ගෑනු පත්තර

විමලනාත් වීරරත්න

ඇතුල්කෝට්ටේ ගාමා නළලට කණ්ණාඩි කුට්ටමක් දමාගෙන පත්තරයක් ගැනීමට මල්පාර කිට්ටුව පත්තර තට්ටුවට ගියේය. මෑන් ඉල්ලුවේ අදත් හෙටත් නොවන වෙනත් පත්තරයකි. මෑන්ට පත්තරවල දින වකවානු ගැන හොඳින්ම දන්නා කඬේ මුදලාලි දික් කළේ රාවය පත්තරයකි. මේක නෙමෙයි කියා මෑන් මුදලාලිට අතින් සන් කළ විට ඒ පත්තරේ යළි තට්ටුවට දැමූ මුදලාලි මේ වතාවේ ලංකා පත්තරයක් ගාමාට දික් කළේය. ඔය මඟුලක් නෙවෙයි ඕයි කියා ගාමා මුදලාලිට පොඩි සත්තමක් දැමූ විට මල පැන්න මුදලාලි කීවේ ඕයි අද සිකුරාදා ඉතිං අනිද්දට එන පත්තරේ රාවය නැත්නම් ලංකා, තමුසෙට ඒ දෙකම එපා නං වෙන මඟුලක් මේ තට්ටුවේ නැහැ, යන ප්‍රංශෙක යනවා යන්න කියාය. කොටිකාවත්ත හංන්දියේ දී මේ ජාතියේම හෙන අඤ්ඤකොරොස් තත්ත්වයකට කොටිකාවත්තේ සරා මුහුණ පා සිටියේය. අද හෝ හෙට නොවන පත්තරයක නමක් කියා රුපියල් සීයක් දිගු කළ සරාට පත්තර මුදලාලි දී තිබුණේ රාවය පත්තරයකි. මේ මොන රෙද්දක් ද මේක එපා වුණු හින්දා තමයි අලුත් එකක් පටන් ගත්තේ කියා පත්තරෙන් මුදලාලිගේ මූණට ගැසූ සරාට සොරි සර් එහෙනං මේක ගන්න කියා මුදලාලි එවර දී තිබුණේ ලංකා පිටපතකි කොටිකාවත්තේ සරා එවර කොටි සරා බවට රූපාන්තරණය වී හොඳ අලුකුඤ්ඤ දෙකක් මහරගම පැත්තට හැරී කියා තිබුණු අතර මුදලාලි මදක් කල්පනාභරිතව සිට කියා තිබුණේ මට පේන හැටියට නම් බොස්ගෙ නඩුව දැනුයි පටන් අරං තියෙන්නේ කියාය.
ඔය කියන සිකුරාදා ජනාධිපතිතුමා පත්තරේ අතට ගත්තේ මේ ටිකේ මොකෙන් මොක වුණාද කියලා දැනගන්න විදියක් නැතුව මං උන්නෙ කියා ළඟ සිටි පූසාට කියමිනි. පූසා කීවේ ඇයි ඉතිං වෙබ් බලන්න තිබුණනෙ කියාය. ජනාධිපතිතුමා කීවේ හරිහමං විදියට සෝස් එක නැතුව ලියන එවුංගෙ නිව්ස් මං බලන්න කැමති නැහැ කියල උඹ දන්නවනෙ කියාය. පූසා ඇසුවේ එනකොට බොස් හිතන්නෙ පත්තරවල එවුන් තිතටම සෝස් එක්ක ලියනවා කියල ද, උන්ගෙන් හුඟක් එවුන් දැන් ලියන්නේ වෙබ් බලලා එව්වයෙ යන මගුල්ම ටිකක් එහාට මෙහාට කරලා තමයි කියාය. ජනාධිපතිතුමා එය නෑහුනා වගේ පත්තරයට ඔළුව ඔබාගත් අතර පූසා කීවේ වැඩක් නැහැ බොස් අද කාලෙ පත්තරත් නිකං ගෑනු වගේ අන්තිම චපලයි කියාය. ඊට ඔළුව ඉස්සූ ජනාධිපතිතුමා ඒ කිව්වේ කියා ඇසූ අතර පූසා කීවේ නෑ ඉතිං මං කියන්නේ සල්ලි තියෙනවා නම් විතරනෙ පත්තරේ වුණත් ගහන්න පුළුවන් නැත්තං වැහෙනවා කියාය. එතුමා ඊට ප්‍රතිචාරයක් නොදැක්වූ අතර පූසා ජනාධිපතිතුමාට කීවේ අදත් අලුත් පත්තරයක් ඇවිත් තියෙනවා කියාය. ජනාධිපතිතුමා කීවේ මං දැක්කා මට උන්ගෙ කොලේකුත් එවලා තිබුණා කියාය. බොස් දැක්ක ද අපේ ගාමයි, සරයි දෙන්නත් ඒකට ප්ලග් වෙලා කී පූසාගෙන් ජනාධිපතිතුමා ඇසුවේ උඹ දැක්ක ද ගාමිණි මල්ලි නම් කියලා තිබුණා, ඒගොල්ලො කලින් ලියපු විකල්ප පුවත්පත පවා දැන් දැන් දේශපාලන ව්‍යාපෘතිවලට නතුවෙලා කියලා, උඹ මොකද ඒ ගැන හිතන්නේ කියාය. පූසා කීවේ මෙහෙමනෙ බොස් උන් කලින් ලියපු විකල්ප පත්තරේට වෙන මොකෙක්වත් නෙමෙයි උන් දෙතුන්දෙනා එකතුවෙලා කරපු අසික්තික වැඬේනෙ ඔය වෙන එවුන්ගෙ පිට දාන්න හදන්නේ කියාය.
ජනාධිපතිතුමා කොමන්වෙල්ත් රවුම ගහලා එන විට චීනක්කණ්ණාඩියක් ගෙනාවේය. එතුමා පූසාට පොඞ්ඩක් ඉදිං කියා කාමරයට ගොස් ආවේ අමුතුම ජාතියේ කණ්ණාඩියක් දමාගෙන බව දුටු පූසා එතුමා ළඟට පැන කණ්ණාඩියට එබිකම් කළේය. ඌ මුලින්ම දුටුවේ ඇතුල්කෝට්ටේ හන්දියයි. අනතුරුව කකපුඩාගත් කඩියකුසේ පත්තර තට්ටුවෙන් තට්ටුවට ගොස් මොකක් නමුත් පත්තරයක් සොයන ගාමා දර්ශනය විය. මොකක්ද බොස් මේ සීන් එක කියා පූසා විස්මයට පත්ව ජනාධිපතිතුමාගෙන් ඇසූ සැණින් අර සීන් එක කොටිකාවත්තේ සරාට මාරු වී තිබුණි. ලක්‍ෂඋයනේ නිරීක්‍ෂණයෙන් පසුවූ ජනාධිපතිතුමා කීවේ මාර වැඬේ හැම කඬේකින්ම මුං ඉල්ලන පත්තරේ නෙවෙයි දෙන්නෙ මෑන්ස්ලා කලින් ලියපු එක කියාය. පූසා කීවේ එහෙනං උන් හොයන එක උණු කැවුම් වගේ විකිණිලා ඇති කියාය. ජනාධිපතිතුමා කීවේ උඹට පීකුදුද, ඒ යක්කු පත්තර තුන්දාස් පන්සීයලු ගහන්නේ ඒක ඔෆිස් එකේ එවුන්ට දෙක ගානෙ බෙදලා, ෆ්‍රී කොපි ටිකත් යවලා තව ඉතිං කීය කීය හරි ආධාර කරපු එවුන්ට කොපිය ගානෙ යැව්වාම ඉතිං බඩු බනිස් කියාය.
මේ වෙලාවේ ජනාධිපතිතුමාට හෙන පම්ප් ටයිට් එකක් ආ අතර එතුමා අමුතු කණ්ණාඩිය ගළවා ටී පෝ එක උඩ තබා වොෂ් රූමයට ගියේය. ඒ ඇසිල්ලෙහි පූසා චීනක්කණ්ණාඩිය දමාගෙන ඒකෙන් පේන රූප ඒ මේ අත හරව හරවා පාස්ෆෝවර්ඞ්, වැක්බර්ඞ් යව යවා අමුතු විපරමක් පටන් ගත්තේය. එකපාරටම දර්ශනය වූයේ ටිකක් කාලවර්ණ කර්තෘ කෙනෙකුට ටිකක් සුදු කෙල්ලක් හෙන උදේ පාන්දරක චොකලට් ෆින්ගර්ස් ගෙනත් දෙන අන්දමය. කර්තෘ දුන්නු වෙලේ සිට ඇඟිලි ලෙව කකා හිටියා මිසක් පෙරදා රෑ දෙගොඩහරියක් වන තුරු සබ් කරපු ලිපි ටික ටයිප් සෙටිං අංශයට ගෙනගොස් දෙන්නට වත් තත්පර නොවීය. ඊළඟට තව දවසක් උදා වන සැටි චීනක්කණ්ණාඩියෙන් පෙනුණේය. ටිකක් කළු කර්තෘට අර කියපු කෙල්ල මේ කියන දවසේ චොකලට් ගෙනාවේ නැත. කර්තෘ මූණ දෙක කරගෙන සබ් කළ ලිපියි ඩමියයි රැගෙන පිටු හදන අංශයට ගියේය.
‘කටුරොද මඩ වගුරුවල මානෙල් ඕලු, මැණිකෙගෙ මුහුණ බැලුමට පොර කනවාලු’ කියන ඕනෑම එකෙක් දන්නා කවියවත් නොකියවපු ටිකක් කළු කර්තෘ පුදුමයකට මෙන් සිය නෝට් පොතේ චොකලට් සීන්කෝන් එක ගැන කවියක් ලියන්නට ට්‍රයි කරන ආකාරය ඊළඟට පූසා දුටුවේය. ඌ උඩගියේ මිනිහා නීතියේ පාලනය වගේ දේවල් ගැන ලිව්වට කවියක් ලියලා තියෙනවා නම් මම කවමදාවත් දැකලා නැහැ’. කියා පිටුපසින් පැමිණි ජනාධිපතිතුමා බර කටහඬකින් කියන විටය. පූසාගේ ඇස් අස්සෙන් චිනක්කණ්ණාඩිය දෙස බලා හුන් ජනාධිපතිතුමා කීවේ ඕක මුළු කර්තෘ මණ්ඩලයම පාරාජිකාවෙන වැඩක් කියාය. මොකක්ද කියා ඇසූ පූසාට ජනාධිපතිතුමා කීවේ කර්තෘවරු ඔය වගේ ලිපියක් ලියන්න පත්තරේකට ගොඩවැදුණු අඩල ගෑනුන්ට ලව් කරන්න ගියාම උන් නවතින්නෙ කර්තෘගෙ කරේ කියාය. පූසා කීවේ බොස් හරියට හරි දැන් උන්දැ ඉන්නෙ එතන තමා කියාය. එතකොට ඔතන උන්නු ඩිපියුටිලා සීනියර් ජර්නලිස්ට්ලා උනුත් ඕවා බල බලා ලල් එකේ ඉඳලද කියා ඇසූ ජනාධිපතිතුමාට පූසා කීවේ ඒ හුඟක් එවුන්ට ඔළුව ටිකක් තිබුණාට කොන්දක් තිබිලම නැහැ කියාය.
පූසා හදිසියේම කණ්ණාඩිය ගළවා දමා ටිකක් තරහින්වගේ ජනාධිපතිතුමා දෙසට හැරී කීවේ ඔය යක්කු දෙතුන් දෙනාම නැති කළේ බොස් කියාය. ඊට ජනාධිපතිතුමාට අසූහාරදාහයි තුන්කාලට නැග්ග අතර එතුමා සද්දයක් දමා කීවේ මං උන්ට කරපු මඟුලක් නැහැ කියාය. නැත්තේ මොකද කී පූසා උන් පහුගිය අවුරුදු තුනේම වළං හෝදන්න එනවා වගේ උදේ හවස මෙහේ ඇවිත් හොරු මිනීමරුවෝ අල්ලන්න කිව්වා. බොස් උන්ට තෙලක් බෙදල යැව්වා. ප්‍රතිසංස්කරණ කරන්න කිව්වා. ව්‍යවස්ථාව ගේන්න කිව්වා බොසුත් හිටපු බොසා වගේ කළු කර්තෘගෙයි ගාමාගෙයි සරාගෙයි බුරියට වියතක් විතර පහළට ඇඟිල්ලෙන් ඇනලා කිති කවලා නිකං හිටියා. අන්තිමට කළු කර්තෘ චොකලට් කාලම නැති වුණා. ගාමයි සරයි රටේම පීචං වුණා, ඒක නෙමේද වුණේ හා ද කියාය.