හබරාදුව ග්‍රාමීය බැංකු ශාඛා 13ක් ජනතා මුදල් කොල්ල කති.

ඉඳුනිල් උස්ගොඩ ආාරච්චි

විවිධ සමිති සමාගම් මගින් පවත්වාගෙන යනු ලබන බැංකුවල සිදුවන මහා පරිමාණ මූල්‍ය වංචා අතරට එක්වූ තවත් මහා පරිමාණ මූල්‍ය වංවාවක් පිළිබද වාර්තා වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව ප්‍රදේශයෙනි. ඒ සී/ස හබරාදුව විවිධ සේවා සමුපකාර සමිතිය විසින් පවත්වාගෙන යනු ලබන ග්‍රාමීය බැංකුවල මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් බොහොමයකට තම මුදල් නැවත ලබා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයකට ඇදවැටී සිටීමේ පුවතයි. මෙහි අනෙක් ප්‍රධානතම කරුණ නම් මෙහි වින්දිතයින්ට තමන්ට අයත් මුදල් නැවත ලබා ගැනීමට නොහැකිවීමෙන් දීර්ඝ කාලයක සිට ලබන පීඩාව පමණක් නොව අද ඒ බොහෝ දෙනාට තමන්ට සිදුව තිබෙන මූල්‍ය වංචාව පිළිබද පැමිණිලි කිරීමට ද මෙරට කිසිදු ආයතනයක් නොමැති තත්ත්වයක් උද්ගතව තිබීමයි. එමෙන්ම මෙම සියලු මූල්‍ය වංචාවන්ට වගකිව යුතු පාර්ශ්වයන් ද හඳුනාගෙන තිබුණත් ඔවුන් දේශපාලන රැකවරණයන් ලබමින් නිදැල්ලේ සිටියදී ඊට වගකිවයුතු ආයතනය ද නීතිරීති ක්‍රියාත්මක කිරීම පසෙකලා දේශපාලන අතකොළු ලෙස ක්‍රියාකරමින් සිටීමයි. එවන් වටාපිටාවක් තුළ මෙරට සාමාන්‍ය වැසියෙකුට සිදුවන අසාධාරණයකදී අඩුම වශයෙන් එය පැමිණිලි කර ඊට ගතහැකිව තිබෙන මූලිකම නීත්‍යනුකූල පියවරක් පවා ගත නොහැකි තත්ත්වයකට මුහුණදීමට සිදුවීම නම් ඛේදවාචකයකි.
“මම හබරාදුව විවිධ සේවා සමූපකාර සමිතියට අයිති ගිනිගල ග්‍රාමීය බැංකුවේ ස්ථිර තැන්පතුවක් ආරම්භ කළා. දැන් අවුරුදු 5ක් වුණා. ලක්ෂ 12ක්. අපි දුක් විඳලා හම්බකළ කීය කීය හරි මේකේ දැම්මා. දැන් සල්ලි දෙන්නේ නැහැ. අපි පුංචි කාලයේ ඉඳලාම සමූපකාරය ගැන දැනුවත් වුණා. ඒ ගැන අපිට තිබුණේ විශාල ප්‍රතිරූපයක්. ඒත් කාලාන්තරයක් තිස්සේ මේකේ අභ්‍යන්තරයේ මහා විශාල මාෆියාවක් ක්‍රියාත්මක වෙලා තියනවා. මේක දේශපාලනීකරණයවෙලා දේශපාලනඥයන් ටික මේකට සම්බන්ධ වුණාට පස්සේ ඇතිවුණු මේ සිදුවීම්වලට ඒ අය වගකියන්න ඕනෑ. ඒ අයගේ සහායෙන් තමයි මෙහි සභාපතිවරයා පත්වෙන්නේ. අද මේ හබරාදුව ග්‍රාමීය බැංකුවල මුදල් තැන්පත් කළ අපි හැමදාම මහපාරේයි.” ඒ හබරාදුව ගිනිගල පදිංචි නන්දසේන මහතාය.
සී/ස හබරාදුව විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකු ශාඛා 13හිම ඇතිව තිබුණේ මෙවන් තත්ත්වයකි. ඒවායෙහි මුදල් තැන්පත් කළ තැන්පත්කරුවෝ අද තම මුදල් ලබාගත නොහැකිව දිනපතාම මෙන් බැංකුව වෙත යති, සාකච්ඡා කරති, රැස්වීම් පවත්වති, උද්ඝෝෂණ කරති, වැළපෙති. එහෙත් කඩිනම් විසඳුමක් නම් ඔවුන්ට පෙනෙන මානයක නැත.
“මම අඟුළුගහ ග්‍රාමීය බැංකුවේ අම්මා වෙනුවෙන්, නැන්දම්මා වෙනුවෙන් සහ මම වෙනුවෙන් ලක්ෂ දහය බැගින් ස්ථිර තැන්පතු ගිණුම් තුනක් ආරම්භ කර තිබුණා. ඒවා ඒ අයගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලබා ගැනීමේ අරමුණිනුයි. 2016 දී කල්පිරුණාම ඒ මුදල් ගන්න උත්සාහ කළත් ගන්න දෙනවා කියමින් මාව විඩාවට පත් කළා. අවසානයේ හබරාදුව ප්‍රධාන බැංකුවට යැවුවා. එතැනිනුත් විවිධ කතා කියමින් කල් ඉල්ලමින් සිටියත් මුදල් දුන්නේ නැහැ. ඒ අතරතුර මගේ අම්මා අසනීප වුණා, අවසානයේ මියගියා. ඒත් ඇය වෙනුවෙන් මම ඉතිරි කළ මුදලත් ලැබුණේ නැහැ. මේ අප්‍රේල්වලට මගේ ගිණුම්වල කල්පිරී අවුරුදු 3ක් ගතවුණා. අපි කණ්ඩායම් විධියටත් මේ වෙනුවෙන් සටන් කළා. දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරයාට, ඇමතිතුමාට, අමාත්‍යාංශ ලේකම්ට, පොලිස්පතිට පවා ලිඛිතව දැනුම් දුන්නා. පිළිතුරු ලැබුණත් විසඳුම් ලැබුණේ නෑ. ගාල්ල පොලීසියේ විශේෂ අපරාධ අංශයට පැමිණිලි කළා, පැමිණිල්ල ලියාගත්තත් කිසිවෙකු ගෙන්වා විමසුවේවත් නැහැ. මේකට දේශපාලන රැකවරණය තියන බව හොඳටම පෙනෙනවා.” ඒ අඟුළුගහ පදිංචි අනුර ජයවීර මහතාය.
කොරියාවේ වසර නවයක් සේවය කර උපයාගෙන පැමිණි මුදලත්, සිය වෑන් රථය විකුණා ලබාගත් මුදලක් ද සමග ලක්ෂ 40ක් සහ ලක්ෂ 50ක් හබරාදුව ප්‍රදේශයේ වූ හොරඳුගොඩ ග්‍රාමීය බැංකුවේ තැන්පත් කළ ප්‍රදීප් ගමගේ නම් තරුණයා ද තම මුදල් නැවත ලබාගත නොහැකිවීම නිසා තමන්ට පැමිණිලි කළ හැකි සෑම ස්ථානයකටම පැමිණිලි කර තිබුණි. මේ ඔහු කියූ කතාවයි. “මේ අය වෑන් එක විකුණූ මුදල් මගෙන් ලබාගෙන තිබුණේ මේ බැංකුව කඩා වැටිලා මිනිස්සු සල්ලි ඉල්ලලා කෑගහන කාලයේයි. මේ බැංකුවේ අය නිතරම ගෙදරටත් ඇවිත් හරිම සුහද විධියට කතා කරලා සල්ලි ගමේ බැංකුවේ දාන්න කියලා නිතරම කියනවා. මේක අපි පුංචි කාලේ ඉඳලාම ගමේ තිබුණු බැංකුවක්. මට හදිසියේ වාහනයක් ගන්න අහුවෙලා, ඒකට සල්ලි ආපහු ගන්න ආවාම එක එක බොරු කියලා මුලින් රැවැට්ටුවා. මම පස්සේ පැමිණිලි කරන්න පුළුවන් හැමතැනටම ගියා. මේ රටේ ජීවත්වෙන්න කොච්චර අමාරුද කියලා තේරෙන්නේ ප්‍රශ්නයක් වුණාමයි. මම මුලින්ම හබරාදුව පොලීසියට ගියා. ඒ අය භාර ගන්නේ ලක්ෂ 20ට අඩු පැමිණිලි විතරයි කීවා. ගාල්ල පොලීසියට ගියාම ඒ අය භාර ගන්නේ ලක්ෂ 50ට අඩු පැමිණිලි විතරයි, එෆ්සීඅයිඩී යන්න කීවා. මම එහෙත් ගියා. ඒ අය කීවා කෝටියකට වැඩි ඒවා විතරයි භාර ගන්නේ කියලා. මම ඉවසලා බැරිම තැන එතැනදී කෑගැහුවා. ඒ අය කීවා මේක පැමිණිලි කරන්න ඕනෑ සීඅයිඩී එකට කියලා. එතැනටත් ගියා. ඒ අය පැමිණිල්ල භාර ගත්තත් සතියකට පස්සේ ලිපියක් ආවා, අදාළ නොවේ, සමූපකාර දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න කියලා. මම මුල් ලක්ෂ 40 දාලා තිබුණේ ලක්ෂ 10 බැගිනුයි. මම එයින් දෙකක් අරන් ගාල්ල පොලීසියට ගිහින් කීවා ඒ ලක්ෂ 20ට පැමිණිල්ලක් දාන්න කියලා. ඒ අය කීවා තැන්පතු දෙක කල්පිරුණාම එන්න කියලා. මම කල් පිරෙනකම් ඉඳලා 2017 ඔක්තෝබර් මාසයේ ගියා. එදා පැමිණිල්ල ලියාගත්තා. ළඟදී ගිහින් ඒ ගැන හෙව්වාම කීවා අපිට කරන්න දෙයක් නෑ, ඒ අය කියන ඒවාත් හරි, ඔයගොල්ලා කියන ඒවාත් හරි කියලා. පස්සේ කට්ටියම ගිහින් විශේෂ විමර්ශන ඒකකයටත් පැමිණිලි කළා. ඇත්තටම කොතැනකින්වත් පිහිටක් නෑ.” කිසිදු පිහිටක් නොමැතිව දිනපතාම මෙන් විවිධ ආයතනවලට යමින් විවිධ පුද්ගලයින් හමුවෙමින් ද බැංකු වෙත යමින් තම මුදල් ඉල්ලා සිටිමින් ද ඔවුහු කරමින් සිටින්නේ නිමක් නොපෙනෙන අරගලයකි. මෙම අසාධාරණය දරාගත නොහැකි අවස්ථාවක බැංකුව තුළ කෑගැසීම හේතුවෙන් ඊට එරෙහිව පොලීසිය ක්‍රියාත්මක වීම නිසා ඔවුහු හබරාදුව පොලීසිය තුළ රැය පහන් කළ අවස්ථා ගැනද අසන්නට ලැබුණි. එහෙත් මහා පරිමාණ මුදල් වංචාවන්ට වගකිවයුතු පුද්ගලයින් සිටින්නේ නිදැල්ලේය.
මෙම හබරාදුව ග්‍රාමීය බැංකු මුදල් වංචාවෙන් අසරණ වූ දෙදහසකට අධික පිරිසක් 2017 නොවැම්බර් මස 27 වැනි දින ගාල්ල නගරයේ උද්ඝෝෂණයේද නිරත වූහ. වරක් හබරාදුව විවිධ සේවා සමූපකාර සමිතියේ චෝදනාලත් හිටපු සභාපති වන සමන්ත දිලාන් වැලිගමගේ මහතා මුදල් තැන්පත්කරුවන් විසින් හීනටිගල ප්‍රජා ශාලාවේ රඳවා සිටියදී මුදල් නැවත ලබාදෙන බව පවසමින් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ එතැනින් ඉවත්ව ගියේය.
“ඉස්සර ඉඳලා ග්‍රාමීය බැංකුව, සමූපකාරය කියන ඒවා අපේ ජීවිත එක්ක බැඳිලා තිබුණා. හාල්පොත, භූමිතෙල් කාඞ් එක තිබුණේ ඒකෙන්. ඉතින් මම යුද හමුදාවේ ඉඳලා විශ්‍රාම ආවාම ලැබුණු මුදල් කහවැන්නගම ග්‍රාමීය බැංකුවේ දාන්න කියලා ඒකේ අය නිතරම ගෙදරට ඇවිත් කීවා. ඒ අය බොහොම සුහදශීලී විධියට නිතරම ගෙදරට ඇවිත් කියනවා. පස්සේ මම මුදල් තැන්පත් කළා. කල් පිරෙද්දී ගන්න දුන්නේ නැහැ, විවිධ තෑගි ලැබෙනවා කියලා හැමදාම ගන්න එපා කියනවා. ඒත් මම දිගින් දිගටම සල්ලි ගන්න උත්සාහ කරද්දී බොරු කියමින් කල්ගත කළා. පස්සේ හබරාදුවට මාව යැවුවා. එතැනත් බොරු කියමින් දවසක්ම රඳවාගෙන හිටියා. එහෙම රස්තියාදු කරලා ලක්ෂ 3ක් විතරක් දුන්නා. ඉතිරි සල්ලි දැන් සාමාන්‍ය ගිණුමකට හරවන්න කියලා ඒ අය කියනවා. ඊට පස්සේ මාසෙකට රු. 5000 වගේ ගාණේ ගෙවනවා. එහෙම අරන් මොනවා කරන්නද. ගේ වහල තෙමෙනවා, හදාගන්නවත් විධියක් නැහැ. දරුවන්ගේ දේවල්වලට වියදම් කරන්නත් සල්ලි නැහැ.” ඒ එම්.එන්.වී. ගුණතිලක මහතා ය.
කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ සේවය කරන උදය කුමාර නම් තරුණයා හබරාදුව ග්‍රාමීය බැංකුවේ මුදල් තැන්පත් කර වසර 5කි. ඔහුට ද අත්ව තිබුණේ එම ඉරණමමය. “අපි නිතරම බැංකුවට ගිහින් සල්ලි ගැන අහලා හිස් අතින් ආපහු හැරිලා එද්දී බැංකුවේ සමහර අය අපට හිනාවෙනවා. අපි දුක් මහන්සියෙන් හම්බකළ මුදල් තමයි මේ වංචා කරලා තියෙන්නේ. අපිට දැන් හරියට නින්දක්වත් නැහැ.” පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලිපිකරු සේවයේ සිට විශ්‍රාමිකව සිටින පියදාස මහතා අහංගම ග්‍රාමීය බැංකුවේ මුදල් තැන්පත් කළ අයෙකි. වයෝවෘද්ධ ඔහුටත් බිරිඳටත් සවියක් ලෙස ඉතිරි කරගත් මුදල ද අහිමිවීමෙන් ඔවුන් සිටියේ ද දැඩි කලකිරීමකය. කේ.ඩී සරත් මහතා ද අහංගම ග්‍රාමීය බැංකුවේ මුදල් තැන්පත් කර එම මුදල් නැවත ලබා ගත නොහැකිව කනස්සල්ලෙන් පසුවන්නෙකි. මෙලෙස තමන්ට අයත්ව තිබූ මුදල් නැවත ලබා ගැනීමේ අරගලය වෙනුවෙන් මේ බොහෝදෙනා නිරන්තරයෙන් ග්‍රාමීය බැංකු අසල ගැවසෙමින්, ණය මුදලක් පියවීමට හෝ කිසිවෙකු බැංකුව වෙත එන තෙක් බලා සිටිති.
හබරාදුව විවිධ සේවා සමූපකාර සමිතියේ හිටපු සභාපතිවරයා පත්වූයේ ද ඉන්පසු දීර්ඝ කාලයක් පුරා සමිතියේ අක්‍රමිකතා සිදුවන්නේ ද එහෙත් එම සභාපතිවරයා රැකවරණය ලබන්නේ ද දේශපාලනඥයින්ගේ සහායෙන් බව හබරාදුව ප්‍රදේශයේ මෙම සමිතියේ මුදල් තැන්පත් කළ අය බොහෝ දෙනෙක් පැවසූහ. වත්මන් දකුණු පළාත් සමූපකාර සංවර්ධන අමාත්‍ය යූ.ජී.ඩී. ආරියතිලක මහතා ද කලක් එම සමිතියේ හිටපු සභාපතිවරයා සමග මිත්‍රත්වයක් තිබූ බවත්, හිටපු අමාත්‍ය ඩී.වී. උපුල් මහතාත් පසුගිය කාලයේ සහ මේ වනවිටත් චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයාගේ හිතවතෙකු ලෙස සිටින බවත් ඔවුහු කියති. එමෙන්ම එම හිටපු සභාපතිවරයාට වංචා දූෂණ චෝදනා තිබියදී පසුගිය කාලයේ මහා සභා ඡන්දයෙන් නැවත පත්වන්නේ චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයාගේ සහායෙන් බව මුදල් තැන්පත්කරුවෝ කියති.
සී/ස හබරාදුව වි.සේ.ස සමිතියේ පසුගිය කාලවකවානුව තුළ ඇතිවන දැඩි කළමනාකරණ හා පරිපාලන අර්බුදය හේතුවෙන් ඊට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීම සිදුවන්නේ 2017 වසරේ අගෝස්තු 22වන දාය. ඒ අවස්ථාව වන විට එම සමිතියේ සාමාජික සහ සාමාජික නොවන මුදල් තැන්පත්කරුවන්ට ගෙවිය යුතු වූ මුදල රුපියල් හැට කෝටියකට ආසන්න විය. වරින් වර කොටස් වශයෙන් ගෙවා මේ වන විට තවත් කෝටි පනස් තුනක පමණ මුදලක් ගෙවිය යුතුව පවතී. නව අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් ද වරින් වර තම ධුරවලින් ඉවත්වන්නේ ඇතිව තිබෙන පීඩාකාරී තත්ත්වයට මුහුණදීමට නොහැකිවය. මෙම සමිතිය විසින් දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ගිණුම් ඉදිරිපත් කර තිබුණේ ද 2009.12.31 දින දක්වා පමණක් බැවින් එතැන් සිට වසර 7ක් සඳහා විගණනයක් ද සිදුවී තිබුණේ නැත.

පනත අනුව කටයුතු කරනවා
දකුණු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් එන්.ඒ.කේ.එල්. විජේනායක.
“මේ සම්බන්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. අපි මේ සඳහා සමූපකාර පනත අනුව කටයුතු කරනවා. අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර, තිබූ වැරදි නිවැරදි කරගෙන සමිතිය පවත්වාගෙන යාමට උත්සාහ කරනවා. සමිතියට අයවිය යුතු මුදල්, අයවියයුතු ණය ලබා ගැනීමේ ආදී පියවර ගනිමින් තිබෙනවා. සමුපකාරය කියන්නේ ස්වාධීන ආයතනයක්. අපි කරන්නේ අධීක්ෂණය සහ විගණනය පමණයි. 2010 සිට සමිතිය විසින් සමූපකාර දෙපාර්තමේන්තුවට ගිණුම් හදලා ලබාදී තිබුණේ නැහැ. ඒ නිසා එම කාලයේ විගණනයක් සිදුවෙලා නැහැ. එතැන ප්‍රශ්නයක් තියෙනවා. මම අලුතෙන් පත්වූ නිසා ගිණුම් සාදා නොදීම ගැන මම දන්නේ නැහැ. දැන් ඒ ගිණුම් සාදා දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස සමිතියට උපදෙස් දී තිබෙනවා. ඒ වගේම එක් එක් ප්‍රදේශයේ සමිති පනහක් හැටක් තිබෙනවා. දකුණු පළාත තුළ සමිති 1257ක් තිබෙනවා. දකුණු පළාතේම සමිති අධීක්ෂණය සඳහා දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් යොදවා තිබෙන්නේ නිලධාරීන් 34යි. අනෙක් නිලධාරීන් විගණනය සඳහා යොදවා තිබෙනවා. එක් නිලධාරියෙක්ට ප්‍රදේශය අනුව සමිති හතළිහේ සිට හැට හැත්තෑව තිබෙනවා.”
2013 දී කළ පරීක්ෂණයට අනුව දෙකෝටි හතළිස් ලක්ෂයක් පමණ එවකට සිටි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වංචාකර තිබෙනවා. දැනට පැවැත්වෙන 46/1 පරීක්ෂණයට අනුව සිදුව ඇති වංචාවේ ප්‍රමාණය තවම කියන්න බැහැ. එය පෙර මුදල මෙන් කීප ගුණයක් විය හැකි බව විශ්වාස කරනවා. සමිතියේ හිටපු සභාපතිවරයා සමූපකාර දෙපාර්තමේන්තුවෙන් නොවිමසා ලංකා බැංකුවේ ගිණුමක් ආරම්භ කර ගනුදෙනු කර තිබෙනවා.”

ගෙවීම් කෝටි 53ට අඩු කළා
සී/ස හබරාදුව විවිධ සේවා සමුපකාර සමිතියේ වත්මන් සභාපති චන්ද්‍රසේකර:
“මේ වනවිට ගෙවීමට ඇති මුදල දැන් කෝටි 53 දක්වා අඩුකරගෙනයි තියෙන්නේ. ඒ වගේම ණය වාරික හිඟ තිබෙන අයට නඩු පැවරීම සිදුකර තිබෙනවා. එම මුදල් අයකර ගැනීමට එක ලියුමක්වත් මීට පෙර යවා තිබුණේ නෑ. උකස්කර සින්නවූ රත්රන් බඩු වෙන්දේසි කිරීම් සිදුකර ලක්ෂ ගණනක් සොයා ගත්තා. අහංගම ෂෙඞ් එකත් පටන් ගත්තා. ඒවායෙන් ලැබුණු මුදල් යොදවා කෝටි 59ක්ව තිබූ මුදල කෝටි 53 දක්වා අඩුකර ගත්තා. සමිතියට අයත් අහංගම තිබෙන ඉඩමක් උකස්කර ණයක් ලබාගැනීමටත් එම ණය මුදලින් එතැන යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අබලි වූ භාණ්ඩ ප්‍රමාණයක් වෙන්දේසි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ දේවල් ඉදිරියේ සිදුකිරීමට නියමිතයි. ඒ වගේම වියදම අඩුකර ගැනීම සඳහා හබරාදුවට අයත් ග්‍රාමීය බැංකු දහතුනෙන් ඇතැම් ඒවා ඒකාබද්ධ කළා, ඒ නිසා දැන් තිබෙන්නේ 9ක් පමණයි.” මුදල් ඉල්ලන සෑම තැන්පත්කරුවෙකුටම වගේ රු. 5000, රු. 10,000 ලෙස දැනට ගෙවීම් සිදු කරනවා. හැම තිස්සේම මිනිස්සු සල්ලි ඉල්ලාගෙන එනවා. ඒ අය ඇවිත් කවුරුහරි ණය වාරිකයක් ගෙවනකම් බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට අපි රු. 1000ක් රු. 2000ක් හරි දෙන අවස්ථා තියෙනවා. අපිත් පැය කීපය ගතකරන්නේ හරිම පීඩනයකින්.

ඔහුට විරුද්ධව නඩු දානවා
දකුණු පළාත් සමූපකාර අමාත්‍ය අමාත්‍ය යූ.ජී.ඩී. ආරියතිලක.
“මේකේ මුදල් තැන්පත් කළ විදේශිකයින් පවා ඉන්නවා. හැබැයි මේ තැන්පත් කළ මුදල් ආයෝජන කළ තැනක් නැහැ, ඒ බැංකු ගිණුම්වලත් නැහැ. ඒ කියන්නේ ඒවා පෞද්ගලික පරිහරණයට යෙදිලා තිබෙනවා හෝ වෙනත් කටයුත්තකට යෙදවී තිබෙන බව පෙනෙනවා. තැන්පත්කරුවන් පැමිණ මුදල් ඉල්ලද්දී දෙන්න විධියක් මේ අයට කොහෙත්ම නැහැ. තවත් ප්‍රශ්නයක් තමයි මේවා ගැන මිනිස්සු පොලීසියේ පැමිණිලි කරන්න ගියාම ඒ පැමිණිලි පොලීසිය භාර ගත්තේත් නෑ. පොලීසියට එහෙම වෙන්න බැහැනේ. ඒකටත් මොකක් හෝ හේතුවක් තිබිය යුතුයි.
මෙහි හිටපු සභාපති ඒ කාලයේ මගේ මිත්‍රයෙක්. මගේ ඡන්ද වැඩවලටත් උදව් කළ කෙනෙක්. මුල් අවස්ථවක ඔතැන මහා අර්බුදකාරී තත්ත්වයක් තිබියදී ඔහුව පත් කරන්නේ මමයි. අවුරුද්දකට පසුව මම නැවතත් ඔහු පත් කළේ නැතත් ඔහු සාමාජිකයින්ගේ ඡන්දවලින් නැවත පත්වුණා. පසුව මට ඔහු සම්බන්ධයෙන් පෙත්සම් ලැබෙද්දී මගේ මිත්‍රත්වයන් නොතකා වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මම එවකට සිටි සමූපකාර කොමසාරිස්ට නියෝග කළා. පසුව 2009 දී සමුපකාර විෂය මගෙන් ඉවත් වුණා. පසුව එම පරීක්ෂණ යටපත් ව තිබෙන බව පෙනෙනවා. නැවත මම සමුපකාර ඇමති ධුරයට පැමිණි පසු පරීක්ෂණ ආරම්භ වුණා. පසුව ණයක් ගෙවීම පැහැර හැරීමක් පිළිබඳ වරදකරුවීමෙන් ඔහු සභාපති ධුරයෙන් ඉවත් කිරීමට කොමසාරිස්වරයා පියවර ගන්නවා. ඒ අවස්ථාවේ ඔහු කොමසාරිස්වරයාගේ තීන්දුවට එරෙහිව උසාවියෙන් රිට් නියෝගයක් ඉල්ලනවා. එය පළමු දිනයේම උසාවියෙන් ලැබුණා. ඉන්පසු විවිධාකාර හේතු කියමින් කල්ගනිමින් බලයේ ඉන්නවා. මේ අතරේ කාරක සභා ඡන්දයෙන් ඔහු පත්වෙනවා. ඒ අතර නැවත පෙත්සම් ලැබී අපි කළ පරීක්ෂණවලින් මහා පරිමාණ වංචා ටිකක් හෙළිදරව් වෙනවා. ඒවා නැවත අයකර ගැනීමට අපි ඔහුට විරුද්ධව නඩු දානවා. ඒ සියලු පරීක්ෂණ මොන හේතුවක් මත හෝ නතර වෙනවා. දැන් පත්වෙලා ඉන්න අලුත් අධ්‍යක්ෂ මණ්ඩලය මේ වංචාවට සම්බන්ධ නැහැ. හැබැයි එම වංචාවේ ප්‍රධාන කොටස්කාරියක් වන ගණකාධිකාරීවරිය තවම සේවයේ යොදවා තිබෙනවා. ඇය පිළිබද විශේෂ විමර්ශනයක් සිදුකර චෝදනා පත්‍රයක් ලබාදී අවශ්‍ය පියවර ගැනීමට නව අධ්‍යක්ෂ මණ්ඩලයටත් අපේ නිලධාරීන් උපදෙස් දී තිබෙනවා.”