රාවය

ඇමෝනියම් විසට බිලිවූ මිනිසත්කම

ඇමෝනියම් විසට බිලිවූ මිනිසත්කම

දිනී ජයසේකර

හොරණ මතුගම බස් රථයක නැගි මම බැල්ලපිටිය පාසල ඉදිරියෙන් බැස ගත්තෙමි. පාසල ඉදිරියේ වූයේ දීලිප කසුන්ගේ අවමඟුලය. එදින විසි දෙවැනිදාය. ඔවුන්ගේ නිවස පිහිටියේ පාසල ඉදිරිපිටමය. පාසලට අල්ලපු වත්තේ වූයේ සුසාන භූමියයි. ඒ සුසාන භූමියේ එකම බැනරයක මුහුණු තුනක් ප්‍රදර්ශනයේ විය. ඒ දිලීප කසුන්, ප්‍රියන්ත කුමාර සහ ලාල් පුෂ්පකුමාරත්ය. මේ තිදෙනාට අමතරව තව දෙදෙනෙකුගේ අවමංගල්‍ය උත්සව ඊට කලින් දවසක අවසන් කොට තිබුණි. ඒ වරුණ සඳරුවන් සහ ආයතනයේ රැකියාවේ යෙදුණු කාර්මිකයෙකුගේය.
බැල්ලපිටිය ප්‍රදේශයම කම්පාවට පත් කරමින් මේ මරණ සිදුවූවේ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියම් විෂ ආඝ්‍රහනය වීමෙන්ය. දෙදෙනෙකු මෙම ආයතනයේ කාර්මිකයන් වන අතර අනෙක් තිදෙනා ප්‍රදේශවාසීහුය. සිදුවූ දේ අදටත් ඔවුනොවුන්ගේ පවුල්වල උදවියට ප්‍රශ්නාර්ථයකි. එක් ජීවියකුගේ ජීවිතයක් උදෙසා තව හතර දෙනෙකුගේ ජීවිත කැප කීරීම කෙතරම් මානුෂීයද?

19 වෙනිදා මොකද්ද වුණේ

අවුරුදු නිවාඩුවට වහල තිබුණ ලේ ටෙක්ස් රබර් කර්මාන්තශාලාව විවෘත වූවේ අප්‍රේල් මස දහනම වැනිදාය. එදින හොරණ බැල්ලපිටියේ පිහිටි ලේ ටෙක්ස් රබර් කර්මාන්තශාලාවේ අවුරුදු විසිපහක් පුරා රැකියාවේ නිරත වූ ජ්‍යෙෂ්ඨ තාක්ෂණවේදිනියක වන ඉනෝකා නමැති තාක්ෂණවේදිනිය විසින් ඇමෝනියම් විෂ සහිත ටැංකියේ කරාමය විවෘත කරන ලෙස කාර්මිකයෙකුට උපදෙස් දී ඇත. ඒ අවස්ථාවේ දහවල් කෑම වේලාව සඳහා වූ කාලපරිච්ඡේදයයි. මේ කාර්මිකයා ඒ වන විට දවල් ආහාරයට සූදානම් වෙමින් සිටි අතර තාක්ෂණවේදිනියගේ අණ මත ඔහු කරාමය විවෘත කිරීම සඳහා එතනට පිවිස ඇත. අප්‍රේල් නිවාඩුවට ප්‍රථම වැසූ කරාමය විවෘත කරන්නේ අප්‍රේල් දහනම වන දිනය. පසුව කරාමය විවෘත කරන විටදි කම්කරුවා සිහිමුර්ජිතව ටැංකිය ඇතුළතට ඇද වැටී ඇත. මේ සිදුවීම සිද්ධ වූ පසු එහි සිටි සේවිකාවක් ඔහුව බේරගන්නා ලෙස ශබ්ද නගා කෑගහද්දී එය ඇසුණු පරීක්ෂණාගාර කාර්මිකයෙක් ලෙස මෙහි රැකියාවේ නිරත වූ වරුණ සඳරුවන් එතනට දිව ගොස් ඇත. එහිදී ඔහුව බේරගන්නා අදහසින් ටැංකිය අසලට යන විට ටැංකිය ඇතුළත සිටින කාර්මිකයාව දුටු වරුණ නමැති ආයතන සේවකයා ඒ ඇතුළට පැන ඇත. එහිදී ඔහුත් සිහිමුර්ඡා විය. මේ නිසා කර්මාන්තශාලාවේ සේවය කරමින් සිටි සේවක සේවිකාවන් ආයතන ගේට්ටුව පරයා මහජන උපකාරය බලාපොරොත්තුවෙන් බැල්ලපිටිය ප්‍රධාන මාර්ගය අසලට පිවිස ඇත. ඒ ඝෝෂාවට අවධානය යොමු කෙරූ මාර්ගයේ ඉදිරියට ඇදෙමින් සිටි දිලීප මේ ආයතනය ඇතුළතට ගොඩවී ඇත. පසුව දිලීපගේ ඇමතුමක් මාර්ගයෙන් ප්‍රියන්ත නමැති ඔහුගේ මිතුරාත් පැමිණ ඇත. ප්‍රියන්ත පැමිණෙනවිට දිලීපත් මේ ටැංකියේ ඒ මේ අත පාවෙමින් සිටිනු ඔහු දැක ඇත. ප්‍රියන්ත මට පිහිනිය හැකියි කියමින් මේ වළට බැස ඇත. එහෙත් ඔහුටත් කිසිවෙකුත් බේරා ගැනීමට නොහැකි විය. එහිදී සියලුදෙනා සිහිමුර්ඡාවීම හේතුවෙන් සේවක සේවිකාවන්ගේ හඬ තීව්‍ර විය. එවිට මාර්ගයේ ඉදිරියට ඇදෙමින් සිටි ලාල් සහ ඔහුගේ බිරිඳත් ප්‍රශ්නය කුමක්දැයි සොයා බැලීමට ආයතනය ඇතුළට පැමිණ ඇත. එහිදී ලාල් නමැති පුද්ගලයාත් ටැංකිය ඇතුළතට වැටී ඇති අතර පස්දෙනාම ටැංකිය තුළදී ශ්වසන අපහසුතා හේතුවෙන් මරණයට පත්වී ඇත. අවසානයේ සිදුවූවේ සියල්ලන්ගේම අවසන් හුස්ම ඇමෝනියම් විස මිශ්‍රිත ජලය සහිත මේ ටැංකිය ඇතුළත සිරකර නිහඬවීමය.

ලේ ටෙක්ස්

“මේ වැඩපලේ ඇත්තටම වෙන්නේ පිටින් රබර් කිරි ගෙනල්ලා ඒ කිරි පිරිසිදු කරලා පිට කම්පැණිවලට යවනවා. මේ කිරි මුදවන්න තමා ඇමෝනියම් ඇසිඞ් එක දාන්නේ. ඒ කරලා ඉතිරි ටික වතුර එක්ක මිශ්‍ර වෙලා අර ටැංකි වලට පුරවනවා. එහෙම කරලා මේ ටැංකි පිරුණාම මාසෙකට සැරයක් දෙසැරයක් වගේ බවුසර්වලින් ඇවිල්ලා අදිනවා. ඒ ඇදලා ගෙනියන්නේ කොහෙටද කියන එකනම් හරියට දන්නේ නැහැ. රජයෙන් දීපු තැන්වලට බැහැර කරනවා කියල තමා කියන්නේ. ඇත්තටම වහින දවස්වලට නම් කරන්නෙ මේ ටැංකිය යට තියෙන කරාමය අරිනවා. එහෙම ඇරලා ඇළ මාර්ග මගින් කළු ගඟට හරවනවා. මේ හේතුව නිසා පහළ ගම් කිහිපයකම වගේ හරක් කීපදෙනෙක් මැරිල තිබ්බා ඒ දවස්වල. ඔය ටැංකි ඇරපු දවසට මේ පැත්තකවත් ඉන්න බැහැ. ඒ තරම් ගඳයි. ඒ වගේම විසයි. ඒ කාලේ ජනතා විරෝධය හරියට තිබ්බා මේ කර්මාන්තශාලාවට. සති කිහිපයක් වහලත් තිබ්බ මේ ප්‍රශ්නෙ නිසා. එහෙත් ආයෙමත් සතියකින් දෙකකින් අරිනවා.
මේ කර්මාන්තශාලාවේ මුලින්ම හැදුවේ අත්මේස්. පස්සේ විවිධ මේස් වර්ග හැදුවා. දැන් මේක පවත්වාගෙන යන්නේ සෙරෙප්පු හදන මුවාවෙන්. මේක ලොකු ප්‍රශ්නයක්. කොච්චර වහන්න හැදුවත් ආයෙ ආයෙ එයාලගේ බලපුළුවන්කාරකමට අරිනවා. මේ ආයතනය නිසා පස්දෙනෙක්ම මැරුණා. ඔන්න ආයෙමත් මාසෙකින් විතර කිසි ගාණක් නැතිව ඕක අරියි.”
ලේ ටෙක්ස් රබර් කර්මාන්තශාලාව ආරම්භ කර දැනට අවුරුදු තිහක පමණ කාලයක් ගත වේ. මේ කාලය තුළ කර්මාන්තශාලාවට නොයෙකුත් බාධක පැමිණ ඇත. එහෙත් මෙහි හිමිකරුවන් ඒ ගැන කිසිදු තැකීමක් නොකර මෙය පවත්වාගෙන ආ බව පැහැදිලිය. අප්‍රේල් දහනමවනදා පස්දෙනෙකු ඔවුන්ගේ මාපියන්ට අහිමි කරවමින් සියලු දේ හෙළිවීම මත කර්මාන්තශාලාවේ බැරෑරුම් බව සහ චූදිතයන්ගේ හෙළුව මුළු මහත් සමාජයම දැනගැනීම සත්‍යයි. එහෙත් චූදිතයන් එළියට මුහුණ නොදෙන්නේ මන්ද? නැවත මේ ආයතනය පෙර ආකාරයටම තම ක්‍රියාවලි පවත්වාගෙන යාවිද? මේ මතුවන ගැටලුවලට උත්තර බලාපොරොත්තුවෙන් සිටින්නෝ බොහෝය.

ආයතනය අනාරක්ෂිතයි

ආයතනය සතුවූ ආරක්ෂිත වැඩපිළිවෙත් කිසිවක් ක්‍රියාවට නැංවී නොමැතිය. මේ සිදුවීම සිද්ධවීමේදී කාර්මිකයාට අණ කෙරූ තාක්ෂණවේදිනියත්, ආයතන ප්‍රධානියා සහ ආයතන කළමනාකරු මේ ආයතනයේ රැඳී ඇත. එහෙත් දහනමවනදා මේ සිද්ධිය සිදු වූ අවස්ථාවේදී කිසිවෙකු පැමිණ නැත. මෙය සිදුවීමට පෙරාතුවවත් සිද්ධිය සිදුවූ අවස්ථාවේදීවත් එහි සිටි ජ්‍යෙෂ්ඨ තාක්ෂණවේදිනියවත් කිසිදු උපදෙසක් ලබා නොදීම මේ මරණ සියල්ලටම හේතුව නොවේද? අවුරුදු විසිපහක සේවක කාලයක් සම්පුර්ණ කර තිබියදීත් ඇය මේ සියල්ල සිදුකළේ කිසිත් නොදැනනම් එය විහිළුවකි. පළමු මරණයෙන් පසු සිදුවූ අනෙක් සියලු මරණ නවත්වා ගැනීමේ හැකියාව මේ කියන ජ්‍යෙෂ්ඨ තාක්ෂණවේදිනිය සතුව තිබුණාය. එහෙත් ඇය ක්‍රියා නොකළේ මන්ද කියන කාරණාව ගැටලුවකි.
මෙහිදී අවධානය යොමු කළ යුතු සූදානම කරුණ වන්නේ ආයතනික කාර්මිකයන් හැර ප්‍රදේශයේ මරණ තුනක් සිදුවීම සම්බන්ධවයි. මේ ගැන මරණයට පත් ලාල් පුෂ්පකුමාරගේ බිරිඳ දැක්වූවේ මෙවැනි අදහසකි.
“එදා මායි මගේ මහත්තයයි බයික් එකේ ටවුන් එකට යන ගමන් හිටියේ. අපි ෆැක්ටි්‍රය ඉස්සරහින් යද්දී කෑගහනව ඇහුණා බේරගන්න බේරගන්න කියලා. ගේට්ටුවත් හායි ගාලා ඇරලා තිබුණේ. අපි දන්න කියන කාලෙක ඉඳන් මේ ෆැක්ටි්‍රයෙ කිසිම සිකියුටරි එකක් තිබිල නැහැ. ඉතිං මහත්තය බයික් එක දාල මාවත් එතන තියල ගියා ප්‍රශ්නෙ මොකද්ද කියල බලන්න. මාත් පස්සෙන්ම ගියා. ඒ යනකොටත් මහත්තය ටැංකිය ඇතුලේ. ඒ ටැංකිය අඩි දහයක් විතර ගැඹුරුයි. එයාලට ගොඩවෙන්න කියල දාන්න ඉණිමගක්වත් තිබුණේ නෑ ඒ හරියේ. අඩුම ගානෙ ලීයක්වත් තිබුණේ නැහැ. බේරගන්නයි කියල කිසිම උපකරණයක් ඒ හතර මායිමක තිබුණේ නැහැ. අඩුම ගානේ ඔක්සිජන් ටැංකියක්වත් නැහැ.”
මේ කර්මාන්ත ශාලාවේ අනතුරට ප්‍රධානම හේතුව වන්නේ ආරක්ෂිත ක්‍රමවේදයක් නොතිබීම සහ අවශ්‍ය උපදෙස් ලබා නොදීම යන කරුණු දෙක පාදක කරගෙනය. එහෙව් ක්‍රමවේදයක් තිබුණේ නම් ඒ සම්බන්ධව වේලාසන සේවකයන් දැනුවත්ව සිටිය යුතුය.
කිසිදු ආරක්ෂිත ක්‍රමෝපායක් නොමැතිව අවුරුදු තිහක කාලයක් මේ ආයතනය තම එදිනෙදා ආයතන ක්‍රියාවලිය හසුරුවා තිබෙන ආකාරය අනතුරුදායකය. මේ සියල්ල සොයා බලා බලපත්‍ර නිකුත් කීරීමේ ආයතන නින්දේද සිටියේ කියා ඇහුවොතින් එය වරදක් නොවන්නේය. මේ සඳහා වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීම මධ්‍යම පරිසර අධිකාරිය සතු වගකීමකි. මෙම පරිසර ආරක්ෂක බලපත්‍රය අවුරුද්දක් පාසා අලුත් කිරීමක්ද සිදුවූ අතර එය සිදු කිරීම සඳහා ආයතන නිරීක්ෂණයක යෙදිය යුතු වනවා පරිසර අධිකාරිය විසින් එහිදී අනාවරණය වන්නේ ගැටලුසහගතව මේ ආයතනය අවුරුදු තිහක කාලයක් පුරා මෙම බලපත්‍රය අතැතිව දිගටම පවත්වාගෙන යාමයි. මෙසේ පවත්වාගෙන ගියේ කෙසේද කියන කාරණාවද ගැටලුසහගතය.

වන්දි

පුද්ගලයකුගේ ජීවිත වන්දිය රුපියල්වලින් මැනීම සිදු කිරීම ඉතා අසීරුය. එහෙත් ලේ ටෙක්ස් ආයතනික ප්‍රධානීන් හරි අපූරුවට මේ මරණයට පත් ජීවිතවලට වන්දියක් නියම කර තිබේ. එහි වටිනාකම රුපියල් පනස් දහසක වන්දියකි. මොවුන්ගේ ලේකම්වරියක අත මේ පනස්දහස එවා ඇති අතර එය වීඩියෝ කළ යුතුවද තිබුණු බව පැවසුවේ ප්‍රියන්තගේ මලණුවන් වන ශාන්ත විසිනි.
“දැනගන්න ලැබුණු විදියටනම් එයාලගෙ ලේකම් කෙනෙක් අතේ තමා පනස්දහස එවල තිබ්බේ. අපි කවුරුත් ඒ සල්ලි බාරගත්තේ නැහැ. මොකද කොළ කෑල්ලක අත්සන් කරලා ගන්න තිබ්බේ. ඒ මදිවට වීඩියෝ කරන්නත් කීවා ඒ සල්ලි භාරගද්දි.”
බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිත ගැන නොසිතා අනුන්ගේ ජීවිත බේරාගැනීමට තම ජීවිත කැප කරද්දී තවත් සමහරෙක් ඒ ජීවිතවලට නියම කර තිබෙන වන්දිය හරි පුදුමසහගතය. ඉතාමත් හාස්‍යජනකය.
දිලීප එක් දරු පියෙකි. ප්‍රියන්ත තිදරු පියෙකි. ලාල් සිවු දරු පියෙකි. මේ සියල්ලෝම කුටුම්බවල ගෘහ මූලිකයෝය. තම දරුවන් තම බිරියන් වගේම මාපියන් රැක ගැනීමේ ප්‍රධානම කටයුත්ත පැවරී තිබුණේ මොවුන්ටය. එහෙත් සිදුවී ඇත්තේ ඒ පවුල් සියල්ල අනාථවීමය. මොවුනොවුන්ගේ පවුලේ උදවිය, දරුවන් සියල්ලෝම පසුතැවෙන්නේ ඔවුන්ගෙන් ගිලිහුන මේ ජීවිත ගැනය. අද මේ සැවොම ජීවිත මගේ කරවටක් ගිලී ඇත.