රාවය

මුග්ධ අවිහිංසාව ශේෂ කළ කිරිගොවියාගේ අර්බුදය

මුග්ධ අවිහිංසාව ශේෂ කළ කිරිගොවියාගේ අර්බුදය

රසික ගුණවර්ධන

ලංකාවේ ගොවීන් අතුරින් වේගයෙන්ම තාක්ෂණය ගලා එන්නේද එහෙත් දියුණුව සෙමින්ම ගලා එන්නේද කිරි ගොවීන් වෙතටය. තාක්ෂණය කිරි ගොවීන් වෙතට වේගයෙන් ගලා එන්නේද කිරි ගොවියා පෞද්ගලික සමාගම් සමඟ ඉතා ළඟින් ඇසුරු කරන නිසාය. ඔවුන්ගේ උපදෙස් හා අදහස් වලින් නිරන්තරයෙන් පෝෂණය වන නිසාය. එය එසේ වී ඇත්තේ මේ වනවිට බොහෝ කිරි ගොවීන් ප්‍රමාණයකගෙන් කිරි මිලදී ගැනීම සී.අයි.සී, නෙස්ලේ, ෆොන්ටෙරා, කීල්ස් වැනි ආයතන විසින් සිදු කරන නිසාය. රජයේ මිල්කෝ ආයතනයේ කිරි මිලදී ගැනීමේ කටයුතුවල ඇති ආකාර්යක්ෂම බව නිසාය. එසේම එම පෞද්ගලික ආයතන කිරි මිලදී ගැනීම් පමණක් සිදු නොකරන නිසා ය. ඔවුන් ගොවීන් වෙත තාක්ෂණික උපදෙස් ලබාදී ගුණාත්මක හා තත්ත්වයෙන් උසස් කිරි නිෂ්පාදනය කරවා ගැනීමට වෙහෙස වන නිසාය.
කිරි ගොවියා වෙතට තාක්ෂණය මෙසේ ගලා ඒමක් සිදුවුවද ඔවුන් වෙත දියුණුව එසේ ගලා නොයේ. කිරි ගොවියා දිනකට කොතරම් කිරි අස්වැන්නක් ලබාගත්තද ඔහුගේ අතමිට සරු නොවන ප්‍රධාන හේතු කාරණාව ලෙස බොහෝ දෙනා හඳුනාගන්නේ ද කතා කරන්නේ ද කිරිවලට නිසි මිලක් නොලැබීමයි. එහෙත් එය මූලිකවම කිරි ගොවියා දියුණු නොවීමට හේතුව බව කිව නොහැකිය. නිසි මිලක් නොලැබීම හැරුණු විට ගොවියාගේ ආර්ථිකයට බලපෑම් කරන ප්‍රධානතම ගැටලුව නම් අනවශ්‍ය සතුන් නඩත්තු කිරීමයි. නොඑසේ නම් ආදායම් ලබාගත නොහැකි සතුන්ට විශාල පිරිවැයක්, යොදා ගනිමින් නඩත්තු කිරීමයි. ගොවීහු කිරිවලට නිසි මිලක් නොපැවතීම ගැටලුවක් ලෙස හඳුනාගත්තද අනවශ්‍ය සතුන් නඩත්තු කිරීම ගැටලුවක් ලෙස හඳුනාගත නොගනිති.

ගොකරැල්ල කිරි ගොවියා

ගොවීන්ට මේ පිළිබඳව ඇති අවබෝධය කෙසේද යන්න සොයා බැලීමට අපි කිරි ගොවීන් සොයා ගොකරැල්ලට ගියෙමු. ඈතට විහිදී ගිය කුඹුරු යායවල් ඒවාහි තණකොළ පිරුණු නියර, පොළොවට සමාන්තරව නැවී කඩිසරව ඒ තණකොළ කපන ගොවීහු ප්‍රදේශයේ කෘෂි කාර්මික පදනමේ කැඩපත ලෙස දිසේ. ඉර පොළොව සිප ගැනීමට මත්තෙන් ඔවුහු පොළොව සමග ගනුදෙනුව අරඹති. ඉර පොළොව සිපගත් ම ඔවුහු ගනුදෙනුව හමාර කොට, කපාගත් තණකොළ මිටි හිස තබාන පිටව යති.
ගමේ මළ ගෙදරකි. එහි වරු ගණන් රැඳෙන්නෝ නැත. එකා දෙන්නා එති යති. තණකොළ කපා හරකුන්ට ඒවා දමා මළගෙදරටද ගොඩවී නැවතත් හරකුන් නැහැවීමට යති. මඩු සුද්ද පවිත්‍ර කරති. ඔවුන්ට අනවශ්‍ය ලෙස කාදැමීමට කාලයක් නැත. ලැබෙන කාලය කිරි දෙනුන්ට යෙදවිය යුතුය. “මේකට අතගැහුව කියන්නෙ කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක්. අතාරින්ඩ බෑ. ගෙදරින් පිටට යන්ඩ, මඟුලකට, මළගේකට යන්ඩ බෑ. මේකටම පේවෙලා ඉන්ඩ ඕනෙ” ගොවියෙකු කීවේ එසේය.

වියදම

අපට මුලින්ම හමුවුණු ටිකිරි බණ්ඩා කී කතාව මෙසේය. ඔහු ප්‍රදේශයේ ගොවීන්ගේ කිරි එකතු කරන්නෙකු ලෙස ද ක්‍රියා කරයි. ” දැන් කිරි ගොවිතැන ගොවීන්ට එපාවෙලා තියෙන්නේ. මේක දැන් ගොඩක් අය සතුටින් කරන දෙයක් නෙවේ. එක පැත්තකින් කිරිවලට හරි මිලක් නෑ. අනික් පැත්තෙන් කෑම ගණන්, බෙහෙත් ගණන්. ගොවියා අතට ගන්න ගාණ හැරෙන්ඩත් මදි. කෑම පැකට් එකේ ගාණ දවසින් දවස වැඩි වෙනවා, දුන්න සහනාධාර කපල දානවා, කිරි ගොවියා වළට තල්ලු කරල දාලා කිරි පිටිවලට තැනක් හදන්ඩ තමයි මේ රජය හදන්නේ.” ඔහු කියන්නේ දිනෙන් දින ඉහළ යන වියදම පිළිබඳව හා ඊට සාපේක්ෂව එකතැන පල්වෙන කිරි මිල පිළිබඳවය. අනවශ්‍ය සතුන් නඩත්තු කිරීම පිළිබඳව කතාව ඇසෙන්නේ ඉතාම අඩුවෙනි. ඒ, ඒ පිළිබඳව ප්‍රශ්න කළහොත් පමණි.
සාමාන්‍යයෙන් කිරි හරකෙකුට මාසයකට යන වියදම පිළිබඳව අප සොයා බැලීමක් කළෙමු. ඊට අනුව,
සාන්ද්‍රීය ආහාර සඳහා,
කෑම කොට්ට 1.5 (කොට්ටය 1180 බැගින්) රු. 1770
ඛනිජ පැකට් 2 (එකක් 240 බැගින්) රු. 480
පරිප්පු කුඩු පැකට් 2 (එකක් 1350 බැගින්) රු. 2700
සාන්දීය ආහාර සඳහා යන මුලු වියදම රු. 4950
මෙම ඝෘජු වියදම්වලට අමතරම තවත් වියදම් රාශියක් පවතී.
මසකට හෝ එකහමාරකට වරක් යෙදිය යුතු කිණිතුල්ලන් සඳහා වන බෙහෙත්වලට රු. 300
AI (සංසේචනය කිරීමට) රු. 400
බෙහෙත් විදීමට රු .600-650
දිනපතා තණකොළ කැපීම සඳහා යන මිනිස් ශ්‍රම වියදම, මෙසේ ඝෘජු වියදම්වලට අමතරව දැකගත හැකි වක්‍ර වියදම් කිහිපයකි. ඒ අනුව දළ වශයෙන් කිරි හරකෙකුට මසකට යන වියදම රුපියල් 5000ත් 6000ත් අතර මුදලක් වේ.
එක් කිරි හරකෙකුට යන වියදම දළ වශයෙන් මෙසේ වෙද්දී එක් කිරි හරකෙකුගෙන් ලබාගත හැකි මුදල මෙසේය,
නිරෝගී කිරි හරකෙකුගෙන් ලබාගත හැකි දෛනික කිරි ප්‍රමාණය දළ වශයෙන් කිරි කිලෝ 10ක් පමණ වේ. ඒ අනුව එක් කිරි කිලෝවක් මිලදී ගන්නා මිල රු. 65 කි.
දිනක කිරි විකිණීමෙන් ලැබෙන මුදල 10 × 65 = 650
ඒ අනුව මසකදී කිරි විකිණීමෙන් ලබන මුදල 650 × 30 = 19500
මසකදී එක් කිරි හරකෙකුගෙන් ලබන ආදායම 19500 – 5000 = 14500
මෙසේ ලබන ආදායම කිහිප ආකාරයකින් බෙදී යයි. එනම්,
ගොවියාගේ පවුලේ නඩත්තුවට සහ අනෙකුත් වියදම් සඳහා, ඇතැම්විට ගවගාලේ නඩත්තු සඳහා මේ ප්‍රධාන කාරණා දෙක හැරුණු විට ඇතැම් ගොවීහු වයස ගිය කිරි ලබාගත නොහැකි හා ආදායමක් ලබාගත නොහැකි පිරිමි පැටවුන් සඳහා ද මේ මුදලින් කොටසක් යොදවනු ලබති. ඒ මුදල නිකරුණේ විනාශ කරන මුදලක් ලෙස දැක්විය හැකිය. ආදායමක් නොලබන කටයුත්තකට මුදලක් යෙදවීම ව්‍යාපාරික අංශයෙන් දුර්වල කාර්යයකි. කිරි ලබා නොගන්නා හරකුන්ට කිරි හරක් හිමියන් දරන වියදම කිරි හරකුන්ට දරන වියදම තරම් නොවූවද එය සැලකිය යුතු අගයක පවතී.

අනවශ්‍ය සතුන්

කිරි ගොවිතැනේදී අනවශ්‍යම සතුන් ලෙස සතුන් දෙකොට්ඨාසයක් හඳුන්වා දිය හැකිය. එනම් ඒ, පිරිමි සතුන් සහ කිරි ලබාගෙන අවසන් තවදුරටත් කිරි ලබාගත නොහැකි සතුන් ලෙසටය. කිසිදු කිරි ගොවියකු පිරිමි සතුන් සිය හරක් පට්ටියට මිලදී ගැනීම සිදු නොකරන අතර ඒ පට්ටිවලට පිරිමි සතුන් එකතුවීම සිදුවනුයේ පසුව සිදුවන එළදෙනුන්ගේ ගැබ් ගැනීම් හරහාය. කෙසේ හෝ පට්ටියට පිරිමි සතුන් එකතුවීම යනු පාඩුවකි. ඔවුන්ට සාන්ද්‍රීය ආහාර ලබාදීම සිදු නොකළද තණකොළ හෝ ලබාදීම කළ යුතුය. ඒ අනුව ආහාර සඳහා අනවශ්‍ය වියදමක් දැරීමට ගොවියාට සිදු වේ. මොවුන්ට තණකොළ කපා ළඟට ගෙනැවිත් දිය යුතුය. එසේ නොමැතිව නිදැල්ලේ ඔවුන් තණකොළ උලා කෑමට යැවිය නොහැකිය. එසේ යැවුවහොත් එම සතුන් වගාවන්වලට පැන ඒවාට හානි කිරීම නිසා ඇතැම්විට හරක් හිමිකරුවන්ට වගා පාලු වන්දිද ගෙවීමට සිදු වේ.
කිරි එළදෙනකගේ කිරි ලබාගැනීමේ ක්‍රමවේදය සැකසෙන්නේ මෙසේය, එහිදී එළදෙනට ලැබෙන පැටවුන් ප්‍රමාණය මත සතා ලබාදෙන කිරි ප්‍රමාණය තීරණය වේ.
පළමුවැනි පැටවාගේ ප්‍රමාණය තරමක අඩුය, දෙවැනි පැටවා වැඩිවේ, තෙවන පැටවා වැඩිවේ (උච්චතම අවස්ථාව), සිව්වැනි පැටවා වැඩිවීමක් හෝ අඩුවීමක් නොමැත, පස්වැනි හා හයවැනි පැටවා අඩුවේ.
ඒ අනුව කිරි ප්‍රමාණය අඩුවන කාලපරිච්ඡේදය තුළ ඒ සතා පෝෂණය කරමින් හැදීම නිරර්ථක කාර්යයකි. මක්නිසාදයත් එවිට සතාට වියදම් කරන ප්‍රමාණයට සාපේක්ෂව ලබාගත හැකි ආදායම ඉතාම අඩුවේ. එම සතා වෙනුවට වැඩි ඵලදායීතාවකින් යුත් සතෙකු තෝරාගෙන පට්ටියට එක්කර ගැනීම වඩා නුවණක්කාර කාර්යයයි.

ආගමික බලපෑම

මෙසේ කිරි ලබාගත නොහැකි සතුන්ට රටේ බහුතරක් කිරි ගොවීන් සිදුකරනුයේ අතින් වියදම් කර බලා ගැනීමයි. මෙය සාර්ථක ව්‍යාපාරික උපායක් නොවේ. එසේනම් කළයුත්තේ සතුන් මසට විකිණීමය. මෙය වඩා ඵලදායී සහ වාසිසහගතම පියවරයි. එහෙත් රටේ බහුතරයක් ගොවීහු මෙවැනි පියවරකට මැලිවෙති.
එවැනි මානසිකත්වයක් ගොවීන් තුළ ඇතිව ඇත්තේ, අප දුටු පරිදි ආගමික බලපෑම නිසාය. ඔවුන්ට අනුව සතුන් මසට විකිණීම යනු අපාගත විය හැකි මහා පාප කර්මයකි. කිරි හරකුන් යනු මව්වරුන් වැනිය.
මෙය මතුපිට කාරණාව යි. අභ්‍යන්තර කාරණාව මෙසේය.
“හරක් මසට නොදී මේ කරුමාන්තෙ කරන්ඩ බෑ. මොකද උන්ව තියාගෙන උන්ට කන්ඩ බොන්ඩ දෙන්ඩ ගියහම අපිට අතිනුත් පාඩුයි. විකුණන්ඩ එපා, මස් කන්ඩ එපා කියන අය කවදාවත් අපිව බලන්ඩ එන්නෑ. ඒගොල්ලො පන්සල්වලට වෙලා ඉඳගෙන කියව කියව ඉන්නවා. ඒ කට්ටිය නිකන් ඉන්න හරක් බලාගන්ඩ සල්ලි දෙනවනන් අපි බලා ගන්නන්. අඩුම ගානෙ ඒගොල්ලන්ගේ වත්තකටවත් හරකෙක් දාන්ඩ දෙනවද. මරන්ඩ එපා කිය කිය ඉන්නව මිසක්. මොකක්ද ඇත්ත ප්‍රශ්නේ කියල කාටවත් අවබෝධයක් නෑ.” මෙසේ කීවේ තවත් කිරි ගොවියෙකි.
ගොවීන් දන්නා පරිදිද ඔවුන්ගේ අත්දැකීම් රටාව අනුවද පිරිමි සතුන් සහ කිරි ලබාගත නොහැකි ගැහැනු සතුන් පෝෂණය කිරීම මහා පාඩුවකි. එහෙත් සමාජීය බලපෑම ඔවුන්ව පාඩු විඳවීමට යොමු කරවයි. අපට හමුවූ එක් ගොවියෙකු කීවේ මෙහි සෑබෑම කාරණාවයි. “හරකෙක් විකුණලා අපි කොහොමද පන්සලටවත් යන්නේ.” ඔහුට අනුව ඔහු සිතන්නේ හරකුන් මසට විකුණුවොත් හාමුදුරුවෝ පන්සලට වද්දා ගැනීම ප්‍රතික්ෂේප කරනු ඇති බවයි,
අනෙක් ප්‍රධානතම කාරණාව නම් රටේ හරක් මසට ඇති කර ඇති පිළිකුල්සහගත ප්‍රතිචාරයයි. මෙහි ප්‍රධානතම කාර්යක් සිදු කළේ අනගාරික ධර්මපාලය. ඔහු කීවේ “ගවමස් නොකව්” යනාදී ලෙසය. ඔහු ගව මස පිළිකුල් කරන සංස්කෘතික නිර්මාණකරු විය. ඔහු හැබෑ බෞද්ධයෙකු හෝ කුමන ආකාරයක හෝ අවිහිංසාවාදියෙකු නම් කිවයුතුව තිබුණේ “මස් නොකව්” යන ලෙසය. ඔහු කළේ තමා අකමැති මසක් අනෙකුන්ටද කන්නට එපා කීමය. ඒ නිසා වර්තමාන කිරි ගොවියාගේ මේ පරිහානියට අනගාරික ධර්මපාලගේ වගකීමක් ද ඇත, එම ඊනියා මතවාද පෝෂණය කරන පිරිසගේද වගකීමක් ඇත.
මෙවැනි ආගමික අධිකාරීන් හරහා සිදුවන්නේ තව තවත් කිරි ගොවියා අඩපණ වීමය.
මේ නිසා හරක් මස්වලට රට තුළ ඇති ඉල්ලුම බොහෝ සෙයින් පහළ ගොස් ඇත. අප කුරුණෑගල හා ඊට තදාසන්න ප්‍රදේශවල සිදු කළ නියැදි පරීක්ෂණයකට අනුව පනස් දෙනෙකුගෙන් තිස් හතර දෙනෙකුම හරක් මස් යන්නට දැක්වූ ප්‍රතිචාරය වූයේ තමන් අනුභව නොකරන බවය. ඉන් එක් අයෙකුට පමණක් අසාත්මිකතාවක් තිබූ අතර ඉතිරි තිස්තුන්දෙනාම හරක් මස් පිළිකුල් කරන ප්‍රසිද්ධ පදනම මත අනුභවයෙන් වැළකී සිටින පිරිසයි. මෙයින් කිහිපදෙනෙක් හරක් මස් ජීවිතයේ කවරදාකමවත් අනුභව නොකළ බවද පැවසූහ. හරක් මස් අනුභව කරන බව පැවසූ පිරිසෙන් බහුතරය මුස්ලිම් ජාතිකයෝ වූහ. හරක් මස් අනුභව නොකරන පිරිසෙන් බහුතරය සිංහල බෞද්ධ වූ අතර හයදෙනෙකුම ක්‍රිස්තියානි ආගමිකයන් වීම විශේෂත්වයකි. පරීක්ෂණයට ලක් කළ පිරිසෙන් දහයක් මුස්ලිම් ජාතිකයන්ද, දහයක් ක්‍රිස්තියානි ජාතිකයන්ද, තිහක් බෞද්ධ ආගමිකද වූහ.

ඉන්දියාවේ ආදර්ශය

අපට මේ ප්‍රශ්නය ජය ගැනීමට ඇති හොඳම විසඳුම ඉන්දියාවෙන් සොයාගත හැකිය. ඉන්දියාව යනු ලෝකයේ කිරි හරක් බහුලව ඇති කරන රටකි. එහෙත් එහි හින්දු ආගමික පසුබිම තුළ හරක් මස් අනුභව නොකරයි. එනම් ඉන්දියාව තුළ හරක් මසට ඉල්ලුමක් නොමැත. ඉන්දියාවද ලංකාව පරිදි වූවා නම් අතහැර දැමූ හරක් ලක්ෂ ගණනක් ඉන්දියාව පුරා සිටිය යුතුය. එසේනම් බාග විට ඉන්දියාවේ ජනගහනයට වඩා ඉන්දියාවේ හරක් සිටිනු ඇත. එහෙත් ඉන්දියාවේ එසේ නොවේ. ඔවුන් කිරි ලබාගත නොහැකි හා අනවශ්‍ය සතුන් ඉන්දියානු රජයේ මැදිහත්වීම ඇතිව පාකිස්තානයට ලබාදීම සිදුවේ. මේ ආදර්ශය ලංකාවට ද ගත හැකිය.
මේ සඳහා රජයේ මැදිහත්වීමක් අවශ්‍ය වේ. රටේ ජනාධිපතිවරයා ද හරක් මස් නොකනු නොකියා හරක් මස් අනුභවය වැඩි කිරීමට දිරි දිය යුතුය. බිඳ වැටෙන වෙළෙඳපොළ නැවත ගොඩ නැගිය යුතුය. ඒ අතර හරක් මස් සඳහා ඉල්ලුමක් ඇති රටවල් හඳුනාගෙන ඒ රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම්වලට එළඹ එම රටවලට හරකුන් ලබාදීම සිදුකළ හැකිය. මෙහිදී ගොවියාට ශක්තියක් වී ඔහුගෙන් ඝෘජුවම හරකුන් මිලදී ගැනීම රජයට කළ හැකිය. ඒ හරහා ගොවියාට ඔවුන්ගේ හරක් මසට නොව රජයට දෙන බවට අවශ්‍ය නම් මානසික තෘප්තියද ලබාගත හැකිය. මේ හරහා කිරි ගොවීන් දිරිමත් කිරීමක් සේම කිරි ගොවීන්ගේ සංඛ්‍යාව වර්ධනය කරගැනීමටද හැකියාවක් ලැබෙනු ඇත. අප එසේ කියන්නේ අපට හමු වූ අයෙකු පැවසූ මේ කතාව නිසාය. “මමත් මුලින් කිරි හරක් හදන්ඩ හිටියේ, හැබැයි පස්සෙ පිරිමි පැටවුනුයි කිරිගන්ඩ බැරි උන්ටයි මොකද කරන්නේ කියල බලද්දි උන්ව මස්කඩකාරයන්ට දෙන්ඩ වෙනව කියල දැනගත්තහම වැඬේ අත ඇරල දැම්මා.” මෙවැනි පිරිස් කිරි ගොවීන් ලෙස පරිවර්තනය කරගැනීමේ හැකියාවක් රජය හරක් මිලදී ගැනීම හරහා උදාවනු ඇත.
ඒ අනුව කිරි ගොවියාගේ අර්බුදය පහළ යන කිරි මිලට පමණක් ලඝු කළ නොහැක. අනවශ්‍ය සතුන් පෝෂණය කිරීමම විශාල ගැටලුවකි. මෙයට විසඳුම ඇත්තේ එම සතුන් මසට විකිණීම තුළ පමණි. රජය මෙයට මැදිහත් වී නිසි වැඩපිළිවෙළක් සැකසීම වැදගත්වන්නේ මේ නිසාය. අනෙක් පසින් ගොවීන් ව්‍යාපාරිකයන් ලෙස කටයුතු කළ යුතුය. හණමිටි අදහස් ඉවතලා නවීකරණය විය යුතුය.