රාවය

තොරතුරු කොමිසම විසින් වත්කම් බැරකම් නීතිය අංගවිකල කිරීම

තොරතුරු කොමිසම විසින් වත්කම් බැරකම් නීතිය අංගවිකල කිරීම

වික්ටර් අයිවන්

1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 1 දරන වත්කම් බැරකම් නීතිය වශයෙන් හැඳින්වෙන වත්කම් බැරකම් නීතිය 1994 අංක 20 දරන අල්ලස් (සංශෝධන) පනතින් රාජ්‍ය නිලධාරීන් වශයෙන් අර්ථකථනය කර තිබෙන දේශපාලනඥයන් හා උසස් රාජ්‍ය නිලධාරීන් අයථා ලෙස වස්තුව උපයා ගැනීම වැළකීමට හා අයථා ලෙස වස්තුව උපයා ගත් නිලධාරීන් හඳුනාගැනීම සඳහා ඇතිකර තිබෙන ඉතාමත් ප්‍රගතිශීලී හා ඉදිරිගාමී නීතියක් ලෙස සැලකිය. ලංකාවේ උගතුන්ගේ මහත් ආස්වාදයට හා චිත්ත ප්‍රබෝධයට හේතුවූ නීති සම්පාදනයක් ලෙස සැලකිය හැකි මේ මෑතකදී නීතිගත කරන ලද තොරතුරු පනත යටතේ මහජනයාට තොරතුරු ලබාගැනීමේ අයිතිය සහතික කිරීම සඳහා ඇති කරන ලද තොරතුරු කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් විසින් වත්කම් බැරකම් ප්‍රකාශ නීතියට කරන ලද ශල්‍යකර්මයක දී වත්කම් බැරකම් පනතේ කකුල් දෙකෙන් එකක් කපා දමා තිබෙන අතර ඒ නිසා එම නීතියට මරණයට පත් නොවී ජීවත්වීමේ භාග්‍යය ලැබුණද එයට නැවත ප්‍රකෘති ක්‍රියාකාරීත්වය හිමිකර ගැනීමට හැකිවනු ඇතැයි සිතිය නොහැකිය. එම සටහන ලියනුයේ මහජනයාට තොරතුරු දැනගැනීමේ අයිතිය සුරැකීම සඳහා පත්කර තිබෙන තොරතුරු කොමසමේ කොමසාරිස්වරුන් විසින් දැන හෝ නොදැන එම නීතියට සිදුකර තිබෙන බලවත් හානිය පාඨකයන්ට දැනුම්දීම සඳහාය.

වත්කම් බැරකම් නීතිය

වත්කම් බැරකම් නීතියක් තිබෙන බව මා පළමුවරට දැනගත්තේ පසුකලක චන්ද්‍රිකා ආණ්ඩුවේ බලවත් ශ්‍රීලනිප ඇමතිවරයෙකු ලෙස ක්‍රියාකරමින් සිටියදී කොටි සංවිධානය විසින් ඝාතනයට කරන ලද සී.වී. ගුණරත්නගෙනි. ඒ අනූව දශකය ආරම්භයේදීය. සී.වී. ගුණරත්න විසින් ඇතුළත්මුදලි පිළිබඳව කරන ලද ප්‍රසිද්ධ චෝදනාවට එරෙහිව ලලිත් සී.වී.ට එරෙහිව වන්දි නඩුවක් පවරා තිබුණු අතර දැඩි ලලිත් විරෝධියකු ලෙස සැලකිය හැකි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එම නඩුවේදී සී.වී.ය කරන ආධාරයක් ලෙසින් ලලිත්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ පිටපතක් සී.වී.ට ලබාදී තිබණි. මා ඒ බව දැනගත්තේ එක්තරා දිනක හවස්යාමයේ ඔහුගේ නිවසේ ඔහු සමග කරන ලද පිළිසඳරකදීය. මා එදින ලලිත්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ පිටපතක් ඔහුගෙන් ලබාගන්නා ලද අතර එය වැදගත් සිහිවටනයක් වශයෙන් අදත් මා ළඟ සුරක්ෂිතව ඇත.
මා වත්කම් බැරකම් නීතිය හදාරණ තැනකට ගියේ එසේ අහම්බෙන් මා අතටපත් ලලිත්ගේ වත්කම් බැරකම් ප්‍රකාශනය නිසාය. එම නීතිය 1975දී සකස් කරන ලද්දක් වුවත් නීතියට දත් දෙන ලද්දේත්, ඒවා පරීක්ෂා කිරීමේ අයිතිය මහජනයාට දෙන ලද්දේත් 1988 ජනාධිපතිවරණය මුවවිට තිබියදී ප්‍රේමදාස අගමැතිවරයා විසින් එම පනතට ඉදිරිපත් කරන ලද සංශෝධනයක් මගිනි. වත්කම් බැරකම් නීතිය අනුව වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින දේශපාලකයන්ගේ හා උසස් රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන පරීක්ෂා කිරීමේ බලය මහජනයාට ලැබෙන්නේ එම සංශෝධනය නිසාය. අඩුපාඩුකම් තිබියදීත් මෙම නීතිය ලංකාවේ තිබෙන ප්‍රගතිශීලීම නීතිය ලෙස සැලකිය හැකිය. ඒ නීතිය සම්පාදනය කර තිබෙන්නේම නීතියට පටහැනිව වත්කම් උපයාගෙන තිබෙන දේශපාලකයින්ගේ හා උසස් රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශනවල සහතික පිටපත් මහජනයාට ලබාගත හැකි ආකාරයටය. එම ප්‍රකාශයට ඇතුළත් තොරතුරුවල වත්කම් වසන් කිරීමක් ඇත්නම් එම වරද සිදුකළ තැනැත්තාට එරෙහිව අල්ලස් දෙපාර්තමේන්තුවට හෝ අධිකරණයට පැමිණිලි කළ හැකිය. කිසියම් කෙනෙකුට කවර හෝ පුද්ගලයෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශනයේ පිටපතක් ලබාගැනීම අවශ්‍ය නම් ඒ සඳහා අයවියු මුදල් සමග නිසි බලධාරියාගෙන් ඉල්ලා සිටි අවස්ථාවකදී කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව එම ප්‍රකාශන ඉල්ලුම් කරන පුද්ගලයාට ලබාදීමට එම බලධාරීන් නීතියෙන් බැඳී සිටින්නේය. එම විෂයේදී ජනාධිපතිවරයාට පවා මුක්තියක් හිමි නැත.

කවුලු ඇරීම

එහෙත් ඒ වනවිට වත්කම් බැරකම් නීතිය තිබුණේ ක්‍රියාවිරහිත බෙලහීන තත්ත්වයකය. මහජනයා එම නීතිය ගැන දැන නොසිටියේය. ඒ නිසා දේශපාලකයන්ගේ හා උසස් රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් සොයා බැලීමේ උනන්දුවක්ද මහජනයාට නොතිබුණි. ඉතාමත් කලාතුරකින් අවස්ථාවකදී පුද්ගලයෙකු වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉල්ලන අවස්ථාවකදී පවා නීතිය නොදන්නාකම නිසා හෝ මේ නීතියට කැමති නැති නිසා හෝ රාජ්‍ය ආයතන මට්ටමෙන් එම ප්‍රකාශන මහජනයාට ලබාදීම ප්‍රතික්ෂේප කරන දැඩි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන බවක් ද පෙනෙන්නට තිබුණි.
මා වරක් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට දුරකතනයෙන් කතා කොට මට පාර්ලිමේන්තු නියෝජිතයන් කිසියම් පිරිසකගේ වත්කම් බැරකම් ප්‍රකාශනවල පිටපත් ලබාගැනීමට අවශ්‍ය බව කීවෙමි. ඒවා තිබෙන්නේ සීල් කොට සුරක්ෂිතව සේප්පුවක බවත් උසාවි නියෝගයක් රැගෙන එන්නේ නම් පමණක් ඒවා දිය හැකි බවත් ඔහු කීවේය. එහිදී මට පෙරළා ප්‍රශ්න කිරීමක් කිරීමට ඉඩ නොලැබෙන පරිදි ඔහු දුරකතන ඇමතුම විසන්ධි කළේය. මා ඉන්පසු පාර්ලිමේන්තුවේ මෙම නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන එවක කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ක්‍රියා කළ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාටද දැනුම්දීමක් කළෙමි.
1994 මැතිවරණය සඳහා පොදු පෙරමුණ ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශයට වත්කම් බැරකම් නීතිය ගැන ඡේද කීහිපයක් ඇතුලත් වූයේ මාගේ බලපෑම නිසාය. වත්කම් බැරකම් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවට සහතිකවීමෙන් නොනැවතී සියලු ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මහජනයාගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය නීති ඇති කරන බවටද සහතිකයක්ද ඊට ඇතුළත් කර තිබුණි. 94 පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනාවලින් පසුව චන්ද්‍රිකාගේ නායකත්වයෙන් තරග කරන සියලු අපේක්ෂකයන් බණ්ඩාරනායක සමාධිය ඉදිරියේ දිවුරුම්දීමක් සිදුකරන ලද අතර එම ප්‍රතිඥාව මා විසින් ලියන ලද්දක් වන අතර ඊටද වත්කම් බැරකම් නීතිය ගැන වන සඳහනක් ඇතුළත්ව තිබුණි.
පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු කතානායක කේ.බී. රත්නායක මහතා අමතා යවන ලද ලිපියක් මගින් වත්කම් බැරකම් නීතිය පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල සහතික පිටපත් මට ලබාගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම් ලබාදෙන ලෙසත්, මම ඉල්ලා සිටියෙමි. රත්නායක මහතා මට ඉක්මන් ලිඛිත පිළිතුරක් එවන ලදි. වත්කම් බැරකම් නීතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබෙන අදාළතාව පෙන්වාදීම ගැන ස්තුතිය පළකරන ලද අතර වත්කම් බැරකම් ප්‍රකාශ කර තිබෙන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් ඒ ඕනෑම කෙනෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් ලබාගත හැකි බවත් ඒ සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයා අමතන ලෙසත් මා ඉල්ලා සිටින පිටපත් ලබාදෙන ලෙස ඔහුට දැනුම් දී තිබෙන බවත් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැති මන්ත්‍රීවරුන්ට ඒ සඳහා සිහිකැඳවීමක් යැවීමට ක්‍රියාකරන බවත් එහි සඳහන් කර තිබුණි. ඒ අනුව මා පාර්ලිමේන්තු ලේකම්වරයා හමුවී පිටපත් සඳහා අවශ්‍ය මුදල් ගෙවා අවශ්‍ය පිටපත් ලබාගත්තෙමි. එය මන්ත්‍රීවරුන්ට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමේදී පාර්ලිමේන්තුවේ වැසී තිබුණු කවුළුව විවෘත කරගත් පළමු අවස්ථාව ලෙස සැලකිය හැකිය.

මැතිවරණ හා අපේක්ෂකයෝ

ඉන්පසු මම ඒ සඳහා වන මැතිවරණ දෙපාර්තමේන්තුවෙහි කවුලුවද මැතිවරණ කොමසාරිස්වරයා මගින් විවෘත කරගත්තෙමි. 1999 ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ (ජනාධිපතිනි කුමාරතුංග හා රනිල් වික්‍රමසිංහ) වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් දෙක ලබාගැනීමට මම සමත්වීමි. මා එම තරගකරුවන් දෙදෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ දෙකේ එන තොරතුරු ජනාධිපතිවරණය පැවති කාලයේදී රාවයේ පළකරන ලද අතර වත්කම් බැරකම් නීතිය අනුව එය එම නීතියට පටහැනි දෙයක් වුවත් මම ඒ ක්‍රියාව කළේ ජනාධිපතිවරණයකට තරග කරන අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ගැන දැනගැනීමේ අයිතියක් මහජනයාට තිබෙන්නේය කියන විශ්වාසය පදනම් කොට ගෙනය.
ඒ සමග මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ නාමයෝජනා අවස්ථාවේදී භාරදීම අනිවාර්ය කරන ලෙස අවස්ථා ගණනාවකදී මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියත් ඒ සඳහා අවශ්‍ය බලය ඔහුට තිබුණත් එය නීතියේ පැහැදිලිව සඳහන් නොවීම හේතුවක් කර ගනිමින් එය ක්‍රමවත් කරගැනීමෙන් වැළකී සිටියේය. නීතියෙන් සඳහන් වන්නේ මැතිවරණයකට තරග කරන අපේක්ෂකයන් මැතිවරණයට පෙර හෝ තේරී පත්වී දිවුරුම්දීමට පෙර හෝ ඉදිරිපත් කළ යුතු බවය.
එවැනි අක්‍රමවත් බවක් ඉන්දියානු නීතියේද තිබුණද මැතිවරණ කොමිසම වත්කම් බැරකම් ප්‍රකාශ නාමයෝජනාවලදී භාරදීම අනිවාර්යය කළේය. මැතිවරණ කොමිසමේ එම තීන්දුවට එරෙහිව එක් දේශපාලකයෙකු අධිකරණය ඉදිරියට ගියත් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමේ තීන්දුව අනුමත කළේ තරග කරන අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් පිළිබඳ විස්තර දැනගැනීමේ අයිතියක් ඡන්දදායකයන්ට තිබෙන්නේය කියන අදහසද ඉදිරිපත් කරමිනි.. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ඡන්ද අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශ පමණක් නොව, අපරාධ නඩු තිබෙන සියලු අපේක්ෂකයන්ද දිවුරුම් ප්‍රකාශය මගින් ඒ විස්තර සැපයීමද අනිවාර්ය කළේය. ලංකාවේ මැතිවරණ කොමිසම තිබෙන්නේ කොතරම් පසුගාමී තැනකද යන්න ඉන් තේරුම්ගත හැකිය. ලංකාවේ මැතිවරණ කොමිසම නිර්මාණය කළ න්‍යායවාදීන් එසේ කර තිබෙන්නේ අඩුම තරමින් ඉන්දියානු මැතිවරණ කොමිසමවත් හැදෑරීමකට ලක් කිරීමෙන් තොරවය.

තොරතුරු පනත්

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරයේ සිටියදී 2001 වසරේදී පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයගත් අවස්ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ තොරතුරු පනතක් කරළියට ගැනීමේ උත්සාහයක නිරත විය. කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍යයට සම්බන්ධ වෙනත් සංවිධාන කිහිපයක් ඒ සඳහා වන පනතක් සම්පාදනය කරගැනීමේ වැඩසටහනකට සම්බන්ධ කරගැනීම නිසා එම වැඩසටහනට සම්බන්ධවීමේ හැකියාව මටද ලැබුණි.
ඒ ගැන මා දරන ලද අදහස වූයේ වත්කම් බැරකම් නීතිය එම විෂයට අදාළ මහජනතාවට තොරතුරු ලබාගැනීමේ අයිතිය ලබාදී තිබෙන නීතියක් වන නිසා එම නීති සම්පාදනයේ ඇති අඩුපාඩු නැතිකර එය හොඳින් ක්‍රියාත්මක වන නීතියක් බවට පත්කිරීම තොරතුරු පනත සම්පාදන කරන ක්‍රියාවලියේම වැදගත් අතුරු කාර්යභාරයක් ලෙස සලකා ක්‍රියාකළ යුතු බවය. එහෙත් ඊට දායක වූ අන් කිසිවෙක් මාගේ මතයට පක්ෂවූයේ නැත. ඒ හැම කෙනෙකුම වැදගත් කොට සලකන බව පෙනුණේ තොරතුරු පනත ගැන පමණය. වත්කම් බැරකම් නීතිය විධිමත් කරගැනීම ඔවුන් වැදගත් කොට සැලකුවේම නැතිතරම්ය. එක්කෝ ඔවුන්ට ඒ නීතියට ලැබෙන වැදගත්කම ගැන අවබෝධයක් නොතිබුණි. නැතිනම් එම නීතියට ඔවුන්ගේ කැමැත්තක් නොතිබුණි.
යහපාලන ආණ්ඩුව බලයට පත්වී තොරතුරු පනතක් ඇති කරගන්නට ගිය අවස්ථාවේදීද එම කෙටුම්පත භාරව ක්‍රියා කළ ජනමාධය නියෝජ්‍ය ඇමතිවරයා හා පසුව ජනාධිපතිවරයාද සහභාගි වූ සාකච්ඡා සභා දෙකකදීද වත්කම් බැරකම් නීතියේ තිබෙන අඩුපාඩු නිවැරදි කරගැනීමද තොරතුරු පනත හදන වැඩසටහනේම කොටසක් කරගත යුතු බව මම කීවෙමි. වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින අයට පුරවන්නට දෙන පෝරමය යාවත්කාලීන කිරීමේද එම නීතියේ ඇති සමහර දුර්වලතා නිවැරදි කරගැනීමේ ද සියලුම වත්කම් බැරකම් ප්‍රකාශ රජය පවත්වාගෙන යන වෙබ් අඩවියක පළකිරීමේ වැදගත්කමක් ද පෙන්වා දුනිමි. ඒ සියලුදෙනාටද තොරතුරු පනත මිස වත්කම් බැරකම් නීතිය වැදගත් වූ බවක් පෙනුණේ නැත.
ප්‍රේමදාස පාලන කාලයේදී අන්තර් ජාලයක් රටේ භාවිත නොවීය. ඒ නිසා වත්කම් බැරකම් විෂයේදී වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට උනන්දුවක් දක්වන අයට ඒ සඳහා ලබාදිය හැකිව තිබුණු හොඳම ප්‍රතිපාදනය වූයේ ඡායාරූප පිටපතක් සඳහා යන වියදම අය කරගෙන පිටපතක් ලබාදීමය. එම නීතියෙන් අපේක්ෂා කළේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් පරීක්ෂාවට ලක් කිරීමට මහජනයාට ඉඩදීම නම් ඒ සඳහා යොදාගත හැකි හොඳම ක්‍රමය නිසි ආකාරාදියකට සියලුම ප්‍රකාශන රජය පවත්වාගෙන යන වෙබ් අඩවියක පළකිරීමය. වත්කම් බැරකම් ප්‍රකාශ කරන්නන්ට පිරවීම සඳහා දෙන පෝරමය විද්‍යුත් පෝරමයක් බවට හැරීමෙන් ලොකු අතිරේක වියදමක් නැතිව මෙය වෙබ්ගත කිරීමේ හැකියාව තිබෙන අතර එවිට කිසිදු වියදමකින් හෝ ප්‍රමාදයකින් තොරව තමන් කැමති අයගේ වත්කම් බැරකම් පරීක්ෂා කිරීමේ බලයද මහජනයාට ලැබෙන්නේය. එහෙත් තොරතුරු පනතක් තෑගි දෙන්නට උනන්දුවක් දැක්වූ යහපාලන ආණ්ඩුව වත්කම් බැරකම් නීතිය විධිමත් කොට එම ප්‍රකාශ පහසුවෙන් ලබාගත හැකි ක්‍රමවේදයක් ඇති කිරීමට කැමති වූයේ නැත.
තොරතුරු පනතට පක්ෂව පෙනී සිටි සමහර විචාරකයන්ගේ මතය වූයේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමේ දුෂ්කරතාවක් ඇත්නම් තොරතුරු පනත නිසා එම දුෂ්කරතාවද නැතිවනු ඇති බවය. එහෙත් වත්කම් බැරකම් නීතියට අදාළව තිබුණු එකම ප්‍රශ්නය වත්කම් බැරකම් ප්‍රකාශවලට පිවිසීමට තිබුණු දුෂ්කරතාව පමණක් නොවේ. නීතියේ තිබුණු අඩුපාඩු නිවැරදි කිරීමද අවශ්‍යව තිබුණි. වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින කෙනෙකුට එම නීතිය යටතේ ලබාදිය හැකි දඬුවම රුපියල් 1000ක දඩයකි. ඒ සඳහා අය කළ හැකි දඩය උපරිම කළයුතු අතර දඩය ගෙවන්නා අදාළ වර්ෂය සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම අනිවාර්ය දෙයක් බවදට පත් කළ යුතුව තිබුණි.

තොරතුරු කොමිසමේ ශල්‍යකර්මය

යහපාලන ආණ්ඩුව 19 වැනි සංශෝධනයෙන් මහජනයාට තොරතුරු ලබාගැනීමට තිබෙන අයිතිය මූලික අයිතියක් බවට පත් කළේය. තොරතුරු පනත් ඇති කළේද ඒ යටතේ තොරතුරු කොමිසමක් ඇති කළේද තොරතුරු ලබාගැනීමේ අයිතිය ආරක්ෂා කරමින් එම අයිතිය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කරවීම සඳහාය. තොරතුරු අයිතියේ රැකවල් දූතයා ලෙස ක්‍රියාකරන තොරතුරු කොමිසම විසින්ම වත්කම් බැරකම් විෂයෙහි මහජනයාට තොරතුරු ලබාගැනීමේ අයිතිය ලබාදී තිබෙන වත්කම් බැරකම් නීතිය අංගවිකල කරයි නම් මහජනයා කළයුත්තේ කුමක්ද?
ඒ කතාව ඉතා කෙටියෙන් මෙසේය.
ප්‍රේමලාල් අබේසේකර පෝද්දල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකි. ඔහු අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ගාල්ලේ ප්‍රමුඛ බාලිකා පාසලක හිටපු විදුහල්පතිනියකගේ වත්කම් බැරකම් ප්‍රකාශ වසර කිහිපයක් සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය. ඒ ඉල්ලීම සමග වසර කිහිපයක වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් සඳහා ගෙවිය යුතු රුපියල් දෙදහක් හෝ දෙදහස් පන්සියයක මුදල ද මුදල් ඇණවුමක් වශයෙන් යවන ලදි. පසුදිනක ඔහු ගාල්ලේ පාසල් කිහිපයකට අදාළ 1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ විස්තරද ලිඛිතව ඉල්ලා සිටියේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් විදුහල්පතිනියට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දුන්නේ නැතත්, දෙවැනි ඉල්ලීම ඉටු කරන ලදි. බොහෝ ප්‍රමාද වී විදුහල්පතිනියට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය නොහැකි බව ලිඛිතව දන්වා සිටියද ඔහු යවන ලද මුදල් ආපසු එවීමක් කළේද නැත.
ඔහු ඒ ගැන තොරතුරු කොමිසමට පැමිණිලි කළේය. කොමිසම ප්‍රශ්නය විභාගයට ගත්තේය. කොමසාරිස්වරුන් ලබාදී තිබෙන තීන්දුව අපූරුය.
විදුහල්පතිනිය අධ්‍යාපන බලධාරියාට ලබාදී තිබෙන වත්කම් බැරකම් ප්‍රකාශන රහස්‍ය ගණයට වැටෙන ලේඛන වන නිසාද, නීතිය අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, අධිකරණය හෝ ආදායම් බදු දෙපාර්තමේන්තුව කරන ඉල්ලීමකදී හැර එම රහස්්‍ය ලේඛන අන් කෙනෙකුට ලබාදීම නීතියට අනුකූල නොවන නිසාද එම රහස්‍ය ලේඛන ඉල්ලුම්කරුට ලබාදීමෙන් වැළකී සිටින ලෙසට විදුහල්පතිනිය ඉල්ලා සිටි නිසාද ඒවා ලබාදීමෙන් වැළකී සිටි බව අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් මෙම විභාගයට සහභාගි වූ නිලධාරියා කොමිසමට දැනුම් දී තිබේ.

වත්කම් බැරකම් නීතිය අංගවිකල කිරීම

අධ්‍යාපන බලධාරීන්ගේ ස්ථාවරය මුළුමනින් වත්කම් බැරකම් නීතියට පටහැනි බව අමුතුවෙන් කිවයුතු නැත. 1975 අංක 74 දරන පනතට අනුව නම් අධ්‍යාපන බලධාරියා නීතියට අනුකූලය. ඒ යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමේ හැකියාවක් තිබුණේ අල්ලස් දෙපාර්තමේන්තුවට ආදායම් බදු දෙපාර්තමේන්තුවට හෝ අධිකරණයට පමණය. ඒ අයිතිය මහජනයාට ලබාදී තිබෙන්නේ 1988 අංක 74 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත අනුවය. ඊට අනුව අධ්‍යාපන බලධාරියා ක්‍රියාකර තිබෙන ප්‍රතිපත්තිය මුළුමනින් නීති විරෝධීය. එම සංශෝධනයේ 5 (35 වගන්තිය අනුව නිසි බලධාරියාට අදාළ ගාස්තුව ගෙවා ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශයටක සහතික පිටපතක් ලබාගත හැකිය. එය ඉල්ලා සිටින්නේ කුමක් සඳහාද කියා ප්‍රශ්න කිරීමේ බලයක් බලධාරියාට නැත. බලධාරියා මෙම සිද්ධියට අදාළ හිටපු විදුහල්පතිනියට කතා කොට ඒ ගැන ඇගෙන් කරුණු විමසීමක් කළේ නම් එම බලධාරියා සැලකිය යුත්තේ නීතිය හාස්‍යජනක තත්ත්වයකට පත් කළ බලධාරියෙකු ලෙසය.
ඉතාමත් ඛේදජනක දේ තොරතුරු කොමිසම මෙම විභාගයේදී වත්කම් බැරකම් නීතියේ විධිවිධාන හා දර්ශනය මත පිහිටා ක්‍රියාකරනවා වෙනුවට තොරතුරු මත පිහිටා ක්‍රියාකරමින් ඉහත කී ඉල්ලුම්කරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන ආකාරයට තීරණයක් ලබාදීමය.
කොමිසම කිසිම අදාළතාවක් නැති ඉන්දියානු නඩු තීන්දුවක්ද උපුටා දක්වමින් බලධාරියාගේ ක්‍රියාකලාපය අනුමත කර තිබේ. උපුටා දක්වා තිබෙන ඉන්දියානු නඩු තීන්දුව බදු ලිපිගොනුවකට අදාළය. පුද්ගලයෙකුගේ පුද්ගලික බදු ලිපිගොනුවක් විශේෂ හේතුවක් නිසා අධිකරණයෙන් ලබාගන්නා නියෝගයක් නැතිව ලබාගත නොහැකිය. එහෙත් වත්කම් බැරකම් ප්‍රකාශ රහස්‍ය ලියවිලි ගණයට නොවැටෙන අතර එය ඕනෑම පුද්ගලයෙකුට පරීක්ෂා කිරීමේ බලය ඇති ලියවිලි විශේෂයකි. දේශපාලකයන් හා මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් අපේක්ෂා කරන තරමේ වගවීමක් හා විනිවිදභාවයක් රාජ්‍ය නිලධාරීන්ගෙන් අපේක්ෂා කිරීමට සාධාරණ නොවේය කියන අදහසක්ද මේ තීන්දුවට ඇතුළත්වය.
1994 අංක 20 දරන අල්ලස් (සංශෝධන) පනත අනුව රජයේ සේවකයන් පමණක් නොව, දේශපාලකයන්ද රජයේ නිලධාරී ගණයට ඇතුළත්ය. වත්කම් බැරකම් නීතිය සියලු දේශපාලකයන් සඳහා අදාළ වුවත් සියලු රජයේ සේවකයන් සඳහා අදාළවන්නේ නැත. නීතිය අදාළවන්නේ මාණ්ඩලීය ගණයට වැටෙන රජයේ නිලධාරීන් සඳහා පමණය. දේශපාලකයා පමණක් නොව රජයේ උසස් නිලධාරීන්ද තීන්දු ගැනීමේ හා තීන්දු ක්‍රියාත්මක කිරීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. රජයේ සියලු උසස් නිලධාරීන් දූෂිත වේ යැයි කීම සාධාරණ නැතත්, දූෂිත අයගේ පරිමාව පුංචි නැත. දූෂිත දේශපාලකයන් මහජනයාට මැතිවරණයේදී පරාජය කොට ගෙදර යැවිය හැකිය. එහෙත් දූෂිත රාජ්‍ය නිලධාරියෙකු ගෙදර යැවීමේ බලයක් නැත. දේශපාලකයන්ට අතිරේකව උසස් රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් නිරන්තර සෝදිසියට ලක් කෙරෙන ක්‍රමයක් තිබිය යුත්තේ මේ කාණ්ඩ දෙකම එක ආකාරයකට හෝ තවත් ආකාරයකට රටේ සිදුවන මහා පරිමාණයෙන් සිදුවන දූෂණයන්ට සම්බන්ධ නිසාය.
මෙම ප්‍රශ්නය ගැන කරන විභාගයකදී තොරතුරු කොමිසමේ කොමසාරිස්වරුන් තමන් මෙම විභාග කරන්නේ තමන්ටද අදාළ ප්‍රශ්නයක් බව තේරුම් ගෙන ක්‍රියා කළ යුතුව තිබුණි. මෙම කොමිසමේ කොමසාරිස්වරුන්ටද වත්කම් බැරකම් නීතිය අදාළය. කොමසාරිස්වරුන් වශයෙන් ඔවුන් දරන තනතුරු නිසා ඔවුන්ද වාර්ෂිකව වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටී. ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශද පරීක්ෂා කිරීමේ අයිතිය මහජනයා සතුය. ඒ අර්ථයෙන් මෙම විභාගය තොරතුරු කොමිසමේ කොමසාරිස්වරුන්ටද අදාළ විභාගයක් ලෙස සැලකිය හැකි අතර එය කොමසාරිස්වරුන් තමන්ගේ ආරක්ෂාව සඳහා ලබාදෙන ලද අගතිගාමී තීන්දුවක් බවට කෙනෙකුට පහසුවෙන්ම තර්ක කළ හැකිය.
විදුහල්පතිනියගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලුම් කළ ඉල්ලුම්කරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන ආකාරයට වත්කම් බැරකම් නීතිය අංගවිකල කෙරෙන ආකාරයටත් ලබාදී තිබෙන මෙම නීතියට පටහැනිව අගතිගාමී තීන්දුවට එරෙහිව අධිකරණයට ගොස් එය බලරහිත කරවා ගත යුතුය. එය කරන්නේ කවුද?