රාවය

ඉන්දියානු අධිකරණයේ අභ්‍යන්තර කුණාටුව

ඉන්දියානු අධිකරණයේ අභ්‍යන්තර කුණාටුව

ජයදේව උයන්ගොඩ

අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නය පසුගිය අවුරුදු තිහක පමණ කාලය තුළ ලංකාවේ දේශපාලන විවාදයේ තේමාවක් වී තිබේ. එය යහපාලන ආණ්ඩුවේද ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් විය. දැන් එම මාතෘකාවේ උණුසුම අඩුවී තිබෙන බව පෙනේ. උණුසුම අඩු වුවද, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ගැටලුව, අධිකරණයට සම්බන්ධ විනිශ්චයකාරවරුන් සහ නීතිඥයන් විසින් ප්‍රමාණවත් උනන්දුවකින් යුතුව සාකච්ඡා නොකිරීමත්, යෝජනා ඉදිරිපත් නොකිරීමත්, ලංකාවේ විවාදයේ ඇති ප්‍රධානතම අඩුපාඩුවයි. ඒ ගැන නිරන්තර උනන්දුවකින් කතා කරන්නේ, දේශපාලනඥයන් එක්කෙනෙකු දෙන්නෙකු හෝ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් එක්කෙනෙකු දෙන්නෙකු හෝ රාවය උපදේශක කතුවරයා හෝ පමණි. ඒ නිසාම, යහපාලන ආණ්ඩුව යටතේත් සිදුවී තිබෙන්නේ ‘අධිකරණ ප්‍රතිසංස්කරණ’ තුළින් අධිකරණයේ ස්වාධීනතාව සහතික කිරීම පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් සිදුනොවීමයි. වඩාත් අවධානය යොමුවී තිබෙන්නේ තාවකාලික වෙනස්කම් ඇති කර, දේශපාලන නායකයන්ට කීර්තිය ලබාගැනීම යන කරුණටය.
අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගයකට අධිකරණයේ විනිශ්චයකාරවරුනුත්, ජ්‍යෙෂ්ඨ නීතිඥයනුත් සම්බන්ධ වන ක්‍රියාවලියක් තිබිය හැකිද? මේ ගැන කල්පනා කරන කෙනෙකුට මේ දිනවල ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධව මතුවී ඇති මහා විවාදය ඉතාම ප්‍රයෝජනවත් වනු ඇත. ඉන්දියාවේ දිගහැරෙන මෙම ක්‍රියාදාමය කෙටියෙන් විස්තර කරන්නේ නම් මෙසේය.
එම ක්‍රියාදාමය ප්‍රධාන සිදුවීම් තුනක් වටා විස්තර කළ හැකිය.
ශ්‍රේෂ්ඨාධිකරණයට සහ මහාධිකරණයට විනිශ්චයකාරවරුන් පත්කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සතු බලතල සීමා කරමින්, එම බලය අධිකරණ ඇමති සහ අගමැති අතට වක්‍රව ලබාගැනීමට දැනට බලයේ සිටින බීජේපී ආණ්ඩුව පසුගිය අවුරුදු තුනේම මහත් උත්සාහයක් දැරීය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල කළ නිර්දේශ නොසලකා හරිමින්, එම පත්වීම් පමා කිරීම පසුකාලයේත්, දැනුත් සිදුවන දෙයකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාරවරයා අවස්ථා ගණනාවකදීම, බීජේපී ආණ්ඩුවේ මෙම උත්සාහය විවේචනය කරමින්, අධිකරණය ඍජු හා වක්‍ර මාර්ගවලින් දේශපාලන බලධාරීන්ගේ බලපෑමට නතුකර ගැනීමට ආණ්ඩුව දැරූ ප්‍රයත්නවලට විවෘත ලෙස විරෝධය පළ කළහ. මේ කරුණ මත පසුගිය අවුරුදු තුන පුරාම බීජේපී ආණ්ඩුවේ නායකයන් සහ ශ්‍රේෂ්ඨාධිකරණය අතර පැවතෙන්නේ සීතල යුද්ධයකි.
පසුගිය ජනවාරි 12දා ඉන්දියාවේ අධිකරණයේ ඉතිහාසය තුළ පෙර කිසිදාක නොසිදූ විරූ, අසමසම දෙයක් සිදුවිය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවන් සිව්දෙනා, එක් විනිසුරුවරයෙකුගේ නිවසේ ප්‍රසිද්ධ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූහ. ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් අනතුරක පෙර නිමිති පළකරමින් අධිකරණයේ ස්වාධීනත්වයට මහත් තර්ජනයක් එල්ල වී තිබෙන බව ඔවුහු කියා සිටියහ. එම තර්ජනයේ මූලාශ්‍රය වෙන කිසිවකු නොව ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාරවරයා බවට ඔවුහු චෝදනා කළහ. ඔවුන් කියා සිටියේ අග්‍රවිනිශ්චයකාර දීපක් මිස්රා, හිතුමතයේ සහ හිතුවක්කාරව සමහර දේශපාලන වශයෙන් වැදගත්කමක් ඇති වැදගත් නඩු, ජ්‍යෙෂ්ඨ විනිශ්චයකරුවන්ට භාර නොදී, කනිෂ්ඨ විනිශ්චයකරුවන්ට භාරදීමට පටන් ගෙන ඇති බවයි. මෙය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විනිසුරුවන්ට පැවරීම පිළිබඳ අග්‍රවිනිශ්චයකාරයා සතු සාම්ප්‍රදායික බලය හිතුවක්කාර ලෙස අයුතු ලෙස භාවිත කිරීමක් බවද ඔවුහු චෝදනා කළහ. එම චෝදනාවෙන් වක්‍ර ලෙස ගම්‍ය වූයේ, බීජේපී ආණ්ඩුවේ නායකයන් සම්බන්ධ වන නඩු විභාග කිරීමේ ක්‍රියාවලියට අග්‍රවිනිශ්චයකාරයා, අයුතු ලෙස මැදිහත්වෙමින්, අධිකරණයේ ස්වාධීනත්වයටත් ආයතනික අපක්ෂපාතභාවයටත් හානි පමුණුවන බවයි. මෙය වනාහී අග්‍රවිනිශ්චයකාරයාගේ නිල චර්යාව ගැන අධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් හතරදෙනෙකු තම විශ්වාසභංගත්වය, ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීමක් විය.
තුන්වැනි සිදුවීම හටගත්තේ ඊයේ පෙරේදාය. රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් 72 දෙනකුගේ අත්සන් සහිතව, අග්‍රවිනිශ්චයකාර දීපක් මිස්රාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉන්දියාවේ රාජ්‍ය සභාවට, එනම් සෙනෙට් සභාවට ඉදිරිපත් කරන ලදි. මෙම රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් කොංග්‍රස් පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂවල මන්ත්‍රීවරුන්ය. එම යෝජනාව ඉදිරිපත් කිරීමට පුරෝගාමී වූයේ පසුගිය කොංග්‍රස් ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයාවූත්, ඉන්දියාවේ ප්‍රධාන පෙළේ නීතිඥයකු වන්නාවූත්, කපිල් සිබාල් :න්චසක ීසඉ්ක* ය. බීජේපී ආණ්ඩුවේ උප ජනාධිපති වන රාජ්‍ය සභා සභාපතිවරයා, මෙම දෝෂාභියෝග යෝජනාව පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත. එහෙත්, එම තීන්දුවට අභියෝග කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව කපිල් සිබාල් ප්‍රකාශ කර ඇත.
මේ සියල්ල බලනවිට පෙනෙන්නේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මහා අර්බුදයක පැටලී තිබෙන බවයි. ආයතනයක් හැටියට එහි ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය පිළිබඳ ප්‍රශ්නය දැන් මහජන විවාදයේ කොටසක් බවටද පත්වී ඇත. ප්‍රශ්නයෙන් ගැළවීමට අධිකරණයටවත්, නඩුකාරයන්ටවත්, ආණ්ඩුවටවත් දැන් පහසු නැත. ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය සහ පුරවැසි නිදහස ආරක්ෂා කිරීම සම්බන්ධව ගාම්භීර ඉතිහාසයක්ද, දේශපාලනඥයන්ගේ බලපෑම් ඉදිරියේ නොසැලී සිටීම පිළිබඳව නිර්භීත වාර්තාවක්ද ඇති ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම ඉරණම සිදුවීම එක් අතකින් මවිතය දනවනසුලුය.
මේ අත්දැකීමෙන් ලංකාවේ අපට ඉගෙන ගන්නට තිබෙන පාඩම් මොනවාද? ඉන් කිහිපයක් මෙසේ කෙටියෙන් දැක්විය හැකිය.
ඉන් පළමුවැන්න නම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය අපක්ෂපාතීත්වය සහ ආයතනික ගෞරවය වෙනුවෙන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ම ඉදිරිපත් වී තිබෙන බවයි. තමන්ගේම අග්‍රවිනිශ්චයකාරයාට ප්‍රසිද්ධියේ අභියෝග කිරීමටත්, ඔවුන් නිර්භය වී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියට අතපොවන ආණ්ඩුව විවේචනය කිරීමටද ඔවුහු ඉදිරිපත් වෙති. බලයේ සිටින ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට පයින් ගසද්දීත්, අග්‍රවිනිශ්චයකාරවරුන් දෙදෙනෙක්ම ලංකාවේ අධිකරණය ආයතනික ගෞරවය හා අපක්ෂපාතීත්වය විනාශ කරද්දී නිහඬව බලා සිටි ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ආදර්ශයට මෙය හාත්පසින්ම වෙනස්ය.
දෙවැනි පාඩම තිබෙන්නේ ඉන්දියාවේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් නීතිඥයන් ටික දෙනෙකුවත්, තම වෘත්තීය ඵල ප්‍රයෝජන පරදුවට තබමින් ඉදිරියට පැමිණීමයි. මිස්රා නඩුකාරතුමාට විරුද්ධව ඇති දෝෂාභියෝගයට බොහෝ නීතිඥයන් විරුද්ධ බවද පෙනේ. කොංග්‍රස් බීජේපී වශයෙන් ඉන්දියාවේ තිබෙන දේශපාලන ධ්‍රැවීකරණය දැනටමත් මෙම කරුණටද පැමිණ තිබේ. ඒ නිසා ඉන්දියාවේ නීති වෘත්තියද මේ කරුණ මත බෙදී ගොස් විශාල ව්‍යාකූලතාවක් ඇතිවීමේ ලකුණු දැනටමත් පහළවෙමින් තිබේ. එහෙත් වැදගත්ම කරුණ නම් තම ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය පිළිබඳ කරුණ මගහැරීමට ඉන්දියාවේ අධිකරණයට පහසු නොවනු ඇත යන්නයි.
තුන්වැනි කරුණ නම් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ගැටලුව ගැන ඉන්දියාවේ නීති උගතුන් සහභාගි වන මහජන සාකච්ඡාවක් තිබීමයි. ලංකාවේ නීති විශාදරයන් ප්‍රසිද්ධියේ සහභාගි නොවන මහජන සාකච්ඡාව වන්නේද අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ තේමාවයි. එය නීති විශාරදයන්ට තහනම් විෂයයක් වී ඇති බව පෙනේ. ‘අධිකරණයේ ස්වාධීනත්වය’ ගැන ලංකාවේ යටත්විජිතයේ සිට පවතින බිය සහ යල්පැනගිය සම්ප්‍රදාය මෙයට හේතුවයි. මීට අවුරුදු විසිපහකට පමණ පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ තරුණ කථිකාචාර්යවරයෙකු, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මෘදු ලෙස විවේචනය කරමින් ලියූ ශාස්ත්‍රීය ලිපියක් නිසා, එම කථිකාචාර්යවරයාට කරදර කළේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි ඉතාම ප්‍රගතිශීලී නඩුකාරයෙකු වීම, මෙම ආයතනික සහ වෘත්තිමය පසුගාමීත්වය ප්‍රදර්ශනය කළ අවස්ථාවක් විය.
ඉන්දියාවේ අධිකරණයේ ඇතිවී තිබෙන මෙම අර්බුදය ගැන මගේ ඉන්දියානු මිත්‍රයෙකු කළ නිරීක්ෂණයකින් මෙම ලිපිය අවසන් කරන්නට කැමැත්තෙමි. ‘ඉන්දියාවේ අධිකරණය ආයතනයක් ලෙස ශක්තිමත් එකක්. එහි ස්වාධීනත්වයට හානි පැමිණෙන විට, එයට පිළියම් යෙදීම සඳහා ස්වයං නිවැරදි කරගැනීමේ යාන්ත්‍රණ අධිකරණයට තිබෙනවා. වරින් වර ඇතුළතින් සිදුවන කැළඹීම් එයින් එකක්.”
ලංකාවේ මේ දිනවල ආණ්ඩුව පැත්තේ නම් සිදුවන්නේ ඇතුළතින් සිදුවන මහා කැළඹීම්ය. ඒවා අපේ ආණ්ඩුවට තමන් නිවැරදි කරගැනීමට ඇති ස්වයං-යාන්ත්‍රණයක් වන්නේද යන්නත් අප ඉවසීමෙන් බලා සිටිය යුතු දෙයකි.