දෙවසරකින් තිරසාර සංවර්ධනයට යා හැකිය

සරත් ප්‍රනාන්දු

වර්තමානයේ ග්‍රාමීය අංශයේ සම්පත් විශාල ප්‍රමාණයක් කිසිදු ආකාරයක නිෂ්පාදනයක් සඳහා භාවිත නොකර නාස්තිවෙමින් පවතී. මෙම සම්පත්වල වටිනාකම ඉතා විශාල අගයකින් යුක්ත වේ. ග්‍රාමීය අංශයේ කෘෂි බෝගයන් වන පලතුරු, කොස්, දෙහි යනාදිය වාර්ෂිකව ටොන් 50,000කට අධික ඵලදාවක් කිසිදු ආකාරයක ප්‍රයෝජනයට නොගෙන නාස්ති වෙයි. මෙම වර්ගයේ ඵලදාවන් සඳහා ලෝක වෙළෙඳපොළේ අතිවිශාල ඉල්ලුමක් පවතින අතර දේශීය වෙළෙඳපොළෙහිද විශාල ඉල්ලුමක් නිර්මාණය කරගැනීමේ හැකියාව ඇත.
මෙසේ කිසිදු ප්‍රයෝජනයක් නොගෙන නාස්තිවෙමින් පවතින ඵලදාව භාවිතයෙන් අගය වැඩි කිරීමේ ක්‍රියාවලිය තුළින් අපනයන වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින භාණ්ඩ විශාල ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව පවතී. මෙසේ නාස්තිවෙමින් පවතින ඵලදාව සකස් කිරීම තුළින් දැනට ආනයනය කරන අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් දේශීයව සපුරා ගැනීමේ අවස්ථාවද උදාකර ගත හැක.
දේශිය ඵලදාව භාවිත කරමින් අගය එකතු කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පර්යේෂණ හා තාක්ෂණය ග්‍රාමීය අංශයට ලබාදීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාව ඉතාමත් දැඩිව පවතින අතර මේ සඳහා දැනට ක්‍රියාත්මක ප්‍රායෝගික නොවන ක්‍රමවේදයන් ප්‍රතිසංවිධානය කළ යුතුව ඇත.

අයෝග්‍ය පරිභෝජන රටාව සහ අවම ඉතුරුම්

වර්තමානයේ ග්‍රාමීය අංශයේ ගොවින් තම ඵලදාව අලෙවි කළ පසු සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීමේ ප්‍රවණතාවක් දක්නට ඇත. මෙම ප්‍රවණාතාවට ප්‍රධානම හේතු සාධකය වන්නේ විවිධ සමාගම් විසින් ක්‍රියාත්මක කරනු ලබන අධිවේගී ප්‍රචාරණ ක්‍රියාවලි සහ අලෙවි නියෝජිතයන්ගේ ක්‍රියාකාරකම් වේ. එසේම එම වර්ගයේ භාණ්ඩ ගෙවීමේ පදනම මත ගොවීනට ලබාදෙන අතර ඵලදාව අලෙවි කළ මුදල් අවසන් වූ පසු වාරික ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවේ. එම නිසා අවසානයේදී ගෙවූ මුදලත් ලබා ගත් භාණ්ඩයත් යන දෙකම අහිමිවීමේ අවාසනාවන්ත ඉරණමට මුහුණදීමට ගොවියාට සිදුවේ.
එසේම තම ජීවිත පැවැත්ම ලැබෙන ආදායම් මත පදනම්ව හැඩගස්වා ගත යුතු බව ඒ පිළිබඳ අවබෝධයක් ලබාදීමේ ක්‍රමවේදයක් ග්‍රාමීය අංශය තුළ ක්‍රියාත්මක නොවීමටද අධික ණය බර සඳහා ප්‍රබල දායකත්වයක් ලබා දී ඇත.
ග්‍රාමීය අංශයේ ඉතුරුම් ක්‍රියාවලිය ඉතාමත් පහත් මට්ටමක පවතී. දශක ගණනාවක් වගා කටයුතු කළත් තම ඉතුරුම්වලින් ඊළඟ කන්නයේ වගා කටයුතු කරගැනීමේ හැකියාව සහිත ගොවීන්ගේ සංඛ්‍යාව 10% කට වඩා අඩු මට්ටමක පවතී.
තීරසාර සංවර්ධනය සඳහා ළඟාවීමට නම් ඉතුරුම් අනුපාතය ඉහළ මට්ටමක පවත්වා ගැනීම අත්‍යවශ්‍ය අංගයක් වන අතර දැනුවත්භාවය වැඩි කිරීමද ඉතාමත් අත්‍යවශ්‍ය කරුණක් වනු ඇත.

පාරිසරික සහ සමාජීය බලපෑම

වර්තමානයේ පවතින ඉතාමත් අහිතකර දේශගුණික සහ කාලගුණික තත්ත්වයන් නිසා කන්න 4ක් පමණ නියමිත පරිදි වගා කිරීමට නොහැකි වී ඇත. උග්‍ර ජල හිඟය මෙයට ප්‍රධානතම හේතුව වශයෙන් පෙන්වා දුන්නද ජල කළමනාකරණයේ පවතින දුර්වලතාව ප්‍රධාන සාධකයක්ව පවතී. වගාව සඳහා භාවිත කරන ජල ප්‍රමාණය නියමිත ප්‍රමාණයට වඩා 400%ක් පමණ ඉහළ අගයක් බවට පත්ව ඇත්තේ මනා ජල කළමනාකරණයක් නොමැතිවීම හේතුවෙනි.
එසේම වර්තමානයේ වගාබිම්වලට වන සතුන්ගෙන් වන හානිය බරපතළ ගැටලුවක් බවට පත් වී ඇත. තාවකාලික බෝගවලට මෙන්ම ස්ථිර බෝගවලටද වන සතුන්ගෙන් වන විනාශය ගොවි ජීවිත උඩු යටිකුරු කිරීමට හේතු සාධක වී ඇත. මෙම ප්‍රශ්නයේදී පරිසරවේදීන් ක්‍රියාකරනුයේ ඒකපාර්ශ්වීය ආකාරයෙන් වන අතර මෙම ගැටලුවට තිරසාර විසඳුමක් සඳහා ක්‍රමවත් අධ්‍යනයක් සිදු කළ යුතු වුවත් ඒ පිළිබඳව පරිසර සංවිධාන හෝ රාජ්‍ය අංශය අවධානයක් යොමු කර ඇති බවක් දක්නට නොමැත.
ශ්‍රී ලාංකීය ජන සමාජයේ දේශීය නිෂ්පාදන කෙරෙහි ඇති ළබැඳියාව ශක්තිමත් නොවන අතර තත්ත්වයෙන් බාල ආනයන භාණ්ඩ පරිභෝජනයට ගිජුකමක් දක්වයි. එසේම උසස් ප්‍රමිතියෙන් යුත් දේශීය නිෂ්පාදනවලට වඩා රසායන ද්‍රව්‍ය අධික ලෙස භාවිත කර ඇති ආනයන භාණ්ඩ පරිභෝජනයට වැඩි කැමැත්තක් දක්වයි.
ආනයන භාණ්ඩ මත යැපීම කෙටිකාලීනව හා දිගුකාලීනව ඇති කරන අයහපත් බලපෑම පිළිබඳ අවබෝධයක් ලබාදීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැතිවීමද, මෙම තත්ත්වයට ප්‍රබල ලෙස බලපා ඇත.
ග්‍රාමීය අංශයේ කඩා වැටීමට ඉහත සඳහන් හේතුන් අඩු වැඩි වශයෙන් දායකත්වය සපයා ඇති අතර තිරසාර සංවර්ධනයට ඇති බාධක හඳුනා ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති බවද ප්‍රධාන සාධකයක් බවට පත්වී ඇත. ග්‍රාමීය අංශයේ තිරසාර සංවර්ධනය ළඟාකර ගැනීමට නම් ප්‍රායෝගික සහ ක්‍රමවත් වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කඩිනම් පියවර ගත යුතුව ඇති අතර එවන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් වසර 2ක් වැනි කෙටි කාලයක් තුළදී ග්‍රාමීය අංශයේ තිරසාර සංවර්ධනය සඳහා ස්ථිර අඩිතාලමක් ස්ථාපිත කිරීම අසීරු කටයුත්තක් නොවනු ඇත.