පසුගිය වසර තුන වගේ වුණොත් අනාගතයක් නෑ ප්‍රදේශීය සංවර්ධන අමාත්‍ය – සරත් ෆොන්සේකා

නිමල් අබේසිංහ
ඡායාරූප – ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

පවතින දේශපාලන අර්බුදයට තනි යූඇන්පී ආණ්ඩුවක් විසඳුමක් ලෙස ඔබ සිතනවාද?

අප හිතනව තනි යූඇන්පී ආණ්ඩුවක් තිබුණා නම් මීට වඩා තීන්දු තීරණ ගැනීමේදී එකමුතුව කරන්න තිබුණා. විශේෂයෙන්ම දැන් විශ්වාසභංගයේදී ඒකට පක්‍ෂව ඡන්දය දීල ගිය ඇමතිවරු එහෙම සිටිද්දී පහුගිය දවස්වල ඒ ගොල්ලන්ගෙන් නිතරම තිබුණු කැබිනට් මණ්ඩලයේදීත් පාර්ලිමේන්තුවේදීත් විරුද්ධ මත ප්‍රකාශ කිරීම්, ආණ්ඩුවත් සමග නැත්නම් එජාපයේ මතය සමග එකට නොයිදීම, ඒ වගේ ප්‍රශ්න ඇතිවුණා. කකුලෙන් ඇදීම් තිබුණා. දැන් ශ්‍රීලනිපයේ ඉතුරුවෙලා ඉන්න කට්ටිය නම් සාමාන්‍යයෙන් හුඟාක් සමගියෙන් ජාතික ආණ්ඩුවෙ වැඩ කරපු අය. දැන් මම හිතනවා ඉස්සර තිබුණා වගේ ආබාධයක් තියෙන එකක් නෑ. හැබැයි ඉතින් තීන්දු තීරණ ගැනීමේදී අතිගරුජනාධිපතිතුමා අගමැතිතුමාට අවශ්‍ය නිදහස දීල ඒ අවශ්‍ය ශක්තිය දීල වැඩකෙරිය යුතුයි. එකට යන ගමනක් නිසා. එහෙම වුණොත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

එයින් කියවෙන්නේ අග්‍රාමාත්‍යවරයාට නිදහසේ වැඩකරගෙන යන්න ජනාධිපතිවරයාගෙන් සහයෝගයක් ඉඩදීමක් තිබුණේ නැහැ කියන එකද?
යම් යම් ප්‍රශ්න ඇතිවුණානෙ. දැන් ආර්ථික කමිටුව අහෝසිකරල ජනාධිපතිතුමා ගත්තා තමන්ගේ යටතට. ඒ කමිටුව කරපු කාර්යභාරය වගකීම එතුමාගෙ අතට ගත්තා. ඒ වගේම ප්‍රශ්නසහගත ස්ථාන තිබුණා. නොතිබුණා නොවෙයි. එවැනි දේවල් සිදු නොවුණා නම් හොඳයි කියලා තමයි මම හිතන්නේ.

මැයි 08 දා ආරම්භ වන නව පාර්ලිමේන්තු සැසිවාරයේ දී කුමනාකාරයේ වෙනස්කම් සිදුවිය හැකිද?
කැබිනට්ටුවේ සමහර ස්ථාන තියනව වෙනස් විය යුතු ස්ථාන. සමහර අමාත්‍යංශ මං හිතන විදියට එක්සත් ජාතික පක්‍ෂයට තිබුණා නම් හොඳයි. මොකද එක්සත් ජාතික පක්‍ෂය නායකත්වය දෙන ආණ්ඩුවක් තියෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් සමෘද්ධි අමාත්‍යාංශය, පළාත්පාලන අමාත්‍යාංශය වගේ ඒවා එක්සත් ජාතික පක්‍ෂයට තිබුණා නම් හොඳයි. ඊට අමතරව රැකියා එහෙම වැඩිවශයෙන් දිය හැකි අමාත්‍යාංශත් සමහර ඒවා, එක්සත්ජාතික පක්‍ෂයට තිබුණා නම් එක්සත්ජාතික පාක්ෂිකයන්ට ඒකෙන් වැඩිපුර සේවයක් වෙන්න තිබුණා. ඒත් මේ අමාත්‍යාංශ බෙදාගැනීමේදී මුලදීම එවැනි තත්ත්වයක් සිදුවෙලා නෑ. එවැනි දේවල් ගැන සලකා බලලා නෑකියලයි මට පෙනෙන්නේ. සමෘද්ධි ගත්තොත් තනිකරම තවමත් මෙහෙයවන්නේ අර පොහොට්ටුවට කඬේ යනවා වගේ උදවිය. ඒ අමාත්‍යාංශ අපි භාරගත්ත නම් මුලදීම ඒ වැරදි නිවැරදි කරගන්න තිබුණා. ඒකෙන් ජනතාවට සේවයක් වුණෙත් නෑ. රජයට සේවයක් වුණෙත් නෑ. ඒක හින්දා ඒ අංශයෙන් වෙනසක් විය යුතුයි. ඒ වෙනස්වීම්වලට අමතරව රජයක් හැටියට අපේ අඩුපාඩුකම් තිබුණා. ඒක තමයි ජනතාව යම්කිසි කලකිරීමක් ඇතිව ගිය වතාවෙ ඡන්දය ප්‍රකාශ කළේ. ජනතාවගේ ඇඟට දැනෙන ප්‍රශ්නවලට සමහර තැන්වලදී අපෙන් විසඳුම් ඇවිල්ල තිබුණෙ නෑ. සමහර අනවශ්‍ය ප්‍රශ්න අපි ඇතිකරගෙනත් තිබුණා. ඒ වැරදි ඔක්කොම හදාගන්න වෙනවා. ඒව හදානොගත්තොත් ඉතුරු අවුරුදු එකහමාර පහුගිය අවුරුදු තුන විදියටම ගියොත් රජයට එතනින් එහාට අනාගතයක් නෑ.

ඔබ සිතන විදියට රටේ විසඳිය යුතු ප්‍රශ්නවල අනුපිළිවෙළ කුමක්ද?
අනිවාර්යයෙන්ම ප්‍රමුඛත්වය දියයුතු දේ විදියට මම දකිනවා, ජනතාවගේ ජීවන බර ඇතුළුව ජනතාවට කෙළින් බලපාන ප්‍රශ්න විසඳගන්න ඕනේ. ඒ කියන්නේ මධ්‍යම පන්තියට, දුප්පත් අයට ජීවිතය ගෙන යන්න පුළුවන් ආර්ථික කළමනාකරණයක් සිද්ධ වෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන් එක හැටියට සිද්ධවෙන්න ඕනේ. ඒක කරල තමයි මහා පරිමාණ සංවර්ධන කටයුතු ගැන අපි අවධානය යොමු කළ යුත්තේ. දේශපාලන වශයෙන් ගත්තොත් මම දකින විශාල ප්‍රශ්නයක් තමයි වැරදිකරුවන්ට දඬුවම් නොදුන්න එක. ඒකටත් හේතු තියෙනවා. යම් යම් අයගේ බලපෑම් නිසා තමයි, ඒවා ක්‍රියාත්මක වෙලා නැත්තේ. කියන මතයෙ මම ඉන්නවා. ඒත් මේ වැරදිකරුවන්ට දඬුවම්දීම සිද්ධ වෙන්නම ඕනේ. නැත්නම් ජනවාරි 08ට පෙර තිබූ තත්ත්වයට රට තල්ලුවේවි. එතෙන්ට රට තල්ලු වුණොතින් ඒකාධිපති පාලනයක් නැවතත් මේ රටට ඒවි. දරුණු මර්දනයක් ඒවි. ප්‍රජාතන්ත්‍රවාදයට විනාශයක් සිද්ධවේවි. දැක්කනේ අගවිනිසුරුතුමියට පවා සලකපු හැටි. බලය අයුතු ලෙස පාවිච්චි කිරීම්, මුදල් අවභාවිත කිරීම් විශාල ආකාරයේ මූල්‍යමය වංචා නැවත සිදුවේවි. දේශපාලනඥයන් අතරින් කෝටිපතියෝ නැවතත් ගොඩනැගේවි. ඒක හින්දා ඒව මර්දනය කිරීමට අපි පියවර ගන්න ඕනේ. ඊළඟට මම හිතනව එක්සත් ජාතික පක්‍ෂය ගත්තොත් ඒකෙ ප්‍රතිසංස්කරණවල විශාල අවශ්‍යතාවක් තියෙනව කියලා.

නීතියේ ආධිපත්‍ය රැකදීමට එජාපයට නොහැකිවුණා. ඒත් අධිකරණ ඇමති හිටියේ එජපයෙන්?
හිටපු අධිකරණ ඇමතිවරයා ද ඔබ කියන්නේ. එතුමා අසාර්ථකයි. හැබැයි මේක අධිකරණ ඇමැතිට විතරක් තනියම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. මේකට නීතිපතිගෙන් සහ බ්‍රයිබරි කොමිෂන් එකෙන් විශාල කාර්යයක් සිද්ධවෙන්න ඕනේ. ඒ කාර්යභාරයට අධිකරණ ඇමති අතනොගැසිය යුතුයි කියන මතයෙ තමයි මම ඉන්නේ. ඒ අයට නිදහස තියෙන්න ඕනේ. ඒගොල්ල ඒ නිදහස හරියට පාවිච්චි කරල ඒ රාජකාරිය ඉෂ්ට කරන්න ඒවා වෙන්නේ නැත්නම් ඇමති මැදිහත්වෙලා හරි ඒගොල්ලන් තල්ලු කරල ඒ වැඬේ කරවන්න වෙනවා. ඒ වගේම නීතිය හා සාමය රැකීමේ කටයුත්තෙ, ඒ කාර්යභාර අමාත්‍යාංශයෙන් මම හිතනවා පොලිසිය හරහා තමයි හැම නීතිමය කටයුත්තකටම ආරම්භය දිය යුත්තෙ. ඒකත් හරියට සිද්ධ වුණේ නෑ කියන එක තමා අපට පේන්නේ.
රටේ මූල්‍ය අවභාවිතාව නවත්වන්නත් එජාපයට නොහැකි වුණා. එහෙත් ආර්ථිකය මෙහෙයෙව්වෙත් එජාපයම තමයි.
පොදුවේ රජයක් හැටියට මම ඉස්සරල කීව වගෙ අපේ අඩුපාඩු තිබුණf. ඒ අඩුපාඩු හින්ද තමයි ජනතාව දේශපාලන තීන්දුවත් දුන්නෙ අපට අවාසිවෙන්න.
මේ රජයේ අඩුපාඩුවක් තිබුණ කියනවා නම් අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්‍ෂයට තමයි ඒකට වගකීමට සිද්ධවෙන්නෙ. එතකොට සියලුම අංශවල ගත්තහම එක්කෙනෙකුට හුදකලා කරල චෝදනා කරන්න බැහැ. පොදුවේ රජයක් හැටියට අඩුපාඩුකම් තිබුණා. අනිවාර්යයෙන්ම අතිගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ඒ අඩුපාඩුකම් ගැන වගකීමක් දරන්න වෙනවා. ඒගොල්ලනේ මේකෙ නායකත්වය දෙන්නේ.

මහ බැංකු සිද්ධිය ගැන පරීක්‍ෂණයක් කරන්න කොමිසමක් පත්කළේ ජනාධිපතිවරයායි. ඒ ගැන ඔබගේ අදහස මොකක්ද?
ඒ වෙලාවෙ රටේ ඇතිවුණා යම්කිසි මතයක්. යම් කිසි සැකයක්. ඒක හින්දා තමා කොමිසමක් පත්කිරීමට ජනාධිපතිතුමා යොමු වුණේ. කොමිසමෙන් යම්කිසි කාර්යභාරයක් කළාට පස්සේ ඉදිරි කටයුතු නීතිමය ක්‍රියාදාමයකට යොමු කරල තියෙනවානේ. මේ කොමිසම කළේ අර මූලික පරීක්‍ෂණ මණ්ඩලයක් හැටියට ක්‍රියාත්මකවීම පමණයි. එතනින් එහාට නීතිය ක්‍රියාත්මක වන නිසා ඒකෙ ප්‍රශ්නයක් නෑ. නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නයි ඕනේ.
පසුගිය ආණ්ඩුවේ හොරු සහ ඝාතකයන් ගැන සම්මුතිවාදී ආණ්ඩුව ඉකුත් වසර තුන තුළ ජනතාවට දැනෙන්න යමක් කළේ නැහැ. මේ ගැන ඔබ දරන අදහස කුමක්ද?
ඔබ කියන දේ මාත් පිළිගන්නවා. මමත් ඒ මතයෙ තමා ඉන්නේ. ඒ අඩුපාඩුව ගැන පැමිණිලි කරන කෙනෙක් හැටියට තමයි මමත් දේශපාලන මතයක් දරන්නේ. ජනතාව ඡන්දය දුන්නෙ ජනාධිපතතුමාටනේ. එතකොට ඒක නොකෙරුණොත් ඒ නොකෙරීමේ ප්‍රධාන වගකීම එතුමාට දරන්න වෙනවා.

ඔබ නීතිය හා සාමය ඇමතිවරයා වුණොත් මේ තත්ත්වය වෙනස් කළ හැකි යැයි ඔබ සිතනවාද?
මම විශ්වාස කරන්නේ නැහැ, මම එහෙම ඒ ඇමතිවරයා වෙයි කියලා. මොකද ගියවතාවේ රටේ ඉල්ලීම තිබුණු ආණ්ඩුවේ බහුතරයකගේ ඉල්ලීම තිබුණා. අගමැතිතුමා යෝජනා කළා මට ඔය ඇමති ධුරය දෙන්න. ඒත් ජනාධිපතිතුමා ඒක ප්‍රතික්‍ෂේප කළා. වෙන වෙන බලපෑම් නිසා කියලයි මම විශ්වාස කරන්නේ. ඒක හින්දා ඒක වෙයි කියල මං හිතන්නේ නෑ. ඒත් මට ඒ වගේ වගකීමක් පැවරුණා නම් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් කියල මට ආත්ම විශ්වාසයක් තිබෙනවා. අතීතයෙත් සමහරවෙලාවට කරන්න බෑ කියල හුඟක් අය කියපු දේවල් අපේ ආත්ම විශ්වාසයෙන් ඒව කරල රටට අපේ යුතුකම් ඉෂ්ට කළා. ඉතින් මේ වගෙ දෙයක් කරනව කියන ඒක මහලොකු දෙයක් විදියට මම දකින්නෙ නෑ.

මේ දේශපාලන ක්‍රමය තුළ ඇමතිවරයාට වඩා දේශපාලන සබඳතා බලවත්. ඒ නිසා ඔබ නීතිය හා සාමය ඇමති වූවත් කිසිත් කළ නොහැකියි කීවොත් ඔබෙ ප්‍රතිචාරය මොකක්ද ?
ඒක මෙහෙමයි, එතකොට ඇමතිවරයෙක් පත්කළොත් ඇමතිවරයාට ඒ වගකීම ඉෂ්ට කරන්න වෙනවා. එහෙම නැතිව ඇමතිවරයාව නටවන්න වෙනත් කවුරුහරි ඉන්නවා නම් ඒ අවශ්‍ය විදියට ඇමතිවරයා නටනවා නම් රටේ ජනතාවට සේවයක් වෙන එකනෙ වලකින්නෙ. ඒ ක්‍රමය හරිය කියල මම පිළිගන්නේ නෑ. සමහර වෙලාවට මට ඒක හම්බ නොවුණත්, මට ඒක දුන්න නම් මාව නටවන්න හම්බවෙන්නෙ නෑ කියන මතය සමහරු දරන්න ඇති නිසයි. එහෙම වුණානම් රටේ නීතියක් තියෙනවා වගකීමක් තියෙනවා. ඒ අනුව වැඩකරනවා. මං හිතන්නෙ දැන් ඉන්න ඇමතිතුමා ඒ විදියට වැඩ කරන්න ඕනේ. දේශපාලන ඉලක්කයි බලපෑමුයි කියන්නෙ එක දෙයක්. වගකීම ඉෂ්ට කරනව කියන්නේ වෙන දෙයක්. මේ දෙක එකට පැටලුණොතින් අසාර්ථකවෙයි. ඒක හින්ද පටලගන්නෙ නැතිව ඒ යුතුකම් ඉෂ්ට කරන්න සිද්ධ වෙනව ඇමතිතුමාට.

මහින්ද පිළෙන් ඉදිරි මැතිවරණයට ගෝඨාභය ආවොත් අනෙක් පැත්තෙන් ඔබද?
ගෝඨාභය ඒවි ඊට කලින් හිරේ විලංගුවෙ නොවැටුණොත්. කරල තියෙන වැරදිවලට. එයා අවොත් මේ පැත්තෙන් ඉතින් හැමදාම වෙනව වගේ වැඩියෙන්ම සුදුස්සා කවුද කියලා ජනතාව අතරින් පක්‍ෂය අතරින් මතුවෙන්න ඕනේ. ඒක සිද්ධවේවි. මං කියන්නේ නෑ මම වියයුතුයි කියල. අපට මොකද වෙන්නේ කියල බලන්න වෙනවා.