස්ථිර සාරව බලය පවත්වාගෙන යෑමට නම් ශ්‍රීලනිප මන්ත්‍රීන් 15 – 20 ප්‍රමාණයක් ආණ්ඩු පක්ෂය තුළ රඳවා ගත යුතුය.
මා පෞද්ගලිකව සිතනුයේ එය ජයගත නොහැකි අසීරු අභියෝගයක් නොවන බවය.
අභියෝගය වනුයේ කුළල් කා ගැනීම්වලින් තොරව බලය පවත්වාගෙන යෑමය. ඊට දෙපාර්ශ්වය අතර පුළුල් අවබෝධයක් අවශ්‍යය. නායකයන් දෙදෙනාද ඇතැම් අතීත සිදුවීම් අමතක කර නව ප්‍රවේශයකට අවංකව යා යුතුය. දෙදෙනා අතර විරසකයක් නැතැයි කැරෙන සම මාධ්‍ය ප්‍රකාශක බයිලාවලින් ඔබ්බට ගොස් බුද්ධිමය විරේකයක් මගින් පක්ෂ දේශපාලන කුහකකම් සිත්වලින් ඉවත් කරගත යුතුය. මේ රට වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය යුතු යුතුකම හා වගකීම වනුයේ එයයි.
මෙවර රනිල් හා මෛත්‍රී තුවාල වී බේරුණද ඉදිරියේ මෙවැනි ආරෝවක් ඇති වුවහොත් තත්ත්වය ඉතා බරපතළ විය හැකි බවට අනාවැකි පළ කළ හැකිව තිබේ.
මීට දශක කිහිපයකට පෙර පළවූ පුවත්පත් කාටූනයක් වර්තමානයට සැසඳීමෙන් විය හැකි දේ කුමක්ද යන්න පිළිබඳව යම් ඉඟියක් ලබාගත හැකිවේ යැයි සිතමි. මට මතකයේ හැටියට එම කාටූනයේ මුල් කොටුවේ දැක්වෙනුයේ සර්පයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා එකිනෙකා විරසක බව දැක්වෙන ලෙසද කාටූනය ඇඳ තිබිණ. දෙවැනි කොටුවේ එක් සර්පයකු අනික් සර්පයාගේ වලිගයෙන් එම සර්පයා ගිලින අතර අනෙක් සර්පයා එම සර්පයාගේ වලිගයෙන් අනික් සර්පයා ගිලිණ අයුරු දැක්විණ.
තුන්වැනි කොටුව හිස්ය. සර්පයන් දෙදෙනා එකිනෙකා ගිල අවසන්ය.
මෙහෙම ගියොත් අපේ නායකයන් දෙදෙනාගේද දේශපාලන ඉරණම මේ අයුරින් අවසන් නොවේ යැයි කිවහැක්කේ කාටද?
ජය හෝ පරාජය ඔවුන් අතේය. එහෙත් අපට ඇති ප්‍රශ්නය එය රටේද ජය හෝ පරාජය වන නිසාය. එනම් එය මේ රටේ පොදු ජනතාවගේ ජය හෝ පරාජය වන නිසාය.
2015 ජනවාරි 8දා ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දු ජනතාව බලාපොරොත්තු ආකාරයට ඉටු නොකිරීම මෙන්ම යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක නායකයන්ද ඇතුළුව එකිනෙකා කුළල් කාගැනීම ජනතාවට ආණ්ඩුව එපාවීමට ප්‍රධාන හේතුවකි.
කෙසේ වුවත් යහපාලන ආණ්ඩුවේ ඉදිරි කෙටි කාලය අතුරේ ගමනක් වීමට ඇති ඉඩ ප්‍රබලය. එය රඳා පවතිනුයේ ශ්‍රීලනිපයේ ආණ්ඩුවේ රැඳී සිටින කණ්ඩායමේ අපේක්ෂා හා දේශපාලන න්‍යාය පත්‍ර මතය. ආණ්ඩුව සමග සිටින ශ්‍රීලනිප මන්ත්‍රී පිරිස කුඩා වුවත් ආණ්ඩුව තුළ ඔවුනට සම අයිතිවාසිකම් නොලැබුණහොත් කලින් සිදුවූ දෙයම යළි සිදුවීම නොවැළැක්විය හැකිය.
ඔවුන් ආණ්ඩුවට බැඳ තබා ගැනීම එජාප නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම එජාපයේ තරුණ පිරිසගේද වගකීමකි. එමෙන්ම මේ පිරිස අතරේ ට්‍රෝජන් පරපුරේ අයකු සිටිනවා විය හැක. ඉදිරි මහ මැතිවරණ ළංවෙත්ම මෙම තත්ත්වය වඩා තීව්‍ර විය හැක.
රාජපක්ෂ පිලෙන් නාමයෝජනා ලබාගැනීමේ අරමුණින්ම ආණ්ඩුව තුළ අවුල් ඇති කිරීමේ ප්‍රවණතාවක් පවතී. එය නතර කිරීමට හෝ අවම කිරීමට නම් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය වේගවත් කළ යුතුය. පොදු ජනතාව දැවෙන ප්‍රශ්න හඳුනා ගෙන ඊට වහා ප්‍රතිකර්ම යෙදිය යුතුය. එහි වගකීම ඇත්තේ නායකයන් දෙදෙනා අතය. නැත්නම් දෙදෙනාම අවලංගු වී යෑම වැළැක්විය නොහැක.