අප්‍රේල් සටහන්, ශ්‍රී ලංකාව.

සුනන්ද දේශප්‍රිය

අප්‍රේල් මුල යුරෝපයේ පාස්කු නිවාඩුව බැවින් සති තුනකට ගෙදර ගොස් ඒමට අවස්ථාව සැලසුණි. මේ 2015 ජනවාරි පෙරළියෙන් පසු මා ලංකාවට ආ ගිය නවවන වතාවය.
අප්‍රේල් පළමුවැනිදා බකමූණෝ වෙබ් අඩවිය පැවැත්වූ V Day රංගනය නරඹන්නට ගියෙමි. රුපියල් 1000 ගණනේ ටිකට් ගත් 400කට වැඩි පිරිසක් එහි පොදිකෑහ. පැමිණි බහුතරය ඉංග්‍රීසි කතා කරන තරුණ තරුණියෝ වූහ. එකී රංගනයන් සහමුලින්ම යොමුව තිබුණේ අප සමාජයෙහි සිදුවන ලිංගික අපහරණයන් සහ පුරුෂ මූලික ලිංගික චර්යාවන් උපහාසාත්මක නිර්දය විවේචනයකට ලක් කිරීමටය. එහි බස ‘වැඩිහිටියන්ට පමණයි’ ප්‍රභේදයට අයත් විය. මෙහි රංගනයන්ට ඩබ් ජයසිරි, අනුරුද්ධ, ඩොමිනික්, ගෙහාන්, වැනි ප්‍රවීණයන්ද දායක වූහ.
එම රංගනයන් සමහරක් 80 ගණන්හි අප ගාමිණී හත්තොට්ටුවේගම සමග එක්ව ගමින් ගමට ගෙන ගිය වීදි නාට්‍ය ආරය ගත්තේය. හත්තොට්ටුවේගම සමග එච්.ඒ. පෙරේරා, කිංස්ලි ලෝස්, දීපානි වැනි ප්‍රවීණයින් මෙන්ම ආධුනිකයින්ද ගමින් ගම ගියේය. පසුව ඒ ආධුනිකයින්ද වේදිකාවෙහි ප්‍රවීණයන් බවට පත් විය. මෙම ප්‍රහසන දෙක අතර වූ වෙනස නම් හත්තොට්ටුවේගම සමාජයේ බිම් මට්ටම ආමන්ත්‍රණය කිරීමත් V Day අධ්‍යක්ෂණය කරන බිලිමෝරියා සමාජයේ ප්‍රභූ තලය ආමන්ත්‍රණය කිරීමත්ය.
ආපසු එන අතරවාරයේ මට සුනිලා (අබේසේකර) මතක් විය. සමාජයේ බිම් මට්ටම සහ ප්‍රභූ තලයන් අතර ගමන් කරමින් එකී තලයන් දෙකටම ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ඇයට තිබුණි. සමහරවිට ඇය තවමත් අප අතර සිටියා නම් V Day හි රංගනයකට දායකවන්නටත් තිබුණි.
රාජපක්ෂ සමයේදීත් පවත්වා ගෙන ආ මෙම V Day ප්‍රහසනයෙහි එක් රංගනයක් සහමුලින්ම යහපාලකයෝ වාරණය කර තිබුණි. එහි මැය වූයේ කිසිම තත්ත්වයක් යටතේ ගබ්සාවක් කිරීමට විරුද්ධව කාර්දිනල් කුරේ ගෙන යන අඥාන මතවාදයයි. කනගාටුවකට මෙන් මේ වාරණ මණ්ඩලයෙහි මාධ්‍ය නිදහස සඳහා සටන් කරන අපේ සගයෝද වෙති!
දෙසැම්බරයක සටහන් නමින් මා ලියූ පසුගිය ලිපියක තිබූ තලාහේන අටේ කණුව හන්දියේ වතුර කාන්දුව මතකද? ඉන් තවමත් ඒ තරමටම වතුර කාන්දුවෙමින් තිබූ අතර ගලා ගිය ජලයෙන් අවට මළකඩ පැහැගැන්ව තිබුණි. රටේ හැටිය! දුටුගැමුණු පාරේ කාණුව තවමත් අපද්‍රව්‍යය රැස්වන කුණු බාල්දි ප්‍රභේදයේම පැවැතුණි. මා ගෙදර සිටි සති තුනටම කුණු ට්‍රැක්ටරය ආවේ දවස් දෙකකි. අලුත් අවුරුද්ද අප ගෙවූයේ උතුරන තරමට පිරී ගිය කුණු බාල්දි දෙකක නළියන පණුවන් සමගය.
අප්‍රේල් පස්වැනිදා 71 සගයින් දැක කතා බස් කරනු පිණිස 71 සහෝදරත්ව සංසදයේ රැස්වීමට ගියෙමි. අප කළේ එහි කතා අසා සිටිනු වෙනුවට වසරකට පමණක් හමුවන සගයින් සමග අල්ලාප සල්ලාපයේ යෙදීමය. නව පුරවැසියා නමින් සංසදය පළකරන පත්තර සඟරාව මිලට ගත්තෙමි. කළු සුදු වර්ණයෙන් සඟරා ප්‍රමාණයෙන් මුද්‍රණය වන එය ඇත්ත වශයෙන්ම නම් අයත්වන්නේ 1971ටත් වඩා පරණ ආකෘතියකටය. 1971 දී ජවිපෙ පළ කළ පුවත්පත්හි පවා මීට වඩා ආකර්ෂණීය බවක් තිබුණි.
එකල බදුල්ලේ දුම්රිය පොළට ආ ජනතා විමුක්ති පත්තර 500 කරින් ගෙන බදුල්ල රෝහලට ඉහළින් වන ගම්මානයට ගෙන ගියේ අප දෙදෙනෙකු විසිනි. පත්තර විකුණූ මුදල් එක්කරනු වෙනුවට අප කළේ පොලු තියා සෙවූ මුදලින් එම වැය පියවීමයි. පත්තර විකුණා ලද මුදල් පූර්ණකාලීනයන්ගේ වියදම් පිණිස තබා ගන්නා ලෙස කීවෙමු.
නව පුරවැසියා බිහිවන්නේ අච්චු අකුරු අතරින් නොව අන්තර් ජාලයෙන් බව තේරුම් ගන්නට තව කොපමණ කලක් යනු ඇතිද? අඩුම වශයෙන් එම පුවත් සඟරාවෙහි පළවන ලිපි අන්තර්ජාලයට මුදා නොහරින්නේ මන්දැයි තේරුම්ගත හැක්කේ 71 පරම්පරාවේ බහුතරය අන්තර්ජාලයේ සැරිසරන්නේ නැති බව තේරුම් ගත්විට පමණය. ඔවුන් බහුතරය මුහුණු පොතෙහි හෝ නැත.
එදින නිකුත්ව තිබූ අම්බලන්ගොඩ පියසිරි ගුණරත්නගේ මතක සටහන් පොත් පිංච පැරණි මතකයන් අලුත් කළේය. ජවිපෙ ගොඩනැගීමට දායක වූ මුල් හතරදෙනාගෙන් අද ජීවතුන් අතර සිටින්නේ පියසිරි අයියා පමණි. ඔහු අපේ තාත්තා සහ ජවිපෙ අතර වූ සබඳතාව ගැන ලියා තිබූ සමහරක් කරුණු මා දැන සිටියේ නැත. විශේෂයෙන්ම ජවිපෙ ගොඩ නැගීමට රැයක් පුරා අපේ නිවසෙහි කළ මුල් සාකච්ඡාවත් 1971 මාර්තු මාසයෙහිදී ජවිපෙ ප්‍රධාන පෙළේ නායකයින් අප නිවසට කැඳවා පක්ෂය සමගි කරනු පිණිස තාත්තා ගත් උත්සාහයන් මා දැන නොසිටි කරුණු අතර වෙයි. නිල ජවිපෙ ඉතිහාසය විසින් අමතක කර දමා ඇති බොහෝ ඉතිහාසීය කරුණු මෙම පොත් පිංචෙහි අන්තර්ගතය.
කොළඹ පුස්තකාල ශාලාවෙහි පැවති රැස්වීම අතරතුර ප්‍රේමපාල සහෝදරයා සමග පිළිසඳරකට මඟ පෑදුණි. ඔහු 1971 කැරැල්ලට පෙර ගංගොඩවිල ජවිපෙ කණ්ඩායමෙහි ප්‍රමුඛයකු විය. කැරැල්ල පරාජය වීමෙන් පසු රහසිගතව ජවිපෙ ගොඩනැගීමේ ප්‍රයත්නයෙහි නායකයා වූයේ ඔහුය. මහත් ඇසූ පිරූ තැන් ඇති ප්‍රේමපාල සහෝදරයා දේශපාලනික දාර්ශනිකයෙකි. තවමත් ඔහුට ජවිපෙ 71 දේශපාලන පංති පැය හතරක් පහක් එක දිගට පැවැත්විය හැකි බව කීවේ දෙවසරකට පෙර ඔහුට සවන් දුන් බණ්ඩාරවෙල සේනය. බදුල්ල දිසාවෙහි පූර්ණකාලීනයකු වූ සේන එකල අපේ පොලු අංශයේ නායකයා විය.
දැන් 70 වන වසරට ආසන්නව සිටින මේ ඓන්ද්‍රීය දේශපාලන නායකයා දැන් එක් රැයකට රුපියල් 750.00ක් ලැබෙන කණිෂ්ඨ ආරක්ෂක නිලධාරියකු ලෙස මුළු රැයම හිටගෙන සිටින රැකියාවක නිරත වෙයි.
මේ අතර මුත්‍රා බරක් ඇතිවී පුස්තකාල වැසිකිළියට ගියෙමි. අයකිරීම රුපියල් 10කි. බිලක් දෙනවාද ඇසීමි. “නැහැ, මොන බිල්ද මේක මගේ වැඩක්” වැඩකරු කීවේය. ඒ වන විටත් රුපියල් දහයේ කාසි දෙතුන් සියයක් පෙට්ටියේ පිරී තිබුණි. එනමුත් වැසිකිළිය අපිරිසිදුය! රටේ හැටි!
සංසදයේ රැස්වීමෙහි ප්‍රධාන දේශකයා වූයේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ය. ඔහුගේ කතාව පරිවර්තනය කිරීමට නියමිත වූ සිවා (සිවගුරුනාදන්) එය මට පැවරුවේය. සුමන්දිරන් අපූරු කතාවක් කළේ 1971 සිංහල තරුණ අරගලය සහ 80 ගණන්හි ඇරඹි දෙමළ තරුණ අරගලය අදාළ කර ගනිමිනි. අයිතීන් දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික වශයෙන් බෙදා වෙන් කළ නොහැකි බව පෙන්වා දුන් ඔහුගේ කතාවෙහි මුඛ්‍ය පණිවිඩය වූයේ දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් කල් නොදමා ආමන්ත්‍රණය කළ යුතු බවය. පරිවර්තනයෙහිදී මට අතපසුවුණු දෙතැනකදීම සුමන්දිරන් මා නිවැරදි කළේ ඔහුගේ සිංහල දැනුම මොනවට පෙන්නුම් කරමිනි. 71 කැරලිකරුවන් හමුවෙහි දෙමළ ප්‍රජාතන්ත්‍රවාදියකු විසින් කරන ලද ඒ කතාව මෙරට ජනමාධ්‍යයට වැදගත් නොවීමම අපේ කාලයේ හිස්බවට දෙස් දෙයි.
දිගන වාර්ගික ප්‍රහාරයට මසක් පිරුණු හයවැනිදා එහි ගොස් කළ කතාබස්වලදී සිංහල ජනයාගේ බිය මුසු වෛරය පමණක් නොව මුස්ලිම් අයතුරෙන් අසන්නට ලැබුණූ අන්තවාදයද අපේ තිගැස්මට හේතු විය. සංහිඳියාව වෙනුවට වර්ධනය වන්නේ ගිනි කන්දක්දැයි බිය සිතුණි.
මේ අතර අපේ ඥාති දියණියකට පුද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුල්වීමට අවස්ථාව සැලසුණේද එම බක්මහේදීමය. ඒ සඳහා ආණ්ඩුවෙන් වසරකට දෙලක්ෂයක ණයක් එම දියණියට ලැබෙන අතර විශ්වවිද්‍යාලයටද ගෙවනු ලබන්නේ ආණ්ඩුවෙනි. සිව්වසරකට පසු පොලී නැතිව තමා ලබන ශිෂ්‍යාධාරය ආපසු බැංකුවට ගෙවිය යුතුය. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 4000කට මෙම අවස්ථාව සැලසෙන්නේ යැයි කියැවී තිබුණි. මෙයද පුද්ගලික විශ්වවිද්‍යාල ආකෘතියක් බැවින් සයිටම් විරෝධීන් අවි අමෝරා ගනු ඇත්දැයි තවම කියනු නොහැකිය. මෙම අරමුදල් ලබා දුන්නේ නම් ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවලට මෙම සේවය සලසන්නට නොහැකිද යන ප්‍රශ්නය ද ඇසිය යුතු එකකි. අනෙක පෙනෙන විදියට මෙම උපාධි මෙරට පිළිගැනෙන්නේද යන්නද පැහැදිලි නැත. කොම්පැණිවලට මහජනයාගේ සල්ලි දීම යූඇන්පී පිළිවෙතය.
එහි හොඳ නරක පසුවට තබා අපේ දියණිය තේරී තිබූ අධ්‍යාපනවේදී උපාධිය ගැන ඇතිවූ කතාබහකට යොමුවෙමු. එහිදී කියැවුණේ කොළඹ ප්‍රධාන පෙළේ (පුද්ගලික- රාජ්‍ය) පාසලක ගුරුවරියකගේ මාසික ආදායම රුපියල් 25,000-50,000ත් අතර වන විට එහි රග්බි පුහුණුකරුට මසකට රුපියල් ලක්ෂ හයක් ගෙවන බවයි! ගුරුවරියක් තමා ළඟ දණ ගැස්සූ ඌව පළාත් දේශපාලන හොරෙකුට සිරිසේන විසින්ම යළි එහි අධ්‍යාපන අමාත්‍යාංශය බාර දෙන ලද්දේද ඔය අතරවාරයේය. රටේ හැටි!
අවුරුද්ද ලස්සන කරන්නට ගෙදරට දියත උයනෙන් ලස්සන නෙළුම් මල් පෝච්චියක් ගෙනැවිත් තිබුණේ මා ගොඩ බැසීමට පෙරය. මිලදී ගන්නා විට එහි ලස්සන ලොකු මලක් පිපී තිබුණි. එහෙත් විකුණන විට තිබූ ඒ මල පරවී ගිය පසු පිපුණේ කුඩා මල්ය. මල්කාරයා අප කඬේ යවා තිබුණේ ඔහුට අවුරුදු කන්නටය. දැන් ඒ පෝච්චියේ මල් වෙනුවට පිපෙන්නේ කුඩා පොහොට්ටුය.
ඒ වාගේම පලා ලියන්නට යෝග්‍ය තාක්ෂණ උපකරණයක් බව පෙනෙන ගැජට් එකක්ද අවුරුද්දට ගත්තෙමු. අවුරුද්ද ඉවර වන්නටත් පෙර එය මළකඩ කෑවේය. දැන් පලා වෙනුවට කන්න වෙන්නේ මළකඩ බැවින් එය පඩිපෙළ යට අස් නොකරන පෙට්ටියේ නිදියා ගෙන සිටී.
අවුරුද්දට කිරිබත් උයන්නට ගෙන ආ රතු කැකුලූ සෝදන විට සුදු කැකුලු බවට පත් විය. ඒ සහල් අප ගත්තේ කීල්ස් සුපර් නම් සුපිරි වෙළෙඳ සැලෙනි. එමෙන්ම අවුරුද්දට කන්නට ගෙනා කෙසෙල්වල තිබුණේ පාන් පිටි වැනි රසයක් මිස කෙසෙල් රස නොවේ. ඒවාට කෙසෙල් වෙනුවට කෙසෙල් පාන් වැනි නමක් භාවිතයට ගැනීමට කාලය නැත්දැයි අපට සිතුණි.
තෙමස් මිණිපිරියට සීනි නැති යෝගට් එකක් සොයා නොමළ ගෙදරකින් අබ සොයා ගියාටත් වඩා කඩ සාප්පු සොයා ගියෙමු. නොගියේ සීනිවල අනිටු විපාක කියාදෙන ඇමැති රාජිත සේනාරත්නගේ නිවෙසට පමණය. නැත. සීනි නැති යෝගට් ලංකාවේ සොයා ගන්න නැත.
ඒ කෙසේ වෙතත් අවුරුද්දට රසවත් හරවත් පාට පාට සාදයක් දැම්මෙමු. සාද නැති ජීවිතයකින් වැඩක් නැති නිසාය!
ඔන්න අපේ සිරි ලංකාව! දැනට එපමණයි.