රාවය

ඉන්දියාවේ ග්‍රාමීය යථාර්ථය සොයා යන මාධ්‍යවේදියා – පී. සයිනාත්

ඉන්දියාවේ ග්‍රාමීය යථාර්ථය සොයා යන මාධ්‍යවේදියා – පී. සයිනාත්

නාලක ගුණවර්ධන

ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය 90%ක් පමණ කොළඹ දිස්ත්‍රික්කයේත්, ඉතිරියෙන් බහුතරයක් යාපනය දිස්ත්‍රික්කයේත් සංකේන්ද්‍රණය වී තිබෙනවා.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙතුන් දහසක් රටේ සිටියත්, ඔවුන් ආවරණය කරන පුවත්පත්වල පරාසය සීමිතයි. දේශපාලකයන්ගේ ප්‍රකාශයන් හා ක්‍රියාකාරකම් මේ අතර මුල්තැන ගන්නවා. බිහිසුණු අපරාධ, රිය අනතුරු හා ආපදා පිළිබඳ වාර්තාකරණය හැරුණු කොට ප්‍රාදේශීය වාර්තාකරණයට වෙනත් සමාජයීය ප්‍රශ්න හා ප්‍රවණතා පදනම් වන්නේ ඉතා කලාතුරකින්.
එසේ ඉඳහිට වාර්තාවක් සම්පාදනය වනවිටත් සමාජ ප්‍රශ්නයක උච්චවීම හසු කැරෙන නමුත් එයට පසුබිම් වූ ප්‍රමාණයන් ගැන අවධානය යොමුවන්නේ නැති තරම්.
මේ තත්ත්වයට ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පමණක් දොස් කීමට බැහැ. කොළඹ හා යාපනයේ මාධ්‍ය කාර්යාල නිතිපතා ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවන් වාර්තාකරණයක්. ඉල්ලුමට සරිලන සැපයුම ඔවුන් ලබාදෙනවා. එහෙත් බිම් මට්ටමේ බොහෝ යථාර්ථයන් මේ නිසා අපේ මාධ්‍යකරණයට මගහැරී යනවා. මාධ්‍ය හා සෙසු සමාජය අවදිවන්නේ සමහරක් ප්‍රශ්න උඩුදුවා, පිපිරෙන තැනට ළඟාවූ විටයි.
මෙය අපේ රටේ පමණක් නොව දකුණු ආසියාව පුරාම මාධ්‍යකරණයේ තිබෙන දුර්වලතාවක්. අද කතා කරන්නේ එම ප්‍රවාහයට එරෙහිව උඩුගං බලා පිහිනා ගිය, ආදර්ශමත් ඉන්දියානු මාධ්‍යවේදියකු ගැනයි.
පලගුමි සයිනාත් උපන්නේ 1957දී තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරාසියේ (දැන් චෙන්නායි නුවර) මදුරාසා සරසවියට අනුයුක්ත වූ ලොයෙලා කොලීජියේත් ඉන්පසු දිල්ලියේ ජවහර්ලාල් නේරු සරසවියේත් ඔහු අධ්‍යාපනය ලැබුවා. ඔහු උපාධියට හැදෑරුවේ ඉතිහාසයයි. එහෙත් වෘත්තීය හැටියට මාධ්‍යවේදයට පිවිසියා. ඒ 1980දී.
ඉන්දියාවේ ජාතික පුවත් සේවයේත්, ඉන්පසු Blitz නම් සතිපතා සඟරාවකත් සේවය කළ ඔහු නගර කේන්ද්‍රීය මාධ්‍ය කලාවෙන් ගම්බද ඉන්දියානු බහුතරයකගේ යථාර්ථයත් මුළුමනින්ම පාහේ නොතකා හරින සැටි හොඳ හැටි නිරීක්ෂණය කළා.
අපේ රටේ මෙන්ම ඉන්දියාවෙත් නගර කේන්ද්‍රීය මාධ්‍ය කතුවරුන් සිතන්නේ නගරවලින් දුරස්වෙද්දී හමුවන්නේ පුවත් කතරක් කියායි. එනම් කිසිදු ප්‍රවෘත්තිමය වැදගත්කමක් ඇති දෙයක් ගම්බද පෙදෙස්වල සිදුනොවන බවයි.

මෙය වැරදි වැටහීමක් බව තේරුම් ගත් සයිනාත්, ඉන්දියාවේ ගම්බද පෙදෙස්වල සැරිසරමින් බිම් මට්ටමේ සැබෑ තත්ත්වය හා රාජ්‍ය ප්‍රතිපත්ති හා මුදල් ප්‍රතිපාදන එහි ක්‍රියාත්මක වන ආකාරය ගවේෂණය කිරීම ඇරඹුවා.
1993න් පසු ඔහු කළ සියලු මාධ්‍යකරණය කැපවූයේ ඉන්දියාවේ ග්‍රාමීය දිළිඳුබවෙහි විවිධ මානයන් හා පැතිකඩ තේරුම් ගෙන ඒ ගැන සන්නිවේදනය කිරීමටයි.
ආර්ථික විද්‍යාඥයෙකු සහ නොබෙල් සම්මානලාභීයෙකු වන මහාචාර්ය අමර්ත්‍යා සෙන් විසින් වරක් සයිනාත්ව හැඳින්වූයේ “සාගත සහ කුසගින්න පිළිබඳව ලොව සිටින ශ්‍රේෂ්ඨතම විද්වතුන් අතරින් කෙනකු” ලෙසයි.
1991දී ඉන්දියාව ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමෙන් පසු මාධ්‍යවල ප්‍රමුඛතාව ටිකෙන් ටික ප්‍රවෘත්තිවල සිට විනෝදාස්වාදය දෙසට ගමන් කරන බව ඔහු තේරුම් ගත්තා. පුවත් ආවරණය පවා භාවප්‍රකෝපකාරී (sensational) අන්දමින් කිරීමට වැඩි වැඩියෙන් මාධ්‍ය යොමු වුණා.
නාගරික සමාජයේ පාරිභෝජනවාදය සහ ජීවන රටාවන්ට පුවත්පත්වල ප්‍රමුඛතාවත් ලබාදෙන විට ඉන්දියාවේ දිළිඳුබව පිළිබඳ ප්‍රවෘත්ති පළ කළේ ඉතා කලාතුරකින්.
“ඉන්දියානු පුවත්පත් සමාජයේ ආර්ථික අතින් ඉහළම තලයේ සිටින ජනගහනයේ 5%ක ප්‍රතිශතය පිළිබඳ පමණක් වාර්තා කරන්නේ නම් මා පහළම තලයේ සිටින ජනගහනයේ 5% පිළිබඳව වාර්තා කළ යුතු බව මගේ අදහස වුණා” යයි ඔහු කියනවා.
මෙවැනි වාර්තාකරණයකට සැලකිය යුතු කාලයක් පුරා ගමින් ගමට සංචාරය කිරීම අවශ්‍යයි. එයට වැයවන වියදම් පියවා ගැනීමට 1993දී සයිනාත් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සමාගමේ මාධ්‍ය ශිෂ්‍යත්වයකට (Media fellowship) ඉල්ලුම් කළා.
ගවේෂණාත්මක මාධ්‍යකරණයට උදව් වන මේ ශිෂ්‍යත්වයට සම්මුඛ සාකච්ඡාවේදී ටයිම්ස් සමාගමේ පාලකයන් ඔහුගෙන් ඇසුවේ මෙයයි: “අපේ පත්තර කියවන පාඨකයෝ ඔය ගම්වල තොරතුරු ගැන උනන්දුවක් දැක්විය යුතු ඇයි?” එයට සයිනාත් මෙසේ පිළිතුරු දුන්නා: “ඔබේ පාඨකයන් ගැන ඔබ දන්නා තරම එයින්ම පෙනෙනවා!”
සයිනාත් ඉන්දියානු ප්‍රාන්තයන්හි පිහිටි දුප්පත්ම දිස්ත්‍රික්ක 10ක් සොයා දිගු ගමනක් ඇරැඹුවා. වසර දෙකකට අධික කාලයක් ඉන්දියාව පුරා කිලෝමීටර් 100,000කට ආසන්න දුරක් ඔහු ගමන් කළා. ප්‍රවාහන විධි ක්‍රම 16ක් භාවිත කළා. කිලෝමීටර් 5,000ක පමණ සම්මුච්චිත දුරක් පයින් ඇවිදීමට ද සිදුවුණා.
ඔහු මේ දිගු චාරිකාව කරන අතරේම සතිපතා ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පත්‍රයට තීරු ලිපියක් ලියුවා. ගවේෂණය හමාර වන විට ලිපි 84ක් ඔහු ලියා තිබුණා. මේ ලිපිවලට ඉතා හොඳ පාඨක ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන කතුවරුන් මවිත වුණා.
සයිනාත් සංවේදී හා සානුකම්පිත වාර්තාකරුවකු හා විශ්ලේෂකයකු පමණක් නොවෙයි. ඔහු දක්ෂ පුවත් ඡායාරූප ශිල්පියකුද වනවා. මේ නිසා ගම්බිම්වල සැරිසරන විට ඔහු තමන් දුටු මිහිරි හා කටුක යථාර්ථයන් දහස් ගණනක් ඡායාරූපවලටද හසුකර ගත්තා.
1991 ආර්ථික ප්‍රතිසංස්කරණවලින් පසු ඉන්දියාවේ ග්‍රාමීය කෘෂි ආර්ථිකය හා එයට සමීපව බද්ධ වූ ජන ජීවිතය ප්‍රබල විපර්යාසවලට ලක්වූ සැටි ඔහුගේ වාර්තාවලින් මනාව පිළිබිඹු වනවා. සිය ගණනක් ඉන්දීය ගොවීන් ජීවිකාව කරගෙන යෑමේ ප්‍රශ්න විසඳාගත නොහැකිව දිවි නසා ගැනීමට යොමුවන්නේ ඇයිද යන්නට ඔහු සමාජ-ආර්ථික මෙන්ම මානුෂික කෝණයෙන්ද පිළිතුරු සොයා ගියා.
එසේම රාජ්‍ය සංවර්ධන ප්‍රතිපත්ති හා සහනාධාර බිම් මට්ටමේදී අනපේක්ෂිත ප්‍රතිඵල ලබාදෙන සැටි ඔහු උදාහරණ සහිතව විස්තර කළා.
මෙම ලිපි පදනම් බොහොමයක් සයිනාත් Everybody Loves A Good Drought (හොඳ ඉඩෝරයකට කවුරුත් ආසයි’, 1996) නමින් පොතක් ලෙස 1996දී පළ කළා.
මේ පොතේ හැඳින්වීමෙහි ඔහු සඳහන් කරන ආකාරයට ඔහුගේ එම චාරිකාව මගින් බලාපොරොත්තු වූයේ ග්‍රාමීය දිළිඳු ජනතාව සමග කාලය ගතකිරීමෙන් සහ ඔවුන් සමග කතා කිරීමෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය විමර්ශනය කිරීමයි.
එහෙත් එය ආවේගශීලීව ගිය චාරිකාවක් නොවෙයි. ඔහු ඊට පෙර මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළ නිල සහ ශාස්ත්‍රීය වාර්තා රාශියක් කියවූ අතර පසුව එය බිම් මට්ටමේ යථාර්ථයන් සමග සංසන්දනය කළා.
වැඩි වශයෙන් ගොවිතැන් සිදු නොකරන කාලයන්හි ඔහු ක්ෂේත්‍රයට ගියා. එහිදී ඔහු මතු කළ ප්‍රශ්නය වූයේ තම ප්‍රදේශවල ගොවිතැන් සිදු නොකරන වසරේ දින 200-240ක පමණ කාලය තුළ ග්‍රාමීය ජනතාව කුමක් කරන්නේ ද යන්නයි.
ඔවුන් ජීවත් වන්නේ කෙසේද? ඔවුන් ජීවත් වීම සඳහා කුමන උපාය මාර්ග අනුගමනය කරනවාද? ගොවිතැන් නොකරන අවස්ථාවන්හි ඔවුන් සොයා ගන්නා විකල්ප ජීවනෝපාය මාර්ග මොනවාද? ග්‍රාමීය ජනයා සමග මේ ප්‍රශ්න කථා කළා.
බොහෝ මාධ්‍යවේදීන්ට මෙවැනි සාධක ග්‍රහණය වන්නේ නෑ.
දිළිඳුබවේ ආදීනව තනි තනි සිදුවීම් ලෙස වාර්තා කිරීම නොව ඒ යටින් දිවෙන ප්‍රවාහයන් මොනවාදැයි තේරුම් ගැනීමටයි මට උවමනා වූයේ. ප්‍රාන්ත හෝ ජාතික මට්ටමේ මාධ්‍ය, ග්‍රාමීය පෙදෙස් ගැන ඉඳහිට හෝ අවධානය යොමු කරන්නේ යම් විපතක් සිදු වූ විට, මිනිසුන් මියගිය විට වැනි අවස්ථාවල පමණයි.
“එහෙත් දිළිඳු බව යනු හාමත් වීම හෝ සාගතයට ආසන්න තත්ත්වයන්ට වඩා වැඩි ගැඹුරු දෙයක්. එය බහුවිධ සාධකයන්ගේ එකතුවක්. ඉඩම් හිමිකාරිත්වය, සෞඛ්‍යය, අධ්‍යාපනය, සාක්ෂරතාව, ළදරු මරණ අනුපාතිකය සහ ජීවිත අපේක්ෂාව ඉන් කිහිපයක්. ණය, වත්කම්, වාරි මාර්ග, පානීය ජලය, සනීපාරක්ෂාව සහ රැකියා ද මේ යථාර්ථයට ඇතුළත්. ප්‍රදේශයෙන් ප්‍රදේශයට, සමාජයෙන් සමාජයට හා සංස්කෘතියෙන් සංස්කෘතියට මෙවැනි සාධකයන්ගේ සාපේක්ෂ අදාළත්වය වෙනස් විය හැකියි,” සයිනාත් කියනවා.
ඔහු තවදුරටත් විග්‍රහ කරන පරිදි: “දිනකට අනිවාර්යෙන් ලබා ගත යුතු කැලරි ප්‍රමාණය වන කැලරි 2,400 හෝ 2,100 ලැබුණද යමකු තවමත් ඉතා දිළිඳු විය හැකියි. ඉන්දියාවේ ගැටලු සෝමාලියාවේ හෝ ඉතියෝපියාවේ ඇති ගැටලුවලට වඩා වෙනස්ය. කුසගින්න ඉන්දියාව තුළ වඩාත් සංකීර්ණයි. සෝමාලියාවේ හෝ ඉතියෝපියාවේ මෙන් මන්දපෝෂිත හා හාමතයෙන් පෙළෙන පීඩිතයන්ගේ සිත් සසල කරවන දර්ශනවලින් ටෙලිවිෂනයෙන් පෙන්වීමට තරම් සරල නැහැ.

“මේ නිසාම ඉන්දියාවේ දිළිඳුකම වාර්තා කිරීමේ ක්‍රියාවලිය වඩාත් අභියෝගාත්මක සහ වඩාත් වැදගත් ද වනවා. කුසගින්නෙන් පෙළෙන බොහෝ දෙනෙකුට ලැබෙනුයේ කිසිසේත් ප්‍රමාණවත් පෝෂණයක් නොවේ. ළමයින්ට අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා අඩුවෙන් ආහාර ලැබීම සාමාන්‍ය දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන්. පෝෂණ ඌනතාව නිසා මානසික සහ කායික වර්ධනය හානිවිය හැකියි. එහි අහිතකර ප්‍රතිවිපාකවලින් ඔවුන් මුළු ජීවිත කාලයම විඳවනු ඇති.
“කිසියම් පුද්ගලයෙකුට තීරණාත්මක අවස්ථාවන්හි අවම සෞඛ්‍ය පහසුකම් නොලැබීම නිසා සිදුවන හානිය, කලට වේලාවට කුසගිනි නිවා ගැනීමට නොහැකි වීම තරම්ම අභාග්‍යසම්පන්න හා දිගුකාලීන හානි ඇතිකරන තත්ත්වයක්.”
සයිනාත් ක්ෂේත්‍ර පාදක වාර්තා තුළින් හරහා විවිධ ග්‍රාමීය ප්‍රශ්න රටේ අවධානයට ලක් කළා. ග්‍රාමීය ඉන්දියාවේ අධ්‍යාපනය සහ සෞඛ්‍යාරක්ෂණය පිළිබඳ යථාර්ථයන් ඔහු මතුකර පෙන්වූවා.
සුළු පරිමාණ ගැමි ගොවීන් ණය උගුලට හිර වී සිටින සැටි, කාලගුණික හා දේශගුණික විසමතා නිසා අස්වනු පාළු වී යන සැටි, සහ අස්ථාවර වෙළෙඳපොළ මිල ගණන් පිළිබඳව ද ඔහු විමර්ශනය කළා.
දුගී හා අසරණ ග්‍රාමීය ජනයා, කුල සාධකය සහ නිලධාරීවාදය නිසා පෑගී මිරිකී ඉතා දුක්ඛිත ජීවිත ගෙවන අන්දම ඔහු හෙළි කළා.
නියඟය, ගංවතුර වැනි ස්වභාවික විපත්වල බලපෑම්වලින් පීඩාවට පත් ප්‍රජාවන් එවැනි විනාශයන්ට මුහුණ දෙන්නේ කෙසේදැයි ඔහු අධ්‍යයනය කළා.
ග්‍රාමීය ජනතාවට වනාන්තරවලට ඇතුළුවීමට ඇති හැකියාව සහ කාන්තාවන්ට ආදායමක් ලැබීමට සහ දේපළ හිමිකාරීත්වය ලැබීමට ඇති අයිතිය වැනි පුළුල් සමාජ ප්‍රශ්න ඔහු මතු කළා.
ග්‍රාමීය සංවර්ධනයේ නාමයෙන් මහජන මුදල් මහා පරිමාණයෙන් අපතේ යනු හා කොල්ලකනු සයිනාත් අනාවරණය කළා.
ඔහුගේ උදාහරණ රැසක් අතුරින් දෙකක් මෙන්න:
■ එකම එක ආදිවාසී ගෝත්‍රික වැසියකු පමණක් ජීවත් වූ ගෝත්‍රික ගම්මානයකට පිවිසීම සඳහා මහජන මුදලින් මාර්ගයක් ඉදි කිරීම;
■ රුපියල් මිලියන 20ක් වැය කළ කිරි කර්මාන්තය සංවර්ධනය කිරීමේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපෘතියකින් වසර දෙකකට පසුවත් එකඳු අමතර කිරි ලීටරයක් නිෂ්පාදනය කිරීමට අපොහාසත්ව තිබීම.
ඔහු ලිපිවලින් මතු කළේ ගැටලු සහ ඒවාට පදනම් වූ හේතු පිළිබඳ පමණක් නොවෙයි. ග්‍රාමීය ජනතාවගේ ප්‍රත්‍යස්ථතාව (බොහෝ දේ දරා ගැනීමේ හැකියාව), රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සමහර අවංක සේවකයින්ගේ කැපවීම සහ බිම් මට්ටමෙන් සාර්ථක වූ නව්‍ය සංවර්ධන විසඳුම් පිළිබඳව ද වාර්තා කළා. ඇතැම්විට ජනතාවට සේවය කිරීම පිණිස ඔවුන්ටම ආවේණික ක්‍රමයකට සටන් වැදුණු අවංක රජයේ නිලධාරීන් පිළිබඳ විශේෂාංග ලිපි ලියුවේ ඔවුන්ට ප්‍රණාමයක් ලෙසත්, වෙනත් එවන් නිලධාරීන් දිරිමත් කිරීමටත්.

ඉන්දියාවේ ප්‍රගතියට යන මාවත අවහිර කර ගෙන සිටින්නේ ‘අලස, කාලකන්නි දිළිඳු ජනයා’ය යන දුර්මතය ඇතැම් සටකපට රාජ්‍ය නිලධාරීන් විසින් ප්‍රාදේශීය සහ ජාතික මට්ටමේ ජනමාධ්‍යවේදීන් හරහා රටට ඒත්තු ගන්වා තිබෙන සැටි සයිනාත් විවේචනය කළා.
විසම දේශපාලන හා සමාජතන්ත්‍රය මුළුමනින් පිළිසකර නොවූවත්, සයිනාත් දිගින් දිගට ලියූ ලිපිවලින් යම් හිතකර වෙනස්කම් සිදුවුණා.
උදාහරණ ලෙස තමිල්නාඩුවේ නියං කළමනාකරණ වැඩසටහන නිසි ලෙස නැවත සකස් කිරීම, ඔරිස්සා ප්‍රාන්තයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ගෝත්‍රික ජනතාව සඳහා වූ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන සකස් කිරීම පෙන්විය හැකියි. අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා ක්‍රමෝපායන් යෝජනා කිරීම පිණිස කෘෂිකර්ම කොමිසම පිහිටුවීමට ඔහු සක්‍රීය ලෙස දායක වුණා.
නගරයේ පිහිටි තම මාධ්‍ය කාර්යාලයෙන් එළියටවිත් ඉන්දියාවේ හුදෙකලා ප්‍රදේශවල වෙසෙන බහුතරයක් දුප්පත් ජනතාව සමග කතා කිරීමට සහ ඔවුන්ට සවන්දීමට සෙනාත් විසින් තරුණ ජනමාධ්‍යවේදීන්ව පෙළඹවීම සයිනාත්ගේ මාධ්‍යකරණයේ දිගුකාලීන ප්‍රතිඵලයක්. Everybody Loves A Good Drought කෘතිය 34 වන මුද්‍රණයේ පවතින අතර ඉන්දියාවේ සහ විදේශ විශ්වවිද්‍යාල 100කට අධික සංඛ්‍යාවක් එය පරිශීලනය කරනවා. අනූ ගණන්වල අග භාගයේ ඉන්දියාවේ එවකට ජ්‍යෙෂ්ඨතම කතුවරයෙකු වූ නිකිල් චක්‍රවර්ති සයිනාත්ගේ පරිශ්‍රමය “ඉන්දියානු ජාතියේ හෘද සාක්ෂිය” ලෙස හැඳින්වූවා.
2007දී ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙසද හැඳින්වෙන රාමන් මැග්සයිසේ සම්මානය සයිනාත්ට පිරිනැමුණා. ගැමි දිළිඳු ජනතාව ඉන්දියානු ජාතිකමය හෘදය සාක්ෂිය වෙත ගෙන ඒම සඳහා ජනමාධ්‍යවේදියෙකු ලෙස ඔහු කළ දිගුකාලීන දායකත්වය මුසු කිරීම වෙනුවෙන් ඔහුට එම සම්මානය ලැබුණා. මීට අමතරව ඔහුට දෙස් විදෙස් සම්මාන 40ක් පමණ ලැබී තිබෙනවා.
පසුගිය දශකයකට වැඩි කාලයක් සයිනාත් නිදහස් මාධ්‍යවේදියකු හා මාධ්‍ය ගුරුවරයකු ලෙස කටයුතු කරනවා. ඔහු තම අත්දැකීම් මත පදනම් වී ග්‍රාමීය ගවේෂණාත්මක මාධ්‍යකරණය ගෙන ඉන්දියාවේත්, බටහිර රටවලත් සරසවිවල දේශනා කරනවා.
ඉන්දියාවේ දිළිඳුබවට තීරණාත්මකව බලපාන කුල සාධකය ගැනත් ඔහු පුළුල්ව ගවේෂණ හා පර්යේෂණ කරනවා. එසේම ග්‍රාමීය ඉන්දියාව පිළිබඳ ජනතා ලේඛනාගාරයක් ඩිජිටල් මාධ්‍ය හරහා ගොඩනැගීම ඔහුගේ අලුත්ම උත්සාහයයි. “ග්‍රාමීය ඉන්දියාව සංකීර්ණවූත්, විචිත්‍රවූත් සමාජ පද්ධතියක්. එය ශීඝ්‍ර පරිණාමයට ලක්ව තිබෙනවා. මේ පරිණාමීය ක්‍රියාදාමය ලේඛනගත කිරීමයි අප කරන්නේ” ඔහු කියනවා.

වැඩි විස්තර මෙතැනින්:http://psainath.org, https://ruralindiaonline.org