රාවය

රට ඉදිරියේ තිබෙන ප්‍රධාන අභියෝගය

රට ඉදිරියේ තිබෙන ප්‍රධාන අභියෝගය

කාලිංගගේ දේශපාලන විග්‍රහය.

ජනාධිපතිවරයාගේ අනුමැතිය හා ආශිර්වාදය ඇතිව අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජයවීමෙන් පසු විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් 16 දෙනාද ඇතුළත් වන ලෙස නැවත ආණ්ඩුව පවත්වාගෙන යෑම ජනාධිපතිවරයාගේ අභිලාෂය විය. සිදුවූ සියලු අමිහිරි දේවල් අමතක කොට එම 16 දෙනාද ඇතුළත් වන ලෙසට ආණ්ඩුව පවත්වාගෙන යෑමට අගමැතිවරයාද එකඟ විය. එහෙත් විශ්වාසභංගයට පක්ෂව ඡන්ද දුන් 16 දෙනා ආණ්ඩුවට ඇතුළත් කරගන්නවාට එජාප මන්ත්‍රීන් කැමති වූයේ නැත. ඔවුන්ගෙන් එල්ල වූ බලවත් විරෝධය නිසා එම 16 දෙනාට විරුද්ධ පක්ෂයට එකතුවන්නට ඉඩ දෙන්නට ජනාධිපතිවරයාට සිදුවිය. ඔවුන් විරුද්ධ පක්ෂයට එකතුවනවා හැර තෝරාගන්නට වෙනත් විකල්පයක් නැතත් ඒකාබද්ධ විරුද්ධ පක්ෂය ඔවුන්ට ලැබෙන සංඛ්‍යාත්මක වැදගත්කම සලකා මිස ඔවුන් කෙරෙහි ඇති කරගත් ආදරයකින් භාරගන්නා බවක් පෙනෙන්නට නැත. අවසානයේ එම 16 දෙනා අල්ලපු අත්තත් පයගහපු අත්තත් යන අතු දෙකම අහිමි කරගත් කණ්ඩායමක් බවට පත්විය හැකිය. ඔවුන් ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී විරුද්ධ පක්ෂයට එක්වීම සංඛ්‍යාත්මක අර්ථයෙන් ආණ්ඩුව දුර්වල කොට විරුද්ධ පක්ෂය ශක්තිමත් කිරීමට හේතුවනු ඇත. එම 16 දෙනා නැතිව හදාගන්න යන ආණ්ඩුවටද මහජනයාගේ ආකර්ෂණයකට හේතුවන හෝ රටේ ඇතිවී තිබෙන අර්බුදය පාලනය කිරීමේ ශක්තියක් ඇති ස්ථාවර ආණ්ඩුවක් බවට පත්වීමේ හැකියාවක් තිබිය නොහැකිය.
ජනාධිපතිගේ උපාය මාර්ගය වූ බව පෙනෙන්නේ අගමැතිවරයාව විශ්වාසභංගයෙන් පරාජය කොට නැවත එජාපයේද අනුග්‍රහය ලබන පොදු අපේක්ෂකයා බවට පත්වී ඊළඟ ජනාධිපතිවරණයට තරග කිරීමය. එහෙත් අගමැතිවරයා විශ්වාසභංගයෙන් පරාජය කිරීමට අසමත් වීම නිසා දැන් ඒ සිහිනය සැබෑ කරගැනීමේ හැකියාවක් නැත. විශ්වාසභංගය පරාජය කිරීමට සමත් වුවත් අගමැතිවරයාගේ තත්ත්වයද ශක්තිමත් තත්ත්වයක නොපවතී. විශ්වාසභංගයේදී පක්ෂයේ ඒකාග්‍රතාව ආරක්ෂා කරගැනීමට සමත් වුවත් පක්ෂය තුළ තිබූ එම තත්ත්වය ස්ථිරසාර දෙයක් ලෙස සැලකිය නොහැක.
ජනාධිපතිවරයා දැන් සිටින තත්ත්වය තුළ ඊළඟ ජනාධිපතිවරණය තරග කරන්නට කල්පනා කරනු ඇතැයි සිතිය නොහැකිය. ඒ වෙනුවට ජනාධිපති ක්‍රමය අහෝසි කොට ඒ නිසා ඇතිවන නාමික ජනාධිපති ධුරය තමන්ට ලබාගත හැකිනම් ඉන් තෘප්තිමත් වන තත්ත්වයකට මේ වනවිට ජනාධිපතිවරයා පත්ව සිටිනවා විය හැකිය. ජනාධිපති ක්‍රමය මේ මොහොතේදී අගමැතිවරයාගේද සතුටට හේතුවන්නේ නැත. අගමැතිවරයා වඩා කැමති වනු ඇත්තේ ජනාධිපතිවරණයකට නොව ජනාධිපති ක්‍රමය අහෝසි කොට පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයකටය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩි කැමැත්ත තිබෙන්නේද ජනාධිපති ක්‍රමය අහෝසි කොට පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයකටය. ජනාධිපතිවරණයකට ඔහුට තරග කළ නොහැකිය. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කළ හැකි අතර බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගැනීමට සමත් වෙතොත් අගමැති ධුරයටද පත්විය හැකිය. අවසානයේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන වැඩසටහනක් මෙම නායකයන් තිදෙනාගේම පොදු සිහිනයක් බවට පත්ව තිබෙනවායැයි කිව හැකිය. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සමග ජේවීපීය ඉදිරිපත් කර තිබෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාව එම නායකයන් තිදෙනාගේ දේශපාලන මනදොළ පුරවා අතිරේක කීර්තියක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන යෝජනාවක් ලෙස සැලකිය හැකිය. ඒ නිසා මෙතැන් සිට ලංකාවේ දේශපාලන බඹරය කැරකෙනු ඇත්තේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩසටහනක් වටාය. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පමණක් රටේ පවතින අර්බුදය ජයගත නොහැක. අනෙක් අතට ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට යන්නේ විධිමත් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ඇතිකර ගැනීමෙන් තොරව ජනාධිපති ක්‍රමය යටතේ ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තු ක්‍රමයට අනුගත වන ක්‍රමයකට නම් ඒ නිසා ආණ්ඩුක්‍රමය ලොකු අවුලකට පත්වනු නොවැළැක්විය හැකිය. ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙනු ඇත්තේද රටේ පොදු යහපත සලකා නොව ප්‍රධාන නායකයන් තිදෙනාගේ පුද්ගලික යහපත සලකාය. ඒ සමග මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ක්‍රමයෙන් දේශපාලන පොරයෙන් ඉවත්වීම තුළ තුන් ඈඳුතු තරගය අවසන් වී තරගය මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ අතර හෝ ශ්‍රීලනිපය හා එජාප අතර කෙරෙන බලපොරයක් බවට හැරෙනු ඇත.
ඒ වෙනස්කම සඳහාද ව්‍යවස්ථා සම්පාදනයකට යායුතුය. එහෙත් දැන් ලංකාවේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණයට තිබෙන්නේ අලුත් ව්‍යවස්ථා සම්පාදනයකට හෝ නීති සම්පාදනයකට යා හැකි නිරවුල් මානසික තත්ත්වයක නොව දේශපාලන ප්‍රඥාව මුළුමනින් අවුල් කරගත් අවුල්සහගත මානසික තත්ත්වයකය. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා දඩිබිඩියේ කරන ව්‍යවස්ථා සම්පාදනයක් සමස්ත ක්‍රමය අවුල් කරන ව්‍යවස්ථා සම්පාදනයක් බවට පත්විය හැකිය. එම තත්ත්වය රටේ තිබෙන අර්බුදය උග්‍ර කිරීමටද හේතුවිය හැකිය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරුන් උත්සාහ කළේ ජනමත විචාරණයකට නොගොස් තුනෙන් දෙකක පාර්ලිමේන්තු ඡන්දයකින් පමණක් ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නටය. ඒ වනවිටත් එම සංශෝධනයේ නිර්මාතෘවරුන් හොඳ සිහි බුද්ධිය අහිමි කරගෙන සිටි බව ඉන් පෙනී යයි. ඉන්පසු කරළියට ගෙනා පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා ගෙනා නීති සම්පාදනය සමස්ත පළාත් පාලන ආයතන ක්‍රමයම හාස්‍යජනක විගඩමක් බවට පත්කිරීමට හේතුවිය. පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයද මිශ්‍ර ක්‍රමයක් බවට පත් කිරීම සඳහා ව්‍යවස්ථාවට 20 වැනි සංශෝධනයක් ඉදිරිපත් කිරීමේ සැලැස්මක් පවතී. ඒ මගින් සීමානීර්ණ කොමිසමක් ඇති කිරීමටත් කොට්ඨාස ක්‍රමයට මන්ත්‍රීවරුන් 166ක්ද අනුපාතික ක්‍රමයට තවත් මන්ත්‍රීවරුන් 66ක් පත් කරගත හැකි ආකාරයට පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයද වෙනස් කිරීමට බලාපොරොත්තු වේ. ඊට අතිරේකව ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අලුත් ව්‍යවස්ථාවක් කරළියට ගැනීමටද බලාපොරොත්තු වේ. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අතිරේකව ජනමතවිචාරණයකද අනුමැතිය අවශ්‍ය වේ. එවිට පළාත් සභා ඡන්දවලට අතිරේකව ජනමත විචාරණයකටද යන්නට සිදුවේ.
මේ මොහොතේ ලංකාවේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය තිබෙන්නේ නීති සම්පාදනයන්ට හා ව්‍යවස්ථා සම්පාදනයන්ට සුදුසු මානසික වාතාවරණයක නොව ඒ සියලු ආයතන උපරිම මට්ටමකින් සිහිබුද්ධිය අහිමි කරගත් තත්ත්වයකය. එහි තරම පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ඇති කරන ලද නීති සම්පාදනය ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය. මේ මොහොතේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය හා ආණ්ඩුක්‍රමය වෙනස් කිරීම සඳහා දරන දඩිබිඩි උත්සාහයක් තිබෙන අවුල් තව තව උග්‍ර කිරීමට හේතුවිය හැකිය.
රටේ සමස්ත ආයතන ක්‍රමයම තිබෙන්නේ මජර ගලන තරමටම කුණුවූ තත්ත්වයකය. අධිකරණ ක්‍රමයේ විශාල කඩා වැටීමක් ඇතිවී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දුගේ කතාව වෛරසයක් මෙන් රටේ මහජනතාව අතර පැතිර ගොස් තිබෙන අතර එම කතාව මහජනයා අතර අධිකරණය කෙරෙහි ලොකු විරෝධයක් හා කලකිරීමක් ඇති කිරීමට හේතුවී තිබෙන්නේය. අධිකරණයේ වැරදි අඩුපාඩුකම් තිබුණද සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්ව අධිකරණය කණපිට හරවන තෙක් රටේ ජනතාව අතර අධිකරණය කෙරෙහි විශ්වාසයක්ද ගෞරවයක්ද තිබුණි.
අගවිනිසුරු සරත් නන්ද සිල්වා අධිකරණය හිමිකරගෙන සිටි එම තත්ත්වය මුළුමනින් නැති කළේය. ඔහුගේ පිස්සු නැටිල්ල ඉදිරියේ රජයද, නීතිඥ සංගමයද ජනමාධ්‍ය හා විනිසුරුවරුන්ද නිශ්ශබ්දව බලා සිටියා මිස එම තත්ත්වය මැඬපැවැත්වීමට ඵලදායි කිසිවක් නොකළේය. ඔහුගෙන් පසු ඒ තනතුරට පත් අගවිනිසුරුවරුන්ද අධිකරණයේ ඇතිවී තිබුණු පරිහානිය වෙනස් කරන්නට ඵලදායී කිසිවක් නොකළේය. චන්ද්‍රිකාගෙන් පසු බලයට පැමිණි සියලු ආණ්ඩුද අධිකරණයේ ගමන් මග තවදුරටත් විකෘති කරන්නට දායක වුණා මිස අධිකරණයේ ඇතිවී තිබුණු විකෘතීන් නිවැරදි කරන්න ක්‍රියා කළේ නැත.
මේ ගරාහැලීම අධිකරණයට පමණක් සීමාවූ දෙයක් නොව රටේ සමස්ත ආයතන ක්‍රමයට ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. සියලුම වෘත්තීන් හා ආයතන ක්‍රම තිබෙන්නේ අන්ත දූෂිත, අකාර්යක්ෂම හා උපරිම මට්ටමකට කුණුවූ තත්ත්වයකය.
සමස්ත ආයතන ක්‍රමයම තිබෙන්නේ ලොකු කඩා හැලීමක මුවවිටය. පූර්ණ කඩා හැලීමකට ඉඩදී බලා සිටිනවාද නැතහොත් එවැන්නක් ඇතිවන්නට පෙර රට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහනකට යොමුකරනවාද යන්න රට ඉදිරියේ තිබෙන ප්‍රධාන අභියෝගය ලෙස සැලකිය හැකිය. එවැනි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සකස් කරගැනීමට අවශ්‍ය ප්‍රඥාව හෝ එවැනි වැඩසටහනක් ක්‍රියාවට නැගීමට අවශ්‍ය ධෛර්යය යහපාලන ආණ්ඩුවට හෝ රටේ අන් දේශපාලන පක්ෂවලට නැත. ව්‍යුහාත්මක විපර්යාසයක් සඳහා වන වැඩසටහනක් ඇතිකර ගැනීමේදී එය ක්‍රියාත්මක කරවා ගැනීමේ ඇත්ත හැකියාව තිබෙන්නේ රටේ සංවිධානාත්මක මහජනයාට පමණය.
එහෙත් රටේ මහජනයා සිටින්නේද සංවිධානාත්මක ජාලගත තත්ත්වයක නොව අසංවිධානාත්මක තත්ත්වයකය. සියලුම ආකාරයේ මහජන සංවිධානවලට එම අරමුණ ඉටුකර ගැනීම සඳහා ජාලගතවෙමින් හා පොදු මධ්‍යස්ථානයක් ඇතිකර ගනිමින් රටට අවශ්‍ය කරන ව්‍යුහාත්මක වෙනස්කම් හඳුනා ගනිමින් ඒවා ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා උපාය මාර්ගික වැඩපිළිවෙළක් ඇතිකර ගැනීම සඳහා සාකච්ඡා හා වාද විවාද කරන තැනකට ආ හැකි නම් රටේ පවතින මේ අවලස්සන චිත්‍රයේ යහපත් වෙනසක් ඇතිකර ගැනීමට හැකිවනු නොඅනුමානය.
ලංකාවේ නිදහස දිනාගැනීම පිණිස හෝ ඉන්පසු කවර අවස්ථාවකදීවත් පොදු යහපත පිණිස රටේ ජනතාව සංවිධානාත්මක බලවත් සාමූහික උත්සාහයක යෙදී නැත. ඓතිහාසික වශයෙන් දැන් එලැඹ ඇත්තේ මහජන සංවිධාන එකට එකතු වී රටේ පොදු යහපත පිණිස සංවිධානාත්මක සාමූහික ශක්තිය යෙදිය යුතු අවස්ථාවකය. ඒ අරමුණ සපුරා ගැනීම සඳහා වන බලවත් සාමූහික උත්සාහයක් රටේ ගමන් මග වෙනස් කිරීමට පමණක් නොව සමාජයේ පවත්නා පටු භේද දුරලා සමාජය සමගිසම්පන්න කොට ඒකාග්‍ර කිරීමටත් නවීන ලෙස හිතන සමාජයක් ඇති කිරීමටත් හේතුවනු ඇත.