රාවය

බදු ගෙව්වාට ස්තුතිය කාටද?

බදු ගෙව්වාට ස්තුතිය කාටද?

විපුල කරුණාතිලක

ජනමාධ්‍යය හරහා බදු ගෙවන්නන්ට ස්තුති කරමින් මුදල් අමාත්‍යාංශය විසින් දිනපතා වෙළෙඳ දැන්වීම් පළකරමින් ඇත. කුතුහලයට කරුණ වන්නේ ආණ්ඩුව මේ ස්තුති කරන්නේ කාටද යන්නය. එංගලන්තය වගේ රටක නම් රාජ්‍ය ආදායමෙන් 40%ක පමණ ප්‍රමාණයක් ඍජුව බදු ගෙවන පිරිසක් ඇත. ඒ බදුවලින් ඍජුවම ප්‍රතිලාභ ලබන පිරිසක්ද ඇත. ලංකාවේ ඊට සාපේක්ෂව ඇත්තේ වෙනස් තත්ත්වයකි. 2018 අයවැය ගත්තද එහි 82%ක ප්‍රතිශතයක් අයත්වන්නේ වක්‍ර බදු මාර්ගයෙනි. වක්‍ර බදු පනවන්නේ භාණ්ඩ හා සේවා මතය. ඒ මේ බදු දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලුදෙනාම දරමින් ඇත. ඍජු බදු ප්‍රමාණය ලෙස දක්වා ඇත්තේ 18%ක ප්‍රමාණයකි. එයිනුත් සංයුක්ත බද්ද (Corparate Tax) 12% ඉවත් කළ විට ඍජුවම පුද්ගල බද්ද ලෙස ගෙවා ඇත්තේ බදු ආදායමෙන් 6%ක ප්‍රමාණයකි. එය දළ දේශීය නිෂ්පාදනයේ 0.8%කි. සමස්ත බදු ලිපිගොනු ප්‍රමාණයෙන්, පුද්ගල බදු ලිපිගොනු ඇත්තේ ලක්ෂ 4 – 4 1/2 අතර ප්‍රමාණයකි. මධ්‍ය අගයක් ලෙස සැලකූ විට මෙම ලක්ෂ 4 ප්‍රමාණය වාර්ෂිකව එක් කෙනෙක් ලක්ෂ 03ක්වත් බදු වශයෙන් ගෙවා නොමැත. ඔවුන් බදු ගෙවන ප්‍රමාණයට වඩා රටෙන් ප්‍රතිලාභ ලබාගෙන ඇත. උදාහරණයක් ලෙස වාර්ෂිකව ලක්ෂ 03ක් ගෙවන වෛද්‍යවරයෙක් ආණ්ඩුවෙන් ලබන බදු රහිත වාහන බලපත්‍රයෙන් ලබන වාසිය රුපියල් මිලියන 5 ඉක්මවයි. සහන මිලට ලබාදෙන ඉන්ධන, විදුලිය, ජලය සමස්ත වායුගෝලයට එකතු කරන කාබන්ඩයොක්සයිඞ් ප්‍රමාණය සැලකූ විට ඔවුන් ගෙවන බදු මුදලට සාපේක්ෂ වැඩි මිලක් ආණ්ඩුව දරා ඇත.
මීට සාපේක්ෂව පසුගිය අවුරුදු 30 තුළ පැවති බදු ප්‍රතිපත්තියෙන් සිදුවූයේ කුමක්ද යන්න විමසිය යුතුය. රටක බදු ප්‍රතිපත්තියක ප්‍රධාන අභිලාෂය වන්නේ සමාජ සාධාරණය සහතික කිරීමය. ඒ අනුව අඩු ආදායම්ලාභීන්ට ලබන ආදායම ජීවත්වීමට ප්‍රමාණවත් නොවන්නේ නම් ප්‍රමාණවත් ආදායමක් ප්‍රතිපූර්ණය කිරීමක් සිදුවෙයි. ප්‍රගතිශීලී බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන රටවල සිදුවන්නේ මෙයයි. ලංකාවේ සිදුවී ඇත්තේ ඊට සාපේක්ෂව වෙනස් තත්ත්වයකි. 1990 0.43 පැවති ගිනි සංගුණකය 2016 වන විට 0.48 දක්වා වැඩිවී ඇත. 1990ට සාපේක්ෂව 2016 වන විට ආදායම විෂමතාව වැඩිවී ඇත. කොළඹ 1-15 දක්වා දක්නට ඇති ගොඩනැගිලි, ඉහළ සන්නාම සහිත භාණ්ඩ විකුණන වෙළෙඳපොළ ලෝකයේ ඉහළම මිල සහිත වාහන අධිසුඛෝපභෝගී නිවාස සංකීර්ණ, වාර්ෂිකව ලක්ෂ 20 දක්වා මිල අයකරන ජාත්‍යන්තර පාසල්වලින් පරිබාහිරව ඇත්තේ කනගාටුදායක තත්ත්වයකි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ගෘහස්ත ආදායම් වියදම් වාර්තාවට අනුව පිළිවෙළින් අවම ආදායම් ලබන පවුල් 20% ලබන්නේ දළ දේශීය නිෂ්පාදිතය 4%ක් පමණය. එක පවුලක ආදායම රුපියල් 14311කි. දෙවන පවුල් 20% ආදායම එක පවුලක් රුපියල් 30008කි. තෙවන පවුල් 20% එක පවුලක ආදායම රුපියල් 43713, හතරවන පවුල් 20% ලබන්නේ රුපියල් 64570කි. සමස්ත ගෘහස්ත වියදම් බැලූ විට මධ්‍ය අගය වන රුපියල් 62237ක සමස්ත පවුල් ප්‍රමාණයෙන් 60%ක ප්‍රමාණයට නොලැබීමය. අනෙක් කරුණවන්නේ රටේ පාරිභෝගික මිල දර්ශක පරාසය වන රුපියල් 54000 සිට 64000 දක්වා ආදායම සමස්ත පවුල් ප්‍රමාණයෙන් 60%ක් නොලැබී යෑමයි. මෙම නොලැබීම හේතු කොටගෙන මේ පවුල්වල ලබන ආදායමෙන් 50%ත් – 70%ත් අතර ප්‍රමාණයක් ආහාර සඳහා පමණක් වැය කිරීමට සිදුවී ඇත. ඒ නිසා අනෙකුත් අවශ්‍යතා සඳහා වැය කරන මුදල සීමා කිරීමට සිදුවීම අනිවාර්ය වී ඇත. වැඩිම ආදායම ලබන 20% ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් භුක්ති වින්දද ඊට සාපේක්ෂව තවමත් ආදායම් බදු ගෙවා නොමැත. එසේ ආදායම් බදු ගෙවන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුව සතුව අවම වශයෙන් බදු ලිපිගොනු ලක්ෂ 10ක්වත් තිබිය යුතුය.
1977 සිටම පිළිගත් ප්‍රතිපත්තිය වූයේ ආර්ථිකය ප්‍රසාරණය වන විට ඇතිවන ආදායම් විෂමතාව නිසා ශ්‍රමිකයන් ආර්ථික ක්‍රියාවලියට එකතු වී තම ආදායම වැඩිකර ගන්නා බවයි. ඒ අනුව ආදායම් විෂමතාව ප්‍රගතිශීලී, අරමුණක් ලෙස එකල පිළිගැනීම විය. එය එසේ නොවන බව ලංකාව මෙන්ම ලෝක අත්දැකීම්වලින්ද පැහැදිලි වෙයි. ඇමරිකාවේද අද ප්‍රධාන ගැටලුව වී ඇත්තේ සෞඛ්‍ය රක්ෂණ හා අධ්‍යාපනය සැමට ලබාදෙන්නේ කෙසේද හා ඒ වෙනුවෙන් බදු ප්‍රතිපත්ති සකස් කරන්නේ කෙසේද යන්නයි. 1990 සිට 2018 දක්වා ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 10 ගුණයකට වඩා වැඩි වුවත් ඊට සාපේක්ෂව මන්දපෝෂණය, ආදායම් විෂමතාව අපරාධ නිවාස, ආහාර සුරක්ෂිතතාව තිරසාර වී නොමැත. අධ්‍යාපනය වැනි දෙයක් ගත්විට අද එය සම්පූර්ණයෙන්ම මාපියන්ගේ හැකියාව මත රඳා පවතී. කලින් සඳහන් වූ අඩු ආදායම්ලාභී පවුල් 60%ට දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කටයුතු කිරීම අපහසු වී ඇත. පසුගිය අවුරුදු 30 තුළ ක්‍රියාත්මක වූ සහ දැනටත් ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තියෙන් සිදුවී ඇත්තේ රජයේ බදුවලින් ලබාදෙන සහන වැඩි ප්‍රමාණයක් ඉහළ ආදායම්ලාභීන් විසින්ම භුක්ති විඳීමය. උදාහරණයක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලයට පළමු වසරට ඇතුළත් වෙන දරුවකු ලබන කුසලතාව මොණරාගල හෝ කිළිනොච්චි දිස්ත්‍රික්කයේ පාසලක දරුවකු ලබන්නේ නැත. සහන මිලට ලබාදෙන ඉන්ධන වැඩිම ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ ඉහළ ආදායම්ලාභීන්ය. විශ්වවිද්‍යාලවල වෛද්‍ය ඉංජිනේරු පීඨවල ඉගෙන ගන්නේ ඉහළ ආදායම්ලාභීන්ගේ දරුවන්ය. එසේ නම් ආණ්ඩුවට ජනමාධ්‍ය ආයතනවලට නිකරුණේ මුදල් ගෙවා කාටවත් ස්තුති කිරීමට අවශ්‍යවන්නේ නැත. කිසිම කෙනෙක් තමන්ට පාඩු කරගෙන බදු ගෙවා නැත. මේ ලියුම්කරු දන්නා තරමට ලෝකයේ අඩුම පුද්ගල ආදායම් බද්ද හා සංයුක්ත බද්ද ඇති රට ලංකාවය. රටේ බදු ආදායම සියලුදෙනාට තමන්ගේ පරිභෝජනයට සාපේක්ෂව ගෙවා ඇත. ඒ අනුව රටේ කිසිම කෙනෙක් කිසි කෙනෙකුට ණය නැත. වෙළෙඳ දැන්වීම් සකස්විය යුත්තේ ඉදිරියේදී වැඩි ආදායම්ලාභීන්ගෙන් බදු අයකර සමාජ සාධාරණය ඇති කරන ක්‍රමවේදය ගැන පමණි. ලංකාවේ වාමාංශිකව පෙනී සිටිය යුත්තේද බදු ප්‍රතිසංස්කරණ මගින් සමාජ සාධාරණය ඇති කිරීම වෙනුවෙනි.